කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඊයේ ලබා දී තිබු ආඥාව වෙනස් කළ නොහැකි බවත්, අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වුවහොත් දණ්ඩ නිති සංග්රහයෙන් අවශ්ය පරිදි නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කළේය.
දෙපාර්ශ්වයෙන්ම මෝසම් පත්ර දෙකක්
අදාළ ආඥාව පිළිබඳව විහාර මහා දේවී උද්යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ නිතීපතිවරයා විසින් අද දින මෝසම් පත්ර දෙකක් ගොනු කර තිබුණා.
ඉන් උද්ඝෝෂණය නිරත පිරිස සිය මෝසම් පත්රය ගොනු කරමින් ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මෙලෙස ඉල්ලා තිබුණා.
වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්රතික්ෂේප කරයි
නිතිපතිවරයා වෙනුවෙන් ඉල්ලා තිබු මෝසම් පත්රය මගින් දක්වා තිබුණේ ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් නියෝගය කියවා දුන් පසුත් එම ප්රදේශයේ රැදි සිටි පිරිස අත්අඩංගුට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසයි.
එම අවස්ථාවේදි මහේස්ත්රාත්වරයා වරෙන්තු නිකුත් කිරීමට තරම් දෙයක් එම ස්ථානයේ සිදු වී නොමැති බව පවසා එම ඉල්ලීම ප්රතික්ෂේප කළා.
මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න පවසා සිටියේ විරෝධතාවය පළ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෝසම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස පවසා සිටියා.
“ස්වාමීනි, විහාර මහාදේවී උද්යානයේ බුදුපිළිම පර්යන්තයේ තමයි අපි රැඳිලා ඉන්නේ පොදු දේපළ කිසිම දෙයකට හානියක් කරලා නැහැ. දවස් හතක් එක දිගට ඉන්නවා ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් විරෝධතාවය පළ කිරීම, නීතියට අවනතව අපි කටයුතු කරනවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස පවසා සිටියේ මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ දින 106 වගන්ති ප්රකාරව ආඥාවක් නිකුත් කර ඇති බවයි.
රජයේ නීතිඥ කලණ බුද්ධදාස වැඩිදුරටත් අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.
ඊයේ දින 106 වගන්තිය ප්රකාරව ආඥාවක් නිකුත් කරලා තිබෙනවා. මෙම සිද්ධියට අනුව පැමිණිල්ල ඇවිල්ල තියෙන්නෙ නාගරික කොමසාරිස්වරයාගෙන්. පැමිණිල්ලේ මුල් පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊයේ දිනයේ දී එම නියෝගය කියවා දීමේ දී ශබ්ද විකාශන යන්ත්රය හරහා පිරිත් දලා කඩා කප්පල් කළා පොලිසිය සිද්ධිය පැහැදිලි කළා. මෙම ස්ථානයට දේශිය වගේම විදේශීය පුද්ගලයන් එනවා. පොදු ස්ථානයක්. විරෝධතා දක්වන එක මුලික අයිතිවාසිකමත් තමයි. හැබැයි මේ අය මෙතැන රැදි සිටින්නේ 16 වෙනිදා ඉදලා.
පොලිසිය විටින් විට කිව්වා එම ස්ථානයේ එක දිගට රැඳී සිටින්න බැහැ කියලා ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි. උදේට දවල්ට දානෙ පිරිනමන කට්ටියත් එනවා. තවද මෙම ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්ය හරහා මෙම විරෝධයට විවිධාකාර පුද්ගලයන් එකතු කරගන්නවා. ආගමික නිදහස කියලා අන් අයට බාධා ඇති කරන්න බැහැ. දීර්ඝ කාලීන ලෙස මෙම ස්ථානවල රැදි සිටීමෙන් වෙනත් දේශපාලනික සහ මහජන කැළඹීමක් ඇතිවිය හැකියි."
මහේස්ත්රාත්වරයා
"එම ශබ්ද විකාශන භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවෙන් අවසර ලබා ගෙන තිබේද?"
රජයේ නීතීඥවරයා
" නැත. ස්වාමීනි. එම ස්ථානයේ මහා සවන් යාගයකුත් කරලා. ඒ වගේ ක්රියාවලින් මහජනතාව පීඩාවට පත්වෙනවා."
මහේස්ත්රාත්වරයා
"මම ඊයේ ලබාදුන් නියෝගයේ තිබෙන්නේ අඛණ්ඩව රැඳී නොසිටින ලෙසත් පොදු දේපල වලට හානි නොකරන ලෙසයි"
විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්රී ගුණරත්න
"පූජෝපාකාර වගේ දේවල් සිදු කරනවා. මහසෝන් යාගයත් කියන්නේ සංස්කෘතියේ දේවල්. බුදුපිළිම පර්යන්තයේ තමයි අපි සිටින්නේ. එසේ සිට විරෝධතා දැක්වීමට අපට අවසර ලබා දෙන්න."
මහේස්ත්රාත්වරයා
"දින කීයක් තව මේ විරෝධතාවය තිබේද?"
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න
"ඒක මම දන්නෑ ස්වාමීනී ස්වාමීන් වහන්සේලා තමයි ඒක තීරණය කරන්නේ."
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා.
" ස්වාමීනි මේ විරෝධතාවය කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මෙයාලා කියනවානේ මේක විරෝධතාවය යන්නේ වැඩසටහනක් කියලා වැඩසටහනක් ක්රියාත්මක කරනවා කරනවා නම් ඒ බල ප්රදේශයේ අයිති මහ නගර සභාවේ අවසර ගන්න ඕනෙ. තොවිලයක් නැටුවත් වැඩසටහනක්. මොකද ස්වාමීනි මෙම ස්ථානයට පිහිදෙකක් ඊයේ රැගෙන ඇවිල්ලා ඒ දෙන්නටද ඇප ලබා දීලා තිබෙනවා. විරෝධතා කරුවන්ටමයි මේවගෙන් ප්රශ්න ඇතිවෙන්නේ. දන්න නීති සංග්රහය 105 වගන්තියට අකීකරු වීම වරදක්. එම වගන්තියට කීකරු වී ඇවිල්ලා මෙහෙම ඉල්ලනවනම් කමක් නෑ. ස්වාමීනි මේක අධිකරණයට කරන ලද අපහාසයක්. එම නිසා එම ආඥාව ඉවත් නොකරන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න
" ස්වාමීනි කඨින චීවර සකස් කිරීම තමයි මේ දවස්වල සිදුවන්නේ. ඒ සඳහා අවසර ලබා දෙන්න"
මහේස්ත්රාත්වරයා
"දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සලකා බලනවා. මම ඊයේ දින ලබා දුන් 126 වගන්ති ප්රකාරය නියෝගය වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. එහි දක්වා තිබෙන්නේ අඛණ්ඩව රැඳී සිටීමෙන් පොදු දේපල වලට හානි සිදුවීම සම්බන්ධයෙන්. මම දන්නෙ නෑ කඨින චීවර පිළිවෙල කිරීමට මෙම ස්ථානයේ සිදු කරන්නේ ඇයිද කියලා. යම්කිසි වැඩසටහනක් ක්රියාත්මක කරනවා නම් එම ආයතන භාර කෙනෙක් ඉන්නවා. එයාලගේ යම් යම් නීති තියෙනවා ඒවා ක්රියාත්මක කළ යුතුයි. මම මෙම නියෝගය ලබා දී තිබෙන්නේ මහජන සාමය ගැන සලකළා." එම නිසා ලබා දුන් නියෝගය වෙනස් කළ නොහැකි බව මහේස්ත්රාත්වරයා නියෝග කළා .
සිරදඬුවම් විඳිමින් සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ අඛණ්ඩ සත්යග්රහයක නිරත පිරිස වෙත නිකුත් කළ අධිකරණ නියෝගයට එරෙහිව අද (23) පෙරවරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබුණා.
මෙලෙස කරුණු වාර්තා කිරීම සඳහා පූජ්ය උලපනේ සුමංගල හිමි සහ පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ තවත් පිරිසක් අධිකරණ පරිශ්රය වෙත වැඩම කළහ. මීට අමතරව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්ය තීනියාවල පාලිත හිමි මෙන්ම පූජ්ය විතාරන්දෙණියේ නන්ද හිමි යන හිමිවරුන් ද එම අවස්ථාවට වැඩම කර සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
