පුවත්

ෆයිසර් ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි : දේශපාලන තීන්දුවක් ගන්නත් සූදානම් !
හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ඇතුළු පක්‍ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි .
එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර ඇති බවත් දැනගන්නට ඇත .
පක්ෂයේ ලදබොළඳ දේශපාලන තීන්දු තීරණ සහ ඒ හමුවේ ජේෂ්ඨයන් රැසක් පාක්ෂිකයින් සමග පක්ෂය හැරයාම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා පසුගිය සමයේ බලවත් කළකිරීමකින් පසුවූ බවත් එම ආරංචි මාර්ග පවසයි .
එසේම ඉදිරියේදී ඔහු දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි .

ආර්‍යාව හිරුණිකාට ලණුවක් දීලා : කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් !
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නම් කිරීමට පක්ෂය ඒකමතිකව තීන්දු කරයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේමදාසගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (14) රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබේ.
එහි දී සමගි ජන බලවේගය කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස මුජුබර් රහුමාන් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර ඊට සියලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
මණ්ඩලේ කචල් !
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අප්‍රසාදයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පසුගිය සමයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් අසාමාන්‍ය ආකාරයකට හැසිරුණේ කොළඹ මහ නගර සභාවේ හෝ මහරගම මහ නගර සභාවේ පුරපති අපේක්ෂකත්වය ලබාදෙන බවට සජබ ආර්‍යාව ලබාදුන් පොරොන්දුවක් මත බවත් එවැනි පසුබිමක ගනුලැබූ මේ තීන්දුව සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපනයේ ගිය ජනපති ආගමික නායකයන් බැහැදකියි !
යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයින් කිහිප දෙනෙකු ද බැහැ දැක ආශිර්වාද ලබා ගනී.
තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගිවීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැ දැක, ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
“බෞද්ධ හින්දු ආගමික සංසදය" වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.
http://www.newstube.lk/news?start=3888#sigProIde4e881f144

13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා - ජනාධිපති
සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.
නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛපොංගල් උත්සවයට එක් විය.
දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන් එකට ජීවත්වන සහ ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස් සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බවයි.
සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි මාසයේ දී රටට ප්‍රකාශ කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ දී කැඳවන බව කියා සිටියේය.
අතුරදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දීම සඳහා සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
පළමුවෙන්ම සියලුදෙනාටම සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තෛපොංගල් උත්සවය ජාතික උත්සවයක්. අප අතීතයේ දී කෘෂිකර්ම රාජ්‍යයක්ව පැවතුණා. වාර්ෂික අස්වැන්න ලබාගැනීමෙන් පසුව අපි දෙවිවරුන්ට පිං පමුණුවා, මේ චාරිත්‍ර ඉටු කළා.
අද මේ උත්සවයේ දී විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් සිදු කළ රාමනාදන් සෞන්දර්ය පීඨයේ ශිෂ්‍යයින්ට මම මගේ ප්‍රශංසාව පළ කරනවා. එය උසස් මට්ටමේ නාට්‍යයක් කියලා මම කියන්න කැමතියි. නාදසලාම් තූර්ය වාදන කණ්ඩායමත් සාම්ප්‍රදායික දැනුම අනුව තම ඉදිරිපත් කිරීම් කළා. ඒ සියලුදෙනාටත් මම මගේ ස්තූතිය පිරිනමනවා.
මේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ හැකි මට්ටමේ සිටිනවා. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ලෙස අපි ආඩම්බර විය යුතුයි. අද දහවල් අපි තීරණය කළා ගාල්ලේ පැවති කලා උළෙල වගේ එකක් යාපනයේදීත් පැවැත්වීමට. අපි අලුත් දෙමළ සංස්කෘතියක් බිහි කර තිබෙනවා. අපි එය ලෝකයට පෙන්විය යුතුයි.
මේ උළෙලේ සංස්කෘතිකාංග අවසන් වුණේ සිංහිඳියාවෙන්. සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත ගමන් කළයුතුයි.
මම දුටුවා මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා පොංගල් එනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බදුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.
උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු, සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.
මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතින්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.
මීට සති 03කට පෙර මම හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍ය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා හමුදාපතිවරයා කිව්වා. මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.
ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.
ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා.
යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.
අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.
අපේ රදගුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපි එම කතෝලික සහ හින්දු දේවස්ථාන හදලා දෙන්න පියවර ගන්නවා. අවුරුදු සිය ගණනක සිට පැවැත්වු පූජා තිබෙනවා, අලුතින් ආරම්භ කළ ඒවා තිබෙනවා. අපි ඒ සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වසර දෙකේ දී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු.
අද දිළිදුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.
උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවේ. තවත් ප්‍රශ්න තිබෙනවා සාකච්ඡා කරන්න.
මේ රැස්වීමෙන් අනතුරුව මම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුනුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් කැඳවා එම සාකච්ඡාවල දෙවන වටය ආරම්භ කරනවා.
කඳුකරයේ දෙමළ ජනතාව අපේ සමාජයට සම්පූර්ණයෙන් අන්තර්ගත කරලා ඔවුන්ටත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව භුක්තිවිදින අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙනවා. රටට විදේශ විනිමය උපයන මේ විශාල කණ්ඩායම කොන් කරන්න බැහැ. අනිත් අය සමඟ එක් කළ යුතුයි.
මුස්ලිම් මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ අයත් ගෙන්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුයි. දෙමළ, මුස්ලිම් අයට පමණක් නොවෙයි සිංහල අයටත් ප්‍රශ්න තිබෙනවා. කොන් වුණ ගම්මාන තිබෙනවා. සමහර තැන්වල කුල භේදය බලපා තිබෙනවා. දුප්පත් ජන කොටස් කොන් වී තිබෙනවා. තමන‍්ගේ ආරක්ෂාව ගැන ක්‍රිස්ත්‍රියානි ජනතාව බියෙන් පසුවෙනවා. ඒවා ගැන කතා කරන්න සමාජ සාධාරණ කොමිසමක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේවා ගැන කතා කරලා ශ්‍රී ලාංකීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කරමු කියලා මම සියලුදෙනාට කියනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු උත්සවයට එක්ව සිටියහ.

මැතිවරණ කරන්නේ කොහොමද : පොලිසියටත් මුදල් ප්‍රශ්නයක් !
යෝජිත පළාත් පාලන මැතිවරණය මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි .
පොලිස්පති සීඩී වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි විවිධ වීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ගෙවා නැති බවයි.
ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට පොලිස් නිලධාරීන්ට රාජකාරි කටයුතු යෙදවීමේ ගැටලුවක් ඇති බවද පොලිස්පති වරයා දැනුම් දී ඇත.
මහමැතිවරණය රාජකාරි වෙනුවෙන් පොලිසියට හිමි මුදල් මේ දක්වා ලැබී නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව මුල්‍යමය ගැටළුවකට මැදිව සිටින පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට දන්වා දන්වා ඇති අතර ඔහු ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම පසුගිය මහ මැතිවරණයේදී ගෙවිය යුතු හිග මුදල් ප්‍රතිපුර්ණය කරන ලෙසයි.
මෙය බිම් මට්ටමේ මැතිවරණයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වූවොත් ඒ සඳහා විශේෂ කාර්ය බලකාය කැදිවීමට සිදු වනු ඇති බවත් ඉන්ද පාලනය කරගත නොහැකි වුවහොත් හමුදාව පවා කැඳවිය යුතු බවත් පොලිස්පත්වරයා පෙන්වා දී තිබේ.
ඊට අමතරව මැතිවරණයේදී පොලිසියට පැවරෙන නීති විරෝධී දැන්වීම් කටවුට් බැනර් ඉවත් කිරීමේ රාජකාරිය කුලී කම්කරැවන් මගින් සිදුකරන බවත් ඔවුන් සඳහා ගෙවීම් පොලිසියෙන් පළමුව සිදුකර පසුව මැතිවරණ කොමිසමෙන් ලබාගන්නා බවත් පවසා ඇත

ලංකාව ගොඩදාන්න IMF ඇතුළු ආයතන වල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයි !
ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “Voice of the Global South Summit G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක්වෙමින් සමුළුව අමතමිනි.
රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.
රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසකට හේතු වී ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැඳිලි කරන ලදී.
“කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාද වීම නිසා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබා දීම ද ප්‍රමාද වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින අතර එවැනි තාක්ෂණික ගැටළු සහ ප්‍රතිඵල ප්‍රමාදයන් නිසා රටේ ජන ජීවිතයට විශාල හානියක් ඇති වේ. එබැවින් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “ආර්ථික අර්බුදයේ බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කෙරේ. විනිවිදභාවය සහ ආර්ථික ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. මේ හරහා විනිමය අනුපාතික නම්‍යශීලිත්වය වැඩි වනු ඇත. ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කිරීම සිදු වේ.” යනුවෙනි.
– මාධ්‍ය ඒකකය

උසස් පෙළ විභාගය කාලය තුළ විදුලි කප්පාදුවක් නෑ !
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි ඇති බවත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලි කප්පාදු අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය 55ක් මාස 04 තුළ කෝටි 86000ක පාඩුවක් ලබලා !
උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි .
මෙය එම ආයතන ඊට කලින් වසරේදී (2021) වර්ෂය පුරා ලැබූ අලාභයටත් වඩා වැඩි අගයක් බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ මුල් මාස හතරේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 62,800ක් බව සඳහන් කරන මහාචාර්යවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි විසි හතර දහස් අට සියයක පාඩුවක් ලබා ඇතැයිද සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය එම කාලසීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 4700 ක් බව වසන්ත අතුකෝරළ මහතා කීවේය.
මේ අතර එම ආයතන 55 පසුගිය 2021 වර්ෂයේදී රජය ඇපයට තබා රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහස් හය සියයක ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවල දැක්වෙන බව හෙතෙම පැවසුවේය.
ඒ කාලසීමාවේදී රුපියලේ අගය සියයට 58 කින් කඩා වැටී තිබූ හෙයින් මෙම ආයතන පාඩු ලැබීම ඉහළ යෑමට එයද ප්‍රධාන හේතුවක්වූ බව පවසන මහාචාර්යවරයා රාජ්‍යය සතු ව්‍යවසායයන් 527ක් රටපුරා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
ආයතන 527 න් 290ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වන බවත් අනෙක් ආයතන තමන්ගේ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් කර නොතිබූ බවත් අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.
- lankadeepa

චීන කොමිනිස්ට් පක්ෂයේ දූත පිරිසක් දිවයිනට
චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු චීන ඉහළ පෙළේ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනවාරි 14 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.
මෙම නියෝජිත පිරිස හෙට හොරණ පන්නිල ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක් වටිනා පාසල් අවශ්‍යතා සහ ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීමට නියමිතය.
මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ජාමූඅ පැකේජය ලබා ගැනීමට මෙම සංචාරයන් ඉතා වැදගත් බව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කරයි.
චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් තුන්දෙනා වන අතර ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ඔවුන්ගේ සහයෝගීතාව ඉතා වැදගත් බවද අදාළ වාර්තාවල සඳහන් ය.

සංචාරකයන්ට නව කොවිඩ් නීති මාලාවක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ.
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කර යුතු බවද එම රෙගුලාසි වල සඳහන් වේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා මෙම රෙගුලාසි අදාල වන බවත් කොවිඩ් රෝගය පිළිබඳ ඇතිවන ප්‍රවණතා පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් සිටින බවත් සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

බදු ඉලක්ක ගැන දේශීය අදායම් ලොක්කා කියයි !
බදු ලෙස රුපියල් කෝටි 86000 ක මුදලක් පසුගිය වසරේදී එකතු කරන ලද බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර් එච් හපුආරච්චි පවසයි.
මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි අනු දෙදහස් දෙසීයක බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මේ වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත් එම බදු මුදල රුපියල් කෝටි 60,300 ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රැපියල් කෝටි 55,300 ක ආදායමක් අපේක්ෂා කරන බවද ඒ නිලධාරීහු පෙන්වා දුන්හ.

නිධන් සහ ගංජා නිසා අත්අඩංගුවට ගත්ත SSP රිමාන්ඩ් !
නිධන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර ඇතුලු සැකකරැවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම අද (13) නියෝග කලාය.
මහේස්ත්‍රාත්වරිය විසින් මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බිබිල දියකොබල, ගුරැමඩ ලිපිනයේ පදිංචි, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියදුරැ ලෙස කටයුතු කල බොන්සෙල් බොතේජුගේ සසිදු මධුෂාන්, ඔක්කමිපිටිය පහළගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දුලංජන සේනක, මොරටුව එගොඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂ ලක්ෂාන් ද සිල්වා,බුද්දම වැල්ලේපොළවත්ත ලිපිනයේ පදිංචි තිස්ස වලංගු මුදියන්සේලාගේ නිලන්ත සංජිව පුෂ්පකුමාර සහ මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ගංජා සැපයිමෙි චෝදනාවට, අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තු නිළධාරින් විසින් පෙරේදා (12)සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල, ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස යන පිරිසය.

හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ගන්න : අධිකරණ නියෝගයක් !
අරගලය අවස්ථාවේ 2022 වසරේ ජුලි 09 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.5 සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ අපරාධ කොට්ඨාසයට අද(13)නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙතෙක් එම මුදල්වලට අදාළව ප්‍රකාශ ලබාගෙන නැති බවට නීතිඥවරුන් කළ දැනුම්දීමකට අනුවයි.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න මේ බව සදහන් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවයි.
ප්‍රකාශ ගැනීමට අත්අඩංගුවට ගැනීමේ නියෝග ලබාදීමට අවශ්‍ය නැති බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

ටිරාන්ගේ මහජන පක්ෂයත් පුංචි ජන්දයට !
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් මහජන පක්ෂය (UPP) ද මේවනවිට තීරණය කර තිබේ.
එක්සත් මහජන පක්ෂයේ මහ ලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වන අතර එම පක්ෂයේ ඡන්ද ලාංඡනය වන්නේ ජංගම දුරකථන යි.
උතුරු නැගෙනහිර ද ඇතුළුව දිවයින ම ආවරණ වන පරිදි පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා තම පක්ෂය මෙවර ඉදිරිපත්වන බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක චමින්ද ගුණසිංහ පැවසිය.
ජනප්‍රිය දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේවනවිටත් තම පක්ෂයෙන් මෙම මැතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර ඇතැයි කියා සිටි චමින්ද ගුණසිංහ වැඩි දුරටත් පැවසුයේ, අපේක්ෂකයන්ගේ අයදුම්පත් භාර ගැනීම සහ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේවනවිට අරඹා ඇති බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමුවක් !
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වි සාකච්ඡාවක නිරත විය.
මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ජනපති පවසයි !
මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
කාන්තාවන් ව්‍යාපාරවලට සම්බන්ධ කර ගැනීම සඳහා ඔබ විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර ගැන මම මේ සභාවට ප්‍රශංසා කළ යුතුයි, නමුත් ග්‍රාමීය මට්ටමේ කුඩා කඩ සාප්පු පවත්වාගෙන යන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ ක්ෂුද්‍ර කාණ්ඩ අපි මතක තබා ගත යුතුයි. ප්‍රධාන වශයෙන් ආහාර මෙන්ම වෙනත් භාණ්ඩ ව්‍යාපාර , එළවළු අලෙවිසැල් ආදී කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන අය පිළිබඳ සිතිය යුතුයි.
දැන් ඔබ ඔවුන්ටත් උදව් කරන්නේ කෙසේද? විශාල නගරවල නම් කුඩා කර්මාන්තවල යෙදෙන කාන්තාවන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. නමුත් හඳුනා නොගත් විශාල කාන්තාවන් සංඛ්‍යාවක් සිටිනවා. ඒ තමයි මුදල් ණයට ලබා දෙන අය. සමහර පළාත්වල ඔවුන් තමයි ව්‍යාපාර පාලනය කරන්නේ. එම නිසා විශාල වශයෙන් ක්ෂුද්‍ර ව්‍යාපාර පවත්වා ගෙන ගියත් අපි ඒවා පිළි ගන්නේ නෑ.
එම නිසා මම හිතනවා අපි ඔවුන්ට උදව් කරන ක්‍රම වේදයක් සොයන්න අවශ්‍ය බව. ක්ෂුද්‍ර ව්‍යාපාරකයින්ට උදව් කරන්න ආණ්ඩුවත් විශාල උනන්දුවක් දක්වනවා. ඒ අය තමයි මේ රට පවත්වා ගෙන යන්නේ. ඔවුන් තමයි රටේ ආර්ථිකයේ ජීවය.
ඇත්ත වශයෙන්ම ඔබ සියලු දෙනා තමයි කාන්තා ව්‍යවසායකත්ව සංකල්පය ව්‍යාපාර ක්ෂේත්‍රයට ගෙනාවේ. එම නිසා මම ඔබ සියලු දෙනාට මගේ කෘතඥතාපූර්වක ස්තූතිය පුද කරනවා.
ලොව අනෙක් රටවල් සමඟ සන්සන්ධනය කිරීමේදී අපේ රටේ කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාව ඉතා අවම මට්ටමකයි තිබෙන්නේ. අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. එම නිසා අපි ආර්ථිකයට කාන්තා දායකත්වය මීට වඩා ලබා ගත යුතුයි. එයින් අපේ ආර්ථිකය ගොඩනඟා ගත හැකියි.
විශේෂයෙන්ම මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා අලුත් නීති කිහිපයක් ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් මේවා කෙටුම්පත් කරලයි තිබෙන්නේ. මෙම නීති කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ජාතික කොමිසම හා සම්බන්ධයි.
මම ඔවුන් සමඟ දෙසැම්බර් මාසයේදී සාකච්ඡා වටයක් පැවැත්වුවා. එතනදී ඔවුන් විමසා සිටියේ රටේ ප්‍රධාන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තා නියෝජනය අඩු තරමින් එකක් හෝ දෙකක්වත් ඇති කරන්න පුළුවන්ද කියලා. එය විප්ලවීය වෙනසක්. මේ ගැන වාණිජ මණ්ඩලය මොනව කියාවිද කියා මම දන්නේ නෑ. නමුත් පාර්ලිමේන්තු කාන්තා සංසදය නම් ලෑස්ති වෙන්නේ පෞද්ගලික අංශයේ කාන්තා නියෝජනය වැඩි කිරීමටයි.
ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය අංශයේ කාන්තා නියෝජනය පිළිබඳ සතුටුදායක වුවත් පෞද්ගලික අංශයේ එය මීට වඩා වැඩි විය යුතු බවයි.
මෙතනදි ජයග්‍රහණය කළ සියලු දෙනාව මම අගය කරනවා. මොකද ඔවුන් මෙම ජයග්‍රහණ ලබා ගෙන තිබෙන්නේ ඉතා දුෂ්කර වර්ෂයක් තුළයි. පසුගිය වසර කාන්තාවන්, පුර්ෂයින්, පවුල් විසින් පවත්වා ගෙන ගිය බොහෝ ව්‍යාපාර කඩා වැටුන වසරක්. නමුත් මේ සියලු බාධක හා කරදර මධ්‍යයේ ඔබ සියලු දෙනාට හිස කෙළින් තබා ගෙන සිටීමට හැකි වී තිබෙනවා. එබැවින් මම ඔබ සියලු දෙනාගේ ජයග්‍රහණ අගය කරනවා.
මෙම වකවානුව ව්‍යාපාර කරන අයට පමණක් නෙවෙයි රැකියා කරන අයටත් දුෂ්කර කාල පරිච්ඡේදයක්. මෙම දුෂ්කරතා ගෙදර ඉන්න අයටත් දැනෙනවා. අප සියලු දෙනාටම තවමත් දැනෙනවා. අප පසු කරමින් සිටින කාලය බොහෝ අභියෝග තිබෙන කාලයක්.
අද හැම කෙනාම ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ. රැකියා නැතිවෙලා, ආදායම් අඩු වෙලා, අනාගතය ගැන යම් සැකයක් ඇති වෙලා. සමහරු තමන්ට අනාගතයක් නෑ කියලා අඩපන වෙලා ඉන්නවා. සමහරු රට හැර දාලා යනවා . පොඩි දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා මේ තත්ත්වය අත්විඳිමින් සිටිනවා.
රට ඇයි මේ තත්ත්වයට පත්වුණේ . අපේ ආර්ථිකය කඩා වැටුණේ ඇයි ? තවදුරටත් ඒ ගැන වාද විවාද කරල වැඩක් නෑ. දැන් ආර්ථිකය කඩා වැටිලා ඉවරයි. ඒ ආර්ථිකය කඩා වැටීමේ විපාකය තමයි අද අපිට විඳින්න වෙලා තියෙන්නේ. අපේ උද්ධමනය වැඩි වෙලා. රුපියලේ වටිනාකම අඩු වෙලා. ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වෙලා තිබෙනවා. බංකොලොත් වුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කොහොමද බංකොලොත් භාවයෙන් ගොඩ එන්නෙ යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
තනි පුද්ගලයෙක් ණය වුණොත් ඒක විසඳගන්න පුළුවන්. යාලුවෙක්ගෙන් ඥාතියෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි රට බංකොලොත් වුණොත් උදව් කරන්න තියෙන්නෙ ලෝකයේ එක ආයතනයයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි කොච්චර කෑගැහුවත්, පූජා තිබ්බත් වෙන කාගෙවත් උදව් ලැබෙන්නේ නෑ. අන්තිමට අපිට පිහිටක් සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණයි.
අපි මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමුවෙන්ම කියන්නේ තමන් මූල්‍ය සහය ලබාදෙන රටකට ලාබ ලබන්නේ නැති ආයතන පවත්වා ගෙන යාමට නොහැකි බවයි. විවෘත ආර්ථිකයත් තිබෙනවා නම් පාඩු ලබන ආයතන වෙනත් අංශවලට ලබා දෙන්න ඕනේ. රජය විසින් ආයතන පවත්වා ගෙන යනවා නම් ඒ ආයතන ලාභ ලබන්න ඕන. එහෙම වුණොත් ආණ්ඩුවේ මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න පුළුවන්. නැතිනම් වෙන්නේ පාඩු ලබන ආයතන රජය විසින් පවත්වාගෙන යාමටයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන නොමැති නම් රජයේ මුදල් ජනතාවගේ සහන, සේවා ලබාදීමට වැය කළ හැකියි. රට වැටී තිබෙන අසීරු තත්ත්වය නිසා මේ අවස්ථාවේදී අපිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සිදු වුණා.
ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් කාර්ය මණ්ඩල එකඟත්වයට පැමිණීමට අපට හැකි වුණා. එම එකඟතා තමයි මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහි තිබූ අමාරු තීන්දු සියල්ලම අප පසුගිය වසරේ දී ගනු ලැබුවා.
එහි ප්‍රතිඵලය මේ වසරේදී ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මං එක උදාහරණයක් කියන්නම්, විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කළාට පසුවත් තවත් බිලියන 350 ක අලාභයක් තියෙනවා. අලාභ සමඟ විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යන්න බැහැ. එය කඩාගෙන වැටෙනවා. බැංකුවෙන් මුදල් ණයට අරගෙන බැංකු කඩා වැටෙනවා. එහෙම නම් වැට් ( VAT) වැඩි කරන්න අවශ්‍යයයි. නැතිනම් විදුලිබල ගාස්තු වැඩි කරන්න අවශ්‍යයයි. මේ දෙකෙන් එකක් අපි කළ යුතුයි. එසේ නොකළහොත් අපිට ආධාර ලැබෙන්නේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුවත් අපට ඒ කටයුත්ත කරන්න සිදු වෙනවා.
අපි දන්නවා මේ වැඩ කරනකොට කවුරුත් අත්පොළොසන් දෙන්නේ නැති බව. ඒක දැන ගෙන තමයි අපි මේ වැඩ බාරගත්තෙ. මේ අමාරු තීරණ අපි ගන්න ඕන. එම තීරණ ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපානවා. මේ නිසා භාණ්ඩ මිල ඉහළ යනවා . නමුත් අපිට පහුගිය කාලේ ලැබුණු ආධාර නිසා ඉන්ධන ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය,පොහොර ප්‍රශ්නය විසඳන්න හැකි වෙලා තිබෙනවා.
අපි පොහොර ලබා ගත් නිසා මෙවර මහ කන්නයෙදී හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම අපිට වී අතිරික්තයක් ලැබෙමින් තිබෙනවා. ඒක ආර්ථිකයට මෙන්ම ජනතාවට ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් ජීවන වියදමත් අඩුවෙන්න පුළුවන්. සමහර ආහාර බෝගවල අතිරික්ත අස්වැන්නක් ලැබී තිබෙනවා.
මෙහි සිටින හැම කෙනාටම වගේ අය බදු ගෙවන්න සිදුවෙලා තිබෙනවා. සමහර රාජ්‍ය වෘත්තීයවේදීන් පවා ඊට විරුද්ධව කතා කරනවා. සමහර අය පෙළපාලි යනවා. පෙළපාලි ගියාට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් විසඳුම මොකද්ද කියලත් කියන්න ඕන. මෙවැනි අවස්ථාවක පෙළපාලි යන එක, ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන එක ලෝකයේ ඕන රටක සිදු වෙනවා. ඒවා නවත්වන්න බැහැ.
මේ තීන්දුවලින් ඉවත් වී අපි මොකද කරන්නේ. රටට මොකද වෙන්නේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ වැඩපිළිවළින් අපි අයින් වුණොත් අපිට කවුද ආධාර දෙන්නෙ. මිල වැඩි කළොත් ජීවන වියදමට අමාරුයි. මිල වැඩි නොකළොත් ආධාර ලැබෙන්නේ නෑ. එවිට ආර්ථිකය කඩා වැටෙනවා.
දැන් වෙලා තියෙන්නෙ හරියට, ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්. මේක තමයි අපිට තිබෙන අමාරුම කටයුත්ත. අපට මෙහෙම හැමදාම ජීවත් වෙන්න බැහැ. අමාරුවෙන් ජීවත් වුණත් අපි ඉක්මනින් ඉදිරියට යා යුතුයි. ව්‍යාපාර හැම එකටම තිබෙන ප්‍රශ්නයක් තමයි දැනට තිබෙන උද්ධමනය. අපි මේ තීන්දු තීරණවල ඉදිරියට ගියොත් උද්ධමනය අඩු කරගන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි වුණොත් උද්ධමනය ඉහළ යයි.
ණය පමා කිරීම විශාල ප්‍රශ්නයක්. නමුත් ණය පමා කිරීමට අවශ්‍ය ව්‍යාපාරවලට ඒ සහනය ලබා දෙන්න කියලා මම මහ බැංකු අධිපතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී උපදෙස් දුන්නා. බැංකුවලටත් ප්‍රශ්න තිබෙනවා. පළමුවෙන්ම බැංකු ආරක්ෂා කළ යුතුයි . නැත්නම් බැංකු කඩා වැටෙනවා. බැංකු ආරක්ෂා කළාට පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්නත් පුළුවන්.
අපි දැන් වැඩ කටයුතු කරගෙන යන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉක්මනින් ලබා ගන්න පුළුවන්. අපිට ණය දුන්න රටවල් අපිට සහයෝගය දෙන්න ලෑස්තියි කියලා මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
අපේ ප්‍රධාන ණයකරුවන් තුන්දෙනාගෙන්, ජපානය, පැරිස් සමාජය සහයෝගය දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඉන්දියාවයි චීනයයි සමඟ අපි මේ වෙනකොටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
මම ඊයේ චීන එක්සිම් බැංකුව සමඟ එක්ක සාකච්ඡා කළා. අපේ ණය ප්‍රතිව්‍යුගත කරන්න කරන්නේ කොහොමද කියලා දැන් සාකච්ඡා කරගෙන යනවා. එය ඉක්මනින් ඉටුකරන්න චීන පාර්ශ්වය පිළිගෙන තිබෙනවා.
ඉන්දියාවේ විදේශ ඇමතිතුමා ලබන සතියේ ලංකාවට එනවා. ඉන්දියාව සමඟත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සාකච්ඡා කරගෙන යනවා. මේ සියලු දේවල් කළාට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන දෙකහමාරක් අපිට ලැබෙනවා. ඊට පස්සේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යන ආයතනවලින් ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් අපිට ලැබෙන්න පුළුවන්. එතකොට අපේ අතට බිලියන හතහමාරක් ලැබෙනවා.
ලාබ ලබන්නේ නැති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන ඩොලර් බිලියන 3 එක් කර ගත් විට ඩොලර් බිලියන දහයක් එකතු කරගන්න පුළුවන්. එවිට අපේ ආර්ථිකය ගොඩ ගන්න හැකියාව තිබෙනවා. අපි ඒ තැනට යා යුතුයි. හැමදාම ජනතාවට දුක් විඳින්න බැහැ. අපි එතැනින් එළියට පැමිණිය යුතුයි.
දැන් අපි ඉන්නේ තීරණාත්මක ස්ථානයක. ඒ තීරණාත්මක ස්ථානයෙන් ඉදිරියට යා යුතුයි. තිත්ත බෙහෙත් ගන්න සිදුවෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් බණින්නෙ මේ ලෙඩේ බෝ කරපු අයට නෙමෙයි. බණින්නේ තිත්ත බෙහෙත් දෙන වෙදාටයි බණින්නේ. බැණ්නත් කමන් නෑ, අපි මේ තිත්ත බෙහෙත් අරගෙන ආර්ථිකය සුවපත් කරන වැඩපිළිවෙළට යනවා.
මේ අවුරුද්දේ දුකෙන් එළියට එන මාර්ගය ඇති වෙන බව මට විශ්වාසයි.
මේ ඔක්කොම කරන්න අපිට මේ දුක විඳින්න සිද්ධ වෙනවා. මේ සියල්ලම අපිට නැවත ගොඩනඟන්න පුළුවන්. එය මට විස්වාසයි. ඉන්පසු අලුත් ව්‍යාපාර ගැන හිතලා ලෝකයත් සමඟ තරග කළ හැකි නව ව්‍යාපාර සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම කළොත් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න අපට හැකියාව තිබෙනවා. ඒ බව අපට විශ්වාසයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා , බ්‍රිතාන්‍ය වැඩබලන මහකොමසාරිස් ලීසා වැන්ස්ටොල් යන මහත්ම මහත්මීහු සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනි අනෝජි ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
http://www.newstube.lk/news?start=3888#sigProId5affc2dfd4

ඉදිරි වසර 25 ක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ : 75 ජාතික නිදහස් සැමරුම ජයටම !
රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
“නමෝ නමෝ මාතා - සියවසකට පියවරක්" තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 වනදා පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.
නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.
ඒ අනුව බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ. පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතය.
කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ පෙබරවාරි මස 04 වන දින උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ. හින්දු ආගමික වතාවත් පෙබරවාරි 03වන දින උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ. මුස්ලිම් ආගමික වතාවත් පෙබරවාරි 04 වන දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේ අතර කොළඹ දී ද බෞද්ධ හා හින්දු ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙන අතර, ඒ අනුව පෙබරවාරි 04 වනදා පෙ.ව 6.30ට කොළඹ 03, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වැඩසටහනක් ද, කොළඹ 04 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබේ.
ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේ පැවැත්වීමටත්, කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වීමටත්, පාකිස්ථානයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජූලි මාසයේ දකුණු පළාතේ දී පැවැත්වීමටත් මීට සමගාමීව කටයුතු සංවිධාන කර තිබේ.
මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා" රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 03 වනදා ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වේ.
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය පෙබරවාරි 11 වනදා උදෑසන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිටින් ඇරඹෙන සංස්කෘතික පෙරහර යාපනය නගරය හරහා වීදි සංචාරය කොට, යාපනය කොටුව අසළින් (පැරණි බස් නැවතුම්පොළ භූමිය) අවසන් කෙරේ. අනතුරුව එහිදී සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අතර එදින රාත්‍රියේ එම ස්ථානයේම විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සියලු නර්ථන සම්ප්‍රදායන් එක් රැස් කරමින් වීදි සරන ජනරජ පෙරහර පෙබරවාරි 19 වනදා රාත්‍රියේ මහනුවර නගරයේ දී ශ්‍රී දළදා මාළිගාවේ පූර්ණ දායකත්වය සහිතව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
නිදහස සම්බන්ධ විනාඩි 30ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර සියලු සිනමාහල්වල හා රංග ශාලාවල ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇති අතර තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් “නිදහස" තේමාව කරගත් කෙටි නාට්‍ය, දේශාභිමාන ගීත, චිත්‍ර තරග ඇතුළු නිර්මාණ තරගාවලියක් මැයි මාසයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙරට අභිමානය විදාහ දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්.එස්. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මෙරට ඓතිහාසිකත්වය පිළිඹිබු කෙරෙන කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 04 වනදා සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වීමට නියමිතය.
නිදහස පිළිබඳ පුවත්පත් වාර්තා හා වෙනත් ලිපි ඇතුළත් ග්‍රන්ථයක් ද නිදහස් දින ජාතික උත්සවයේ දී එළිදැක්වීමට නියමිත අතර 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් විශේෂ මුද්දරයක් සහ නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා, නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මැතිතුමා හා නිදහස් පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍ය මොහොමඩ් අලිජින්නා මැතිතුමාගේ සේයා රූ ඇතුළත් දුර්ලභ ගණයේ විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතය. එමෙන්ම රුපියල් 1000ක වටිනාකමකින් යුත් විශේෂ සමරු කාසියක් ද නිකුත් කෙරේ.
ජනවාරි 01දා සිට ක්‍රියාවට නංවන ලද “නාගරික වනාන්තර" සංකල්පය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පැවැත්වෙන නිදහස් දින සැමරුම් පාපැදි සවාරිය ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 01වනදා දක්වා පැවැත්වේ.
මීට අමතරව පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් නිදහස් දින සමරු උත්සව පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙන අතර මහජන උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ජාතික උද්‍යාන සහ ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සතු ජාතික උද්‍යාන ජාතික නිදහස් දිනයේ දී මහජනතාව සඳහා නොමිලේ විවෘත කෙරේ.
අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02ක් සඳහා මසකට එක් පවුලකට කිලෝ 10 බැගින් මාස 02ක කාලයක් සහල් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවිමට නියමිත අතර දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමත් සමග ඇරඹෙන රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන්මඟ 2048 වසර් 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන අතර ඉදිරි වසර 25 සඳහා වූ සැලැස්ම ද මෙම ජාතික නිදහස් දිනයට සමගාමීව ක්‍රියාවට නැංවේ.
ඒ අනුව නව ආයතන සහ නීති කිහිපයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා ඉතිහාසය පිළිබඳ ආයතනයක්, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනයක්, කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කෙරේ.
රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය, කෘෂි පර්යේෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් අපේක්ෂිතය.
කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රි පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, ළමා ආරක්ෂණ පනත, දේශගුණික විපර්යාස පිළිබඳ පනත, සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත, වනාන්තර ප්‍රතිරෝපණ සහ වෘක්ෂ ආවරණ පනත හඳුන්වාදීමට නියමිතය.
මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය (ජන ශුන්‍ය ශිඛරය), හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම ඇතුළු ස්වභාවික සම්පත්වල ආරක්ෂාව හා සුරක්ෂිතතාව වෙනුවෙන් ජීවමාන අස්ථිත්ව පනත හඳුන්වාදීමට නියමිතව තිබේ. සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නව නීති මෙන්ම මුතුරාජවෙල සංරක්ෂණය වෙනුවෙන් වූ පනතක් ද හඳුන්වාදිමට නියමිතය.
නාගරික වනාන්තර 75ක ව්‍යාපෘතියක් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොළඹින් නිවාස 1996ක ව්‍යාපෘතියක් ද මීට ඇතුළත් අතර ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-01-12

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති : හොඳටම කරලා මාට්ටු !
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන තිබෙන්නේ 2021 දෙසැම්බර් 07 වැනිදා සිට බවද 2022 මැයි 31 දක්වා ඒ වෙනුවෙන් 21, 87, 475ක් ගෙවීමට වවුචරයක් නිකුත් කර තිබු බවද එසේ තිබියදි බැංකු ගිණුමෙන් 30,61,165 ක් ගෙවා තිබුණ බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වාහනය 2021 දෙසැම්බර් 07 සිට 2022 ජනවාරි 25 දක්වා වෙනත් ආයතනයක් සතුව තිබුණක් බවද පසුව කොමිසම ගිවිසුම්ගත සමාගම වෙත පවරා ඇති බවද එසේ වුවද කොමසම කුලි මුදල් වාහනය අයිති සමාගම වෙත නොගෙවා වාහන අයිතිය තහවුරු කර නොගත් වෙනම පුද්ගලයෙකුට ගෙවා ඇති බවද එහි සඳහන් වේ.
එසේම රාජ්‍ය ආයතන වල මෙවැනි ගෙවීම් නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ඔහුගේ ගිණුමට පමණක් ලෙස රේඛනය කරන ලද චෙක්පත් මගින් සිදුකළ යුතු බවද එසේ තිබියදි මෙම පුද්ගලයාට මුදල් මගින් ගෙවීම් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
එසේම ඒ වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් පත්‍රයේ සේවා සැපයුම්කරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඉල්ලුම්කරුගේ අත්සන, වාහන කුලී ගෙවිය යුතු කාල පරිච්ඡේදය, හා ගාස්තුව සඳහන් කර නොතිබුණ බවද එය කොමිෂන් සභාවේ පරිඝනක ඇසුරෙන් සකසා තිබු බව නිරීක්ෂනය වූ බවද එහි මුදල් චෙක්පතක් රේඛනය නොකර ගෙවන ලෙස දක්වා තිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම ආයතනයෙන්ම ඉහත අංක දරණ වාහනයම ලබාගැනීම සඳහා කොමිසම 2022 ජුනි 08 දින 2022 ජනවාරි ලැබු ලංසුවක් අනුව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් එම ගිවිසුම අනුව කොන්ත්‍රාත්කරුගේ ආයතනයේ ලියාපදිංචි අංකයක් නොතිබුණ බවද , අධ්‍යක්ෂකවරයෙක් ලෙස අත්සනක් යොදා තිබුණද ඔහුගේ නමක් හැඳුනුම්පත් අංකයක් සඳහන් නොවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ බව සඳහන් වන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවකය.
-lankadeepa
Page 217 of 449