V2025

පුවත්

සමෘද්ධිය සති දෙකක් ප්‍රමාද වෙයි !

සමෘද්ධි දීමනාව සති දෙකක් ප්‍රමාද විය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී සඳහන් කෙරුණු ආකාරයට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ. ඒ අනුව සියලු අමාත්‍යංශවලට 2023 අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 05 ක් කපා හැරීමට ද යෝජනා වී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර විචාරකයන් පවසන්නේ, දැඩි මුල්‍ය දුෂ්කරතාවක සිටින අතරේ විපක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා සිටීම නියත වශයෙන්ම තිබෙන ආර්ථික පීඩනය තවදුරටත් උත්සන්න කිරීමක් වනු ඇති බවය. එසේම පළාත් පාලන ජන්දයක් පැවැත්වීම තුළ කිසිම ආකාරයට ආණ්ඩු වෙනසක් සඳහා ද අවස්ථාව නොමැති බවත්, එබැවින් දුෂ්කරම මොහොතේ පළාත් පාලන මැතිවරණයක් වෙත යාම දේශපාලන පක්ෂ කිහිපයකට අවශ්‍යව තිබීම ජාතික අවාසනාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා ගැන : තීන්දුවක් අරගෙන !

රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා.මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අධියරයන් වශයෙන් වැඩපිළිවෙලක් මේ වන විට අදාල අමාත්‍යාංශ සමඟ සාකච්ඡා මට්ටමින් පවතී.

ආදර්ශනී කරඳනගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි !

ආශූ මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශනී කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(10) ප්‍රතික්ෂේප කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවත් ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

ආදර්ශනී කරඳන වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

මෙසේ අත්අඩංගුවට පත්වූවවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ආශු මාරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන හෙයින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බවය. එබැවින් අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය විමර්ශන කටයුතුවලට සහාය දීමක් ලබානොදෙන හෙයින් එම අවස්ථාවේදී ඇයට ඇප නියම කරනු ලැබුවවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවය.

මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කර සිටියේ මෙලෙස අදාළ පාර්ශව වල කරුණු දැක්වීමෙන් අනතුරුවය.

පුංචි ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනක වියදම බිලියන 72ක් : කොහේ තියෙන සල්ලිද මේ ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ජනතාවගේ දුක ගැන කිඹුල් කඳුළු හෙලන දේශපාලන පක්ෂ සැබෑ ලෙසම ජනතාවට ආදරේ නම් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවන්නට පාවිච්චි කළ නොහැක්කේ මන්දැයි ඔවුන් එහිදී ප්‍රශ්න කර ඇත.

දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මෙම වියදම දරන්නට සිදු වනුයේ මැතිවරණය සඳහා රජයට දරන්නට සිදුවන වියදමට අමතරව බව ද අදාල විශ්ලේෂක කණ්ඩායම රජයට යොමු කළ ලිපියේ සඳහන් වේ.

ආර්ථික විශ්ලේෂක කණ්ඩායම සංඛ්‍යා දත්ත සහිතව කරුණු දක්වමින් සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී එක අපේක්ෂකයකුට අවම වශයෙන් රුපියල් ලක්ෂ තිහක් වියදම් වෙතියි උපකල්පනය කළහොත් එක දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් 8000 සඳහා බිලියන 24 ක් හෙවත් රුපියල් කෝටි 2400ක් වියදම් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් මෙලෙස එක් පක්ෂයකින් බිලියන 24 බැගින් රුපියල් බිලියන 72ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන බව ආර්ථික විශ්ලේෂක වාර්තාවේ සඳහන් වේ. අත් පත්‍රිකා මුද්‍රණයේ සිට මුද්‍රණ කටයුතු ආදී අනෙකුත් වියදම් ගත් කළ එක් අපේක්ෂකයෙකුට මෙවැනි මුදලක් වැයවෙනු ඇතැයි ඔවුන් ගණන් බලා තිබේ.

මෙම මුදල සමෘද්ධිය ලබා දීමට රජයට වැයවන වියදමෙන් සියයට 50ක් පමණ බව පවසන ආර්ථික විශ්ලේෂක කණ්ඩායම රට දරුණු ආර්ථික අනතුරක පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනාගෙන වැඩ නොකලොත් රටේ සමස්ත ජනතාවට ම එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇතැයි සඳහන් කරයි.

රජයට කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ ළමා මන්දපෝෂණය කුසගින්න දරිද්‍රතාවය සහ විරැකියාව වැඩිවෙමින් පවතින සමයක දේශපාලන පක්ෂ මෙන්ම රජය කළ යුත්තේ යම් කැපකිරීමක් කොට ආර්ථීකය නැමැති කෝච්චිය හරි පීල්ලට දමා ගැනීම බවයි.

මේ මොහොතේ පටු දේශපාලන වාසි තකා කටයුතු කළහොත් මෙතෙක් පසුකර පැමිණි යුගයටත් වඩා අන්ත තත්ත්වයකට රට ඇද වැටීමට ඉඩ තිබෙන බව ද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජනතා නියෝජිතයන් යැයි කියන අය ඡන්දයක දී වියදම් කරන්නේ ජනතාවගෙන්ම වංචා කළ මුදල් යැයිද ඔවුන් එලෙස මුදල් වියදම් කරන්නේ වියදම් කලා මෙන් තවත් කිහිප ගුණයක් ජයගත් පසුව ඉපයීමේ අරමුණින් යැයිද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජයග්‍රහණය කරනවා යැයි සිතන පක්ෂයක් වටා ව්‍යාපාරිකයන්ද පෙළ ගැසෙන්නේ ජයගත් පසුව තවත් මල්ල තර කර ගැනීමට බව කී විමලරතන හිමියෝ මෙවැනි විකෘති තත්ත්වයන්ට මුහුණදීමට ලංකා ආර්ථිකය ශක්තිමත් නැති බව රජය අවබෝධ කර ගත යුතු යැයිද සදහන් කරති.

ජනහද හදුනන මහජන බැංකුවට චෝදනාවක් !

සිය බැංකුවෙන් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති ණය සදහා පොළී අනුපාත වැඩි කිරීමට ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

සිය බැංකුවෙන් ණය මුදල් ලබාගත් පාරිභෝගිකයින්ට මේ බව දන්වමින් ලිපි නිකුත් කිරීම මහජන බැංකුව විසින් ආරම්භ කර ඇති බවත් පවසන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි .

කිසියම් පාරිභෝගිකයෙකු බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමේදී එම ණය මුදලට අදාල බැංකු පොළිය පිළිබදව අනෙක් වාණිජ බැංකුවලින්ද විමසීමක් කරනු ලබයි. ඒ අනුව අඩුම බැංකු පොළියක් අයකරනු ලබන බැංකුවකින් තමාට අවශ්‍ය ණය මුදල ලබා ගැනීමට කටුයුතු කරන අතර තමන්ට ගෙවිය හැකි වාරික මුදල මත ණය ලබා ගැනීමද සිදු කරනු ලබයි. එසේ තිබියදී ණය මුදල ලබාගත් පසු පොළි අනුපාත ඉහළ දැමීම පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණකි.

ණය පොළී අනුපාත ඉහළ දැමීම නිසා තමන්ට ගෙවන්නට සිදුවන වාරික මුදල වැඩිවන අතර රටේ උද්ගතව ඇති ආර්ථික තත්වයන් හමුවේ එම මුදල ගෙවීම පාරිභෝගිකයින්ට දුෂ්කර වී තිබේ.

රට මුහුණදෙනු ලබන ආර්ථික අවපාතය හමුවේ ණය ලබාගත් පාරිභෝගිකයින් විසින් ණය වාරික ගෙවීමේ අඩුවීමක්ද දක්නට ලැබෙන මෙම අවස්ථාවේ ලබා ගත් ණය සදහා ණය පොලී අනුපාත වැඩි කිරීමට කිසියම් බැංකුවක් තීරණය කරයි නම් එය අසාධාරණ කෲර හා අනීතික තීරණයකි.

ලබාගත් ණය සදහා බැංකු පොළී අනුපාත වැඩි කිරීම සදහා මහබැංකුව කිසිදු අවසරයක් ලබා දී නැති අවස්ථාවක මහජන බැංකුව විසින් සිය පොළී අනුපාත වැඩිකිරීම සදහා කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර අදාල නීති විරෝධී, සදාචාර විරෝධී, කෲර තීරණයට එරෙහිව අපි අපිට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නෙමු.

මහජන බැංකුවේ ඉහළ නිළධාරීන්ගේ ආදායම් බදු පවා බැංකුව විසින් ගෙවා දමමින් සිටියදී පාරිභෝගිකයා සූරා කෑමට කටයුතු කරමින් ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව ලෙස තවමත් තම බැංකුව හදුන්වාදීමට කටයුතු කිරීම පිළිබදව මහජන බැංකුව ලැඡ්ජාවිය යුතුය. ‘’ජනහද හදුනනවා’’ නම් ජනතාවට මෙම අවස්ථාවේ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි බව හදුනන්නේ නැත්තේ ඇයිද? යන්න අපි ප්‍රශ්ණ කරමු.

ලබාගත් ණය මුදල් සදහා බැංකු පොළි අනුපාත වැඩි කිරීමට මහජන බැංකුව ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි රජයට බලකරමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මොනරාගල SSP ගැන පරීක්ෂණ CID යට !

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව සඳහන් කර සිටින්නේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාරගේ නිල රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ ජීප් රථයක් හා භූගත ලෝහ වැනි ද්‍රව්‍ය නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මොනරාගල බලා පිටව ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අලි පොහොට්ටු සන්ධාන සාකච්ඡා සාර්ථකයි !

පළාත් පාලන ජන්දය කැඳවීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා ඇති අතර එය සාර්ථක බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණ පාර්ශ්වය නියෝජනය කරමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ රෝහිත අබේගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ, සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීව ඇත.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහභාගීව ඇත්තේ එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , එජාප ජාතික සංවිධායක සාගල රත්නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් ය.

මෙම මුලික වටයේ සාකච්ඡාවේදී තෝරාගත් පළාත් පාලන ආයතන සඳහා එජාප අලියා ලකුණින් සහ පොදුජන පෙරමුණට වැඩි වාසි ඇති පළාත් පාලන ආයතන සඳහා පොහොට්ටුව ලකුණින් මෙන්ම තවත් තෝරාගත් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරග කිරීමට මුලික එකඟතා ඇතිවූ බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම මූලික එකඟතා මත ඊළඟ සාකච්ඡා වටයක්ද සංවිධානය කර ඇති අතර එය හෙට (10) පැවැත්වෙන බවත් සඳහන් කරන දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සඳහා දෙපක්ෂයේම පළාත් සහ දිස්ත්‍රික් නායකයන් ද සහභාගීකර ගන්නා බවය.

අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද?

අබ මල් රොනක තරම් හෝ මොළයක් ඇති අයකුට රට වැටී තිබෙන ප්‍රපාතයේ ගැඹුර වටහා ගැනීම අසීරු නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කිරීම සිය ජීවිතයේ පරම අරමුණ කරගත් තක්කඩියන්ට රටේ ඉරණම ගැන වගේ වගක් නැත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වගකිව යුත්තෝ යනු විනාශකාරයෝ නැත්නම් තක්කඩියන් වශයෙන් හැඳින්වීම අසාධාරණදැයි අපට නොහැඟේ.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් සමයේ බෝනස් ගෙවා ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතන දෙකෙහි සභාපතිවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.

මුදල් අමාත්‍යාංශයේ නියෝගවලට අවනත නොවීම තුළම එම ආයතනවල සභාපතිවරුන්ගේ උද්දච්ඡකම මෙන්ම දඩබ්බරකම පැහැදිලිය. රට මේ අඳුරු ආගාධයට ඇද වැටුණේද බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත්ව රටට මහා බරක් වී තිබෙන්නේද එබඳු පරිපාලනයන් නිසාමය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද දවසේ කෙතරම් පාඩුවක් ලබන්නේ ද යන්න කවුරුත් දන්නා කාරණාවකි. ඉන්ධන ඇඟට හලාගෙන ගිනි තබා ගන්නට බැරිකමට වරින්වර වැඩිවන ඉන්ධන මිල ගෙවමින් ජනයා ඉන්ධන ලබා ගනිති. එසේ ලබාගන්නා මුදලින් ආයතනය ලාභ ලබා ඇතැයි එම සමාගමේ ලොක්කන් වාර්තාවක් සකස් කර එම සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇත. අප ප්‍රවෘත්තියට අනුව ඉන්ධන සංස්ථාව ලාභ ලබන බවට දැක්වූ වාර්තාවට සංස්ථාවේ ණය ඇතුළත්වී නොමැති බව අප සඳහන්ය. මෙසේ විකෘති කරන ලද වාර්තාවෙන් ගෙවා ඇති බෝනස් මුදල රුපියල් කෝටි 120 කට අධිකය.

ඉන්ධන පෝලිම්වල සාපිපාසිතව මියගිය පුරවැසියන්ගේ වගකීම බාර ගැනීමට කිසිවකුත් නැත. ඉන්ධන නෞකාවලට ගෙවීමට ඩොලර් නොමැතිව එම නෞකා සති ගණන් නතර කර තැබීමට සිදුවේ. ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි. එසේ තිබියදී නිවැරදි දත්ත වසන් කර සකස් කරන ලද වාර්තා උපුටා දක්වමින් රුපියල් කෝටි 1200 ක මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ගෙවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන වචනය ඇසෙන විටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඇඟලොමු ඩැහැගැන්වෙන බව රහසක් නොවේ. ඒ තරමට එම සමාගම මෙරට ජනයාට බරක් වී ඇත. කිසිදාක ගුවන් යානයකට පය නොතැබූ අන්ත දිළිඳු මිනිසාත් ගුවන් යානයක් නොදුටු නූපන් දරුවාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවැත්ම වෙනුවෙන් බදු ගෙවති. තුන් වේල එක වේලට අඩු කර ගත් දිළිඳු ජනයාගෙන් සූරා ගන්නා බදු මුදලින් එහි ලොක්කෝ සුර සැප විඳිති. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම සමාගමේ සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ගෙවා ඇති බවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෝ 5800 ක් සිටිති. ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇත. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 58 කි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කරගෙන ඇති බවය.

අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ නියමයන්ට පිටුපා මෙසේ බෝනස් ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට නියමිත බවය. එසේ නිදහසට කරුණු විමසීමට පෙර මෙම සභාපතිවරුන් දෙදෙනා පියවි සිහියෙන් සිටීද යන්න පරික්ෂා කර බැලිය යුතුය. නැතහොත් මේ තරම් අසීරු අවස්ථාවක මෙතරම් වගකීම් විරහිතව තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති හෙයිනි.

සේවකයන්ට බෝනස් දීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැත. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ පහන් හැඟීමකි. එහෙත් මේ ආකාරයට බෝනස් දීමට යාමෙන් ඉදිරියේදී බෝනස් නොව සේවකයන්ට වැටුප හෝ ගෙවීමට නොහැකි වනු ඇත. බිමට සමතලා කර ඇති මෙම ආයතන කෙළින් කර ලාභ ලබන ආයතන බවට පත් කර බෝනස් ලබා දෙන්නේ නම් මෙරට ජනයා කිරිබත් කමින් සතුට සමරනු නියතය. මේ මොහොතේ මෙරට ජනයාට එසේ කිරිබත් කා ප්‍රීති වීමට ඇති එකම අවස්ථාව අදාළ තක්කඩි සභාපතිවරුන්ට මතක සිටින දඬුවමක් ලැබීම පමණි.

-lankadeepa

ලංකාවේ වන ආවරණය 16% දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි !

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර සඳහන් කළේය.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන අතර, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී සිදුකළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුල ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසිය.

මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුල වනාන්තර හෙක්ටයාර 872,970 ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය වසරකට හෙක්ටයාර 124,710 ක් වන අතර දිනකට හෙක්ටයාර 341ක වන විනාශයක් වියයුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදුවේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මගින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිඳු ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතු වලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එදා ලසන්ත කවුද කියලා අහපු කෙනාට දැන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අහගන්න පුළුවන් නම් හොඳයි !

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට (08) වසර 14ක් සපිරෙයි.

අද දින ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පොදු සුසාන භූමියේ දී පවුලේ ඥාතීන් හා හිතවතුන්ගේ මූලිකත්වයෙන් ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර සහ පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කෙරිණි.

ඔහු ඇසුරු කළ හිතවතුන් සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සාමාජිකයින් ඇතුලු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ.

එහිදී ප්‍රකට රංගවේදියෙකු වන පීටර් දී අල්මේදා, ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග අනුස්මරණය වෙනුවෙන් පැමිණ සිටි පිරිස ඇමතු අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මාධ්‍යට අදහස් දැක්වීමක්ද සිදු කළේය.

https://www.bbc.com/sinhala/sri-lanka-64202315

පොහොට්ටු - අලි සන්ධාන සාකච්ඡාව අද : දිස්ත්‍රික්ක 3 කට ඇප මුදල් හෙට !

පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට හෙට (9) ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂයේ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට හෙට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතව ඇත.

තවද පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ ජනවාරි 04ට පසුදින එනම් ජනවාරි 05 වනදා ද පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැම්පත් කිරීම සිදුකළ අතර ඒ නැකතටය.

 කෙසේ වුවත් මේ වන විට පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුවේ පාර්ශ්වයන් මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා පොහොට්ටු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද (08) පස්වරුව්දී හමුවීමට නියමිතය.

එම සාකච්ජාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාගර කාරියවසම් සහභාගී වන බවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම් හා වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇති බවත් වාර්තාවේ.

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ, පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සමග අද (08) පැවැත්විමට නියමිතව ඇති සාකච්ජාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි.

මෙම සාකච්ජාව සම්බන්ධයෙන් 'නිවුස්ෆස්ට්' කළ විමසීමකදී පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා ඇත්තේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08) විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවත්, එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බවත් ය.

පුංචි ජන්දය මාස 4කට කල් යයි ?

යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වන දිසාපතිවරුන් 7 දෙනකු විශ්‍රාම ගැනීම හෝ ස්ථාන මාරු ලැබීම, වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම යන හේතු මැතිවරණය කල් දැමීම සඳහා සලකා බැලෙන ප්‍රධාන හේතු බව වාර්තා වන බවද එහි සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනා අතර පූර්ණ එකඟතාවක් නොමැති බවට වාර්තා වන තොරතුරද ඡන්දය කල් දැමීමට හේතු වී ඇතැයි දැනගන්නට ඇති බවද වාර්තා කරන එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ගැනීම සඳහා පැවැත්වූ කොමිෂන් සභා රුස්වීමේදී සභාපති නිමල් පුංචිහේවා, සාමාජිකයන් වන එම්.ඒ. මොහොමඩ්, පී.එස්.එම්. චාල්ස්, කේ.පී.පී. පතිරණ හා එස්.බී. දිවාරත්න යන මහත්ම මහත්මීන් අතර බෙදීමක් හටගෙන ඇතැයි පසුගියදා මාධ්‍ය මගින් ද වාර්තා කර තිබිණි

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්ත්වය ගැන මැතිවරණ කොමිසම කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වීය. ඒ ගැන නීතිපතිවරයාගේ මතයද විමසා ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව නම් සඳහන් කිරීමට අකමැති වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සියලු දෙනාගේ පූර්ණ එකඟතාව මත මැතිවරණය ප්‍රකාශ කළ බවය. අවශ්‍ය නම් ඒ ගැන ඔවුන්ගෙන් විමසා බලන ලෙස ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව අප මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් කිහිප දෙනකුම ඇමතූ නමුත් පිළිතුරු දුන්නේ කොමසාරිස් කේ.පී.පී. පතිරණ මහතා පමණි. ඔහු සඳහන් කළේ තමන් ඇතුළු කොමිසම ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව කටයුතු කර ගැසට් පත්‍රය නිකුත් කළ බවය.

කෙසේ හෝ පවත්නා ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණ පනතේ අංක 76(අ) වගන්තිය අනුව ඡන්දය මාස 4කින් පමණ කල් දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

අඩු මුදලින් සංචාරයකට : හොඳම රටවල් අතරට ශ්‍රීලංකාව !

විශාල මුදලක් වැය නොකරමින් පෙබරවාරි මාසයේ සිට නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ සමඟ වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයිද එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනවාරි මස මොල්ටාව , පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම ලෝකයේ රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

බණ්ඩාරනායක ජන්ම දින සමරු උත්සව 2ක් : දෙතැනක දෙපිරිසක !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වන ජන්ම දින සැමරුම අදට (08) යෙදී ඇත.

ඒ වෙනුවෙන් අද පෙරවරුවේ සැමරුම් උත්සව දෙකක් පැවැත්වීම විශේෂත්වයක් විය.

එක් සමරු උත්සවයක් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු අතර ඒ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

අනෙක් සමරු උත්සවය ගාලු මුවදොර පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණි.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන බණ්ඩාරනායක දියණියන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මැකොස සහ නිරීක්ෂණ සංවිධාන අතර සාකච්ඡාවක් !

ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ජනවාරි 11 වනදා (බදාදා ) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව මෙය වන අතර එහිදී මැතිවරණ නීතිය, මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව සහ ගැසට් නිවේදන පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධානද තීරණය කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පවසා තිබුණේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම සඳහා අතරමැදි පෙත්සම්කරුවන් ලෙස නිරීක්ෂණ සංවිධාන ඉදිරිපත් වීමට නියමිත බවය.

සුරාබදු 2022දී හොඳටම කරගෙන !

සුරාබදු දෙපාර්තමේන්තුව සිය ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා ඇති බව වාර්තා වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරන ආකාරයට මෙසේ උපයා ඇති ආදායම රුපියල් බිලියන 170ක් කි.

එසේම 2023 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් සඳහන් වන ආකාරයට මේ ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුව 2022 වසරේ වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමකය.

මේ අතර දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ද එම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට වෙළඳපොළේ ඇති මත්පැන් වර්ග රැසකට අදාළ ප්‍රමිති සහතික ලබා දී ඇති බවත් දැනගන්නට ඇත.

වෙළෙඳ ගිවිසුමේ සාකච්ඡාවකට තායිලන්ත නියෝජිතයින් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supthaweethum) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විතය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59 ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355කි. තායිලන්තයට වාසිදායක වෙළඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා තායි වෙළඳපොල පමණක් නොව අනෙකුත් ආසියාන් (ASEAN) වෙළඳපොලවල අපගේ අපනයන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳාමට පවතින තීරුබදු නොවන වෙළඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.

ශ්‍රී ලංකාවේ මැණික්, තේ (කළු) යනාදී අපනයන සඳහා විශාල විභවතාවයක් තායිලන්ත වෙළඳපොල තුල පවතින අතර මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳාම පුළුල් කරගැනීමට හා නව ක්ෂේත්‍රවල පවත්නා අවස්ථා සක්‍රීය කිරීමට මාර්ග විවෘත වනු ඇත.

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගී වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත්ය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.


නොරොච්චෝලේ අක්‍රීය ජනන යන්ත්‍ර යළි පණ ගැන්වේ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (ජන. 8) සිට යළි ත් සක්‍රිය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය අක්‍රිය කර තිබිණි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 270කි.

ඊයේ (ජන. 7) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වූ අතර, එය, මෙම වසරේදී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.

Page 218 of 448