V2025

පුවත්

අරගලයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !

ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අරගලකරුවන් විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාධ්‍යවේදීන්ට සහ නීතීඥවරුන් පිරිසකට පහර දීම පිළිබඳව ය.

ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා හමුදාව සහ පොලීසිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර එම ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ දී මෙම ගැටුම්කාරී තත්වය ඇති විය.

රජයේ සේවකයන් තව මාසයක් නිවසේ සිට රාජකාරී

රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

image 7d7b052510

 

කොරෝනා යළිත් හිස ඔසවයි

කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය රෙගුලාසී නිසි පරිදි අනුගමනය කරන ලෙසය.

මේ අතර ඊයේ කොරෝනා ආසාදිතයින් 72 ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කළේ ය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස් අටසිය හතලිස් හතරක් දක්වා ඉහළ යනු ඇත.

කොරෝනා ආසාදිතව සිටි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (23) සඳහන් කළේ ය.

මේ අතර සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දිර්ඝ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව ෆයිසර් කොවිඩ් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, සෙල්සියස් අංශක 90 – 60 දක්වා උෂ්ණත්වයක ගබඩාකර තිබූ එන්නත් කල් ඉකුත්වීමේ කාලය මාස 9 සිට 12 දක්වා දීර්ඝ වනු ඇත.

QR කේතයට ඉන්ධන දෙන නියමු ව්‍යාපෘතිය : දීප ව්‍යාප්ත ඉන්ධන හල් මෙන්න !

QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (23)සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25 ක ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි .

පසුගිය 21 වනදා සිට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සිදුකෙරුණේ කොළඹ තෝරාගත් පිරවුම්හල් කිහිපයකදී පමණය.

එහෙත් ලබන සඳුදා සිට QR කේතය මත පදනම්ව දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බැවින් මෙලෙස අද දිනයේ නියමු ව්‍යාපෘතිය සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කෙරෙන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන්ධන හල් ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

අදාළ ඉන්ධන හල් ලැයිස්තුව පහත දැක්වෙයි .QR

 

 

ධම්මිකගේ පුරප්පාඩුවට : බැසිල්ගේ ගෝලයන් 03ක් පොර කති !

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි .

ඒ තිදෙනාම පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ ඉදිරි පෙළ ගෝලයන් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට , රේනුක පෙරේරා , විලී ගමගේ , සිරිපාල අමරසිංහ යන තිදෙනා මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සීතල යුද්ධයක් අරඹා ඇත.

මහින්ද කැමති ධම්මිකට : ජනාධිපති වෘත්තීයවේදියකු ඉල්ලලා !

කෙසේ වුවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ කැමැත්ත ධම්මික පෙරේරා තවදුරටත් මන්ත්‍රී ධූරයේ තබාගැනීම බවත් වාර්තා වෙයි .

ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර ඇති බවත් , එහිදී ධම්මික පෙරේරා වෙනුවෙන් සුදුසු අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ධම්මික පෙරේරා ගේ රැඳී සිටීම තමන්ට ගැටලුවක් නොවන නමුත් ඔහු ඉල්ලා අස්වෙයි නම් ඊට වැදගත් වෘත්තීයවේදියකු නම් කිරීමට කටයුතු කරන ලෙසය.

අරලියගහ මන්දිරය තාමත් භාවිතයට ගන්න අමාරු මට්ටමක : මන්දිරවල භාණ්ඩ රැසක් අතුරුදහන් !

අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .

සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පවසා ඇති අග්‍රාමාත්‍යවරයා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කර තිබේ.

ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත .

මන්දිරවල භාණ්ඩ අතුරුදහන් !

මේ අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන අරගලකරුවන් අත්පත් කරගැනීම සමග හොරු විසින් ඒවායේ තිබූ පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් සොරාගෙන ඇති බවත් වාර්තා වෙයි .

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එකී භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇති බවය.

ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැති බවත් වාර්තා වෙයි .

මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

 

සර්ව පාක්ෂික වෙනුවට සර්ව නියෝජිතයන් : සති දෙකක් තුළ ස්ථිර කැබිනට් මණ්ඩලයක් !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පොදුජන පෙරමුණ එහි ප්‍රධාන පක්ෂය ලෙස නියෝජනය වනු ඇති බවත් ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ජනාධිපති ධූරය ලබාගන්නට සහය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජනබලවේගය පක්ෂය, මුස්ලීම් පක්ෂ නියෝජිතයන් , දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ දිගම්බරන් , ඇතුළු පිරිසක් එහිදී අමාත්‍ය ධූර ලබනු ඇති බවත් වාර්තා වෙයි .

එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල වෙතත් ජනාධිපති විසින් පෞද්ගලිකව ආණ්ඩුවේ පාර්ශ්ව වීමට ආරාධනා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . එකී ආරාධනය පොදුවේ පක්ෂ වලට සිදුවනු ඇති බවත් , එහිදී පක්ෂ නායකයන් එකඟතාව පළනොකලහොත් නියෝජිතයන් මට්ටමෙන් ආණ්ඩුවේ තනතුරු ලබාදීමට සූදානමක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වෙයි .

එහිදී අග්‍රාමාත්‍ය ධූරය වෙනස් නොවනු ඇති බවත් අග්‍රාමාත්‍ය ලෙස දිනේෂ් ගුණවර්ධන දිගටම කටයුතු කරනු ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් නව ආණ්ඩුව පිහිටුවීමේ දී වත්මන් අමාත්‍යවරුන් ගේ විෂය පථ වෙනස් වීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් සඳහා ලංගමයෙන් තෙල්

ලබන සදුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී. 

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව අද (23) පස්වරු 3.00 සිට දිවයින පුරා පිහිටි සියලුම ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයෙනු ඇති.

357c8390 ed4a 45dc a470 f9c09c780601

ගැසට් කළ බිම අරගලයට : මන්දිර කැඩූ 100ක් හඳුනාගෙන !

ගෝල්ෆේස් හී විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති භූමිය තුළ අරගලකරුවන්ට ඔවුන්ට කැමති කාලයක් රැදී සිටීමට ඉඩ දීමට ආරක්ෂක බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි .

ඒ උද්ඝෝෂණ පැවැත්වීමට වෙන්කර ඇති කොටස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයටපත්කර ඇති ස්ථානයක් වන නිසාය .

ඒ අනුව ආරක්ෂක බලධාරීන්ගේ අදහස වී තිබෙන්නේ වෙන්කර ඇති ස්ථානයේ කොපමණ කාලයක් සිටියත් කිසිම ගැටළුවක් නොමැති බවය.

එහෙත් එම ස්ථානයට අදාළ නොවන ස්ථානවල ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගැනීමට ආරක්ෂක අංශ වලට සිදුවිය හැකි බවත් ඔවුන් පවසයි .

මන්දිරවල යකානැටූ 100ක් ගැන හොයාගෙන !

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි වන ආකාරයෙන් කටයුතු කළ සහ එම ස්ථානවල තිබුණු වටිනා කියන භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ඡායාරූප හා වීඩියෝ මඟින් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවය .

එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට අවශ්‍ය බුද්ධි අංශ සහය ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි . ආරම්භ වී තිබේ.

එම විමර්ශන කටයුතු අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ඇති බවත් වාර්තා වෙයි.

 

එජාපයෙන් වජිර පාර්ලිමේන්තුවට !

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.

පසුගිය සමයේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම අර්බුදය සමනය කරන්න නම් රනිල් වික්‍රමසිංහ රටේ ඉහළ නායකත්වයට ගෙනා යුතු බව ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයෙකු ලෙස එජාප පාක්ෂිකයින් වජිර අබේවර්ධන හඳුන්වයි.

එසේම පසුගියදා පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මන්ත්‍රී ජන්ද සකස් කිරීමට සැලකිය යුතු මෙහෙයක් වජිර අබේවර්ධන ගේ කොළඹ නිවසේ සිට දියත් වූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෙහෙයුම කළේ ජනාධිපති කාර්‍යාලය නිදහස් කරගන්න !

ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර ගැනීමේ මෙහෙයුම ආරක්ෂක අංශවලට දියත් කිරීමට සිදුවන්නේ අරගලකරුවන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සාමකාමී ලෙස ඉවත් නොවීම හේතුවෙන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (22) නිකුත්කර ඇත.

අදාළ නිවේදනය තුළ රාජකාරි සඳහා ගිය නිලධාරීන් වෙත අපහාස , පරිභව කිරීම , හදිසි නීති තත්ත්වය , ජනාධිපති කාර්‍යාලයේ වැදගත්කම , එහි ලියකියවිලි වල ආරක්ෂාව , එය අත්පත් කරගැනීම නීති විරෝධී බව ඇතුළු කරුණු රැසක් ආරක්ෂක අංශ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත .

අදාළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි .

police p

අත්අඩංගුවට පත්වූ බෝපගේ ඇතුළු 09 : ඇප මත නිදහස් !

ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවීමෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර අද (22) නියෝග කළේය.

ඒ එක් අයෙකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මතය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවා ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කල අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.

මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිම, පොදු දේපළ වලට හානි කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, රාජ්‍ය නිලධාරියෙකුගේ අණට අවනත නොවීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

රනිල්ට ජනාධිපති වෙන්න: පාර හදපු අරගලයට පහරදීම වැරදියි - පාඨලී !

අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් තනි මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට හැකිවූ බවත් එම අරගලකරුවන්ටම මේ ආකාරයට මිලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය එල්ල කිරීම තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

වගකීම ආණ්ඩුව ගන්න ඕන !

“මෙහි වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට, ලිබරල් නායකයෙක් හැටියට අවුරුදු හතළිස් පහක ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කරගෙන, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලුදෙනාම තරහ කරගෙන, ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුණේ.

මේ සිදුවීම සහ මැයි හයවෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනාපු රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැහැ. ඒ දෙකම එක ම සිදුවීමක්.

ඇත්තටම මේ මොහොතේ ඇයි මේ අරගලය මතුවුනේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණියේ. මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කරලා දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසයි.

අරගලකරුවන් අතරත් පොඩි පොඩි ප්‍රශ්න : ප්‍රචණ්ඩ ලක්ෂණ තියෙන්න ඇති !

අරගලකරුවන් අතර පොඩි පොඩි ප්‍රශ්න, ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්න ඇති. නමුත් මේ මාස හයක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙලෙන ප්‍රශ්න, කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියහම, ඒ වගේම බෙහෙත් ශාලාවට ගියහම, බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, භූමිතෙල් ටික නැතුව, දුක් විඳින, මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ, ධීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව, වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව, සහකම්පනය අනිවාර්යෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්නලා තියෙන දුෂ්ටත්වය, මේ පෙන්නලා තියෙන අසීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල් සහගතයි.

ඒ වගේම මේ රට පක්ෂ අතර එකමුතුවක් ඇති කරගෙන, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් පුළුල් කරගෙන, ලෝකයේ ආධාර දෙන ආයතන වලට අත දිගු කරන්න ගිය ඒ සෑම දෙයක්ම මේ වනවිට කෝපයෙන්, ඒ වගේම අපකීර්තිමත් ආකාරයට තරහ කර ගැනීමක් බවට පත්වෙලා. මේය කිසිසේත්ම රටට උචිත තත්වයක් නෙවෙයි.

අරගලකරුවන් භූමියෙන් බැස යමින් හිටියේ !

ඒ වගේම මේ සාමකාමී අරගලකරුවන් ඇත්තටම ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ගේ හිටපු ඇතැම් කොටස් මොන පුරාජේරු කතා කිව්වත් බහුතර ජනතාව ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඉවත් කර ගැනීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුණා. එහෙම තිබියදී ඔවුන්ට එලව, පහර දෙන්න ආරක්ෂක අංශ යොමු කිරීම මගින් තුවක්කු බලය පාවිච්චි කිරීම මගින් පෙන්නලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ ආකාරයටම මේ අන්තවාදී කල්ලිවලට තටු දෙන්නද? ආයුධ සන්නද්ධ විප්ලවයක් ගැන සිහින දකින බලවේග වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්නද කියන එක අපි මතක තබාගත යුතුයි. මේ රටේ මෙවැනිම ආකාරයේ මර්ධනයන් දියත් කරපු අවස්ථාවල, උතුරෙත්, ඒ වගේම දකුණෙත් මේ හැම තැනකම අපි දැකපු දේ තමයි, ආයුධ අතට අරගත්ත ප්‍රතිවිරෝධතාකරුවන් ඇවිල්ලා තිබිච්ච තත්වෙ තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා දහස් ගණන් ඝාතනය වෙලා ඒ වගේම දස දහස් ගණන් විදේශගත වෙලා ඒ වගේම මුළුමනින්ම පරම්පරා ගානක ජීවිත අඳුරේ තැබීම. ඒ නිසා අද අඳුරු දිනයක් ඒ අඳුරු දිනයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියලුම දෙනාට කොන්දේසි විරහිතව එකට එකතු වෙන්නෙයි කියලා අපි ඉල්ලා හිටිනවා.

දූෂිත පවුල සහ ඔවුන්ට සහය දුන් නිලධාරීන් අධිකරණය හමුවට ගේන්න !

ඒ වගේම රාජපක්ෂ තමන්ට කරගන්න බැරි වෙච්ච මේ දුෂ්ට මර්ධනය තමන් විසින් බලයට කැඳවා ගත්ත ජනාධිපතිවරයා ලවා කර ගැනීම ගැන අපි කම්පා වෙනවා. ඒ වගේම අධිෂ්ඨානය තවදුරටත් ධෛර්යමත් වෙනවා. අද ඇත්තටම කළ යුත්තේ කුමක්ද? මේ අරගලකරුවන්ට හමුදාව යොදා පහර දීම හෝ නඩු පැවරීම නෙවෙයි. මේ රට බංකොලොත් භාවයට පත් කරන ලද ඒ පාලක දේශපාලන පවුල, ඒ වගේම ඔවුන්ට සහය දීපු මහා භාණ්ඩාගාරයේ ඒ හිටපු ලේකම්වරු, ඒ වගේම මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පිරිස මේ පිරිස අධිකරණය ඉදිරියට ගෙන ඒමයි. මේ යුක්තියෙන් ඉටුකරලීමට මේ පිරිසට නඩු පැවරීමයි සිදුකළ යුතුව තිබුණේ. විශේෂයෙන්ම අරමුල්‍ය පනත යටතේ මොනිටරි ලෝ ඇප් එක යටතේ වහාම මුදල් අමාත්‍යංශයේ, ඒ වගේම මුදල් මණ්ඩලයේ, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස් වලටයි නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ. ඒ වගේම, අර පිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක, ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාමයි ගෙනාවේ. ඒ අනුව ණය කළමනාකරණය නොකිරීමේ වරදට භාණ්ඩාගාර ලේකම්වරු, මුදල් අමාත්‍යංශ ලේකම්වරු හා නිලධාරීන් අධිකරණය ඉදිරියට යුක්තිය ඉදිරියට පැමිණවීමයි කළ යුතුව තිබුණේ.

කොල්ලකාපු සල්ලි ගේන්න !

රටට වැඩි මිලට ගත්ත බැඳුම්කර මේ ජූලි විසිපස් වැනිදා මහින්ද රාජපක්ෂ ගත්ත මිලියන දාහක ඩොලර් බිලියනයක බැඳුම්කරය එනවා. ඒ බැඳුම්කරවලින් කොල්ලකාපු බිලියන හතකට අධික මුදල විදේශවල සඟවා තිබෙනවා. රට ඇතුලේ සඟවා තිබෙනවා. ඒ පව්කාර සල්ලි අරගෙන මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ වෙනුවෙන් හඬ නැගූ පිරිස් වලට, මේ ආකාරයට සැලකීම මගින් බිය වද්දන්න ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක් කියන එක විතරක් අපි මේ අවස්ථාවේ අවධාරණය කරනවා. නැවතත් අපි අවධාරණය කරනවා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට, සියලුම වෘත්තීයවේදීන්ට, සියලුම ආගමික නායකයින්ට අත්වැල් බැඳගන්න කියලා මේ රටේ ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යාමට.”

– Midea unit

ගෑස් නැවක් ඇවිත් : මේ මාසයේ තවත් නැව් 07 ක් එයි !

මේ වන විට ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගාවී ඇති බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් සඳහන් කළේ මේවනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවයි.

එම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව පැවසූ ඔහු මෙම මාසය තුළ මෙරටට තවත් ගෑස් නැව් හතක් ළගාවීමට නියමිත බවත් පැවසීය .

ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ සූදානම් : අගමැති දිනේෂ් !

මිත්‍ර රටවල් සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .

අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව අද (22) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත .

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේ ය.

අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් ජනාධිපතිවරයා විසින් අද මට පවරනු ලැබුවා. අපේ අත්දැකීම් සම්භාරය එක් කර අපේ මාතෘ භූමියේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් ඉටු කිරීමට කැපවීමෙන් ස්ථිර වැඩ පිළිවෙලක් අනුව වැඩ කරනවා. අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු ඉතිරි සති කිහිපය තුළ අය වැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

අපේ වැඩ සටහන පැහැදිළිව සකස් කර ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී ඕනෑම කොටසකගේ වේදනාව වෙනුවෙන් සාකච්ඡා කරන්න අප කැප වී සිටිනවා. අවිහිංසාවාදීව අත්වැල් බැඳගෙන මාතෘ භූමියේ සියළු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇති කර ගැනීමේ පසුබිම සකස් වී තිබෙනවා.

අපේ අර්බුදවලින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදයයි.

අද කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් පසු අපේ මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කෙරෙනවා. අප ඉදිරියට ගමන් කරන්නේ මහජන සිතුම් පැතුම් සමගයි. දෙවන ලෝක සංග්‍රාමයේදීත් රුසියාව එක පැත්තකත් අමෙරිකාව තව පැත්තකත් බ්‍රිතාන්‍ය තව පැත්තක් මතවාදීව සිටියා. ලෝකය රැක ගැනීම සඳහා පැසිස්ට්වාදය පරාජය කිරීමට ඒ රාජ්‍ය නායකයින් අත්වැල් බැඳ ගත්තා.

විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවාරයාත් මාත් අතර සුහදතාවය තිබෙනවා. විවිධ දේශපාලන මත තිබුණත් අප අතර කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මිස වෛරී පුද්ගලයින් වුයේ නැහැ. ජනාධිපතිවරයා අත්දැකීම් බහුල පුද්ගලයෙක්. සය වරක් අගමැති ධුරය දැරූ අයෙක්.

ගෝල්ෆේස් ප්‍රහාරය හෙළාදකිනවා : හිටපු කතානායක කරූ !

මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට යොමුකරන ලද ගාලු මුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කරගෙන ආරක්ෂක හමුදා යොදවා එල්ල කරන ලද ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන හා අපේක්ෂා කරන සෑම පාර්ශවයක් විසින්ම තරයේ හෙලාදැකිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති , හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි .

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද එකී ක්‍රියාව තරයේම හෙලාදකින බවත් ඔහු සඳහන් කරන අතර ඒ නිවේදනයක් නිකුත්කරමින් ය.

අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ වෙනස් මත දැරීමට හා තම අදහස් පලකිරීමට මෙන්ම සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ඉහළින්ම ආරක්ෂා විය යුතුය. කිසිදු සමාජ තීරුවකට පොදු සමාජයේ අභිලාශයන්ගෙන් බැහැරව හුදකලා අරගලයන්හි නිරත විය නොහැකි බවද අප සියල්ලන්ම පිළිගත යුතුය. ගාලු මුවදොර අරගලය ඉතාමත් සක්‍රීය තලයක පැවැතියේ එම හේතුව නිසාය. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අසීමිත බලයක් දරමින් සිටි පාලකයෙකුට පවා ප්‍රථම වරට රට අතහැර පලායන පසුබිමක් නිර්මාණය වූවේද එකී අරගලය හා ජනතා අභිලාශයන් සමපාත වූ නිසා බවද මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව තිබේ.

අපට වාර්තාගත වන ආකාරයට අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති කාර්‍යාලයෙන් අද දින නික්ම යාමට ඔවුන්ගේ සූදානමක් තිබී ඇත. එසේ නම් එය ඔවුන් ගත් ඉතාමත් බුද්ධිමත් හා නිවැරදි තීරණයක් ලෙස සැලකිය හැකිය. එවන් පරිසරයක් තුළ සිදුකරන ලද මෙම අමානුශික ප්‍රහාරය යුක්ති සහගත කිරීමට කිසිදු පාර්ශවයකට හෝ හැකියාවක් තිබිය නොහැකිය.

මෙම සිදුවීමෙන්ද පෙනී යන්නේ ශිෂ්ට සම්පන්න ආකාරයට අර්බුද හා මතබේද නිරාකරනය කරගැනීමට අප රටේ දේශපාලන සමාජය දක්වන අකමැත්ත හෝ නොහැකියාවයි. මෙම සංස්කෘතිය රටින් තුරන් කිරීම සමස්ථ සමාජයේම වගකීමක් වන අතර ඒ සදහා අන් සියල්ලන්ට පෙර පෙරමුණ ගත යුත්තේ රටේ දේශපාලන බල අධිකාරියයි.

එබැවින් අප මේ රටේ සමස්ථ සමාජයෙන්ම ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීම සදහා අන් සියල්ලටම පෙර සියළු ජන කොටස් අධිශ්ඨානශීලීව පෙරට එමින් මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙසය.

රනිල් අභියෝග කළේ ව්‍යවස්ථාවට - කුමාර් ගුණරත්නම්

ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයකු ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණයේ සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි .

අද (22) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය නොවන නිසා ආණ්ඩුවේ මර්දනයට විරුද්ධ සියලුම දේශපාලන පක්‍ෂ සංවිධානය වියයුතු බවත් පැවසීය .

ජනමතයක් නොමැතිව පස්සා දොරෙන් ජනාධිපති ධූරයට රිංගු පුද්ගලයෙක් ජනතාව මර්දනයට සැළසුම් සකස් කරමින් සිටින බවත් පැවසූ ඔහු මර්දනයට බියවී පලා නොගොස් සංවිධානය වන ලෙස සබුද්ධික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

ගාලුමුවදොර අරගලයට අද අලුයම එල්ල වූ ප්‍රහාරයට සහභාගි වූ ආරක්‍ෂක අංශවල යැයි කියාගත් පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනාගත නොහැකි වන ලෙස වෙස්වලාගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සමහර ආරක්‍ෂ අංශ සමාජිකයන් වෙස්වලාගත් පුද්ගලයන්ගේ චිරස්ථීන ප්‍රහාර වලක්වන ආකාරය ද දැකගත හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

තරු මිසිං වූ රෑ : ගෝල්ෆේස්වල ඇත්තටම මොකද වුණේ ?

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියට අද (22) අළුයම ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් සිදු කරද්දී එම අරගලයේ ප්‍රධානීන් ලෙස කටයුතු කල සමාජ ජාල ක්‍රියාකාරීන්, නළුනිළියන් හෝ දේශපාලන පක්‍ෂ සංවිධායකයන් රැඳී සිට නැතිවීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබේ.

ආරක්ෂක අංශ විසින් එල්ල කරන ප්‍රහාරයකට ලක්ව සිටින අය අතර අරගලයේ නායකයින් සිටින්නේ ඉතාම සීමිත පිරිසකි.

අන් සියලු දෙනාම ඒ මොහොතේ අරගල භූමියේ රැඳී සිට නැත.

මේ අතර සිදුවූ දේ සවිස්තරාත්මක විදියට මෙසේයි.

ගෝල්ෆේස්වල ඇත්තටම මොකද වුණේ?

ගෝල්ෆේස් අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයෙ (21) ගෝල්ෆේස් අරගල භූමියේ මාධ්‍ය කුටියේදී පවත්වා ඇත.

එහිදී බහුතර පාර්ශවයක් පවසා ඇත්තේ දැනට අරගලකරුවන් අල්ලාගෙන සිටින ජනාධිපති කාර්යාලය වහාම භාරදිය යුතු බවත් ජනාධිපති කාර්‍යාලයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි අරගලභූමිය ගෝඨා ගෝ ගම පිහිටා ඇති උද්ඝෝෂණ ස්ථානයට සීමා වියයුතු බවත් ය.

එමෙන්ම අලුත් ජනතාවක් පත්කරගැනීමට ජනතාවට අධ්‍යාපනය ලබා දෙන දේශපාලන සරසවියක් බවට අරගලභූමිය පත්කළ යුතු බව ට ද මතයක් ඉදිරිපත් ව ඇත. කෙසේ වෙතත් පොදු මතය වී ඇත්තේ අද (22) සවස 2 ට ගොඩනැගිල්ල භාර දීමටයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණ කණ්ඩායම එම යෝජනාව ස්ථිර කර ඇත.

ඔවුන්ගේ මතය වී ඇත්තේ වහාම පරිශ්‍රය භාර දිය යුතු බවයි. හෙට දිනය දක්වා කල්දැමීම අහේතුක බවත් හදිසියේවත් අද රාත්‍රියේ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වුවහොත් ජයග්‍රාගීව ගොඩනැගිල්ල බාරදීමට නොහැකිවන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එහෙත් පසුගිය දා ජාතික රූපවාහිනියට කඩා වැදුණු පිරිසේ මතය අත හරිනවා නම් අතහැරිය හැක්කේ 22 වන දිනයේ බවත් එයත් පාර්ටියක් දාමා dj එකක් ජනාධිපති කාර්යාලය තුළ පැවැත්වීමෙන් අනතුරුව බවත්ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අත හරිනවා නම් මාධ්‍ය හමුවක් පවත්වා සැමරුමක් කර බාර දිය යුතුය යන ස්ථාවරයේ සිට ඇති අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඉදිකර ඇති හට් දැන්ම ඉවත්කර නොගත යුතුය යන ස්ථාවරයේ සිට ඇත.

එමෙන්ම පැරණි වාමාංශික සාමජිකයකු සහ තවත් සාමාජිකාවක දැඩි අදහස් දක්වමින් මෙය භාරදියයුතු නැති බවත් රනිල් එළවන තුරු අල්ලාගෙන සිටිය යුතු බවත් ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති කාර්යාලය දැන් අරගල කරුවන් විසින් පාලනය කිරීම භාරගත යුතු බවත් එය ගිණි තැබුවත් කිසිවෙකුට වගකීමක් අවශ්‍ය නැති බවටත් දරුණු අදහස් ඉදිරිපත් කල බවට බුද්ධි අංශ වෙත වාර්තා වී තිබී ඇත.

මේ තත්ත්වය මත වහාම බුද්ධි අංශ මැදිහත්ව අධිකරණ නියෝගය ප්‍රකාරව ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා ලෙසට ආරක්ෂක අංශ වෙත නිර්දේශ කර ඇත.

ඒ අනුව මන්දිරය අත්පත් කරගැනීමට පැමිණි ආරක්ෂක අංශ අරගලකරුවන්ට ඉවත්ව යන ලෙස නියෝග කිරීමත් සමග ඔවුන් දැඩි ස්වරූපයකින් එය ප්‍රතික්ෂේප කරමින් හෙට සවස 2 වනතෙක් එය භාර දිය නොහැකි බව ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය මත ඇති වූ ආතතිය නිසා අවසනයේ අරගලකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් උද්ගතවූ අතර අරගලකරුවන් අතර සිටි ජාතික රූපවාහිනියට කඩා වැදුණු පිරිස ආරක්ෂක අංශ වලට අපහාසකරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදීමත් සමඟ තත්ත්වය තවත් අයහපත් අතට හැරී ඇත.

අරගලකරුවන් අතර සිටි ජාතික රූපවාහිනියට කඩා වැදුණු ra.... g ... නැමැත්තා සහ Dha.. A.. නැමැත්තා බීමතින් සිටි බවට වාර්තා වන අතර ඔවුන් පොලිසියේ ඉල්ලීම අවඥාවට ලක් කරමින් ලේකම් කාර්‍යාලීය පඩිපෙළ මත ගීත ගයමින් නටමින් විනෝද වීම අරඹා ඇත.

මේ තත්වය මත තවත් අයහපත් අතට හැරුණු ආරක්ෂක අංශ සහ අරගල කරුවන් අතර සංනිවේදනය වඩවඩාත් ආතතියක් ජනනය කරමින් ඉදිරියට ගොස් ඇත.

සිදුවූ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් අප හා අදහස් බෙදාගත් ආරක්ෂක අංශ සාමජිකයින් ප්‍රකාශ කරන් ලද්දේ 'අවසානයේ මිනිස් පවුරක් ලෙසින් ඉදිරියට පැමිණි ආරක්ෂක අංශ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රදේශය මුදාගත් බවත් ගෝඨා ගෝ ගම පරිශ්‍රයට කිසිඳු හානියක් නොකල බවත් ය'

එසේම එම ක්‍රියාවලියට බාධා කරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සහ කරන ලද අරගලකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර අනවශ්‍ය ආතතියක් ඇතිකරමින් දේශපාලන වාසි ලබාගැනීමට වෙර දරන කල්ලි කණ්ඩායම් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු බව දේශපාලන විශ්ලේශකයින් පෙන්වාදේ.

(ගෝල්ෆේස් සිදුවීම සම්බන්ධව ආරක්ෂක අංශ සාමජිකයකයන් සහ අරගලභූමියේ ක්‍රියාකාරිකයින් විසින් ලබාදුන් තොරතුරු ඇසුරින්..)

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Page 222 of 386