පුවත්

මැතිවරණයට ප්‍රතිපාදන ඉල්ලා : මැකෝ මහ බැංකු අධිපතිට ලියලා !
මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට පසුගිය 23 වනදා මේ ලිපිය යොමුකර ඇත .
ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද මැතිවරණ කොමිසමේ සභාපති පවසයි .
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද ඔහු පවසයි .
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බවද මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙරුම් ඉවරයි : උපයෝගීතා කොමිසමේ සභාපති දණ ගහයි !
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටියදී 2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇතැයි එහි සභාපති ජනක රත්නායක පවසයි .
එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
විදුලිය බිල 65 % - 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනි.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි.
එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම මේ වන විට ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් මීට පෙර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිටියේ විදුලි බිල ඉහළ දැමීමට ගනුලැබූ තීන්දුවට එරෙහිව රජය දැඩි අපහසුතාවට පත්වෙන අන්දමට ය.

ජන්දයකට ලෑස්ති වෙන්න : ජනාධිපති රනිල් එජාපයට දන්වලා !
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වූහ.

නිදහස් සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර වැඩසටහනක් !
හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරා ගත් එක් නගරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ මූලික අදියරේ දී සිදු කෙරේ.
ඒ අනුව පෙබරවාරි මස 03 දින සිට 10 දින දක්වා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළම තරුණ තරුණියන් 50,000කගේ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් නගර පිරිසිදු කිරීම ආරම්භ කිරීමට නියමිතය.
75 වෙනි නිදහස් දිනයට සමගාමීව මූලික අදියරේදී ආරම්භ කෙරෙන මෙම නගර 335 සඳහා එම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා සහ ඊට අනුබද්ධ ආයතනවල දායකත්වය ද ලබා ගන්නා අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය , සෞඛ්‍ය සේවා කාර්යාල සහ අනෙකුත් ප්‍රජා මූල සහ ස්වේච්ඡා සංවිධානවල ද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරයි.
අදාළ නගරය මාස්පතා පවිත්‍ර කිරීම සිදු කළ යුතු අතර, එම කොට්ඨාසය තුළ සිටින වෙනත් තරුණ සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, පුහුණු මධ්‍යස්ථානවල සිසුන්, බාලදක්ෂයන්, ශිෂ්‍යභට කණ්ඩායම්, පාසල් පරිසර ක්‍රියාකාරිකයන්ගේ දායකත්වය ද වක්‍ර ලෙස ලබා ගැනීමට අපේක්ෂිතය. එසේම මෙම හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ ( UNV) දායකත්වය ලැබීම ද විශේෂත්වයකි.

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්වලට බාධා සොයා බලන්න කමිටුවක් !
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතූවෙන් කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේය.
කිතුල්ගල ආශ්‍රිතව ක්‍රියාත්මක වන වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව දෙස්, විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයට ලක්ව තිබේ.
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දෙති. මේ හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගවලට ද විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් රටට විදේශ විනිමය උපයා ගැනීමට මහඟු හැකියාවක් ඇති මෙම ක්‍රීඩාවේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටිති.
මෙම සාකච්ඡාවට සහභාගී වූ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ පවතින තාක්ෂණික විධිවිධාන වලට යටත්ව කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සේවා සපයන පාර්ශ්වයන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.
නමුත් අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දුන් ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රවීගේ ප්‍රහාරය වැඩ කරයි : මහ බැංකුව පොළී අනුපාත ගැන කතා කරයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහි නිලධාරීන් පවසන්නේ ඒ හරහා වෙළෙඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවය.
මහ බැංකුවේ නිලධාරීන් මේ බව සඳහන් කළේ, පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළෙඳපොළ හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන් සමග ඊයේ (23) පැවති සාකච්ඡාවකදීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබඳව මෙම කාරක සභාවේදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබුණි.
සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීනී මෙහිදී කමිටුව හමුවේ පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබාදීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බවද එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එහිදී පවසා සිටියේය.
මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය.
සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සඳහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමග ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල්වීමට අකමැති බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමගින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමග හවුල්වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුන් පවසයි.
රවීගේ ප්‍රහාරය වැඩකරයි !
මේ අතර මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක දිගින් දිගටම දැඩිව විවේචනය කර සිටියි.
පසුගිය 21 වනදා පැවති මාධ්‍ය හමුවකදීද ඔහු දැඩිව මේ සම්බන්ධව විවේචනය කළ අතර ඒ මෙසේය.
"රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.
අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.
අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ."

චීන එක්සීම් බැංකුවෙන් : ලංකාවට සහනයක් !
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන බවය.
එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබාදෙන බවත් එහි සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ ආයෙත් අවුලක් !
පළාත් පාලන චන්දෙ මාර්තු 09 තියනවා කියලා, මැතිවරණ කොමිසමේ සභාපති නාමයෝජනා දුන්න දවසේ කිව්වට මොකද , තාම ඒක ගැසට් කරලා නෑ . ඊයේ, ඒ කියන්නේ සඳුදා, ඔය ගැන ලොකු හාහොවක් ගියා.
''පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නෑ කියලා, ලංකාදීප වෙබ් එකේ ඊයේ හවස නිව්ස් එකක් තිබුනා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කෝට් කරලා තමයි ඒ නිව්ස් එක දාලා තිබුනේ.
මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වෙන්නේ නෑ කියලත් ප්‍රවීන නීති විශාරදයකු වන, මහානාම හේවා ලංකාදීපේ ට කියලා තිබුණා.
එහෙම ගැසට් නිවේදනය නිකුත් කළා නම්, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නද කියලා, ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගන්න තිබුනා කියලත් මහානාම හේවා කියනවා.
මහානාම උන්නැහේ එහෙම කියන්නේ මැතිවරණ කොමිසමේ බෙදිල්ලක් තියනවා කියලා පහුගිය දවස් ටිකේම ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල තිබුන නිව්ස් ඇත්තයි කියල කියන්න වගේ..
නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නෙවෙයි , ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම කියලත් මහානාම හේවා කියනවා.
21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ, මැතිවරණ කොමිෂන් සභාවත් ඉන්නේ, අන්තරාභවයක් වැනි තත්ත්වයක බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියනවා. මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බවත් මහානාම හේවා කියනවා.
පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇති බවත් ප්‍රතිභා මහානාම හේවා කියනවා.
ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කියන මහානාම හේවා , මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කරනවා.
එතකොට එතුමා මේ නො කියා කියන්නේ චන්දයක් තියන එක ෂුවර් නෑ කියල ද ?
අවසාන මැතිවරණ කොමිසමේ රැස්වීමට සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනකු සහභාගි වී නෑ . දෙදෙනෙකුට මරණ තර්ජන සිදුවෙලා කියලා පොලිස් විමර්ශන පටන් අරන්. ඔන්න දැන් පස්දෙනාටම පොලිස් ස්කොඩ් දීලා.
ඔය අස්සේ සාමාජිකයන් තුන් දෙනෙක්, අද හෙට ඉල්ලා අස් වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනවා.. දැනටම ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙනද කියලත් සැකයි..
මැතිවරණ කොමිසමට අලුත් ලොක්කෝ දාන්න යනවා කියලා , ලංකාදීපේ නිව්ස් එකක් යන්නේ ඔය වගේ සැකසංකා මතුවෙලා තියන වෙලාවක.. මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කරන්න ඉඩ තියනවා කියලත් ලංකාදීප කියනවා.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව, කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතයි ලු..
දේශපාලන වාර්තාකරු

විදුලි කප්පාදුවේ සංශෝධනයක් !
හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ.
ඒ අනුව හෙට සහ අනිද්දා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව කොමිසම සදහන් කරයි.
මේ අනුව දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ පැය 01 යි විනාඩි 20 ක් ලෙස විදුලිය කැපේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් !
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ.
මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500ක ප්‍රදානයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාර දෙන ලදි.

රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන දින මෙන්න !
රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ගෙවීම සිදුකරන දින පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කර ඇත .
ඊට අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි .

උද්ධමනය පහළට !
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට 65 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස සියයට 59.2 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම නොවැම්බර් මස සියයට 69.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59.3 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
නොවැම්බර් මස සියයට 60.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
දෙසැම්බර් මස සියයට 59.2 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 29.5 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 29.6 ක දායකත්වයක් ලබා දී ඇත.

විදුලි කප්පාදුව මිනිත්තු 20 කින් අඩුවෙයි !
විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කර පැය දෙකක කාලයකට සීමා කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
හෙට (24) දිනයේ පැය දෙකක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් විනාඩි 40ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් සාමූහික එකඟතාවක් !
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු යනාදිය සහ ඒ සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳ අවධානය යොමු විය.
මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමෙන් කර්මාන්තයෙහි පවතින බහුතරයක් ගැටලු විසඳාගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, එම තත්ත්වය යටතේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමයේ සභාපති සහ ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපතිවරයා මෙම කර්මාන්තය තුළ පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී යෝජනා ඉදිරිපත් කරනු ලැබූහ.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සාමුහික එකඟතාවකට එළැඹීමට කැමැත්ත පළවීම ද විශේෂත්වයක් වූ අතර කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ මැදිහත්වීමට ද සියලුදෙනා ප්‍රශංසාව පළ කළහ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

තවමත් මැතිවරණ දිනය ගැසට් කර නෑ !
මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි කී ප්‍රතිභා මහානාම හේවා, එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.
නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම අවධාරණය කර සිටියි. 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී ඔහු, මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ද ඔහු කීය.
ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කී මහානාම හේවා, මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට නොකිරීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
(lankadeepa.lk)

ක්‍රීඩා ඇමති හොඳටම කරලා : ලංකාවට FIFA තහනමක් !
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාව වෙත තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි .
ජනවාරි 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගන්න තත්වයක් තුල අදාල තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙතය.
මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරනයෙදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බව වාර්තාවේ.
මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණු කරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකිවනු ඇත.
අදාළ නිල නිවේදනය පහත දැක්වෙයි .

නාමයෝජනා කැන්සල් : බදුල්ල වව්නියාවේ වාර්තාව සම කරලා !
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා නාමයෝජනා පත් 163 ක් ඉදිරිපත්වූ අතර ඉන් 11 ක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි දමයන්ති පරණගම පැවැසුවාය.
පිළිගත් දේශපාලන පක්ෂ 8 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වූ බවද ඇය සඳහන් කළාය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ නාම යොජනා මෙසේය.
හාලිඇල ප්‍රාදේශීය සභාව ( ලංකා කම්කරු කොන්ග්‍රසය) , ඌවපරණගම ප්‍රාදේශීය සභාව (එක්සත් මහජන පක්ෂය),ඇල්ල ප්‍රාදේශීය සභාව (ස්වාධින කණ්ඩායම ), හපුතලේ ප්‍රාදේශීය සභාව (ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ස්වාධීන කණ්ඩායමක් ), හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම ) ,, මහියංගනය ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම)
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට මහා නගර සභා 2 ක් නගර සභා 1 ක් සහ ප්‍රාදේශීය සභා 15 ක් ඇතුලත්ය.
නාමයෝජනා බාරදුන්නේ කණ්ඩායම් 163 ක් වන නමුත් කණ්ඩායම් 184 ක් ඇප තැන්පත්කර තිබිණ.

නාමයෝජනා කැන්සල් කරගෙන : වව්නියාවේ වාර්තාවක් !
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා තරග කිරීමට පිළිගත් පක්ෂ හයක් සහ ස්වාධීන කණ්ඩායම් පහක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ.සරත්චන්ද්‍ර පවසයි .
වව්නියාව පළාත් පාලන ආයතන වෙනුවෙන් දේශපාලන පක්ෂ 82ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කොට තිබූ අතර ඉන් පක්ෂ 77ක් සහ ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදුන් බවත් ඔහු පවසයි .
වවුනියාව නගර සභාවට ප්‍රධාන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා ඇති අතර දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.
වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ 15ක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් සුදුසුකම් ලබා ඇති අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ එක්සත් ජාතික සංධානය යන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව ප්‍රකාශ කළේය.
වවුනියාව උතුර නෙදුන්කේණි ප්‍රාදේශිය සභාවට පක්ෂ 12 සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පිළිගෙන ඇති අතර එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බවත් කීහ.
වවුනියාව වෙංගල චෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 12 ක සහ ස්වාධීන කණ්ඩායම් හතරක නාමයෝජනා පිළිගෙන ඇති අතර පක්ෂ දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේපවූ බව පැවසීය.
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභාව සඳහා ප්‍රධාන පක්ෂ පහක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා ඉදිරිපත් කොට තිබූ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
Page 213 of 448