V2025

පුවත්

මර්වින්ට පිං පළ දෙයි : ඇප නැතුවම නිදහස් !

ජාතික රූපවාහිනී සංස්ථාවට කඩාවැදීමට අදාළ  සිදුවීමෙන් වසර 15කට පසු නීතිපති උපදෙසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්විල් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරීම අනවශ්‍ය බවත් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් සඳහන් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

එහිදී අධිකරණය සඳහන් කර ඇත්තේ කැලණියේ හරක් මැරීම නතර කළ අදාළ   සැකකරුට ඇප අවශ්‍ය නැති බව ය.

ජාතික රූපවාහිනී සංස්ථාවට 2007 වසරේදී හිටපු අමාත්‍ය  මර්වින් සිල්වා  බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් නඩුවිභාගයක් මේ වන විට අධිකරණයේ විභාග වන අතර මෙතෙක් කලක් ඔහුව සැකකරුවෙක් ලෙස නම්කර තිබුණේ නැත.

 නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වසර 15කට පසු උපදෙස් දෙන්නේ එම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස මර්වින් සිල්වා නම් කරන ලෙසය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මර්වින් සිල්වා මහතාව අද උදෑසන අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

 මහේත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ අදාළ නඩුව  ලබන 16 වෙනිදා නැවත කැදවන බවය.

ඇමති කාංචන CID සහය පතයි !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් සිදුකර ඇත .

විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ මේ බව සඳහන් කර සිටියේය .

ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .

22 ට එරෙහිව පෙත්සම් 9ක් !

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත.

වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත  .

මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම් කර ඇත .

22 වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති බවත් මෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම් කරුවන් සිය පෙත්සම් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

අහුවෙන්න එපා : ජාතිවාදීන් යළිත් කරලියේ !

බෙදුම්වාදයට අරමුදල් සහ වෙනත් ආකාරයෙන් උදව් කරනු ලබන සංවිධාන 6ක තහනම ඉවත් කරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවේ එකගතාවයක් ඇතිව බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

ඔහු මේ අදහස් පළකලේ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අවස්ථාවාදී ජාතිවාදී ආගම්වාදී තුරුම්පු හැමදාමත් මෙරට ජාතික සංහිඳියාව විනාශ කළ බවත් මේ මොහොතේ ද එහිම දිගුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරන බවයි.

ජනතාව ඉතිහාසයේ දරුණු  ආර්ථික අර්බුදයක ගිලීගොස් ඇති අවස්ථාවේ එයින් ජනතාව මුදා ගැනීමට සියලු පාර්ශ්ව එක්කර ගතයුතු මොහොතේ මෙකී අවස්ථාවාදී ප්‍රවණතාවන් සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් වියයුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

එක් පසෙකින් ජාතිවාදී ආගම්වාදී මත ප්‍රචාරය කරමින් අනෙක් පසින් අර්බුදය විසඳීමට අත්‍යවශ්‍ය  ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ද අකුල් හෙළන මේ සුළුතරය නොතකා ඉදිරියට යාමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් පවසයි .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් මෙසේද පවසයි .

" ජාතිවාදී ආගම්වාදී තුරුම්පු පටු දේශපාලන අවස්ථාවාදී බව හැර වෙනත් කිසිම දෙයක් ජනතාවට ලබාදී නෑ. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ජනතාවගේ හැඟීම් වලට . ඔවුන් පවතින්නේ හැඟීම් වලට ගිනි තබමින්. ඒ තුළ සමස්ත ජනතාව ලබන දෙයක් නෑ . උපරිම ප්‍රතිඵලය තමයි ලේ කඳුළු සහ දුක. ඒ වගේම කුසගින්න , දිළිදු බව සහ ගැතිකම. මේ වෙනකොටත් පාලකයන්  ඔවුන්ගේ පදයට නැටීමේ ආදීනව සමස්ථ ජනතාව භුක්ති විඳීමින් ඉන්නේ . තවදුරටත් මේ වලේ වැටෙන්න නරකයි . සියලු දෙනා මේ පසුගාමී මැදිහත්වීම පරාජය කරන්න ඕන .

ජාතිවාදී ආගම්වාදී තුරුම්පු කවදාවත් ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදී නෑ . එහෙම දෙයක් තියෙනවා නම් පෙන්වන්න. ඔවුන් ඉතිහාසය, ධීරවීර යුග ගැන සුරංගනා කතා කියනවා. හැබැයි ඒකෙන් එක වේලක් ජනතාව ජීවත් කරවීමට හැකියාවක් නෑ "

ගෝඨට එන්න ඉඩක් හදලා දෙන්න : බැසිල් ජනාධිපතිගෙන් ඉල්ලයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සලසන ලෙසත්  එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිතුමා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ ඉල්ලා ඇත.

ඒ  පොදුජන පෙරමුණ අද ( 18) පස්වරුවේ නිල සාකච්ඡාවක් සදහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවු අවස්ථාවේ ය.

මීට පෙර අවස්ථා කිහිපයකදී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් ඇතුළු නායක ස්වාමීන්වහන්සේලා කිහිපනමක්ම මේ ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් සිදුකර තිබේ.

අද පැවති සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගිව ඇත.

ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන හා ශමල් සෙනෙවිරත්න සහභාගි වී ඇත.

ජනාධිපති කාර්‍යාලයේදී මේ සාකච්ඡාව පැවැත්වුණු අතර  පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .

ජුලියන් බෝලිං සහ ජොනතන් මාටින්ස්ටයින් සීඅයිඩියට

ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ.

ඒ, පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව ඔවුන් අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට පෙර එම නිවාස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට මොවුන් ද සහභාගී වී ඇති බවත්, ජොනතන් මාටින්ස්ටයින් නිවාස තුලට බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සහ කර ඇති බවත් පොලිසිය පවසයි.

රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරිමට කටයුතු කළ පුද්ගලයන් අතරින් ජුලියන් බෝලි ද කෙනෙකි.

ඊට අදාළ පෙත්සම මේවනවිට විභාග වෙමින් පවතින අතර, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් පනවා ඇත.

රනිල් මාව දන්නවා - මම රනිල්ව දන්නවා : සිරිසේන U turn !

වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

වත්මන් ජනාධිපතිට අර්බුදය විසඳීමට හැකියාව ඇතිද යන්න බැලීමට කාලයක් ලබාදිය යුතු බවත් ඔහු පවසයි .

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත .

සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් වැඩිදුරටත් සඳහන් කර ඇත .

.

 

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් : කර්මාන්තයත් හිස ඔසවයි !

මෙම මාසයේ මුල් සති දෙක තුළ සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ අගෝස්තු පළමු සති දෙක තුළ සංචාරකයන් 17,000ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කරන ආකාරයට මේ වනවිට දෛනිකව සංචාරකයන් 1,600ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණෙමින් සිටින බවය.

ඒ අනුව දිගු කළකට පසුව සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් ඇති බව ඇය සඳහන් කරයි.

ඉකුත් මැයි මාසයේදී දෛනික සංචාරකයන්ගේ පැමිණීම 650ක් දක්වා ඉතාම අවම අගයක පැවති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත .

කොරෝනා වසංගතයට පෙර සංචාරක කර්මාන්ත හරහා මෙරටට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 4ක පමණ ආදායමක් හිමිවිය.

කොරෝනා වසංගතය පැමිණි පසු සංචාරක කර්මාන්තයෙන් එතෙක් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම අහිමි විය. ඒ අනුව 2020, 2021 හා 2022 යන අවුරුදු තුනේදී සංචාරක කර්මාන්තයෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 12ක් පමණ රටට අහිමි වී තිබේ.

ඒ අනුව යළිත් මේ තරමින් හෝ සංචාරක කර්මාන්ත හිස එසවීම වැදගත් ය. එයින් විදෙස් විනිමය අර්බුදය සමනය කරගන්නට සුවිශේෂ දායකත්වයක් ලැබෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් සහ විදුලිය , ඉන්ධන , ආහාර ප්‍රමාණවත් ලෙස ඇත්තේ නම් සංචාරක කර්මාන්තය යළි හිස එසවීම දුෂ්කර නොවන බවය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය බලය ලබාගෙන මාසයක් පමණ කාලයක් ගතවෙන අවස්ථාවේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිට ක්‍රමයෙන් එයින් මිදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට මේ හේතු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම වැඩි වූ විදුලි ගාස්තු වලින් පවා සංචාරක කර්මාන්තයට සුවිශේෂ සහනයක් සපයා ඇති බවත්, ආර්ථිකයේ සෑම ක්ශේත්‍රයක්ම වසර දෙකක් තුළ කඩා වැටී නැත්තටම නැතිවී ඇති අති දුෂ්කර පසුබිමක මේ ආකාරයට ආර්ථිකයේ මර්මස්ථාන ක්‍රමික ලෙස වර්ධනය කරවමින් මෙහෙයවීම අතිශය වැදගත් බවත් ඔවුන් පවසයි .

S.L.ශ්‍යාම්

24 ගෝඨා එනවා කියා උදයංග දන්නේ කොහොමද ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (17) කුප්‍රකට මිග් යානා ගනුදෙනුව තුළ සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විසින් සිදුකර තිබූ කැඳවීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

ගෝඨාභය රාජපක්ෂ දක්ෂ දේශපාලනඥයකු නොවන බවත් ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද හිටපු තානාපති පැවසීය . දේශපාලනඥයකු වශයෙන් මහින්ද රාජපක්ෂ තරම් ගෝඨාභය දක්ෂයකු නොවන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .

මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින 90 ක වීසාවක් සහ කොන්දේසි කිහිපයකටම යටත්ව තායිලන්තයේ වෙසෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පාලනයේ අවසන් භාගයේදී උදයංග වීරතුංග සමාජ මාධ්‍ය හරහා ඔහුව බරපතළ ලෙස විවේචනය කරනු දකින්නට ලැබිණ .

මිග් යානා ගනුදෙනුව ආශ්‍රිත වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතත් චෝදනා එල්ලවී තිබිණ .

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ 24 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් , ඔහුට වඩා අභියෝගයක් ආණ්ඩුවට ඇති බවය.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය ගේ පෙරවැරදි වලට අදාළ , එහෙත් ජනාධිපති මුක්තිය නිසා ආවරණය ලැබුණු නඩු කටයුතු සක්‍රීය කිරීම සහ ජනාධිපති වීමෙන් පසුව ඉල්ලා අස්කර ගන්නා ලද නඩු යළිත් ආරම්භ කිරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇති නිසාය.

රනිල්ගේ පාලනයට මාසයයි : සජිත් ඔයා too late !

🎯 වැරදි වෙලාවේ පණ ලැබූ සජිත්ගේ ඩයිනමෝව !

දඩයමේ ගිය දඩයක්කරු නිවැරදි වෙලාවේ ගොදුරට නිවැරදි වෙලාවේ , නිවැරදි ඉලක්කය නොගත්තොත් වෙන්නේ මොකක්ද ? වෙන්න පුළුවන් නරකම දේ ගොදුරේ ඉලක්කය වීමය. ඒ කියන්නේ දඩයක්කරුගේ සහ ගොදුරේ භූමිකාව මාරු වීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී මාසයකට පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඩයිනමෝව යළිත් පණ ලබා ඇත.

කොළඹින් පැරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් යයි සමහරුන් පවසන බවත් ඊට හේතු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු අද වන විට ජනාධිපතිවරයා බවට පත්ව තිබීම බවත් සජිත් කියා ඇත .

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට වූ හේතුව ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එය සිදුවී ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවත් ඔහු කියයි.

මේ කතාව ඇසූ විට හිනා වෙන්නද අඬන්නද කියා එකවර හිතා ගන්නට අපහසුය. බොහෝ විට ඒ දෙකම එකවර සිදුවෙයි.

කෙසේ වෙතත් සජිත් නොදැන සිටින්නේ රනිල් වික්‍රමසිංහ ව දඩයම් කරන්න ගිය සජිත් දැන් ගොදුර බවට පත්ව ඇති බවය.

🎯 සජබ ආර්ථික ඔස්තාර්ලා කතා කරන්නේ රනිල්ගේ වැඩපිළිවෙළ ගැන !

සජිත් ප්‍රමුඛ කරගෙන සමගි ජනබලවේගය පක්ෂය හදන්න මුල් වූ මුල්ගල් සජිත්ගෙන් ගැලවී ගොස් හමාරය. ඉතිරිව තිබූ උළුහවු, බිත්ති ටිකත් දැන් කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ වැඩපිළිවෙළ ගැනය. ඔවුන් එක හඬින් කියන්නේ , " ඒ හැර කවුරුත් "රනිල්ගේ නෙවෙයි , නිවැරදි, දැක්ම, වැඩපිළිවෙළ, ඇත්තේ සජිත්‍ට බව කියන්නේ නැත.

වැරදි වෙලාවේ බලගැන්වී ඇති සජිත්ගේ ඩයිනමෝව ගැන කවුරුත් කතා නොකරයි. දැන් රටම කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගෙවෙන තැන ප්‍රගති වාර්තාව ගැනය.

සජිත්ගේ පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයේ, මුදල් , කෝප්, කෝපා වැනි තීරණාත්මක පාර්ලිමේන්තු කමිටු වල මුල් පුටු ගෙන ඇත . පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම , ඒවායේ සභාපති ධූර වලට කැබිනට් අමාත්‍ය බලතල දීම, අවශ්‍ය අවස්ථාවේ ඔවුන් කැබිනට් මණ්ඩල හමු වලට පවා කැඳවීමට ජනාධිපති රනිල් සූදානම් කෙරෙමින් ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්ව මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සෘජු සාකච්ඡා පවත්වා ඇත . එයින් සාතිශය බහුතරයක් යෝජනා ජනාධිපති වික්‍රමසිංහ පිළිගෙන ඇත. දැන් ඇත්තේ පාලනය වෙනුවෙන් එකී පාර්ශ්ව සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න ගැන අවසන් තීන්දු ගැනීමය.

මේ පසුබිම කියාපාන්නේ සාමාන්‍ය ආණ්ඩුකරණයක් ගැන නොවන බව පැහැදිලිය. මේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය විසඳීමට දරන ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහයකි.

🎯 අර්බුදය සුළුපටු නැත : හුදු රාජපක්ෂ විරෝධයෙන් එහා ගිය දේශපාලනයක් අවශ්‍යය !

මේ බව හරියට තේරුම් ගන්න නම් වත්මන් අර්බුදයේ අක්මුල් හරියට තේරුම් ගතයුතුය .

ලංකා ආර්ථිකයේ මේ අර්බුදය ඇතමුන් නොදැනුම නිසාත් තවත් පාර්ශ්ව දේශපාලන තක්කඩිකම නිසාත් විදෙස් විනිමය අර්බුදයක් වෙත ලඝු කරන බවක් පෙන්වයි.

එහෙත් එය අර්ධ සත්‍යකි. ගෝඨාභය පාලනය ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක සිටියා නම් විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වන බව තේරුම් ගන්නේ 2020 දී හෝ 2021 දීය.

ගෙවීමට ඇති විදෙස් ණය කන්ද , කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය , ගෝලීය ආර්ථික කඩා වැටීම ගැන නිවැරදි පුරෝකථනයක් ඔවුන් සතුව තිබුණේ නැත. ඒ නිසා විනිමය අර්බුදය ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට බලපෑම් කරන තැනට පත්විය.

වත්මන් ආර්ථික අර්බුදය දරුණු වීමට 2019දී කළ බදු කප්පාදුවත් තීරණාත්මක ලෙස බලපෑම් කළේය. ඒ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් අහිමිවූ පංගුව" 50% කි. එනම් රුපියල් ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා පල්ලම් බැස්සේ ඒ බදු කප්පාදුව නිසාය.

ඒ හේතු 2 ප්‍රමුඛව තවත් හේතු මත මෙරට ණය ගෙවීමේ හැකියාවද අඩු විය. මේ සම්බන්ධයෙන් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන දිගින් දිගටම අනතුරු ඇඟවීය. ඒ ණය ගෙවීමට ලංකාවට තිබූ හැකියාව අඩු බවට රතු එළි දක්වමින් ය .

තත්ත්වය කළමනාකරණය කර නොගතහොත් , යළි ණය ලබා ගැනීමට නොහැකි බවත්, ඒ ආයතන පෙන්වා දුන්නේය. දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන්ද ඒ බව සඳහන් කළ නමුත් , ඊට කන්දීමක් සිදුවුණේ නැත.

දේශපාලනඥයින් ලෙස මංගල සමරවීර , රනිල් වික්‍රමසිංහ , රවී කරුණානායක , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , රුවන් විජයවර්ධන , ප්‍රමුඛ ආර්ථික විෂය සම්බන්ධයෙන් උනන්දුවන් මේ ගැන අවධාරණය කළත් වැඩක් වුණේ නැත.

🎯 IMF බිල්ලා අතුරුදහන් කර ඇත !

සැබවින්ම එදා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සාකච්ඡා කළා නම් , අද ඇති වී තිබෙන අර්බුදය මෙතරම් දරුණු වන්නේ නැත.

කෙසේ වුවත් මේ මාසයක කාලයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF සාකච්ඡා ඉදිරියට ගෙන ඇත . සාර්ථක සාකච්ඡා වට ඉදිරියට යමින් ඇත . ඉස්සර IMF ගැන බිල්ලන් මැවූවන් අතුරුදහන් වී ඇත.

IMF සමග සාර්ථක ගමනක් යන්න නම් , ඊට අවශ්‍ය හාත්පස සකස් කළ යුතුව ඇත.

🎯 අයවැය පරතරයේ අර්බුදය !

ඒ සම්බන්ධයෙන් කතා කරන විට, රටේ ආදායමට වඩා වියදම දෙගුණයකින් වැඩිකම අතපසු කළ නොහැකිය. ණය ගෙවීමට නොහැකිවීම තවත් ප්‍රශ්නයකි. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවූයේ ලංකා ඉතිහාසයේ පළමුවැනි වරටය. එසේම ඒ ගැන වත්මන් මහ බැංකු අධිපති ප්‍රසිද්ධියේ පිළිගෙන බුන්වත් බව පිළිගැනීමත් තීරණාත්මකය. එය එක් පසෙකින් උගත් මෝඩකමක් වුවත් , දැන් ඉස්සරහට යන්න ඇත්තේ ඒ සමගය.

එපමණක් නොව , ඇස්තමේන්තු ආකාරයට 2022 දී රජයේ උපරිම බදු ආදායම ට්‍රිලියන 1.5ක් පමණ විය හැකිය. එහෙත් රටේ වියදම අවම වශයෙන් ට්‍රිලියන 3.5කි. ඒ අනුව හිඟය ට්‍රිලියන දෙකකි. එය පියවන්නේ කොහොමද? එක්කෝ ආදායම වැඩි කළ යුතුය. නැතිනම් වියදම් අඩු කළ යුතුය. ඒ දෙකම බැරිනම් සල්ලි අච්චු ගැසීමට සිදුවෙයි. එවිට උද්ධමනයක් ඇති වෙයි.

එහෙනම් සිදුවන්නේ ණයට ගන්නය. ඒකත් බංකොලොත් බව නිල වශයෙන් පිළිගත් රටකට කොහොම කරන්නද යන ප්‍රශ්නය පැමිණ ඇත.

දැන් ණය පොලිය 30%කි. රජයේ වියදම් සඳහා ණය ගැනීමෙන් මූල්‍ය වෙළෙඳපොළෙහි සල්ලි හිඟයක් පවතී. ණය පොලිය ඉහළ අගයක පැවැතීම නිසා ආයෝජන අඩුවී ඇත. ඒ මත ආර්ථිකය එක තැන හිරවී ඇත.

රාජ්‍ය ආදායම් මෙන් දෙගුණයක් වියදම් ඇති මේ රටේ, ඒ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

පාඩු ලබන තෙල් සංස්ථාව හා ලංවිම වැනි රාජ්‍ය ආයතනවලට දෙන මුදල් සේම විශ්‍රාම වැටුප් හා සමෘද්ධි හා පොහොර යනාදියට දෙන සහන ඒ සහනාධාර අතරට එකතු වෙයි.

🎯 සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය මොකටද ?

ඒ නිසා ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රාජ්‍ය අංශයෙහි බරපතළ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවෙයි. සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය ඒ ටික කරන්නය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ මාසයක් තිස්සේ කැපවුණේම ඒකටය.

එපමණක් නොව රජයේ වියදම් කප්පාදු කිරීම සහ නාස්තිය හා දූෂණය අවම කිරීම තවත් අවශ්‍යතා දෙකකි. ඒ සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මාර්ගය විවෘත කරගෙන ඇත. මේ වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති 22 සංශෝධන කෙටුම්පත ද ඒ අනුව ආර්ථික අර්බුදය විසඳීමට වික්‍රමසිංහ ජනාධිපති කර ඇති මැදිහත්වීමක් බව සිහිපත් කළ යුතුව ඇත

මේ සියල්ල කරන අතර , විදෙස් විනිමය අර්බුදයක් තිබෙනවා කියා හෝ, ඒ සමග බැඳුනු සාර්ව ආර්ථික ගැටලු රැසක් හමුවේ , එකක් විසඳා එකක් විසඳන මනෝ විකාර ප්‍රතිපත්ති යාදෙන්නේ නැත.

🎯 අහිමිවූ ජීවන රටාව යළිත් ජනතාව වෙත අත්කර දිය යුතුය !

කවදාවත් නොමැති ආකාරයට ලංකාවේ මධ්‍යම පංතිය පාරට බැස, රාජපක්ෂවරුන් ගෙදර යැව්වේ මේ නිසාය. එනම් මතුවූ ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ පරිභෝජන රටාව අර්බුදයට ගිය නිසාය. ඊට පෙර ගොවීන් පාරට බැස්ස අතර , මරිමෝඩ කාබනික වගා සංකල්පය නිසා උද්ගතවූ ආහාර අහේනියත් ජනාධිපති ධූරය ලබන මොහොතේ රනිල් වික්‍රමසිංහ හමුවේ අභියෝගයක් ලෙස පැවතිණ.

ඉතිං , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගතවූ මාසය තුළ ,

🔴 ගොවි ප්‍රශ්නය විසඳීමට පොහොර ආනයනය කඩිනම් කළේය. රුපියල් 50000ට ගිය යූරියා පොහොර මිටිය මාසයක් තුළ රුපියල් 10000 ට ගෙනවිත් ඇත. ග්ලයිෆොසේට් වල සිට ව්‍යාපාරික කෘෂිකර්මය සඳහා අවශ්‍ය කෘෂි රසායන නැවත වෙළඳ පොළ වෙත ගෙන්වා ඇත.

🔴 ලෝක ආහාර වැඩසටහන සහය ගැනීම ඇතුළු ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත. දැන් තවදුරටත් ආර්ථික අර්බුදය කියා ලංකාවට සාගත අවධානමක් නැත. ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ ටික පවා ලබාදීමට හැකි පසුබිම මාසයක් ඉක්ම යන තැන සම්පූර්ණ කර ඇත .

🔴 ඉන්ධන හිඟය එකවර අවසන් කිරීමට නොහැකි නමුත් , අති මූලික ජීවන කොන්දේසි අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන සැපයීම සක්‍රීය කර ඇත . දැන් ඉන්ධන පෝලිම් පමණක් නොව , ඉන්ධන මාෆියාව අවසන් කර ඇත . මිල සූත්‍රයේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීම විධිමත් කර ඇත (QR කේත ක්‍රමය ) .

🔴 දෛනිකව පැය 12 ක විදුලි කප්පාදුව , පැයක් දක්වා අඩු කර ඇත .

🔴 මධ්‍යම පංතිය පෙළුණු ගෑස් හිඟය පියවීමට සැලකිය යුතු මැදිහත්වීමක් සිදුකර ඇත . එපමණක් නොව දෛනිකව ඉහළ ගිය ගෑස් මිල පහත දැමෙන තත්ත්වයක් නිර්මාණය කර ඇත .

🔴 පාසල් අධ්‍යාපනය , රාජ්‍ය සේවය ප්‍රමුඛ දෛනික ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් ඇත .

🔴 කොළඹ කොටස් වෙළෙඳ පොළ අගෝස්තු මුල් සතියේ සිට දින 11ක් අඛණ්ඩව ඉහළ ගොස් ඇත.

🔴 අර්තාපල් , ලොකු ලූණු , පරිප්පු , සහල් මිල අඛණ්ඩව පහත වැටීමක් පෙන්නන්න කරන්න ගෙන ඇත .
මේ වනවිට පිටකොටුවේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 180 කි. ලොකු ලූණු 150කි. එසේම මේ වන විට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය ජනතාව වෙත යැවීම නිසි ලෙස සිදුවීම සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය වෙත බලය පවරා ඇත .

🔴 මාසයකට පෙර රටේම ඖෂධ හිඟයක් ගැන කතා කළත්, දැන් පුවත් මැවෙන්නේ රෝහල් කිහිපයක ඇති ඖෂධ කිහිපයක හිඟයක් ගැන විතරය. මේ වන විටත් හිඟ ඖෂධ ආනයනය මෙන්ම ඇතැම් ඖෂධ තවදුරටත් දේශීයව නිෂ්පාදනය අරඹා ඇත.

අගෝස්තු 09 අවසන් සටන කියා ජනතාව අන්දලා බලය ගන්න ප්‍රයත්න දැරූ බලවේග , අරගලය සමග ගෙදර යැවුණේ, මේ ආර්ථික ප්‍රතිලාභ ක්‍රමයෙන් ජනතාව වෙත කාන්දු වෙමින් තිබුන නිසාය. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් මිනිසුන් අතර අවිඥානික ලෙස ඇතිව තිබූ නිසාය .

මාධ්‍ය සංදර්ශන නිසා හෝ බොරු කියන දේශපාලනඥයින් නිසා තවමත් ඇතමුන් රනිල්ට බැන්නත්, එය අරගලය තුළ පවා විලාසිතාවක් වුවත් , ඇත්ත ජීවිත කොන්දේසි ඇතුලේ මාසයක් තුළ රනිල් කරපු දේ, ප්‍රතිඵල ලබා ඇත.

පාට පක්ෂ කණ්නාඩි පැළඳි ඇතමුන් මේ ඇත්ත නොදන්නවා වුණාට, ලංකා දේශපාලනයේ නිරත ඕනෑම දේශපාලනඥයෙක් මේ කතාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. වමේ දකුණේ කියා වෙනසකුත් ඊට නැත. තනි ආසනෙන් පාර්ලිමේන්තු පැමිණි වික්‍රමසිංහට ජනාධිපති වෙන්න හැකිවූයේ රාජපක්ෂ කඳවුර හරහා වන්න පුළුවන . ඒ තුළ "රාජපක්ෂවරුන්ගේ අංගාරක්ෂකයා" ලෙස ජනතාව අන්දවා ජාමේ බේරගන්න කෙටි කාලයක් අවස්ථාවාදී දේශපාලනයට තවදුරටත් ඉඩක් ඇත.

එහෙත් මේ මල් විතරය. පළතුරු එන්නේ මල් වලට පස්සේ ය. මාසයක් තුළ මෙහෙම නම්, රනිල් වැඩ්ඩෙක්ද කියා අසන සජිත්‍ට කියන්න ඇත්තේ , මේ වෙලාවේ ඔයාගේ හිත කියන්නේ මොකක්ද ? අන්න ඒක තමයි ඇත්ත කියාය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී මාසයකට පසුව ශේෂ පත්‍රය එසේය.

මේ මගේ ඉස්සරහට යනවද ආපසු හැරෙනවාද යන්න මිලියන 22 ක ජනතාව තීන්දු කළ යුතුය.

S.L. ශ්‍යාම් !

 

කොවිඩ් ආසාදිතයන් 195 ක් : කොවිඩ් මරණ 06ක්

’කොවිඩ්‘ වයිරසය ආසාදිත රෝගීන් 195 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ’කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 668,336 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

මේ අතර, කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු ඊයේ (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළ බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සදහන් කරයි.

හම්බන්තොටට ගෑස් නැවකුත් එයි

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගම පවසයි.

ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් කරන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටී.

‘යුවාන් වැන්ග් 5’ හම්බන්තොටට සේන්දු වෙයි

ආන්දෝලනාත්මක චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි.

චීන නෞකාවට අද(16) සිට දින 07 ක් හම්බන්තොට වරායට පිවිසීමට ශ්‍රී ලංකාව අවසර ලබා දී ඇත්තේ විවාදාත්මක තත්ත්වයක් තුළයි.

චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට පිවිසියේ ය.

'යුවාන් වැන්ග් 5' නෞකාවට මීට පෙර පසුගිය 11 වෙනි දා සිට 17 වැනි දා දක්වා නැවත පිරවීමේ පදනම මත හම්බන්තොට වරායට පිවිසිමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදුන්න ද ඉන්දියාවේ විවිධ පාර්ශ්ව මතුකළ විරෝධතාවලට සමාන්තරව එම අමාත්‍යාංශය චීනයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ නෞකාවේ පැමිණිම ප්‍රමාද කරන ලෙසය.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීමට හේතුව ප්‍රසිද්ධ කළේ නැත.

එම ලිපිය නිකුත් කෙරන විට පසුගිය මස 14 වැනි දා චීනයෙන් පිටත්වී මසකට ආසන්න කාලයක්ගත කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දීය සාගරයට ද පිවිසී තිබුණි.

ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කිරීම නතර කළ චීන නෞකාව පසුගිය දින කිහිපයගත කළේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් සාගර අභ්‍යන්තරයේ පිහිටි නයින්ටිඊස්ට් රිඩ්ජ් කඳු පන්තිය ආශ්‍රිතව යාත්‍රා කරමිනි.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

චීන නැව එද්දී ඉන්දියාවෙන් සමුද්‍ර නිරීක්ෂණ යානයක් !

ඉන්දියාවට අයත් වෙරළාරක්ෂක රාජකාරි සහ සමුද්‍ර නිරීක්ෂණය සඳහා වන ඩෝනියර් 228 ගුවන් යානය ඉන්දීය බලධාරීන් විසින් අද (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇත .

සම්ප්‍රදායානුකූලව ජල විදින ආචාරය සමඟින් පිළිගන්නා ලද මෙම යානය ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි ..

ඉන්දියාවෙන් ලද මෙම නවතම තිළිණය පිළිගන්නා ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ය.

ඩෝනියර් 228 නම් මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බව ඉන්දියාව පවසයි.

ඉන්දියාවේ 75වන නිදහස් සමරුව ද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

මෙමගින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය ඉහළ නැංවෙන බව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ගුවන් යානය තිළිණ කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

“ඉන්දියාව සමඟ අනෙකුත් ක්ෂේත්‍රයන් සමඟ පවතින සහයෝගීතාවයේ ප්‍රතිලාභ මෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඩෝනියර් ගුවන් යානය තිළිණ කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. එය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉවහල් වන පියවරකි.

මෙය ඉන්දියාවේ ශක්තිය ඉන්දියානු සාගර කලාපය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු මිතුරන් සහ අසල්වැසියන්ගේ ශක්තීන්⁣ට එක් කිරීම සම්බන්ධයෙන් නිදසුනකි.” යැයි ද මෙරට ඉන්දියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය .

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සමුද්‍ර නිරීක්ෂණ යානය ලැබෙන අතර තවත් යානයක් ඉන්දියාවෙන් ලැබීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ ආන්දෝලනාත්මක චීන පරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දුවීමට ආසන්නයේ මෙය ලැබීමය.

විචාරකයන් පවසන්නේ මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සූක්ෂම රාජතාන්ත්‍රික හැසිරීම හේතුවෙන් ලැබූවක් බවත් , එහෙත් චීන ඉන්දීය සහ ඇමරිකානු බල අවශ්‍යතා හමුවේ මෙරට විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රය තවදුරටත් සංකීර්ණ විය හැකි බවයි .

සර්ව පාක්ෂික පාලනයේ මොඩලය මෙන්න : කෝප් කෝපා සහ මුදල් සඳහා එරාන් කබීර් හර්ෂ !

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි .

එසේම රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි .

තවද මේ වන විට රාජ්‍ය මුදල් සම්බන්ධ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නම් කර ඇත .

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය. මුදල් කමිටු සභාපති වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ය.

කෝප් සහ කෝපා යනු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතා සහ අවභාවිතා පිළිබඳව විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු දෙක වෙයි. එසේම මුදල් කමිටුව වෙතද රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණාත්මක වගකීමක් පැවරෙයි.

රනිල් ඉත්තන් අදින හැටි සජිත්‍ට හිතා ගන්නත් බෑ !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් තිදෙනාම සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූර ලබා ගැනීමට සූදානම් බවට පුවත් මැවූවන් වූ බවයි.

කෙසේ වුවත් සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් යෝජනා කළ වික්‍රමසිංහ ජනාධිපති , සූක්ෂම ආකාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වගකීම් දරන්නන් බවට පත්කර ගැනීමක් මේ හරහා පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ වන විටත් ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් සතු බලතල දීමට සහ ඔවුන් තීරණාත්මක අවස්ථා වලදි කැබිනට් මණ්ඩල හමුවීම් සඳහා පවා කැඳවීමට ජනාධිපති වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පවසා ඇති බවත් ඔවුන් සිහිපත් කරයි.

ඒ අනුව සර්ව පාක්ෂික පාලන මොඩලයේ ජායාව මේ හරහා නිරූපිත බවත් ඒ තුළ ජනාධිපති වික්‍රමසිංහ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සිතාගත නොහැකි ආකාරයට සිය අපේක්ෂාව අනුව කටයුතු කරන බව නිරීක්ෂණය වන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

රූපවාහිනීයට පැන්න ධානීෂ්ට ඇප !

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කළ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගල නායකයකු බව කියන ධානිශ් අලී ඇප මත නිදහස් කර ඇත .

මෙම සිද්ධියට අදාළ පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (15) ඇප ලබාදීම සිදුකර ඇත .

ඒ අනුව රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීම සිදුකර ඇත .

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියම කර ඇත .

මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.

එසේම, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළව ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

ඇමති නිමල් සිරිපාල ගැන අල්ලස් පරීක්ෂණයක් !

දූෂණ විරෝධී පෙරමුණ විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව සිදුකර ඇති අල්ලස් පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත .

එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර විමර්ශන වාර්තාවක් කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා නිර්දෝෂී බව වාර්තා කර තිබිණ .

එකී විමර්ශන අවසන් වන තුරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී සිටියේය .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , කිසියම් අමාත්‍යවරයකු වෙත චෝදනාවක් එල්ල වූ විට මේ ආකාරයට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවය.

එසේම මේ විමර්ශන දීර්ඝ කාලයක් ගත නොකර කඩිනමින් අවසන් කිරීමත් අතිශය වැදගත් බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

ඇමති නිමල් සිරිපාල ගැන අල්ලස් පරීක්ෂණයක් !

දූෂණ විරෝධී පෙරමුණ විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව සිදුකර ඇති අල්ලස් පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත .

එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර විමර්ශන වාර්තාවක් කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා නිර්දෝෂී බව වාර්තා කර තිබිණ .

එකී විමර්ශන අවසන් වන තුරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී සිටියේය .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , කිසියම් අමාත්‍යවරයකු වෙත චෝදනාවක් එල්ල වූ විට මේ ආකාරයට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවය.

එසේම මේ විමර්ශන දීර්ඝ කාලයක් ගත නොකර කඩිනමින් අවසන් කිරීමත් අතිශය වැදගත් බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

Page 211 of 384