පුවත්

අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්
අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (සැප්. 18) නිකුත් කර ඇත.
ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වලට, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධනගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් !
ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .
අදාළ සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (18) පවත්වා ඇත.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .

ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි
සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද(18) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේය.
1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් විය.
1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ මහත්මිය 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවාය.
2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළාය.
හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කිරීමේන අනතුරුව ඇය අද(18) අළුයම ඇය අභාවප්‍රාප්ත විය.
දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.

ලවක් දෙවක් නැතුව පොලිසියට බනින අයට ටිරාන් කිව්ව කතාව !
සමහරුන් පොලීසියට කොතරම් බැන වැදුනද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේද ශ්‍රී ලංකා පොලිසිය පමණක්ම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමිනි .
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත උත්තමාචාර පිළිගැන්වීමත්, සර්වාගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළේය.
ඉන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍ය වරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට සහ මහජන හමුවකට සහභාගී විය.
මෙම මහජන හමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ, වසර ගණනාවක් අවශ්‍යතාවයක්ව තිබූ නව ගොඩනැගිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත්, පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්වයක පැවති බවත්, පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බවත්, පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහල නංවා තැබීමට හැකී වූ බවත් ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ, පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීමට හැකි වූ බවද, එයට ප්‍රති උපකාරයක් ලෙස සියළුම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බවත්, මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත් ය.
මෙවර උසස්පෙළ විභාගයේ වාණිජ අංශයේ කුරුණාගල දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේම 12 වැනි ස්ථානය හිමි කරගත්, පොලිස් නිලධාරියෙකුගේ දියණියක වන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ එම් සාවින්දි පූර්ණිමා ජයවර්ධන දියණියට අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ ඇගයීමේ ත්‍යාගයක් පිරිණැමීමද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

කවුදෝ කෙනෙක් සජිත්‍ට අගමැති වෙන්න කියා ආරාධනා කරලා !
ආන්ඩුවේ අගමැති කම බාර ගන්නා ලෙස අදට ද ඇතැමුන් තමන්ට යෝජනා කරන නමුත් ප්‍රතිපත්ති කඩ කරමින් පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් අගමැතිකම් භාර ගැනීමට තමන් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එනිසා සක්විති කම රජකම දෙන බව පැවසුවත් ජනවරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැති කම බාර ගැනීමට තමන් සූදානම් නැති බව ද ඔහු සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.
තමන් සහ ආණ්ඩුව අතර කිසිදු දේශපාලන ඩීල් එකක් නැති බව ද ඔහු එහිදී පැවසීය .

ජනාධිපති කියුබාවෙන් ඇමරිකාවට !
කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වනදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 18 වනදා පැවැත්වෙන, 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.
එසේම එදින ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.

අත පක්ෂයේ මහ ලේකම් ධූරයට මහ තරගයක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් ඇතිව තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට මහ ලේකම් ධූරය සඳහා තියුණුම තරගයක් ඇතිව තිබෙන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අතර ය.
මේ වන විට පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉවත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරය සඳහා පත්වීමට පෙර ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ය.
එසේම දයාසිරි ජයසේකර ව පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.
ඒ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.

රජය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වෙයි !
රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය පමණක් සිදුකරන බව වැඩබලන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්‍රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී කටයුතු කරනු ඇත.
තවද ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුද මේ වසර අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විමල්ගේ ගෝලයාට ගංජා ප්‍රශ්නයක් !
එලිපිට ගංජා බීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ මෑතක සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි .
ආයුර්වේදයට අදාලව මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වයන් මැඬලීමට ශක්තිමත් පනත් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පවසයි .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ මන්ත්‍රීවරයා ඉතාම පසුගාමී එළැඹුමක සිට මේ අදහස් දක්වා ඇති බවයි.
ලෝකයේ ඉහළ ලාභ ඉපයිය හැකි කංසා මත්ද්‍රව්‍යක් ලෙස පමණක් ඌණනය කර ගැනීම වරදක් බවත් වෙළෙඳපොළ ප්‍රවණතා සැලකිල්ලට ගෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම අත්‍යාවශ්‍ය බවත් විචාරක මතය වී තිබේ.

කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට
කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත.
කොළඹ වරාය නගරයේ අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය.
වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙසත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයන්ට උපදෙස් ලබාදී ඇත.
රාජ්‍ය ඇමැති වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.

ජනපති ''G 77'' අමතයි
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස්ගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ බහුපාර්ශ්වික සංසදයන් වල දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාව ද කෘතවේදීව සිහිපත් කළේ ය.

චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර ඇත.
පාලිමේන්තුව නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ රෝහණදීර පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වශයෙන් පත්වීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩුවිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අතිරේක ලේකම්වරයකුවූ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය හිටපු ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් තනතුර ඇතුළු තවත් ඉහළ තනතුරු රැසක ද කටයුතු කළ ප්‍රවීන පරිපාලන නිලධාරියෙකි.
මෙයට අමතරව ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු, වසර එකසිය විස්සකට වැඩි පැරණි තානාපති සේවා නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ධූරයට පත් ප්‍රථම දකුණු ආසියාතිකයාද වන්නේය.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ගුණරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වෙයි.
(lankadeepa.lk)

ජනපති කියුබා ජනපති හමු වෙයි
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) අතර නිල හමුව කියුබාවේ දී සිදු විය.
කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පිරිනැමිණි.
සුහද කතාබහකින් අනතුරුව නායක දෙපල ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කළේය.
අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළේය.
ඉදිරියේ දී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ගෝලීය වශයෙන් උතුරු - දකුණු රටවල් අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය.
එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් විසින් පිළිගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ බහුපාර්ශ්වික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රේඛා ගුණසේකර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකාදීප

සිරකරුවන් 933කට ජනපතිගෙන් නිදහස.....
විශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 933ක් නිදහස ප්‍රදානය කරනු ලැබ තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ, සැප්. 12 වන දාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇති බව ය.
එම පිරිස අතර පිරිමි රැඳවියන් 926 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 7 දෙනෙකු සිටින බව එහි සඳහන් ය.
මෙලෙස රැඳවියන් නිදහස් කර ඇති නියමයන් හා කොන්දේසි වන්නේ;
2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 1 සමාවක් ලබා දීම.
දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගෙ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියම කර, එම දඬුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම් ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යළිත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්‍ර සේනානායක ලබන සැප්. 25 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
තරග පාවා දීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ ය.
ඔහු පසුගිය සැප්. 6 අත්අඩංගුවට ගැනිණි.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරග පාවාදීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2023 අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

විශ්‍රාම ගිය වෛද්‍යවරු යළි සේවයට
රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යම් බලපෑමක් සිදුව ඇති හෙයින් එයට තවත් විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 කාලසීමාවට අමතරව ඔවුන්ගේ කැමැත්ත පරිදි තවත් වසර 02 ක් කොන්ත්‍රාත් පදනම මත ඔවුනට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
එය කැබිනට් මණ්ඩලයට දැනුම් දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සමස්ත රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව වයස අවුරුදු 60 වුවද, රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද මුහුණ දීමට සිදුව තිබෙන යම් බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව මෙයට පෙර අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරිණි.
ඒ අනුව එයට අමතරව ඉන් ඔබ්බට මෙලෙස ඔවුන්ගේ සේවාව කොන්ත්‍රාත් පදනම මත තවත් වසර 02 කට දීර්ඝ කිරීමට කටයුතු කෙරේ.
විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රටපුරා බොහෝ රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රංශයෙන් ආධාර
රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට, ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය, යුනිසෙෆ් හරහා යුරෝ 500,000ක් පරිත්‍යාග කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට, මෙම දායකත්වය මගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. තීව්‍ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් පිළිබඳවත් දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරනු ලැබේ.
මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළහොත් එය, දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළ හැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි අතර විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපායි.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා ඇතිවන දුෂ්කරතා, පවුල් වලට බලපෑම් එල්ල කරන අතර විශේෂයෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කුටුම්භයන්ට වැඩි වශයෙන් බලපායි. ක්‍රමවත් සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා ප්‍රවේශය ලබාගැනීමට බොහෝ යොවුන් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොහැකි බැවින් ඔවුන් මන්දපෝෂණයේ අවදානමට ලක් වේ.
මෙම දායකත්වය මඟින් UNICEF සහ එහි හවුල්කරුවන්;
- උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,500 කට චිකිත්සක ආහාර සැපයීම හරහා ප්‍රතිකාර කරයි.
- මාස 6-23 අතර ළමුන් 120,000කට ඌනතා මඟහරවා ගැනීමට සහ මන්දපෝෂණය වැළැක්වීම සඳහා ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි.
- 200,000 ක් දෙමාපියන්ට/භාරකරුවන්ට තම දරුවන් අතර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙයි.
“ප්‍රංශයෙන් ලැබෙන මෙවැනි දායකත්වයන්, මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය ළමුන් සඳහා අපගේ අඛණ්ඩ ප්‍රතිචාරය ඉහළ නැංවීමට දායකවන අතර මන්දපෝෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට උපකාරී වන අපගේ ඒකාබද්ධ උත්සාහයන් ඉහළ නංවයි” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පවසයි. “සෑම දායකත්වයක්ම නියෝජනය කරන්නේ දරුවෙකුට
නිරෝගීව වැඩීමට සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඵලදායී පුරවැසියෙකු ලෙස වර්ධනය වීමට අවස්ථාවකි.”
යුනිසෙෆ් ආයතනය, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය සහ ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයේ දරුණුතම බලපෑම්, COVID-19 සහ වර්තමාන ආර්ථික දුෂ්කරතාවලින් මිදීම සහතික කිරීම සඳහා කඩිසරව සිය කාර්යයේ නිරතව සිටියි.
“ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයකින් කටයුතු කරන අතර යුනිසෙෆ් හරහා ලබාදෙන මෙම දායකත්වය, ශ්‍රී ලංකාවේ ළමුන් සහ ජනතාව සඳහා අපගේ හවුල් දැක්මේ එක් නිරූපණයක් පමණි” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැකට් මහතා පැවසීය.
මෙම දායකත්වය, ප්‍රංශයේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර උපාය මාර්ගය (2019-2024) සහ එහි, “වර්ධනය සඳහා පෝෂණය” (N4G) නම් මුලපිරුම යන දෑ ත්; සැමට සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය සහ ප්‍රමාණවත් ආහාර සහතික කිරීමත් ආහාර ස්වාධීනත්වය නැවත ඇති කරගැනීම සඳහා ජනගහනය සක්‍රීය කිරීමත් සමඟ අනුකූල වේ. ප්‍රංශය මීළඟ N4G සමුළුව 2024 දී පවත්වනු ඇති අතර මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමේ අභිලාෂකාමී කැපවීම් සඳහා ප්‍රධාන පෝෂණ ක්‍රියාකාරීන් එක් කිරීමට බලාපොරොත්තු වේ.

මහින්දගේ ජ්‍යොතීර්වේදියාගෙන් සජිත් ගැන අනාවැකියක් !
ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට රාජකීය ජ්‍යොතීර්වේදියා වශයෙන් ප්‍රකටව සිටි ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත.
ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම් අටවන ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස බවද ඔහු පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බවත් එහි වාසනාව අනුව ඔහු මෙරට රාජ්‍ය පාලකයා වන බවත් ඔහු පවසයි.
Page 205 of 513