V2025

පුවත්

DIG නාලක සිල්වා යළි සක්‍රීය සේවයට : වැඩ බාරගන්නත් පෙර ස්ථාන මාරුවක් !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත 2018 වසරේදී වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත

මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් - මහින්ද දේශප්‍රිය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රටේ සිසු පරපුර 2048 දී රට භාරගන්න නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ වෙන්න - ජනාධිපති

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි. 2020-2021 වර්ෂවල දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරිණි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර විද්‍යාලයීය පෝතක බාලදක්ෂ ආචාර හා බාලදක්ෂයන්ගේ සම්මාන මුරයකින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එක්විය.

ජාතික, ආගමික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සියලු අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත්, ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ සුපසන් ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන “ආනන්දාභිමානී” සම්මානය හිටපු කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිරිනැමීම සහ පාසල් දිවිය තුළ සෑම අංශයකින්ම ඉහළම කුසලතා පළ කළ අතිවිශිෂ්ට ආනන්දියාට පිදෙන “ප්‍රිට්ස්කූන්ස්” සම්මානය හිමි කරගත් ඩබ්ලිව්. එස්. නිම්සිත් සිසුවාට එය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මට මෙහිදී සිහිපත් කළා පසුගිය වතාවේ මෙම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වූ අවස්ථාව. එවිට විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ කුඩලිගම මහතා. එදාට වඩා අද මෙම විද්‍යාලය විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒ සඳහා දායක වු සියලුදෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා.

“ළගම පාසල - හොඳම පාසල” වැඩසටහන යටතේ අපි එදා මේ විද්‍යාලයට සත්මහල් ප්‍රසාදයක් ලබා දුන්නා. එවැනි ගොඩනැඟිල්ලක් තිබෙන ලංකාවේ එකම පාසල ආනන්ද විද්‍යාලයයි. ඒ වගේම පිහිණුම් තටාකයක් සහ ක්‍රිඩාංගණයක් මෙම පාසලට ලැබී තිබෙනවා.

මම අද කතාව ආරම්භ කිරීමට සිතුවේ ආනන්ද විද්‍යාලය ආරම්භ කළේ ඇයි කියන කාරණය සමඟයි. බ්‍රිතාන්‍යයන් පැමිණෙන විට අපේ රටේ පාසල් තිබුණේ නැහැ. පල්ලියේ පාසල් පවත්වාගෙන ගිය අතර ඉංග්‍රිසියෙන් නැත්නම් ඕලන්ද භාෂාවෙන් එහි අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.

ඒ වගේම පන්සලේ පවත්වාගෙන ගිය පාසල්වල සිංහලෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඒ වගේ යාපනයේ එක් එක් ස්ථානවල දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන්නා.

1835 කෝල්බෘක් - කැමරන් කොමිසන් වාර්තාවෙන් ලංකාවේ ආර්ථිකය කණපිට පෙරළුවා. කුරුඳු වගා කරන වැඩවසම් ආර්ථිකය වෙනුවට වාණිජ ආර්ථිකයක් ඇති කළා. පළමුව තේ, ඉන් අනතුරුව කෝපි, රබර්, පොල් වගා කිරීම ආරම්භ කළා. ඒ වගේම කොළඹ වරායත් විශාල වරායක් බවට පත් කළා.

ඒ අනුව එසේ නම් 19 වන 20 වන ශතවර්ෂයට අදාළ අලුත් වාණිජ ආර්ථිකයක් ඇති කළා. ඒ වාණිජ ආර්ථිකය ප්‍රථමයෙන් පටන් ගත්තේ ලංකාවේ. අනතුරුව එය ජපානයේ ඇති කළා. මේ වැඩකටයුතු සඳහා ලාංකිකයින් අවශ්‍යයි, ඒ සඳහා පාසලක් ආරම්භ කළ යුතුයි කියා එදා යෝජනා කළා. එම විද්‍යාලය ආරම්භ කළේ කොළඹ ඇකඩමිය ලෙසයි. ඒ තමයි මගේ ආදි පාසල කොළඹ, රාජකීය විද්‍යාලය. එය එදා ආරම්භ කළේ කොටුව අලුත්කඩේ අසල.

ඒ සමගම මිෂනාරි සංගම් පැමිණ ඔවුන් ද පාසල් ආරම්භ කළා. ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර, තවත් එවැනි පාසල් කිහිපයක් ඇති කළා. එම අවස්ථාවේ දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ දුටුවා නවීන පාසලක් බෞද්ධයන්ට ද අවශ්‍යයි කියා. එදා බෞද්ධයන්ට තිබුණේ පිරිවෙන් අධ්‍යාපනයයි, පන්සලයි විතරයි. ඒ වෙනුවට උන්වහන්සේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සමඟ එක්ව බෞද්ධ පරිසරය තුළ ඒ නවීන ක්‍රමයේ පාසලක් ආරම්භ කළා.

මොකද මිෂනාරි ක්‍රමය තුළ තිබුණේ ක්‍රිස්තියානි පරිසරයයි. කොළඹ රාජකීය විද්‍යාලයේ තිබුණේ සාමාන්‍ය පරිසරයක්. එහෙනම් බෞද්ධ පරිසරය සමඟ ආනන්ද විද්‍යාලය ආරම්භ කළා. එහි පළමු විදුහල්පතිවරු දෙදෙනාම ක්‍රිස්තියානි අය. පසුව ඔවුන් බුද්ධාගම වැළඳ ගත්තා. මෙතැන් සිට තමයි කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආදි ශිෂ්‍යයන් ගණනාවක් බිහි වුණේ. ඔවුන් එදා නිදහස් ලංකාව ගොඩනැඟීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළා.

ඒ අය අතරින් අද අපි කරු ජයසූරිය මැතිතුමාට “ආනන්දාභිමානී” කියන උපහාරය පුද කළා. නගරාධිපති ලෙස, අමාත්‍යවරයෙකු ලෙස සහ කථානායක ලෙස කරු ජයසුරිය මහතා මෙම පාසලට විශාල සේවයක් ඉටු කර තිබෙනවා. ඒ පිළිබඳ ආනන්ද විද්‍යාලයට ආඩම්බර විය හැකියි. අපි සමාජය වෙනුවෙන් කළ යුත්තේ මොකක්ද කියන කාරණයේදී මෙය වත්මන් ශිෂ්‍යයන්ටත් හොඳ ආදර්ශයක් වෙනවා.

අද මේ පාසලේ අධ්‍යාපනය ලබන ඔබ සියලු දෙනා වාසනාවන්තයි. මම දන්න විදියට බෞද්ධ පරිසරයක් සමඟ ලෝකයේ තිබෙන පළමු නවීන පාසල මේ ආනන්ද විද්‍යාලයයි. අපි පළමුව හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේට ආනන්ද විද්‍යාලයත්, විද්‍යෝදය පිරිවෙනත් ආරම්භ කිරීම පිළිබඳ කෘතවේදි විය යුතුයි. දැන් ඔබ අධ්‍යාපනය ලබා සමාජයට ඇතුළු වීමට සුදානම් වී සිටිනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය පුහුණුව ලබාදීමට විදුහල්පතිතුමත්, ආචාර්ය මණ්ඩලයත් කටයුතු කරනවා. ඒ ලබාදෙන දැනුමෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න. ආචාර්ය මණ්ඩලයට අවශ්‍ය එම සහාය ලබාදීමට ශිෂ්‍ය නායකයන් සිටිනවා. ඊට අමතරව ක්‍රීඩා නායකයන් සිටිනවා. ඒ වගේම ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් සිටිනවා. ඒ වගේම මේ විද්‍යාලයට විශාල වශයෙන් උදව් උපකාර කරන ආදි ශිෂ්‍යයන් ඉන්නවා.

විශේෂයෙන් වරප්‍රසාද ලත් පිරිසක් ලෙස ඔබ මේ අධ්‍යාපනයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගෙන පසුව සමාජයට පිවිස, ඊට හොඳ නායකත්වයක් ලබා දෙන්න. ඔබට සමාජයට ඇතුළු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීම ආචාර්ය මණ්ඩලයේ වැඩ කටයුත්තක්. ඉන් පසු ඔබ යන සමාජය අලුත් සමාජයක් ලෙස ගොඩනැඟිම ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් යුතුකමක්.

මොකද අද අපි දකින්නේ ඉතා අර්බුදකාරී සමාජයක්. දේශපාලනය වගේම ආර්ථිකයත් කඩාවැටිලා. එම ආර්ථික කඩාවැටීම මීට පෙර ඉතිහාසයේ කිසිදා නොදැකපු අන්දමේ එකක්. සෑම අංශයක්ම කඩාවැටීමත් සමඟ අපේ ක්‍රමවේදය ක්‍රියා විරහිත වුණා.

දැන් IMF ආධාර සමඟ අපි ඉදිරියට යනවා. අපි රට දියුණු කිරීමට නම් ආධාර ලබාගෙන තමයි ඉදිරියට යා යුත්තේ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වසර 4න් පසු අපි ඇතිකරන්නේ මොනවගේ සමාජයක්ද.අපි පරණ ක්‍රමයට යනවද, අලුතින් සිතනවද, ඒ පිළිබඳ අපි සියලු දෙනා සිතා බැලිය යුතුයි.

නිදහසින් පසු අපි නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යය ඇති කළා. මහවැලිය ඇති කළා. ඒ වගේම වෙළෙඳ කාලප ඇති කළා. මේ සමඟ අපි ආර්ථික දියුණුවත් ඇති කරගත්තා. යුද්ධයට පෙරත්, යුද්ධයෙන් පසුවත් අපි එකතැනක සිටියා. අනිත් රටවල් අප පසුකර ඉදිරියට ගියා. බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනිසියාව මේ සියලු රටවල් අපට වඩා ඉදිරියට ගියා. ඒ නිසා තමයි අද අපි තවමත් මේ තත්ත්වයේ පසුවන්නේ.

අපේ අනාගතය තිබෙන්නේ එකතැන සිටීමෙන් ද, නැත්නම් අපිත් ලෝකය සමඟ ඉදිරියට යනවාද, අපි ඒ තීරණය ගත යුතුයි. අද අපි අලුතින් සිතා අලුත් පිම්මක් පනින්න අවශ්‍යයි. ඒ පිම්ම පැනීමේ නායකත්වය ගත යුත්තේ තරුණ ප්‍රජාවයි. තොරතුරු තාක්ෂණය අපේ කාලයේ තිබුණේ නැහැ. අඩුම තරමින් පරිගණකයක්වත් තිබුණෙ නැහැ. අද තරුණ ප්‍රජාව නවීන තාක්ෂණය භාවිත කරනවා. අපි අලුත් තාක්ෂණයට යන්න අවශ්‍යයි. දැන් හැමෝම ළඟ උසස් තත්ත්වයේ ජංගම දුරකථන තිබෙනවා. මේ වන විට තරුණ ප්‍රජාවට දැනුමක් තිබෙනවා.

අපේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ හරිත බලශක්තියයි. හරිත බලශක්තිය හැම අංශයකින්ම අවශ්‍යයි. සූර්ය බලශක්තිය, සුළං බලය, මුහුදු සුළං බලශක්තිය මේ හැම දෙයක්ම අපට තිබෙනවා. අපි මේවායින් ප්‍රයෝජනය ගත යුතුයි. එදා තේ, කෝපි, රබර් වගා කළා වගේ මේ දෙයිනුත් සම්පූර්ණයෙන්ම කෙටි කාලයකින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍යයි. අනික් රටවල් මේ තැනට යන්න කලින් අප එම කටයුත්ත ආරම්භ කළ යුතුයි. අපට තිබෙන හරිත බලය නිසා හරිත කාබන්, හරිත හයිඩ්‍රජන් ඇති කරන්න පුළුවන්. රටවල් ගණනාවක්ම ස්වයංපෝෂිත වෙලා නැහැ. අපට තිබෙන සම්පත් නිසා අඩුම තරමින් ගිගාවොට් විස්සකවත් හරිත බලයේ අතිරික්තයක් තිබෙනවා. ගිගාවොට් 50 ක් තිබෙනවා කියලා සමහරු කියනවා.

‍අනාගතයේ ප්‍රධාන බලශක්තියක් තමයි හරිත හයිඩ්‍රජන්. අපට ග්‍රීන් ඇමෝනියා තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන වරාය බවට ත්‍රිකුණාමලය පත් කර ගත යුතුව තිබෙනවා. මේ සියල්ලම ගතහොත් බලශක්ති අතිරික්තයක් තිබෙන රටක් බවට පත් වෙනවා. අපට එමගින් කාබන් ක්‍රෙඩිට් ලබා ගන්න පුළුවන්. කාබන් ක්‍රෙඩිට් අනික් රටවල් අපෙන් මිලදී ගනියි. ස්වභාවිකවත් දියුණු කරන විට ඒ සඳහා අපට මුදල් ලැබෙනවා. ඒ මුදල්වලින් අපේ ණයත් අඩු කර ගන්න පුළුවන්. අපේ අතේ විශාල බලයක් තිබෙනවා. ඒවා අපි ක්‍රියාත්මක කළ යුතුයි.

දෙවනුව සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අද මාලදිවයින සංචාරක කේෂ්ත්‍රයේ ඉහළින් ඉන්නවා. අපේ රට වටේ මුහුදු වෙරළ තිබෙනවා. කඳුකරය, අපට අනන්‍ය සංස්කෘතියක් තිබෙනවා. බෞද්ධ, හින්දු ඇතුළු ආගමික ස්ථාන තිබෙනවා. අපි ඒවායින් ප්‍රයෝජනයක් ගෙන නැහැ. අසල්වැසි ඉන්දියාවේ ජනතාව බිලියනයකට අධිකයි. අඩුම තරමින් එයින් මිලියනයක්වත් ගෙන්න ගත්තොත් අපට ප්‍රමාණවත්. වෙන මුකුත් අවශ්‍ය නැහැ.

ඉන්දියාව අද සීග්‍රයෙන් දියුණු වෙලා. ඉන්දියාවට දියුණු වෙන්න ඇතැම් අමුද්‍රව්‍ය නැහැ. නිෂ්පාදනය කරන භාණ්ඩ රට යවන්න අවශ්‍යයි. ඒ අයට වරායේ ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි කොළඹ වරාය විශාල වරායක් බවට පත් කළ යුතුයි.

අලුතින් දකුණු වරාය වගේම උතුරු වරායත් ඇති කළා. අක්වෙරළ ආර්ථිකය ඇති කරන්න අපට පුළුවන්. තාම එක රටක්වත් එය සිදු කරලා නැහැ. අපට තිබෙනවා නව තාක්ෂණය ලබා ගන්න. තොරතුරු තාක්ෂණය පමණක් නෙවෙයි අපට තිබෙන්නේ. එහි ප්‍රධානතම අංශය තමයි කෘත්‍රීම බුද්ධිය ලබා ගැනීම. ඉදිරියේදී කෘත්‍රීම බුද්ධිය ලබා ගැනීම විශේෂයෙන්ම අපට තිබෙන අභියෝගයක්.

ඉදිරියේදී ස්වයංක්‍රීය තාක්ෂණයටත් යන්න තිබෙනවා. අප අනික් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින රටක් බවට පරිවර්තනය විය යුතුයි. එවැනි රටක් හදන්න නම් අලුත් නායකයන් අවශ්‍යයි. අපට තිබෙන්නේ මඟපෙන්වීම කරන්න විතරයි. එහි පෙරමුණ ගත යුත්තේ කවුද? තරුණ ඔබ තමයි නායකත්වය ගත යුත්තේ. එදා 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා කිව්වෙත් ඔබ රටේ අනාගතය කියලයි.

දැන් මට කියන්න තියෙන්නෙත් ඔබත් රටේ අනාගතය කියලයි. ඒ අභියෝගය භාර ගන්න පුළුවන්ද? අපේ අදහස් අනුව සමාජය හදලා වැඩක් නැහැ. අලුත් තාක්ෂණය සමඟ ඉන්නෙ තරුණ ඔබ. ඒ සමාජයට යන්න. සෑම දෙයක් ගැනම වගකීම ගන්න. මේ පාසලේ දක්ෂ අය ඉදිරියට යයි. අභියෝග තිබුණොත් බිය නොවී භාර ගන්න. අභියෝග භාර ගත්තොත් පරාජය වෙනවද කියලා හිතන්න ගත්තොත් කිසිවක් කරන්න බැහැ.

ආනන්දය 19 වන ශතවර්ෂයේ නවීන ලංකාවක් ඇති කරන්න පුරෝගාමීව ක්‍රියා කළා. එහෙනම් 20 වන ශතවර්ෂයේදීත් පුරෝගාමීව කටයුතු කරන්න. මේ වෙනස්කම් කරන්න අවුරුද්දකින් බැහැ. අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් යන්න පුළුවන්. ඔබලාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තව අවුරුදු 25කින් වයස කියද? මෙතැන ඉන්න කිසි කෙනෙක් අවුරුදු 50ට වැඩි නැහැ. ඕන නම් 45 ක් 55 ක් වෙන අය සිටින්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අනාගතය සකසා ගන්න.

චීනය ජනරජය ඇති කරලා වසර සියයක් ගත වෙන්න කලින් දියුණු රටක් බවට පරිවර්තනය කරනවා කියලා කිව්වා. ඔවුන් ඒ වෙනස ඇති කරලා තිබෙනවා. අපි දියුණුවන රටක් වීම සඳහා නම් කළ වසර 2048යි. මෝදි අගමැතිතුමත් අවුරුදු සියය සැමරීමට පෙර නවීන ඉන්දියාවක් ඇති කරනවා කිව්වා. ඒ කියන්නෙ 2047 වසර. ඇයි ඉතිං අපට කරන්න බැරි. ඒ අභියෝගය ඔබ සියලු දෙනාම භාර ගන්න. එය ඔබට කරන්න පුළුවන්.

පූජ්‍ය රංවල ධම්මරක්ෂිත හිමි, පූජ්‍ය ඕනෑගම උපාලි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, හිටපු කතානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, අනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු සහ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=3744#sigProId3105219699

ශ්‍රී ලංකා - තායි නිදහස් වෙළඳ ගිවිසුමේ සිව්වන සාකච්ඡා වටය අවසන් !

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කෙරුණු අතර එය අද (29) අවසන්ව තිබේ.

විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාවය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළඳපොළ ප්‍රවේශය වැඩි කිරීම පමණක් නොව එම වෙළඳපොළ හරහා අනෙකුත් ආසියාන් රටවල වෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීම, ශ්‍රී ලංකා පාර්ශ්වයේ සාකච්ඡා වල අරමුණයි.

මෙම 4 වන සාකච්ඡා වටය සඳහා සහභාගිවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මාර්තු 26 වැනිදා මෙරටට පැමිණියහ.

මීට සමගාමීව දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් තායිලන්ත දූත පිරිස විසින් ගංගාරාම විහාරස්ථානය වෙත පාත්‍ර 500 කට අධික ප්‍රමාණයක් පුජා කිරීම ද එදින සිදු කෙරිණ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා ප්‍රමුඛව විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගිවී සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=3744#sigProId408aed7d68

තෙල් සේවකයින් 20කට අනිවාර්ය නිවාඩු

අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

oil 20

 

බස් ගාස්තු හා ත්‍රිරෝද රථ ගාස්තු මිළත් පහළට

හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩුකෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න  පවසයි.

ඒ අනුව, ඔහු පැවසුවේ අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර මීට පෙර දැනුම්දුන්නේ ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බවය.

ත්‍රිරෝද රථ ගාස්තුත් පහළට

දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක්  සඳහන් කළේය.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පැවසීය.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් වැඩිදුරටත් සඳහන් කළේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල පහළට

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ බව පැවසී ය.

ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 60 කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්, පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 135 කින්, සුපර් ඩීසල් ලීටරයක් 45 කින් සහ භූමිතෙල් රුපියල් 10 කින් පහළ යනු ඇති.

මිල සංශෝධනය අනුව නව මිල ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් 92 ලීටරයක් - රුපියල් 340යි
සුදු ඩීසල් ලීටරයක් - රුපියල් 325 යි
පෙට්‍රල් 95 ලීටරයක් - රුපියල් 375 යි
සුපර් ඩීසල් ලීටරයක් - රුපියල් 465 යි
භූමිතෙල් ලීටරයක් - රුපියල් 295යි

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයන්ට සමගාමීව එම මිල ගණන්වලින් ම අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත දමන බව, IOC සමාගම පවසයි.

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22ක තොරතුරු තහවුරු කරගෙන අවසන් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 82.1% කි.

පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් 78.3% ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 74.5% ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73.3% ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 71.7% ක් ආදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර ඇත.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව රජය තවදුරටත් අවධාරණය කරයි.

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් ! රුවන්

බලශක්ති ක්ෂේත්‍රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් ඒ සඳහා දේශීය හා විදේශීය සෘජු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති, 2023 ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවේ සභාපතිවරයා ලෙස සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමිනි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ හරිත බලශක්ති ආයෝජන අවස්ථා සොයා බලා හඳුනාගැනීමට මෙම සමුළුව ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් බව පෙන්වාදුන් රුවන් විජයවර්ධන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය බළමුළු ගැන්වීමේදී පෞද්ගලික අංශය තීරණාත්මක බව ද පැවසීය.

ලංකාව “පැරිස් සම්මුතියට” වඩා පහළින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළමනාකරණය කරමින් ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටක ඉතා දුර්ලභ උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම පැරිස් සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව 2030 වනවිට හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කිරීමට කැපවී සිටින අතර,   2030 වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම, 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් මධ්‍යස්ථතාව අත්පත් කර ගැනීම, ගල්අඟුරු විදුලිබල උත්පාදනය තවදුරටත් ධාරිතාවට එකතු කර නොගැනීමට කැපවී සිටින බවද පැවසීය.

මෙම සමුළුව ඇමතූ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතා සඳහන්කර සිටියේ  හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම බවය.

අද වේගයෙන් සංවර්ධනය වෙමින් සිටින රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව හරිත විප්ලවයේ නායකයන්  වී සිටින බව පෙන්වා දුන් සෝල්හයිම් මහතා එම රටවල් ආර්ථික දියුණුව මෙන්ම වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීමද  ඉන් අපේක්ෂා කරන බවත් ඒ අනුව  චීනය සමඟ මෙන්ම ඉන්දියාව සමඟද සමීප සබඳතාවක් ඇති ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් කරා යොමු වීමට විශාල අවස්ථාවන් පවතින බවත් පෙන්වා  දුන්නේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  අදහස් දක්වමින් කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා ලෙස තම කාර්යය වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරීව තබා ගැනීමට අවශ්‍ය වේගවත් වෙනස්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බවයි.

ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල මානසිකත්වය වෙනස් කළයුතු බවත් ඒවායේ කළමනාකාරිත්වය සහ ක්‍රියාකාරිත්වය යන අංශ ද්විත්වය තුළම නව්‍ය මානසිකත්වයක් හඳුන්වාදිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව තම න්‍යාය පත්‍රයේ පළමු කොටස වන්නේ මේ සඳහා අවශ්‍ය ආයතනික රාමුව සකස් කිරීම බව පෙන්වා දුන් කංචන විජේසේකර මහතා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ එකම අරමුණ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම බව ඇතමුන් සිතුව ද සත්‍යවශයෙන්ම එය ඊට වඩා පුළුල් කාර්යයක් බවත් දැනට පවතින ආයතනික රාමුවෙන් මිදී බලශක්ති අනාගතයක් සඳහා ආංශික ආණ්ඩුවේ රාමුව සකස් කරමින් සිටින බවත් පැවසීය.

පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ  සමුළුව අමතමින් පැවසුවේ ශ්‍රි ලංකාව සතු වනාන්තර ප්‍රමාණයෙන් 32%ක් දක්වා වැඩිකරගැනීම රජයේ අපේක්ෂාව වන අතර සාම්ප්‍රදායික ක්‍රමවලින් එය සිදු කළ නොහැකි බව හා  ඒ සඳහා  කාබන් ක්‍රෙඩිට් සංකල්පය භාවිතා කිරීමට කටයුතු කරන බවය.

එලෙස සිදුකිරීමෙන් රටට ආදායමක් උපයාගත හැකි අතර, වනාන්තර ප්‍රමාණය ද ඉහළ නංවාගැනීමට හැකියාව ඇති බවද  ඒ මහතා පෙන්වා දුන්නේය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ බලශක්ති විශේෂඥ ජරී වේරිනන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ප්‍රසංජිත් විජේතිලක, කරච්චි SEED Ventures හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ, ෆරාස් ඛාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී  ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව 2023 ඇමතූ රුවන් විජේවර්ධන වැඩිදුරටත් මෙසේ ද පැවසීය!

 2023 ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මට මහත් ගෞරවයක්. මෙම වැදගත් අවස්ථාවට පැමිණි ඔබ සැම ඉතා උණුසුම් ලෙස මා පිළිගන්නවා. අපට අවංකව හා සෘජුව අදහස් හුවමාරු කර ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා.
 
සමුළුව ආරම්භ කිරීමට පෙර, අපි අද සමුළුව පැවැත්වීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ සඳහන් කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආර්ථික පරිසරය, ශ්‍රී ලංකාව තුළදී ආයෝජකයින්ට පහසුකම් සැලසිය හැකි ආකාරය සහ දේශගුණික විපර්යාසවලදී Carbon Credit භූමිකාව, ජාල ආයෝජනයක් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි.
 
පුනර්ජනනීය බලශක්ති විභවයන් බහුල රටක් වන ශ්‍රී ලංකාව, තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති වෙත සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටිනවා. මෙම සංක්‍රාන්ති අවස්ථාවේ අප අපේක්ෂා කරන්නේ, රජයේ මුදල් මත බර පටවන ඉන්ධන ආනයනය අඩු කිරීම පමණක් නොවෙයි,  කාන්තාවන් ඇතුළු සෙසු පිරිස් සඳහා රැකියා උත්පාදනය කිරීමට හැකියාව ලබාදෙන, පිරිසිදු හා දැරිය හැකි බලශක්තිය මත ආර්ථිකය නැවත ගොඩනැඟීමයි.

මෙම සංක්‍රාන්තිය ආර්ථිකයට, බලශක්ති කර්මාන්තයට සහ පරිසරයට බහුවිධ ජයග්‍රහණ අත් කර දෙනවා.
 
ශ්‍රී ලංකාවේ වසරකට ඒක පුද්ගල කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 1.2ක් පමණ වන අඩු අගයක් ගන්නවා.  රටේ සංවර්ධන මාවත තුළ සෑම විටම අඩු කාබන් ඩයොක්සයිඩ් තීව්‍රතාවයක් පවත්වාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ අනුව පැරිස් සම්මුති නිර්නායකවල වඩා පහළින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කළමනාකරණය කරමින් ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටක් වශයෙන් ඉතා දුර්ලභ උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව  පෙන්වා දිය හැකියි.

පැරිස් සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස, 2030 වනවිට හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ඒ වගේම  2030 වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම, 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් මධ්‍යස්ථතාව අත්පත් කර ගැනීම මෙන්ම ගල්අඟුරු විදුලිබල උත්පාදනය තවදුරටත් ධාරිතාවට එකතු කර නොගැනීමටද  කැපවී සිටිනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම, තිරසාරත්වය සඳහා සමාගම්වලට ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට සහ පාරිසරික බලපෑම අවම කිරීමට එක් මාර්ගයක් වනවා.  මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සංවර්ධනය කිරීම සහ යෙදවීම සඳහා පෞද්ගලික අංශය ද තීරණාත්මකයි.  

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ හරිත බලශක්ති ආයෝජන බලමුළු ගැන්වීම උදෙසා මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට රජය දේශීය සහ විදේශීය සෘජු ආයෝජන සඳහා ආරාධනා කරනවා. මෙය පිරිසිදු බලශක්තිය සඳහා හරිත ආයෝජන සමඟ ජාල සහ හවුල්කාරීත්වයන්ද නිර්මාණය කරනු ඇතියි.

එබැවින් මෙම සමුළුව, අඩු කාබන් ආර්ථිකයකට රට පරිවර්තනය කිරීම වේගවත් කිරීමට සහ දේශගුණ ඉලක්ක සාක්ෂාත් කරගන්නට සාමූහික කැපවීමේ මාර්ගයක් වනු ඇතැයිද  අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති සංවර්ධනය සඳහා ජාල සහ හවුල්කාරිත්වයන් නිර්මාණය කිරීම සඳහා 2023  ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා ක්‍රියාකාරීව සහභාගී වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.
මේ  උතුම් අදහසට මුලපිරීම සහ අපට මඟපෙන්වීම පිළිබඳව අපගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. ඒ වගේම ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතාට ද මාගේ අවංක ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් ගන්නවා.

සමුළුව අමතමින් අදහස් දැක්වූ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් මහතා,

මෙම සති අන්තයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසූ දෙයක් උපුටා දක්වමින් මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි. ඔහු පැවසුවා “ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් සිටිනවා, ඒ ලංකාවට පැමිණි අය සහ ලංකාවට නොපැමිණි අය” කියලා. ඔබ සියලුදෙනා ශ්‍රී ලංකාවට පැමිණි අයගේ කාණ්ඩයට අයත් වන අතර, ශ්‍රී ලංකාව පැමිණි අයගේ කණ්ඩායමට යාමට  ලෝකයේ සෙසු රටවල් දිරිමත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා.

1998 වසරේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙහි සාම ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස මගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ සිට මම ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටිනවා. ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ යුද්ධයේ, ආර්ථික අර්බුදයේ වේදනාවෙන් පසු වූ බව මම හොඳින්ම දන්නවා. නමුත් මෙම අර්බුද හරහා ශ්‍රී ලංකාවේ ජනතාව සතු දැවැන්ත ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව සතුව, ඉහළම අධ්‍යාපන මට්ටමක්, ඉහළ ආයු අපේක්ෂාවක් ඇති අතර, ශ්‍රී ලංකාවේ ජීවන මට්ටම ඉතා ඉහළයි. එබැවින් මෙම දැවැන්ත ප්‍රගතිය අප සැමරිය යුතුයි. මන්ද එය ශ්‍රී ලාංකීය ජනතාවගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ආත්මය පෙන්නුම් කිරීමක් වන නිසා.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආරංචියක් ලැබුණා. ඒ සඳහා දායක වූ සියලුමදෙනාට මම අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඒ සියල්ලටම වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්මත කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මම සුබපතනවා.

අනාගතයේදී බොහෝ දුෂ්කරතා ඇති විය හැකියි. නමුත් එය ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයේ නරකම තත්ත්වය පසෙක තබා ඉදිරියට යාමට සහ අනාගතය දෙස බැලීමට වේදිකාවක් වනු ඇති බවත් සඳහන් කළ යුතුයි.

ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. ඔබගෙන් සමහරෙකු මෙම සමුළුව සඳහා පැමිණෙන්නට ඇතියි. ඊළඟ  වාරයේ දී මෙහි පැමිණෙන විට ටික දිනක් රැඳී සිටීමට පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අද අප මෙහි රැස්ව සිටින්නේ පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ශ්‍රී ලංකාව කියන්නේ, පුනර්ජනනීය බලශක්තිය සඳහා අපූරු විභවයක් සහිත රටක්.  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති නොගැඹුරු මුහුද, මුහුදු වෙරළේ සුළං, ගංගා, සුර්ය බලය ඒ සඳහා ඉතා හොඳින් ගැළපෙනවා.

අදින් පසුව මේ සියල්ල පිළිබඳ වඩාත් සවිස්තරාත්මක දැනුමෙන් කතා කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇතියි. හරිත බලශක්තිය අධික පිරිවැයක් ලෙස ඇතැමුන් සිතුවත් එය එසේ නොවෙයි. හරිත බලශක්තිය දැවැන්ත අවස්ථාවක් සහ දැන් එය ලෝකයේ ලාභදායිම බලශක්තිය බවට පත්ව තිබෙනවා.

එක්සත් ජනපදයේ නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය සූර්ය බලශක්තියට ගියහොත් එය ගල්අඟුරු සෑදීමට වඩා ලාභදායී වන බවයි. නව සූර්ය බලාගාර සෑදීම, සියලුම ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට වඩා ලාභදායී බවයි. එබැවින් ඇමරිකානුවන් ගල්අඟුරුවල සිට සිට සූර්යබලශක්තිය වෙත ගෙනගොස් ඉතිරි කරන සෑම ඩොලරයක්ම, මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය වැඩිදියුණු කිරීමට එක් කරනවා.

එම පණිවිඩයේ ඇති හොඳම යටි පෙළ නම්, විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙක දැන් හරිත විප්ලවයේ නායකයින් දෙදෙනා වීමයි. නමුත් බොහෝ ඇමරිකානුවන් සහ බොහෝ යුරෝපීයයන් ඇත්ත වශයෙන්ම මෙම පණිවිඩය ලබාගෙන නොතිබීම කණගාටුවට කරුණක්. චීනය සැබවින්ම ඔවුන්ගේ හරිත අනාගතයක් තැනීමට නායකත්වය දෙනවා.

පසුගිය වසරේ ලෝකයේ ඇති සියලුම සූර්ය පැනලවලින් (solar panels) 82% නිෂ්පාදනය කළේ චීනයයි. පසුගිය වසරේ සියලුම විදුලි බැටරිවලින් 70% ක් චීනය සතුව පැවතුණා. පසුගිය වසරේ ලෝකයේ නව ජල විදුලියෙන් 80% ක් පැමිණියේ චීනයෙන්. ඒ වගේම  ඔබ ඉන්දියාවට ගියහොත්, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා දිල්ලියේ හරිත මුලපිරීම් දියත් කර ඇති ආකාරය දැකගත හැකියි. ඒවා හරිත මෙහෙවර ලෙස හැඳින්වෙනවා. හරිත හයිඩ්‍රජන් විමෝචනය, විද්‍යුත් සංචලතා විමෝචනය, විද්‍යුත් බැටරි විමෝචනය, සූර්ය පැනල විමෝචනය නිෂ්පාදනය ආදිය මගින් අගමැති මෝදි ඔවුන්ට එම කාර්යය පහසු කර දී තිබෙනවා.

චීනය සහ ඉන්දියාව මෙම වැඩසහන් ක්‍රියාත්මක කර ඇත්තේ එය පරිසරයට හිතකර නිසයි. එමෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට යහපත් නිසයි. එපමණක් නොව එය ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් වන අතර ඒ තුළින් වෙළෙඳපොළ ග්‍රහණය කරගත හැකි බව ඔවුන් විශ්වාස කරනවා.
 ඉතින් අප අනාගතයට පියනගමින් නව හරිත ආර්ථික වෙළෙඳපොළ සමඟ එක් විය යුතුයි. චීනය සමඟ හොඳ සබඳතාවක් ඇති මෙන්ම, ඉන්දියාවට ඉතා සමීප ශ්‍රී ලංකාවට ඒ සඳහා විශාල අවස්ථාවක් තිබෙනවා. ඒ අතර  ජපානය, කොරියාව, යුරෝපය, ඇමරිකාව, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක විය හැකි සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරමින් නව ආයෝජන ගෙන ඒමට අවස්ථාව සලසනු ඇතියි.

තමිල්නාඩු ප්‍රාන්තය පුරා ULA නමින් සමාගමක් තිබෙනවා. තරුණ ඉන්දියානුවන් 2000ක් තමිල්නාඩුවේ විදුලි ස්කූටර නිෂ්පාදනය කරනවා. එය ලස්සන, පිරිසිදු, මනරම් ස්ථානයක්. එහි හිමිකරු පැවසුවේ තමාට අවශ්‍ය වුයේ ඉන්දියානු කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට කළ හැකි දේ පෙන්වීම බවයි. ‘Tesla for the West ULA for the rest’ යන්න ඔවුන්ගේ ආදර්ශ පාඨය වන අතර එයින් අදහස් වන්නේ ULA හට තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්තවල ගම් දෙකක්, තුනක්, හතරක් සහිත ඕනෑම වෙළඳපොළක් අල්ලා ගත හැකි බවයි.

එබැවින් මා දකින පරිදි, සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම වැදගත් කාර්යයෙහි කොටස්කරුවෙකු වීම හරහා වෙළෙඳපොළ ග්‍රහණය කරගැනීම, ආර්ථිකය වැඩිදියුණු කිරීම, හරිතකරණය වෙමින් රැකියා අවස්ථා ඉහළ නංවීමට උපකාරි වනු ඇතියි.

 ශ්‍රී ලංකාව සඳහා සැබවින්ම අවශ්‍ය දැක්ම එය වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ද එයයි . ජනාධිපතිවරයාගේ  සැබවින්ම අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව හරිත අවකාශයක් තුළ මෙම අර්බුදයෙන් ගොඩගැනීමටයි.
View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=3744#sigProId6457f0233d

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා - ජනාධිපති

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

හරිත බලශක්ති සමුළුවට පැමිණි ඔබ සියළු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබලාගේ ආයෝජන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වන පහසුකම් ලබාදීමට මම එකඟ වෙනවා.

ශ්‍රී ලංකාවට ප්‍රධාන ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම. අනෙක හරිත බලශක්තිය සඳහා රට යොමු කිරීමයි.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතිනවා. රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අපි කඩිනමින් කටයුතු කළ යුතුයි. හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක් ම තිබෙනවා. මොකද ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස්, මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව තිබෙනවා. එම නිසා ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන විභවය ලෙස හරිත ආර්ථිකය හඳුන්වා දිය හැකියි.

ඒ සඳහා මෙම සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම මම භාර ගන්නවා. ඉදිරි මාස දෙක තුළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සලසුම් කර තිබෙනවා. එය කලාපයේ පළමු හරිත ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය හැකියි.

මෙමඟින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයා දීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොවෙයි. මෙය දිගුකාලීන වැඩපිළිවෙළක්. ඒ නිසා මේ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

හරිත ආර්ථීකයෙන් රට ගොඩගැනීමට ආයෝජකයන් ලෙස පැමිණී ඔබ මම නැවතත් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මම ඔබලාට ස්තුතිවන්ත වෙන්නත් කැමතියි. අපේ රට තේ වලින් ලෝකයේ පළමු රට බවට පත් වූවා සේම, හරිත ආර්ථිකයෙන් ලෝකයේ පළමු තැනට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රය තුළ ආසියාවේ පළමුවැන්නා වීමට හේතු වන්නේ අපගේ ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට හැකි වීම නිසයි. ඔබ සැම හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමේ අත්දැකීම් ඇති අයයි.

පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ සහයෝගීතාව හරහා, ඉන්දියාවේ සිට කෙලින්ම ත්‍රිකුණාමලයට තෙල් නළය ගෙන ඒම ගැන අපි දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.

ත්‍රිකුණාමලය හරිත හයිඩ්‍රජන් සඳහා විභව වරායක් ලෙස ද අපි හඳුනාගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන්, පුනර්ජනනීය බලශක්ති, සුළං බලයෙන් වැඩි ප්‍රමාණයක් ඇති උතුරට ආසන්නතම වරායයි. ඉතින් මේ සියල්ලෙන් අදහස් කරන්නේ සංවර්ධනය සහ සංවර්ධන අවස්ථා, මඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වන බවයි. ඒ සමඟම ඔබ මුදල් ආයෝජනය කරන අතර ඔබේ ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් හිමි වනු ඇත.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවට සහභාගි වීමට පැමිණි තමන්ට ලබාදුන් සත්කාරය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කළ ආයෝජකයෝ හරිත ආර්ථික ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ද කියා සිටියහ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම , දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් , පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්තුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=3744#sigProId5feda7dc66

සාම්පූර් බලාගාරයට කැබිනට් අනුමැතිය !

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර  විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට පැමිණ තිබේ.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර් 40ක දිගකින් යුත් කිලෝමීටර් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිතය.

මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත බව සඳහන් වේ.

ව්‍යාපෘතියෙහි අදියර 02කදී අමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ අයෝජනයක් යටතේ අතිරේක මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතය.

එසේම, එම අදියර 02 යටතේ ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

හිටපු කථානයකවරයකු වූ ජෝසප් මයිකල් පෙරේරා දිවි ගමනට සමුදෙයි !

හිටපු කථානයකවරයකු වූ ජෝසප් මයිකල් පෙරේරා අද (28) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 81 වන වියේ පසුවුණි.

1964 වසරේ ජා ඇල නගරසභාවට තේරීපත් වෙමින් සිය ක්‍රියාකාරී දේශපාලන ජීවිතය ඇරඹූ ජෝසප් මයිකල් පෙරේරා මහතා 1976 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට පත්ව නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

ජෝසප් මයිකල් පෙරේරා ශ්‍රී ලංකාවේ 17 වන කථානායකවරයා වශයෙන් 2001 - 2004 සමයේ කටයුතු කළේය.

ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

ජනපති නිවසට ගිනි පිම්බ සජබ කෙරුමෙක් හිරේ !

සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයකු සහ කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක වූ චන්දිම නයනජිත් අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබු අතර අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සැකකරු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අදාළ සිදුවීම වූ දිනයේ දී සියදෙනෙකු එම ස්ථානයට රැගෙන ගිය බවට පැවසෙන හඬ පටයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන මස 04 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.

අත්‍යවශ්‍ය සේවා වලට බාධා කරන ඛනිජ තෙල් සේවකයන් දොට්ට ?

අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබේ.

කෙසේ වුවත් ඊයේ ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව පවසමින් ඊයේ (27) සත්‍යග්‍රහයක් ආරම්භ කළ එහි වෘත්තීය සමිති එකමුතුව අද (28) වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරනු ලැබිණ.

ඛනිජ තෙල් සේවක සත්‍යග්‍රහය වැඩ වර්ජනයක් බවට හරවයි !

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (28) පස්වරුවේ නවතා වැඩවර්ජනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදේය.

ඒ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාව ඉදිරිපිටදීය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරුවේ දෙවන දිනටත් සත්‍යග්‍රහයේ යෙදී සිටියේය.

අනතුරුව අද දහවල් කෑම පැයේදී වෘත්තීය සමිති නායකයින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ කොලොන්නාව නිමාවේ සේවකයින් ඇමතු අතර පසුව වෘත්තීය සමිති නායකයින් නිමාව පරිශ්‍රයට ඇතුළු වීමේ පිවිසුම් දොරටු වසා දැමීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව යළි එහි පිවිසුම් දොරටු විවෘත කෙරුණද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සමගාමීව බවුසර් සඳහා ඉන්ධන පිරවීම නිමාව සේවකයින් විසින් අත්හිටුවනු ලැබීය.

ඉන්ධන පිරවීම අත්හිටුවීමත් සමඟ බවුසර් රියදුරන් සිය බවුසර් ගජබාපුර ප්‍රදේශයේ ගාල් කර ඇති අතර ඔවුන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් ද ඉවත්වී සිටින බවට බවුසර් හිමියන් ද චෝදනා කරයි.

කෙසේ වුවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද පස්වරුවේ පැවැත්වු සාකච්ඡාවකින් පසුව සත්‍යග්‍රහය අවසන් කිරීමට පියවර ගත්තේය.

එහිදී තමන් බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතඥ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) ජීවිතයෙන් සමුගත්තේය.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 81 පසුවිය.

1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් ලංකාව පුරා පතුරවමිනි.

සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කර ඇත.

රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට බව සඳහන් වෙයි.

ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය.

සනත් නන්දසිරි මුලින්ම සිංහල ගුවන්විදුලියට පිවිසෙන්නේ 1955 දී වයස අවුරුදු 13 දීය. මේ කාලය තුළ මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර සහ සනත් විමලවීර සමඟ වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 17 දී ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත්තේය. ඔහුගේ විවිධ ගුවන්විදුලි හා එළිමහන් වැඩසටහන්වලට නන්දසිරි සම්බන්ධ කළ ඔහුට මසකට වරක් ගුවන්විදුලි ජන ගායන වැඩසටහන්වලට සහභාගි වීමට ලැබුණි. 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි ඉන්දියාවට ගොස් භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය .

1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත් වූ අතර 1967 සැප්තැම්බර් 7 දින අම්පාර උහන මහා විද්‍යාලයේ උගන්වමින් සිටියේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස ආචාර්ය නන්දසිරි 1988 සිට 1992 දක්වා විශ්ව විද්‍යාලයේ සංගීත ප්‍රධානියා ලෙස සේවය කළේය. නන්දසිරි ගායන සංගීතය පිළිබඳ I කොටස විභාගයට පෙනී සිටි අතර 1992 දී "නිපුන්" විභාගයෙන් ප්‍රථම පන්තිය ලබා ගත් අතර මෙම ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

1972 දී නන්දසිරි විසින් පටිගත කරන ලද “මහද වීණා” ගීතයක් ඔහු ප්‍රේමසිරි කේමදාසයන් 70 දශකයේ විසින් රචනා කරන ලද "සඳ බලන්න" සහ "ගමේ කෝපි කඩේ" ගීතත් නිසා ප්‍රකට විය.
1974 දී නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ දියත් කළ අතර එය පසුව ප්‍රසංග 250කට අධික සංඛ්‍යාවක් සඳහා එය ගෙන ගියේය.
"ස්වර්ණ කුණ්ඩල" "කිසිවක් නොකියන""එගොඩ කන්දේ" "එක යායට මල්" සහ "මම නම් ආසයි" වැනි ගීත නිසා ඔහු පසුව ප්‍රකට විය.

දියණියගේ උපතෙන් පසු ඔහු 1982 වසරේ ‘අනුරාධා’ නමින් ගීත ප්‍රසංගයක් ආරම්භ කළ ඔහු 1998 දී ඔහු සංගීතය ඉගැන්වීම සඳහා විධිමත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් 'ගාන්ධාරි' ආරම්භ කළේය.

2015 දී නන්දසිරි විසින් ‘ප්‍රථම වසන්තයයි’ ප්‍රසංගය දියත් කළ අතර එහිදී ඔහුගේ දියණිය අනුරාධා ද මල්කාන්ති නන්දසිරි සමඟ ගායනා කළාය. පසුව, 'දූ අනුරාධා' නමින් ප්‍රසංගයක්ද ඇරඹීය.

පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016දී සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ඔහු පත්විය.

2018 සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතාට උපහාර පිදීමේ උත්සවයක් "නින්නාද 2018 තුන්පත් රට ස්වර දැහැන" නමින් ප්‍රසංගයක් සමඟින් පැවැත්විණි. ජනාධිප විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීම ද සිදුවිය.

2019 දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

පාර්ලිමේන්තුව රැස්වීම ගැන තීන්දුවක් !

පාර්ලිමේන්තුව ලබන සතියේ 4 වැනි අඟහරුවාදා පමණක් රැස්වීමට නියමිත අතර ඒ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

නිවේදනයේ සඳහන් ආකාරයට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත .

ඒ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා බවද එම නිවේදනයේ සඳහන් වේ.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

තවද 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වන අඟහරුවාදා සිට අප්‍රේල් 28 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඝාතනයක් සම්බන්ධයෙන් සජබ අපේක්ෂක අත්අඩංගුවට !

මෙවර පළාත් පාලන මැතිවරණයට තංගල්ලෙන් ඉදිරිපත්ව සිටින සජබ අපේක්ෂකයෙක් වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නැමැත්තා විසින් සිදුකළ ඝාතකයක් සම්බන්ධයෙන් පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.

ඒ තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන පිහියකින් ගෙලට ඇන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක මරා දැමීම සම්බන්ධයෙන් ය.

නෙටොල්පිටිය ,වැලිආර පදිංචි දීපශිකා ලක්‍ රුවනි විජේදාස නැමැති 28 හැවිරිදි විවාහක කාන්තාවක් මෙසේ ඝාතනයකර තිබේ.

ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී සැකකරු ඔහුගේ නිවස අසල රැක සිට ඇයට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

සැකකරුව පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට විමර්ශන වලින් හෙළිවී ඇත්තේ සැකකරු විසින් ඇගෙන් පොහොර ඉල්ලා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් මෙසේ ඇයට පිහියෙන් ඇන ඇති බවත් ය.

Page 209 of 463