V2025

පුවත්

සත්ව ගොවිපොළ 06ක් පෞද්ගලික සමාගම්වලට

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති මහා පරිමාණ සත්ව ගොවිපොළ 06 දේශීය හෝ විදේශීය ආයතනවලට දීර්ඝකාලීන පදනම යටතේ බදුදීමට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අක්කර 1,133කින් සමන්විත නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ, අක්කර 500කින් සමන්විත පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ, අක්කර 1054කින් සමන්විත කුරුණෑගල නිකවැරටිය ගොවිපොළ, අක්කර 1,477කින් සමන්විත අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ, අක්කර 1,632කින් සමන්විත අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ සහ අක්කර 472කින් සමන්විත හම්බන්තොට වීරවිල ගොවිපොළ මෙලෙස බදු දීමට නියමිතය.

මින් බොහෝ ගොවිපොළවල් ලාභ ලබමින් තිබූ ගොවිපොළවල් බවද වාර්තා වේ.

මෙම බදු දීම සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, සත්ව පාලන සඳහා අවශ්‍ය කෘෂිකාර්මික බෝග වගාව සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවය.

නෙළුම් කුළුණේ දින 03ක ආදායම : රුපියල් මිලියන 7.5 ක් !

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර දින 03ක් ඇතුළත එයින් රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි .

කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන ආකාරයට , එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇත.

මේ අතර නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹීමට අවස්ථාව හිමිවෙයි.

කෙසේ වුවත් නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බවය.

2022 ට : පුද්ගලයින් 221,023 ක් විදෙස් රැකියා සඳහා ගිහින් !

වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 221,023 ක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කර ඇත්තේ , ඉන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.

එම රටවල් වන්නේ, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබියයි.

එසේම විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක්, පිරිමි පුද්ගලයින් ය.

මෙම වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදෙස් රැකියා සඳහා යොමු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි සෙනරත් යාපා සඳහන් කර ඇත .

ජනාධිපති රනිල් බ්‍රිතාන්‍යයේ ඉතිහාස පොතට !

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට , බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙලා කියල, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් කියල තියනවා.

මාධ්‍ය අංශ ප්‍රධානියා කියන විදියට, එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ, ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන් නුවරට පැමිණිමත් සමඟ රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතට එක් වෙනව ලු..

මීට සමාන ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක් ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ සහ, නාලනී වික්‍රමසිංහ මහත්මිය, 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ අගමැති ඩඩ්ලි සේනානායක එක්ක..

ඒවගේම, බිට්‍රික්ස් කුමරියගේ දෙමාපියනුත් රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වෙලා තියනවා.

ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතිහාස පොතට එකතුවෙනවා කියල තමයි මාධ්‍ය අංශ ප්‍රධානියා කියන්නේ..

මහරැජිනියගේ රාජාභිෂේකයේදී එවක ලංකාවේ අගමැති ඩඩ්ලි සේනානායක ට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරලා තියනවා.

ඒ කතාව මෙහෙමයි,

එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයක්.. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලා නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කරල තිබිලා. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කරල තිබිලා තියන්නේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟ...

ඔය වැඩේට අගමැති මල පැනලා.. උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරලා.

පස්සේ මෙම ගැටළුව විසඳීමට මැදිහත් වෙලා තියන්නේ, එස්මන්ඩ් වික්‍රමසිංහ . ඒ කියන්නේ ජනාධිපති රනිල්ගේ තාත්තා. එස්මන්ඩ් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා, ඩඩ්ලි අගමැතිතුමාටත් තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන..

- දේශපාලන වාර්තාකරු

රන්ජිත් නයිස් ට්‍රයි : පොහොට්ටු පක්ෂයේ සභාපති ගැන බැසිල් තීන්දුවක් අරගෙන !

මීළඟ අයවැයට ඉස්සෙල්ලා අගමැති දිනේෂ් ගුණවර්ධන තනතුරෙන් ඉවත් කරනවා කියල, පහුගිය දවසක ගින්නක් පත්තු කෙරුවේ, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්න ජයසුමන මැති සබයේදී...

ඔය කියන දවස්වල බැසිල් ලංකාවේ හිටියා.

පොහොට්ටු කාර්යාලෙට ලැබෙන දුරකථන ඇමතුම්ලින් මේ ගැන දිගින් දිගටම අහන්න ගත්තට පස්සේ, බැසිල් වහාම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කැඳවලා තිබුනා.

‘‘අගමැති ඉවත් කිරීමේ තීරණයක් අපි අරගෙන නෑ ..ප්‍රසන්න ඔයා ඉක්මනට මේ ගැන ප්‍රෙස් එකට කියන්න..'' බැසිල් , ඇමති ප්‍රසන්නට ඕඩර් එක දීල තිබුනේ එහෙම.

ඔය කට කතාවට ප්‍රසන්න රණතුංග පිළිතුරු දුන්නේ සිය රාජ්‍ය ඇමැතිවරු වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු වැඩ භාර ගන්න අවස්ථාවේදී.

''කවුරු මොනවා කීවත් අගමැති ඉවත් කරන්නේ නෑ'' ප්‍රසන්න ඇමතිතුමා ඒ වෙලාවේ මාධ්‍ය ඉස්ස‍ර කිව්වා.

"'ඇත්තටම බැසිල් ලොක්කා කෙරුවේ ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපුවා වගේ වැඩක්'' එතන හිටපු පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් ඒ පක්සේම තවත් මන්ත්‍රී කෙනෙකුට කියල තිබුනා.

මොකද ප්‍රසන්න රණතුංග අගමැති වෙන්න ට්‍රයි එක දෙනවා කියල, පහුගිය දවස්වල කතාවක් ගියානේ..සමහර වෙලාවට ඔයවගේ කතාවක් කිව්වේ ඒ නිසා වෙන්නත් ඇති.

බැසිල් ලොක්ක නාමල්ට වැඩබාර දීලා දැන් ඇමරිකාවට ගිහින්.

ඔන්න ඒ අස්සේ තවත් කතාවක් පත්තුවෙලා.

පොහොට්ටු පක්ෂයේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කරන්න ලු යන්නේ.

දැනටත් පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්..

පීරිස් මහාචාර්ය තුමා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු විදියට කටයුතු කරන නිසා, ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පත්කරන්න යනවා කියල තමයි මාධ්‍ය වාර්තාවල තියන්නේ..

මහාචාර්ය රංජිත් බණ්ඩාර , කෝප් කමිටුවේ, ඒ කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කරන්න යෝජනාවෙලා කියලත් කතාවක් යනවා.

පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනටත් කටයුතු කරන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ සමීපතම අනුගාමිකයෙක්..

රන්ජිත් බණ්ඩාර ගැන එහෙම කතා යද්දී පොහොට්ටුවේම සමහරු කියන්නේ ඕවා ප්ලාන්ට් නිව්ස් කියල. මහාචාර්ය තුමා සල්ලිදීල දා ගත්තු නිව්ස් කියලයි ඒ කට්ටිය කියන්නේ..

ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත්, බැසිල් , ඇමරිකාවේ ඉඳන් සාගර කාරියවසම් ලේකම් තුමාට ඕඩර් එකක් දීලා.

'' ඔය අපේ රන්ජිත් , සභාපති කරනවා කියලා නිව්ස් ප්ලාන්ට් කරන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලන්න සාගර..මට නන් ෂුවර් මිනිහගේ ම වැඩක් වෙන්න ඇති..'' බැසිල් එහෙම කියනකොට සාගරටත් හිනා ලු..

නෙලුම් මාවතේ කට්ටිය කියන විදියට, පොහොට්ටුවේ සභාපති විදියට පිටින් කෙනෙක් ගෙන්න ලු බැසිල්ගේ අදහස වෙලා තියන්නේ.. ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් සභාපති කරන්න බැසිල්ගේ කිසිම අදහසක් නෑ කියන එක..

'' අපි මේ පාර සභාපති කරන්න ඕන පොලිටික්ස් වල ඉදල නැති ප්‍රොපෙෂනල් කෙනෙක්ව.. ඉන්ටර්නැෂනල් පිළිගැනීමක් තියන දෙමල කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් නන් වැඩිය හොඳයි.. මට නන් අදහසක් තියනවා.. නාමල් ඔයත් හොයල බලන්නකෝ මේ වැඩේට හරියන තරුණ කෙනෙක් ..'' යන්න ඉස්සෙල්ල බැසිල්, නාමල්ට කිවවයි කියන්නේ එහෙම..

- දේශපාලන වාර්තාකරු

ආහාර අර්බුදයට රාජ්‍ය නිලධාරීන්ද වගකිවයුතුයි !

ආහාර අර්බුදය ඇතිවීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසයි .

පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර එහිදී මේ බව සඳහන් විය.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා එහිදී මතුවන ගැටළු හා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එළැඹෙන සතිය ඇතුළත ගෙයින් ගෙට ගොස් මේ සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අවශ්‍ය නම් මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ හැකියාවත් නිලධාරීන්ට පෙන්වා දුන් සුරේන් බටගොඩ මහතා ආහාර නොමැති අයට ආහාර ලබාදීමේ ප්‍රමුඛ කාර්යය අරමුණු කරගෙන මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවීම සම්බන්ධව ඇතිවන මූලික ගැටළු, වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිකම, බීජ හිඟතාවය, කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම, පලිබෝධනාශක හිඟතාවය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානි සහ අතිරික්ත අස්වැන්න අලෙවි කර ගැනීමට පවතින දුෂ්කරතාවයන් ආදී ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මේවන විටත් පියවර ගෙන ඇති බවත්, පොහොර සහ කෘමිනාශක ආනයනයට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන සදහා QR කෝඩ් යටතේ ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පෙන්වා දෙනු ලැබීය.

දේශීය වශයෙන් හිඟ බීජ වර්ග ආනයනය කිරීමට කටයුතු කරන බවත්, මෙම වැඩසටහන යටතේ පිහිටවනු ලබන ජාතික පුනර්ජීවන කේන්ද්‍ර සියල්ල ඒකාබද්ධ කිරීම හරහා අතිරික්ත නිෂ්පාදන, නිෂ්පාදන ඌනතාවයෙන් පෙළෙන ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රවලට සාධාරණ මිලකට අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සුරේන් බටගොඩ මහතා ,

“පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි.

ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවයකින් තොරව ජනතාවට ලබා දිය හැකියි.

මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරින් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරින් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”

ජනාධිපති අතිරේක ලේකම්වරුන් වන එල්.පී. ජයම්පති, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ආහාර සුරක්ෂිත සහ පෝෂණ කමිටුවේ අධ්‍යක්ෂවරුන් වන යසන්තා මුණසිංහ, පී.එම්.එස්. ජයතිලක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රට ඉදිරියට ගෙන යන්න නම් ආදායම් උත්පාදන ක්‍රම වැඩි කරන්න ඕන - හිටපු මුදල් ඇමති රවී

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරවීමට නම් සහනාධාර යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කර ආදායම් උත්පාදන ක්‍රම වැඩිකළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

ඇතැම් තරුණ තරුණියන් අතර පවා රුපියල් 50000ක රැකියාවක් වෙනුවට , නොමිලේ රුපියල් 3000ක් දෙන්නම් ගෙදර ඉන්න කිවහොත් ඊට එකඟතාව දක්වන පිරිස වැඩි බවත් හිටපු අමාත්‍යවරයා පවසයි .

චැතම් ස්ට්‍රීට් tv youtube නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ කරුනු සඳහන් කර ඇත .

" අපි 2015 දීත් කරේ ඒක. දින කීයෙන්ද රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සිදුකළේ. දින 27න් රුපියල් 10000ක් වැඩි කරා. හැබැයි එයින් 69%ක් ජන්දය දුන්නේ අපිට විරුද්ධව." යැයිද හිටපු අමාත්‍යවරයා පවසයි .

බදු ආදායමෙන් රාජ්‍ය සේවය නඩත්තු කිරීම හැරුණු කළ අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ 16% බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම් මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක කීය.

රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක, යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.

රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක, රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.

 

යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කරනවා – පුටින්

යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියානු හමුදාව ආරම්භ කළ ක්‍රියාදාමය හැකි ඉක්මනින් අවසන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා. උස්බෙකිස්තානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමු වූ අවස්ථාවේදී පුටින් මේ බව සඳහන් කළේය.

ෂැංහයි ආර්ථික සහයෝගීතා සමුළුව පසුගිය දිනවලදී උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවරදී පැවති අතර ඒ සඳහා කාලාපයේ ප්‍රබල රටවල් වන රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් සහභාගි විය.

පුටින්-මෝදි සාකච්ඡාවේදී යුක්රේන ආක්‍රමණය ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දීය නායකයා විරෝධය පළකර ඇති අතර ඒ පිළිබඳව ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රසාදය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත හිමිව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියානු – ඉන්දියානු නායකයන් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා පැවැත්වූයේ පළමුවරටයි.

දින දෙකක් තුළදී යුක්රේනය අල්ලා ගැනීමේ අරමුණින් පුටින් සිය හමුදා යුක්රේනය වෙත මෙහෙයෙවූ අතර යුක්රේන හමුදා සාමාජිකයන්ගේ සහ එරට ජනතාවගේ නොපසුබස්නා වීර්යය හමුවේ රුසියාවට බලාපොරොත්තු නොවී තත්වයක් අත්විඳීමට සිදුවිය.

රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ඇතුළු යුද උපකරණ රැසක් හා අත්දැකීම් සපිරි වටිනා හමුදා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් අහිමි කර ගනිමින් පමණක් නොව සමස්ත ලෝකයෙන්ම එල්ල වූ දැවැන්ත සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයද පියවර කිහිපයක් පසුපසට රැගෙන යාමට පුටින්ගේ තීරණය හේතු විය.

විෂ හාල් ආනයන පුවත : පට්ටපල් බේගලයක් !

විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර පෙන්වා දෙයි.

2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ පුවත්පත් එම පුවත සකස්කර ඇති බවත්, එසේ වුවද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව ද, රත්නවීර මහතා පවසයි.

මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර මහතා පෙන්වා දෙන්නේ මෙය, 2017 වසරේ දී කළ පර්යේෂණයක ප්‍රථිපලයක් බවත් එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපල බවයි. එහෙත් එම පර්යේෂණ තොරතුරුද වැරදි ලෙස වාර්තා කර ඇතැයි රත්නවීර මහතා පෙන්වා දෙයි. බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ දසලක්ෂයට පංගුව බැගිනි. එහෙත් මෙම පුවත්පත් වාර්තා කර ඇත්තේ එම ප්‍රමාණයන් තියෙන්නෙ සීයට ගණන් වලින් බවයි. එසේ සීයට ගණන්වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහෙවත් හොයාගත නොහැකි බවත් එය ප්‍රායෝගික නොවන බවද වැඩබලන පළිබොධනාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් පවසයි. පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමජගත් කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

2022 ජනවාරි ඉදන් පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන්නේ නම් මෙසේ වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසයි.

මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණුකිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය

මුදල් වැඩ බලන්න සියඹලා දාලා !

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .

ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසා මෙම පත් කිරීම කර ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කර ඇත.

ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇති අතර ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙනතුරු මෙකී පත්වීම් බලාත්මක ය.

ශානුකගේ උත්සාහය සාර්ථකයි : ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් : අපේක්ෂාවට ඩොලර් ලක්ෂ 5 ක් ¡

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක චෙක් පතක් ( රුපියල් මිලියන 180කට ආසන්න මුදලක්) ඊයෙ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.

ආසියානු ක්‍රිකට් ශූරයන්, ආසියානු දැල් පන්දු ශූරියන් හා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් අගයමින් ඊයේ (16) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

ඖෂධ හිඟය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම මාධ්‍ය මගින් වාර්තා කළේය.

ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුවත් කරන ලද අතර, අදාළ ගැටලුව පිළිබඳ වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මෙහිදී උපදෙස් ලැබිණි.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව ඖෂධ හිඟයට ප්‍රධාන ගැටළුව මුදල් නොමැතිකම බව හඳුනා ගන්නා ලදී.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සමඟ සාකච්ඡා කර මෙම මුදල් පරිත්‍යාගයට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ උත්සාහයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති කාර්යාලය හරහා ඊට සහාය දීමට ඉදිරිපත් විය.

පොරොන්දු වූ පරිදි ආසියානු කුසලානයෙන් පසු එම පරිත්‍යාගය සිදු කිරීමට ඔවුන් කටයුතු කළේය.

ආසියාව දිනූ දසුන් ළඟ තියාගෙන ජනාධිපති කියපු ටික !

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ඇෆ්ගන් පරාජය ආසියානු කුසලානය ජයග්‍රහණය කරගන්නට ශක්තියක් කරගත් බවත් එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ජයග්‍රහණයට ඉවහල් වු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගත්තේය. පැරා ක්‍රීඩා අංශයේ කවපෙත්ත වීසිකිරීමේ තරගයෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර තරගයෙන් නෙත්මි අහිංසා පෝරුතොට හා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් දිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.

එම රිදී පදක්කම් ලාභියාට ක්‍රිඩා අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, ලෝකඩ පදක්කම්ලාභියකුට රුපියල් මිලියන 05 ක් ද මෙහිදී පිරිනැමූණු අතර ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංගම්වල මැදිහත්විමෙන්, ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරක අනුග්‍රාහකත්වයෙන් මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරිණි.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200% ක්ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා හිමිවන බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අද අපි තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ලබා දී උපහාර පුද කරනවා. පළමුවෙන්ම නෙට්බෝල් කණ්ඩායම. ගයන්ජලී අමරවංශ සමඟ ඒ නෙට්බෝල් කණ්ඩායම ආසියාවේ ශූරතාවය දිනා ගෙන තිබෙනවා. මම ඒ සියලුදෙනාට ස්තුතිය පුද කරන්න කැමතියි. ඔබට තිබෙන අඩුපාඩු ගැන මට දැනගන්න ලැබුණා. නැවත එසේ නොවන ලෙස අපේ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා මම ඉදිරියේ දී වගබලා ගන්නවා. යම් කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් සම්පූර්ණයෙන්ම ඊට කැපවිය යුතුයි.

මීළඟට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත ඉතිහාසය දෙස බැලූ විට මේ ජයග්‍රහණය අපට ඉතා වටිනා ජයග්‍රහණයක්.

අපේ මලල ක්‍රීඩා අංශයෙන් මේ වගේම අපේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් ජයග්‍රහණ සනිටුහන් කර තිබෙනවා.ඒ සියලු දෙනාටම මම ප්‍රශංසා කරනවා.

මේ දෙස බැලූවිට අපිට කරුණු දෙකක් සඳහන් කළ හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පැරදුණේ ඇෆ්ගනිස්ථානයට. ඇෆ්ගනිස්තානයට පැරදුණා කියලා අපි ක්‍රීඩාවෙන් අයින් වුණේ නෑ. දසුන් එම පරාජයෙන් ප්‍රයෝජන ගත්තා. ඉදිරියට යාමට එය ශක්තියක් කරගත්තා. මෙය ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙවෙයි, දසුන් ශ්‍රී ලංකාවටම හොඳ උදාහරණයක් දීලා තියෙනවා.

දෙවනුව නෙට්බෝල් ක්‍රීඩාව. අපිට ලෝක ශූරතා දිනාගත හැකි බව ඔබ පෙන්වා තිබෙනවා. අපිට කිසිදු බියක් නැතිව ලෝකය සමග තරග කළ හැකියි. අපි පුරුදු වී තිබෙන්නේ ලෝකය සමග තරඟ කරන්න නෙවෙයි. ලෝකයේ තිබෙන නීති අපේ වාසියට වෙනස් කරගන්න. ක්‍රිකට් නෙට්බෝල් කුමන ක්‍රීඩාවට ගියත් ලෝකයේ තියෙන ඒ නීති රීති අනුව තරග කළොත් අපට ලෝකය දිනා ගත හැකියි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාම ලබාදී තිබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සියලු දෙනාටම මම ස්තුති කරනවා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණ ඔබ සියලු දෙනාටම හිමියි.

ඔබ සියලු දෙනා ඔබේ වගකීම උපරිමයෙන් ඉටු කර තිබෙනවා. ඔබ මේ රටින් ලැබූ අධ්‍යාපනය වැනි වරප්‍රසාද වෙනුවෙන් ණය ගෙවා ඇති බව කිව්වොත් නිවැරදියි. ඔබ මේ රට දාල ගියේ නැහැ නෑ. විශ්වාසය නැති කරගත්තේ නෑ. ඔබට අදාළ කාර්ය නිසි ලෙස ඉටු කර ගෞරවය රැගෙන නැවත මේ මේ රටට ආවා. අද වගේ අර්බුදකාරී අවස්ථාවක අපට රටෙන් ගන්න තියෙන්නෙ මොනවද කියල හිතන්න නරකයි. අප සිතිය යුත්තේ අපෙන් රටට නැවත මොනවද දෙන්න පුළුවන් කියලයි. එම පාඩම තමයි ඔබ මේ රටට උගන්වා තිබෙන්නේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි පෙරේරා, දැල්පන්දු සංගමයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

das

net

යුක්‍රේන හමුදාව ලංකා සිසුන් 07ක් බේරාගෙන !

යුක්‍රේන හමුදාව Kharkiv ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකේය සිසුන් හත්දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට , රුසියානු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශයේ සිටි මෙම සිසුන් බේරාගත් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyi පවසා ඇත .

ඔවුන් යුක්රේන කුප්යන් වෛද්‍ය විද්‍යාලයේ(Kupyan Medical College) ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .

එමෙන්ම, යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු හමුදාව සාමකාමී පදිංචිකරුවන්, විදේශිකයන් ඇතුළු මිනිසුන් රඳවාගෙන වධ හිංසා කර ඇති බවයි.

පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි බව පැවසෙන, බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවත් වාර්තා වෙයි .

යුක්රේන නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Yevhen Yenin පසුගියදා ප්‍රකාශ කළේ, ආසියානු රටක සිසුන් පිරිසක් යුක්‍රේන රජයේ පාලන ප්‍රදේශයට යාමට උත්සාහ කළ නමුත් රුසියානු හමුදා ඊට ඉඩ නොදී රඳවාගෙන සිටින බවය.

රාජ්‍ය අමාත්‍ය පාටියේ වෙඩිල්ලක් !

පසුගිය සතියේ රාජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අයගෙන් පිරිසක් වෙනුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙකුගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.

සියලු රසමුසුවලින් පිරී තිබුණු සාදයට ඇඟ රත්වෙන දියරවලින් අඩුවක් තිබුණේ ද නැත.

සාදයට සහභාගි වූ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පදමට ‘ආතල්’ ගනිමින් චූන් වෙවී සිටියදී රත්වන දියර පදමට පාලනය කර ගන්නට නොහැකි වූ රාජ්‍ය ඇමතිවරයෙකු ඔහුගේ ගිනිඅවිය එළියට ගෙන අහසට වෙඩිල්ලක් තිබ්බේ ය.

වෙඩිල්ල තිබ්බේ නිවස තුළ ම බැවින් එය වහලයේ වැදී සීලිමේ කොටසක් කඩාවැටී සාදයට ඇරැයුම් ලැබ පැමණි සිටි අයෙකුගේ ඔළුවට කඩා වැටී තුවාල සිදුවිය.

ඒ පුද්ගලයා දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙකු නොව ජනාධිපති සොහොයුරාගේ සමීපතම මිතුරෙකි.

සොහොයුරා කඩිමුඩියේ මිතුරා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කළේ ය.

පදම වැඩිවන විට මොළය වැඩෙන්නේ නැත.

-Mawbima

කිසිදේකට බය වෙන්න එපා : පොලිසියේ හමුදාවේ 98%ක් අපේ - ෆොන්සේකා

පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහ මේ බව අවධාරණය කර සිටියේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (16) හයිඩ් පිටියේ සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි.

''පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“

''කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. '' ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසිය.

මෙම රැලියට සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස්ගේ 'නිදහස' කණ්ඩායම නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් මෙන්ම වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ජෝශප් ස්ටාර්න් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිහඬ බහුතරයේ සහය මටයි : ජනාධිපති රනිල් ජාත්‍යන්තරයට කියයි !

තමන් නිවැරදි දේ ක්‍රියාත්මක කළ බවත් ඒ නිසා නිහඬ බහුතරයේ සහය සහ විශ්වාසය තමන් සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන මුදිතා ඩයස් සහ තිලක් ඩයස් දෙදෙනාට දාව උපන් අවනී ඩයස් ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව ද වේ.

අවානි ඩයස් -

 "ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?"

ජනාධිපති -

"මම හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි."

"ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා."

අවානි ඩයස් -

"ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?"

ජනාධිපති -

"අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා."

අවානි ඩයස් -

 "ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්...?"

ජනාධිපති -

"මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්."

 අවානි ඩයස් -

 "ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්...?"

ජනාධිපති -

"මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව."

 අවානි ඩයස් -

"ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?"

ජනාධිපති -

''ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්. ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා."

ගෑස්  කළු කළ සුදු චරිත ! 

🔴 කළු එන්නෙම සුදු ඇඳගෙන !
 
තමන්ගේ "සුද" ගැන දෙගිඩියාවක් ඇති චරිත, හිත හදාගන්නේම අනෙකා කොච්චර "කළු"ද පෙන්වමින්ය. එහෙම චරිත වලට ඇත්ත නැත්ත අදාළ නැත. සමාජ යුක්තියත්  සාධාරණත්වයත්  අදාළ නැත. වගකීම හෝ වගවීමත් අදාළ නැත. උගත් නූගත් ප්‍රශ්නයක්ද ඒ චරිත වලට නැත. ඒ නිසාම දූෂණය වැනි වචන පවා දූෂණය කිරීම මෙවැනි චරිත වලට සුළු දෙයක්ය. පොඩි සාහිත්‍ය හැඩයක් දුන්නොත්, "කළු එන්නෙම සුදු ඇඳගෙන" කියන්නේ එහෙම චරිත වලටය.
 
රාජපක්ෂවරුන් නිසා පාර්ලිමේන්තු ගිය සමහරුන්ටත් ඒ න්‍යායට වැඩ කරන්න සිදුව ඇත. විශේෂයෙන් රාජපක්ෂවරුන් නිසා පාර්ලිමේන්තු ගිය , නමුත් රාජපක්ෂ නැව ගිළෙන මොහොතේ එළියට පැන ස්වාධීන සළුපිලි පොරවාගත් උදවියට, මදි නොකියන්න සුදු පිරියම් කරගන්න බලකෙරී ඇත. ඒ වෙනුවෙන් හාත්පස වැඩි වැඩියෙන් කළු කරන්න සිදුව ඇත. ඒ ගැන තැන තැන  කස පුපුරණ අතර ඒ කියන්නේ, මෙවැනි චරිත වල පෙරහරක් ළඟ ළඟම එන බවය.
 
🔴 චරිතගේ කස හඬ 
 
අන්න එහෙම කසපාරක්  පාර්ලිමේන්තු මන්ත්‍රී ,'මහාචාර්ය' චරිත හේරත් මහනුවරදී ගැසුවේය. ඒ  ගෑස් ආනයනයේදී රිපියල්  බිලියන 1.3 ක් ගසා කා ඇති බව කියමින්ය.
 
 මේ කතාව කොහෙත්ම අලුත් කතාවක්ද නොවේය. මේ කතාව  මීට පෙර සිවිල් - දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කරේ තියාගෙන අදින්න ගොස් අත්හැර දැමුවක්ය. ඒ දිනවල මේ චෝදනාව කතා බහකට ලක් වෙද්දි පාර්ලිමේන්තු කෝප් කමිටුවද ඒ ගැන අවධානය යොමුකළා අපට මතකය. 
 
ඒ  කෝප් කමි‍ටුවේ සභාපතිවරයා වූයේද මහාචාර්ය මන්ත්‍රී  චරිත හේරත්ය. ඒ අනුව මෙම ගනුදෙනුව සිදුවූ ආකාරය ගැන ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් ඔහු සතුය. මෙතැන  ගසා කෑමක් සිදු වුණාද නැද්ද ? කියන කාරණය ඉතා හොඳින් ඔහු දන්නා බවට සැකයක් නැත.
 
🔴 කෝප් කමිටුවේ නිර්දේශය 
 
කෙසේ හෝ වේවා මන්ත්‍රී චරිත හේරත් සභාපති ධුරය දැරූ කෝප් කමිටුවේ ජූලි 5 හෝ ඊට ආසන්න දිනක නිර්දේශය වූයේද "siam (සියම්) නම් තායිලන්ත  ගෑස් සමාගමෙන් ඇ.ඩො 96ක මිලට ගෑස් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (term tender) අහෝසි කර ඇ.ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො.ලක්ෂයක් OQ Trading (ඕකිව් ට්‍රේඩිං) නම් ඕමාන සමාගමකින් මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක්" සිදුකරන ලෙසය.
 
ඒ අනුව පරීක්ෂණය සිදුකිරීම විගණකාධිපතිගේ කාර්යයක්ය. කෙසේ වුවත් ඩොලර් 96 ට ගන්න තිබුන දේ ඩොලර් 129ට ගත්තාම පාඩුවක් වන බව කියන්න සරල ගණිත දැනුම හොඳටම ප්‍රමාණවත්ය. නමුත් ප්‍රශ්නය ඇත්තේ , ගසා කෑමක්  ගැන කියා, මෙසේ වැඩි මිළකට ගෑස් ටෙන්ඩරය දුන්නේ  මොකටද යන්න ගැන වන සත්‍ය කාරණා යටපත් කර දැමීමය. හිටපු කෝප් කමිටු සභාපති ලෙස  චරිත මන්ත්‍රීවරයා ගසා කෑමක් ගැන කියා වහන්න උත්සාහ කරන්නේ අන්න ඒ ඇත්තය.  
 
🔴 ගෑස් ගනුදෙනුව  මුල සිට අගට !
 
මෙකී ගෑස් ටෙන්ඩරය ගැන කතාව ඇරඹෙන්නේ 2022 ජනවාරියේය. ඒ 2022/23 වසර වල මාස 12 ක  දීර්ග කාලයකට ගෑස් සැපයුම වෙනුවෙන් ජාත්‍යන්තර ගෑස් සැපයුම්කරුවන්ගෙන් මිල ගනන් කැඳවීම වෙනුවෙන් කළ නිවේදනයක් ලෙසය.  එහිදී එල්පීජී ගෑස් ප්‍රවාහන නෞකා ගාස්තු ජාත්‍යන්තර තරගකාරී  මිල ගණන් යටතේ ටෙන්ඩරය 2022 ජනවාරි 09 වන දින ප්‍රසිද්ධ කර ඇත. එහි  මිල ගණන්  කැඳවීමේ  අවසන් දිනය ලෙස සඳහන් වුණේ මාර්තු 16 වන දිනය. 
 
ලිට්රෝ සමාගම පවසන ආකාරයට පහත සඳහන් සැපයුම්කරුවන් අදාල මිල ගණන් ඉදිරිපත් කර ඇත.
 
1. Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 96 ක්,
2. O Q trading  ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 129 ක්, 
3. BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 148 ක්.
 
 2022 මාර්තු 16 වනදා මේ ලංසු විවෘත කිරීම සිදු කළ  අතර අදාල තාක්ෂණික කරුණු තවදුරටත් සොයා බැලීමෙන් පසුව ප්‍රසම්පාදන කමි‍ටුව අඩුම ලංසුව ඉදිරිපත් කළ සියම් සමාගමට ටෙන්ඩරය ලබා දීමට තීන්දු කර ඇත. ඒ  අප්‍රේල් 26 වනදාය.
 
ඒ අනුව සියම් සමාගමේ එකඟතාව වන්නේ , දින 30 ක ණය සහන කාලයක් යටතේ කොළඹ  සහ හම්බන්තොට වරායන්ට මෙම ගෑස් තොග මැයි මාසයේ සිට අඛණ්ඩව ලබා දීමය.
 
නමුත් මෙහිදී ලිට්‍රෝ සමාගම මුහුණ දුන් ගැටළුවක් විය. ඒ  මෙම ගෑස් තොගය වෙනුවෙන් වන ණයවර ලිපි විවෘත කර ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වීමය. 
 
ගිවිසුමට අනුව අත්තිකාරම් මුදලක් ලෙස ඩොලර් මිලියන 37.5ක ගෙවිය යුතුව තිබු අතර ඒ  ණයවර ලිපියක් හරහාය. එහෙත්  ලිට්‍රෝ සමාගමට ඒ හැකියාව ඒ මොහොතේ තිබුණේ නැත.  මහ බැංකුව ,භාණ්ඩාගාරය ද ඒ් ලබා දීමේ නොහැකියාව පැහැදිළිව ප්‍රකාශ කර තිබිණි. ඒ මොන දුෂ්කරතාව තිබුණත් අදාළ  ණයවර ලිපිය අප්‍රේල්  30 වන විට සම්පූර්ණ කළ යුතුව තිබිණ.
 
මේ මොහොතේ රට තිබුණේ  ගෑස් පමණක් නොව, ඉන්ධන, ආහාර , පොහොර , ඖෂධ ආදී ආනයන කිසිවක් කරගත නොහැකි තත්ත්වයකය.
 
🔴  අර්බුදයයි අරගලයයි !
 
,අමතක නොකළ යුතු සහ කිහිපවතාවක් සිහිපත් කළත් වැඩි නැති අතිශය වැදගත් කරුණ වන්නේ, මේ ගනුදෙනුව වන්නේ , රට තුළ දේශපාලන වියවුලකට පාර කැපූ ජන අරගලය පැවැති කාලයේ  යන්නයි.
 
මාර්තු 31 හිටපු ජනාධිපති ගෝඨාභය ගේ මිරිහාන නිවස අසළින් ආරම්භ කෙරුණු කරළිකාරී ජනතා නැගිටීම අප්‍රේල් 09 වනදා මෙරට ප්‍රධාන රාජ්‍ය මර්මස්ථානයක් වූ ජනාධිපති කාර්යාලයේ gate zero වසා දමා දිග්ගැස්සෙන අරගලයකට පිවිස තිබිණ.
 
මේ තත්වය ඉබේ ඇතිවූවක් නොවන අතර  ඉන්ධන, ගෑස්, ආහාර,  ඖෂධ හිඟතාවය නිසාම ඇතිවූ දැඩි ජනතා පීඩනය පුපුරායාමක් විය.  
 
පහළ පාංතිකයාගේ සිට ඉහළ මධ්‍යම පාංතිකයා දක්වා සියලු දෙනා ඊටත් පෙර සිට මාස ගණනක් සිටියේ, ඉන්ධන සග ගෑස් පෝලිම් වලය. පළමුව පෝලිමේ සිට ගෑස් ඉල්ලා සිදුකළ උද්ඝෝෂණය පසුව පෝලිමෙන් පිටට ආවේය. ඒ ගෑස් ඒජන්සි වටකර ගෑස් ඉල්ලමින්ය. අනතුරුව ගෑස් ඒජන්සි වල දොර යතුරු බිඳ ඒ තුළට කඩා වැදෙන තැනට තත්ත්වය බරපතළ විය. විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ සියලු නගර තිබුණේ,  ගෑස් නැතුව අවිලෙමින්ය.
 
තරු පංතියේ හෝටලයේ සිට වීදියේ කඩල කරත්තය දක්වා එහි බලපෑම එල්ලවිය. ඒ විතරක් නොව ආදාහනාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකිව මෘතශරීරාගාර තුළ මෘත දේහ ගොඩගැසී ඕජස් ගලන තැනට රටම පත්ව තිබිණ. 
 
මේ තත්ත්වය හමුවේ රජය මුහුණදුන්  අභියෝගය වුයේ  ගෑස් සැපයීම කෙසේ හෝ ආරම්භ කිරීමය. ගෘහස්ථ පරිභෝජනයේ සිට අත්‍යවශ්‍ය සේවා දක්වා කඩිනම් ගෑස් සැපයුමක් සිදුකිරීමය.
 
🔴 සල්ලිත් නෑ ගෑසුත් නෑ 
 
එහෙත් විදෙස් සංචිත මුළුමනින්ම පාහේ හිඳුණු තත්ත්වය හමුවේ මේ අභියෝගය ජයගන්න නම්, එක්කෝ විදෙස් ණය ආධාරයක් අවශ්‍යය. නැත්නම් සැපයුම්කාර සමාගම වෙතින් සහනයක් ලැබිය යුතුය.
 
ඒ පසුබිමේ රජය  සියම් සමාගම සමඟට ඩොලර් 96 බැගින් වන  මෙට්‍රික් ටොන් 280,000 ක  ගෑස් ටෙන්ඩරය ලබා දීමට  අනුමත කළ නමුත් එම සමාගම ඉල්ලා සිටින ලෙස ණයවර ලිපි විවෘත්ත කරගැනීමේ  හැකියාව රජයට තිබුණේ නැත. 
 
ඒ අනුව රජයට එක් පසෙකින් අනුමත කළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහෙත්  රටේ හදිසි ගෑස් අවශ්‍යතාවය යම් තරමකට හෝ සපුරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මකවීමටත් සිදුවිය. මේ හමුවේ රජය තීරණය කර සිටියේ,  කෙටිකාලීන හදිසි මිලදී ගැනීමක් වෙනුවෙන් යොමුවීමය. එහිදීද අපේක්ෂිත ඉලක්කයට යන්න නම් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 පමණ සපයා ගැනීමට රජයට බලකෙරී තිබිණ.
 
නැවත වරක් හදිසි මිලදී ගැනීමක් වෙනුවෙන්  සැපයුම්කරුවන් සලකා බැලීම සිදුවන්නේ එහිදීය.  මුලිකව සති දෙකට ප්‍රමාණවත් මෙට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ලබා ගැනීම රජයේ අරමුණ විය. අඩුම ලංසු ලබා දුන් සමාගම් දෙකෙන් ලංසු කැඳවීමක් සිදු කරනු ලැබුවේ ඒ අනුවය.
 
 එහි දී සියම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එක ඩොලර් 112 කට සැපයීමට මිල ගණන් ලබා දුන් අතර දෙවැනියට අඩු ලංසුවක් තැබූ OQ Trading නම්  ඕමාන සමාගම පෙර ලංසු තැබූ ඩොලර් 129 මිලටම හදිසි මිලදී ගැනිම වෙනුවෙන්ද ලංසු තබා තිබිණ.
 
🔴 අසහනයෙන් සහනයට 
 
එහෙත් එම තත්වයන් යටතේද සියම් සමාගමට ලබා දීමේ  හැකියාව තිබුණේ ගෑස් මෙට්‍රික් ටොන් 6,600 ක් පමණි. ඒ බව අදාළ සමාගම ලිට්රෝ සමාගම දැනුවත් කර තිබිණ. ඒ අනුව සියාම් සැපයීම  ප්‍රමාණවත් වන්නේ දින හතරකට හෝ  පහකට පමණය. එපමණක් නොව  ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින 10 ක තරම් කාලයක් මෙම ගෑස් සැපයූම වෙනුවෙන් එම සමාගම කාලයද  ඉල්ලා තිබිණ.  
 
මැයි මස 11 වන විට  , මෙට්‍රික් ටොන් 15,000 ක මුලික ගෑස් තොගය සහ මාස හතරක  හදිසි ටෙන්ඩරය ඕමාන සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය නිකුත් කරන්නේද ඒ අනුවය.
 
මාස හතරකට සෑහෙන ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 100,000 ය, මාසයකට මෙ.ටොන් 25,000 ගනනේ  ලබා දිය හැකි බව ඕමාන සමාගමේ එකඟතාව විය.
 
ඊට අදාල කෙටි කාලීන  ගිවිසුම ජුනි 15 වෙනිදා කැබිනට් අනුමැතියට යටත්ව අත්සන් කරඇත.  ඒ සමග සියම් සමාගම සමඟ මුලින්ම එකඟතාව දැක්වූ ටෙන්ඩරය අවලංගු කිරීමත්  කැබිනට් මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය.
 
එසේම තවත් විශේෂ කරුණක් මෙහිදී ඉස්මතු කළ යුතුව ඇත. ඒ මුදල් ගෙවීමේදී ඕමාන සමාගම වෙතින් ලැබුණු  සහනයය. 
 
අත්තිකරම් නොමැතිව, රුපියල් වලින් ගෙවීම් ආදී විකල්ප ක්‍රම ඇතුලත් ක්‍රමවේදයක් ජුනි 07 වන විටත් කැබිනට් මණ්ඩලයටත්  ඉදිරිපත්ව තිබිණි. 
 
ඒ අනුව මේ දක්වා වන ගනුදෙනුව රජයේ හෝ ලිට්‍රෝ සමාගමේ හුදු අත්තනොමතිකත්වයක් හෝ සැකසහිත ගනුදෙනුවක් ලෙස ගත හැකි කිසිවක් නැත.
 
මේ ගනුදෙනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු අගමැති  ඇතුළු කැබිනට් මණ්ඩලයේ පුර්ණ දැනුවත් භාවය හා අනුමැතියට යටත්ව   රජය පිළිගත් ප්‍රසම්පාදන පිළිවෙත අනුව සිදුවූවක්ය.
🔴 ලිට්‍රෝ වගකීමෙන් වගවීමට !
 
එහිදී රජය තීන්දු කරන්නේ මේ  ටෙන්ඩරය වෙනුවෙන් ලෝක බැංකුවෙන්  ලැබුණු ඩොලර් මිලියන 70 ක් සහ ලිට්‍රෝ සමාගම සපයා ගත්  මිලියන 20 සමඟ ඩොලර් මිලියන් 90 වැය කිරීමටය. ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ව මේ වෙනුවෙන් වැය කිරීම තුළම මේ ගනුදෙනුව තුළ කිසිදු අයතා කටයුත්තක් වීමේ ඉඩකඩක් නැත. මන්ද ලෝක බැංකු පිරිවිතර එතරම් බලවත් නිසාය. සතයට ගණන් පෙන්නුවේ නැත්නම් වැඩ වරදින නිසාය. අවම වශයෙන් සැකසහිත කරුණක් හෝ තිබුණා නම් මීට සති දෙකකට පෙර ලිට්රෝ සමාගම සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රශ්න කෙරෙන්නේය. නමුත් එවැන්නක් සිදුවුයේ නැත.
 
ඒ චරිත මන්ත්‍රීවරයා පෙන්වන සරල ගණිතය ඔවුන් නොදන්නා නිසාද ? නැත. 
 
මෙම සමාගම් දෙක අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 පමණය. එහෙත් එම පාඩුව දරාගෙන හෝ  අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම එම අවස්ථාවේදී  වැදගත් බව ලිට්‍රෝ සමාගම තීරණය කර තිබිණ. ඒ තුල වූයේ රටේ පැවති තත්ත්වය කළමනාකරණය කර ගැනීම බවත්, එසේ නොවන්න ගෑස් හිඟය සිවිල් තත්ත්වයක් දක්වා වුවත් යාමේ අවධානමක් පැවති බවත් තේරුම් ගන්න නොහැකිවීම මොළය මේරීම සම්බන්ධව ප්‍රශ්නයක්ය.
 
එසේම  රාජ්‍ය  මට්ටමින් හෝ ඊට අනුබද්ධ සමාගම් ලෙස   මෙවැනි ගනුදෙනු පවත්වන නෛතික ක්‍රියාවලියක් ඇත. ඒ හා බැඳුනු  අණ පනත්, චක්‍ර ලේඛ ආදියත් ඇත.
 
එපමණක් නොව,  රටක හදිසි තත්වයකට මුහුණ දී තිබිය දී පවතින ක්‍රමවේදයන් නොතකා කටයුතු කිරීමේ  හැකියවන්ද විවෘතය.  එහිදී රජයට යම් ක්‍රියාවලියක් අනුමත කර ක්‍රියාත්මක කළ හැකිය. 
 
දැන් ප්‍රශ්නය වන්නේ, මහාචාර්ය මන්ත්‍රීතුමා ඉහත ගනුදෙනුවේ මෙකී පැහැදිලිකිරීම් කිසිවක් ගැන දැනුවත් නැද්ද යන්නය. ඇත්ත නම් කෝප් සභාපති ලෙස ඔහු මේ ගැන හොඳටම දැනුවත් බවය. එසේ නම් මේ නගන චෝදනාව කුමක්ද ?
 
 දැන් රටේ ගෑස් පෝලිම් නැත. ඉදිරි මාස කිහිපයටත් අඛණ්ඩ සැපයීමත් සහතික කර ඇත. එපමණක් නොව අවස්ථා කිහිපයකදී ගෑස් සිලින්ඩරයේ මිලත් අඩුකරමින් ඇත.මහාචාර්ය මන්ත්‍රීතුමාගේ ඇත්ත ප්‍රශ්නය එතනය.  
 
ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා නැගීසිටීමකින් පාලකයන් පන්නා දැමුවේ  පසුගිය අප්‍රේල් මාසයෙ සිට මාස 4ක පමණ කාලයක් ඇවිලී ගිය කැරලිකාරිත්වය නිසාය. 
 
🔴  කවුද කළු ?
 
 ජනතාවගේ පීඩාවන් අවම කර, අරාජික වෙමින් තිබු රට  සමාන්‍යකරණයට ලක් කිරීමේ වගකීමට එදා බය නැතුව උරදුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසය. ආරම්භක අවස්ථාවේ සිට ඒ හැකියාව තහවුරු කළ නිසාම  දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමේ සුක්කානම විධායක ජනාධිපති ලෙස ඔහුටම පැවරිණ. 
 
දැන් යමින් සිටින්නේ ඒ සුබ ගමනය. කවුරුත් අත ගැසිය යුතු මේ මල් වට්ටියට  ගෑස් ටෙන්ඩරයක්  ගැන බොරු බිල්ලකු මවා කරන මේ බාල  දේශපාලනය නම් ගෑවෙන්න දිය යුතු නැත. 
 
මේ ගනුදෙනුව පාඩුවක් බව ඇත්තය. නමුත් ඒ් හදිසි අවස්ථාවක් වෙනුවෙන් ගත් කෙටි කාලීන පියවරක් මෙන්ම අන් කළ හැකි කිසිවක්ම නොතිබූ නිසා බවත් ඇත්තය. එතැන වංචාවක්, ගසා කෑමක් සිදුව නැති බවත් ඇත්තය. 
 
රටේ ආර්ථිකය බිංදුවට වැටී රට ලෝකය පුරා ආධාර ණය ඉල්ලා යන ජාත්‍යන්තර හිඟන්නෙක් කිරීමේ දේශපාලන ව්‍යාපෘති වල මහ මොළකරුවන් වූ චරිත හේරත් වැනි උදවිය,  මේ  කියන ඇත්ත ඇති සැටියෙන් කියන්න බය මොකද කියා ඇසිය යුතුව ඇත. කෙටියෙන්ම නම්  රට මෙතැනට වැටෙන කල් චරිතලා මොකද කළේ කියා ඇසිය යුතුය. ඔහොම ප්‍රශ්න කප්පරක් ඇසිය හැකිය. එහෙත් ඒ ප්‍රශ්න එක්ක උත්තරත් සාරාංශ ගත කර මෙහෙමත් ලියන්න පුළුවන.
 
තමන්ගේ "සුද" ගැන දෙගිඩියාවක් ඇති චරිත, හිත හදාගන්නේම අනෙකා කොච්චර "කළු"ද පෙන්වමින්ය. එහෙම චරිත වලට ඇත්ත නැත්ත අදාළ නැත. සමාජ යුක්තිය සාධාරණත්වය අදාළ නැත. වගකීම හෝ වගවීමත් අදාළ නැත. උගත් නූගත් ප්‍රශ්නයක්ද ඒ චරිත වලට නැත. ඒ නිසාම දූෂණය වැනි වචන පවා දූෂණය කිරීම මෙවැනි චරිත වලට සුළු දෙයක්ය. පොඩි සාහිත්‍ය හැඩයක් දුන්නොත්, "කළු එන්නෙම සුදු ඇඳගෙන" කියන්නේ එහෙම චරිත වලටය.
 
@ කල්ප අනුත්තර ලියනගේ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගොඩනැගිලි මාරුවෙන් : කෝටි ගණනක පාඩුවක් !

මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ "ඩී" පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේ සිට ) එම ස්ථානය වෙනුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වැයකර ඇතත් එම කාර්යාලය නැවතත් පරණ ගොඩනැගිල්ලටම පසුගිය වර්ෂයේදී අලුත්වැඩියාවකින් තොරවම රැගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම කටයුත්තේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවද එම කාර්යාලය පවසයි.

තවද අරමුදලේ සියලු අංශ පැරැණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බව පවසමින් එහි අංශ කීපයක් කොළඹ 7 බුලර්ස් පටුමගේ පෞද්ගලික ස්ථානයකට 2021 මාර්තු 16 වැනිදා රැගෙන ගොස් තිබූ අතර එම ස්ථානය සඳහාද අරමුදල කුලී මුදල් ලෙස රුපියල් පනස් ලක්ෂයකට වැඩි මුදලක් වැයකර තිබිණ. පසුව එම අංශද මාස 8 ක කාලයකින් පසු පරණ ගොඩනැඟිල්ලටම නැවතත් රැගෙන ගොස් ඇති බව විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.

ඉන් අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සැපයුම් අංශය සඳහා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබාගෙන තිබූ අතර එම මහල් දෙක සඳහා කුලී මුදල් ලෙස රුපියල් තිස් හය ලක්ෂයක් ගෙවා තිබුණද එම අංශය පසුගිය පෙබරවාරි මාසය තෙක්ම ඒ ස්ථානයට රැගෙනගොස් නොතිබුණු බව හෙළිවී ඇත.

පෞද්ගලික අංශයෙන් මෙලෙස ගොඩනැගිලි කුලියට ලබා ගැනීමේදී රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු වාර්තා පවා ලබාගෙන නොතිබූ බවද විගණන කාර්යාලය පවසයි.

අරමුදලට අයත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන තෙක් යැයි කරුණු දක්වමින් 2017 වර්ෂයේ සිට වරින් වර ගොඩනැගිලි කුලී පදනමට භාවිත කර තිබුණද කාර්යාලය පිහිටි ඉඩම 2022 මාර්තු වන විටත් පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන නිලධාරීන්ට නිරීක්ෂණයවී ඇ

ත. මේ තොරතුරු සඳහන් වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේය.

-Lankadeepa

Page 201 of 386