V2025

පුවත්

සියලු දෙනා සහය නොදුන්නොත් ලංකාවට වෙන්නේ මොකක්ද ? පීටර් බෘවර්

මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ප්‍රකාශ කර ඇත.


එසේම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමමින් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බව පීටර් බෘවර් පෙන්වා දී තිබේ.

වසර ගණනාවක සිට හටගත් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ගත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව නැවත වරක් නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවමින් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට කැපවී ඇති බවත් පීටර් බෘවර් පවසා ඇත.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඉදිරි වසර හතරක කාලය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් ලබා දී තිබෙන බවත් පීටර් බෘවර් සඳහන් කර තිබේ.

මෙවැනි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම සඳහා පහසු විසඳුමක් නොමැති බවත් මින් ගොඩ ඒමට සියලු දෙනා සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු බවත් පීටර් බෘවර්  පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් රජය ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ රජයේ අදායම ඉහළ දමා ගැනීමට, මිල ස්ථාවර කිරීමට, විදෙස් සංචිත ප්‍රමාණවත් ලෙස ගොඩනගා ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පීටර් බෘවර් ප්‍රකාශ කර තිබේ.

දුප්පත් පවුල් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් වෙනුවෙන් රජය සිදුකරන වියදම ඉහළ දැමීමට, සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට, ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීමට හැකිවන ආකාරයේ බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආරම්භ කර ඇති ආර්ථික වැඩසටහනෙන් බලාපොරොත්තු වන බව පීටර් බෘවර් පෙන්වා දී ඇත.

බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබා දුන් සහනයත් සමඟ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙමින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පීටර් බෘවර් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පිරවුම්හල් 40 ක තහනම ඉවතට !

QR කේතයට පටහැනිව ඉන්ධන අළෙවිය කළේ යැයි චෝදනාවට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන අඟහරුවාදා (12 වැනිදා) සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ඉන්ධන පිරවුම්හල්වල තහනම සතියකට පමණක් පැනවූ බව කී එම නිලධාරියා එළඹෙන 11 වැනිදා සතිය සම්පූර්ණ වන නිසා 12 වැනිදා සිට ඉන්ධන ඇනවුම් නිකුත් කරන බව ද සඳහන් කළේය.

එම ඉන්ධන පිරවුම්හල් ඇනවුම් කර ලබාගත් ඉන්ධන තොගවලින් වැඩි ප්‍රමාණයක් කිව්.ආර්. කේතයෙන් පරිබාහිරව නිකුත් කළේ යැයි චෝදනාවට පසුගිය 6 වැනිදා තනතම පැනවීය.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් ජනපතිගේ පැතුම......

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි.

අදට යෙදෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව, පොලීසිය පවසයි.

 ඒ සඳහා පොලීසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ද අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව  සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙසේද සදහන් කර ඇත.

පාස්කු මංගල්‍යය යනු, සිත් තුළ ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුස් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශ කෙරෙන දිනයකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන මෙදින බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක‍්‍ෂා භංගත්වය තුරන් කිරීමේ පණිවිඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරයි.

අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින අතර යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන සිටින්නෙමු.

ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටියි. ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව මම තරයේ විශ්වාස කරමි. අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීමය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් ඔබගේ මතකයෙහි රැඳී ඇති බව මම හොඳින් දනිමි. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද සිහිපත් කරමි. එමෙන්ම එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මා කැපවී සිටින බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට, ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවා යි! ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි! සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ, යෝජිත රේඩාර් පද්ධතිය ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම කලාපයේ නවදිල්ලියේ උපායමාර්ගික හැසිරීම් නිරීක්ෂණයට ලක් කරනු ඇති බවයි.

එය මෙහෙයවනු ලබන්නේ, චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය බව විදෙස් වාර්තා පවසයි.

යෝජිත රේඩාරයට දෙවුන්දර බොක්කෙන් කිලෝමීටර 1700ක් නිරිත දෙසින් පිහිටි ඩියාගෝ ගාර්ෂියා හි පිහිටි හමුදා කඳවුරේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ.

වාර්තාවට අනුව රේඩාර් පද්ධතිය, චීනය විසින් සාර්ථක ලෙස ස්ථාපිත කළහොත්, යෝජිත රේඩාර් පරාසය තුළ පවතින ඉන්දියානු හමුදා මධ්‍යස්ථානවලට එය අහිතකර ලෙස බලපාන බව ද සඳහන් ය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත චීන අධීක්ෂණ මධ්‍යස්ථානයට එහි නැගෙනහිරින් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක විය හැකි බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

මහාචාර්ය ප්‍රියානී සොයිසා අභාවප්‍රාප්ත වෙයි

වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ප්‍රියානී සොයිසා මහත්මියගේ වයස අවුරුදු 97 කි.

ළමා වාට්ටුවල දරුවන් කැටුව මව්වරුන්ට සිටීමට අවස්ථාව සළසාදීම, ප්‍රසූත නිවාඩු කාලය මාස 3 ක් දක්වා මව්වරුන්ට ලබාදීම සඳහා කටයුතු කිරීම, මව්කිරි දීම ප්‍රවර්ධනය, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම, ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර කැපී පෙනේ.

අභාවප්‍රාප්ත ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය, අද  (09) සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු හෙට (10) පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

නිර්වින්දන ඖෂධයක් භාවිතය තාවකාලිකව ඉවත් කෙරේ

මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.

එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හැර ඇති බව සඳහන්ය.

ඒ අනුව එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකාබලා මෙරට තුළද භාවිතයට ගෙන ඇති බව සඳහන්ය.

දෙරණ

“වෘත්තීය සමිති නායකයෝ තවමත් වත්කම් හෙළි කර නෑ” – කම්කරු ඇමති

මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ඒ අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

වත්කම් බැරකම් පනත අනුව සියලු ම වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

රජය සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ ඇමතිවරයා දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සේවක අයිතීන් පාවා දීමට සූදානම් වන අවස්ථාවලදී ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා බව අවධාරණය කළේ ය.

දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය හා ආර්ථික මර්මස්ථාන උකසට ගැනීමට ඉඩදිය නොහැකි බව ද නානායක්කාර මහතා පැවසීය.

අර්ධකාලීන රැකියා කිරීමට, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට, අතිකාල සඳහා සේවය කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි තරුණ තරුණියන් සිදුකරන ඉල්ලීම් ඉටු කරන විට වෘත්තීය සමිති නායකයන් ඊට විරෝධය දක්වන බව ද හෙතෙම කීවේ ය.

ඇතැම් පුද්ගලයන් වෘත්තිකයා නියෝජනය කිරීමට නොව තමන්ගේ යල්පැන ගිය වෘත්තීය සමිති ආරක්ෂා කරගැනීමට උත්සහ කරන බව පැවසූ ඇමතිවරයා ජනප්‍රිය තීරණ නොවුණ ද, කොතරම් විවේචන පැමිණිය ද රජය හරි දේ කරන බවද සඳහන් කළේ ය.

රජය කම්කරුවාගේ අයිතිය, ශුභසාධනය වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ආරක්ෂා කරන බව ද ඔහු කීවේ ය.

මේ අතර, දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ ය.

ඒ සඳහා වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයන්ට හා ස්වාධීන මත දරන ඕනෑ ම අයෙකුට කම්කරු අමාත්‍යාංශය වෙත අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම දළ කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව ද එයට අවශ්‍ය අදහස් ලබාදීමේ අවස්ථාව විවෘතව පවතින බව ද නානායක්කාර මහතා පැවසීය.

අවුරුදු ගණනාවක් පැරණි කම්කරු පනත් 40ක් පමණ ඇති නමුත් දැනට භාවිතයේ ඇත්තේ ඉන් පනත් 16ක් පමණක් බව පැවැසූ ඇමතිවරයා කම්කරුවන් සහ ආයෝජකයන් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේදී මෙම කම්කරු නීති සම්බන්ධයෙන් චෝදනා කරන බව සඳහන් කළේ ය.

මව්බිම

”ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?” - අනුර අසයි

මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැසීමක් සිදුකළ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි .

''ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?'' යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

"මහ බැංකු අධිපති නන්දලාල්, ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වනදා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලා ගත්තු පළමු තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල්වලින් සහ මූල්‍ය අරමුදලවල් වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නෑ කියන එක. ඔබ හිතනවාද? කවර හෝ බහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩවූ පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම.. එකත් එක්ක යම් අන්තර් සම්බධතාවයක් තියෙන බව ඔබට තෙරෙන්නේ නැද්ද."

"ඒ විතරක් නෙමේ රටේ මූල්‍ය බලය මුලුමනින්ම පැවරෙන්නනේ පාර්ලිමේන්තුවට. එ්කට අත තියන්නත් බෑ කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් දැනුම්වත් කිරීමකින් හෝ තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් තීන්දුවක් ගන්නවා.. අපි ණය ගෙවන්නේ නෑ කියලා. මා දැක්කා පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවෙනවා කියලා."

"අරන් තියෙන ණය ගෙවන්නේ නැතිනම්.. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යා යුතුමයි. වෙන විකල්ප පාරවල් කිසිවක් නෑ. ඉන්දියානු රජය ණයක් දෙන්නේ ආපසු ඒ ණය ගෙවනවා නම් විතරයි."

"ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට යම් සහන ණයට ලබාගන්න තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසේ 12 වනදායින් පස්සේ ගිලිහි ගියා. මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැහුවා."

පාසල් නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් - අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බවත්,  ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබෙන අතර දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිතව ඇත.

ඒ අනුව, පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බව  අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අයහපත් කාලගුණය ගුවන් ගමන් ප්‍රමාද කරයි

කටුනායක ගුවන් තොටුපොළ අවට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාදවී තිබේ.

චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (07) රාත්‍රී හතට පමණ පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 යානය මාලදිවයිනේ - මාලේ ගුවන් තොටුපල වෙත යොමුකර තිබේ.

එමෙන්ම කුවේට් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයද අද (08) අලුයම මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව වාර්තා වේ.

කටුනායකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්. 225 යානය පැය 15ක් පමණ ප්‍රමාදවූ බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කළේය.

එමෙන්ම ඩුබායි සිට කටුනායකට අද අලුයම 4.45ට පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 226 දරණ ගුවන් යානයද පස්වරු 4.55 දක්වා ප්‍රමාද වන බව වාර්තා වේ.

ජපානයේ නරීටා බලා ඊයේ රාත්‍රී 7ට පමණ පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානය ද පිටත්ව ගියේ අද අලුයම 1.50ටය.

මුම්බායි බලා ඊයේ රාත්‍රී 11.40ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ද අද අලුයම 5.35 දක්වා ගුවන්ගතවීම ප්‍රමාද වුණි.

නිල සංචිත ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 මාර්තු මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඊට අනුව 2023 පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,219 ක්ව පැවති නිල සංචිත වත්කම් වටිනාකම 2023 මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වැඩි වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 2,184 සිට ඩොලර් මිලියන 2,628 ක් දක්වා 20.3%කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය ද මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 30 ක් දක්වා 7.8%කින් වර්ධනය වී ඇත.

ජන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන චක්‍රලේඛය එයි !

2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය රජය විසින් නිකුත් කර ඇත.

මීට අදාළ තීන්දුව ගෙන තිබුණේ පසුගියදා පැවති කැබිනට් හමුවේදීය.

එම චක්‍රලේඛයේ සඳහන් වන ආකාරයට මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා අදාළ නිලධාරියාට හිමි මූලික වැටුප ගෙවිය යුතුව ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝකගේ අත්සනින් යුතු එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛය පහත දැක්වෙයි.chakralekha1

එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය අවුල් වෙයිද ?

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා නැව අසලට යෑමට නොහැකිවීම හේතුවෙන් එම පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවරා ඇති නඩුවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් ඇති වනු ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බවත් නඩු පැවරීම නෞකාව අයත් සිංගප්පූරුවේ කිරීම අවාසි සහගත බවත් පරිසරවේදීහු සහ නීතිඥවරු පිරිසක් එම කාරක සභාව හමුවේ පැවසූහ.

නැව අසලට යෑම අනතුරුදායක බව පැවසීම නිසා නැව තුළ මෙන්ම නැව අසල පරිසර හානිය තක්සේරු කිරීමට බාධා මතුව ඇතැයි හානිපූර්ණය ගණනය සඳහා පත් කෙරුණු විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මේ අනුව එම නෞකාවේ ඉතිරිව ඇති කොටස් ආසන්නයට ගොස් හානිපූර්ණය ගණනය කිරීම සඳහා සාම්පල ගැනීමට විද්වත් කමිටු සාමාජිකයන්ට පහසුකම් සම්පාදනය කරදෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට(මීපා) සහ ජාතික ජලසම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයට (නාරා) උපදෙස් දුන්නේය.

අනතුරට අදාළව ඇමරිකානු ඩොලර් කෝටි 600 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාල විද්වත් කමිටු වාර්තාව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇති බවත් නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ යුතු බවත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ එම වාර්තාව පදනම් කරගෙන වන්දි මුදල් ලබා ගැනීමට නඩු පැවරීම කඩිනමින් කරන බවයි.

මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අප්‍රේල් 25 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී 2021 වසරේදී අනතුරට පත්වීමෙන් විශාල සමුද්‍රීය පරිසර විනාශයක් සිදුවිය.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට : හියුමන් රයිට්ස් වොච් විරෝධය !

ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත් යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලැබෙන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත රජය ඉවත් කර ගත යුතු බවත් ඉදිරියේදී සම්මත කිරීමට අදහස් කරන ඕනෑම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව උපදේශන ලබා ගනිමින් සහතික කරගත යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

රජය පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කළා යැයි පවසමින් එල්ල වූ දේශීය සහ ජාත්‍යන්තර විවේචන හේතුවෙන් එම විවේචන ආමන්ත්‍රණය කරමින් ඊට වඩා හොඳ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය පොරොන්දු වූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

පවතින පනතෙන් මතුවූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම පසෙකලා නව පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය තවත් පුළුල් කර ඇති බවත් දේපළ හානි, සොරකම හෝ මංකොල්ල කෑම වැනි අපරාධ නව පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇති බවත් සාමකාමීව රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසද නව පනත් කෙටුම්පත මගින් සීමා කර ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත.

නව පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නොමැති ධනාත්මක කරුණු කීපයක් තිබෙන නමුත් නව පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුලත් වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

කෘෂි නිලධාරීන්ට දීර්ඝ කාලීන විදෙස්ගතවීම්වලට අනුමැතිය නොලැබේ

කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරින්ට දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය නොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ඒ අනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලු පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්ට දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය නොලැබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදී පළාත් නිලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එම නිලධාරින් විදේශගතවීමක දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙසයි.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට පුරප්පාඩු පවතී.

වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු නොකිරීම ඊට හේතුවයි.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කෘෂිකර්ම අංශයේ නිලධාරින් දීර්ඝකාලයකට විදේශගත වුවහොත් මෙරට කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමකට ලක්වන බව නිලධාරීන් පෙන්වා දුන් බවයි.

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් ක්‍රියාත්මක කරන බව ද අමත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

රජයේ ගොඩනැගිලි සදහා සූර්ය පැනල

රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකර විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිමකර ඇති බව සඳහන් වෙයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර  පවසන්නේ එම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වනදා වනවිට නිම කිරීමට අපේක්ෂා කරන බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ඉන්දියාවෙන් ලැබෙන බවද ඔහු පවසයි.

මෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ඊට අදාළ මිලදී ගැනීම් කටයුතු ඉන්දීය එක්සිම් බැංකුව මගින් සිදුකිරීමට නියමිතය.

ෆුටාව මස් රාත්තලම ඉල්ලයි : උසස් පෙළ ලියූ සිසුන් අනාථයි !

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි .

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක සඳහන් කරයි.

මේ අතර ගුරු වෘත්තීය සමිති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාව තමන්ට පමණක් සිදුකළ හැක්කක් නොවන බවය.

මෙරට සංවර්ධන මෙහෙයුම් වැඩසටහන : ලෝක බැංකුවේ ප්‍රසාදයට !

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කෙරේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයින් විසින් මේ බව සඳහන් කෙරිණි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office), රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ සාගල රත්නායක මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බව කියා සිටියේය.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230406 WA0012

Page 204 of 463