සුදත්ගේ මයි රෙඩ් කොම්රෙඩ් සහ ශ්‍යාම්ගේ මගේ පන්තියේ ළමයෙක් බාසිලෝනා ආසියානු සිනමා උළෙල තරග බිමේ

සුදත්ගේ මයි රෙඩ් කොම්රෙඩ් සහ ශ්‍යාම්ගේ මගේ පන්තියේ ළමයෙක් බාසිලෝනා ආසියානු සිනමා උළෙල තරග බිමේ

එළෙඹෙන ඔක්තොම්බර් 26වන දා සිට නොවැම්බර් 09වන දා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන 13වන බාසිලෝනා ආසියානු සිනමා උළෙලේ (ASIAN FILM FESTIVAL BARCELONA) තරගකාරී අංශ නියෝජනය කිරීමට සුදත් මහදිවුල්වැව ගේ "මයි රෙඩ් කොම්රෙඩ්" (MY RED COMRADE) චිත්‍රපටිය සහ ශ්‍යාම් ප්‍රනාන්දු ගේ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.


මයි රෙඩ් කොම්රෙඩ් නොවැම්බර් 03






"නෙට්පැක්" (NETPAC) තරග අංශය යටතේ උළෙල නියෝජනය කරන 'මයි රෙඩ් කොම්රෙඩ්' නොවැම්බර් 03වෙනි දා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
චීනය, ඉන්දියාව, ඉරානය, දකුණු කොරියාව, ජපානය, ශ්‍රී ලංකාව ආදී ආසියානු කලාපීය රටවල් 18 කට අයත් චිත්‍රපට 24 ක් නෙට්පැක් අංශය යටතේ තරග වදී.

මෙම තරග අංශය යටතේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් උළෙල නියෝජනය කරන 04 වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2021 දී 'සිංගල් ටම්බලර්' (සුමති සිවමෝහන්), 2022 දී 'ආසු' (සංජීව පුෂ්පකුමාර) සහ 2023 දී 'රහස් කියන කඳු' (ජගත් මනුවරණ) යන චිත්‍රපට නෙට්පැක් අංශය යටතේ තරග වැදුණි.


මගේ පන්තියේ ළමයෙක් නොවැම්බර් 06





ඉරානය, ජපානය, චීනය, ඉන්දියාව, පිලිපීනය, හොංකොං, දකුණු කොරියාව, ආදී රටවල් 15 කට අයත් චිත්‍රපට 26 ක් "ඩිස්කවරීස්" (DISCOVERIES) නම් වූ තරග අංශය නියෝජනය කරන අතර, ඒ අතරට ශ්‍යාම් ප්‍රනාන්දුගෙ "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටය ඇතුළත් වේ. එය නොවැම්බර් 06වෙනි දා උළෙලේ දී ප්‍රදර්ශන කෙරේ.

'මගේ පන්තියේ ළමයෙක්' ට අමතරව ඇමෙරිකා-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන ශෝන් සෙනෙවිරත්නගේ "බෙන් ඇන්ඩ් සුසෑන් රීයුනියන් ඉන් 4 පාර්ට්ස්" යන සිනමාපටය ද මේ අංශය තුළ තිරගත වේ.

මීට පෙර ශ්‍රී ලාංකේය නිර්මාණ ලෙසින් 2020 දී "ආයු" (චත්‍ර වීරමන්) සහ 2022 දී අල්බොරදා (අසෝක හඳගම) යන චිත්‍රපට ද්විත්වය 'ඩිස්කවරීස්' අංශය යටතේ තරග වැදුණි.


බාසිලෝනා ආසියානු උළෙලේ ඉතිහාසයෙන් බිඳක්

බාසිලෝනා ආසියානු උළෙලේ ආරම්භය 2011 වසරේදීත්, ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් පළමු වරට බාසිලෝනා ආසියානු උළෙල නියෝජනය කිරීම 2017 වසරේදීත් සටහන්ව ඇත. පෙරකී ලෙසින් නෙට්පැක් සහ ඩිස්කවරීස් යන අංශ ද්විත්වය යටතේ මේ දක්වා තරග කළ ශ්‍රී ලාංකේය චිත්‍රපට 05 ට අමතරව, 2017 වසරේදී සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය උළෙලේ 'නිළ අංශය' (OFFICIAL SECTION) යටතේත්, 2023 වසරේදී විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' චිත්‍රපටය 'නිළ පැනොරාමා අංශය' (OFFICIAL PANORAMA SECTION) යටතේත් තරග වැදුණි.

එලෙස 2017-2023 කාල වකවානුව තුළ ශ්‍රී ලාංකේය චිත්‍රපට 07 ක් උළෙලේ තරගකාරී අංශ නියෝජනය කිරීමට සමත්ව තිබුණද, ඒ එකදු චිත්‍රපටයකට හෝ උළෙල තුළ සම්මානනීය වීමට අවස්ථාව හිම් නොවීම කැපී පෙනේ.

"මයි රෙඩ් කොම්රෙඩ්" සහ "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපට ද්විත්වය බාසිලෝනා ආසියානු උළෙලට ඉදිරිපත් කිරීම සහ සම්බන්ධීකරණ යූ. එල්. කේ. ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චි ගෙනි


(සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi)

Festival Link: https://asianfilmfestival.barcelona/2025/search/


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න