තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
තායිලන්ත රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු තායි රාජා ඇතින්න සහ කණ්ඩුල ඇතින්න නැවත එරටට ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා පළ වීම හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊට පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තායි රාජා ඇතින්න දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිටින අතර කණ්ඩුල ඇතින්න කැලණිය රජ මහා විහාරය යටතේ පසුවෙයි.
අදාළ ඇතින්නන් දෙදෙනාට හිරිහැර සිදුවන බවට පවසමින් තායිලන්තය විසින් ඔවුන් දෙදෙනා නැවත එරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව එළැඹෙන 28 වනදා මෙරට රජය සමග ඒ පිළිබඳ සාකච්ඡාවක් ද සිදු කිරීමට සූදානම් බව වාර්තා වෙයි.
අලුත්ගම විහාරයේ සිට මුතු රාජා හස්තියාට ද හිරිහැර සිදුවීම හේතුවෙන් මීට පෙර තායිලන්ත රජය විසින් එරටට රැගෙන යනු ලැබීය.
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු වන ප්ලායි ශ්‍රීන්හරොන්ග් (Plai Srinharong) සහ ප්ලායි ප්‍රාටු ෆා (Plai Pratu Pha) ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් අදාළ ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ පශු වෛද්‍ය කමිටුව පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා "අද දෙරණ" සිදුකළ විමසීමකදී සඳහන් කර තිබේ.
සබැඳි පුවත :
තායිලන්තයෙන් ලැබුණු තවත් ඇතුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

