තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය දුරදිග යයි ! - හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කරලා !!

තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය දුරදිග යයි ! - හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කරලා !!

කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම්කර ඇති අතර එය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.

එවැනි චෝදනාවක් එල්ලවෙමින් ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු පවරා ඇති යසන්ත ප්‍රදීප් මහතා මෙන්ම E. N. S. B ඒකනායක මහතා එම 'අනීතික අනුමැතිය' ලබා දීමට කටයුතු කල ප්‍රධානම නිලධාරීන් දෙදෙනා වීම නිසාය.

මෙය ජනාධිපතිවරයා හා නව ඇමතිවරයා නොමග යැවිමකට සිදුකරනු ලැබූ උප්පරවැට්ටියක් යයි ද ඇතැම් සමාජ මාධ්‍ය චෝදනා කරයි. පසුගිය කැබිනට් සංශෝධනයේදී විෂය බාර අමත්‍යවරයා ලෙස අලුතින් පත්කළ අමාත්‍ය බිමල් රත්නායක මේවනවිට චීනයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු යළි දිවයිනට පැමිණීමට පෙර මෙම සිද්ධිය යටගැසීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේදිනවල බලවත් උත්සහයක් දරමින් සිටින බවද වාර්තාවේ.

තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා අනුමැතියට අදාල විවේචන මොනවද ?

* කලාපකරණ උල්ලංඝනය:
විශේෂ නේවාසික කලාපයකට අයත් ඉඩම, නීති විරෝධී ලෙස මිශ්‍ර සංවර්ධන කලාපයකට අයත් ලෙස සලකා අනුමැතිය ලබා දීම.

* උස සීමාව ඉක්මවීම:
මීටර් 50 ක උපරිම සීමාව තිබියදී මීටර් 120 කට වඩා වැඩි උසකට අනුමැතිය ලබා දීම.

* වංචනික ලෙස මුහුණත පළල තක්සේරු කිරීම:
මීටර් 30 ට අඩු මුහුණත පළල මීටර් 40 ක් ලෙස සලකා නිර්ණායක සම්පූර්ණ කළ බව පෙන්වා දීම.

ගොඩනැගිලි ඉඳිකිරීම් පිලිබඳ නිර්ණායක ඇතුලත් රජයේ ගැසට් සදහන් ආකාරයට ගොඩනැගිලි වල උස ගනනය කල හැක්කේ එම ප්‍රවේශ මාර්ග දෙකම එකම කලාපයට අයත් වන්නේ නම් පමණි. එක් ප්‍රවේශ මාර්ගයක් මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් අතර අනෙක් මාර්ගය විශේෂ නේවාසික කලාපයට අයත් වේ. එම නිසාම කේලේෂන් පාර මාර්ගයේ ප්‍රවේශකත්වය ලබාගැනීම තහනම් කර ඇත.

එය මුලික සැලසුම් නිරාකරණය (PPC) සහ ගොඩනැගිලි අනුමැතිය (Building Permit) ලබා දීමෙදිත් සදහන් කර ඇත. තවද මෙම ඉඩමේ කිසිදූ ස්ථානයක මිටර් 40 මුහුණත පළලක් නොමැත.

එසේ සදහන් කර ඇති අවස්ථාවක උස ගණනය කිරීමට එම මාර්ගයේ මුහුණත පළල අදාල කරගත නොහැක. මෙම ඉඩමෙ කුමන ස්ථානයක වුව මිටර් 40 මුහුණත පළලක් නොමැත. ඒ අනුව ලබා දි හැකි උපරිම උස මිටර් 50 පමණි. ඉහත අවස්ථා දෙක අනුව මෙම ඉඩමට අදාල උස වන්නේ මිටර් 50 පමණි .

මෙම ව්‍යාපෘතියට යාබදව පිහිටි කොළඹ 05, 'ක්ලේසන් පෙදෙස' හි පදිංචි නේවාසිකාවක් වන තුසිතා කුමාර කුලසිංහම් මහත්මිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයාට හා අගමැතිනියට ලිපියක් මගින් දැනුම් දී ඇත. ඇය හෙළිදරව් කර ඇත්තේ නීත්‍යානුකූලව අනුමත විය යුතුව තිබූ සීමාව ඉක්මවා, බලධාරීන්ගේ මැදිහත් වීමෙන් තට්ටු හතළිහක ඉදිකිරීමක් දක්වා අදාළ සමාගමට UDA විසින් අනුමැතිය ලබා දී ඇත්තේ වැරදි ගණනය කිරීම් මත යන්නයි.

ක්ලේසන් පෙදෙස් නේවාසිකයාගේ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය (2025.10.10 දිනැතිව) සහ අග්‍රාමාත්‍ය කාර්යාලය (2025.10.14 දිනැතිව) ලිපි මගින් දැනුම් දී ඇත්තේ:

•⁠ ⁠ජනාධිපති කාර්යාලය: පැමිණිල්ල පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව.

•⁠ ⁠අග්‍රාමාත්‍ය කාර්යාලය: පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, අක්‍රමිකතා තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව.

සබැඳි පුවතක් :

තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය ! - නීතියේ කනින් රිංගා දුන් UDA අනුමැතියට 'මාතෘභූමි' සංවිධානයෙන් නඩු

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න