කොළඹින් දුරබැහැර ඈත පිටිසර මඩකලපුව ඒරාවූර්පත්තු පූන්නකුඩා වෙරළ තීරය අසබඩ පූණ්‍යරාමය විහාරාධිපති දඹගල්ලේ වනරතන හිමියෝ බුදු දහම ප්‍රචලිත කිරීමට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් කරන අපේ කාලේ වැඩවසන අමුතුම තාලයේ සේවාවක් ඉටු කරන හිමිනමකි.
දැනට අඹ පැළ 250ක්...
උන්වහන්සේ තමා ජීවත් වෙන ප්‍රදේශයේ දුප්පත් බෞද්ධ උපාසක උපාසිකාවන්ට හෝ වෙනත් ජාතිකයකුට ආගමිකයෙකුට හෝ කිසිදු කරදරයක් නොවන්නට තමන්ගේ විහාරස්ථානය මනාව පවත්වාගෙන යන හිමිනමකි.
විහාරස්ථානයේ විදුලි ආලෝක පූජාවේ සිට සියලු වියදම් උන්වහන්සේ බොහෝ අසීරුවෙන් සොයා ගනිති. ඒ සඳහා උන්වහන්සේ මේ වෙන විට අලුත් ම උපක්‍රමයක් භාවිතා කරයි. ඒ, තමන්ගේම වියදම් සොයා ගැනීමට කෙටිකාලීන නොව දිගුකාලීන ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ රජයේ ඉඩම් ගණනාවකි. ඒවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම සභාව සතු ය. එවැනි ඉඩම්වලින් අක්කර දෙකහමාරක් බදු ක්‍රමයට ලබාගෙන උන්වහන්සේ සුවිශේෂී වගා කටයුත්තක් සිදුකරති. තමන් රජයෙන් ලබාගත් එම ඉඩමේ TOM & JC අඹ පැළ දෙසිය පනහක් වගා කිරීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිති. ඉන් මේ වන විට පැළ 150ක් ඉන්දවා අවසන් ය.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනික සේවා විශ්‍රාමිකයින්ගේ සංවිධානය ගම්පොළ මගින් සංවිධානය කළ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක දී අපට හමු වූ අවස්ථාවේ දී ය. අප සමග මෙම ගමනට විශ්‍රාමික අධ්‍යාපනික සේවා සිදු කළ විදුහල්පතිවරු, ගුරුවරුන් ගුරු උපදේශිකාවන් සහ විශ්ව විද්‍යාලයේ එකට සිට විද්‍යාර්ථයින් 19ක් එක්ව සිටියහ.
එම අවස්ථාවේ දී මෙම වගාව පිළිබඳව වනරතන නා හිමියෝ මෙසේ ප්‍රකාශ කළ සිටියහ.
ජලය ලබා ගන්නේ වගා ළිඳකින්
''මඩකලපුව ඒරාවුර් පුන්න කුඩා අපේ ග්‍රාමයේ සිංහල බෞද්ධ පවුල් පනහක් සිටිනවා. ඒ අයගේ ආදායම් මාර්ගත් එතරම් ශක්තිමත් නැහැ. නමුත් ඒ අය තමන්ට හැකි පමණ පන්සලට උදව් උපකාර කරනවා. මමත් පන්සලෙන්, විහාරස්ථානයෙන් ඒ අයට ඉටුවිය යුතු සේවා ඉටු කරනවා. මේ අතර මම කල්පනා කළා පන්සලට දිගු කාලීන ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබාගත් ඉඩමෙහි අඹ පැළ වගා කිරීමේ ව්‍යාප්තියක් ආරම්භ කළා. එය ඉතා සාර්ථකව සිදු කරමින් සිටිනවා. මීට අවශ්‍ය ජලය අප ලබා ගන්නේ ලොකු වගා ළිඳකින්. ඒ සඳහා වතුර මෝටරයක් පාවිච්චි කරනවා. ගමේ රැකියා නැති තරුණයෙන් කිහිපදෙනෙකු මීට උදව් කරනවා. මම ඒ අයට කුලියට මුදලකුත් ලබාදෙනවා. මේ ව්‍යාපෘතියෙන් අපට අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුනක් හතරක් යයි. එතකොට එය විහාරස්ථානයට හොඳ ආදායමක්. සමහර විට අපි නොහිටියත් පසුකාලීන අයට පවා එය හොඳ ව්‍යාපෘතියක් වෙයි. ඒ අරමුණෙනුයි අපි මේ වගා ව්‍යාප්තිය පටන් ගත්තේ. කාගේත් උදවු ලැබෙනවා.
සංචාරක ආකර්ෂණීය ස්ථාන දියුණු කළ යුතුයි
මේ වගේ දුෂ්කර ප්‍රදේශවල හාමුදුරුවෝ වැඩ වෙසෙන කොට අප අපගේ වියදම් හොයා ගත යුතු යි. අප කිසිම දෙයක් දුෂ්කර ලෙස නොසිතා දාඩිය මහන්සියෙන් වැඩ කර සතුටින් කාලේ ගත කරනවා. මඩකළපුවේ සංචාරක ආකර්ෂණීය තැන් බොහොමයක් තිබෙනවා. ඒවා නැරඹීමට එන අයට පහසුකම් වැඩිදියුණු කළ යුතු යි. රජයේ අවධානය ඊට යොමු කිරීම කළ යුතුයි. රජයත් මෙහි ප්‍රාදේශීය පාලකයිනුත් මේවායේ සම්පත් භාවිතා කර ගන්න උනන්දු විය යුතු යි. ජනතාවට මෙහි එන්නට පහසුකම් වැඩි කළ යුතුයි.''
එම අවස්ථාවේ අදහස් දැක්වූ මඩකළපුව, ඒරාවූර්පත්තු 193 ග්‍රාම නිලධාරී අකිලේෂ්වරන් නිශාන්තන්...
''අපි මේ පළාතේ රජයේ නිලධාරින් ලෙස ආණ්ඩුවේ අවධානය සංචාරක කර්මාන්තයේ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරනවා. ඉදිරියේදී ඒවා සාර්ථක වෙයි. අපගේ වසමේ පවුල් 750 ඉන්නවා. ඔවුන් ධීවර සහ ගොවිතැනේ නියැලෙන්නේ. ආර්ථිකය ජීවනෝපය දියුණු කරගන්න උදව් කළ යුතුයි. ''
සංවර්ධන නිලධාරී නවරත්නම් දිනේෂ්...
''සංචාරක ආකර්ෂණය දිනාගන්න පූන්නකුඩා වෙරළ තීරය භාවිතා කළ යුතු යි.''
අධ්‍යාපනික සේවා විශ්‍රාමයකින්ගේ සංවිධානයේ ගම්පොළ විශ්‍රාමික විදුහල්පති සංගමයේ ලේකම් ජී. ගමාරාච්චි...
''ලංකාවේ සංචාරක ආකර්ෂණ තැන් දියුණු කරන්න කටයුතු කළොත් ඒවායෙන් එම ප්‍රදේශවල ජනතාවගේ අතමිට සරු වෙනවා. දෙස් විදෙස් සංචාරකයෝ ආවොත් මොවුන්ට අලුත් ආදායම් මාර්ග උපදිනවා. අපි ඒ සඳහා සියලු දෙනා එක්ව වැඩ කරන්න ඕනැ. මේ ප්‍රදේශවලට එන සංචාරකයින්ගේ වගකීම තමයි මේ තැන් පිරිසිදු කර තබා ගැනීම. ඒවාගේම ඉදිකර තිබෙන පොදු දේවල් ආරක්ෂා කළ යුතුයි.''
මේ වන විට සංචාරක ආකර්ෂණය මද වශයෙන් දිනාගෙන සිටින පුන්නකුඩා වැනි වෙරළ තීර වෙත පැමිණීමට ඕනෑම අයෙකුට ප්‍රවාහන පහසුකම් කිහිපයක් පවතී. මඩකලපුව නගරයට පැමිණ එරාවූර් වෙත ඒමට ඇත්තේ කිලෝමීටර් 14ක දුරකි. මෙම කෙටි දුර ගෙවාගෙන පුන්නකුඩා වෙත පැමිණ තමන්ගේ විහාරස්ථානයේ දී ආගමික වතාවත් වල යෙදීමට කටයුතු කරන ලෙස නායක හිමියෝ සැමට ආරාධනා කරති. එය මේ ප්‍රදේශයේ දියුණුවට කරන ලොකු ම මහත්ඵල දෙන සේවය බව උන්වහන්සේ අවධාරණය කරති.
(ජේ.මුණසිංහ)




