V2025

පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසදීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහාය ලබාදීමට කටයුතු කරන බව ද භාණ්ඩාගාර ලේකම්වරිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාව පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

එක්සත් ජනපදය සිය මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින්, පැරිස් සමාජයේ අනෙකුත් සාමාජිකයන් හා සම්බන්ධවීමට සූදනම්ය.

තවද එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ප්‍රතිඥා දී ඇත.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම, ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සඳහා පොහොර සහ මුදල් ලබාදෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබා දී ඇති බවද භාණ්ඩාගාර ලේකම්වරිය තවදුරටත් දන්වා තිබේ.

විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළ කර සිටී.

අරගලයේ ඉල්ලීමක් ඉටුවෙයි !

ගෝල් ෆේස් අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ ග්‍රාමීය සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ලෙස "මහජන කවුන්සලය" ගොඩ නැගීමට යන්නට ආණ්ඩුව ප්‍රතිචාර දක්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා සිදුව ඇති අතර එහිදී දිවයිනේ ග්‍රාම සේවා වසම් දෙකක් මූලික කොටගෙන අදාළ ජනසභාවේ සාමාජිකත්වයන් ගොඩ නැගෙන "ජනසභා ලේකම් කාර්යාලයක්" ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත .

මේ සදහා තරුණ ප්‍රජාව, පූජ්‍ය පක්ෂය හා ගමෙහි ප්‍රධාන වගකිව යුතු පාර්ශවයන් එක් කොට ගෙන ගොඩ නැගෙන අතර එය දිස්ත්‍රික්කය තුළ සාකච්ඡා වන සංවිධානයක් මගින් සෘජුව බලාධිකාරයන් වෙත සම්ප්‍රේෂණය වීම දක්වා වන ගලායාමක් සිදුවිය යුතු බවට අදහස් දක්වා ඇත.

ජනසභා ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන මූලස්ථානය හිටපු කතානායක කරූ ජයසූරියගේ මූලිකත්වයෙන් හා ප්‍රවීන ජනමාධ්‍ය වේදී වික්ටර් අයිවන්ගේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ පිළිබදව කළ මූලික සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා සමග කරූ ජයසූරිය, වික්ටර් අයිවන්, රංජිත් කීර්ති තෙන්නකෝන්, වරුණ දීප්ත රාජපක්ෂ, නීතිඥ අකලංක හෙට්ටිආරච්චි, සුජාතා ගමගේ හා සංජීව විමලගුණරත්න සහභාගී වූහ.

22 සංශෝධනය සම්බන්ධව : ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මෙන්න !

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ අද (06) සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ නිවේදන ඉදිරිපත් කරමිනි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතරයෙන් එය සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණක් බවද කතානායකවරයා පැවසූවේය.

කෙසේ වෙතත්, 2 වැනි වගන්තියේ යෝජිත 41 (අ)(6) සහ 41(ආ)(4) වගන්ති ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නිශේධ වන බවත් පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරනු ලැබීමෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ 44(2, 44(3), 45(1), 46(1), 47(3)(අ), 48(3) සහ 50 වැනි ව්‍යවස්ථාවන්හි සදහන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට වන සඳහන ඉවත් කර ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට සංශෝධනය කර ඇත්නම් සහ
(ආ) 3 වැනි වගන්තියේ යෝජිත 47(2) ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රතිස්ථාපනය කරන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නතර වනු ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායකවරයා පැවසුවේය.

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අගෝස්තු මස 10 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ අගෝස්තු මස 2 වැනිදාය.

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය ආයෙත් එපා : ජිනීවා වාර්තාව එළියට !

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ය.

ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීරණ විය යුතු බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා සිට ඇත.

මිලිටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින්, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාකරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරීමට කටයුතු කරමින් නව කැපවීමක් පෙන්නුම් කරන ලෙස එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

දැඩි ලෙස මිලිටරිකරණය වූ පරිසරයක් තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ශ්‍රී ලංකා රජය ගැන සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාල අවස්ථා අහිමි 6847 කට : උසස් අධ්‍යාපන අවස්ථාව !

විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බව ද එම අමාත්‍යංශය පවසයි.

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු - ජනාධිපති රනිල්

පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
 
ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ  සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (06) පස්වරුවේ කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි. 
 
ඉදිරි වසර 25ක කාලය තුළ ණය නැති බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කළ යුතු බවත්, වසර පහෙන් පහට වෙනස් නොවන ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහිත  මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 
 
‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය. 
 
මෙවර විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන‍්නේ වසර 28කට පසුව වීමයි.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.
 
රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස  විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.
 
ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. 
 
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනූෂ නානායක්කාර සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.
 
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ. 
 
පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය. 
 
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක ගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් ද,  ජේ. ආර්. ජයවර්ධනගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද , ආර්. ප්‍රේමදාස ගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ද,  ඩී.බී. විජේතුංග ගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පුෂ්පෝපහාර දැක්වූහ.
 
පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාව ද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකි විය.  
 
ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි. දේශීය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.
 
හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කළහ.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,  එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු  අමාත්‍යවරුන් වන  ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍
 

රාජ්‍ය සේවකයන්ට වසර 5 කට වැටුප් රහිත නිවාඩුවක් !

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට 2022 ජුනි මස 13 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණ . ඒ අනුව මේ තීරණය ගෙන තිබෙන්නේ එම කමිටුව ලබාදුන් නිර්දේශ අනුවය..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවිය.

දිවයින නිව්ස් දුන්න : බොරු විදලා මාට්ටු !

“මැති ඇමතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති” මැයෙන් අද (06) දිවයින ජාතික පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

මෙකී පුවතේ ප්‍රවෘත්තිමය වටිනාකමින් යුතුව ඇති ප්‍රධාන කොටස වන්නේ "මැයි 09 වැනිදා රට පුරා සිදුවූ කලබලකාරී සිද්ධීන්වලදී ගනිතබා විනාශ කළ දේපළවල තක්සේරු වටිනාකම දෙගුණ තෙගුණ කර ලබා ගැනීමට දේශපාලනඥයින් පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, විනාශයට පත්වූ දේපළ වෙනුවෙන් නොවටිනා තක්සේරු ඉදිරිපත් කර අසීමිත මුදලක් ලබාගැනීමට ඇතැම් දේශපාලඥයින් කටයුතු කිරීම නිසා මෙම අලාභයන් තක්සේරු කරන නිලධාරීහු දැඩි අපහසුතාවට පත්ව ඇති බව" යන්නය.

දිවයින වෙනුවෙන් මේ පුවත වාර්තා කර ඇත්තේ, හේමන්ත රන්දුණු ය.

කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි මව්වරුන් 5000ක් වඳ කරලා " කියමින් මුළුමනින්ම අසත්‍ය පුවත ලිව්වෙත් මේ රන්දුණු ය. එදා ජාතිවාදය වපුරා රට ගිනිතියන්න ගිය මේ නූගතා අද ආර්ථික පීඩනයෙන් දුෂ්කරතාවට පත්ව ඇති ජනතාව කුපිත කිරීමේ තුට්ටු දෙකේ මාධ්‍ය කරණයට යොමුව ඇත.

අදාළ පුවතේ සඳහන් "දේශපාලනඥයන් 6ක්, කෝටි 100 ක පමණ වන්දි ඉල්ලා ඇති කතා" සියල්ල ද ගජබින්නය.

අවම වශයෙන් මෙම පුවත වාර්තා කර ඇත්තේ, මැයි 09 වැනිදා හෝ ඊට තදාසන්න දිනවල දේශපාලනඥයන්ගේ නිවාස සහ දේපළ ඉලක්ක කර මුදාහැරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ විනාශයටපත් දේපළට අදාළ පැමිණිලි ප්‍රමාණය හෝ නොදැනය. අපේ සොයා බැලීම අනුව මෙකී සිදුවීමට අදාළ පැමිණිලි 1038 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත. ඒ නිවාස සහ වාහනද ඇතුළත්වය. මෙයින් 438 ක් හෝ ඊට ආසන්න පැමිණිලි ප්‍රමාණයක තක්සේරු කිරීම් සිදුකර ඇති අතර, අනෙක් පැමිණිලි සම්බන්ධයෙන් තක්සේරු වාර්තා සකස් කිරීමට නියමිතව ඇත.

තක්සේරු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනුව සම්පූර්ණ තක්සේරු වාර්තාව ලබාගන්නා තෙක් වන්දි ලබාදීමක් සිදුවන්නේ නැත.

තක්සේරු නිලධාරීන්ට බලපෑමක් හෝ ඔවුන්ට ස්වාධීනව තම කාර්ය සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ බව පළමුව දැනුම් දියයුතුව ඇත්තේ සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතය. එහෙත් අප දන්නා ආකාරයට අදාළ කටයුත්තේ නිරත කිසිඳු නිලධාරියෙක් එවැනි පැමිණිල්ලක් සිදුකර නැත.

අප වාර්තාකරුවන් සොයා බැලූ ආකාරයට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ස්වාධීන ලෙස එම කටයුතු වල නිරතව සිටියි. ඊට කිසිම ආකාරයක දේශපාලන ඇඟිලි ගැසීමක් සිදුවීමට ඉඩක් නැත. ඒ පිළිබඳ රජයේ ප්‍රධාන තක්සේරුකරු වගකීම දරයි. එසේම ජනතාවට අතිශය සංවේදී සිදුවීමක් බැවින් මෙකී කටයුතු වලදී සිය ස්වාධීනත්වය මුළුමනින්ම තබාගෙන නැවැරදි තක්සේරු වාර්තා සකසන ලෙස උපදෙස් පවා නිකුත්ව ඇත. ඒ අනුව නිලධාරීන්ට බලපෑමක් සිදුව ඇති බවට වන වාර්තාව රන්දුණුගේ අතේ රෝල් පත්තර කලාවේ යල්පිනු අවියක්ය.

අනෙක් අතට කිසියම් දේශපාලනඥයෙකු දේශපාලන බලපෑමක් සිදුකර. නියමිත තක්සේරුව ඉක්මවන වන්දියක් ගැනීමට සූදානම් වනවා නම් ඊට වඩා මරිමෝඩ වැඩක් තවත් නැත. ඒ ඉහළ වන්දියක් වෙනුවෙන් සාවධ්‍ය වාර්තා ඉදිරිපත් කළහොත්, ආදායම් ඉපයීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනාවන්ට ලක්වීමේ පැහැදිළි ඉඩක් ඇති නිසාය. එසේම සාවධ්‍ය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්වීමට සිදුවන නිසාය.

අද (06) පාර්ලිමේන්තුවේද මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු අතර එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමුකරනු දකින්නට ලැබිණ.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට ගොදුරුවූ රට එයින් මිදී ගොඩ ඒමට යන්තම් උත්සාහ ගන්නා පසුබිමක, ජනතාව කුපිත කරවන සුළු බොරු දුන්නකින් මාධ්‍ය ආචාර ධර්ම ගැන ප්‍රශ්න අසා තේරුමක් නැත. සාෆි වෛද්‍යවරයාගේ වඳ සැත්කම් පුවත තුළම මෙවැනි ගජබින්න විදින හේමන්ත රන්දුණු ගේ ආචාර ධර්ම තහවුරු කර හමාරය.

එහෙත්, ජනතාව මේ ටික දැනගත යුතුව ඇත. මෙවැනි ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේදී එය ඒකපාර්ශවීය වාර්තාකරණයක් සිදුකරන්නේ නැත.

විශේෂයෙන් ජනතාව අතිශය සංවේදී, මහජන කැළඹීමකට තුඩුදුන් පුවතකදී පිළිගත් මාධ්‍ය ආචාර ධර්මය වන්නේ, පුවතට අදාළ අනෙකුත් පාර්ශව වල කරුණු පැහැදිළි කිරීම්ද ඊට එක්කර ගැනීමය.

බොරු විදින දුණු වලට ආචාර ධර්ම අවශ්‍ය නැත. එහෙත් අප්පලා කරන වැරදි වලට දරුවන් වගකිව යුතුද ? මේ ප්‍රශ්නය අපි යළිත් අසන්නේ අන් කිසිවක් නිසා නොව බොරු දුන්නන්ගෙ තුට්ටු දෙකේ වැඩ නිසා , ජාතිවාදයෙන්, වෛරයෙන් වාන් දැමුණු සමාජය ශිෂ්ට සම්පන්න කිරීම අවධාරණය කරන්නටය.

කාගේවත් දේපළක් වැනසීමට වෙනත් කාටවත් අයිති නැත. දේපළ හානියක් ඇත්නම් සාධාරණ වන්දියක් ලැබීමත් අප ප්‍රතිකේෂ්ප කරන්නේ නැත.

IMG 20220906 WA0003

IMG 20220906 WA0002

අතුරු අයවැයේ තවත් යෝජනාවක් ක්‍රියාත්මකයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්ති මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.එස්.එන්. ජයසිංහ යන අය පත් කර තිබේ.

අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව හඳුනා ගෙන ඇත. තවද, එවැනි ද්‍රව්‍ය හේතුවෙන් කාර්යාල පරිශ්‍රයන්හි මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිවල ඉඩකඩ ද අනවශ්‍ය ලෙස අවහිර වී ඇත. එබැවින් එම ද්‍රව්‍ය කඩිනමින් සහ විධිමත්ව බැහැර කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ඒ අනුව, 2022 දෙසැම්බර් 05 වැනි දින හෝ ඊට පෙර පහත සඳහන් දෑ පිළිපදිමින් බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීම කමිටුවට පැවරී ඇත.

• සියලුම ආයතන වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
• ආයතන (අමාත්‍යාශය/දෙපාර්තමේන්තු/ආයතනය) මගින් පවතින අබලි ද්‍රව්‍ය හඳුනා ගැනීම
• ආයතන විසින් බැහැර කළ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස් කිරීම
• එක් එක් ආයතනය විසින් අදාළ තක්සේරු මණ්ඩලයක් පත් කිරීම
• එක් එක් ආයතනයෙන් ඉවතලන ද්‍රව්‍යවලට අදාළ තක්සේරු ප්‍රමාණය ලැයිස්තු ලබා ගැනීම.
• බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය අධීක්ෂණය කිරීම
• විකිණීමෙන් පසු ද්‍රව්‍ය ඉවත් කිරීම සහතික කිරීම
• සියලුම ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ඒකාබද්ධ වාර්තාවක් සකස් කිරීම.

චීන පොහොරේ අලාභය මිලියන 1382 යි : වගකිවයුත්තන්ට වැඩ වරදියි !

රසායනාගාර පරීක්ෂණවලදී දෙවතාවක් අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382 ක පාඩුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත් මෙරට නීතිරීති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකූලව ක්‍රියානොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමටත් නිර්දේශ කර ඇත.

මෙකී පොහොර ගනුදෙනුව නිසා ගණනය කර නොමැතිව ඇති පාඩුව අතිවිශාල බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021/2020 මහ කන්නයේදී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්න නිසා ආර්ථිකයට වූ පාඩුව, විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රටට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් අපේක්ෂිත වන්දිය ගණනය කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම මත රජයට අනාගතයේදී යම් වන්දියක්, ගාස්තුවක්, වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමේදී අදාළ සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දිර්ඝ කර ගැනීමට කටයුතුකර නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී පොහොර සැපයුම්කාර සමාගම සමඟ ඇතිකරගෙන තිබූ සමථ කොන්දේසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දිර්ඝකර එය වලංගුව තබාගත යුතුව තිබුණි. එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනි දින කාර්යසාධන බැඳුම්කරය කල් ඉකුත්වී තිබුණි. එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සිය වගකිම් පැහැර හැර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ආදාළ පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණි. අයදුම්පත් විවෘත කිරීම හා ලේඛනගත කිරීම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිද භාවයකින් යුක්තව සිදුවී නොමැතිව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජිවානුහරණය නොකරන ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට නීතිරීති ගළපා ගැනීම සඳහා සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘත කරගෙන තිබුණි.

අදාළ පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරායේ සිට කොළඹ වරයාට පොහොර මෙටි්‍රක්ටොන් 20550 ක් එවා තිබුණි. එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබැමට නොහැකිවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙන නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75 ක් සඳහා නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382 ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දෙසියක් අදාළ සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණි. මෙම සමාගම විසින් ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල අයකරගැනිමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා පොහොර සඳහා ගෙවූ මුළු මුදලම රජයට සිදුවූ පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසයි.

කෙසේ වුවද අදාළ සැපයුම්කාර සමාගමෙන් ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂා කොට තිබුණි. එම අවස්ථා දෙකේදීම පොහොර ජිවානුහරණය කර නොමැති බවත් අර්විනියා සහ බැසිලස් යන අහිතකර බැක්ටීරියා ඇතුළත් බවත් ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශ කොට තිබුණි. එපමණක් නොව පොහොර ගෙන්වීම සඳහා සැපයුම්කරු හා රජයේ පොහොර සමාගම් අතර ණයවර ලිපි නිකුත්කිරීම අත්හිටුවා තිබුණි. එහෙත් මෙකී ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත්කරනු ලැබූ විශේෂ කමිටුව විසින් සිදුකළ ශාක සත්ත්ව හා මානව සෞඛ්‍යයට අහිතකර බැක්ටීරියා අඩංගු නොවන එහෙත් හිතකර බැක්ටීරියා අඩංගු විය හැකි පොහොර ජීවානුහරණය කළ පොහොර යන නිර්වචනය පදනම් කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබුණි. මෙම නිර්දේශය මෙම මතභේදාත්මක ගනුදෙනුවට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක්, මෙටි්‍රක්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට චීනයේ සිමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහ සමාගමෙන් ආනයනය කිරිමට සැලසුම් ක්‍රියාත්මක කොට තිබුණි.

-Lanka lead

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම හෙට (06) !

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රට ගොඩනැගීමට සියලු දෙනා එක්කර ගැනීමේ අරමුණින් "එක්ව ගොඩනගමු" තේමාව යටතේ මෙවර සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

එහි විශේෂත්වයක් වන්නේ වසර 28 කට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ මෙවර සංවත්සරය පැවැත්වීමයි.

පක්ෂ සාමාජිකයන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන වලට සැමරුම් උත්සවය සඳහා ආරාධනා කර ඇත.

විදුලි කප්පාදුව පැයට අඩු කරයි !

සැප්තැම්බර් 06 (හෙට ) සිට එළඹෙන සැප්තැම්බර් 9 වන දා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක් පමණක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, හෙට සිට සැප්තැම්බර් 09 වන දා දක්වා ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ , A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ය.

ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලීමක් නෑ : සීතා අරඹේපොළ කියයි !

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පවසයි .

එමෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.

කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය වාර්තා පළවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩලබාදීම සඳහා සීතා අරඹේපොළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධුරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවය.

ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ මන්.

සහනාධාර සැපයීම විධිමත් කිරීමට පියවර !

ජනතාවට සුභසාධන සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සදහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (05) කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධිත ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින්නන් ද නියමිත දත්ත පත්‍රිකා සම්පූර්ණ කර ග්‍රාමනිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දිය යුතු බව ද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පවසා සිටියේ ය.

නියමිත අයදුම්පත් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ සහතික කිරීමක් සහිතව එම අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට භාර දිය යුතු බවද ඔහු පැවසීය .

එම තොරතුරු අදාළ නිලධාරින් විසින් පරිගණකගත කර සියලු ඉල්ලුම්පත් සඳහා QR කේතයක් වෙන්කර එම වැඩපිළිවෙළ මේ මස 15 වැනිදා ආරම්භ කරන බවද ඔහු කීය.

තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනා කිරීමටත් විරෝධතා දැක්වීමටත් අවස්ථාව ලබා දෙන බවද සභාපතිවරයා පැවසීය.

විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබා දීම සදහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී ජනතාවට සහනාධාර පිරිනමන බවද ඔහු පැවසීය .

ග්ලයිෆොසේට් ආනයනය ට අවසර !

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හෙට (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව ඊට අනුමැතිය ලබා දුන්නේය.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වෙනිදා රැස්විය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (5) පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා පැවසීය .

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.

නව ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සමග වැඩ අරඹයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ විවෘත විය.

 ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙනි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රකාශිත 'නව ලංකා නිදහස් පක්ෂයේ' නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර සමග මතගැටුම් ඇතිකරගෙන තිබෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් ඉදිරියේදී 'නව ලංකා නිදහස් පක්ෂය'ට එක්වීමට මේවනවිටත් සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

අන්ත දක්ෂිනාංශික හෝ අන්ත වාමංශික දේශපාලන පිළිවෙතට එරෙහිව රැඩිකල් මැද ප්‍රතිපත්තියක් මත පිහිටා අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට 'නව ලංකා නිදහස් පක්ෂය' කටයුතු කරනු ඇති බවත්, එම ස්ථාවරයේ සිට පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමග මෙන්ම අරගලයට දායකවූ තරුණ ක්‍රියාකාරීන් සමග පසුගිය සති කිහිපයෙහි දීර්ඝ වශයෙන් සාකච්ජා කළ බවත් එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු ඉහළට......

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ නංවා ඇතැයි දුරකතන සමාගම් පවසයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුවූ බව අදාල සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටෙලිවිෂන් හෙවත් මුදල් ගෙවා නරඹන රුපවාහිනි සේවා ගාස්තුවද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද සිට දුරකතන පැකේජයන් සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ ය.

 

Page 197 of 377