ධනවතුන් පොහොසතුන් කරනවාටත් වඩා වැඩි ජවයකින් “දුප්පතුන් ධනවතුන්“ කිරීමේ යෝජනා ලබන වසර (2026) අයවැයෙන් රජය ඉදිරිපත් කරනු ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී. හරේන්ද්‍ර දිසාබණ්ඩාර ප්‍රකාශ කළේය.
කොළඹින් දුර බැහැර ඈත පිටිසර ගම්මානවල ජීවත් වන අයට පවා රුපියල් දහසක අවම මුදලක් ආයෝජනය කොට තමන්ගේ ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට හැකි “ධනය වඩන ඒකක භාර (UNIT TRUST)“ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමේ ජාතික වැඩපිළිවෙළ අද (29) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයා එසේ කීය.
ශ්‍රී ලංකාවේ මුලු ජනගහණයෙන් වැඩි පිරිසක් බැංකු හා මූල්‍ය පද්ධතිය තුළ ඉතුරුම් සිදු කරන නමුත් තමන්ගේ ආදායම් ප්‍රාග්ධනයක් ලෙස ගොඩනගා ගැනීමට ආයෝජන මාර්ග කරා එළඹීම මන්දාගාමී වී ඇතැයිද එළඹෙන 2026 වසර සඳහා වූ අයවැයේදී එම දුර්වලතාවය මග හරිමින් වැඩි වශයෙන් මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ පුළුල් කිරීමට තමන් විසින් නව යෝජනා රාශියක් මුදල් ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය වෙත භාර දුන් බවත් දිසාබණ්ඩාර පැවසීය.
මිලියන 22ක් වන මෙරට ජනගහණයෙන් දැනටමත් ඒකක භාර හරහා සිය ආයෝජන පුළුල් කිරීමට කටයුතු කර තිබෙනුයේ 134876 දෙනෙකු බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා, ඔවුන් සිදු කොට ඇති ආයෝජනය රුපියල් බිලියන 601ක් බවද කීය.
රටේ ජනතාව පෞද්ගලිකවම ආර්ථික අතින් සවිමත් කිරීම සඳහා පෞද්ගලික මූල්‍ය සැලසුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවද අප රටටද සමස්ථ ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් නිර්මාණය කර ගත යුතු බවත් කී දිසාබණ්ඩාර එය මෙවර අයවැයෙන් බොහෝ දුරට යෝජනා වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
වත්මන් රජය බලට පත්වීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ තව දුරටත් සූදු පොළක් නොවන තැනට පත්වී ආයෝජන උපකරණ භාවිතා කරණ විධිමත් වෙළෙඳ පොළක් ලෙස පිළිගැනීමකට ලක්වී ඇතැයි සභාපතිවරයා කීය.
ඒ ආකාරයටම ඒකක භාර හරහා සිදු කරන මූල්‍ය වෙළෙඳ පොළ ගනුදෙනු වඩාත් වේගවත් කොට රටේ ආර්ථිකයේ වේගවත් දියුණුවට ඉතා අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය සපුරාලීම සඳහා අදින අරඹන වැඩපිළිවෙල ඉවහල්වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.
අප රටේ ජනතාවට ඒකක භාර අරමුදල්වල මුදල් ආයෝජනය කොට බැංකු වලින් මුදල් තැන්පත් කොට ලබන 5% ත් 8%ත් අතර වූ පොලී ආදායමට වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ඒකක භාර අරමුදල් ගනුදෙනු කරන ආයතන 16ක් පවතී. ඒවායේ එකමුතුවෙන් සැදි සංවිධානය මෙහෙයවීමෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළදී නව වැඩපිළිවෙල ආරම්භ කෙරිණි.
එහි එකමුතුවේ සභාපති ක්‍රිස්ටිනා ඩයස් බණ්ඩාරණායක, භාණ්ඩාගාරික අසංක හේරත්, සී.ටී.ස්මිත් ආයතයේ අධ්‍යක්ෂ බිමානී මීපගල ඇතුලු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ජේ. මුණසිංහ)

