V2025

පුවත්

අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමතුන්ට : ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව !

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී නිකුත්කර ඇත .

ඊට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව, දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇත.

එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසිමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට අපේක්ෂා කෙරේ.

මෙම වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද පසු අ.පො.ස. උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමට නියමිත ය.

 

පානදුරේ පොහොට්ටුවට !

පහුගිය කාලෙ රටපුරා තිබ්බ සමූපකාර ජන්ද ගැන, රටේ ලොකු අවධානයක් යොමු උණා.

ඒකට විශේෂම හේතුව තමයි ,මේ වෙලාවෙ පවත්වන එකම ජන්ද වර්ගය සමූපකාර ජන්ද වීම.

ඒ නිසා සමූපකාර ජන්දෙ මහ ජන්දයක් තරම් උණුසුම්.

මේ දවස්වල දේශපාලන පක්ෂවල සහ, දේශපාලනය නායකයන්ගෙ ජන්ද පදනම මනින දර්ශකය තමයි , සමූපකාර ඡන්ද.

පහුගිය කාලෙ තිබුණු සමූපකාර ඡන්ද රැසකින් පොහොට්ටුව පැරදූණා.

ඒ ජයග්‍රහණ ගැන ආණ්ඩු විරෝධීන් ඉන්නේ බොහොම උජාරුවෙන් ...

හැබැයි ඉතින් ඊයේ තිබුණු පානදුරේ සමූපකාර ජන්දෙ නම්, පොහොට්ටුව උඩින්ම ගොඩදාගෙන.

පොහොට්ටුව වෙනුවෙන් ජන්ද සටන මෙහෙයවල තියෙන්නෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නලු.

හැමෝම මුලින් හිතල තියෙන්නෙ, මේ දේශපාලන තත්ත්වය යටතේ පොහොට්ටුව පානදුරේ සමුපකාරෙත් පරදී කියල.

ඒත් පානදුරේදි වැඩේ නියමෙටම සංවිධානය කරල තිබුණලු..

ඒ නිසා ආසන 87 න් 53 ක්ම දිනල තියෙන්නෙ පොහොට්ටුව . විරුද්ධව ලැබිල තියෙන්නෙ 34 යිලු.

පානදුර සමූපකාරෙ අයිති කලුතර දිස්ත්‍රික්කය පොහොට්ටුවේ ලොකු ලොක්කො කීපදෙනෙක්ම ඉන්න තැනක්.

පානදුරේ ජන්දෙ දිනුවම ඇමති විදුර වික්‍රමනායක සංජීව එදිරිමාන්නට කතා කරල "මල්ලි උඹ අපි ඔක්කොගෙම ගෞරවය රැක්ක" ඒකට ස්තුතියි කිව්වලු.

- දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ ඇමැති ටිරාන් හමුවෙයි !

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් , මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගියදා (23) පැවැත්විණ.

ගෙවුනු මාස කිහිපයෙහි දේශපාලනික වශයෙන් පැවති මහජන විරෝධතා පිළිබඳවත් වත්මන් රටතුල පවතින සාමකාමී තත්ත්වය ගැනත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය භාරය පිලිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත .

මෙහිදී මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බෝට්ටු මගින් නවසීලන්තයට පැමිණීමේ අවධානමක් පවතින බවත් එය වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙයි .

නත්තලට සර්ප්‍රයිස් වෙන්න දන්වලා :  ජනපති රනිල්ට කොඩිත් මාරු වෙලා !

දෙවැනි එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න ලන්ඩනයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ , පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් සිද්ධ වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ගැන තමයි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාකරා කියලා ප්‍රෙස්වල ගියේ. මේ කියන්න යන්නේ ඒ කොහෙත් නොගිය එකක් .

දැන් ජනාධිපති සහ මහ ලේකම්වරියගේ මේ සාකච්ඡාව අවස්ථාවේ ෆොටෝස් ගන්නවනේ. ෆොටෝස් ගන්න ගිය වෙලාවේ බලනකොට, ජනාධිපති රනිල් වාඩිවෙලා තියෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ කොඩිය තිබුන තැනලු. පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා වාඩිවෙලා තියෙන්නේ, ශ්‍රී ලංකා කොඩිය තිබුන තැනලු. ඒ පාර එතන හිටපු නිලධාරියෙක් මේ පුටු මාරුව ගැන ජනාධිපතිතුමාව සහ මහ ලේකම්වරියව දැනුවත් කරලා.

ඒ වෙලාවේ ජනාධිපති රනිල් කිව්වලු, "කමක් නෑ නේද ? මේ ඉන්න විදිහෙන් කියවෙන්නේ, මම පොදුරාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඒ වගේම මෙතුමිය ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා" කියලා. "ඒක ඉතින් එහෙමනේ" කියලා ජනාධිපතිතුමා කියනකොට මහ ලේකම්තුමියගේ මුණේත් හිනාවක් ලු.

ඒ වගේම තමයි, ජනාධිපති, සැප්තැම්බර් 22 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් තානාපතිවරුන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. Paris Club එකට අයත් රටවල් වගේම Paris Club එකට අයත් නොවන රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් 23ක් මේ අවස්ථාවට එක්වෙලා. සමහර තානාපතිවරුන් මේ සාකච්ඡාවට එක්වුණා කියන්නේ ZOOM තාක්ෂණයෙන්.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්න පූර්ණ සහය දෙනවා කියලා ඒ සියලුම තානාපතිවරුන් එකට එකතුවෙලා සහතිකයක් දීලා. ඕවා ඉතින් ප්‍රෙස් වල ගිය කතා. මේ කියන්න යන්නේ එහෙම කොහෙවත් නොගිය කතාවක් .

ලංකාවේ ප්‍රංශ තානාපතිත් මේ සාකච්ඡාවේදී අදහස් දක්වලා, ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උත්සාහ කරන ජනාධිපතිගේ වැඩපිළිවෙල අගය කරලා. ඒ එක්කම දූෂණ අවම කරගන්න උපරිමයෙන් මහන්සි වෙන්න කියලත් අවධාරණයෙන් කියලා. ඒ විතරක් නෙවෙයි, IMF සාකච්ඡා සාර්ථක කරගන්න , ණය ප්‍රතිව්‍යුහගත කරන්න වගේම Paris Club එකේ රටවල් වගේම Paris Club අයිති නැති රටවල් එකඟ කරගන්න උපරිම සහය දෙනවා කියලත් කියලා.

ප්‍රංශ තානාපතිගේ මේ අදහස් දැක්වීමේ අන්තිමට කිව්වලු, "ලංකාව මේ යන ආකාරයටම වැඩ ටික සාර්ථකව කරගෙන ගියොත්, දෙසැම්බර් නත්තලට අපි හැමෝටම එකතුවෙලා ලංකාවට ලොකු gift එකක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා" කියලා. ප්‍රංශ තානාපති එහෙම කියනකොට අනිත් තානාපතිවරුනුත් ඒක අනුමත කරාලු.

ඒ කියන්නේ නම් මොකක් හරි සෙට් වෙන්න වගේ යන්නේ..! අර්බුදය විසඳගන්න සපෝර්ට් එකක් ලැබෙනවා නම් ඉතිං , හැමෝටම නත්තල් තමයි නේද ?

- රිපෝටර්

පාර්ලිමේන්තුවේ ගෝනි නූල දුරදිග යයි !

මාධ්‍යවේදීන්ට සැපයූ දිවා ආහාර වේලේ හාල්මැස්සන් බැඳුමක තිබී අඩියක් පමණ දිගැති ගෝනි නූල් කැබැල්ලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇත.

මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙවැනි සිද්ධීන් මින් ඉදිරියට ඇති වීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නැයි ද පාර්ලිමේන්තු මහ ලේකම් අදාළ අංශයේ නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි .

මාධ්‍යවේදීන්ට ආහාර සපයන පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඊයේ දිවා ආහාරය ලබා ගත් මාධ්‍යවේදියකුගේ කෑම පිඟානේ හාල්මැස්සන් බැදුමක තිබී මෙම ගෝනි නූල් නූල සොයාගෙන තිබිණ. ඒ මාධ්‍යවේදියා එම ගෝනි නූල සෙසු මාධ්‍යවේදීන්ට පෙන්වා ඒ අවස්ථාවේදීම භෝජනාගාර අංශයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ ආහාරවල නොයෙකුත් අපවිත්‍ර දේ තිබී මෙයට පෙරද සොයාගෙන තිබිණ.

එයරොෆ්ලොට් ඔක්තෝබර් සිට යළිත් දිවයිනට

ආන්දෝලනයට තුඩු දුන් රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමත්‍යංශය සඳහන් කළේ, එයරොෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව තුළ සිය ගුවන් මෙහෙයුම් එළඹෙන ඔක්තෝබර් 9 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව ය.

ඒ අනුව කොළඹට ගමන්කරන ගුවන්ගමන් 09වැනිදා සිට මූලික වශයෙන් සතියකට දෙවරක් ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ දැක්වේ.

රුසියානු ඵරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙණ වාණිජ ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ඵම ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි මස 02වනදා නිකුත් කළ වාරණ නියෝගය හේතුවෙනි.

රනිල් ගෙන යන වියරු මර්දනය නතර කළ යුතුයි - අනුර කුමාර

පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ජනාධිපතිකම ඔළුවට ගහලා රනිල් ගෙන යන වියරු මර්දනය නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරදිසානායක පවසයි.

ඔහු එබැව කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''ආණ්ඩුව තමන්ගේ බංකොලොත්භාවය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත්වීමෙන් ඇති වී තිබෙන විරෝධතාවයන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීම දක්වා ගොස් තිබෙනවා. අපේ පක්ෂයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය 24 වැනිදා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමියි, නීත්‍යානුකූලයි. කිසිදු පොදු දේපළකට හානියක් නොවන ලෙස උද්ඝෝෂණය පැවැත්වූවා.

නමුත් පොලීසිය මංපහරන්නන්ගේ ස්වභාවයෙන් මඟ හරස්කොට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර, 84දෙනෙක් අත්අඩංගුවට ගත්තා. හත්දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න සිදුකරන විරෝධයන්, උද්ඝෝෂණයන් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන නිදහස මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෘග ඒකාධිපතියෙක් හැටියට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා.

ජනතාවගේ මේ නැගී සිටීම්, පහරදී, අත්අඩංගුවට ගෙන මර්දනය කරන්න ජනාධිපති කල්පනා කරනවා නම්, එය ඔහුගේ වියරු සිහිනයක් විතරයි. මේ තරුණ තරුණියන්, ගොවි ජනතාව, කම්කරු ව්‍යාපාරය, තමන්ගේ ඇඟේ අමාරුවට පාරට බහිනවා නොවෙයි. ඔවුන්ගේ ජීවිත පිළිබඳ සියලු අපේක්ෂාවන් මේ පාලක කණ්ඩායම් විසින් බිඳවට්ටවා ඉවරයි.

 ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කඩා වැටී බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා. තරුණ පරපුරට රට තුළ රැකියාවක් සොයාගත නොහැකි තරමට දරුණු අර්බුදයක් තිබෙන්නේ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට හරිහමන් ආහාර වේලක් දෙන්න නොහැකි වීමෙන් පාසල්වලදී ක්ලාන්තවී ඇද වැටෙනවා. ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැතිවී තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ව්‍යසනයන් නොවේ.

මුළු මහත් සමාජයම ඛේදවාචකයකට ලක්කර තිබෙනවා. වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා විනාශකාරී දේශපාලන සංස්කෘතිය විසින් මේ රට පත්කර තිබෙන විනාශයේ ප්‍රතිවිපාක විශේෂයෙන්ම අපේ දුවා දරුවන් සහ තරුණ පරම්පරාව භුක්ති විඳිනවා.

ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්න අයිතියක් නැද්ද?

ජනතාව නිවටව, නියාලුව ඕනෑම ජනතා විරෝධී ක්‍රියාමාර්ගයක් හමුවේ නිහඬව සිටියි කියලා රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවාද? ඒ රනිල් වික්‍රමසිංහලාගේ පැරණි පරම්පරාවයි.

 ජනවරමක්වත් නැති නායකයෙක් හැටියට ඔහු අද ඉන්නේ, අගමැතිවරයා හැටියට ඡන්දය ඉල්ලීමෙන් පසු කොළඹ ජනතාව ඔහුව ගෙදර යැවූ පසුබිමකයි. මේ රට ප්‍රපාතෙට හෙළු ප්‍රධාන චූදිතයෙක් හැටියට සිටින ඔහු පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ජනාධිපති ධුරය ඔළුවට ගහලා ජනතාව මත මර්දනය එල්ල කරනවා.

රනිල් වික්‍රමසිංහ පොලිස් බැරැක්ක, හමුදා බැරැක්ක දාගෙන රට පාලනය කරන්න අධිආරක්ෂිත කලාප නම්කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති නිල නිවස, අගමැති කාර්යාලය, ඇතුළු තැන් අධිඅරක්ෂිත කලාප හැටියට නම් කර තිබෙනවා. මේ රටේ අධිආරක්ෂිත කලාප තිබුණේ යුද්ධය පැවති කාලයේ.

ජනතාව සාමකාමී උද්ඝෝෂණ කරන විට රනිල් වික්‍රමසිංහට තමන්ටම වූ කුඩා අධිආරක්ෂිත කලාපයක් ඇතුලේ ජීවත්වෙන්න සිදුවී තිබෙනවා. ඔය අධි ආරක්ෂිත කලාප තව තවත් කුඩා කරගනිමින් ඒ තුළට රිංගන්න සිද්ධ වෙන බව මතක් කරන්න ඕනෑ. ජනතාවගේ කලාප ඊට වඩා ලොකුයි. ජනතාවගේ අරගල නතර කරන්න රනිල් වික්‍රමසිංහලාට කිසිසේත් නොහැකි බව අවධාරණය කරනවා.

ජනතාව උද්ඝෝෂණය කරන්නේ පොදු සමාජය මුහුණ දී සිටින මහා අනතුරුදායක තත්වයෙන් මිදීම සඳහායි. ඒ අය මර්දනය කිරීමට දරන ප්‍රයත්නය වහාම නතර කළ යුතුයි. රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ගෝල බාලයන්ට අපි අවසාන වශයෙන් කියන්නේ මර්දන ක්‍රියාමාර්ග උත්සන්න කිරීම වහාම නතර කළ යුතුයි කියලා.

මර්දනය කිරීමෙන් රට පාලනය කිරීම දශක ගණනකට පෙර තත්වයක්. වර්තමානයට එය කිසිසේත්ම වලංගු නැති බව මතක තබා ගත යුතුයි. රනිල් බලයට පැමිණි තැන සිට කටයුතු කරමින් සිටින්නේ පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් කණ්ඩායම ආරක්ෂා කරන්නයි.

ඒ අය සතුටු කිරීම වෙනුවෙන් ගෝල්ෆේස් පිටිටනියේ සාමකාමී උද්ඝෝෂණයට පහර දී එලවා දැම්මා. ඊට පස්සේ උද්ඝෝෂණ ගණනාවකට පහර දුන්නා. අපේ තරුණ සංගමයේ උද්ඝෝෂණයට පහර දුන්නා. එක පැත්තකින් සමාජය බියවද්දා රට පාලනය කරන්නත්, අනික් පැත්තෙන් රාජපක්ෂලාගේ සුරතලෙක්, රාජපක්ෂලාගේ උකුලේ නැලවෙන බලු පැටියෙක් වගේ රනිල් වික්‍රමසිංහ හැසිරෙමින් සිටිනවා.

මේ සමාජයේ ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා කීවේ මහජන දේපළ සොරකම් කළ වංචනිකයන්ට, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා කර තිබෙන්නේ අපේ රටේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. අජිත් නිවාඩ් කබ්රාල්ලා, බැසිල් රාජපක්ෂලා, යහතින් වැජඹෙද්දී සාමාන්‍ය ජනතාවට එළව එළවා පහර දෙන පාලනයක් රනිල් වික්‍රමසිංහ ගෙන යනවා.

 කුඩා කුඩා ප්‍රහාරයන්ගෙන්, කුඩා කුඩා බියගැන්වීම්වලින් නතර කළ නොහැකි පුළුල්තම මහජන ව්‍යාපරයක් ගොඩනැඟෙමින් තිබෙනවා. මේ කුඩා ව්‍යාපාරවලට පහරදීම නතර කළ හැකි වුවත් ලක්ෂ ගණන් මහජනතාව කොළඹ නගරය වැටලීම වැඩි ඈතක නොවන බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මේ මර්දනයටත් ජනතාවගේ පීඩනයටත් එරෙහිව මේ රටේ සියලු ජනතාව සංවිධානය කරනවා. ජනවරමක් නැති, ප්‍රජාතනත්ත්‍ර විරෝධී පාලනය පළවා හැරීමට ජනතාව ඉදිරියට ආ යුතුයි. මේ ව්‍යසනයෙන් ගොඩඒම සඳහා නව පාලනයක් ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමත්, ජනතාව එකතු කිරීමත් ජනතාව සංවිධානය කිරීමත් අපේ නායකත්වයෙන් සිදුකරනවා.

සෑම විරෝධතාකරුවන්ගෙන්ම, සෑම උද්ඝෝෂකයන්ගෙන්ම සහ මේ පිළිබඳව කම්පාවෙන් සහ කෝපයෙන් කතා කරන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ අපේ රටේ ජනතාව පොදු වේදිකාවකට පැමිණිය යුතු බවයි. සෑම දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ විනාශකාරී පාලනයටත්, මර්දනකාරී පාලනයටත් මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියටත් එරෙහිව මේ රටේ පුළුල්ම ව්‍යාපාරයට එකතු වෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහට තවදුරටත් බැරැක්ක ඇතුලේ හැංගෙන්න වෙයි. අපි මහජනතාවත් එක්ක මේ ව්‍යාපාරය ගෙනයනවා. රනිල් වික්‍රමසිංහට කිසි ජනවරමක් නැහැ. ලක්ෂ 69න් ආව ගෝඨාභයට රටින් පැනලා යන්නත් එක්වරම හැකි වුණේ නැහැ. ජනතාවගේ ඡන්දයෙන් ආව මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් පැනලා ගිහිල්ලා නාවුක හමුදා බැරැක්කයක සැලකිය යුතු කාලයක් ඉන්න සිදුවුණා.

මේ සියලු බලයන්ට උඩින් ජනතා බලය තිබෙන බව මේ කරුණුවලින් පෙන්නුම් කර තිබෙනවා. ජනවරමක් නැති, මතයක් නැති පුස් මිනිහෙකුට, හිස් මිනිහෙකුට ජනතාවගේ අරගලය නතර කරන්න බැහැ. ජනතාවගේ නැගී සිටීම් නතර කරන්න බැහැ.

මේ විනාශකාරී, මර්දනකාරී පිළිවෙත නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහට නැවත නැවතත් අපි අවධාරණය කරනවා. එය නතර කිරීම වෙනුවෙන් නීත්‍යානුකූලවත්, ජනතාව පෙළගැස්වීම හරහාත්, ව්‍යවස්ථානුකූලවත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරනවා.

බත්තරමුල්ල සිට වැල්ලවත්තට බෝට්ටු සේවාවක් අරඹේ

බත්තරමුල්ල, දියත උයන සහ අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

කොළඹ නගරයේ දෛනිකව ඇති වන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම සේවාව සැප්. 23 වන දා සිට ක්‍රියාත්මක කළ බවනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේය.

විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

මෙම මගී බෝට්ටු සේවාව සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

ඉදිරියේදී කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ත් මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බව ත් ඔහු ප්‍රකාශ කර ඇත.

සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන් වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටලුවලට මෙන් ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ළඟා වීමට හැකියාව ඇත.

එමෙන් ම, බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ.

දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 08 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

තව ද බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්වවිද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත.

රටට ඩොලර් ගේන්න ගංජා මෙහෙයුමක් !

කංසා අපනයනය තුළින් ඩොලර් උත්පාදනය මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම රටට ඩොලර් උත්පාදනය කිරීම සඳහා යෝජනා කරන්නේ කංසා අපනයනයයි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ දිගින් දිගටම මේ පිළිබඳ තම ස්ථාවරය ප්‍රකාශ කොට තිබේ. එහිදී ඔවුන් අවධාරණය කළේ, ජාත්‍යන්තර වශයෙන් ඖෂධීය ගංජා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා වන විට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි අමාත්‍ය සිසිර ජයකොඩි අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ දේශීය වෛද්‍ය කේෂ්ත්‍රයෙන් ඩොලර් බිලියන 3ක ආදායමක් ඉපයීමට සැලසුමක් ඇති බවයි. ඔහු කියා සිටියේ ආයුර්වේද පනත, පාරිසරික පනත, රේගු ආඥා පනත ආදී පනත් මඟින් ඒ සඳහා දැනට පවතින බාධා වහා ඉවත් කළ ගත යුතුව ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ සංචාරක, සෞඛ්‍ය , නීති, රේගු, පරිසර සහ ආයුර්වේද නිෂ්පාදන වගා කිරීම හා අපනයනයට සම්බන්ධ සියලූ රාජ්‍ය නිලධාරින් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති පැවති සාකච්ඡාවකදීය.

අවම ලෙස වසරක කාලයක් මෙම නීති ලිහිල් කර හෝ විදේශ විනිමය ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.පරිසරයට හානියක් නොවන ලෙස මේ කටයුතු සිදු වන බවට නියාමනය කටයුතු සිදු කරන බව ඔවුහු දක්වති.

ආයුර්වේද කේෂ්ත්‍රයට යොදා ගැනීම හා අපනයනය අරමුණු කර ගනිමින් පමණක් කංසා වගාව හා නිෂ්පාදනයට අවශ්‍ය නෛතික කරුණු සම්පාදනය කඩිනමින් සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.ඒ අනුව අවශ්‍ය වන පරිදි ආයුර්වේද පනත හා නීති සංග්‍රහය සංශෝධනය කෙරෙනු ඇත.

එළඹෙන ඔක්තෝම්බර් 5 වනදා වන විට හෝ කංසා අපනයනයට අවශ්‍ය වන නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි අදාළ සියලු නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

අවම වශයෙන් මේ සතිය අවසන් වන විට මීට අදාළ නීති සංග්‍රහය සකස් කර දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම විධිවිධාන සකස් කිරීමෙන් 'රටට ඩොලර් ගෙන එන මෙහෙයුම' තමන්ට ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසීය.

මේ අතර විනෝදාස්වාදයට හෝ දුම් පානයට කංසා යොදාගැනීම ආයුර්වේදය අනුමත නොකරන බවද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සිසිර ජයකොඩි අවධාරණය කළේය.

බීබීසී සිංහල

මධ්‍යම සංස්කෘතික අරමුදල : නීතියට පිටින් ගිහින් හොඳටම කරලා !

මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන්( කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව එම වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි.( පුරාවිද්‍යා සහායකයන්713ක් සහ මුරකරුවන් 376ක්)

ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වනවිට සේවකයන් 1487 දෙනකු ( පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.

ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බව සඳහන් වේ.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව එහි තත්‍ය සේවක සංඛ්‍යාව 2780 ක් වුවත් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්ව සේවක සංඛ්‍යාව 3,500 ක්වූ බව පවසන විගණන කාර්යාලය එම වෙනසට හේතුව පැහැදිලිව ඉදිරිපත් නොකෙරුණු බවද සඳහන් කළේය.

- lankadeepa

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පවුම් මිලියන 03ක්

ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව‌ට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 03 ක ආධාර ලබා දෙන බව එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩල සැසියට සමගාමීව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සමග පැවැති සාකච්ඡාවකදී එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 3 (ශ්‍රී ලංකා රුපියල් 1,171,841,067)ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජය පිළිබඳ ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ජනගහණයන් තුනෙන් එකක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉන්ධන, ඖෂධ සහ බලශක්ති හිඟයකින් පීඩා විඳින බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.

මෙම සහාය රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව අහමඩ් සාමිවරයා පැවසුවේය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් වින්දිතයන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ මානසික සෞඛ්‍ය නංවා ලීමටත් බෝග වගා කිරීමට උපකාර වන ආහාර, බීජ සහ මෙවලම් ලබා ගැනීමටත් මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි සඳහන් වේ.

සෞදි ජාතික දින සැමරුමට ඥානසාර හිමිටත් ඇරයුම්

සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් සංවිධානය කර තිබිණ.

අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.

මුස්ලිම් අන්තවාදය පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා අවස්ථා කිහිපයකදීම සෞදි සංවිධාන දැඩිව විවේච්නය කල උන්වහන්සේ ගේ පැමිණීම බොහො දෙනාගේ විමතියට හේතුවි ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවේ.

වසර කිහිපයක් බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලින් දුරස්ව සිටි එහි ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස ඥානසාර හිමි සමග මෙම ජාතික දින උලෙලට සහභාගී වී තිබුණි.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකරමින් මැදි පිලිවෙතකට අවතීරණය වීමත් සමග සෞදි තානාපති අංශ වෙනස් ආකල්පවලින් යුතුව කටයුතු කරමින් සිටින බව බොදුබල සේනා සංවිධානයේ නිගමනය වී ඇත.

ඒ අනුව, සෞදි තානාපති නිළධාරීන් හා ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධාන නියෝජිතයින් අතර පසුගිය කාලයේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබිණ.

ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ හා මුස්ලිම් ගැටලු පිළිබදව අධ්‍යයනය කොට ලෝක සාමය ඇතිකරමින් බෞද්ධ - මුස්ලිම් මිත්‍රත්වය ඇති කිරීමට නායකත්වය ගන්නා ලෙස සෞදි රාජ්‍යතාන්ත්‍රික අංශ ගනසාර හිමිගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා CCD යට

ජ්‍යෙෂ්ඨ ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරිනී රේණුකා මලියගොඩ, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCD) කැඳවා ඇත.

අද (24) දින කොළඹට කැඳවන ලද රේණුකා මලියගොඩගෙන් මේ මොහොත වනවිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයට අනුයුක්ත නිලධාරීහු ප්‍රශ්න කරනු ලබමින් සිටිති.

renuka cid 1000px

වසර 32ක් පැරණි :සමුල ඝාතනයක අනුස්මරණය​ක් !

මේ වන විට වසර 32ක් ගතවන රජයේ හමුදා විසින් සිදු කරන ලද බවට චෝදනා නැගී ඇති තවත් සමුල ඝාතනයකින් මියගිය පිරිස් අනුස්මරණය චාම් අයුරින් නැගෙනහිරදී සිදු කර තිබේ.

ඝාතනයට ලක්වුවන් අනුස්මරණය කිරීම සදහා මඩකලපුව සවුකඩි ගම්මානයේ ඉදිකර තිබෙන ස්මාරකයට ගම්වාසීන් සහ ඥාතීන් සැප්තැම්බර් 20 වැනිදා මලින්, පහනින් උපහාර දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන සවුකඩි ගම්මානයේ දී ඝාතනය කෙරුනු දෙමළ කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු තිස් එක් දෙනකු මෙලෙස අනුස්මරණය කර තිබේ.

මඩකලපුව රදගුරු මයිලම්බාවේලී විවේකානන්දපුරම්හි නිකලස් ජුඩ් පියතුමා විසින් මිය ගිය පිරිස අනුස්මරණය කරමින් ප්‍රධාන දේව මෙහෙය පවත්වා ඇත.

ගම්වැසියන් පවසන්නේ 1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන 8.30 ට පමණ ගම් වැදුනු හමුදා නිල ඇදුම් ඇඳගත් පිරිසක් ප්‍රහාර එල්ල කරමින් ගම් වැසියන් ඝාතනය කළ බවයි.

වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කළ ළදරුවන් හා කාන්තාවන් ඇතුළු පිරිස වලකට දමා පුළුස්සා තිබු බව දිවි ගලවා ගත් ගම්වැසියෝ පවසති. ඔවුන් තව දුරටත් කියා ඇත්තේ මුහුදේ මසුන් මරමින් සිටි හත් දෙනකුද වෙඩි තබා ඝාතනය කළ බවයි.

ප්‍රහාරයට වගකිවයුත්තන් හදුනාගෙන දඩුවම් පැමිණවීම මේ දක්වා සිදු කර නොමැති අතර වින්දිතයන්ට යුක්තිය ඉටුවී කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

massacre 2022

2500 වන සම්බුද්ධ ජයන්තිය සැමරුවෙත් : බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මූලිකත්වයෙන් !

තායිලන්තය, මියන්මාරය සහ කාම්බෝජයේ රාජ්‍ය නායකයන් සමග එක්ව 2500 වන සම්බුද්ධ ජයන්තිය සැමරීම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මූලිකත්වයෙන් සිදු වූ බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය වෙනුවෙන් තෙවැනි චාල්ස් රජුට සහ රාජකීය පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
 
මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සුබ පැතුම් ලිපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලැබුණා. ඒ අතරින්  දෙවන එළිසබෙත් රැජිනගෙන් ලැබුණු ලිපිය ඉතා විශේෂිතයි. නමුත්  රැජිනගේ හදිසි අභාවයක් මා බලාපොරොත්තු වුණේ නැහැ. අපි  දැක්කා  අභාවය සිදු වෙන්න දවස් දෙකකට කලින් බ්‍රිතාන්‍ය අගමැතිනිය සමඟ රූපවාහිනියේ ඉන්නවා. ඇගේ අභාවය පිළිබඳ  ඊට පස්සේ අපට දැනගන්න ලැබුණා.  
 
කෙසේ වෙතත් මේ වන විට අවමංගල්‍යය උත්සවය අවසන් වී තිබෙනවා.  එළිසබෙත් රැජින ලංකාවට, බ්‍රිතාන්‍යයට, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට සහ ලෝකයට කළේ මොනවාද යන්න විමසා බැලීම වටිනවා. “ලංකාව”, ශ්‍රී ලංකාව බවට පරිවර්තනය වන්නේ  රැජිනගේ ධුර කාලය තුළ නිසා, රැජිනගේ ධුර කාලය අපට වැදගත් වෙනවා.  ලංකාව තුළ දේශපාලන නැගීමක් ආරම්භ වුණේ  ඇගේ පාලන  කාලයේදීයි. මේ කාලය තුළ 1956 මැතිවරණය  ජයග්‍රහණය කිරීම, වාර්ගික අර්බුදය ඇතිවීම, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජ්‍ය පාලනයට නතුවීම, කුමන්ත්‍රණ දෙකක් සහ දකුණේ අවිගත් අරගල අරම්භ වීම සිදුවුණා.
 
රැජින භක්තිමත් කිතුණු ලබ්දිකයෙක්. එහෙත් ඇය ලංකාවේ රැජින හැටියට 1815 උඩරට ගිවිසුම අනුව ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරන්න කැප වුණා.
 
 තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය රාජ්‍ය නායකයන් එක්ව සිදුකළ  2500 වන සම්බුද්ධ ජයන්තිය සැමරීම රැජිනගෙ  මූලිකත්වයෙන්  වූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. 
 
ඇයගේ රාජ්‍ය පාලනය අවසන්වීමත් සමඟ ලංකාව ජනරජයක් බවට පත්වුණා.ඒ වන විට ඉතුරු වූ ප්‍රශ්න දෙකක් තිබුණා. ශ්‍රී ලංකාව “ඩොමීනියන් ” තත්ත්වයේ සිට “ඒකීය” ජනරජයක් බවට පරිවර්තනයවීමේදී ජනවාර්ගික අරගලයක් ද නිර්මාණය වුණා. එම ගැටලුව තවමත් සම්පූර්ණයෙන් නිරාකරණය වී නැහැ.
 
දෙවනුව අපට ප්‍රශ්නයක් මතු වුණා, නාමික නායකයෙක් අවශ්‍ය නම්  ඇයි අපි රැජිනව එම තනතුරේ තියා නොගත්තේ කියලා. “ඇත්ත” පත්තරේ සිරිවර්ධන මහතා කතුවැකියකින් සඳහන් කළේ සමාජවාදී රටක් වෙන්න ජනරජයක් වෙන්න, අවශ්‍ය නැහැ කියලා. 
 
නාමික ජනාධිපතිවරයෙක් අපට අවශ්‍ය ඇයි කියලා ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂනායකවරයාව සිටියදී විමසා තිබෙනවා. එවකට විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක රණසිංහ ප්‍රේමදාස මහතා  එම කාරණාවට සහාය ලබාදුන්නා. 
 
අපට ජනාධිපතිවරයෙක් ඕනේ නම් ප්‍රංශයේ ආකෘතිය අනුව,  විධායක ජනාධිපතිවරයෙක් තමයි අවශ්‍ය. බොහෝ දේශපාලන නායකයන් විධායක බලය අහෝසි කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. නමුත් මැතිවරණ ජයගත්තත්  ඒ කිසිදු ජනාධිපතිවරයකු එසේ සිදු කර නැහැ. එය නොවිසිදුණු ප්‍රශ්නයක්.  
 
තවත් අතකින් ඇය ශ්‍රී ලංකාවේ පරිවර්තනය පමණක් නොව සෙසු ලෝකයේ පරිවර්තනය ද නියෝජනය කරනවා. ඒ අනුව බටහිරින් ආසියාවට සහ අප්‍රිකාවට බලය විතැන්වීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසුරුවා හැරීම සහ බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම සිදුවූ අතර ඉන් අනතුරුව ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත්ව ගෝලීය බ්‍රිතාන්‍ය ලෙස එහි භූමිකාව ගොඩනගමින් තිබෙනවා.
 
දෙවන එළිසබෙත් රැජින වෙනස් චරිතයක්. බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රධානියාව සිට ඇය පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පරිවර්තනයවීම, බටහිර ජාතීන් හා සෙසු ජාතීන් එකට එක් කිරීම  ඇය ලබාගත් උසස්ම ජයග්‍රහණයක්. 
 
අපේ කාලයේ සිටි සුවිශේෂී නායකයන්  කිහිපදෙනකුම පොදු රාජ්‍ය මණ්ඩලය යටතේ රැජිණත් සමඟ එකට එකතුවී වැඩ කළා. ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, ඩේම් මාග්‍රට් තැචර්, පණ්ඩිත් ජවහර්ලාල් නේරු, ශ්‍රීමත් රොබට් මෙන්සීස්, පියර් ටෘඩෝ, ලෙස්ටර් පියර්සන්, නෙල්සන් මැන්ඩෙලා, කෙන්යාටා, කෙනත් කවුන්ඩා, නියරේරේ, එන්කෘමා, ලී ක්වාන් යූ සහ ටුන්කු අබ්දුල් රහ්මාන් වැනි  නායකයන් ඒ අතර හිටියා.
 
මෙම පරිවර්තනයේ දී, දෙවන එලිසබෙත් රැජින ස්ථාවරත්වයේ සහ  අනුවර්තනය වීමේ සංකේතයක් බවට පත් වුණා. වෙනත් කිසිම රැජිනක් ජේම්ස් බොන්ඩ් සමඟ හෙලිකොප්ටරයකින් පනින්නේ නැහැ. තවද ඇය වගකීමේ සංකේතයක් වුණා. ගෝලීය සංකේතයක් ලෙස ඇය එක්සත් රාජධානිය අභිබවා ගියා. ඇයගේ නමින් නම් කරන යුද නෞකාවට වඩා 100 ගුණයකින් එලිසබෙත් රැජින බලසම්පන්නයි. 
 
එක්සත් රාජධානියට තම ස්ථාවරත්වය සහ වාසනාව ළඟා කරගැනීමට දැන් සිදුව ඇත්තේ මෙම ගෝලීය සංකේතයේහි පිහිට රහිතවයි. 
 
වෙස්ට්මිනිස්ටර් ඇබේ හි අවමංගල්‍ය උත්සවයට අප බොහෝ දෙනෙකු සහභාගී වුණා. මෙ තෙරම්  රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණියේ  ඇය ගරු කළ යුතු ගෝලීය සංකේතයක් නිසයි. වඩාත්ම සංවේදී අවස්ථාව වූයේ ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි නොවන අප සියලු දෙනාම ඇයගේ ප්‍රියතම ගීතිකාව වන ‘The Lord Is My Shepard’ ගායනා කිරීමට එක්වීමයි. “මගේ ජීවිත කාලය පුරාම යහපත්කම සහ දයාව නියත වශයෙන්ම මා පසුපස එන අතර දෙවියන් වහන්සේගේ මාළිගාව සදහටම මගේ වාසස්ථානය වනු ඇත” යන්න එහි තේරුමයි.
 
දෙවන එලිසබෙත් රැජින ජීවතුන් අතර නැහැ. අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ ගරු III චාල්ස් රජුට සහ රාජකීය පවුලේ සාමාජිකයින්ට ශෝකය පළ කිරීමේ යෝජනාවට සහයෝගය පළ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
 
විජය රජුගෙන් ආරම්භ වූ අපගේ රාජකීය පෙළපතේ අවසාන පුරුක වූ ලංකාවේ දෙවන එළිසබෙත් මහ රැජින වෙත කෙරෙන උපහාරය මේ ගාථාවෙන් අවසන් කරමි. 
 
“අනිච්චා වත සංඛාරා, උප්පාද වාය-ධම්මිනෝ, උප්පජිත්වා නිරුජ්ජංන්ති තේසංවූප සමෝසුඛෝ”
 

මහ බැංකුව විදෙස් ආයෝජකයන් දැනුවත් කරලා !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට පැවසූ බව චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ පා සිටී.

දෙසැම්බර් මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර ඇතැයි චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය සඳහන් කළේය.

මෙම වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර සියලුම ණය හිමියන් සමඟ ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ බව දැනුවත් කිරීමට සහභාගී වූ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයෝද සහභාගි වූහ.

ජාතික සභාවට එන මන්ත්‍රීවරුන් මෙන්න !

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා වන නාමලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ය.

එම නාමලේඛනයට ඇතුළත් මන්ත්‍රීවරුන් මෙසේය.

ඩග්ලස් දේවානන්ද
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිෂාද් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්

චීනය ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබ තිබේ.

මෙම ආධාර තොගය අද (සැප්. 23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ

Page 198 of 386