හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.
ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටියාය.
මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාලයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ඔවුන් අද උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ .
ජීවන් තොන්ඩමන්ගේ විවාහ මංගල්‍ය උත්සවය
වික්‍රමසිංහ යුවල මෙසේ ඉන්දියාවට ගොස් ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා බව වාර්තාවේ.
දිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ එකම පුත්‍රයාවන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවරදී මේ මස (23) දින පැවැත්විමට සියලුම කටයුතු සූදානම් කර ඇත.
ජීවන් තොන්ඩමන්ගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත එන්නියක් බවත්, සීතායි ශ්‍රී නාච්චියාර් නැමති ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියක බවත් පැවසේ.
31 වන වියේ පසුවන ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට මෙරට සහ ඉන්දියාවේ දේශපාලඥයන් රැසකට ආරාධනා කර ඇති අතර, මෙරට හිටපු ජනපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ ට මෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුලු තවත් ප්‍රභූවරුන් පිරිසකට විවාහ මංගල උත්සවය සදහා ආරාධනා කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
ඉන්දියාවේ විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ජීවන් තොන්ඩමන් මෙරටට පැමිණිමෙන් අනතුරුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙදි හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාශනයක්ද පැවැත්වීමට කටයුතු කර ඇත.

