රේන්බෝ විදේශ රැකියා මාෆියාවට එරෙහිව විපක්ෂ නායක ඇතුළු පිරිස අධිකරණයට

රේන්බෝ විදේශ රැකියා මාෆියාවට එරෙහිව විපක්ෂ නායක ඇතුළු පිරිස අධිකරණයට

මේ මොහොත වන විට 500කට අධික පිරිසක් රුමේනියාවේ රැකියා යවනවා කියා රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රු. 850000ක්, රු. 1850000ක් ආදී වශයෙන් මිලියන ගණනක් එකතු කර ගෙන ඇතත් මෙම රැකියා ලබා දී නොමැති බවත්, අද මොවුන් මහපාරට වැටී ඇති බවත්, නිවාස දේපළ ආදිය උගස් කර ණයට මුදල් ලබා ගෙන අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

මහරගම රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රුමේනියා රාජ්‍යයේ රට රැකියා ලබා දෙන බව පවසා විශාල මුදලක් ලබා ගෙන 500කට ආසන්න පිරිසක් අතරමං කර ඇති බවට පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසුවේ ය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නීති සහාය ලබා දෙන බවට පොරොන්දු වූ අතර අද එම නඩුව කැදවූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වූ පරිදි නීතිඥයින් සමඟ එම අවස්ථාවට පැමිණියේ ය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මන්දගාමියි
''කම්කරුවන්, රණවිරුවන් ආදී විවිධ වෘත්තිකයන් ආර්ථික අපහසුතා හමුවේ රට රැකියාවකට ගොස් තම පවුලට ශක්තියක් වෙන්න හිතුවත් අද වන විට දැවැන්ත මූල්‍ය වංචාවකට හසු වී ඇති නිසා මේ ගැන සොයා බලන්න ආරක්ෂක අංශවල යම් යම් පාර්ශ්ව හොඳ උනන්දුවක් දැක්වූවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මේ ගැන හරිහැටි සොයා බලා නැහැ. ලියාපදිංචි යැයි කියන මෙම ආයතනය ගැන සොයා බැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය ගෙන ඇති පියවර ගැන සෑහීමකට පත්විය නොහැකි යි. මේ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම උපදේශක කාරකසභාවල ද කතා කර මුදල් හෝ රැකියා ලබා දීමට කටයුතු කරනවා. මේ වෙනුවෙන් දැක්විය හැකි උපරිම දායකත්වය නෛතික රාමුව තුළ සිදු කරනවා. ඊට අදාළ නීතිඥ සහාය ලබා දීමට ද කටයුතු කරනවා. රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් සහ ගරුත්වයක් ඇති නිසා මොවුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු යි.

ජනතාවට අවශ්‍ය: සැණකෙළි හෝ සෝබන සටන්පාඨ නෙවෙයි; උත්තර සහ විසඳුම්. ඒ උත්තර හා විසඳුම් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරනවා; ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරනවා.''

වීඩියෝ

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න