ඉන්දියාවේ මෑතක සිදු වූ ඖෂධ විෂ වීමක් පිලිබඳ පරීක්ෂණ ඇරඹේ.
ඉකුත් මාස කිහිපය තුළ එරට දරුවන් 24 දෙනකු මිය යාමට හේතුව කැස්ස පැණියක් බව අනාවරණය විය. එම නිෂ්පාදනයේදී යොදා ගැනෙන ඖෂධීය සංඝටකයක් සම්පාදනයේදී අනුගත ආරක්‍ෂිත ක්‍රමවේදයෙහි යම් දුර්වලතා පැවති බවට මූලික පරීක්ෂණ වලදී හෙළි විය.
තමිල්නාඩුවේ සෞඛ්‍ය සහ ඖෂධ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක් විසින් රොයිටර්ස් පුවත් සේවයට ඒ පිලිබඳ විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
කෝල්ඩ්‍රිෆ් (Coldrif) නම් කැස්ස පැණියක් නිෂ්පාදනයේදී ඊට විෂ රසායනිකයක් මිශ්‍ර වී ඇති බවට එහිදී කරුණු අනාවරණය විය. එම සන්නාමය යටතේ එන අදාළ පැණියේ එක් කාණ්ඩයක් නිෂ්පාදනය පිණිස ඖෂධ නිපැයුම්කරු වන ශ්‍රෙසන් ෆාර්මසූටිකල් සමාගම වෙත (Sresan Pharmaceutical Manufacturer) ඊට අවැසි අමුද්‍රව්‍ය සම්පාදනයේදී එම අක්‍රමිකතාව සිදු වී ඇත.
ඉකුත් මාර්තු 25 වන දින ශ්‍රෙසන් සමාගම, රසායනික බෙදාහරින දේශීය සැපයුම්කරුවකු වන සන්රයිස් බයෝටෙක් (Sunrise Biotech) සමාගමෙන්, ප්‍රොපයිලින් ග්ලයිකෝල් (PG) ද්‍රාවණය කි.ග්‍රෑ.50ක මිලදී ගැනීමක් සිදු කළේය. එදිනම, සන්රයිස් බයෝටෙක් සමාගම විසින්, එම ද්‍රාවණය, පිරිසිදු කාරක දියර සඳහා සුවඳ මිශ්‍රණ නිෂ්පාදනය කරන කුඩා සමාගමක් වන ජින්කුශාල් ඇරෝමා (Jinkushal Aroma ) නම් සමාගමක් වෙතින් මිලදීගෙන තිබේ.
එහිදී සිදු වූ වරදකින් අදාළ කැස්ස පැණියට ඩයිතයිලින් ග්ලයිකෝල් (DEG) නම් කාර්මික රසායනිකය බරපතල ලෙස මුසු වී ඇතැයි, අදාළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කැස්ස පැණිය නිෂ්පාදනයේදී යොදා ගැනෙන සක්‍රීය අන්තර්ගතයන් දිය කිරීම පිණිස භාවිතා කෙරෙන ප්‍රොපයිලින් ග්ලයිකෝල් ද්‍රාවණයට අදාළ රසායනිකය මුසු වූයේ කෙසේදැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
එම කැස්ස පැණිය සම්බන්ධ ළදරු මරණ ඉකුත් සැප්තැම්බරයේදී ආරම්භ විය. 2022 සහ 2023 වසරවලදී ඉන්දියානු කැස්ස පැණි විෂවීමෙන් අප්‍රිකාවේ සහ මධ්‍යම ආසියාවේ දරුවන් 140කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

