V2025

පුවත්

ජනපති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය අමතයි !

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වේ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතුයි. ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරනවා. ඒ සමඟම අපගේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.

එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරිත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැපවී සිටිනවා. ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටිනවා. නිශ්චිත කාල රාමුවක් තුළ මෙරට සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා පුළුල් සැලැස්මක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.

හරිත ආර්ථිකයක් බවට පත්වීමේ උත්සාහයන් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අප කෙටි කාලයක් තුළ අවම උත්සායකින් සාක්ෂාත් කර ගැනීමට පහසු ක්ෂේත්‍රයන් හඳුනා ගෙන වැඩි දියුණු කර ගත යුතුයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබෙනවා.

ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වී වගාව වැඩිදියුණු කිරීම, භාවිතයට නොගත් ඉඩම් නිදහස් කිරීම සහ කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි අපගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නැහැ. ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අපගේ අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනා ගෙන ඇති සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද අප අපේක්ෂා කරනවා.

තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම උපාය මාර්ගයේ ප්‍රධානතම සාධක වෙනවා. පෞද්ගලික අංශය සමඟ එක්ව තවත් පුහුණු ආයතන ආරම්භ කිරීමටත්, කෘතිම බුද්ධිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙසේ නගා සිටුවන තාක්ෂණයන් සහ කර්මාන්ත ප්‍රාග්ධනය ලෙස තබා ගෙන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

මෙහිදී මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා. අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වෙනවා.

වර්තමාන අභියෝගයන්ට අප සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අපට අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් (වැ.බ) උපුල් ජයවර්ධන, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති දේශීය ආදායම් කොමසාරිස් එම්. ඒ ප්‍රියංක යන මහත්වරුන් සහ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරන්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් හා කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

IMG 20231220 WA0006

අපේක්ෂිත මුදල් ඇවිත් : විදෙස් සංචිත ශක්තිමත් වෙයි !

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වෙතින් අපේක්ෂිත මුදල් ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඊට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් හිමිවී ඇත.

මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කරන බව ද එහි සඳහන් කර ඇත .

එසේම ඩොලර් මිලියන 780 ක විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ එය රටේ බාහිර සංචිත ශක්තිමත් කරන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් සඳහන් කර ඇති අතර 2023 අවසන් වන විට බලාපොරොත්තු වූවාට වඩා වැඩි අගයක් ගනිමින් දළ නිල සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.

අලි - මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා !

අලි - මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිශානතිය වෙලා තිබෙන්නේ වනය ආරක්ෂා කිරීමටයි. මම අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නව වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව වනය මායිමේ සිටින ජනතාවට වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

වනය නිසාම ඔවුන්ගේ ජීවිකාව ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබුණොත් ඔවුන්ම වනය ආරක්ෂා කරනවා. වනය මායිමේ ජීවත් වන ජනතාවට වනයෙන් ලබාගත හැකි ද්‍රව්‍ය තිබෙනවා. ඔවුන්ට එම ද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ලබා දුන්නොත් වනය ද ආරක්ෂා කර ගන්න පුළුවන්. විශේෂයෙන් හරිත සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා. පරිසරය අලෙවි කළොත් මේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙන එන්න පුළුවන්.

ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 29%ක්ම වනය තිබෙනවා. මේ වනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත්, හානි වූ වනය ආරක්ෂා කර ගැනීමට අලුතින් ගස් සිටුවීමටත් කටයුතු කරනවා. රටේ පවතින කැළෑව වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පැළ ලබා දීමටත් කටයුතු කරනවා.

මාර්ග දෙපසත් ගස් වගා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ පැළ ලබාදීමේ ව්‍යාපෘතියක් රජයක් විදිහට ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම 2022 වසරේ අමාත්‍යාංශය රුපියල් මිලියන 1670ක ආදායමක් ලබා තිබුණා. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 4700ක ආදායමක් ලබා ගැනීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 135%කින් ආදායම වැඩි කර ගැනීමක් බව කිව යුතුයි.

තවද අලි - මිනිස් ගැටුම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මේ පුංචි රටේ ජනගහණය මෙන්ම අලි ගහණයත් වැඩි වෙමින් පවතිනවා. විවිධ වාරි ව්‍යාපෘති හමුවේ අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාවගේ වගා කටයුතු නිසාත් අලි මංකඩ ඇහිරී ගොස් තිබෙනවා. ජනතාව ජීවත් වන ප්‍රදේශවලට අලින්ගේ පැමිණීම වැළැක්වීමට ලබන වසරේ අලුතින් කිලෝමීටර් දහසක් පමණ ඇලි වැට ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

එසේම බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින ශ්‍රමිකයන් 4000ක් පමණ අමාත්‍යාංශයේ ස්ථීර සේවකයන් ලෙස බඳවා ගෙන ඇලිවැට ආරක්ෂා කර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා. මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක කළහොත් අලි මිනිස් ගැටුමට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

මේ ආකාරයේ නොයෙකුත් ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් අලින්ගේ ජීවන වටපිටාව ද ආරක්ෂා කිරීමට ද කටයුතු කරනවා. එසේම අලි මංකඩ ඇති ජනතාවගේ ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරනවා. අධි ආලෝක ධාරා, අධික ශබ්ද තරංග මගින් ද අලි පලවා හැරීමට පුළුවන්කම තිබෙනවාද යන්න සම්බන්ධවත් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාවික හා ගුවන් හමුදාවේ සහාය ඇතිව ‍ඩ්‍රෝන යානා යොදා ගෙන ද අලි පලවා හැරීමට අත්හදා බැලීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

විදුලි සේවකයන්ගේ සුපිරි බෝනස් අත්හිටුවයි !

විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර වාර්ෂික ප්‍රසාද දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සමඟ මීට පෙර විදුලිබල මණ්ඩල සේවකයින්ට ගෙවන ලද දිරිගැන්වීම් සහ අනෙකුත් දීමනා ද අත්හිටුවනු ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2015 වසරේ සිට සෑම වසර 3කටම වරක් සිදුකෙරුණු 25%ක වැටුප් වර්ධක ගෙවීම් ද මෙවර නොගෙවීමට තීරණය කර බවය.

මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා යොමුකල මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහජන අදහස් විමසයි

2023-2025 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කර තිබේ.

 “විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ වන විට ලොව පුරා රටවල් 75 ක්, පළාත් පාලන ආයතන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවෙකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබා දී තිබේ.

එමඟින් ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත ආරාධනා කර ඇත.

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු වන්නේ නැහැ !

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ඩයස්පෝරාව මෙරට සංවර්ධන ක්‍රියාලිය සඳහා සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රතිලාභ මෙන්ම ආයෝජන දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් එම ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට නම් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

සාගල රත්නායක  මේ බව සඳහන් කළේ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවය අමතමිනි.

විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ https://oosla.lk/ නිල වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී සාගල රත්නායක  අතින් සිදු කෙරිණි.

මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක  විසින් සිදු කරනු ලැබූ අතර විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලය හා එක්ව ලබා දෙන සේවාව අගයමින් සාගල රත්නායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  විසින් ඒ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය ක‍ළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  මෙසේද පැවසීය.

ජාති ආගම් භේදයකින් තොරව වෙනත් රටක ජීවත්වන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ඩයස්පෝරාවේ පාර්ශ්වකරුවෙකු වෙනවා. ශ්‍රී ලංකාව සහ එහි ජනතාව අතර, විශේෂයෙන් විදේශගතව සිටින ප්‍රජාව අතර දුරස්ථභාවයක් ඇති කළේ පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ සිදු වූ අමිහිරි සිදුවීම් බව කිව යුතුයි. රටේ සංවර්ධනයට දායක වීමට කැමති නමුත් නිලධාරිවාදී බාධාවන් මෙන්ම ඩයස්පෝරාවේ සිටින අය මුහුණ දෙන අභියෝග පිළිබඳ අප අවධානය යොමු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමීව ස්ථාපිත කරන ලද විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ ( OOSLA) මූලික අරමුණ වන්නේ සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වන පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීමයි.

ද්විත්ව පුරවැසිභාවය, විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සහ ඔවුන්ගේ සබඳතා පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ගැටළු සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම මෙම කාර්යාලයේ ප්‍රධාන අරමුණු වෙනවා. මෙහි ඉලක්කය වන්නේ රටේ සංවර්ධනයට දායක වීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කර ගැනීමයි.

රට තුළ ආයෝජනය කිරීම සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආකර්ෂණය කර ගැනීමට නම් විනිවිදභාවයකින් යුත් ආකර්ෂණීය පොදු වේදිකාවක අවශ්‍යතාව මෙහිදී අප හඳුනා ගනු ලැබුවා.

ජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග 2024 අවසන් වන විට හෝ 2025 මුල් භාගය වන විට පහව ගොස් රට ශීඝ්‍ර සංවර්ධනයකට අවතීර්ණ වන බව අපගේ විශ්වාසයි. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අවබෝධ කර ගනිමින් සියලුදෙනා ඊට සහාය ලබා දුනහොත් මේ කාර්යය කිසි සේත්ම අපහසු වන්නේ නැහැ. එහිදී රජය සහ ජනතාව අතර නිවැරදි සන්නිවේදනයක් පවත්වාගෙන යාම වඩාත් වැදගත් වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කළේ සංවර්ධනය කරා යන ගමනේදී ඩයස්පෝරාව සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

සංක්‍රමණය වූවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් පළ කළ අමාත්‍යවරයා ඔවුන්ට නැවත සිය මව්බිමට පැමිණීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලධර්මවලට අනුකූලව ඔවුන්ට ගෞරවය, අභිමානය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබා දීම වැදගත් බවත් ඒ සඳහා සාධනීය පියවරක් ලෙස වන්දි ලබා දීම, අතුරුදහන් වූවන් සොයා ගැනීම සහ නඩු පැවරීමේ හැකියාව ඇතුළු සැලකිය යුතු බලතල සහිත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමේ නව නීතියක් ගෙන එන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වී. ක්‍රිෂ්ණමූර්ති සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු පිළිබඳ කාර්යාලය 2023 ජනවාරි මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද බවත් එම ආයතනය ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ගෙන යාමට දෙසැම්බර් 18 වනදා සුදුසුම දිනය වන බවත්ය.

විවිධ හේතු මත විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව සඳහන් කළ ඒ මහතා මෙරට ආර්ථිකයට එම ජනතාවගේ දායකත්වය කොතරම්ද යන්න පසුගිය කාල සීමාවේදී අත්විඳීමට ලැබුණු බවද පැවසීය.

විදේශ රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර විදේශ ගත ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ මීට සම්බන්ධ වූහ.

nzxcz

ගොඩහේවා හෙලිකොප්ටරය උස්සලා : ඩලා බිම වැටෙයි !

පළාත් පාලන ඡන්දය කැඳවපු වෙලාවේ , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් සන්ධානගත වුනා.

ඒ මේ අවුරුද්දේ (2023) ජනවාරි 12 වෙනිදා..

ඒ විදියට නිදහස් ජනතා සන්ධානය නමින් ''හෙලිකොප්ටරය'' ලකුණ යටතේ අත්වැල් බැඳගත් 36කට ආසන්න වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා.

ඒ තමයි ලබන අවුරුද්දේ තියන්න යන ජනාධිපතිවරණයේදී මොකද කරන්නේ කියන එක.

ආරංචි විදියට, පහුගිය දවසක බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ රැස්වුණු නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකයන්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නෙත් ඔය කාරණයයි.

” අපි මේ සන්ධානය පිහිටුවා ගත්තේ පළාත් පාලන ඡන්දෙට, ඒත් දැන් අපි හැමෝම දන්නවා රනිල් පළාත් පාලන ඡන්දේ තියන්නේ නෑ... එහෙම නම් අපි දැන් තීරණය කරන්න ඕන එදා අපි ඇති කරගත් එකඟතාවය ඉදිරියටත් පවත්වා ⁣ගෙන යනවද…? ඒ මොන කොන්දේසි යටතේද කියලා.”

නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල තමයි ලු එහෙව් ප්‍රශ්නයක් මතුකරලා තියෙන්නේ.

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාම ඒ කතාව අනුමත කරලා. මොකක් කරන්නත් ඉස්සෙල්ල ඒ කාරණේ අනිවාර්යයෙන් විසඳා ගන්න ඕන කියලා හැමෝම වගේ කියලා.

වෙන වෙනම සන්ධානගත සෑම දේශපාලන පක්ෂයක්ම, දේශපාලන කණ්ඩායමක් එක්කම සාකච්ඡා ආරම්භ කරන්න තීන්දු කරලා.

හැබැයි දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙලා. ඔය 'හෙලිකොප්ටරය'' ලකුණ තියන පක්ෂයේ නිල අයිතිය තියෙන්නේ නාලක ගොඩහේවා මන්ත්‍රී තුමාට.. දැන් හෙට අනිද්දා නාලක ලා, GL ලා, සජිත්ගේ සජබට එකතුවෙන්නයි යන්නේ. ඒ කියන්නේ දැන් ඔය පළාත් සභා චන්දෙට එකතුවෙච්ච කට්ටිය 'හෙලිකොප්ටරේ ගිහින් ඉවරයි..

ඒ විතරක් නෙමෙයි ඔය හෙලිකොප්ටරේ වටා එකතුවෙච්ච කට්ටිය ඉස්සරහදී සිසි කඩ විසිරෙන්නයි නියමිත. කටියකට සජබ සැලුන් දොර විවෘත වුනත්, විමල්- ගම්මන්පිල - රතන සාදු පැත්ත පළාතේ වැද්ද නොගන්න සජබේ දැනටම තීන්දු කරල ලු..

ඒ කතා මොනවා වුණත් GL ඇතුළු කණ්ඩායමක් එක්ක එකතුවෙලා හදන්න යන සජබ අලුත් සන්ධානේ දෙසැම්බර් අග වෙද්දී ලෝන්ච් කරන්න ලු යනවා කියන්නේ.. හරි හමන් නැකතක් නොලැබුනොත් ඒ වැඩේ ජනවාරිවලට කල්දාන්නත් තීන්දු කරලා .

  • දේශපාලන වාර්තාකරු

CIDය සමන්ගේ කාර්යාලය පරීක්ෂා කරයි

අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය පරීක්ෂාවට ලක්කර තිබේ.

අද පෙරවරු 10 සිට පැය පහක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ කාර්යාලය සෝදිසි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීෙම් සිද්ධිය සම්බන්ධෙයන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත  ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත  ඊයේ පස්වරු 6ට පමණ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම  හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම  සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නම් මිලදීගැනීමේ නඩුවේ 6 වැනි සැකකරු ලෙස නම්කරන බවය.

" ස්වාමිනි මෙම එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරු. නමුත් එම ක්‍රියාවලියේදී භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මොහු අනුගමනය කර නැහැ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගන්න පුළුවන් ඉන්දීය ආනයනකරුවකුගෙන් පමණයි. එවැනි තත්ත්වයකදී දේශිය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර මොහු ටෙන්ඩර් මිල ගණන් කැඳවලා අවසන් කරලා තිබෙනවා. මොහු කැබිනට් අනුමැතියක් නොමැතිවම ප්‍රශ්නගත සැපයුම්කරුට වෛද්‍ය සැපයුම් ඒකකයේ ගිණුමෙන් ගෙවීම් පවා සිදුකර තිබෙනවා. "

මෙහිදී ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සැපයු සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතර පැවති සම්බන්ධතාවය ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.

" ස්වාමිනි, සැපයුම්කරුට මුදල් ගෙවීම ප්‍රමාද වූ විට කඩිනමින් මුදල් ගෙවන ලෙසත්, සැපයීම ප්‍රමාද වූ එන්නත් මාත්‍රා සඳහා දඩමුදල් අය නොකරන ලෙස සහ එම සැපයුම්කරුටම මධ්‍යම ලේ බැංකුවෙන් රුධිර පට්ටිකා ලබාගැනීමට අවසරදෙමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලිපි නිකුත් කර තිබීම ගැටලු සහගතයි." එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගතවෙලා සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් සිව්දෙනාගේ සාපරාධි වරද අනුමත කර ඇත්තේ මොහු විසින්. ස්වාමිනි පුද්ගලයන්ට බොරු කරන්න පුළුවන්. නමුත් ලේඛනවලට බොරු කරන්න බැහැ. මේ සැකකරුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වෙලා ඔහු විසින්ම සකසන ලද සටහන් සහ ලිපි. ස්වාමිනී, මා ඉල්ලා සිටිනවා මොහු පොදුදේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකරන්න කියලා "

මෙහිදි මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ පරිපාලන නිලධාරියෙකු වන මෙම සැකකරුට ඉහළින් අමාත්‍යවරයෙකු සිටියදී, ඔහුට මෙලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කළ හැකි ද යන්නය.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නේය.

" ස්වාමිනී දැනට සිදුකරන ලද විමර්ශනවලදී පෙනී ගොස් තිබෙන්නේ මෙම සැකකරු ඔහුට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළා කියලා. නමුත් ඒක කළේ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳව අපි විමර්ශන කරනවා."

අනතුරුව සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  මෙලෙස ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, මේ ප්‍රශ්නගත හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන සමයේදි බෙහෙත්ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොහු සීමාවෙන් එහා යම් කටයුත්තක් කළානම් ඒක කරලා තියෙන්නේ ජනතාවට ඖෂධ සපයා දෙන්න. අනික මේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුමැතිය දීලා තියෙන්නේ කැබිනට් මණ්ඩලය. ස්වාමිනි හියුමන් ඉමියුනොග්ලොබියුලින්වල වතුර තිබුණත් ඒක මගේ සේවාදායකයාගේ වරද නොවෙයි. මොකද මොහුගෙන් පහළ එක් එක් රාජකාරිවලට අදාළව වෙනම නිලධාරින් ඉන්නවා."

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණය හමුවේ මෙලෙස අදහස් පල කළේය.

"මෙම නඩුවේ 2 සිට 05 දක්වා සැකකරුවන් සිය රාජකාරිය කාර්යාල සහයෙකුගේ රාජකාරිය තරමටවත් තැකීමක් කරලා නැහැ. අද ඉදිරිපත් කළ මෙම සැකකරුත් සම්බන්ධ පුර්ණ සැලසුම් සහගත ක්‍රියාවලියකින් තමයි පළමු සැකකරුට ගෙවූ ලක්ෂ 1400ක රජයේ මුදල අවභාවිතා වී තිබෙන්නේ. එබැවින් මෙම සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කරනවා"

එමෙන්ම මෙහිදී පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා තබන ලෙසටත්, අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එය සෝදිසි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

derana

ඉන්දීය රියැලිටිය ජයගත් කිල්මීෂා දැරියට ජනපති සුබ පතයි !

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමු කර තිබෙන අතර, එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිල්මීෂා උදයශීලන් දියණිය වෙත යොමු කළ සුබපැතුම් පණිවිඩය පහත දැක්වෙයි .

WhatsApp Image 2023 12 19 at 8.13.26 PM

ජනවාරියේ විදුලි බිලට සහනයක් !

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙසේද පැවසීය.

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් අපට මේ වන විට ලැබෙමින් පවතිනවා. එම පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක් දක්වන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයින්, විදුලි පාරිභෝගිකයන් හෝ ඕනෑම පාර්ශවයකට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.

එම යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වනදා දක්වා ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ හැකියි. යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කළ හැකි වනවා. ඒ අනුව සියලූ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වන යෝජනා ද සැළකිල්ලට ගනිමින් සකස් කෙරෙන පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝම්බර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. විදුලි ජනනය සඳහා භාවිතා කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්‍රයට වැට් බද්ද අදාල නොවන බව පැවසිය යුතුයි.

නමුත් වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරනවා. නමුත් එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් අප මේ වන විට සකච්ඡා කරමින් සිටිනවා. එහි ප්‍රථිපලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිතයි. එහිදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතිනවා.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙනවා.
පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදනවලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය ලැබුණා.

ඒ වගේම ඇතැමුන් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කරමින් විවිධ චෝදනා නගනවා.

නමුත් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කළ නොහැකියි. ඉන්දියාව ඔවුන්ගේම සුර්ය පැනල නිෂ්පාදනය කරන රටක්. අපේ රට සූර්ය පැනල නිෂ්පාදනය කරන්නේ නැහැ. අප සියළු දේ ආනයනය කළ යුතුයි. නිෂ්පාදන පිරිවැයේ දී අප රටවල් දෙක අතර විශාල පරතරයක් පවතිනවා. එමෙන්ම සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයේදී ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධති සඳහා ද එම තත්ත්වය එකසේ බලපානවා.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සදහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබාදුන්නේය.

දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  සදහන් කරයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ තිබෙන බවද සදහන් කළේය.

මීට අමතරව ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

WhatsApp Image 2023 12 19 at 08.58.32

ඩෙංගු මර්දන මෙහෙයුම පුළුල් කිරීමට සාගලගෙන් තවදුරටත් උපදෙස්

කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය ලබා ගන්නා ලෙස පැවසූ ඔහු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධනය සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත වගකීම් පවරන ලෙසද සඳහන් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද විවිධ දැනුවත් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඩෙංගු ව්‍යාප්තිය සැළකිය යුතු තත්ත්වයකින් පාලනය වී ඇති බවත් එම වැඩසටහන් ඉදිරි සතිවලද තවදුරටත් ක්‍රියාත්මක කිරීම තුලින් තවදුරටත් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සහභාගී වූ අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩි වී තිබූ බව ඔවුහු සඳහන් කළහ.

මහනුවර මහ නගර සභා සීමාව හා මාතලේ මහ නගර සභා සීමාවන් තුළ තවදුරටත් සැළකිය යුතු මට්ටමින් රෝගීන් වාර්තා වන බව සඳහන් කළ මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහාය ඇතිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇති බව සඳහන් කළේය.
මධ්‍යම පළාතේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා ප්‍රධාන ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පළාතේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි පිහිටුවා ගන්නා ලද කමිටුවක් මගින් සියළු අධීක්ෂණ කටයුතු සිදුවන බවත් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් ව්‍යාප්තිය පාලනය සඳහා කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් සියළුම පාසල් දැනුවත් කර දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් පාසැල් පරිශ්‍රයන් පිරිසිදු කර ඡායාරූප සමඟ වාර්තා කරන ලෙස අදාල අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දුන් සාගල රත්නායක  2024 ජනවාරි මස මුල් සතියේදී මෙම වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කළේය.

ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

ජනපති රනිල් තම අපේක්ෂකත්වය කැබිනට් මණ්ඩලයට දන්වයි : ධම්මිකට ඇඩ්‍රස් නැති වෙයි !

තමන් 2024 මැතිවරණ වසරට යෝජිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළැඹෙන ජනවාරි මාසයේ සිට ඒ වෙනුවෙන් වූ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත .

තවද මේ සඳහා සියලු අමාත්‍යවරුන්ගේ සහය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා ඇති බවත් දැනගන්නට ඇත .

මේ අතර පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති බවට පළවී ඇති සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා අසත්‍ය බවය.

පොදුජන පෙරමුණ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි තීරණාත්මක තීන්දුවක් ගන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් බවත් එම ආරංචි මාර්ග පවසයි . එසේම තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය සෙනසුරාදා ට පසුව රැස්ව නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියි.

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා  ISTRM උතුරු පළාත් මහජන අදහස් විමසයි !

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.

ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන, ආගමික නායකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්, බිම් මට්ටමේ ප්‍රජාවන්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් සමඟ දෙසැම්බර් මස 10 සිට 12 දක්වා රැස්වීම් පවත්වමින් මෙම අදහස් විමසීමේ කටයුතු සිදු කරන ලදී.

තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී ඇති ප්‍රජා අභියෝග සහ ප්‍රධාන ගැටළු පිළිබඳව පුළුල් ලෙස අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණු අතර අනතුරුව අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් යාපනය නාග විහාරයේ පූජ්‍ය ධම්මික හිමි, නල්ලෙයි ආදීන කුරුක්කල්, යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් බී. ඥානප්‍රගාසම් රදගුරුතුමන් ප්‍රමුඛ ආගමික නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

රටේ ජනවාර්ගික සහජීවනයේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන් විසින් මහජනතාවගේ අපේක්ෂාවන්, අදහස් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදය ද පිරිනැමිණි.

මේ අතර සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ විසින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ ආගමික නායකයින් ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කළ අතර, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට නියමිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් දැක්විය.

අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අංශයේ සහ නීති අංශයේ විධායක අෂ්විනි හපන්ගම, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා හා ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආණ්ඩු වෙනස් වන විට වෙනස්  නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් !

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කළේය.

එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඩිජිටල් ආර්ථිකය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වන තෙක් ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය වැනි වචන මෙරට භාවිතයට යෙදුණේ ඉතා අඩුවෙන්. ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවණ නිසා ආර්ථිකය ගොඩ නැංවීමට ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය පහසුවෙන් යොදා ගත හැකි බව පෙන්වා දුන්නා. ලෝකයේ රටවල මෙම ක්‍රමවේද භාවිතා කරමින් ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටද දියුණුවන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මෙතෙක් මෙරට ආර්ථිකයට සියයට 03ක් වශයෙන් ඩිජිටල් ආර්ථිකය දැක්වූ දායකත්වය සියයට 20 දක්වා වැඩිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ වගේම නව නිපැයුම් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි පරිසරය නිර්මාණය වනවා. ඒ තුළින් ආර්ථික දියුණුවට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනටමත් පෞද්ගලික අංශය වේගයෙන් ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබෙනවා. ඒ හා තරගකාරී සේවාවන් සැපයීමට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ඩිජිටල්කරණය මඟින් හැකියාව තිබෙනවා. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා ශක්තිමිත් ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි.

වැඩබලන පොලිස්පතිගෙන් පාසල් දරුවන්ට ප්‍රතිඥාවක් !

පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ වේලුවන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

එහිදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙසේද සඳහන් කළේය.

"හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරනකොට තියන්න ඉඩ තියන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අහිතකර දේවල් සියල්ල ඉවත් කරනවා".

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට !

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීම ඊයේ (17) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බවයි.

ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාල සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සහ නගර සැලසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කරන ලදී.

ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල යටිතල පහසුකම්, පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විසල් මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කෙරිණි.

මෙම සංවර්ධන සැලැස්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු වෙත ඉදිරිපත් කර තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ අවසන් කෙටුම්පත ඊයේ මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු විය.

සංවර්ධන සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් වු අතර මහනුවර පුරවරයේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතික උරුමය සුරකිමින් මෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට නියමිත විශ්වවිද්‍යාල අතරින් කිහිපයක් ද මහනුවර පුරවරයට ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවටද මහනුවර පත්වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මධ්‍යම පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ නිශාමණී අබේරත්න යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, අදාළ රේඛීය ආයතනවල සභාපතිවරු ඇතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව අකුරණ නගර සංවර්ධනට අදාළ සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර අකුරණ නගර සංවර්ධනයට අදාළ සම්පුර්ණ වාර්තාවක් සති 06ක් තුළ ලබා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

54e20c64 d49c 4aeb 8654 6ae40a8aff1b

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාලව, ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව කියන සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක  ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Page 133 of 473