78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.
ලාංකිකයින් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැගෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.
අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යෑමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැගෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.
මෑත කාලයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදු විය. එම ව්‍යසනයේ අත්දැකීම වේදනාකාරී වුව ද, ගෙවුණු වසර එකහමාරක කෙටි කාලය තුළ අප ගොඩනගා ගත් ස්ථාවර පදනම් මත, සියලු පාර්ශ්වවල සහාය ද සහිතව, යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමං කරමින් සිටිමු.
නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇත. එහෙත්, මෙවර එම වරද නැවත සිදු නොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුම ආරක්ෂා කර ගනිමින්, ඒ මත සවිමත් ලෙස දෙපා තබාගෙන බව ද මෙහි ලා සිහිපත් කරමි.
විසිවන සියවස තුළ උපන්, එහෙත්, බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන් ම නිර්මාණය කළ හැකි බවට මා සතුව ඇත්තේ අචල විශ්වාසයකි. එහි දී මෙරට සියලු පුරවැසියන් ගේ ශක්තිය, ඔවුන් ගේ සාමුහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාස තබා ඇත්තෙමු.
ගෙවුණු සියවසේ මගහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනැගීම සඳහා, එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු'යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යෑමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරමි...!
අනුර කුමාර දිසානායක
ජනාධිපති - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

