"බෙදාගෙන මහ පොළව
පර්චස් තිහට තිස්පහට හතළිහට
ගසා කටු කම්බි හත් අට පට
තබා කබොක් ගල් බැඳ උස් තාප්ප...
පොළොව බෙදූ තාප්ප සහ කටු කම්බි ද
මොහොතින් අතුරුදන් වී ගොසිනි
ලෝකය තනි යායකි."
මහගම සේකර: ප්‍රබුද්ධ
පසුගිය ආපදා සමයේ එක් පැත්තකින් සියලු සීමා වැට කඩුලු, උස් පවුරු තාප්ප සුණු විසුණු කරමින් ද අනෙක් පසින් සියලු වාද බේද අත්හැර පීඩාවට පත්වූවන්ට උපකාර කරමින් ජීවිතය ගෙන දෙන්නට සාමුහිකව මැදිහත්වීමේ මිනිස් ක්‍රියාකාරිත්වයෙන් ද පැහැදිලි වූයේ සේකර කවියා කියන මේ අදහස යි; "ලෝකය තනියායක්" බවයි. දසක ගණනකට පෙර සේකර විසින් 'ප්‍රබුද්ධ' ලියද්දි සටහන් කර තිබුණේ දේපළ, පටු පුද්ගල පරමාර්ථ, හුදු ආත්මාර්ථය සහිත වූ ලෝකයක, සමස්ත මිනිස් ප්‍රජාව ගැන වගකීම පිළිබඳවයි. වෙනත් විදියකින් කිව්වොත් විවිධ වෙනස්කම්, බෙදීම්, අඩුපාඩු තිබිය දී අපි මුහුණ දෙන විනාශ මෙන් ම පරාජ හේතුවෙන් පොදු මිනිස් පැවැත්මට එන අභියෝග නිසා මිනිස් ලෝකයක්, පොදු මනුෂ්‍ය පැවැත්මක් සහ ඊට ගැළපෙන ස්වභාවික පැවැත්මක් නිර්මාණය කරගන්න සිදුව තිබෙනවා. ලංකාවෙදිත් ලෝකයෙදිත් වාමාංශික දේශපාලනය විසින් ඉල්ලා සිටින්නෙ ඒ නිර්මාණාත්මක මැදිහත්වීම යි.

සියල්ල නැවත මුල සිට අරඹන්න
දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ දේශපාලනය තුළ, එවැනි ම ඉතිහාස උරුමයක් ඇති වාම ව්‍යාපාරය තුළ අප දන්න ඉතිහාසයේ බලපෑම් සහගතව වාමාංශික දේශපාලනයක් හඳුන්වා දුන්නේ රෝහණ විජේවීර.
ඔහු මරා දමනු ලැබුවෙත් පොදු මිනිස් අවශ්‍යතා සපුරන, පොදු මිනිස් අරමුණු ප්‍රමුඛ කරගත් සමාජයක් වෙනුවෙන් සටන් කළ වරදට. ඔහු මරණයට පෙර කළ ප්‍රකාශය පවා මෙහි දී වැදගත්. විජේවීර සහෝදරයා ගේ ඒ අවසන් වදන් සරලකර ගන්නවා නම් ඔහු කියා සිටියේ සියල්ල මුල සිට පටන් ගන්නා ලෙස ය. ඔහු එහි දී සන්නද්ධ කටයුතු නවතා දමන ලෙස කරන ඉල්ලීමක් ලෙස බලධාරින්ට ද පෙනී යන ආකාරයෙන් රූපවාහිනි පටිගත කිරීම තුළ පක්ෂයේ සහෝදරියන් හා සහෝදරවරුන් අමතමින් ඉල්ලීම් දෙකක් කළේ ය. පළමුවැන්න ක්ෂණිකවම සියලු ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙසයි. දෙවැන්න සියල්ල නැවත මුල සිට පටන් ගන්නා ලෙස යි. ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඔහු ඉල්ලා සිටියේ ඒ වනවිටත් ආරක්ෂක ඇසට අනාවරණය වී සිටි සාමාජිකයන් මෙන්ම අනාවරණය නොවූවන් ආරක්ෂා වීම පිණිස එනම්, වහා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීම ය. සියල්ල නැවත මුල සිට පටන් ගන්නට එනම්, දෙවැනි ඉල්ලීම ඉටු කිරීම සඳහා ඉල්ලා සිටියේ ගැඹුරු දේශපාලන කියවීමකි. එනම් පක්ෂයේ පසුගිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිශ්චිත කරුණු මත පදනම් වූ, නිශ්චිත ප්‍රතිපත්තිමය සහ න්‍යායික පදනම් සමග කෙරෙන පුළුල් ආපසු හැරී බැලීමක් අත්‍යවශ්‍ය විය. පළමු ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රමාද නිසා තවදුරටත් පක්ෂයේ අනගි සාමාජිකයින් ගොදුරු බවට පත්වීම ඉතිහාසය විය. දෙවැනි ඉල්ලීම ඉටු කරන්නට සිදුව තිබුණේ 1994 පක්ෂය නැවත දේශපාලනයේ ප්‍රසිද්ධ ප්‍රවාහයට එක්වීමට පෙරාතුව ය. එය ඉටු වූවා නම් ජවිපෙ දේශපාලන ගමන්මග බොහෝ වෙනස් එකක් වන්නට ඉඩ තිබුණි.
රැවුලු කොණ්ඩා බූගා නව ඇඳුම් ඇඳගෙන...
රෝහණ සහෝදරයා විසින් 1965 ජවිපෙ ආරම්භ කරන ලද්දේ ගම් නගර සිසාරා යමින් දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් සියල්ල මුල සිට ආරම්භ කිරීමකිනි. එහෙත් මර්දනයෙන් පසුව අළු ගොඩවල් බවට පත්ව තිබුණු ජවිපෙ නැවත ප්‍රතිසංවිධානය කිරීම මිස සියල්ල මුල සිට ආරම්භ කිරීමකට අවස්ථාවක් ගෙන තිබුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ සියල්ල මින් පෙර පැවති දේශපාලනයේම අනෙක් කෙළවරින් පටන් ගැනීමටය. රැවුලු කොණ්ඩා බූගා නව ඇඳුම් ඇඳගෙන ප්‍රසන්න මිනිසුන් ලෙස බහුජන දේශපාලනයට එක්වන ලෙසත් ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ලෙසත් ෆැක්ස් පණිවිඩ මගින් සෝමවංශ අමරසිංහ සහොදරයා විසින් පක්ෂ සාමාජිකත්වයට දුන් උපදෙස් තුළ, එක්තරා ආකාරයකට නව පෙනුමක අවශ්‍යතාව ඉටු කරන ලදී. එහෙත් රෝහණ සහෝදරයාගේ මූලික ඉල්ලීම, එනම්, පෙර ගත් ක්‍රියාමාර්ගයේ දෝෂ සහ සාධනීය තත්ත්ව කිරා මැන බැලීමක් කරන්නටත්, නැවත මුල සිට ආරම්භ කරන්නටත් ප්‍රමාණවත් අවධානයක් යොමු වූයේ නැත.
සෝමවංශ අමරසිංහ
විරුද්ධවාදී නොවන අදහසක්
2024 මහමැතිවරණය ජයගත් පසුව, ජවිපෙ නායකයින්, ජාතික ජනබලවේගයේ නායකයින් ලෙස වේදිකා මතට නැග ගෙන හැඟීම්බර කතා පවත්වමින් ප්‍රකාශ කළේ රෝහණ සහෝදරයා ගේ ආදර්ශ ගෙන දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ, මෙසේ ආණ්ඩු බලයක් අත්පත් කරගත් බවයි. නමුත් 1994 සිට 2024 දක්වා වසර 30 කාලයේ ජවිපෙ දේශපාලනය ආපසු හැරී බැලීමට බල කරයි. නූතන වාම ව්‍යාපාරයක අවශ්‍යතාවය අප අවධාරණය කරන්නේ හුදු විරුද්ධවාදී අදහසකින් නොවේ; ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා 1989 නොවැම්බර් 12 වැනිදා ජාතික රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් කළ ඉල්ලීම නිසා පමණක්මත් නොවේ. ජවිපෙන් ඉවත්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වසර 14ක දේශපාලන අත්දැකීම සහිතව අප, නූතන වාම ව්‍යාපාරයක අවශ්‍යතාවය පිළිබඳ මෙතරම් අවධාරණය කරන්නේ ඇයි? 'නූතන වමක්' ගැන කියන විට ම, අප කියන්නේ තවදුරටත් 'වම' අදාළ නොවන බවට ඇතැමුන් ගෙන එන අදහස දැයි තිගැස්මක් ඇති විය හැකි ය. එසේත් නැතිනම් අද යමෙකුට හැඟෙනු ඇත්තේ පවත්නා වමේ ව්‍යාපාරය යල්පැන ගොසින්ද යන්න ය.

නූතන වාම ව්‍යාපාරයක ලක්ෂණ කෙසේ විය යුතු ද...?
අපගේ අරමුණ අන් කිසිවක් නොව, වත්මන් දේශපාලන සන්දර්භය ඉදිරියේ මතුවන අභියෝගය පරාජය කිරීම උදෙසා වන වාම ව්‍යාපාරයක් බවට පත්වීමේ අවශ්‍යතාව යි. එය: වම සතුව ඇති සියල්ල පැරණි ය; යල් පැන ගොසින් ය බඳු අදහසක් නොව, වාමාංශික පිළිවෙත්, මූලික පදනම් තුළ සිට නව සමාජ වටපිටාවේ දේශපාලන ගැළපීමක් වෙනුවෙන් කරන අවධාරණයකි. එනිසා, නූතන වමක් පිළිබඳ කරන සාකච්ඡාවක දී පළමු කොටම අප ජීවත්වන මේ සමාජ ආර්ථික වටපිටාව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. නිවසක් තැනීමට පවා එය කෙබඳු තැනක ඉදිකරන්නේ ද, එහි පිහිටීම හා ස්වභාවය කෙසේ විය යුතු ද යන අධ්‍යයනයක් අවශ්‍ය ඔබට අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා වත්මන් තත්ත්වය හොඳින් කියවා ගන්නා තරමට ඒ කියවා ගැනීමෙන්ම අදට අවශ්‍ය වන වාම ව්‍යාපාරයක ස්වභාවය සහ අත්‍යවශ්‍ය ලක්ෂණ තේරුම් කර දෙනවා ඇත.
වඩා යහපත් මිනිස් ලෝකයක අපේක්ෂාව වෙනුවෙන්...
වර්තමානයේ අපට නූතන වමක අවශ්‍යතාවය කාර්යභාරය සාකච්ඡා කිරීමට බල කරනුයේ රෝහණ සහෝදරයා මරණය පෙනි පෙනී පක්ෂයේ සාමාජිකත්වය වෙත ගෙන ආ දේශපාලන යෝජනා ද පසුබිමෙහි තබා ගෙන ය. එය, මරණාසන්න පුද්ගලයකුගේ අවසාන ඉල්ලීමක් බඳු දෙයක් නොවේ. ඒ වනාහි, වඩා යහපත් මිනිස් ලෝකයක අපේක්ෂාව වෙනුවෙන් සුව පහසු වෘත්තීය ජීවිතයක් සඳහා වූ අරමුණු පසෙක තබා, දසක දෙකකට ආසන්න කාලයක් තුළ සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන්, ඒ අරමුණ වෙනුවෙන්ම ජීවිතය පවා කැප කළ වාමාංශික නායකයකු ගේ යෝජනා ය. එවන් අත්දැකීම් සහ අධිෂ්ඨාන තුළින් තමන් පසුකර යනු ඇතැයි සාමාජිකත්වය කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කළ යෝජනා දේශපාලන ව්‍යාපාරය විසින් ගැඹුරින් සැලකිල්ලට ගත්තා ද යන ප්‍රශ්නය කෙනෙකු විමසුවහොත් ඇත්තට ම එය මගහැරුණු කරුණකි.

සැබැවින්ම, 1994 නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ දී 89 පරාජය ඒ පිළිබඳ ආපසු හැරී බැලීමක් මෙන්ම සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් එයින් ඇතිකළ නව ලෝක තත්ත්වය, විශේෂයෙන් නවලිබරල් ධනවාදයේ නව ව්‍යාප්තිය යනාදි කාරණා ඒ හමුවේ වමේ ව්‍යාපාරයේ ගමන් මග පිළිබඳ ගැඹුරු කියවා ගැනීමකින් තොරව ගිය ගමනක එක්තරා ඛේදජනක අවසානයක් මේ මොහොතේත් වාම ව්‍යාපාරය අත්විඳිමින් සිටී.
(නූතන වාම ව්‍යාපාරයක් වෙනුවෙන් ආපසු හැරී බැලීමක්- ඉදිරියේදී)
මූලාශ්‍ර FrontLine

