V2025

පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් අද (දෙසැම්බර් 8 ) දින නිවේදනය කර ඇති පරිදි රටේ මූල්‍ය ස්ථායිත්වය පවත්වා ගැනීම සඳහා උදවුවක් ලෙස ඩොලර් මිලියන 200ක සහන ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඊට අමතරව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියනයක ආධාර මුදලක්ද වෙන් කර තිබෙනවා.

ඉහත සහන ණය මුදල ඩොලර් මිලියන 400ක සහන ණය මුදලක පළමු කොටස වන අතර, එහි දෙවන කොටස ලෙස තවත් ඩොලර් මිලියන 200ක මුදලක් එළැඹෙන 2024 වසර තුළ ලබා දීමට නියමිතයි. පළමු කොටස රටේ මූල්‍ය ස්ථායීත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වූ ක්ෂණික ක්‍රියා මාර්ග වල පිරිවැය ආවරණය කර ගැනීම සඳහා යොදා ගත හැකි අතර, දෙවන කොටස ලැබුණු විට එම මුදල දිගුකාලීනව රටේ මූල්‍ය ස්ථායීත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන් වැය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ අනුව රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබීම මෙම ණය මුදල අනුමත කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. මෙවැන්නක් විශේෂයෙන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබෙන්නට විශාල ඉඩකඩක් ඇති බවයි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

සත්‍ය සොයන්න සංහිඳියාව තහවුරු කරන්න ස්වාධීන කොමිසමක් එයි !

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම පනත් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

එම පනත් කෙටුම්පතට අදාළ මහජනතාවගෙන් අදහස් ලබාගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

පශ්චාත් ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසාර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි.

ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍ය සොයා ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඇති අනුලංගනීය අයිතිය, පිළිගනිමින් මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

එසේම, ජාතික සමගිය, සාමය, නීතියේ ආධිපත්‍ය, සහජීවනය, සමානාත්මතාවය, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකීය ජනතාව අතර සංහිඳියාව තහවුරු කර ශක්තිමත් කිරීමට මෙම කොමිසම ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මගින් අපේක්ෂා කෙරේ.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත් කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය කිරීම, සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට ද මෙම කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

රජය විසින් 2006 දී පිහිටුවන ලද සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කරන ලද සොයාගැනීම් ද මෙම කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ලැබේ.
යෝජිත ස්වාධීන කොමිෂන් සභාව කිසිඳු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව කටයුතු කරන බව සහතික කිරීම සඳහා රජය කැපවී සිටියි.

යෝජිත නව නීතිය බලාත්මක වන තෙක්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) නමින් අන්තර්වාර ආයතනයක් පිහිටුවීමට ද රජය පියවර ගෙන තිබේ.

මෙම යෝජිත කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්ති රාමුව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කරමින් සිටියි.

ස්වාධීන දේශීය කොමිසමක් පිහිටුවීමට පහසුකම් සැලසීම, අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල සාර්ථක යාන්ත්‍රණයන්ගෙන් ආභාෂයන් සහ මගපෙන්වීම් අධ්‍යනය කිරීම හරහා සත්‍ය, සංහිඳියාව සහ ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් දේශීය විසඳුමක් සඳහා අවශ්‍ය පදනම ගොඩනැගීම සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අරමුණයි.

මෙම පරිවර්තනීය යාන්ත්‍රණය හැඩගස්වා ගැනීමට සහ අවසානයේ තිරසර සාමයට සහ ජාතික සමගියට මග පාදා ගැනීමට උපකාර වන, අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ උපදේශනයෙන් කොමිෂන් සභාව ගොඩනගා ඇති බව සහතික කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්ණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් දැනට මහජනතාව සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වයි.

කළු සල්ලි සුදු කරන්න ගිය 7ක් හිරේ !

රුපියල් කෝටි හත හමාරක මුදලක් නීති විරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට ගිය පුද්ගලයන් හත්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

එම සැකකරුවන් අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට චීන ජාතිකයන් පිරිසක් ගිනි අවි සමග කොළඹ තුනෙහි පිහිටි තරු පන්තියේ හෝටලයක රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර ට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් දැනගන්නට ලැබී තිබේ.

ඒ අනුව විමර්ශන කණ්ඩායමක් ඊයේ (07) පස්වරුවේ අදාළ හෝටලයේ පස් වැනි මහල පරීක්ෂා කර ඇති අතර එහිදී එහි රැඳී සිටි ලාංකිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

ඒ, නීති විරෝධී පිස්තෝලයක් සහ රුපියල් කෝටි හත හමාරක මුදලක් ද සමගිනි.

නමුත් ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි කිසිදු චීන ජාතිකයෙකු රැඳී සිට නැති බව සඳහන් වෙයි .

සැකකරුවන් පැමිණි අධිසුඛෝපබෝගී මෝටර් රථ දෙකද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් සියලු දෙනාම රාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවකයන් බවයි.

එම ආයතනයෙන් ලබාගත් මුදල් චෙක්පතක් මාරු කර ඔවුන් අදාළ මුදල ලබාගෙන ඇති බවත්, එම මුදල අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට රැගෙන පැමිණි බවත් සැකකරුවන් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

එමෙන්ම ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි හතහමාරක මුදලින් ඩොලරයක් රුපියල් 316 බැගින් ලබාගෙන නැවත ඩොලරයක් රුපියල් 320කට අලෙවි කිරීමට සූදානමින් සිටි බවටද සැකකරුවන් පවසා ඇති බව වාර්තා වේ.

ඔවුන් සතුව තිබූ පිස්තෝලය ලියාපදිංචි කර ඇති බව පැවසූවද එය තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නොමැති බව සඳහන්ය.

අවස්ථා කිහිපයකදී සැකකරුවන් පිරිස එලෙස මුදල් විශුද්ධිකරණ කටයුතු සිදුකර ඇති බවටද විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරනය කර තිබේ.

සැකකරුවන් පිරිස අද දහවල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂවරයා විසින් සිදුකරනු ලැබේ.

ලන්සලගේ පක්ෂය පුත්තලමේ වැඩ අරඹයි !

නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු දෙසැම්බර් මාසය පුරා එහි ආසන 5 තුලම ක්‍රියාත්මක කර ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලය පැවසිය.

නිමල් ලන්සා සහ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුවේ.

කොට්ඨාස නියෝජිතයින් පත්කිරීම,අනුබද්ධ සංවිධාන පිහිටුවීම,භික්ෂු සංවිධාන පිහිටුවීම,කාන්තා සංවිධාන පිහිටුවීම වැනි කටයුතු එම මාසය පුරා සිදුවන අතර සිරිපාල අමරසිංහ,සුගීශ්වර බණ්ඩාර එම වැඩසටහන මෙහෙයවීමට පිටත්ව ගොස් තිබේ.

එය සැලවුණු පුත්තලමේ පොහොට්ටුවේ ඇතැම් පිරිස් මෙම වැඩසටහන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද එම පක්ෂ කාර්යාලය කියයි.

මේ අතර ඊට සමගාමිව සෙනසුරාදා දින දවස පුරා හලාවත ආසනය කේන්ද්‍ර කර ගනිමින් පළාත් සභාවේ ජංගම සේවයක් මාදම්පේ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.

හිමාලයා ප්‍රකාශනය ජනාධිපතිට !

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

“සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධනය කේන්ද්‍රකර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත්ය.

මෙම ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා සමඟ සාකච්ඡා කරන බවත්, අනෙකුත් ආගමික නායකයින් ද මේ පිළිබඳ දැනුවත් කරන බවත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් යුද්ධයෙන් පිඩා විඳී ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේද මහත් පීඩාවකට මුහුණ දුන් බවයි. නමුත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන පෝලීම්වල මාස කිහිපයක් පමණක් මුහුණ දුන් කටුක අත්දැකීම්වලට උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

නව රටක් ගොඩනැගීමේ දී නව ආර්ථිකයක් අවශ්‍ය බවත් එහිදී “හිමාලයා ප්‍රකාශනය” වැනි ප්‍රකාශන වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එකමුතුකම සහ ස්ථාවරත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවද පැවසීය.

උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනයට බලපෑ ගැටලු විසදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රගතියක් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු පැහැදිළි කළේය.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම එම පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඒ අනුව පුනරින් නගරය ඉදිරියේදී පුනර්ජනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි ප්‍රසාදය පළ කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් ඊට තම පුර්ණ දායකත්වය ලබාදෙන බව සඳහන් කළහ.

එමෙන්ම “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ එළිදැක්වීමට ලැබීම පිළිබඳව ද ඔවුහු සිය සතුට පළ කළහ.

යහපත් ශ්‍රි ලංකාවක් සඳහා වූ සංඝ සංසදය නියෝජනය කරමින් අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස ස්වාමින් වහන්සේ, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝ නායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමින් වහන්සේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සහ සිරි ධර්මරක්ෂිත පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමින් වහන්සේ, වජිරවංස පාර්ශ්වයේ වැඩබලන මහානායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රත්නසාර ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සාමාජික මානව සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය කලුපහන පියරතන ස්වාමින් වහන්සේ, මධ්‍යම පළාතේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාරම්පනාවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වාද්දුවේ ධම්මවංශ ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

ගෝලිය ද්‍රවිඩ සංසදය නියෝජනය කරමින් එක්සත් රාජධානියේ සුරේන් සුරේන්දිරන්, භවාන් භවකුගන්, වේලුපිල්ලෙයි කුගනේද්‍රන්, ඕස්ටේලියාවේ ආචාර්ය කන්නප්පර් මුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසිංගම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෙයරාජා මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20231208 WA0007

කතරගම මහා දේවාලයේ කපුවා කපෝති !

රුහුණු කතරගම මහ දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවන්ගේ අපලයට පූජා කළ රත්‍රං පවුම් 38ක් බැරැති රත්‍රං තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවය.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. නිශාන්ත යටතේ විමර්ශන ඇරඹී තිබුණි.

එහිදී කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කා හෙවත් "මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා"ගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා ප්‍රකාශ මඟින් ලබාදී ඇත්තේ තම පුතාගේ අපලයන් දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්‍රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බවය.

දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද පසුව දේවාලයේ කපු මහතුන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් 38ක් බරැති රත්රන් යොදා තැටිය හැදු බවද හෙළි වී ඇත.

කතරගම හෝටලයක අරක්කැමියකු වූ සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්‍රන් තැටිය සාදාදීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අං​ගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත් හෙළි වී ඇත.

ඒ අනුව 2019 ජූලි 3දා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ දරුවා රැගෙන ගොස් පූජා කළ බවත් එහි පූජාව කළේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක බවත් හෙළි වී තිබේ.

කතරගම මහා දේවාලයේ කපු මහතුන් 15 දෙනෙකු සේවය කරන බවත්, සෑම මාසයකම මාසය භාර කපු මහතා ලෙස නම්කරන අය එම මාසයේ පූජා කරන මුදල් හා දේපළ ලබාගෙන ඇති බවත්
හෙළි වී ඇත.

බැතිමතුන් පූජා කරන වටිනා භාණ්ඩ දේවාල මාළිගාවේ ගබඩා කර තැබිය යුතු අතර එයට ඇතුළු වීමට අවසර ඇත්තේ කපු මහතුන් 15 දෙනාට සහ බස්නායක නිලමේවරයාට පමණි.

අංගොඩ ලොක්කාගේ බිරිඳ පැමිණ රන් තැටිය පූජා කරන මාසයේ තේවාව භාරව සිට ඇත්තේ ප්‍රධාන කපු මහතා බවත්, ගබඩාව භාර කපු ධුරන්දර සමන් ප්‍රියන්ත විසින් එය පූජා කර සති දෙකකට පසු සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතාගේ කාමරයට එම රන් තැටිය ගෙනගොස් තැබූ බවත් ප්‍රකාශ ලබාදීමේදී හෙළිකර ඇත.

මෙය අතුරුදන් බව බස්නායක නිලමේවරයාට ලද නිර්නාමික ඇමතුමකින් පසු කරන ලද පැමිණිල්ලෙන් පසුව කපු මහතුන් ගෙන්වා තොරතුරු විමසා ඇත.

මෙම රත්‍රං තැටිය පූජා කර දවස් තුනක් එය දේවාලයේ තැබූ පසු අංගොඩ ලොක්කාගේ බිරිඳ එය නැවත රැගෙන ගිය බවට බස්නායක නිලමේට බොරුවක් කියන ලෙසට ප්‍රධාන කපුමහතා තමාට දැන් වූ බව මෙය පූජා කිරීමට මැදිහත් වූ අරක්කැමියා විමර්ශනවලදී පවසා ඇත.

මෙම සිද්ධියෙන් කපු මහතුන්ට අපකීර්තියක් වන නිසා රත්‍රං බන්දේසියක් නැවත සාදා දේවාලයේ තැන්පත් කිරීමට කටයුතු කළ බව ප්‍රධාන කපුරාල හා ගබඩාව භාර කපුරාලගේ ප්‍රකාශවලින් හෙළි වී තිබේ. ඒ අනුව පූජා කරන ලද රන්තැටිය ලෙස හඟවා 2021 ඔක්තෝබර් 26 දින නැවත දේවාලයට රන් තැටියක් භාරදී ඇති බවත් හෙළි වී ඇත.

සොමිපාල කපු මහතා හෙවත් සිය මුත්තා බේරාගැනීමට කලින් රන්තැටිය නිර්මාණය කළ කතරගම මාලන් නමැති අයට රුපියල් ලක්ෂ 41ක් දී නැවත රත්‍රං තැටියක් සාදාගත් බවත් එය මුලින් සාදා රැගෙන ගොස් මුත්තාගේ උපදෙස් මත දේවාලයට නැවත තැටිය ගෙනවිත් දුන් බවත් සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපු මහතා විමර්ශනවලදී හෙළිකර තිබේ.

අතුරුදන් කළ තැටියේ අනුරුව නිර්මාණය කර නැවත දේවාලයේ තැන්පත් කර ඇත්තේ පොලිස් විමර්ශන යන අතරතුරේදීය.

මේ සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය බී 73047/2021 යටතේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව නීතිපති උපදෙස් ඊයේ (7) වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

  • aruna

සුරාසැල් විවෘත කරන - වහන වෙලාව වෙනස් වෙයි !

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.

සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබේ.

මේ අතර පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී.

මීට අදාළ නිවේදනය පහත දැක්වෙයි .

3 1

වතු කම්කරු දෛනික වැටුප ගැන දෙසැම්බර් 31 ට පෙර තීරණයක් !

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා විය.

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.

ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231208 WA0008

ඉල්ලා අස්වෙනවා කියූ සජිත් සාටකයක බැහැලා පාර්ලිමේන්තු ඇවිත් : විගණන වාර්තාව මෙන්න !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ පෙනෙන්නට නැත්තේ ඔහු ඉල්ලා අස්වී ඇති නිසාදැයි අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් මේ ප්‍රශ්නය යොමුකර සිටියේය.

අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බැවින් මෙසේ ප්‍රශ්න කර තිබුණේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සිදුවූ බහින්බස්වීමක් පදනම් කරගෙන ය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අතර මෙම බහින්බස්වීම සිදුවිය.

බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි කරමින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දිගින් දිගටම චෝදනා කළේය.

සිරිකොත හැදීමටත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කර ඇතැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විවාදයට මීළඟට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයකට චෝදනා කළේය. එසේම තමා සම්බන්ධයෙන් වන චෝදනා ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවද පැවසීය.

එහිදී යළිත් නැගීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

විපක්ෂ නායකවරයා වෙත චෝදනා එල්ල වන තවත් චෝදනා ඇතුළත් බව සඳහන් රජයේ විගණන වාර්තාවක් සභාගත කළේය.

ඒ සමග ඔහු විමසා සිටියේ දැන් විපක්ෂ නායක ඉල්ලා අස්වීමට සූදානම් ද කියාය. කෙසේ වුවත් අද විපක්ෂ නායකවරයා විශේෂ සාටකයක් පැළඳ පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය.

ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සභාගත කළ විගණන වාර්තාව පහත දැක්වෙයි .

විගණන වාර්තාව

1 1

1 2

1 3

1 4

දෙසැම්බර් 12 ට පස්සේ : ලංකාවේ බංකොලොත්භව අවසන් !

දෙසැම්බර් 12 වනදා වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

එම මුදල ලැබීමත් සමග ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදෙනු ඇති බව විශ්වාස කළ හැකි බවද ඔහු පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද ( 07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලට වුවමනා ආකාරයට කටයුතු කිරීමට සූදානම් නැති බවත් තවත් පරම්පරාවක් බෙදුම්වාදයට ද තල්ලු කිරීම අනුමත නොකරන බවත්ය.

රවීට ගහන්න ප්ලාන්ට් කරපු නිව්ස් අතේ පත්තු වෙලා !

එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිසංධානය කිරීමට පෙර එකිනෙකා අතර පවතින මත ගැටුම් සියල්ල අවසන් කර ගන්නැයි ජනාධිපතිවරයා UNP මැනේජ්මන්ට් කමිටු සාමාජිකයින්ට පවසා ඇතැයි වාර්තාවෙනවා.

හිටපු අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව පක්ෂය තුල විශාල කැරැල්ලක් ඇතිවී තිබෙන බවද සිරිකොත ආරංචි මාර්ග හෙළිකරනවා.

කෙසේ වෙතත් මෙම ගැටළු විසදා ගන්නා තෙක් පක්ෂයේ ආසන බල මණ්ඩල හමු පැවැත්වීමද තාවකාලිකව නතර කර තිබෙනවා.

යම් ලෙසකින් මෙම ගැටුම් පවතින අතර එම ආසන බල මණ්ඩල පැවතියහොත් එකිනෙකා විවේචනය කිරීම සිදුවන බැවින් ගැටළු අවසන් කර බල මණ්ඩල කැදවීමටයි පක්ෂය තීන්දු කර ඇත්තේ.''

ඔය කතාවම වචනයක් දෙකක් එහාට මෙහාට මාරු කරලා වෙබ් කිපෙකම ප්ලාන්ට් කරලා තිබුනා.

රවීගේ මීඩියා ටීම් එකේ උෂාන්ත ල, මේ නිව්ස් එක ප්ලාන්ට් වුනේ කොහොමද කියලා හොයලා බලලා. එහෙම හොයලා බලද්දී ආරංචි වෙලා තියෙන්නේ , UNP එකේ ඇතුළෙ කෙරුමෙක් ප්ලාන්ට් කරපු නිව්ස් එකක් කියලා .

ආරංචි විදියට රවී ඊයේ හවසම මේ ගැන ජනාධිපති වික්‍රමසිංහට දැනුම්දීලා.

'' කලබල නැතුව ඉන්නකෝ .. ඔය කට්ටියගේ තනතුරු තියෙන්නේ දෙසැම්බර් 31 වෙනකන් නේ.. ඔයා ඔය අලුත් සන්ධානේ හදන වැඩේ කරගෙන යන්න..සාගල බදාදා රට යනවා. ඉරිදා එනවා. මම සාගලටත් කිව්වා ඔයත් එක්ක කොළඹ වැඩටික ප්ලෑන් කරලා කරන්න කියලා .. අගෝස්තු මැද ජනාධිපතිවරණය තියනවා. '' - ආරංචි විදියට ලොක්කා හරිම සැහැල්ලුවෙන් රවීට ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ එහෙම කතාවක්..

ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා ඉඳලා UNP නිලධාරී මණ්ඩලේ වෙනස් වෙනවා කියන එකද ? ඒ ගැන හරියටම කියන්න වෙන්නේ ජනවාරි පලවෙනිදම තමයි..

 දේශපාලන වාර්තාකරු

මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී මන්ත්‍රීවරයා වෙත භාරදී තිබේ.

කඳුරට දමිළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ.

එසේම බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ එම දිස්ත්‍රික්කයන්හි වතු කම්කරු ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීම, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සුරක්ෂිතභාවය සහ ප්‍රවර්ධනය මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටළු සොයා බැලීම ද ඔහු වෙත පැවරී ඇත.

ඇමතුම්දී බයිට් කරන හාදයෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක් !

 මැති ඇමතිවරුන් හට දුරකතන ඇමතුම්දී  සමච්චලයට ලක් කරන( බයිට් ) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ  බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  චාමර සම්පත් දසනායක පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  අද (7) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය

මේ පුද්ගලයා තමාටත් ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරියටත් දුරකතන ඇමතුම්දී  හෑල්ලුවට ලක්වන ආකාරයට කතා කළ බවද සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා  මෙසේද පැවසීය .

මේ පුද්ගලයාගේ නම  සහන් ගනේගොඩ. මෙයා හිතුවේ නෑ මම එයා හොයා ගනීවි කියලා. පැයක් ඇතුළත මම හොයා ගත්තා . මෙයා අරගලයේ හිටපු කෙනෙක් යුද හමුදාවෙන් පැනල ගියපු කෙනෙක්. ඒ වගේම මෙයාට කාන්තා දූෂණ නඩු අපරාධ රැසක් තියෙනවා. පොලිසි බර ගාණක මෙයාට විරුද්ධව පැමිණිලි තියෙනවා. හැබැයි මෙයාගේ පේජ් එකේ තියෙන්නේ විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එක.

අපිට මඩ ගහලා අපිව නැති කරන්න බැහැ. ඔය වගේ අපතයන්ට අපරාධකාරයන්ට  ඒ දේ කරන්න බැහැ. මේ කතා කරන්නෙ සූදනෙක් වගෙයි. මෙයා පට්ට හොරෙක්. මිනීමරුවෙක් මංකොල්ලකාරයෙක්. මේ රටේ පොලිසිවලින් මෙයා හොයනවා. මෙයා ගැන විමසිල්ලෙන්  ඉන්න කියලා මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා

විදෙස් ශ්‍රමිකයන්ට විදුලි වාහන දෙන වැඩසටහන හිරවුණු තැන මනූෂ හෙළිකරයි !

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේ අදහස් දක්වමින් ය.

මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම දීර්ඝ කිරීම කටයුතු සිදුකිරීමට බාධා එල්ලවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

නීති විද්‍යාලයේ පහසුකම් නැංවීමට ජනපතිගෙන් ඉඩමක් !

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසීය.

නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් අතර මුල් අදියර සඳහා පර්චස් 40ක බිම් කොටසක් වෙන් කිරීමටත්, අදාළ සැලැස්මට අනුව අවශ්‍ය ඉතිරි ඉඩම් ප්‍රමාණය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබා දීමටත් උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සඳහන් කළේ වසර 150ක ඉතිහාසය තුළ නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් එක් බිම් අඟලක්වත් ලැබී නොමැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත්ය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් යන මහත්වරුන් ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.IMG 20231206 WA0006

චීනයෙන් ගුවන් යානා ද්විත්වයක්

අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (5) රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන එනු ලැබීය.

මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලැබේ.

එමෙන්ම මෙම ගුවන්යානාවලට දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට ද පියාසර කිරීමේ හැකියාව ඇත.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ වයි - 12 වර්ගයේ මෙම මගි ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය චිනයේ සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට රැගෙන එනු ලැබීය.

චීනයේ සිට පැමිණි එම ගුවන් යානා පිළිගැනිමේ අවස්ථාව සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්ග්හොන්ග්  ඇතුළු ගුවන් හමුදා නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

COP28 ට දාපු තරුණ ප්‍රකාශනය ජනාධිපතිට !

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය.

දේශගුණික විපර්යාස තුළින් සිදුවන බලපෑම මෙන්ම ඒ වෙනුවෙන් ගත හැකි විසඳුම් ඇතුළත් ප්‍රධාන නිර්දේශ 10කින් මෙම තරුණ ප්‍රකාශනය සමන්විත වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට ලබාදීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී තරුණ නියෝජනය පුළුල් කිරීම, පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය සුරැකීම සම්බන්ධයෙන් ගත යුතු හදිසි මෙන්ම වැදගත් ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව මෙම තරුණ ප්‍රකාශනය තුළින් අවධාරණය කර ඇත.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න ගේ පූර්ණ අධීක්ෂණය යටතේ, බෝධ් මාතුර ගේ නායකත්වයෙන් ෆාතිමා ශම්ලා, සන්දෙව් ෆර්ඩිනැන්ඩෝ සහ තරුෂි වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවනු ලැබූ කමිටුව මඟින් මෙම ප්‍රකාශනය කෙටුම්පත් කරනු ලැබීය.

මෙහිදී පසිඳු ගුණරත්න ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දේශගුණික විපර්යාසයන් පිළිබඳ ව සිදුකළ විශේෂ තරුණ පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙන්ම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සිසු සිසුවියන් සහ ප්‍රථම දේශීය තරුණ සමුළුවට (Inaugural Local Conference of Youth) සහභාගි වූ තරුණ තරුණියන් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අදහස් ද මෙම ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ කාර්යයේදී වඩාත් වැදගත් වූ බවයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ මෙම ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය පසුගිය දෙසැම්බර් 02 වැනිදා ඩුබායිහිදී පැවති එම සමුළුව අතරවාරයේ සංවිධානය කළ ''ශ්‍රී ලංකා තරුණ වැඩසටහන'' අවස්ථාවේදී පසිඳු ගුණරත්න විසින් එළිදක්වනු ලැබීය.

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව අතිසාර්ථක ලෙස පැවති මෙම ''ශ්‍රී ලංකා තරුණ වැඩසටහන'', ජාතික තරුණ සේවා සභාව, ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබිණි.

එසේම මෙම සමුළුව සඳහා එක්ව සිටි තරුණ නියෝජිත කණ්ඩායම රජයේ කිසිදු අරමුදලක් භාවිත නොකිරීම ද විශේෂත්වයකි.

අදාළ තරුණ ප්‍රකාශනය http://www.nysc.lk/youthstatements.pdf හරහා පරිශීලනය කළ හැකි ය.

රට දියුණු කරන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹනවා !

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06)පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනි.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සේවක ප්‍රජාව සිදුකළ මෙහෙය අගය කළ ජනාධිපතිවරයා දැනට රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය මනාව කළමනාකරණය නොකර ඉදිරියට ගියහොත් ඉදිරි දශකයේදී නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වන බවද පෙන්වා දුන්නේය.

එම නිසා දැනට ස්ථාවරව ඇති ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් දක්වා ගෙන යාමට නව සැලසුම් අනුව කටයුතු කළ යුතු බවත්, එහිදී නවීන ආර්ථික ක්‍රමවේද භාවිතා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ සේවක පිරිසකට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර සියවස් සැමරුම වෙනුවෙන් රුපියල් 25ක සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ගීතය හා ධජය එළිදැක්වීම සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා "ඊ තක්සේරු" ක්‍රමවේදය හඳුන්වාදීමද මෙහිදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිව යනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923 දී තක්සේරුකරු තනතුර ඇති කළා.

1972 හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේදී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම වැඩි කළ යුතුයි.

ඒ වගේම ඉදිරියේදී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීම ද සිදු කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහා ද තක්සේරු කරණයේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. එම නිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මෙම වසරේ සිට ආරම්භ කිරීම මම ඉතා අගය කරනවා.

පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.

මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් නවතා දමා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීම නවතා තිබෙනවා. මෙම කොන්දේසි නොමැතිව ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළහොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි.

ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා . ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. එම සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කර ගතහොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට ලබා දෙන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා එම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වනු ඇතියි.

බලශක්ති ක්ෂේත්‍රය තුළද නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35 ක්ද, සූර්ය බලයෙන් ගිගාවොට් 200 ක් ද නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 50කට අඩු ප්‍රමාණයක්. එම නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟින්ද විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෘතිම බුද්ධිය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදා ගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, රජයේ ප්‍රධාන තක්සේරුකරු පුෂ්පා මුතුකුමාරණ, තැපල්පති රුවන් සත්කුමාර යන මහත්ම මහත්මීන් සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 1438965b4a

Page 137 of 473