පුවත්

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට පියවර !
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට වගා හානි සිදු වී මාස දෙකක් ඇතුළත වන්දි ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශංසාව හිමි විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අදාළ වැය ශීර්ෂ විවාදය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අනෙකුත් අමාත්‍යාංශවලට සාපේක්ෂව අඩු චෝදනා ප්‍රමාණයක් තමයි අප අමාත්‍යාංශයට ඉදිරිපත් වුණේ. ඒවාද අතීතයේ සිදු වූ දේවල්වලට සම්බන්ධයි. අප අමාත්‍යාංශය විසින් මේ වන විට සියලුම ක්ෂේත්‍රවල සහයෝගයෙන් සිදුකරන ව්‍යාපෘතිවල කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරනවා.
මම මේ අමාත්‍යාංශය භාරගත්තේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවක. මම මුලින්ම කුඹුරට ගිහින් ගොවීන්ට වගා කරන්න විශ්වාසය ඇති කළා. එදා ඔවුන් හෙක්ටයාර් 212,000ක වී වගා කළා. නමුත් යළි අස්වැන්න වැඩිකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන ලෙස මම ගොවී ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටියා. ඉන් පසුව ඔවුන් හෙක්ටයාර 512,000ක් වී වගා කළා. මෙය මෑත කාලයේ සිදු වූ ඉහළම අස්වැද්දුම ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ප්‍රමිතියෙන් බාල පොහොර ගේන බවට ඒවා බරින් අඩු බවටත් චෝදනා එල්ල වුණා. පොහොරවල පණුවෝ සිටින බවත් පැවසුණා. නමුත් ගොවි ජනතාව ජනාධිපතිතුමා සහ රජය කෙරෙහි විශ්වාසය තබා වගා කටයුතුවල නිරත වුණා. සියලුම පොහොර වර්ග නියමිත වෙලාවට ගොවීන්ට ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. අපි මූල්‍ය ආධාර සහ ඉන්ධන සහනාධාරය ද ලබා දීමට කටයුතු කළා. ඒ නිසා වගා කටයුතු සාර්ථක වී ඉහල අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
අපට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් 25,40,000ක් අවශ්‍යයි. මෙවර අස්වැන්න මෙට්‍රික් ටොන් 27,50,000 ක් වනවා. අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි අමතර අස්වැන්නක් මෙවර ලබාගැනීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමේ ද අවශ්‍යතාවක් මතුවී තිබෙනවා. ඊට හේතුව වී අස්වැන්න ඉහළ අගයක් ගත්ත ද මොල් හිමියන් විසින් ඒවා සම්පූර්ණයෙන්ම වෙළෙඳ පොළට නිකුත් නොකිරීමයි. ඒ වගේ ම කීරි සම්බා අස්වැන්නේ අඩු වීමක් දක්නට ලැබුණත් සාමාන්‍යයෙන් ජනතාව පරිභෝජනය කරන සහල් වර්ගවල අඩු වීමක් සිදුව නැහැ. ඉතින් මේ උත්සව සමයේ සහල් ආනයනය නොකළා නම් සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ නිසා අකමැත්තෙන් හෝ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
ඒ වගේම 2024 දී බෝග වර්ග 04කට ප්‍රමුඛත්වය දීමට අපි සැලසුම් කර තිබෙනවා. වී වගාව දැන් සාර්ථක තැනකට පැමිණ තිබෙනවා. ඒ සමඟ බඩ ඉරිඟු, මිරිස්, අල වගා කිරීමට ජනතාව දිරිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි දැනටමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අපගේ අපේක්ෂාව මෙලෙස ආනයනය කරන මෙම බෝග වර්ග අප රටේම වගා කිරීමයි. එමෙන්ම එක් එක් බෝගවලට අදාළ ප්‍රදේශ වෙන් කරන්න කියලත් අප උපදෙස් දී තිබෙනවා.
කුරුලු උණෙන් තොර රටක් ලෙස අපට කුකුලු මස් අපනයනය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. අපි දැනටමත් යම් ප්‍රමාණයක් මාලදිවයිනට අපනයනය කරනවා. අප සැලසුම වී තිබෙන්නේ එය තවත් රටවලට ව්‍යාප්ත කිරීමටයි.
ඒ වගේම වගා හානි සඳහා වන්දි ලබා දෙනවා. එහි ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කරමින් එම වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ද කටයුතු කරනවා. වගා හානියක් සිදුවී මාසයක් දෙකක් ඇතුළත වන්දි ලබාදුන් ඉතිහාසයේ පළමු වතාව මෙයයි. ඒ ගැන මම ජනාධිපතිතුමාට වගේම මුදල් අමාත්‍යාංශයට ද ප්‍රශංසා කරනවා.
අපෙ රටේ රබර් වගාව මේ වන විට යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එය නැවත වැඩිදියුණු කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් සිටිනවා. තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ අස්වැන්න වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම කුරුඳු වගාව දියුණු කිරීම සඳහා අපි වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.
ඒ වගේම කෝපි වගාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එය වැඩිදියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වී සිටීම අපට විශාල පාඩුවක්. බොහෝ විට කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටින්නේ වැඩිහිටි අයයි. ආදායම් නොමැතිකම ඇතුළු විවිධ හේතු නිසා තරුණ පිරිස් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා කෘෂිකාර්මික නවීකරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

වැට් බද්ද සම්මතයි !
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
මේ අනුව භාණ්ඩ අනූ හතකට එළැඹෙන ජනවාරියේ සිට 18% ක වැට් බදු අය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.
මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.
මෙම විවාදය සඳහා ඊයේ (10) ඉරුදින සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණත් විපක්ෂය විසින් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තුව කල් තැබීම නිසා විවාදය අතරමග නතර විය.
පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ කෙටි විවාදයකින් පසු සම්මත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.
මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විපක්ෂය වෙත චෝදනා කර සිටියේ විපක්ෂය මැදිහත්වී ලබාගත් විවාදය විපක්ෂය විසින්ම කඩාකප්පල් කළ බවය. එබැවින් ඊයේ අපතේ ගිය මහජන මුදල් සම්බන්ධයෙන් විපක්ෂය වග කිවයුතු තවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

චෙක් නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් !
මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් අද (11) මේ නියෝගය නිකුත්කර තිබේ.
ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි !
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට පැවරෙන බව ද සඳහන් කළේය.
වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
සිසුන් 176 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත් අතර විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 06 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන ලැබීය.
NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ විසින් සැමරුම් තිළිණයක් ලෙස ජනාධිපතිවරයා වෙත වටිනා පොත් කට්ටලයක් ද පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
විශ්වවිද්‍යාලවලින් පිටවන සියලු දෙනාට රැකියා ලබාගත හැකි ආකාරයට අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටළුව නිසයි. නමුත් අනෙක් රටවල් මෙම ප්‍රශ්නයට මුහුණ දී සාර්ථකව තිබෙනවා. “සෑම අයෙකුටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ ද සඳහන් වෙනවා. ඒ අනුව මේ වෙනුවෙන් සෑම රටකම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෙස අපත් දැන් සූදානම්ව සිටින්නේ එම වැඩකටයුත්ත සඳහා යොමු වීමටයි.
ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට අප බලපොරොත්තු වෙනවා. ඒ සමඟම නව තාක්ෂණය සමඟ මෙරට සිට විදේශීය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වෙනවා.
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමේ වැඩකටයුතු 2030 වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් භාෂා දැනුමෙන්ද මෙරට සිසු පරපුර සවිබල ගැන්විය යුතුයි.
ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය පුහුණු විද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර එම පාඨමාලා සඳහා රැකියා ඉලක්ක කර ගත් නව විෂය මාලා හඳුන්වාදීමට පියවර ගන්නවා. මෙම කටයුතු සඳහා පුද්ගලික අංශයේ වෙළෙඳ මණ්ඩල සහාය ලබාදෙන බවට අපට දැනුම් දී තිබෙන නිසා මෙම වැඩසටහනත් ලබන වසර වන විට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.
ඉන් පසුව මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම අපේ අපේක්ෂාවයි. මේ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය මේ රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීම අපේ අරමුණ බව කිව යුතුයි. මොකද රට දියුණු කිරීමට දැනුම අවශ්‍යයි. ඒ සඳහා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.
අප දැනට මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස කටයුතු කළ යුතුයි. අප හැමදාම මෙම තත්ත්වයේ සිටිනවාද, නැත්නම් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වෙනවාද කියා තීරණය කළයුතුයි. අපි සියලුදෙනාට අවශ්‍ය එම ගමන යාමටයි. එසේනම් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැගීම අධ්‍යාපනයට භාර දෙමු.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද, පීඨාධිපතිවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපාධිධාරී සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
https://www.newstube.lk/news?start=2430#sigProId1c69f873a8

කටුපොල් තහනම ඉවත්කර දෙන්න හිටපු ඇමති රවී මැදිහත් වෙයි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.
එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.
එසේම අපනයන භෝගයක් ලෙස දියුණු කළ හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවයි.
කටුපොල් අක්කරයක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් ඉපයිය හැකි බවද එම ගොවීන් පෙන්වාදී ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බව කර තිබේ.
තවද මැලේසියාව, ඉඳුනීසියාව වැඩි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙන බවද ගොවීන් සඳහන් කර ඇති අතර එබැවින් මෙම කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බවද පෙන්වාදී ඇත.
මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පවතින දුරුමත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.
මෙහිදී එම ගොවින්ට හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පොරොන්දුවී ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.
ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකල විමසීම් කිහිපයකටද හිටපු අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.
බංකොලොත් නැතිව තිබුණු රටක් ජනතාවගේ ඉල්ලීම පරිදි එය වෙනස් කරලා ලැබුණු ප්‍රතිවිපාකයට තමයි අපි මුහුණ දීල හිටියේ, ඊට පස්සේ යන මාර්ගය නැති වුණා ආදායම මදි වුණා වියදම වැඩි වුණා. රට බංකොලොත් උනා. බංකොලොත් කරපු කට්ටියට නෙමෙයි එයින් එළියට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඉතින් හැමකෙනාටම බැන බැන පරිපාලනයක් ගෙනයන්න බැරි කට්ටිය ඒකට උත්තර දෙන්න හදනවා. අභියෝගය බාරගත්ත වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකට අවශ්‍ය උත්තර සපයාගෙන ඉදිරියට ගමන් කරමින් යන මොහොතක්, ජීවන වියදම ලේසි නෑ අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායමාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේක මේ දේශපාලන පොරපිටියේ නිකන් වචනවලින් රටක් හදන්න බෑ.
තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙනවා.
මම විදුලි බල ඇමති ඉන්න කාලෙ ඉඳලා පුනර්ජනනීය බලශක්තිය වැඩ පිළිවෙල් වලට සියලු බදු අයින් කරලා තියෙන්නේ. කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලය. මොකද තාම විදුලි බල මණ්ඩලය මේකට හරි උත්තර දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ, විදුලු බල මණ්ඩලය ගත්තහම 27000ක් පමණ එතන ඉන්නවා.නමුත් එතනට අවශ්‍ය ප්‍රමාණය වන්නේ දහපාලොස්දාහක් පමණ කියලා ඔවුන්ම පිළිගන්නවා. ඒක නිසා අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව දැනගෙන එය නිසි මාර්ගයකට ගැනීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන විදිහට තව මාස දෙක තුනකින් විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරාවි.
ඇත්ත අමිහිරි වෙන්න පුළුවන් . හැබැයි ඒ අමිහිරි ඇතුලෙන්ම තමයි රටක් හරි මාර්ගයකට ගේන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අභියෝගය බාරගෙන වැඩ කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට පුළුවන්කමක් නැහැ, සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන සියලු පක්ෂවල සහයෝගය ඇතිව වගේම මාධ්‍යයත් මේකට දායකත්වය ලබා දිය යුතුයි.හැමදාම බැටකන්නේ වැඩ කරන පුද්ගලයින් එනිසා අලුත් විදියට හිතන්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කළ යුත්තේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව කළුතර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක සහ හිටපු සංචාරක අමාත්‍යය අචල සුරංග ජාගොඩ ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

‘පොලිස් මහජන සහන දිනය’ නැවතත්
කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.
පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණ හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිලිබඳව වන යුක්තිසහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් පොලිස්පති වෙත එම දිනයන්වල පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරට ත් සඳහන් කළේ, වැඩබලන පොලිස්පති සෑම සිකුරාදා දිනක ම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී ඍජුව ම මහජනතාවගේ පැමිණිලි පිලිබඳ පිළිතුරු ලබා දීම සිදු කරන බව ය.

ජනාධිපතිගේ වැඩ ගැන සජබ බයවෙලා : 15 වෙනිදා පොහොට්ටුව මොන නාඩගමක් නටයිද ?
සජබ විතරක් නෙමෙයි, ලන්සලා අනුරයාපා ලගේ සන්ධානයයි ශ්‍රී ලංකා එකයි , තවත් පක්ෂ කිහිපයක්ම එකතුවෙලා හදන්නය යන අලුත් සන්ධානෙත් ජනවාරියේ දී කරලියට එන්නයි යන්නේ.
ඒ සන්ධානයට සහාය දක්වන මැති ඇමතිවරුන් වන නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, පියංකර ජයරත්න, චන්න ජයසුමන, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් පහුගිය සතියේ දවසක පාර්ලිමේන්තු ලොබියේ ඉඳන් වත්මන් දේශපාලන කරුණු කාරනා ගැන කතාබහ කරමින් ඉඳල තියනවා.
“දැන් සජබේ හැමෝම බයවෙලා ඉන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියලා “- ලසන්ත අලගියවන්න කියලා .
“එන්නේ ජනාධිපතිවරණයක්නෙ. ඒක සජබේ දන්නවා .. හැබැයි ඉතින් ඒකට සජිත් බයයිනෙ. පාර්ලිමේන්තුව ඡන්දයක් තිබ්බොත් සජබේ දැන් ඉන්න හුඟාක් අය ජනාධිපතිතුමාට සහය දෙන්න යු.එන්.පි යට යනවා, අනිත් එක ඔය ඉන්න සෙට් එකෙන් බාගෙට බාගයක්වත් ඊලග පාර පාර්ලිමේන්තු එන්නේ නෑ” - නිමල් ලන්සා සිනාසෙමින් කියලා .
“ලන්සා කිව්වා වගේ දැනටමත් සජබේ කට්ටිය හුඟාක් ඉන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයේ, නැත්තන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරේ” කියලා - දුමින්ද දිසානායක කියලා .
“ඔව්..අපිත් යන එනකොට දකිනවනේ හැබැයි හොරෙන් ජනාධිපතිතුමා හම්බෙනවා එලියට ඇවිත් ආණ්ඩුවට බනිනවා” - අමරවීර කියලා .
“ඔව් ඉතින් ආණ්ඩුවට ගැහුවේ නැත්තන් කොහොමද විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්නේ” කියලා ලන්සා කියලා .
“හුඟක් අය ඉන්නේ සජිත් එක්ක හොඳකින් නෙමෙයි” - චන්න ජයසුමනත් කතාබහට එකතුවෙලා.
“ජනාධිපති වෙන්න කලින් ඉස්සරවෙලාම තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්න දැනගන්න එපැයි, එක දන්නේ නැතුව කොහොමද ජනාධිපතිකම් කරන්නේ”- ඇමති නලින් ප්‍රනාන්දු කියලා .
“පොහොට්ටුවේ සංවත්සරය තියනවා නේද?, සුගතදාස එක පුරවන්න ෆුල් ට්‍රයි කරනවලු”- පියංකර ජයරත්න කතාව වෙනත් පැත්තකට ගෙනෙහින්.
''හම්බන්තොට ට මිනිස්සු කිහිපදෙනෙක්ම මටත් කතාකළා සමහර සංවිධායකයෝ කෙලින්ම කිව්වලු සෙනග ගේන්නේ නෑ කියලා " අමරවීර කියලා .
“කට්ටිය බලන්නේ 15 වැනිදා මොකක්හරි කියලා ආයෙත් ජනතාව අන්දන්න පුලුවන්ද කියල බලන්න” - නලින් කියලා තියෙන්නේ එහෙම.
දේශපාලන වාර්තාකරු

ඩලස් නියෝජ්‍ය නායක කරන්න සජිත් දෙඟිඩියාවක : ජනාධිපති සැලුන් දොර ඇරලා !
ඔන්න ලබන අවුරුද්දේ මැතිවරණ උණුසුම දැන්තියා දැනෙන්න පටන් අරගෙන .
දැනට ලැබෙන ආරංචිවල විදියට සමගි ජනබලවේගයේ අලුත් සන්ධානය ජනවාරියේදී එලියට දාන්නයි යන්නේ.
''අපි ඩලස් කණ්ඩායම එක්ක සාකච්ඡා වට දෙක තුනක්ම කළා. එතැන 14ක් වගේ ඉන්න නිසා ඒ අය තමා ප්‍රධාන කණ්ඩායම වෙන්නෙ. ජනවාරි මාසය අවසන් වෙන්න කලින් අවබෝධතා ගිවිසුමක් වගේ දේකට අපි එළඹෙනවා.'' - සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රී කෙනෙක් අපිට කිව්වේ එහෙම .
''පොහොට්ටුවේ තව කිහිප දෙනෙක් ඉන්නවා ඉඩිපෙන්ඩන්ට් ගතියක් තියෙන. ඒ අය එක්කත් කතා කරගෙන යනවා. රොෂාන්ලා එහෙම සන්ධානෙට එනවද නැත්නම් කෙළින්ම සජබෙට එනවද කියලා තාම තීරණයක් අරගෙන නැහැ. නමුත් එකෙන්ම අපිත් එක්ක එකතු වෙනවා.''-ඒ සජබ ප්‍රකාශකයා එහෙමත් කිව්වා.
ඒ කියන විදියට, ජනවාරි මාසයේදී සජබ ජනබලවේගය තවත් පක්ෂ විස්සක් එක්ක අලුත් සන්ධානයක් ගහන්නයි යන්නේ. දැනට සජබ එක්ක ඉන්න දේශපාලන කඳවුරු සහ පක්ෂත් මැතිවරණය ඉලක්ක කර ගනිමින් නැවත මෙහිදී සන්ධානගත වෙනවා.
ඔය අස්සේ , සජබ නව දේශපාලන සන්ධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වෙලා කියලා 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කර තියනවා.
ඒත් නව දේශපාලන සන්ධානයේ නායකත්වය ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස ටත්, මහ ලේකම් ධූරය ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ටත් හිමිවනු ඇති බවත්, නායකත්ව මණ්ඩලය පක්ෂ නායකයාගේ සහායට ක්‍රියාත්මක වන සංවිධානයක් බවත් 'දේශය' පුවත් වාර්තවේ තවදුරටත් සඳහන් වෙනවා.
නව සන්ධානයේ නියෝජ්‍ය නායක තනතුරක් ඇතිකොට එම තනතුර තමන්ට ලබා දෙන ලෙස දකුණු පළාත නියෝජනය කරන එක්තරා මන්ත්‍රීවරයකු (හිටපු ඇමැතිවරයකු) විසින් කරන ලද ඉල්ලීම ස.ජ.බ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ල කියලත් 'මාධ්‍ය වාර්තා පළවෙමින් තියෙනවා .
මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුනේ, සජබ නව සන්ධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.
ඒ විදියට පක්ෂ කීපයක්ම සජබට අලුතින් එකතුවෙන්න හදද්දී සජබේ හිටපු පක්ෂ කීපයක් අවුලක ඉන්නවා කියලත් රාවයක් යනවා. වඩිවේල් ලා නම් දැනටම ගැලවිලා ..
පසුගිය මාසයේ සජබ පස්සර ප්‍රදේශයේ සංවිධායක ධූරයෙන් නෙරපනු ලැබූ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාට පසුගියදා ආණ්ඩුවෙන් ඉහළ තනතුරක් ලැබුනා. උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ්හට ජනාධිපතිවරයා විසින් පවරා දෙනු ලැබුවා. බදුල්ල දිස්ත්‍රික්කයට අමතරව නුවරඑළිය සහ රත්නපුරේ දිස්ත්‍රික්කවල දේශපාලන වශයෙන් සක්‍රීය වීමටද වඩිවෙල් සුරේෂ් හට ජනපති ආශීර්වාදය ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියනවා.
ඒ කියන්නේ සජබෙන් අයින් කරත් වඩුවේල් ගොඩ කියලා නේද ? ඒ කියන්නේ ජනාධිපති සැලුන් දොර ඇරලා විතරක් නෙමෙයි , සේෆ්ටිත් දාලා වගේ නේද ? අමතක කරන්න නරකයි , ලබන අවුරුද්ද කියන්නේ ජන්ද වසරක් හොඳේ .
දේශපාලන වාර්තාකරු

මහ මෝල්ලුන්ගේ සහල් මාෆියාව මඩින්න පනත් සංශෝධනයක් !
මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
රටේ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් විසින් කෘත්‍රිමව නිර්මාණය කිරීමට උත්සාහ දරණ සහල් හිඟය මෙම උත්සව සමයේ සහල් මිල ඉහළ නැංවීම සදහා යොදන ලද උපක්‍රමයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන සඳහා පමණි. සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැත.
මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මෙම පනත සංශෝධනය සඳහා ලබන මාසය ඇතුලත පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තැපෑලේ පැය 48 ක වර්ජනයක් !
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය අද (10) පස්වරු 4.00 ට ආරම්භ කළේය.
ඒ තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ය.
අද ඇරඹි වර්ජනයය අවසන් කිරීමට නියමිතව ඇත්තේ අනිද්දා (12) මධ්‍යම රාත්‍රීයේ ය.
ඒ අනුව රටපුරා තැපැල් කාර්යාල 653 ක්, උප තැපැල් කාර්යාල 3,410 ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල වන බවත් තැපැල් සේවකයන් 27,000 ක් පමණ වර්ජනයට එකතු වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පවසයි .

ඖෂධ , එළවළු , පලතුරු ඇතුළු භාණ්ඩ හා සේවා කිහිපයක් වැට් බද්දෙන් නිදහස් !
ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි ඇතුළු භාණ්ඩ කිහිපයක්ම සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (10) පාර්ලිමේන්තුවේදී පැවති එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින්ය .
එසේම වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය මෙරට විද්‍යා අංශයට සිදු වූ මහත් පාඩුවක් !
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගේ සිය වන ජන්ම දිනය වෙනුවෙන් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.
උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
එසේම ජන්ම දින සැමරම් උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දුන් අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.
“උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය” මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිණිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවයක් තිබුණා.
එසේම 1968 මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා. ඉන් පසුව එතුමා විටින් විට මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.
විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.
මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න අමාත්‍යවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා.
මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ එම කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩකොටසක් සිදුකළා වගේම පරිගණක මධ්‍යස්ථානය ද ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ලැදියාවක් දැක්වුවා.
උපාලි විජේසුන්දර මහත්මයාගේ මරණයෙන් පසු කැළණිය රජමහා විහාරයේ නිළමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත්වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයෙක් ලෙස එතුමා සමග වැඩ කටයුතු කළා.
ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකුම මෙම සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතා ද ඝාතනය කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මෙම සමයේදි ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාලි ගිහින් නීති කැඩු විට අද මෙන් ඊට අදාළ පියවර ගැනිම පමණයි. ඒ මිස වෙන දෙයක් කළේ නැහැ. මෙම ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබා ගත යුතුයි.
ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා.
පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. නමුත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිව්වා මේක ශිෂ්‍ය වැඩකටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.
ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා. එතුමාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස්වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. නමුත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා.
අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රීම බුද්ධිය සමඟයි. දැනට මාස කිහිපයකට පෙර කෘත්‍රීම බුද්ධිය ඉදිරිපත් කළ ප්‍රධාන සමාගමේ අධ්‍යක්ෂවරු අතර විශාල අර්බුදයක් ඇති වුණා. මොකද සීමාවක් නැතිව මෙය භාවිත කරයිද කියන ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ මීට මාස දෙකකට පමණ පෙර එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රටවල නායකයන් සියලු දෙනා කැඳවා එකඟතාවකට එළැඹුනා මෙය පාලනය කළ යුතුයි කියා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඒ සඳහා පළමු නීතිය ඉදිරිපත් කරනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවක් පළවී තිබෙනවා මම දුටුවා. නමුත් මෙයින් අපට ඈත් වෙන්න බැහැ. මෙම තාක්ෂණය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ඒ අනුව කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා. මම ඒ පිළිබඳ එම ක්ෂේත්‍රයේ පිරිසක් සමග සාකච්ඡා කළා. ඒ වගේම අනෙක් පිරිසත් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. මේ අනුව ලංකාවේ පළමු වතාවට AI තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා.
එපමණක් නොවෙයි තවත් රුපියල් බිලියන 08ක් වෙන් කර තිබෙනවා විද්‍යා සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට. කිසි දිනක මෙලෙස මුදල් වෙන් කර තිබුණේ නැහැ. අප ඉදිරියට යනවා නම් විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
ඒ වගේම දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව විශාල ආයෝජන දෙකක් දැනට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.
සූර්ය බලය, තාප විදුලි බලය සහ සුළං බලය යන පුනර්ජනනිය බලශක්තිය සමග අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. නමුත් එකම ප්‍රශ්නය වී තිබෙන්නේ තවමත් බොහෝ අය පුරුදුව සිටින්නේ ගල් අගුරු ගෙන ඒමට සහ තාප විදුලි බලාගාර ඇති කිරීමට. මෙය නතර කිරීම තමයි විශාලම ගැටලුව වී තිබෙන්නේ. මොකද ඒකට හේතුව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ. නමුත් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ඊට බාධා ඇතිවිය හැකියි. නමුත් අප ඉදිරියට යා යුතුයි.
හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි. දකුණු ඉන්දියාවේ තෙලංගනා, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ බැංග්ලෝ වල විශාල ඩිජිටල් ආර්ථිකයක් තිබෙනවා. අපේ රටටත් එය ගෙන ආ යුතු නිසා නව ආයතන කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමුව මෙම විද්‍යා හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කර ඇති බිලියන 08ක මුදල වියදම් කිරීම සඳහා Technology and Innovation Council නමින් ආයතනයක් ඇති කරනවා. තාක්ෂණයෙන් වාණිජ්‍ය ප්‍රයෝජන ලබාගැනීම එයින් සිදු කෙරෙනවා. මෙම වෙන් කර ඇති රුපියල් බිලියන 08 එක් එක් අංශවල දියුණුවට යෙදවීම එම ආයතනයට පැවරෙනවා.
ඒ සමග ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එහි කොටසක් ලෙස AI කේන්ද්‍රය ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු නව විද්‍යාත්මක ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති වෙනවා.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, අනුප පැස්කුවල්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජිත සේනාරත්න, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, තැපැල්පති ආර්. සත්කුමාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ ශාලිත විජේසුන්දර, වෛද්‍ය රොහාන් විජේසුන්දර රුචිනි විජේසුන්දර, දනූ විජේසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු ස්ටැන්ලි විජේසුන්දර පවුලේ ඥාතීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හල්දුම්මුල්ලේ කැලිපාණාවල ගම නොපෙනී යයි !
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා පැවසුවාය.
නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගත් බවත් උදෑසන එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා කීවාය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.
මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.
මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.
(lankadeepa.lk -සමන් පාලිත නානායක්කාර)

විදුලිය විසන්ධි වීම ගැන විශේෂ පරීක්‍ෂණයක්
සමස්ත රට පුරාම ඊයේ (9) පස්වරුවේ පැය 5 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම පිළිබඳව විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක පවත්වන බවත් ඒ සඳහා පසුව පරීක්‍ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත්කරනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත අද (10) පෙරවරුවේ පැවසීය.
කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වී ඇති බවට මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ වෙතත් මෙවැනි බිඳවැටීමක් පිළිබදව විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අනංගයන් සෙවීම පොලිස්පතිට !
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිට පැවරීමට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .
ඒ අනුව අදාළ විමර්ශනය සඳහා අදාල ලිපිගොනු පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට පසුගියදා බාරදී ඇති බවත් වාර්තා වෙයි .
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙකී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙනී යන හෙයින් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාට බාර දෙන ලෙස ඒ අනුව නීතිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
ඒ අනුව සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අදාළ සියලු ලිපිගොනු සියල්ල ද පොලිස්පතිවරයාට බාරදීම ට නියමිත ය.
මේ වන විටත් අදාළ ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලක ඇතුළු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
දැනට කරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගේ නම් සදහන්වී ඇති බව දැනගන්නට ඇත.

ජනවාරියේ විදුලි බිල සංශෝධනය වෙයි !
එළැඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
එමෙන්ම නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බවද අමාත්‍යවරයා පවසයි .
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින්ය .
ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බව නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා අවධාරණය කළේය.

2030 දී ශ්‍රී ලංකා ක්‍රිකට් තිබිය යුතු තැන ජනපති කියයි !
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දි ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.
150 වන සංවත්සරය වෙනුවෙන් සමරු ඵලයක් නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වු අතර අනතුරුව ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සහ 2011 පන්දුවාර 20 (T20) ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
එමෙන්ම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර ගණනාවක් සිය දායකත්වය දැක්වු සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම එහි සභාපති නිශාන්ත රණතුංග අතින් සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබපැතුම් පිරිනමනවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඉංග්‍රීසි ජාතින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් සමයේ සිටම කණ්ඩායම් එකතුවෙලා ක්‍රීඩා සමාජ පිහිටුවා ගනු ලැබුවා.
නැවියන් පැමිණෙන විටත් ඔවුන් ද තාවකාලික ක්‍රිකට් කණ්ඩායම් පිහිටුවා ගත්තා. මැලේ රෙජිමේන්තුවේ බැරැක්කවල නැවතී සිටි සොල්දාදුවන් ඔවුන්ගේම ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවාගත්තා, ඒ තමයි කෝල්ට්ස් කණ්ඩායම.
එක් වරක් කෝල්ට්ස් සහ රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල අතර පැවති ක්‍රිකට් තරඟයෙන් පසුව එකතු වෙලා සිංහල ක්‍රීඩා සමාජය යනුවෙන් තවත් සමාජයක් පිහිටුවා ගන්න තීරණය කළා. ඒ සමගම ටැමිල් යූනියන් එක පිහිටවනු ලැබුවා. ඒ අනුව ජාතිවාදි මුහුණුවරකික් ආරම්භ වුණු ක්‍රීඩා සමාජ රැසක් ඇතිවුණා. මේවා මැලේ, බර්ගර්, සිංහල, දෙමළ කියන වචනවලින් පමණක් නම් කර තිබුණත්, දේශපාලන පක්ෂ මෙන් නොවී සියලු ජනවර්ගවල මිනිසුන් ඒවා තුළ එකට එක්ව කටයුතු කළා.
අවාසනාවකට මෙන්, බොහෝ දේශපාලන පක්ෂවල එය දකින්න නැහැ. ඒ නිසයි අද අප මෙම ගැටළුවලට මුහුණ දී සිටින්නේ. කෙසේ නමුත් ඔබගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සටහන් විය යුතුයි කියා මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දෙස බලන විට ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් අද අපට තිබෙන නීති රීති කිසිවක් නොමැතිව සරලව පන්දුවෙන් පිත්තෙන් සෙල්ලම් කළ යුගයේ සිට මේ දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ඔබ සැම දැක තිබෙනවා. අප ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැක තිබෙනවා වගේම අප එම යුගය පසුකර ගොස් තිබෙනවා.
මේ අයුරින් බලන විට ක්‍රිකට් යනු වේගයෙන් වෙනස් වන ක්‍රීඩාවක්. නවීන තාක්ෂණය සමඟ රූපවාහිනිය සහ මාධ්‍යයන් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ක්‍රීඩාවද වෙනස් වෙමින් පවතිනවා.
මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ.
මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වන විට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමඟ කටයුතු කරන්න ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු.
2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා. ඒ නිසයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් ලබාදුන්නේ. 2024 වසරට පමණක් නොව මෙම අරමුණ ඉටුවන තුරු අප මෙම මුදල් ලබා දෙනවා. එය එක් වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවිමට බලාපොරොත්තු වෙනවා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා.
අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා.
තනතීරු, උපකරණ මේ කුමක් සඳහා මුදල් වැය කළත් එය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ සඳහන් වෙනවා. ඉතින්, එයින් අදහස් වන්නේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාසල් ක්‍රිකට් දියුණු වන බවයි. ඉන් පසුව පළාත් මට්ටමින් ක්‍රිකට් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා.
අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි. අපි මේ මුදල් යොදවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයිනගේ සංචිතය හදන්න. පිරිමි ළමයි විතරක් නෙවෙයි, ගැහැණු ළමයිනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ අන්දමින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාව යම් ප්‍රමිතියකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා.
බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට, කොළඹ පාසල් කිහිපයක හැරුණුවිට පාදුක්ක, කිරිඳිවැල, අගලවත්ත මේ වගේ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු අයුරකින් දියුණු වී නැහැ. ඒ නිසා සියලුම පාසල් සහ සියලුම සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ඇති බව අප සහතික කළ යුතුයි.
ක්‍රිකට් කියන්නේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. අපිට හැම ක්‍රීඩාවකින්ම දිනන්න බැහැ. නමුත් ඇතැම් ඒවා අපට දිනන්න පුළුවන්. ඉතින් අපි මේ සදහා මුදල් යොදවන්න ලෑස්තියි.
ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා.
රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි අපේ ආර්ථිකයෙන් පමණක් නොවෙයි, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව වැනි අනෙකුත් ක්ෂේත්‍රවලින්ද දස්කම් දක්වන රටක් බවට පත්වන බවට සහතික වෙමු.
ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද වත්මන් සහ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් සමාජයේ නිලධාරීන් මෙන්ම සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලිස් නිලධාරින්ට උසස්වීම් හා ස්ථාන මාරු
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.
රත්තපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇත.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇත.
බඳවා ගැනීම් හා පුහුණු දිසාන භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල කුරුණෑගල දිසාව භාරවත් පත්කර යවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණය දිසාව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර ඇත.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. පුෂ්පකුමාර දුක් ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ සිට බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී ද සිල්වා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊට අමතරව කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී කුමාරී පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත.
තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 08 දෙනෙකු පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හටද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
Page 136 of 473