ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ (SLEA) වාර්ෂික අන්තර් ජාතික සමුළුව අගමැතිනි හරිණි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් 06දා සවස 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියෝ පවසති.
සාමාන්‍යයෙන් සෑම වසරක ම අවසානයේ පැවැත්වෙන මෙම සමුළුව, 2025 වසරේ දී මෙරටට බලපෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත 2026 වසර දක්වා කල් දැමීමට සිදුවූ බව ද, ඒ නිසා එය මෙම මස 06 සහ 07 පැවැත්වීමට කටයුතු යෙදූ බව ද ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියෝ ප්‍රකාශ කළහ.
කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ආචාර්ය ගාමිණී කොරයා පදනමේ ඉකුත්දා (03) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ කීහ.
ජාතික මෙන් ම ගෝලීය ආර්ථික ගැටලු පිළිබඳ විද්වත් සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයන් වෙනුවෙන් ඇති ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය (SLEA) 1985 වසරේදී ආරම්භ කර 2011 වසරේ දී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වූ මෙම සංගමය, මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහ ජාතික මෙන් ම ගෝලීය ආර්ථික ගැටලු පිළිබඳ විද්වත් සාකච්ඡා පැවැත්වීම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන බව උන්වහන්සේ පැහැදිලි කළහ.
මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ "ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා සේවා අංශයේ පරිවර්තනය කිරීම" යන්නයි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන සේවා අංශය, නවීන ලෝකයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කරමින් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බවද උන්වහන්සේ කියා සිටියහ.
මෙම ආර්ථික සමුළුව සඳහා මහාචාර්ය ඉන්ද්‍රරතන පදනම සහ ආචාර්ය ගාමිණී කොරයා පදනම දක්වන මූල්‍ය අනුග්‍රාහකත්වය අගය කරන බවත්, එවැනි සහයෝගයක් ලැබීම තුළින් අති සාර්ථකව මෙය පැවැත්වීමට අවකාශ උදාවෙන බව ද උන්වහන්සේ සිහිපත් කළහ.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ උප සභාපති සම්මානිත මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ...
තිරසාර ආර්ථික වර්ධනයක්
''සමාරම්භක උත්සවයෙන් අනතුරුව, පෙබරවාරි 7වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දී විශේෂ පර්යේෂණ සැසි පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවලින් එළඹෙන නිගමන සහ නිර්දේශ, රජයේ 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන (PIP) සඳහා මඟපෙන්වීමක් ලෙස රජයට ඉදිරිපත් කිරීමට නියමිත යි. එමගින් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම මූලික අරමුණ වී තිබෙනවා. වසර 2023 දී ආර්ථික සමුළුව පැවැත්වූවා. එදා තේමාව වූයේ ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අංශයේ සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි කතිකා කිරීම යි. 2024දී අපි කතා කරේ කර්මාන්ත අංශය ගැනයි. 2025 දී සේවා අංශය ගැන කතා කිරීමට සැලසුම් කළා. ඒ අනුව මෙවර සමුළුව හරහා කොළඹ විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ සියම් (Siam) විශ්වවිද්‍යාලය යන ජාත්‍යන්තර ආයතන සමග එක්ව ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික දැනුම බෙදා ගැනීමට අවස්ථාව සැලසෙනවා''
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද සහභාගී වීමට නියමිත ය.
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය පූජ්‍ය විජිතපුර විමලරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංවිධානය කිරීමේ කටයුතු මහලේකම් නිහාල් රොඩ්රිගෝ විසින් මෙහෙයවනු ලබයි. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආචාර්ය මාරිංග සුමනදාස ද එක්ව සිටියේ ය.
ජේ.මුණසිංහ


