V2025

පුවත්

2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා !

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.

ඒ සමඟ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරමින් ජනාධිපතිවරයා වෙත උත්තමාචාර පුද කිරීමද සිදු කෙරිණි.

අනතුරුව ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සුහද කථා බහකට ද එක්වූ ජනාධිපතිවරයා උදා වූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් පළ කළේය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

ගුවන් හමුදාවට අද විශේෂ දවසක්. වසර 73 ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහාලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට කළ මෙහෙවර අසීමිතයි. ගුවන් හමුදාවට නවීන තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් හමුදා මූලස්ථානයක් අද ලැබී තිබෙනවා. අනාගතයේදී ඇතිවිය හැකි අභියෝග සම්බන්ධයෙන්ද මෙහෙයුම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට මෙමඟින් හැකි වෙනවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආරක්ෂක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේදී ගුවන් හමුදාවට පැවරෙන කාර්යභාරය අති මහත් බව කිවයුතුයි. ඒ වගේම නව දැනුම සහ නව තාක්ෂණය සමඟ අපේ හමුදාවන් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තරයේදී මතුවිය හැකි ගැටලු කලින් හඳුනාගෙන ඊට පිළියම් සෙවීමට එම නවීන ආරක්ෂක දැනුම මගින් හැකියාව ලැබෙනවා.

අද මෙම හමුදා මූලස්ථානය තුළ ගුවන් හමුදා මූලස්ථානය ආරම්භ කිරීම එහි නවීකරණය උදෙසා වන පළමු පියවරක් ලෙස මම දකිනවා. මීට පෙර පැවති ගුවන් හමුදා මූලස්ථාන කාර්යාලය පොලිස් මූලස්ථානයට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය තිබූ ගොඩනැගිල්ල මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල ඉන් ඉවත් කර සංචාරක කලාපයක් බවට එම ප්‍රදේශය පත්කිරීමට ද සැලසුම් කර තිබෙනවා

අද රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තිබෙනවා. එය අප සියලුදෙනාගේ වගකීමක් බවට පත්ව තිබෙනවා. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලයි තබුණේ. ඒ අනුව රටේ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මට භාර කෙරුණා. මෙහීදී දේශපාලනය කරනවාද, එසේ නොමැතිනම් රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සෘජුව කටයුතු කරනවාද යන්න පිළිබඳ මට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා.

ලෙබනනය ආර්ථික වැඩපිළිවෙළ වසර දෙකකින් කල් දැමීම නිසා විශාල අර්බුදයකට මුහුණ දුන්නා. දේශපාලන අස්ථාවර භාවය නිසා ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර දහතුනක් ගත වුණා. ඔවුන් රාජ්‍ය සේවයේ වැටුප් 50%කින් කප්පාදු කළා. නමුත් එම තත්ත්වයට පත්වීමට මට අවශ්‍ය වුණේ නැහැ. අපේ දළ දේශීය නිෂ්පාදනය පහත වැටිලා තිබුණා. අප සෘජු තීන්දු තීරණ සමඟ ඉදිරියට ගියා. 2023 වසර අවසන් වන විට අප යම් තරමක ආර්ථික ශක්තිමත් භාවයක සිටිනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ නිවැරදි වෙලාවට ගත යුතුයි. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වන විට ආර්ථක වර්ධන වේගය 5%ක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට අප සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. ඉන්පසුව තවත් සීග්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අපට සහය වීමට රටවල් බොහොමයක් මේ වන විට එකඟ වී තිබෙනවා. ඒවගේම ඔවුන් ඊළඟට අහන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මේ ණය ගෙවීමට හැකියාව තිබේද යන්නයි. ඒ සඳහා අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.

අප පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 3.1ක රාජ්‍ය ආදායමක් උපයා ගත්තා. එම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 12%යි. අපි 2026 වන විට එය දළ දේශීය නිෂ්පාදනයෙන් 15%කට ගෙන ආ යුතුයි. මෙම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4.2ක් රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපට තිබෙනවා. වැට් බදු නැවත සංශෝධනය කිරිමට සිදු වුණේ ද ඒ සඳහායි.

ඒ වගේම ප්‍රාථමික අතිරික්තය බලාපොරොත්තු වෙන්න පුළුවන් දශම 8ක්. නමුත් 2025 වන තෙක් එය 2.3කට පවත්වාගෙන යා යුතුයි. මෙම ඉලක්ක සමග අපට ඉදිරියට යාමට තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා. මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා. දුෂ්කරතා තිබෙනවා. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා. ඔවුනුත් ඊට එකඟ වුණා. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා.

ඒ වගේම බදු එකතු කිරීම පිළිබඳ අඩු පාඩු ගණනාවක් තිබෙනවා. ඒ සඳහා නව ආදායම් අධිකාරියක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහය ලබා දී තිබෙනවා. මෙම කටයුතු තුළින් 2025- 2026 වන විට රටේ ආර්ථිකය 5%ක පමණ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

නමුත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් අප 8%-9%ක ඉලක්කයක් වෙත ළඟා විය යුතුයි. එම වර්ධනය ඇති කරගන්නේ කෙසේද කියා අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=2304#sigProIdfb6c7a8863

ලිට්‍රෝ ගෑස් මිලත් සංශෝධනය වෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.

එහි සභාපති මුදිත පීරිස් අද (ජන. 1) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කෙරෙන බව ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් දක්වා ඉහළ යනු ඇත.

ඊට අමතරව, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127කින් ඉහළ ගොස් දමා තිබේ.

ඒ අනුව, එහි නව මිල රුපියල් 795ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්ධන මිල සංශෝධනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

අද (ජන. 1) උදෑසන 5:00 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366ක් ලෙස ය.

තව ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ, රුපියල් 464ක් ලෙස ය.

ලංකා ඔටෝ ඩීසල් මිල ද රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475කි.

කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් ලෙස සටහන් වෙයි.

මේ අතර, ලංකා අයිඕසී සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

මේ අතර, සයිනොපෙක් සමාගම ද අද උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත්, එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දෙනු ලැබ ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

තව ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ලංකා අයිඕසී සමාගමේ මිල ගණන් පරිදි ම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙස ය.

පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

උදා වූ 2024 වසර ලක් වාසි සියළු දෙනාගේ සිතුම් පැතුම්, ප්‍රාර්ථනා ඉටුවන, සියළු ලෝක වාසීන්ට යස ඉසුරෙන් පිරුණු, නිරෝගීමත් සුබම සුබ නව වසරක් වේවායි නිවුස් ටියුබ් පාඨක ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු !!!!!!!.

යුක්තිය දින 14ට 20797ක් අත්අඩංගුවට අරගෙන !

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා දියත්කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ.

එහි දී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6ක් අයිස් කිලෝග්‍රෑම් 8.3ක් සහ මත්පෙති 72,272ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන අතර ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

මාලඹේ පවුලක්ම වස බී නසියි !

එකම පවුලේ තිදෙනෙකු වස පානයකර සියදිවි නසාගෙන තිබෙන බව වාර්තා වෙයි .

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසක මව, පුතා හා දියණියකගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් මෙම මළසිරැරු සොයා ගෙන ඇත.

මියගිය මවගේ වයස අවුරුදු තිස්පහක් වන අතර පුතා ගේ වයස අවුරුදු දහයක් හා දියණියගේ වයස අවුරුදු නවයකි.

ඔවුනගේ පියා දැනට දින කිහිපයකට පෙර වස පානය කර දිය සියදිවි නසාගෙන තිබෙන බවත් වාර්තා වෙයි .

ඔහුගේ හත් දවසේ දානමය පින්කම ඊයේ සිදුකිරීමෙන් අනතුරුව මෙම තිදෙනාද සියදිවි නසා ගන්නට ඇති බව පොලිසිය සැක කරයි

මාතරට වේලාසනින් අවුරුදු ඇවිත් !

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපතේ උතුරු මුහුදු සීමාවට ඔබ්බෙන් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් කියලා , සෙනසුරාද ඒ කියන්නේ 30 වෙනිදා උදේ පාන්දර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මැසේජ් එකක් ඈවිත් තිබුනා. ඒ කියන්නේ සුනාමි ඇලට් එකක්.

වෙරල ආසන්නයේ ගැවසෙන්න එපා කියලා , SMS එන්න පටන් ගත්තා .

ඔය මැසේජ්වලින් වැඩියෙන්ම කලබලේට පත්වෙලා හිටියේ මාතර කට්ටිය. මොකද “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් ඊයේ (30) මාලිමවේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුවට මාතර ආසන හතෙන් ම කාන්තාවෝ මාතර ටවුන් එකට එන්න පටන් අරගෙනයි තිබුනේ.. සමුළුව සංවිධානය කරලා තිබුනේ මාතර කොටුවේ වෙරල තීරය ඉස්සරහා.

ඒ වෙනකොටත් කාන්තාවෝ දහස් ගණනක් ඇවිත් ඉඳලා . කොහොම වුනත් ටිකක් දවල් වෙද්දී ඔන්න තවත් ඇලට් එකක් ආවා. සුනාමි අවධානමක් නෑ කියලා . මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිතයි කියලා .

''නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා '' කියලා සමුළුව පටන් ගන්ද්දීම අනුර කිව්වා. අපේක්ෂා පිරුණු සතුටු පිරුණු මුහුනු දකිනවිට 2024 වසරේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය පිළිබඳව සැකයක් නෑ කියලත් අනුර කිව්වා.

''අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට බලපෑ හැකි සුනාමි අනතුරු ඇඟවීමේ ප්‍රවෘත්තියක් විකාශය කළා. දහවල් වනවිට එම අනතුරක් නැති බව ප්‍රචාරය කලා.. ඒත් රට වෙනස් කිරීමේ මහා සුනාමියක් මාතරින් ආරම්භ වුනා '' - කියලත් අනුර කිව්වා.

ඔහු පසුගිය මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට තිබූ රැල්ලට වඩා මේ වනවිට සුවිශාල සංවිධාන ශක්තියකින් ඉදිරියට පැමිණ සිටින බවත් අනුර කියනවා.

විශ්‍රාමික ත්‍රිවිද හමුදා සාමූහිකය ඇතුළු නව සංවිධාන ගණනාවක් ගොඩනගා ගනිමින් 2023 වසරේ තිබූ ශක්තිය අභිබවා ගිය මහා ජනතා ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ තිබෙන බවත්, එය හුදු ඡන්දය ලබා ගැනීමේ අරමුණ ඉක්මවා ගිය මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්වයෙන් ගොඩ ගැනීමේ මහා බලවේගයක් වෙලා කියලත් අනුර කියනවා.

මෙම බලවේගය තුළ ධෛර්යවන්ත ගැහැනුන් සුවිශාල වහයෙන් අත්වැල් බැඳගෙන ඇති බවත් 2024 වර්ශයේ පවත්වන ඕනෑම මැතිවරණයෙකදී ජාතික ජන බලවේගය ජය ගැනීම පිළිබඳව කිසියම් කුකුසක් පැවතියේනම් මෙම කාන්තා සමුළුව මගින් එම කුකුස මුළුමනින්ම අහවර කර ඇති බවත් අනුර කියනවා.

  • දේශපාලන වාර්තාකරු

සජබ සජිත්ගේ මිත්‍ර සමාගම යටතට !

2023 වසර අවසන් වී 2024 එළැඹෙන්නේ දේශපාලන වේදිකා රත් කිරීමට අවශ්‍ය වටපිටාව ද සකසමින් බව කියන්න දෙයක් නෑ . ලබන වසර, ඒ කියන්නේ 2024 මැතිවරණ වර්ෂයක් බවට ප්‍රකාශ වීම තමයි එකට ප්‍රධාන හේතුව වෙන්නේ.

සීතල නත්තල් සමය අවසන් වී නව වසරට උදා වෙන්නේ දේශපාලන ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් කරමින් ..

ලැබෙන ආරංචිවල හැටියට මේ දවස්වල තියන පාටිවලත් ප්‍රධාන ම මාතෘකාව වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ තියන්න යන ජනාධිපතිවරණෙ ගැන .. මල ගෙවල්, දානේ ගෙවල්වල පවා කතාව ඒ ගැන.

සජිත් ප්‍රේමදාස ගේ අගසව් විදියට සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාගේ ඒකල ෆැක්ටරියේ 29 සිකුරාදා රෑ බණ පින්කමක් තිබිලා. . ඒ මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මිය පරලොව ගිය ලකීගේ මෑණියන් සිහිපත් කරලා. ඒක බණක් කිව්වට මොකද, දේශපාලනඥයින්ගේ විශේෂ හමුවක් වුණා .

සජිත් ප්‍රේමදාස වගේම, සජිත්ගේ යාලු මිත්‍රයොත් සැහෙන්න ඇවිත් ඉඳලා. ඇමති ටිරාන් ට වගේම හිටපු ඇමති ගම්මන්පිලට ඒ අය අතර ඉඳලා තියනවා.

හැබැයි මෙතනදී විශේෂ ම අවධානයක් යොමුවෙලා තියෙන්නේ , ඩලස්ගේ කණ්ඩායමෙන් සජබට එකතුවෙන්න ආපු කට්ටියට. එතන GL , චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා, කළුතර අඛිල එල්ලාවල ට.. නාලක ගොඩහේවා ඉඳලා නෑ .. නාලක, මේ දවස්වල තරමක අසනීප තත්වයෙන් පසුවෙනවා කියලයි ආරංචිය .

සජබේ කීපදෙනෙකුත් බණට ඇවිත් හිටියා ලු. ඒ සේරම ලකීගේ හිතවත්තු.

ඒ අතර හමුදාවල හිටපු මේජර් ජෙනරාල් ලා, වයිස් අද්මිරාල් ලා, දෙතුන් දෙනෙකුත් ඇවිත් හිටියා කියලයි ආරංචි. එයාලා සජිත් එක්ක සෑහෙන වෙලාවක් කතාබහ කර කර ඉඳලා තියනවා.

'' අපිත් ළඟදීම දිස්ත්‍රීක් මට්ටමෙන් හමුදාවේ හිටපු ලොක්කන්ගේ සංවිධාන හදනවා. ' - සජිත්ගේ කැම්පේන් මැනේජර් සුජීව සේනසිංහ කට්ටියට කියලා තියෙන්නේ එහෙම.

වංචා දුෂණ චෝදනා නැති හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකතුකර ගනිමින් මාලිමාව මේ වෙනකොටත් දිස්ත්‍රීක් මට්ටමින් සංවිධාන ජාලයක් හදලයි තියන්නේ.

සුජිවත් දැන් එකම කරන්න යන පාටක් තමයි තියෙන්නේ .

ඒ කියන්නේ මාලිමාව අභියෝගයක් බව සජබ පිළිඅරගෙන කියන එක ද ? නැත්නම් සජබ, ජවිපෙ අනුරලා මාලිමාව අරගෙන ගිය ප්‍රචාරක මෙහෙයුම බයි පාස් කරන්න යනවද ?

  • දේශපාලන වාර්තාකරු

හෙට සිට දු.ක මිල ඉහළට !

සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මේ බව සඳහන් කර සිටියේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ සිරකඳවුරු තුළ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු හට සමාව හිමිව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ රාජකීය නියෝගයකට අනුව එම ශ්‍රී ලාංකිකයින් පිරිසට සමාව දී ඇති බව සදහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඒ බව නිල වශයෙන් දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

දෙසැම්බර් 02 වනදාට යෙදී තිබුනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දිනයට සමාගාමීව එම සිරකරුවන් පිරිසට එලෙස රාජකීය සමාව හිමිව ඇති බව ද අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එලෙස සමාව ලද ශ්‍රී ලාංකිකයින් පිරිස ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව කටයුතු සම්බන්ධීකරණය කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස 10,000ක්

එළඹෙන 2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි.

නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන් නිවාස ව්‍යාපෘති 06 චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මකයි. ඒ සඳහා චීන යුවාන් මිලියන 552 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවෙයි. ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 1996 කි. ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් ඇරඹෙයි. ඉතිරි නිවාස 4,500 කට ආසන්න සංඛ්‍යාව ඇපල් වත්ත, කොළඹ‍ගේ මාවත, ෆර්ගියුසන් පාර, ස්ටේඩියම් ගම, ඔබේසේකරපුර හා මාදම්පිටිය යන ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15,728 කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේයි. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව ජීවත්වන පවුල් 50,000 ක් පදිංචි කිරීම සඳහා 2010 වසරේ දී ආරම්භ කළ නාගරික පුනර්ජීවන වැඩසටහන කඩිනම් කිරීම සඳහා මෙම සහාය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 වසරේදීයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) අරමුදල් යටතේ එය ක්‍රියාත්මකයි.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකර ඇති නිවාස යෝජනා ක්‍රම සංඛ්‍යාව 23 කි. නිවාස ඒකක සංඛ්‍යාව 14,611 කි. පවුල් 11,269 නැවත පදිංචි කර තිබේ.

මේ අනුව නාගරික සංවර්ධන අධිකාරියට කොළඹ අක්කර 116 ක් නැවත සංවර්ධනය කිරීම සඳහා ලැබී ඇත. ඒ සඳහා නව ආයෝජන ව්‍යාපෘති හදුනා ගනිමින් තිබෙන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තවත් නිවාස 3,500 ක් මැදි ආදායම් නිවාස වැඩ සටහන යටතේ ඉදි කෙරේ. මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 11 කි. මෙම නිවාස ව්‍යාපෘති 11 ඉදිකීරීම් ආරම්භ වී තිබුන ද කොවිඩ් වසංගතය හා ආර්ථික ආර්බුදය හේතුවෙන් ඉන් කීපයක් තාවකාලිකව නතර වී තිබේ. එම නතර වී ඇති ව්‍යාපෘති එළඹෙන වසරේදී ආරම්භ කර කඩිනමින් අවසන් කරන බව ද ඇමති ඇමතිවරයා කියයි.

යුක්තිය දිගටම !

පාසල් අවට මීටර් 500ක සීමාව පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය රැසක් සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊට අනුව පාසල් 3,183ක් ඉලක්ක කරමින් මීටර් 500ක දුර සීමාව ආවරණය කරමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර ඇත .

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ජාවාරම් කරන සැකකරුවන් 217 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකළ සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 95ක්, ගංජා ග්‍රෑම් 7130, නීතිවිරෝධී දුම්වැටි 85ක්, මත්පෙති 16,561ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48ක් සහ මාවා කිලෝ 113කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඇතුළත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

aaa

ආපදාවලට මුහුණදුන් රාජ්‍ය සේවකයින්ට සහනයක් !

2023 සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර,ජල ගැලීම්,නායයෑම් ,මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා හටගත් ප්‍රවාහන දුෂ්කරතා ,අවතැන්වීම්,සහ විපත්වලට ලක්ව රාජකාරි ස්තානවලට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාදය හිමිවේ.

මෙම නිවාඩු ලබා ගැනීම සඳහා තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම තම ආයතන ප්‍රධානින් වෙත යොමු කල යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝකගේ අත්සනින් නිකුත් කර ඇති මේ සම්බන්ධ චක්‍රලේඛයේ සඳහන් වේ.

දුරකථන සේවා මිල ඉහළට !

වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි.

සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 18ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද සියයට 3කින් ඉහළ නැංවෙන බව සඳහන්ය.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් නිවේදනය කර ඇත.

ඇතැම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති අතර එමගින් ලබාදෙන දත්ත කෝටාව අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ වැට් බදු හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අවධානමකට ලක්වී ඇති බවය.

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක හඳුනාගත් ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදන අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, පස්සර යන ප්‍රදේශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට, නාඋල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් – ලංකාවට දැනුම් දීමක්

උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.

ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ අනුව රික්ටර් මාපකයේ ඒකක 6.5කින් එහි අගය සටහන්ව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය අනුව රික්ටර් මාපකයේ ඒකක 5.8ක් බව සදහන් කෙරේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු අඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

IMF ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ඕනෑම රජයක් යටතේ IMF EFF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

මාධ්‍යවේදී සනත් බාලසූරියගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති, ප්‍රවීණ ලේඛකයෙකු හා පරිවර්තකයෙකු වන සනත් බාලසූරිය මහතාගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලා ආචාරිනී ඒ.එම්.සී කුමාරිහාමි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය උඩුබද්දාව, උඩවෙලවත්ත නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස 5ට බුන්නැහැපොල ආදාහනාගාරයේදී සිදුකෙරෙයි.

Page 129 of 473