පුවත්

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට
හෙට (16) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇතැයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
ඒ අනුව කිරිපිටි රු. 08කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 15කින්, දේශීය අල රු. 15කින්, ආනයනික අල රු. 15කින්, කඩල රු.5කින් මිල අඩු කර තිබේ.
රතු නාඩු රුපියල් 02කින් හා සුදු නාඩු රුපියල් 05කින් අඩු කිරීමටත් පියවර ගෙන ඇත.

රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්
කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද(14) සිර දඬුවම් නියම කෙරිණ.
කුරුණෑගල මහාධිකරණය විසින් අද (දෙසැ 14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට සිර දඬුවම් නියම කෙරිණ.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ 13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ 2020 වසරේ ජූලි 14 වන දා ය.
එවකට කුරුණෑගල නගරාධිපති ධූරය දරනු ලැබුවේ ද තුෂාර සංජීව විතාරණ විසිනි.
කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා එවකට පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බව ය.

අද මධ්‍යම රාත්‍රියේ ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාවක් ගැන නිවේදනයක්
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මිථුන තාරකා රාශිය ආශ්‍රිත දක්නට ලැබෙන බැවින් ජෙමිනිඩ් ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී සිදු වන බව සඳහන්ය.
ඒ අනුව පැයකට උල්කාපාත 130-140ක් වැනි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය විසින් එම නිවේදනය කරයි.
වසරේ ආකර්ශනීයම උල්කාපාත වර්ෂාවක් වන ජෙමිනිඩ් නොවැම්බර් අග සිට සක්‍රීය වී ඇති අතර, එහි උච්චතම අවස්ථාව මෙම සතිය තුල දී සිදු වන බව පැවසෙයි.
උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ රාත්‍රී 11 සිට උදෑසන 3 අතර කාලය යි. එසේම එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබේ.

ගුවන් සේවා ක්ෂේත්‍රය ගැන පාසැල් සිසුන්ට පුහුණුවක්
සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන් හා එම ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු පිළිබඳ පාසල් සිසුන් දැනුවක් කරමින් අනාගතයේ එම ක්ෂේත්‍රවලට යොමුකිරීම සඳහා වූ මූලික අඩිතාලමක් දැමීම උදෙසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.
මේ අනුව 2024 වර්ෂයේ ගුවන්තොටුපොල ආශ්‍රිතව පවත්වන ඉහත වැඩමුළු හරහා ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසු දරු දැරියන් 1 500 ට වැඩි පිරිසක් පුහුණු කිරීමට මේ තුලින් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙතෙක් පාසල් ගුවන්සේවා සමාජ හරහා මේ සඳහා පාසල් ළමුන් තෝරාගත් අතර ඉහත වැඩපිළිවෙල හරහා ජාතික රූපවාහිනියෙන් විකාශය වන පූර්ව ප්‍රචාරක පටයේ සඳහන් වන කෙටි පණිවුඩ යොමු කිරීම හරහා ස්වංක්‍රීය කුසපත් ඇදීමෙන් මෙම පිරිස තෝරා ගැනේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා සිවිල් ගුවන්සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන ඉහත වැඩමුළු මාලාව සඳහා ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරිං සමාගම හා ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල ඇතුළු පාර්ශවකාර ආයතන දායකත්වය සපයයි.
වරාය. නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශය, ප්‍රවාහන, මාහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ
මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති අචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා අතර සිදුවිය. එම අවස්ථාවටවරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්, කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෙල්, ශ්‍රීලංකන් කේටරිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්විය.

ඊළඟ අයවැය ගේන්නේ හර්ෂ : හොඳටම බයවූ සජිත්ගෙන් මානසික අල්ලසක් !
ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් ගේ අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තුවේදී අද (13) පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අයත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා සිටියේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කර සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුද ? කියාය.
එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ කියාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දීමට ඇති සූදානම අධෛර්‍යමත් කිරීමේ උත්සාහයක විපක්ෂ නායක සජිත් නිරතව සිටින බව නිරීක්ෂණය වන බවයි.
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවැනිම ප්‍රයත්නයක් දැරූ බවද ඔහු සිහිපත් කළේය . සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් ගිය බවත් එම රාවය සත්‍යක් නොවන බව සිය මන්ත්‍රීවරුන් ට ප්‍රත්‍යක්ෂ කිරීමට විපක්ෂ නායකයා තමන් කිසිම විදිහකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන දීගයකට නොයන බව පැවසූ බවත් දේශපාලන විචාරකයා පෙන්වා දුන්නේ ය.
එම උපක්‍රමයම මේ අවස්ථාවේ ද දියත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ මුදල් ඇමති හර්ෂ ලෙස පැවසීම මානසික අල්ලසකට වඩා වැඩි දෙයක් නොවන බව සඳහන් කළ දේශපාලන විචාරකයා මේ වන විට විපක්ෂ නායක සජිත් ගේ ආර්ථික උපදේශක වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආර්ථික උපදෙස් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා බවත් ඒ ගැන දේශපාලන ක්ෂේත්‍රයම දන්නා බැවින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නොදැන සිටිය නොහැකි බවත් සඳහන් කළේය .
කෙසේ වුවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මුදල් ඇමති වීමේ ආශාවක් ඇති බව ඔහුගේ හැසිරීම විසින් පෙන්නුම් කරන නිසාත් ඒ සමග යළිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යාමට නියමිත සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ලැයිස්තුවේ හර්ෂ මන්ත්‍රීවරයා ගේ නමද ඉහළින් තිබීමත් යන තක්සේරුව සැලකිල්ලට ගෙන විපක්ෂ නායක සජිත් අවස්ථාවාදී මානසික අල්ලසක් නිකුත්කළ බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාකරුවන්ට අභියාචනාධිකරණයෙනුත් තීන්දුවක් !
දකුණු ආසියාවේ විශාලතම "වැට් බදු" වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තිදෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කර තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටී මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුවට පැමිණ ඇත.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවය.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය වීමක් සිදු නොවන හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවය.
ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණ.
2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් සම්බන්ධයෙන් සාපරාදී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් 2014 වසරේ සැප්තැම්බර් මස 26 වනදා බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.
මහාධිකරණ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මගහැර පළාගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි.

විමල්ගේ නඩුව දිගටම !
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද (13) ප්‍රතික්‍ෂේප කර සිටියේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට මෙම නඩුවේදී චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව අදාල නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.
ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවත්ය.

IMF දෙවැනි වාරිකයත් අනුමතයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට අදාළ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය ඊයේ (12) දින සම්පූර්ණ කරන ලදී.
මෙම පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම මගින් විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 254 ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 337 ක ප්‍රමාණයක් වහාම ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ඉඩ සලසනු ඇත.
ඒ අනුව මෙම පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ දක්වා ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 508 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 670 ක් පමණ) වනු ඇත.

අයවැය සම්මතයි : තහනම් වූ තිදෙනාටත් ජන්දය සඳහා අවස්ථාව !
2024 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ජන්ද සංඛ්‍යාව 81ක් වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත විණ.
මෙහිදී සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව 2024 වසරේ ජනවාරි 09 වනදා දක්වා සභාව කල්තබන බව කථානායවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේය.
එසේම මේ වන විට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබෙන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට ද අයවැය ජන්ද විමසීම සඳහා සහභාගී වීමට පමණක් අවස්ථාව සළසාදී තිබිණ.
පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.
අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට අද දක්වා පැවැත්වුණි.

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා, එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.
අයවැය විවාදයේ අවසන් දිනයේ (13) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
''අපි වැල් පාලමෙන් එගොඩ වුණා දැන් තියෙන්න වංක ගිරියක්''
'' මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා.
මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා..මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි. වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.
මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.

ඕනෑම පුද්ගලයකු ඕන මොහොතක සොයාගැනීමට හැකි පරිගණක පද්ධතියක් එයි : ඇමති ටිරාන්ගේ වැඩක් !
රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ය.
මෙසේ තොරතුරු රැස් කරන්නේ දෙමළ ජනතාවගෙන් පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් මෙම තොරතුරු රැස් කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
මෙම කාර්යය තමන් ආරම්භ කළ දෙයක් නොව යුද්ධ කාලයේ සිටම සිදු කර ඇති බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.

අක්කර බද්ද අත්හිටුවයි !
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සංවර්ධන නිලධාරීන් සමග අද (12) පැවැති සාකච්ඡාවකදීය.
අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා බදු මුදලකි.එම මුදල රජයේ ආදායමට බැර කරනු ලබයි.
අක්කර බදු වශයෙන් අය කරගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදුවී තිබේ.
එමනිසා ඉදිරියේදී අක්කර බදු අය කිරීම සම්පූර්ණයෙන්ම අතිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් මින් දශක කිහිපයකට පෙර බයිසිකල් බලපත් නිකුත් කිරීම මෙන්ම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත් නිකුත් කිරීම වැනි කටයුතු සිදු කෙරුණ ද පසුව ඒවා අත්හිටුවනු ලැබීය. ඒ ආකාරයට අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයක් පමණ වෙයි.
ගොවි ජනතාවගෙන් එම මුදල අය කිරීම සුදුසු නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පැවසීය.
සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන යොදා නොගැනීමටත්, ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙනත් සංවිධාන ව්‍යුහයක් සැකසීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

ක්‍රිකට් අතුරු කමිටුව අවලංගුයි !
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබේ.
සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවද සඳහන් කර ඇත .
තමන් මෙම තීරණය ගනු ලැබුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ ඇතුව බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවත් එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත .

ඩීසල් - ගල් අඟුරුවලට කැමති අය සුළං - සූර්‍ය බලයට අකමැති හේතුව ජනපති කියයි !
ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකි නමුත් සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් ලබාගත නොහැකි බැවින් එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පූනකරි වැවේ සිට කිලිනොච්චි නව ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියටද විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් විරෝධය දැක්වූ බවත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මෙවැනි විරෝධතාද හේතුවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ අමාත්‍යාංශයේ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (12) විවාදයට ගැනුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පුනකරි ව්‍යාපෘතිය යටතේ වැවක් හදලා අක්කර 20,000ක් නැවත වගාවට යෙදවීමට අපට අවස්ථාව තිබෙනවා. ඕස්ටේලියාවේ යුනයිටඩ් සෝලා එනජි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බැටරි මත රදා පවතින ආසියාවේ ලොකුම සුර්ය බළශක්ති පද්ධතියක් ශ්‍රී ලංකාවට ලැබි තිබෙන්නේ පළමු වතාවටයි. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මේ අයට අවශ්‍ය ගල් අඟුරු. නැත්නම් තෙල්. ගල් අගුරු සහ තෙල් වලින් කොමිස් ලැබෙනවා. නමුත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ
මෙවැනි ව්‍යාපෘතිවලට එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වුණා. අපි 2003 නොරොච්චෝලේ නතර කළා. මොකද එම ස්ථානය ඊට සුදුසු නැහැ. නමුත් ඔවුන්ට ඕන වුණේ නොරොච්චෝලේ හදන්න.
ත්‍රිකුණාමලයේ හෝ වෙනත් ස්ථානයක එම බලාගාරය ඉදිකළා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ.
අනිත් කාරණය බොහෝ ආයෝජන සමාගම් මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 30ක්, 40ක් ඉල්ලා සිටිනවා. නමුත් අපේ නීතියට අනුව ලබාදීමට හැකියාව තිබෙන්නේ වසර 20ක් පමණයි. එම නිසා එම නීති සංශෝධනය කළයුතුව තිබෙනවා.
මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රට දියුණු කරන්න බැහැ. අප තවම මේ තත්ත්වයේ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මේවට විරුද්ධ වූ නිසා.
එසේම තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා දැක් වූ අදහස් පහත දැක් වේ.
අමාත්‍යාංශය විසින් මා වෙත ලබා දුන් වාර්තාවට අනුව Pickme, Uber, Daraz වැනි සේවා සපයන්නන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විෂය පථයට නොගැනෙන නිසා ඔවුන් ආදායම් බදු හෝ වැට් බද්දෙන් නිදහස් නොකළ බව දැනුම් දී තිබෙනවා.
18%ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙම සමස්ථ ක්ෂේත්‍රයටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදල් මඟින් ලැබෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් බව මම කියන්න කැමතියි. තොරතුරු තාක්ෂණ සේවා සැපයීම 2019 දෙසැම්බර් 31 දක්වා වැට් බද්දට යටත් වූ අතර 2020 ජනවාරි 1 වනදා සිට එය වැට් බද්දෙන් නිදහස් වුණා. නමුත් නව සංශෝධනයට අනුව තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු ගෙවිය යුතුයි.
තොරතුරු තාක්ෂණ සමාගම් අපනයන ඉලක්කරගත යුතු නමුත්, එහි සේවා අපනයනය ශුන්‍ය අගයක් ගන්නා බැවින් තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තයට බරක් නොවන පරිදි කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒවගේම, ඉන්දියාවේ පවා සියළුම වර්ගයේ තොරතුරු තාක්ෂණික මෘදුකාංග සැපයුම් සේවා නිෂ්පාදන සඳහා භාණ්ඩ හා සේවා බදු අනුපාතය (GST) 18% ක් ලෙස පනවා තිබෙනවා.
ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට අප තීරණය කර තිබෙනවා. එය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතුයි.
මේ වන විට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන්, අපිට යම් සහයක් ලබා දෙන්න කියලා. ඇතැමුන් ඊට විරුද්ධ වෙනවා. ඔවුන් සෑම විටම කරන්නේ විරුද්ධ වීම පමණයි.
2003 අපි ටාටා සමාගම ගෙන ඒමට සූදානම් වු විට ඔවුන් සියලුදෙනා ඊට විරුද්ධ වුණා. නමුත් ඔවුන් ආදායම් එකතු කිරීම් සහ අභ්‍යන්තර කටයුතු සේවා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ අවධානය යොමු කළයුතුයි.දැන් ඔවුන් කියනවා ඔවුන්ට එය සිදු කරන්න පුළුවන් කියලා.
දැන් අවුරුදු 20කට පසුව නැවත අධාර් (ARDAR) පද්ධතියේ වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා.අප මෙය 2015 දී ආරම්භ කළ විට ඊට විදේශීය සේවකයන් අවශ්‍යද කියා ලොකු විවාදයක් ඇතිවුණා.
ඒක තමයි ලොකුම විවාදය බවට පත් වුණේ. එසේ නොමැතිව මෙම වැඩකටයුත්ත ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව නොවෙයි. අවසානයේ විදේශීය සේවකයන් ඊට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කෑගහපු අයගෙන් බාගයක්ම දැන් රටින් පිටවෙනවා.
අපට බරපතල පිරිස් හිඟයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම සමාගමකට විදේශීය පුද්ගලයින් අවශ්‍ය නම්, අපි එයට ඉඩ දෙනවා. අපි තවත් පිරිස් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා, නමුත් එයින් පුහුණු පිරිස් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. පළපුරුදු පිරිස් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ නිසා යම් සමාගමකට විදේශීය කාර්ය මණ්ඩලය අවශ්‍ය නම්, අපි ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි.
අප AI තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සඳහා පමණක් මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකහමාරක් වෙන් කර තිබෙනවා. ඒ වගේම වෙනත් තාක්ෂණික පර්යේෂණ සඳහා තවත් බිලියන 8ක් වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන භාවිතා කර මෙම ක්ෂේත්‍රයට ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළ යුතුයි.
අප සිදු කරන්නේ පර්යේෂණවලට අවධානය යොමු කිරීම සහ පර්යේෂණ වලට උදව් කිරීමයි. මොකද ඔබ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විභවය දෙස බැලුවහොත්, SLASCOM පවා බිලියන 5ක් පිළිබඳව කතා කළා. නමුත් අපි තවම බිලියන දෙකහමාරකටවත් ළඟා වී නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන්ට බිලියන හතකට පමණ ළගා විය හැකියි. ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සහාය රජය විසින් ලබා දීමට සූදානම්.
අපි ඉතා වේගයෙන් ඩිජිටල්කරණය දෙසට ගමන් කරමින් සිටිනවා වගේම අපි ඉදිරි වසර දෙක තුන තුළ එම අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට 18%ක වැට් බද්දක් ගෙවීමට සිදු විය හැකි නමුත් එයින් ඔබ රටේ සංවර්ධනයට දායක වෙනවා. අප කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මොකද අප AI තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් අපට අඩු ආදායම් සහ අඩු වැටුප් සහිත නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් මියන්මාරය සමග තරග කිරීමට සිදු වෙනවා. අලුතින් ඩිජිටල් පරිවර්තන ආයතනයක් පිහිටුවීමට අප කටයුතු කරන අතර එය යම් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වනු ඇතියි.නමුත් ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මෙන් ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධ වන්නේ නැහැ. මෙය වසර 10කට පෙර කළයුතුව තිබූ කටයුත්තක්.
ඒ වගේම ඩිජිටල් තාක්ෂණය සහ නවෝත්පාදන කවුන්සිලය පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා, එය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වාණිජකරණය කිරීම පිළිබඳව සොයා බලනු ඇතියි.
මෙම කටයුතු සඳහා මෙරට ඉතිහාසයේ කිසිදා මෙවන් මුදලක් වෙන් කර නැහැ. මෙවැනි විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ පළමු වතාවට බව කිවයුතුයි.
අපි ශක්තිමත් විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති රටක් බවට පත්විය යුතුයි. එසේ නැතිව අපට ඉදිරියට යන්න බැහැ. කෘෂී නවීකරණ වැඩපිළිවෙළද ඊට සම්බන්ධ වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය යොදා ගැනීම සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වෙනවා. මේ වෙන් කර ඇති මුදල් වලින් කොටසක් ඒ සඳහා ද ලබාදීමට අප අපේක්ෂා කරනවා.
අපට ඇත්තේ සීමිත භුමි ප්‍රමාණයක්. එය උපරිමයෙන් භාවිතයට ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කළයුතුයි. මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා. ඊට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වයක ලබා ගන්නවා.
ඒ වගේම වී ඇතුළු අනෙකුත් බෝගවල ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අප කටයුතු කළයුතුයි. විශේෂයෙන් රබර් ගත් විට අපට එම කර්මාන්තය ආශ්‍රිතව විසඳාගත යුතු ගැටළු තිබෙනවා.
ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවයක් පවතිනවා.
සුළං බලයෙන් පමණක් ගිගාවොට් 30ක් 40ක් දක්වා විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ප්‍රකාශ කරනවා. සූර්ය බලශක්තිය මගින් ගිගාවොට් 200ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර ඇති අතර ශෘහස්ත සූර්ය බලශක්තිය නොමැතිව එය දෙගුණයක් වන බව අමාත්‍යවරයා මට පැවසුවා.එසේ නම් මේ සඳහා අපට ඉහළ විභවතාවක් පවතිනවා. අපට මෙම බලශක්තිය ඉන්දියාවට අළෙවි කළ හැකියි. එහිදී අප හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
ඉංජිනේරු විද්‍යාවෙන් කිසිවෙකුට අපව පරාජය කරන්න බැහැ.අපේ රටේ පැරණි ගොඩනැගිලි ඊජිප්තුවරුන් ගොඩනැඟු ඇතැම් පිරිමීඩවලට වඩා උසස් මට්ටමක තිබෙනවා. එදා අපේ මුතුත් මිත්තන් ගොඩනැඟු චෛත්‍ය අර්ධ රවුම් ආකාරයට නිර්මාණය කෙරුණා. එය බොහෝ අසීරු කටයුත්තක්. ඒ වගේම සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණ අපේ රටේ සිදු කෙරුණා. එම නිර්මාණ අපේ රටේ විශිෂ්ටත්වය ලෝකය හමුවට ගෙන ගොස් තිබෙනවා. එවන් විශිෂ්ඨ නිර්මාණ ඇති අනෙක් එකම රට චීනයයි. චීනය සමඟ ගත්විට අප ඉතා කුඩා රටක්.
අද (අ.පො.ස) උසස් පෙළ විභාගය සමත්වන සිසුන් දෙස බැලූ විට දැනට පවතින විශ්වවිද්‍යාලවලට අමතරව ඔවුන් වෙනුවෙන් තවත් විශ්වවිද්‍යාල අවශ්‍ය වෙනවා. අප රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව එම විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. ඒ අනුව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධව තවත් විශ්වවිද්‍යාල දෙකක් කුරුණෑගල සහ සීතාවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව NSBM ආයතනය රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇතියි. චෙන්නායි IIT හි මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අප ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙනවා. එය ඉදිරියේදී ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරනු ඇතියි. මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ තාක්ෂණය සහ විද්‍යාව වෙනුවෙන්.
ඒ වගේම විදේශ ආධාර යටතේ තවත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප සාකච්ඡා කරනවා. මේ අන්දමින් නව විශ්වවිද්‍යාල තුන හතරක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවෙන් ලැබෙන විශ්වවිද්‍යාලයත් සමඟ එය පහක් බවට පත්වෙනවා.මෙම විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම සහතික කිරීම වෙනුවෙන් අප අවශ්‍ය නීති සංශෝධනය කරනවා.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට අප ඉඩ ලබාදෙන අතර ඒවායේ සියලු කටයුතු තාක්ෂණය සහ කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර මත පදනම් විය යුතුයි. අපේ අපේක්ෂාව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. මේ ආකාරයට විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමට අප කටයුතු කරනවා.
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ ඇති කළ මහවැලි කලාපය සහ නිදහස් වෙළෙඳ කලාප දෙක මේ රටේ සිදුවූ විශාල පරිවර්තනයක් බව කිවයුතුයි. අප දැන් සිදු කිරීමට සූදානම් වන දේ ඊටත් වඩා විශාල පරිවර්තනයක් වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. එම නිසා එය සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.
ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මෙම කටයුතු සඳහා මා සමඟ එක්වන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. අපි සියලුදෙනා එක් වෙලා රට තුළ විද්‍යාත්මක සහ තාක්ෂණික විප්ලවයක් ඇති කරමු.
ඒ වගේම ආයෝජන සම්බන්ධයෙන් නීති ගෙන ඒමට අප කටයුතු කරනවා. එළැඹෙන ජනවාරි, පෙබරවාරි මාස වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඉවත් වී යනු ඇතියි.එම කටයුතු සඳහා ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කෙරෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි ආයෝජන රටට ආකර්ශණය කර ගැනීම එහි අරමුණයි.
එහි කටයුතු දැන් සිදුවන අන්දමට වඩා වෙනස් ආකාරයට සිදුවනු ඇතියි.එහිදී කාර්මික ප්‍රදේශ සහ ආයෝජන කලාප වෙන් කෙරෙනවා. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ද පිහිටවනු ලබනවා. රජය සමග පෞද්ගලික අංශයත් ඊට සම්බන්ධ වෙනු ඇතියි. ඒ සියල්ලම පොදු සමාගම් ලෙස ලියාපදිංචි වෙනවා. ඉන් පසුව ඔවුන් ඔබට සේවාව ලබාදෙයි.
යෝජිත සංස්ථාව විසින් මෙම ආයෝජන කලාප අධීක්ෂණය සහ නියාමනය කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් ද පිහිටවනු ලබන අතර එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතියි. ඒ නිසා මෙම ආයතන තුන එකිනෙකට සම්බන්ධ වෙනවා. එය තමයි විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා අප විසින් සකස් කර ඇති නව ආයතන ව්‍යහුය.
ඒ වගේම වරාය කොමිෂන් සභා පනතෙන් එය මූල්‍ය නගරයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපිට ෂර්මන් සහ ස්ටර්ලින් සමාගමෙන් ලැබුණු කෙටුම්පත තිබෙනවා. ඔවුන් එය යාවත්කාලීන කර තිබෙනවා. ඔවුන් සිදු කරන්නේ රෙගුලාසි සකස් කිරීමයි.
එමඟින් අක්වෙරළ මූල්‍යකරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබෙනවා. රජයේ අපේක්ෂාවන් සහ ලබන වසරේ සැලසුම් කර ඇති කටයුතු ඔබට ඉදිරිපත් කිරිමට මම සිතුවා. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඔබ සියලුදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතියි කියා මම විශ්වාස කරනවා.
මම එදා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මගෙන් විමසුවා “ඔබ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය භාර නොගන්නේ ඇයි” කියා. මම කිව්වා “ජනාධිපතිතුමනි, මම නීතිඥයෙක්, මම විද්‍යාඥයෙක් නෙවෙයි” කියලා. ඔහු කිව්වා මම කියන දේ අහලා ඔබ එම අමාත්‍යාංශය භාරගන්න” කියලා. මට එදා එම අමාත්‍යාංශය තුළ බොහෝ වැඩ කිරීමට හැකි වුණා. ඒ වගේම මට නැවත එම අමාත්‍යාංශයේම වැඩ කරන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.

සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපති රනිල්ට ලිපියක් !
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් (Lee Hsien Loong) සඳහන් කරයි.
පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට යොමු කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

අලුත් ධීවර පනතක් එයි !
ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් එම කෙටුම්පත මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පැවසීය.
ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බව ද එමඟින් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ආර්ථික වශයෙන් කඩාවැටුණු අපේ රට යළි ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් විශිෂ්ඨ අයවැය සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධය සහ කොවිඩ් ආසාදනය වැනි විවිධ හේතු නිසා අපේ රට පසුගාමී තත්ත්වයකට පත්වුණා.
ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේ කොහොමද කියා අප සිදුකළ විදේශ සංචාරවලදී එම රටවල පිරිස් විමසා සිටියා. ඒ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම, පෞරුෂය සහ පවතින ආණ්ඩුවට සහය දෙන අය නිසා බව මම ඔවුන්ට පැහැදිලි කර සිටියා. ශ්‍රී ලංකාවේ ජනතාවත් මේ අර්බුද තේරුම් ගෙන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද මම සඳහන් කළා.
ඒ වගේම 2024 අයවැය මඟින් ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400ක් පමණ වෙන්කර තිබෙනවා. ඉන් මිලියන 6077ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් මිලියන 2323ක් පුනරාවර්තන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. මෙම මුදල් යොදා ගනිමින් ධීවරයන්ගේ ජීවනෝපාය ඇතුළු රටේ සංවර්ධනය වඩා හොඳින් ඉදිරියට ගෙන යා හැකි ආකාරය අපි ඉදිරිපත් කළා. එය පදනම් කරගෙන අපට ඉදිරියට යා හැකියි. රජය විසින් ලබාදෙන මෙම මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අප රටේ සමුද්‍ර කර්මාන්තය දියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහයෝගය ද අපේක්ෂා කරනවා.
ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා. විවිධ හේතූන් මත ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ ද මිල ඉහළ යාම ගැන රජයට දොස් කියන්න බැහැ. ඒ නිසා පවතින සියලු අවස්ථාවන් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනිමින් සමුද්‍රීය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අප සැලසුම් සකස් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම භාවිතා කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා.
එමෙන්ම ධීවර කටයුතු සඳහා බෝට්ටුවල බැටරි මෝටර් යොදා ගැනීම පිළිබඳවත් අපි විධිමත් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. එමඟින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන අතර ඉන්ධන ප්‍රශ්නයටද විසඳුම් ලැබෙයි. අපි ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.
ඒ වගේම අපේ අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් සංශෝධිත නව පනතක් ගෙන ඒමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පතක් ලෙස සකස් කර තිබෙනවා වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගැනීම සඳහා ද යොමුකර තිබෙනවා.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නියැළීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් හරහා සාකච්ඡා කොට විසඳාගත යුතු වනවා. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධීවර ප්‍රශ්නය ප්‍රාන්ත රජයේ බල සීමාවට අයත් වනවා. උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී සෘජුවම ඉන්දියාවට ගොස් පාන්ඩිචෙරි සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ඇතුළු ඉන්දීය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම හොඳම විසඳුම බව මගේ ස්ථාවරයයි.

සුරේෂ් වඩුවේල්ට තවත් තනතුරක් !
සමගි ජනබලවේගය පක්ෂයේ සිට ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩුවේල් හට තවත් තනතුරක් පිරිණමා තිබේ.
ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන්, එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙසය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති කෙටි පණිවිඩයක සඳහන් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි.

සක්විති රණසිංහට රු. ලක්ෂ 18ක දඩයක්
මූල්‍ය සමාගම් පනත උල්ලංඝණය කරමින් සමාගමක් පවත්වා ගෙන යාම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන ‘සක්විති රණසිංහ’ හෙවත් අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.
ඒ, ඊට අදාළ නඩුව අද (දෙසැ. 12) විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දෙන ලෙස ය.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් කර ඇති කරුණු දැක්වීම සලකා බලා ඇති විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර දී තිබේ.
2006 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත නඩුව පවරනු ලැබ තිබිණි.
Page 135 of 473