ගෙවීගිය සති දෙක තුන ඇතුළත අපේ රටේ සමාජ මාධ්‍ය පිරී ඉතිරි ගියේ ලංකාවේ භික්ෂුන්වහන්සේලා සම්බන්ධ ළමා අපචාර සිදුවීම්වලිනි. ළමා අපචාරයක් කන වැකුණු සැණින් වගකීම් සහිත පුරවැසියකුට ඇතිවෙන්නේ කෝපයෙන් ඇළලී යන ජුගුප්සා ජනක හැගීමකි. එය අසාමාන්‍ය තත්වයක් නොව සාමාන්‍ය ස්වාභාවය යි.
විද්‍යාව සහ තාක්ෂණයෙන් ළමා පරපුර සන්නද්ධ කළ යුතු ය
ළමා පරපුර යනු රටේ අනාගතය යි. වින්දිත දරුවකුගේ බුද්ධි වර්ධනයේ බොහෝ සංකූලතා ඇතිවන බව විද්‍යාත්මක මතය යි. දිගුකාලීන මානසික රෝගවල වින්දිතයින් බවට පත්වන්නේ වැඩිහිටියන් අතින් කෙලසීමට ලක් වූ දරුවන්ය. අපේ රටේ ජනතාව ගෙන් බහුතරයක් විශාදය, සාංකාව සහ පශ්චාත් කම්පන ආතතිය ( Post Traumatic Stress Disorder) යනාදි අනේකවිධ මානසික රෝගවලින් පෙළෙන්නන් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.
21වන සියවසේ ජීවත්වන අපි ලෝකය ජයගැනීමට නම් විද්‍යාව සහ තාක්ෂණයෙන් ළමා පරපුර සන්නද්ධ කළ යුතු ය. එහි දී, ශාරීරික සහ මානසික සමබරතාව අත්‍යාවශ්‍ය අංගයක් වේ. දරුවාගේ ශාරිරික සහ මානසික සමබරතාව පවත්වාගෙන යෑමේ දී රජයකට පැවරෙන වගකීම සුළුපටු නොවේ. අනේකවිධ මනෝ ව්‍යාධිවලින් පෙළෙන වැඩිහිටියන් ගෙන් දරුපරපුර මුදවා ගැනීම ප්‍රමුඛතාවය දියයුතු කාර්යයකි. අවුරුදු තිහක යුද්ධයකට මැදි වී සිටි තරුණයෝ දැන් වැඩිහිටියෝ වෙති. යුද්ධයෙන් පසු ඔවුන්ව පුනරුත්ථාපන කිරීම රජයෙ වගකීමකි. එහෙත් එවැන්නක් ලංකාවේ කවදාවත් සිදුවූයේ නැත. රණවිරුවෝ යන නාම කරණයෙන් හඳුන්වන ඔවුන් පශ්චාත් කම්පන ආතතියෙන් පෙළෙන්නන් නොවේ යයි කිවහැක්කේ කාට ද...?
තුන් වසරක් තුළ භික්ෂුන් 300කට ළමා අපචාර චෝදනා
භික්ෂුන් වහන්සේලා අපි හඳුන්වන්නේ 'ජාතියේ මුරදේවතාවෝ' යන අන්වර්ථ නාමයෙනි. උන්වහන්සේලා අපේ උරුමය රැක ගැනීමත් දියුණු කිරීමත් අරබයා අතීතයේ සිට ම ප්‍රමුඛත්වය ගත්හ. උන්වහන්සේ නීතිය සහ අර්ථය ගැන රජුන්ට අනුසාසනා කළහ. මිනිසුන්ට භාෂා ශාස්ත්‍ර ඉගැන්වූහ. ගද්‍ය පද්‍ය ග්‍රන්ථ රචනා කළහ. සදාචාරය මිනිසුන්ට ඉගැන්වූයේ උන්වහන්සේලා ය. ජාතික ආපදාවක් පැමිණි ඕනෑම මොහොතක පෙරමුණ ගත්තේ උන්වහන්සේලා ය. පසුගිය සියවසේ ජාතියට නායකත්වය දුන් භික්ෂූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල, පැළෑනේ සිරි වජිරඥාණ, වැලිවිටියේ සෝරත, පොල්වත්තේ බුද්ධදත්ත සහ හේන්පිටගෙදර ඥාණසීහ නාහිමිවරු (මෙහි සඳහන් කළේ මගේ මතකයට ආ ඉතා සුළු පිරිසකගේ නම් පමණි) ප්‍රමුඛ වූහ. මේකී භික්ෂූන් විවිධ සමයාන්තරයන්හි මෙන්ම භාෂා ශාස්ත්‍ර කලාවන්හි හසළ දැනුමක් තිබු ජනතාව ගේ නැණස පෑදු පඩිවරු වූහ. ඓතිහාසිකව ගත්කල භික්ෂුව ගේ සමාජ වගකීම අගය කළ යුත්තකි. උන්වහසේලා අංජලිකරණය වූහ. එහෙත් පසුගිය දවස්වල භික්ෂූන්වහන්සේලා ගැන අහන්නට ලැබුණේ සිත සුවපත් කරවන පුවත් නොවේ. භික්ෂුන්වහන්සේලා 300 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර තුන ඇතුළත දී පමණක් ළමා ළිංගික අපචාරවල චූදිතයන් හෝ වැරදිකරුවන් වූ බැව් ළමා ආරක්ෂක අධිකාරයේ වාර්තාවකින් පෙන්වා දෙයි.
ලාංකීය භික්ෂු භික්ෂුණීන් ගේ අපචාර ක්‍රියා
ගෙවීගිය සති කීපය ඇතුළත වැඩියෙන් ම සමාජ මාධ්‍ය කැලඹීමට ලක්වුණේ පල්ලේගම හාමුදුරුවන් ගේ ලිංගික අපයෝජන සිද්ධිය යි. ඒත් එක්කම තවත් ළමා අපචාර සිදුවීම් ගණනාවකින් දවසින් දවස සතියෙන් සතිය සමාජ මාධ්‍ය ජාලා පිරී ඉතිරි ගියේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන්බිදුනුවැව, සිවලාකුලම ප්‍රදේශයේ ශ්‍රී සීවලි චෛත්‍යරාමාධිපති 40 හැවිරිදි පොල්ගම්පොල ධම්මාලොක හිමියෝ අවුරුදු 10 බාල වයස්කාර දරුවෙකුට බරපතළ ළිංගික අපචාර කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී අවුරුදු 24 කට සිරදඩුවම් ලැබුණි. තවද අනුරාධපුර ප්‍රදේශයේ ම හබ්බේගමුවේ චන්දානන්ද හිමිට අවුරුදු 7ක සිරදඩුවමක් නියමවූයේ 2016 මැයි මාසයේ දී දිනකට පෙර පැවිදි වීමට පැමිනි 14 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙනි. 65 වියති මුල්ලේරියාවේ විමල තිස්ස හාමුදුරුවෝ තඹුත්තේගම තළාකොලවැවේ ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමයේ විහාරාධිපති වහන්සේ යි. 2022 වසරේ මැයි මාසයේ අවුරුදු 14 ක බාලවයස්කාර දරුවකුට කරන ලද ලිංගික අපයෝජනවලට අවුරුදු 30 හිරදඩුවමක් ලැබුණේ ය. බලංගොඩ, පින්නවල, උයන්හේන සිරිශීල සේනාසනයේ විහාරාධිපතිනි නවනැලියේ සුබෝධි හෙවත් ත්‍රිපිටක මෑනියෝ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සිල් මෑනියෝ තම පා සෙවණේ හැදෙන වැඩෙන සිල්මාතාවන් බවට පත් වූ බාලාවයස්කර දැරියෝ තම පැරණි පෙම්වතාට දන් දීම පිළිබඳ සිදුවීම හද සසල කරවන්නකි.
විහාර දේවාළ ගම් පනත අහෝසි කිරීම නම් සම්ඵප්ප්‍රලාප
ලංකාවේ සමාජයත් ආගමික සංස්ථාවනුත් මෙලෙස ළමා අපචාර සහ කාම අපරාධවලට කෙළිමඩලක් වූයේ කෙසේද? අපට සිද්ධවූයේ කුමද්දැයි නැවත සිතා බැලීමට භික්ෂුන් උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් සමාජ ක්‍රියාකාරිකයින් යනාදින් එකතුව නව මානයක කතිකාවක් ආරම්භ කළ යුතු ය. මගේ විශ්වාසය අනුව ආගමික සංස්ථාවල යල්පැන ගිය පැරණි ආකෘති වෙනුවට නව ආකෘතීන් ආදේශ කළ යුතුයි. පැරණි ආකෘති තව දුරටත් භික්ෂුව ගේ ප්‍රගමනයට කිසිසේත්ම ඉවහල් නොවේ. පැරණි ආකෘතිය නිසර්ගයෙන් ම අපයෝජනයට සහ සූරාකැමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේය. ආකෘතිය යනුවෙන් මා මෙහි දී අදහස් කරන්නේ දේපොළ මත පදනම් පවත්වාගෙන යන ආගමික ආයතන සමූහය යි. මෙහි ආකෘතියත් බුදුන් ගේ දේශනාත් අතර ඇත්තේ අහසට පොළොව බඳු වෙනසකි. අත්හැරීම වෙනුවට අත්පත්කර ගැනීම. මේ අන්ත දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස් ය. එය ''යාදෙක නොරත රත'' මෙනි. සංඝාධිකරණ පනත, ධර්ම සංඝායනා සහ විහාර දේවාළ ගම් පනත අහෝසි කිරීම බඳු සාකච්ඡා හුදු සම්ඵප්ප්‍රලාප පමණි . එසේ වූ පමණින් ශාසනය පිරිසිදු වන්නේවත් භික්ෂුන් සිල්වත් වන්නේවත් නැත. ටික කලකට මෙවැනි අපචාර සිදුවීම් යටපත් වීමට ඉඩ තිබේ . ඒවා නැවත ඉස්මතුවීම නොවැළැක්විය හැක්කකි.
ප්‍රධාන මාධ්‍යයේ ගොළුවත
මෛතුනධම්ම සේවනය භික්ෂුන්ට අකැපය යන්න බුද්ධ ආඥාවයි. ලිංගිකත්වය තහනම් වූ ඕනෑම සමාජයක ඒ ලිංගික ආවේග වෙනස් වේශයකින් සමාජය මත මුදා හරිනවා. මනුෂ්‍යා කෙරෙහි පවත්නා ආශා අතරින් වඩාත්ම ප්‍රබල කාමාශාවයි. මානව පරිණාමයේ දී මෙය අපට ලැබුණු උරුමයකි. සතුන් ලිංගිකව හැසිරෙන්නේ වසරේ යම් නිශ්චිත කාලයක් තුල දී පමණි. එහෙත් මිනිසා ගේ මනස දිගුකාලයක් තිස්සේ පරිණාමයට භාජනය වූ නිසා ලිංගිකත්වයට කාලසීමාවක් නැත. බුදුන්ගේ අනුශාසනාව කාමාශාව යටපත් කිරිම නොව විදර්ශනා ප්‍රඥාවෙන් ප්‍රහානය කිරීම හෙවත් මුලිනුපුටා දැමීම යි.
කෙසේ වෙතත් පසුගිය මාස දෙකක් පමණ කාලය ඇතුළත භික්ෂු ළමා අපචාරවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගිය බැව් කවුරුත් දන්නා කරුණකි. ඇතැම් භික්ෂූන් හා ගිහියන් මෙය ශාසන විරෝධි වැඩක් ලෙස තර්ක කරන්න පුළුවන්. එහෙත් සමාජය අවදිකිරීමටත්, නව නීතී රීතී හදුන්වාදීමටත්, අලුත් කතාබහක් සමාජය තුළ ගොඩනැගීමේ අටියෙන් සමාජ මාධ්‍ය කළ මෙහෙය අගය කළ යුත්තකි. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය මේ සිදුවීම් සම්බන්ධයෙන් නොඇසූ කන් ඇතුව සිටි බැව් ප්‍රසිද්ධ රහසකි.
#MeToo ව්‍යාපාරය; ආරම්භය සහ සේවා

2017 වසරේ අමෙරිකාවේ කරළියට පැමිණි ''මී ටූ'' (#MeToo) ව්‍යාපාරය හරහා වැඩපොළෙහි දී කාන්තාවන්ට සිදු වූ අඩන්තේට්ටම් සහ ලිංගික අපචාර අවම කරගැනීමටත් සමාජ කතිකාවක් ඇතිකර ගැනීමටත්, අවසානයේ දී නව නීති හදුන්වාදීමටත් සමාජ මාධ්‍ය මහත් වැඩකොටසක් ඉටුකළේ ය.
2017 වසරේ හොලිවූඩ් නිළියක වූ අලයිසා මිලානෝ (Alyssa Milano), ජනප්‍රිය චිත්‍රපට නිෂ්දකයකු වන හාර්වි වයින්ස්ටයින් (Harvey Weinstein) විසින් කරණ ලද ලිංගික අපයෝජනය ඇයගේ ට්වටර් ( Twitter) ගිනුමේ ප්‍රසිද්ධ කළා ය. මෙය සමාජ මාධ්‍ය තුළ ගින්නක් මෙන් ඇවිළී ගියේය. වයින්ස්ටයින්ගෙන් අතවරයට ලක් වූ බොහෝ දෙනා ඉදිරියට පැමිණ ඔවුන්ට සිදු වූ අතවර ද හෙළි කළහ. මීට අමතරව ඇමෙරිකාවේ කාන්තාවන් තමන්ට වැඩපොළෙහි දී මුණපාන්නට සිදු වූ ලිංගික අතවර ගැනත් සමාජ මාධ්‍යයේ හෙළි කළහ. මේ හෙළිදරව් නිසා වයින්ස්ටයින්ට එරෙහිව නීතිමය පියවර ගැනිණ. 2020 දි නිව්යෝක් අධිකරනයෙන් ඔහු වැරදි කරු බවට පත් වි අවුරුදු 24 ක සිරදඩුවමක් ලැබිණ. අභියාචනකින් පසුව 2024 වසරේ දී ලොස්ඇන්ගලිස් අධිකරණයෙන් ඔහුට ඇවුරුදු 16 හිරදඩුවමක් ලැබිණ.
‘මී ටූ’ කරළියට පැමිණියේ 2017 වසරේ දී වුව ද, එහි ආරම්භය සිදුවන්නේ මීට දශකයට පෙරාතුවය. ඒ තරන බර්ක් (Tarana Burke) නමැති කළු ජාතික කාන්තාව, ඇයට තරුණ කාලයේ දී පාසැලේදී සහ වැඩපොළෙහිදී ද අත්විදින්නට සිදු වූ ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව සටන් කිරීම සදහා මිතුරියන් කීප දෙනකු සමග ඇරඹූව්‍යාපාරය යි.
#MeToo ) ව්‍යාපාරයට මුල් වූ තරන බර්ක් (Tarana Burke) ගේ ඡායාරූපයක්
“මී ටූ” ඇමෙරිකාවට පමණක් සීමා නොවුණි. සමාජ මාධ්‍ය හරහා යුරෝපයෙත් තවත් බොහෝ රටවලත් මෙය වයිරල් වී ගියේය. මේ නිසාම ඇමෙරිකාවේ කාන්තා හිංසනය සම්බන්ධ නව නිතී හදුන්වා දුන්නේය. මේ අතර (Statues of Limitations) හෙවත් ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට යම් කාලසීමාවක් නියම වී තිබුණි. “මී ටූ” ව්‍යාපාරයෙන් දුන් තෙරපුම නිසා එකී කාල සීමාව අහෝසි කළේ ය.
ඒ අනුව බලනවිට ලංකාවෙ සමාජ මාධ්‍ය කලේ ඇමෙරිකාවෙ ( #MeToo ) ව්‍යාපාරය දුන් සටනට සමාන සටනකි. ඒ නිසා අපගේ උත්තමාචාරය එකී යූ ටියුබ් මෙහෙයවන්නන්ට සහ ඔවුන්ගේ මාධ්‍යා සගයන්ට අපගේ ප්‍රනාමය හිමිවිය යුතුය. ඔවුන්ගේ සටන ඉදිරියටත් කරගෙන යෑමට ධෛර්ය ලැබේවා.
සටහන - සුගත් සෙනවිරත්න
මූලාශ්‍ර - hari-maga.com
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
