V2025

පුවත්

විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි.

2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ.

2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු ය.

කෙහෙළියගෙන් ඇප අයැදුමක්

මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පත්‍රයක් අද (මාර්තු 15) ගොනු කර ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට තමාන්ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත් තමන් විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම් ද එම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ත් ඔහු සිය ඇප ඉල්ලීමෙන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ නියෝග අවලංගු කරමින්, ඕනෑ ම ඇප කොන්දේසියක් මත තමන්ව මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ඇප අයැදුම්පත්‍රය මගින් මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලා ඇති එම ඇප ඇයැදුම්පත්‍රය සලකා බැලීම සඳහා ලබන මාර්තු 18 වන සඳුදා මෙම නඩුව මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිත ය.

පොන්නාලේ සිදුවීම : නාවික සෙබළුන් ගැන විමර්ශනයක් !

යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසන්නේ අදාළ විමර්ශනයේදී නාවික හමුදා සෙබළුන් වැරදිකරුවන් වුවහොත් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවය.

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දියේ පිහිටි නාවික හමුදා මුරපොළ අසලදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට අමානුෂික අයුරින් පහරදී පැහැරගැනීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 11 වනදාය.

එලෙස පැහැරගැනීමෙන් පසුව පිරිමි පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබුණි.

එදින පැහැරගැනීමේ සිදුවීම නාවික හමුදා මුරපොළ අසල CCTV කැමරාවක සටහන්ව තිබු බවද වාර්තා වෙයි.

2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට !

2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

2022 වසරේ දී නව පනත් 29 ක් සහ 2023 වර්ෂයේ දී නව පනත් 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව නව පනත් සහ සංශෝධිත පනත් සමස්ත සංඛ්‍යාව 107ක් වනවා. මෙය අධිකරණ අමාත්‍යාංශයේ ඉතිහාසයේ සංශෝධනය කර ගැනීමට හැකිවූ වැඩිම පනත් සංඛ්‍යාව ලෙස හැඳින්විය හැකියි.

ඒ වගේම බන්ධනාගාරවල සිටින රැදවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මකයි. සපත්තු, කොයිල් සහ ආහාර මෙමඟින් නිෂ්පාදනය කෙරෙනවා.

එමෙන්ම දඩුවම් කාලයේදී නිවාස අඩස්සියේ රැඳවා තැබීම හරහා දඩුවම් කාලය අවසන් කරන්නේ (House arrest concept) කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. එය 2024 වසරේ දී නිතීයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් බන්ධනාගාර තදබදය සහ ආහාර ගැටළුවට විසඳා ගැනීමට හැකි බව සඳහන් කල යුතුයි.

මේ වන විට රැඳවියන් සඳහා වසරකට රුපියල් බිලියන 04ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. රැදවියන් 12,000ක් සිටිය යුතු බන්ධනාගාර තුළ මේ වන විට රැදවියන් 30,793ක් සිටිනවා. මේ ගැටලුව විසඳීම සඳහා ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතයි.

තව ද 2023 වර්ෂයේ දී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2024 වර්ෂය සඳහා අපේක්ෂිත ලාබය රුපියල් 92572967.00ක් වනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා යොමු වී බන්ධනාගාරගත කර සිටින රැදවියන් සඳහා නිවැරදි පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට මෙන්ම නිපුනතාවයක් ලබාදිය යුතු වනවා. ඒ සඳහා පැවති ප්‍රජාවිශෝධන ක්‍රමවේදය වඩාත් සක්‍රීය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදුකල වැඩසටහන් සඳහා 2023 වසරේ දී පුද්ගලයින් 14,026ක් යොමු කළා. එම ප්‍රමාණය 2024 වසරේ දී 15,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගර සඳහා යොමු කර සිටින රැදවියන් පුනරුත්තාපනය කිරීමට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි 22ක් සහ අක්කර 22ක භූමි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ අක්කර 06කින් යුත් කාන්තා පුනරුත්තාපන ඒකාබද්ධ මධ්‍යස්ථානයක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

තවද අධිකරණය සහ මහජනතාව සමඟ සහසම්බන්ධතාවය වර්ධනය කිරීමට සෑම ග්‍රාමසේවා වසමකම සංහිඳියාව සඳහා කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සර්වාගමික උපදේශක මණ්ඩල පිහිටුවීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බෝවන රෝග සඳහා වෙන්කර තිබූ මඩකලපුව මාන්තිව් දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවය පළකර තිබෙනවා. එය පුනරුත්ථාපන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට විද්වත් කමිටුවක් : පොල් කර්මාන්තය නැංවීමටත් පියවර !

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණ, සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඉදිකිරීම් සේවා ප්‍රවර්ධනය කිරීම, විකල්ප අරමුදල් සම්පාදනය සහ කොන්ත්‍රාත් උපදේශන ගැටළු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතන ප්‍රධානීහු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරගකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය (National Chamber of Coconut Industry Sri lanka) පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.

පොල් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණු අතර ක්ෂේත්‍රයේ නියුතු වූවන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පොල් කර්මාන්තය හා සම්බන්ධ සියලූම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතනවල ප්‍රධානීහු සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20240314 WA0012

අයි.එම්.එෆ්. - ජාතික ජන බලවේගය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) ඇතුළු නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් ට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන අය සාකච්ඡාවට එක්ව සිටි ඇත.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වී තිබේ.

නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළියට ඇප නෑ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අවසන් වරට අධිකරණය හමුවට ඉදිරි පත් කර තිබුණේ මාර්තු 1 වන දා ය.

නැවත මෙම නඩුව මාර්තු 28 වනදා කැඳවන බවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීමට පනතක්

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම ‍සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළයුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.

අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.

සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.

රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා.

ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,

මනස සුවපත් කරන මෙවැනි උද්‍යාන මීට පෙර හිමිව තිබුණේ අගනුවරට පමණයි. අද වන විට පාරිසරික උද්‍යානයක පහස විඳගැනීමට ගාල්ලේ ජනතාවට හැකිවී තිබෙනවා . ආර්ථික අර්බුදය පැවැති පසුගිය කාලයේ සංවර්ධනය අඩාල වූ බව අප කවුරුත් දන්නවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා නැවත රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා.

වසර 65ක් පුරා ප්‍රතිසංස්කරණය නොවූ ගාලු පුරහල ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කළා. එකම සම සෞඛ්‍ය පීඨය ගාල්ලේ ඉදිවෙමින් තිබෙනවා. නව අධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු 80%ක් පමණ අවසන් කර තිබෙනවා.

එය ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ “හෙල්මුට්කෝල්” මාතෘ රෝහලේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයක් ලබන 27 වෙනිදා විවෘත කිරීමට නියමිතයි. කරාපිටිය ශික්ෂණ රෝහලට නව වකුගඩු ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට නියමිතයි. හෘද ඒකකය සහ සීටී ස්කෑන් යන්ත්‍ර සදහා රුපියල් මිලියන 800ක් මේ වසරේදි වෙන් කර තිබෙනවා. ආර්ථික අභියෝග හමුවේ වුවද ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද වන විට සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙමින් පවතිනවා.

වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ,

රිචඩ් පතිරණ අමාත්‍යවරයා ගාල්ල පුරවරයට මෙන්ම අධ්‍යාපනයට විශාල සේවාවක් සිදු කළා. එම සේවාව ඉදිරියට ගෙන යාමට රමේෂ් පතිරණ මහතා විශාල කැපවීමකින් කටයුතු කරනවා.

විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකයි. ඉන්ධන පෝලිම්වල ජනතාව මැරී වැටෙන අවස්ථාවක, පොහොර නැතිව ගොවීන් පාරෙ උද්ඝෝෂණ කරන අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම භාරගත් එතුමා අද රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීලා ගොවීන් නැවත ගොවි බිම්වලට යැවීමට කටයුතු කර තිබෙනවා.

2022 වසරේදී මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. නමුත් 2023වසරේදී අපේ පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ඉහළ නැංවීම පිළිබඳ ලබා දුන් පොරොන්දුව අනුව ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන ජනතාවට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර දීමට ජනාධිපතිමා කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සම්පත් අතුකෝරළ යන මහත්වරුන් මෙන්ම පළාතේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෛද්‍ය තුසිත සුදර්ශන ගුවන් තොටුපළේදී අත්අඩංගුවට !

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන ව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි .

පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට වෛද්‍ය තුසිත සුදර්ශන විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .

Kaleidoscope 2024 Screen media for Gen-Z" මාධ්‍ය වැඩසටහන ඇරඹේ : PMD වැඩක්

"පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත "Kaleidoscope 2024 Screen media for Gen-Z" මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්, මාධ්‍ය ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර වැඩසටහන මාර්තු 20 වනදා ආරම්භ කෙරේ.

මෙහි පළමු අදියර සඳහා සක්‍රීය මාධ්‍ය ඒකක සහිත පාසල් තිස් එකකින් සිසුන් 158 ක් තෝරාගෙන ඇති අතර, Unilever ලංකා සමාගම, SLIT අධ්‍යාපන ආයතනය, Lanka IOC සමාගම සහ මහවැලි කේන්ද්‍රය මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේ තම මතය පමණක් සන්නිවේදනය කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම සමාජය නොමඟ යවමින් තිබෙන බවයි. එබැවින් පාසල් දරුවන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් බව පැවසූ ජනාධිපති ලේකම්වරයා මෙහි උපරිම ඵල නෙළා ගන්නා ලෙස ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්ව සිටි පාසල් සිසු දරු දැරියන් සහ ගුරුභවතුන් මෙම වටිනා අවස්ථාව හිමිවීම පිළිබඳව සිය සතුට සහ ස්තුතිය පළ කර සිටියහ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය

මේ පාඨමාලාවේ විෂය නිර්දේශය පිළිබඳ අවධානය යොමු කළ විට තාක්ෂණික කරුණු ගණනාවක් තිබෙනවා. ආයතන කිහිපයකට ගොස් ලබාගන්නා දැනුම මෙම එක පාඨමාලාවක් මගින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පාසල් දරු දැරියන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදිය යුත්තේ ඇයි? පාසල් දරු දැරියන් මාධ්‍ය අධ්‍යාපනය ලබා ගත යුත්තේ ඇයි? ලංකාවේ තිබෙන බහුතර මාධ්‍ය ආයතන ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ මතය රටට සන්නිවේදනය කිරීමයි.

එය ජනතාව නොමඟ යවනවායැයි පැවසීම වරදක් නොවේ. තම තමන්ගේ මාධ්‍ය අභිමතාර්ථ මත එම මාධ්‍ය ආයතන මාධ්‍ය හැසිරවීම සිදු කරනවා. ජනතාව ලෙස අප එය තේරුම් නොගතහොත් වැරදි පාරක යාමට සිදු වෙනවා. මෙම පාඨමාලාවේ තිබෙන වැදගත්කම වන්නේ එම තර්කය තේරුම් ගැනීමයි.

අප අංක ගණිතය ඉගෙන ගනු ලබන කාලයේ විදුහල්පතිතුමා විසින් අපට එම විෂය උගන්වනු ලැබුවා. එතුමා උස ජාතික ඇඳුම් අඳින ගුරුවරයෙක්. එතුමා කළු ලෑල්ල මත අංක ගණිත ප්‍රශ්නය විසඳනවා. නමුත් එම ප්‍රශ්නය විසඳන තර්කය අපට ඉගැන්වුයේ නැහැ. අපගේ පාසල් සමයේත්, විශ්වවිද්‍යාල සමයේත් ප්‍රශ්න පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා දුන්නට එය විසඳන තර්කය කියා දුන්නේ නැහැ.

එම ලබා නොදුන් දැනුම අද මේ දරු දැරියන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එවිට මාධ්‍ය ආයතන හැසිරෙන අන්දම සහ ඔවුන්ගේ අභිමතාර්ථ මේ දරුවන්ටම තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා.

ජනමාධ්‍ය ආයතන විසින් පෙන්වන සොසේජස් එකම අපි කන්න ඕනද? පත්තරේ ලියා තිබෙන ප්‍රවෘත්තිය කියවා ඊට එහා ගිය ආලවට්ටම් අප පිළිගත යුතුද යන්න දැන ගැනීමට මෙමගින් හැකියාව තිබෙනවා. එසේ නොමැති නම් අප අපේම මතයක් තේරුම් ගන්නවද කියන කාරණාව මෙම පාඨමාලාව හරහා ඔබට තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් තැනකට ගෙන යා හැකියි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා

අපේ දරුවන්ගේ අධ්‍යාපන දැනුම වගේම මානසික සුවය ඉතා වැදගත් වෙනවා. මානසික සුවය දරුවාට නැත්නම් රජකම ලැබුණත් වැඩක් නැහැ. එබැවින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ඉතාම අගය කළ යුතු කරුණක්. මෙවැනි අගනා වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශයට මෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ස්තුතිවන්ත වෙනවා.

අද අපට පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් නවක සේවකයන් සම්බන්ධයෙන් අහන්න ලැබෙන්නේ සුබදායක කරුණු නොමෙයි. සහයෝගයෙන් වැඩ කරන්න බැහැ. නිර්මාණශීලීත්වයක් නැහැ. ඔවුන් උපාධි සහතිකයට පමණක් සීමා වෙලා. ඉන් ඔබ්බට දෙයක් ලබන්න නම් මෙවැනි අමතර වැඩසටහනක් සංවිධානය කිරීම අවශ්‍යයි. පොත පතේ දැනුමට වඩා තර්කානුකූලව සිතන, සහයෝගයෙන් වැඩ කරන දරු පරපුරක් අද අපට අවශ්‍ය්‍යයි.

තර්කානුකූලව සිතීමට, සහයෝගයෙන් වැඩ කිරීමට හෝ නිර්මාණශීලිත්වය නොමැති නම් දරුවන් ඉගෙන ගන්නා දෙයක් නිසියාකාරව සමාජගත වන්නේ නැහැ. ඒ නිසා කටපාඩමින් කියවන, අන් අයෙක් අනුකරණය කරන මාධ්‍ය පිරිසක් බිහි නොවිය යුතුයි. අපි අන් කිසිවෙක්ව අනුකරණය කළයුතු නැහැ.ඔබට අනන්‍ය වූ රටාවක් ඔබට තිබෙනවා. ඔබටම අනන්‍ය වූ එම රටාව සොයා ගන්න. ඔබ වෙනස් කෙනෙක්, විශේෂ කෙනෙක් වෙන්න. ඔබ කියවන දේ අනිත් අයට නිසියාකාරව සන්නිවේදනය කරන්න. ඇසූ. දුටු පමණින් යමක් පිළිගන්න එපා. විවේචනාත්මකව තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. තනිවම දෙයක් කරනවාට වඩා සාමූහිකව යමක් කරන්න උත්සාහ කරන්න.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක

ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩකටයුතු ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් ගත වන විට ජනාධිපති මාධ්‍ය අංශයට ICT අංශයේ සිටි මහත්මයෙක් පුංචි ලිපියක් ගෙනවිත් දුන්නා. ඒ ලිපියේ තිබුණේ අපේ කැකිරාව විද්‍යාලයට මාධ්‍ය පුහුණු වැඩසටහනක් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස සහ මාධ්‍ය අංශය නැරඹීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි. එම පුංචි පත්‍රිකාව අද දවසේ දින ගණනාවක්, මාස ගණනාවක් ගත වුණාට, ඉතාමත් සැලසුම් සහගත, සකසා සපුරා ඉටු කරගත හැකි ව්‍යපෘතියක් බවට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපේ උත්සාහය පැවතියද මේ මොහොත නිර්මාණය වුණේ පාර්ශ්වකරුවන් තිදෙනෙක් නිසයි. එම ආයතනවල ප්‍රධානීන්ට අප ස්තුතිවන්ත වෙනවා.

අප මේ පිළිබඳ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිතුමා දන්වා සිටියේ එය ක්‍රියාත්මක කළයුතු බවයි. ඒ අනුව පෞද්ගලික අරමුදල් ආශ්‍රයෙන් මේ සුවිශේෂී වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. මෙම වැඩසටහන දරුවන් වෙනුවෙන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් වැඩිහිටි ඔබ සැමගේ ආශිර්වාදය සහ මගපෙන්වීම ද අත්‍යාවශ්‍යයි. මෙම වැඩසටහන සති 16ක වැඩසටහනක්. සතියකට එක් දිනය බැගින් දින 16ක් ක්‍රියාත්මක වෙනවා.

මෙහි පළමු අදියර යටතේ මාධ්‍ය පිළිබඳ පසුබිම මූලිකව හඳුනා ගැනීම සිදු කෙරෙනවා. ඒ වගේම දෙවැනි අදියර යටතේ අප විසින් සහ දරුවන් විසින් හඳුනා ගන්නා තමාට කුසලතාවක් ඇති ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දින 06ක් වැඩිදුර අධ්‍යාපනය ලබා දීම සිදු කෙරෙනවා. විද්වත් ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් එම අධ්‍යාපන ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරනු ඇතියි.

ඒ වගේම මේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයට ගැළපෙන පරිදි විෂය ක්‍රියාකාරකම් ලබාදීමට සම්බන්ධ කර ගන්නා ලෙස අප ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ආරාධනා කළා. එම සියලු මාධ්‍ය ආයතන අපත් සමග එක් වී සිටිනවා. ඒ අනුව මේ දරුවන්ට එම මාධ්‍ය ආයතනවලට ගොස් දින දෙකක කාලයක් එහි ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා.

ඒ වගේම ඕනෑම මාධ්‍යවේදියෙකු තමන්ගේ සන්නාමය සහ අළෙවිකරණය පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ඉහළම අත්දැකීම් ඇති ආයතන පරිශ්‍ර තුළ එම අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

අද පවතින ලෝකයට පමණක් නෙවෙයි නව්‍යතාව සමඟ හෙට ලෝකයට අවශ්‍ය දැනුම අප එක් කර ගත යුතුයි. ඒ සඳහා වන ප්‍රායෝගික දැනුම ලබාදීමට SLIT අධ්‍යාපන ආයතනය අපත් සමග එක්වී සිටින අතර ඒ අනුව දරුවන්ට වගේම ගුරුවරුන්ටත් සුවිශේෂ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මාධ්‍ය ලෝකයේ මුල් අංකුර බවට පත් වන්නේ පාසල් මාධ්‍යවේදීන්. මේ කතා කරන මමත් පාසලක මාධ්‍ය සමාජයක සාමාජිකයෙක්. මෙතන සිටින අප බොහෝ වැඩිහිටි මාධ්‍යවේදීන් මාධ්‍ය හඳුනා ගත්තේ පාසලින් හෝ දහම් පාසලින්. නමුත් අපේ වෘත්තීය ජිවිතය ආරම්භ වීමත් සමඟ අප මෙම ගමන අතහැර ගන්නවා. මාධ්‍ය ක්ෂේත්‍රය තෝරාගනු ලබන්නේ ඉන් අතළොස්සයි. කුමන ක්ෂේත්‍රයක තම ඉදිරි කටයුතු සැළසුම් කළද සන්නිවේදකයෙකු වීම කිසිදු ආකාරයක වරදක් නොවන බව මා විශ්වාස කරනවා. නිවැරදි සන්නිවේදකයෙකුගෙන් ආයතනයටත්, සමාජයටත්, රටටත් විශාල පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතාව වන්නේ යහපත්, නිවැරදි මාධ්‍යවේදියෙකු සේම මනා සන්නිවේදකයෙකු මෙම වැඩසටහන අවසානයේ බිහි කිරීම බව මම ප්‍රකාශ කරනවා.

එපමණක් නොව මෙම දරුවන් අතරින් විශිෂ්ට කුසලතා දක්වන දරුවන්ට එළැඹෙන ජුනි මාසයේ දී ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු ඒකකවල වගකීම අවම මට්ටමකින් දින දෙකකටවත් පැවරීමට බලාපොරොත්තු වෙනවා. රටේ රාජ්‍ය නායකයාගේ මාධ්‍ය ආවරණය මෙහයවීමේ වගකීම දැරීමට එවිට ඔවුන්ට අවස්ථාව උදා වෙනවා. එවන් වගකීමක් දැරිය හැකි මාධ්‍යවේදින් පිරිසක් සමාජයට බිහි කිරීමේ පළමු පියවර ලෙස මෙම Kaleidoscope 2024 වැඩසටහන අප ආරම්භ කරනු ලබනවා.

මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනි වසන්ති නානායක්කාර මහත්මිය විසින් සිදු කළ අතර යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මාධ්‍ය හා ක්‍රියාකාරකම් ප්‍රධානී චමින්ද සමරකෝන් මහතා ද දේශනයක් සිදු කළේය.

පාසල් සිසු සිසුවියන් සහ ගුරුභවතුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර එම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර යන මහත්වරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් , මාධ්‍යවේදීන් සහ අනුග්‍රාහක ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බොරු පොරොන්දු දෙන්න බෑ : ජනපති තරුණ ප්‍රජාවේ මුහුණටම කියයි !

 
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
 
එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත්  තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) පැවැත්විණි.
 
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.
 
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.
 
එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය. 
 
මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා විසින්  ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
 
එහිදී   ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ. 
 
ප්‍රශ්නය 
 
වර්තමානය වන විට ජංගම දුරකතනවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තුවල ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔබතුමා මාර්ගගත අධ්‍යපාන ක්‍රමය හදුන්වාදීම නිසා පසුගිය කොරෝනා සමයේ එය විශාල පහසුවක් වුණා. ඒනිසා තරුණ තරුණියන්ගේ සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට ඔබතුමා ගෙන ඇති පියවර කුමක්ද?
 
පිළිතුර 
හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. 
 
ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට  නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
 
ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට  වැඩසටන් ක්‍රියාත්මක  කරන බවයි.  යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි. 
 
ප්‍රශ්නය
 
රජයට බරක් නොවී තම දක්ෂතාවලින් ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන පිරිසක් මෙතන සිටිනවා. ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය කුමක්ද?  ඒ වගේම විද්‍යාර්ථයින්  ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද? සබරගමුව පළාත තුළ ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීම් මේ වන විටත් සිදුකර නැහැ.මේ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?
 
පිළිතුර
 
ගුරුවරු බඳවා ගැනීමේදී අසාධාරණයක් වූවා යැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. එම ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා  බඳවා ගැනීම් කල් දමා තිබෙනවා. මෙම නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
 
ඒ වගේම ස්වයං රැකියා සිදුකරන ව්‍යවසායකයින්ට   ආධාර උපකාර ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්වයං රැකියා සිදු කරන පිරිස්  කඩා වැටීමකට ලක් වුණා. එකවර විශාල ප්‍රමාණයකට බැංකු ණය ලබාදීමෙන් ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකිය. එම නිසා ස්වයංරැකියාවල නියුතු  ප්‍රජාවගේ ප්‍රමුඛතා අනුව බැංකු ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර ස්වයං රැකියා ලාභීන්ට ලබා දුන් බැංකු ණය නැවත අයකර ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ ස්වයං රැකියා සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතුයි. මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට විශාල දියුණුවක් ලබමින් තිබෙනවා. 
 
ප්‍රශ්නය
 
ක්‍රීඩකයන්ගේ පෝෂණ ප්‍රශ්න ගණනාවක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 
 
පිළිතුර 
දැනට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ සඳහා සහනයක් ලබාදී තිබෙනවා. මීට වඩා සංවිධානාත්මකව ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම පුහුණු ස්ථාන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට වයස අවුරුදු 8 සිටම පෝෂණය ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා පාසල් ක්‍රීඩකයන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නංවාලීමට පෞද්ගලික ආයතන දායක කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා.  ක්‍රීඩකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් ලබාදීම ද සිදු කරනවා. අනෙක් රටවල්වල වාණිජ මට්ටමෙන් ක්‍රීඩාව සිදුකරන නිසා ඊට පෞද්ගලික ආයතනවල දායකත්වයත් සෘජුව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටම දක්වා දියුණු වී නැහැ.  ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටමට දියුණු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙනවා.
ප්‍රශ්නය 
 
ජනතාවට අස්වැසුම වැඩසටහන මඟින් ලබාදෙන රුපියල් 5000ට සීමා නොවී එම ජනතාවගේ හැකියාවන් හදුනාගෙන පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාග්ධනය සැපයීමේ වැඩපිළිවෙළකට යා හැකිනම් එය වඩා ප්‍රායෝගිකයි නේද, ?
 
පිළිතුර
අප පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී පළමු වගකීම වුණේ ජනතාව ජීවත් කරවීමයි. වෙනත් ව්‍යාපාර කිරීමට පෙර ඔවුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති සාකච්ඡාවලදීත් මෙම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට තීරණය කළ විට අපට මුහුණ දීමට සිදුවු පළමු ප්‍රශ්නය වුණේ ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි. ඉන් පසුව අස්වැසුම වැඩසටහන ආරම්භ කිරිම වෙනුවෙන් ලෝක බැංකුව අපට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදුන්නා. සමෘද්ධියෙන් ජනතාවට ලබාදුන් මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අප එම මුදල මෙන් තුන් ගුණයක් අස්වැසුම මඟින් ජනතාවට ලබාදීමට කටයුතු කළා.  සුදුසුකම් සම්පූර්ණ කළ අය සඳහා සෘජුව එම මුදල් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. මෙම සහය නැතිව ජනතාවට ඉදිරියට යාම අපහසුයි. 
 
ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව මෙම මුදල්  පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වියදම් කරනවා. එවිට වෙළෙඳපොළ දියුණු වනවා. ඒ හරහා ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය සහ කඳුකර දශකයට ලබා දී ඇති මුදල් වැය කිරීමේදීත් ඒවා නැවත ලැබෙන්නේ රජයටයි. පසුගිය කාලයේ ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත බිඳ වැටී තිබුණා. නැවත මේවා ගොඩනඟා ගැනීම තුළින් ඒ මුදල් නැවත රටේ ආර්ථිකයට එක් වෙනවා. 
 
මෙම කටයුතුවලින් වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල්වලින් තමයි ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේම 2023 වසරේ සිට හොඳ අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කළා. මේ සියලු කටයුතු වලින් අපේ ආර්ථිකයේ පරිහරණය කරන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. 
ඒ වගේම ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුළ තට්ටු නිවාසවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදිමේ වැඩපිළිවෙළ ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. 
 
ප්‍රශ්නය
 
දුරබැහැර ප්‍රදේශවල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම වෙනුවෙන් වඩා හොද සන්නිවේදන පහසුකම් ලබාදිය හැකිනම් එය ඉතා යෝග්‍ය වෙනවා නේද,
 
පිළිතුර
 
ඇතැම් ප්‍රදේශවල මෙම ගැටලුව තිබෙනවා. අප උත්සාහ කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමටයි. ගමේ තිබෙන පහසුකම් තුළින් තමයි ගම දියුණු වෙන්නේ. අපි එම පහසුකම් දැන් ක්‍රමාණුකූලව වැඩිදියුණු කරගෙන යනවා.
 
 විශේෂයෙන් SLT සමාගම පුද්ගලික අංශයට භාරදුන් විට මෙම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට දැනුම් දෙනවා.  නවීන තාක්ෂණය නොමැතිව අපට ඉදිරියට යන්න බැහැ. අපේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ආණ්ඩුවට මුදල් නැහැ. ඒ නිසා පුද්ගලික අංශය සමග මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 
 
 ප්‍රශ්නය
 
පසුගිය පාලන සමයේ වංචා කළ මුදල් නැවත අය කර ගැනීමට ක්‍රමයක් නැහැ. මේ අයුරින් මහජනතාවගේ මුදල් වංචා කළ නොහැකි අන්දමේ නීතියක් ගෙන එනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද,
 
පිළිතුර
 
රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්. 
 
ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා. 
 
රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය  ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි. 
 
ප්‍රශ්නය
 
සිනමා කලාව තවම කර්මාන්තයක් නොවෙයි. කර්මාන්තයකට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් කර්මාන්තවලට ලැබෙන වරප්‍රසාද සිනමා කර්මාන්තයට ලබා දෙන ලෙසත්, සිනමා පට බෙදාහැරීමේ ක්‍රමයේ පවතින අඩු පාඩු සකස් කර දී මෙම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 
පිළිතුර
චිත්‍රපට ප්‍රමාණය වැඩිවීමත් සමඟ චිත්‍ර පටියක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කිරීමට වසර 05ක් වැනි කාලයක් ගත වෙනවා. නමුත් චිත්‍රපටයක් නිර්මාණ කළ විගස එය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි.  මේ ප්‍රශ්නය පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. 
 
ඒ වගේම සිනමා කර්මාන්තය දියුණු කිරීමට නම් හොඳ සිනමා ශාලා අවශ්‍යයි. ඒ නිසා අනෙක් රටවල් වගේ සිනමාව වෙළෙඳ පොළට විවෘත කිරීමෙන් සිනමාව දියුණු කළ හැකියි.  නමුත් මෙය කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වශයෙන් ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඵලක් නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසදීම පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. 
 
 
ප්‍රශ්නය
 
රටේ ඇති වී ඇති ආර්ථික ගැටලුව සහ එයට කඩිනමින් විසඳුම් ලබාදී ආර්ථිකය ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිළි කළහොත්?
 
පිළිතුර 
 
මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දෙයක්. යුද්ධයෙන් පසුව අපේ අපනයන අඩු වුණා. නමුත් ආනයන වැඩි වුණා. මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇති වුණා. අපි අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. රටේ තේ, පොල්, රබර් කර්මාන්ත කඩා වැටුණා. අපේ ඉඩම් ප්‍රතිපත්ති නිසා මෙරට තේ වගා කළ විදේශ සමාගම් අප්‍රිකාව, කෙන්යාව වැනි රටවලට ගොස් තේ වගා කිරීමට යොමු වුණා. ඔවුන්ගේ රටවල එම වගාවන් හොදින් සිදුවන නිසා එම රටවල් දැන් අපට ස්තූති කරනවා.
අපි අපේ අපනයන කර්මාන්තය දියුණු කළේ නැහැ. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මගෙන් විමසුවා ඔබ ඔබේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද, කියලා. දැන් මට ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙනවා. 
අපේ දේශපාලනඥයන් ජනතාවට පොරොන්දු ගොඩක් ලබා දුන්නා. නමුත් අපි ඇත්ත ලෝකය දෙස බැලුවේ නැහැ.  බංග්ලාදේශය නිදහස ලබන විට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අද බංගල්දේශය අපට ඩොලර් මිලියන 200ක් ලබාදී තිබෙනවා. අපේ රටට මොකක්ද වුණේ කියලා දැනගෙන අප ඉදිරියට යා යුතුයි. ඒනිසා පොරොන්දු දීලා වැඩක් නැහැ.
 
ඇතැම් අය කියනවා ජාතික ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි කියලා. ජාතික ආර්ථිකය කියලා අභ්‍යන්තර වෙළෙදපොළට සීමා වෙනවා නම් එය ජාතික ආර්ථිකයක් නොවෙයි. පරාක්‍රමබාහු රජතුමාටත් අපනයනය කිරීමට සිදු වුණා. එසේ නම් ඇයි අපට අපනයන ආර්ථිකයකට යොමු විය නොහැකියි. 
 
මම මේ තනතුර භාරගත්තේ වෙන කවුරුත් එය භාරගැනීමට ඉදිරිපත් නොවූ නිසයි.  වගකීම් භාර ගැනීමට ඔවුන් බිය වුණා. එයයි සත්‍ය තත්ත්වය.
නමුත් තවමත් විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. එක් පිරිසක් කියනවා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල් පිටරට තිබෙනවා ඒ මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. තවත් පිරිසක් කියනවා දේශපාලනඥයන් පිට රට බැංකුවලට දාපු මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. ඒ වගේම රාජපක්ෂලාගේ මුදල් නැවත අය කර ගත් විට ප්‍රශ්නය ඉවරයි කියනවා. මේ එකක්වත් විසදුමක් නොවයි. 
 
රටේ අපනයනවලට වඩා ආනයන වැඩිනම් අපි ණය ලබාගත් විට අපට එම ණය ආපසු ගෙවන්න බැරි වෙනවා. පසුගිය වසර ගණනාව පුරා සිදු වුණේ එයයි. 
 
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් අය රට අතහැර ගියා. දැන් කියනවා එංගලන්තයට වඩා ලංකාව හොදයි කියලා. එංගලන්තයේ තිබෙන ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්න තරම් පහසුවෙන් විසඳාගන්න බැහැ. අපි අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යමු කියලා මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.
 
 ප්‍රශ්නය
 
සනීපාරක්ෂක තුවා සඳහා අසාධාරණ ලෙස 47% පමණ ඉහළ බදු පැනවීමක් කර ඇති බව අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. එය සත්‍ය නොවන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද ප්‍රකාශ කර තිබුණා. නමුත් මෙය ඇත්තටම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳ ඇත්ත දැනගන්න අවශ්‍යයි ? 
 
පිළිතුර
 
ඔබ ඇසූ ප්‍රශ්නයට ඇමැතිතුමා පිළිතුරක් ලබාදී  තිබෙනවා. අනික් ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමාණය වීම. බදු ප්‍රශ්න වලට අමතරව මේ හේතුව නිසාත් අද මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා. කාන්තා ජනගහනයෙන් අඩකට පමණ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට නොහැකි වී තිබෙන නිසා මෙය රටේ ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසා එය හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානයට ලක්ව තිබෙනවා. බදු නොගෙව්වොත් අයවැය පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නැතිවෙනවා. බදු අය කළහොත් මිල වැඩි වෙනවා. ඉතින් මේවා තමයි මේ මොහොතේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්න. ඒ නිසා මෙය අප අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්.ඒ බව මම පිළිගන්නවා.
 
ප්‍රශ්නය
 
මේ වසරේදී පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කිරීම පිළිබඳ ඔබගේ අවදානය යොමු කරනවාද? 
 
පිළිතුර
 
 ලබන  වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ලබන වසරේ සිට  පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.
 

කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධූරයට !

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක පත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇත.

මෙතෙක් ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඊයේ (12) එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

කාවන් රත්නායක මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධාන විධායක නිලධාරී ධුරයන් දරා තිබේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස හෝ වෙනත් වගකීම් සහගත තනතුරක් සඳහා රෝලන්ඩ් පෙරේරා පත්කිරීමට නියමිත බැවින් ඔහුගේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි.

මහ බැංකුවේ වැටුප් වැඩි කරගන්න පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි : නීතිපතිය දන්වයි !

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සියයට 70 කින් වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතිය මත සිදුකළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

එහිදී එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීන අරමුදල පාර්ලිමේන්තුවට වගකිවයුතු බවය.

ඒ අනුව මහ බැංකු නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩිකර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ මහ බැංකු නිලධාරීන් ගේ වැටුප් වැඩිකර ගැනීම 70% කින් සිදුකර ගැනීම අසාධාරණ බව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්වයෙන් ගේ ස්ථාවරය වී තිබූ බවය.

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න අභාවප්‍රාප්ත ‍වෙයි

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් විය.

මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකු ද විය.

ඔහු ලක්හඬ ගුවන්විදුලියේ ද වසර 06ක පමණ කාලයක් වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කළේ ය.

ඔහු මෙරට ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැලකෙන රිජ්වේ තිලකරත්නගේ එක ම සොහොයුරා ද වෙයි.

අභියෝගවලට මුහුණදිය හැකි ප්‍රතිපත්තිගරුක අනාගත පරපුරක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි – ජනපති

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ඊයේ (11) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

රටට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීමේ දී එදා මෙදා තුර කොළඹ වෙස්ලි විද්‍යාලය පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විද්‍යාලයට සිය ස්තූතිය පිරිනමන බවද සඳහන් කළේය.

කොළඹ වෙස්ලි විද්‍යාලය 1874 වසරේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය පැවති සමයේ මෙතෝදිස්ත මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ ආරම්භ කරන ලද පාසලක් වන අතර එම විද්‍යාලය ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීන්, අග්‍රාණ්ඩුකාරවරුන්, දේශපාලන නායකයින්, ව්‍යාපාරිකයන්, විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට සේවයක් සිදුකළ කීර්තිමත් පුද්ගලයින් රැසක් රටට දායාද කිරීමට සමත්වී ඇත.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය “කෘත්‍රිම බුද්ධිය (AI) සහ අනාගතය ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රම” යන තේමාව යටතේ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ඇමරිකා එක්සත් ජනපදයේ සෙන් ඩියේගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්. සෝමනාදන්  විසින් සිදු කළේය.

ඇල්ස්ටන් කොක්, ලැනරෝල් සහෝදරයින් වැනි ප්‍රවීණ ගායකයන් ඉදිරිපත් කළ විශේෂාංගවලින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙම සංවත්සර සැමරුම සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් සහ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරය සහ එහි ඉතිහාසය පිළිබඳ සම්පාදිත විශේෂ කෘතියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය,

වෙස්ලි විද්‍යාලය ආරම්භ කර වසර 150ක් සම්පුර්ණ වීම සමරන මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.

එමෙන්ම නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වෙස්ලි විද්‍යාලය සිදු කළ සේවයට ජාතිය වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීමට ද මා මෙය අවස්ථාවක් කරගන්නවා.

ඔබ විද්‍යාලයේ සංවත්සර සැමරුමක් සඳහා මම සහභාගීවන දෙවන අවස්ථාව මෙයයි. වෙස්ලි විද්‍යාලය රට වෙනුවෙන් කළ සේවාව සලකා මීට සහභාගීවිය යුතු බව මම තීරණය කළා.

ජාතිය ගොඩනගන පුද්ගලයන් බිහි කිරීමේ දී වෙස්ලි විද්‍යාලය මහඟු සේවයක් ඉටු කර තිබෙනවා. වෙස්ලි විද්‍යාලය පුද්ගලයින් සහ නායකයින් හැඩගැස්වූවා. ඔවුන් ජාතිය හැඩගැස්වූවා.

ඒ වගේම 1915 කලබල සමයේදී වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති හෙන්රි හයිෆීල්ඩ් මැතිතුමා ඉටු කළ භූමිකාව මා මෙහිදී සිහිපත් කළ යුතුයි. එතුමා ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමේදී ජාතික නායකයන්ගේ ජීවිත බේරා ගැනීමට මැදිහත් වූ එක් අයෙක්. එෆ්. ආර් සේනානායක මැතිතුමා අභාවයට පත් වී හිඩැසක් නිර්මාණය වූ අවස්ථාවේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමා එම නායකත්වය භාරගත්තා.

ඔහු රටේ ජනතාවගේ මතය හැඩගැස්වූවා වගේම සර්වජන ඡන්ද අයිතිය මත තෝරාගත් සභාවක් තුළ වැඩ කිරීම සඳහා අපව පුහුණු කළා. සර්ව ජන ඡන්ද බලය හිමි වූ ආසියාවේ පළමු රට බවට පත් වූයේ අපයි. ඒ නිසා ඔහු කළ සේවයට අප ඔහුට ණය ගැතියි. ඒ වගේම ඔහුව නිර්මාණය කළ වෙස්ලි විද්‍යාලයටත් අප ණයගැතියි.

ඒ වගේම වෙළෙඳාමේදී භාවිත කළ යුතු උපක්‍රම පිළිබඳ අපට කියාදුන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාව බිහි කළේ ද වෙස්ලි විද්‍යාලයයි.1942 වසරේ කොළඹට බෝම්බ හෙළු අවස්ථාවේදී, කොළඹ නගරය මුහුණදුන් තත්ත්වය මගේ දෙමව්පියන් මට පවසා තිබෙනවා. ඒ කාලයේ සිටි ජනතාවට එය අමතක වන්නේ නැහැ.

අපට නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඩී. එස්. සේනානායක මහතා ඔහුව ලන්ඩන් නුවරට පිටත් කළා. නමුත් ඔබ සියල්ලන්ටම එය අමතක වී තිබෙනවා. 1919 දී ජාතිවාදී කෝලාහල ඇතිවු අවස්ථාවේදීත්, 1958 වසරේ ඇති වුණු තත්ත්වයේදීත්, එතුමා රට භාරගෙන පාලනය කළා.

අගමැතිවරයා සහ රටේ පරිපාලනය කඩා වැටුණු අවස්ථාවේදී එය පාලනය කළ පුද්ගලයා එතුමා බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කළ අවස්ථාවේදීත් එතුමා රට භාරගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. ඒ නිසා මේ පුද්ගලයින් දෙදෙනා පිළිබඳ සලකන විට ඔවුන් බිහි කළ වෙස්ලි විද්‍යාලය ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටු කර තිබෙනවා.

අධිකාරම් මැතිතුමා , වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ඇතුළු බොහෝ පිරිසක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් මෙම පාසලෙන් බිහි වූ අය බව අප දන්නවා. ඒ නිසා සමස්ත ජාතියම වෙස්ලි විද්‍යාලයට ණයගැතියි. ඒ නිසා ඔබ මතක තබාගන්න ඔබේ පාසලේත් මගේ පාසලෙත් පළමු කාර්යය වූයේ පුද්ගලයින් නිර්මාණය කිරීමයි. ඔවුන් නැගීසිටිය හැකි පුද්ගලයින්, තීරණ ගත හැකි පුද්ගලයින්, බිය නැති, එඩිතර පුද්ගලයින් ලෙස බිහිව තිබෙනවා.

මේ පාසල් තුලින් ශ්‍රේෂ්ඨ චරිත රැසක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා තමයි අප අදටත් අපේ රට වෙනුවෙන් අපගේ සේවය ලබා දෙමින් සිටින්නේ. පළා යාම ඔබ ඉගෙන ගත් දේ හෝ මම ඉගෙන ගත් දේ නොවෙයි. අපට උගන්වා ඇත්තේ අපගේ ප්‍රතිපත්තිවල සිටිමින් සෑම විටම එය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමටයි.

අධ්‍යාපනයෙන් විය යුත්තේ ද මෙයයි. පොත පතේ දැනුම, නවීන තාක්ෂණය මෙන්ම ක්‍රිඩාව ඇතුළු විවිධ විෂයන් ඔබ ඉගෙන ගත යුතුයි.

මේ වන විට අප පාසල්වල කෘත්‍රීම බුද්ධිය (AI) පිළිබඳ සංගම් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවගේම කෘත්‍රීම බුද්ධිය සහ කෘත්‍රීම බුද්ධිය නියෝජිත ආයතනය පිළිබඳ අලුත් නීතියක් ගෙන එනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා අප රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා. මෙම කටයුතු නිසි ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන විට අපට යහපත් අනාගතයක් කරා ගමන් කළ හැකියි.

අපි පාසල් අධ්‍යාපනය ලබන සමයේ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ආධාර ලබන පාසල් වශයෙන් පාසල් වර්ග කිහිපයක් තිබුණා. අවාසනාවකට මෙන්, ඔබ සියලු දෙනාම දැන් එක පැත්තකින් රජයේ පාසල්වලටත් තවත් පැත්තකින් ජාත්‍යන්තර පාසල්වලත් සිරවී සිටිනවා. අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම අපේ රටට සේවයක් කළ මෙවැනි පාසල්වලට රජයෙන් උදව් කළහැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිමට ද අප බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ රටට සේවයක් සිදු කර තිබෙනවා වගේම ඔබට තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ අප ගෙන එනවා. ඒ පිළිබඳ නව සැලසුම් රැසක් අධ්‍යාපන අමාත්‍යවරයාට තිබෙනවා.

ඒ වගේම කොවිඩ් සමයේ නිසි වේලාවට විභාග පැවැත්වීමට නොහැකි වුණා. ඒ මත ඇති වූ ගැටලුව අවසන් කිරීමට ද කටයුතු කළයුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කළයුතු පාසල් බොහොමයක් තිබෙනවා. එහිදි වෙස්ලි විද්‍යාලය වැනි පාසල්වලට පුළුල් කාර්යභාරයක් පැවරෙනවා. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාව හැඩගැස්වීමට දායක වූ විද්‍යාලයක් බව මා නැවත ප්‍රකාශ කළයුතුයි. ඒ වගේම අනාගතයේදීත් එය එලෙසම සිදුවන බවට කිසිඳු සැකයක් නැහැ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත පල්ලියේ ප්‍රධාන පූජක එබනිසර් ජෝසෆ් පූජකතුමා, මහා බ්‍රිතාන්‍යයේ මොතෝදිස්ත පල්ලිය නියෝජනය කරමින් බාර්බරා ඊස්ටන් මැතිණිය සහ මාර්ටින් ඊස්ටන් මහතා, මෙතෝදිස්ත, ඇංග්ලිකන් හා බැප්ටිස් පල්ලි නියෝජනය කරන පූජකවරුන් ඇතුලු පූජ්‍ය පක්ෂය, පූජ්‍ය පෙරී බ්‍රෝහියර් මහතා ඇතුලු වෙස්ලි විද්‍යාලයේ කළමනාකාරීත්වය, වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති අවන්ත ප්‍රනාන්දු, ජර්මනියේ දේශපාලඥයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන ඉයන් කරන් මහතා සහ එම මහත්මිය, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කපිතාන් නවීන් ද සිල්වා මහතා ඇතුළු ආදි ශිෂ්‍යයින් විශාල පිරිසක් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා  පැවසීය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු  මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ වන විට අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැඟීසිටිමින් සිටින රටක්. පසුගිය කාලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ද විශාල අර්බුද රැසකට මුහුණ දුන්නා. නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. ඒ හමුවේ රටේ ආර්ථිකය මෙන්ම කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්ත්වයට වඩා වර්ධනයක් අත්කර ගනිමින් තිබෙනවා.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපේ ගොවි ජනතාවගේ අස්වැන්න වැඩි කර ගැනීමද ඉතා වැදගත්. ඔවුන් මාස කිහිපයක් තිස්සේ දැඩි වර්ෂාවකට මුහුණ දුන්නා. එහිදී ගංවතුර තත්ත්වය නිසා ගොවීන්ගේ අස්වැන්නට හානි සිදුවෙයි කියා සැකසංකා ඇතිව තිබුණත්, මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මාස් කන්නයේ සහල් මෙට්‍ර්ක් ටොන් මිලියන 3.6ක අස්වැන්නක් ලැබීමට නියමිතයි. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් මිලියන 2.4ක්. ඒ අනුව මෙය සතුටු විය හැකි තත්ත්වයක් බව කිව යුතුයි.

ඉදිරියේදී නියඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එම නිසා හැකි තරම් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුව තිබෙනවා. යල කන්නයේ හෙක්ටයාර් 512,000ක් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගා කටයුතු සඳහා ජලය පරිස්සමින් භාවිතා කළ යුතුයි.

ඒ වගේම අතරමැදි බෝගවලට යොමු වෙන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබෙනවා. එහිදී මුං, ඉරිඟු, අර්තාපල් වැනි වගාවන්ට යොමු විය යුතුයි. මේ කටයුතු සිදු කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල වැඩකොටසක් සිදු කරන බව ද කිව යුතුයි.

තවද මේ වන විට නව වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම බතලගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුකරමින් සිටිනවා. නව වී ප්‍රභේද හඳුන්වා දෙන ආයතන තුළ තමයි මේ රටේ ජීවය තිබෙන්නේ.

වී වගාවට අමතරව මිරිස්, බණ්ඩක්කා, දෙළුම්, අඹ වැනි නව බෝග ප්‍රභේද රැසක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂි පර්යේෂණ අංශ විසින් හඳුන්වා දීම ද සතුටට කාරණයක්. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිර්දේශ මත පර්චස් 10කට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිම මුදලකට යටත්ව ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232 මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා. ගොවිතැන් වගා කටයුතු අප රටේ වාරි පද්ධතිය සමඟ බැඳී තිබෙනවා.

ගොවීන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් කුඩා වැව් ඇතුළු වාරි පද්ධතිය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 425ක් වෙන් කර තිබෙන බව පැවසිය යුතුයි.

වයඹට සහ උතුරට නව ආණ්ඩුකාරවරු

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ.

ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබීය.

වයඹ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න ඉවතට !

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, රන්ජිත් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර ඇතැයි වාර්තාවේ.

රංජිත් ආරියරත්න, සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තාවේ.

වයඹ ප්‍රධන ලේකම්වරයා ලෙස වෙනත් අයකු ලබන සිකුරාදා පත්කිරීමට නියමිත බවද පැවසේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වු රංජිත් ආරියරත්න 2023 ජනවාරි 03 දා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු හිටපු තැපැල්පති වරයකු ද වේ.

Page 11 of 383