පුවත්

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වී තිබේ.
හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වෙයි.
මුදිත පීරිස් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාය.

රට ගොඩ නැගීමට සැවොම එක්වන්නැයි ජනපති ජාතිය අමතමින් ඉල්ලයි
දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතමින් පැවසීය.
දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඩ ජනතාව පිලිගැනීම ගැන තම ප්‍රණාමය පිරිනමන බවද පැවසූ ජනාධිපතිවරයා, නීතිය ඉදිරියේ සැවොම එක සමාන බව මතයට තමා නැවත ජීවය ලබා දෙන බවද පුද්ගල තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කීවේය.
ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ජනතාවට ඉක්මනින් සහන ලබාදීමට පියවරගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා, ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තරයේ හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීමට කටයුතු කරන බවත්, රට ගොඩ නැගීමට එක්වන සියලුම දෙනාට දොරටු විවෘත කර ඇතැයිද පැවසීය.
සෑම ජාතියකටම එක සමානව ජීවත්වීමට අවශ්‍ය පරිසයර ගොඩ නැගිය යුතු බවත් කී ජනාධිපතිවරයා ඕනෑම පුද්ගලයකුගේ විවේචන අදහස් පිලිගැනීමට සූදානම් බවත් දෙමාපියනට යහපත් ජීවිතයක් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට තමා කැපවන බවද කීවේය.
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ කථාව මෙසේය.
ස්වාමීන්වහන්ස,
පූජකතුමණි,
දෙමාපියණි,
හෝදර සහෝදරියණි,
දූ දරුවණි,
ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි...
දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.
අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.
මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.
සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප
කටයුතු කරනවා.
අප අපෙක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගතහැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.
අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.
දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත්, රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා.
සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම “අප ශ්‍රී ලාංකික පුරවැසියන්” කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන්
සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.
තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.
මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නෙවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා, පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.
නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙනවා.
අප රට ගොඩ නැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් සථාපිත කිරීම වෙනුවෙන් අපේ කැප වෙනවා.
''අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා''
මේ රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අප ක්‍රියාවලට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.
මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසැලක්, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.
ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල , මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල් වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කර ගන්න පුලුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ අකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩ නැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.
''අපේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි''
මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රීලාංකිකයෙක්’ කියලා අභිමානයෙන්
කියන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . “මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!” කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි.
ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.
සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා.
දැනුම කුසලතාවය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරි ගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විහ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය
කරනවා.
අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියළු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍යධූරයට කාන්තාවක් පත් කර තිබෙනවා.
මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.
අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.
මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා.
අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබ වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.
ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්. ඒ අනුව මා, ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යාවස්තානුකුලව රට ගෙන යාම සදහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද
පත් කර ගත්තා.
අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා.
ඒ අදට වඩා හොද හෙටක්!
එහෙත්,
දශක ගනනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත්, මමත් දන්නා කරුණක්.
අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා..!
එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.
ස්තුතියි
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.

ලේක්හවුස් නව සභාපති ගාමිණි වරුෂමාන
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන අද වැඩ භාර ගත්තේය.
කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමිදිරිය වැඩ සටහන ආදිය ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි.

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී අරඹයි
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත්ය.
මෙහිදි සර්ව ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද නව අමාත්‍යවරයාට හිමිවු අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියේ හිමිව තිබෙන ස්ථානය එලෙසින්ම රැක ගන්නා බව ද මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

නව ආණ්ඩුකාරවරුන් 09ක් දිවුරුම් දෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් පත්කර ඇත.
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් දිවුරුම්දී ඇත.
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර දිවුරුම්දී තිබේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි පත්කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.

පාර්ලිමේන්තුව විසුරුවයි - මහමැතිවරණය නොවැම්බර් 14
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි.
ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.
මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

ලක් ඉතිහාසයේ කුඩාම කැබිනට්ටුව දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දී තිබේ.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, බලශක්ති අමාත්‍යංශය, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යංශය ජනාධිපති අනුර කුමාර දිසානායක යටතට පත් කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, අධ්‍යාපන, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය ලබා දී ඇත. තව ද, වෙළඳ, වාණිජ,ආහාර සුරක්‍ෂිතතා, සෞඛ්‍ය අමාත්‍යංශය, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය ඇය යටතට පත් කර ඇත.
අමාත්‍ය විජිත හේරත් යටතට ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලබා දී තිබේ.
එමෙන් ම, පරිසර, වනජීවී, වන සම්පත්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සහ ඉදිකිරිම් අමාත්‍යාංශය ද ඔහු යටතට පත් කර ඇත.

නව ඇගමැති ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙයි.
ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි.
ඒ අනුව කාන්තාවක් මෙරට අගමැති ධුරයට පත්වන්නේ වසර වසර 24කට පසුවයි.
ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2019 මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරමිනි.
ඒ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසිනි.
ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙන්ම ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සත්ව සුබසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකත් ඉල්ලා අස්වෙයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.
2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඔහු අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණි.
එමෙන්ම 2020 හා 2021 යන වසරවල පැවති කොවිඩ් වසංගතය හමුවේ සහ පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් තුළ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය නඟසිටුවීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බව ද රොෂාන් ගුණතිලක අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ආචාර්ය වජිරා චිත්‍රසේන දැයෙන් සමුගනී
හෙළයේ මහා නෘත්‍යාංගනාවිය වන පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය දැයෙන් සමුගනී.
වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ.
ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද වේ. ආචාර්ය වජිරාවන් ගේ කලා ක්‍ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. ඇය ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව ලොව හමුවේ තැබු ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය ද වේ.
එලෙස ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක,වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි.
හැත්තෑව දශකයේ දී වජිරා ලයනල් වෙන්ඩ්ට් වේදිකාව මත‘කරදිය’මුද්‍රා නාට්‍යයයේ‘සිසී’ලෙසත්‘නල දමයන්ති’හි‘හංසයා’ලෙසත් කළ විස්මිත රංගන පිලිබද මහැඳුරු සුචරිත ගම්ලතුන් පැවසූ ලෙස දුලබ සුරාවක් පානයෙන් ලද මිහිරක් ලෙස ට එය හැදීන්වීය.
වජිරාවන් පිළිබඳව චිත්‍රසේනයන් 1985 දී කියූ කියමනක් ඔබට මතක් කරනු කැමැත්තෙමි.
"දේශීය නැටුමට වජිරාගේ දායකත්වය ‘සුවිශාල වූ හා ඉතා ඈතට විහිදී යන්නකි. ඇයගේ නිර්මාණශීලී බලපෑම නිසැක වශයෙන්ම අනාගත ශ්‍රී ලංකාවේ නර්තන වේදිකාවට ප්‍රබල ආභාසයක් වනු ඇත."
සටහන - ආචාර්ය ධනංජය නානායක්කාර

අනුරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුනආරච්චිට
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.
ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි ව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත.
2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් නිපුණආරච්චි මනාප ඡන්ද 13, 384ක් හිමිකරගෙන තිබුණි.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටලුවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් CID අත්අඩංගුවට
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර අධ්‍යක්ෂකවරයා අද (23) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පසුගිය 15 වැනිදා පැවති 05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ , විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ අවසන් වන තෙක්.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට ද, විභාග දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කළේ ය.

නව ජනපති මහ නාහිමිවරුන් බැහැ දකී
නව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවර ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු - අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරු මුණ ගැසුණේය.

නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇත.
ඒ, ජනාධිපති අනුර දිසානායක විසිනි.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පත් කර ඇති අතර, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

ආචාර්‌ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත්කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.
ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.
ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා - ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අනුර කුමාර ප්‍රතිඥා දෙයි
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද උදෑසන (23) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, දිවුරුම් දුන්නේය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බවට සහතික විය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
''අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.
මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්. අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.
අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ. ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.
මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.
''මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ''
මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියයි.දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා.හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.
සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි. අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.
මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා. භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.
අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි. ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ. එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.
අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා. ''

ඉන්දීය මහකොමසාරිස් නව ජනපති අනුර හමුවෙයි
කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය.
ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතුවේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව එම හමුවේ දී ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා ප්‍රකාශ කර තිබේ.
Page 42 of 472