V2025

පුවත්

ජනාධිපති ධූර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට 79 වන වියේ පසු විය.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකාව වසර පුරා ම පවතින සංචාරක ගමනාන්තයක් ලෙස පරිවර්තනය කරනවා - ඉරාන්

ශ්‍රී ලංකාව ශීත සෘතුමය සංචාරක ගමනාන්තයක සිට වසර පුරා සංචාරක ගමනාන්තයක් සහිත රටක් ලෙස පත් කරන බව ස.ජ.බ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියා ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය කළේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලස්ම පිළිබඳව  කොළඹ පැවති තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානයේ සම්මේලනයේ දි ය.

මේ සඳහා සියයකට අධික රටවල සංචාරකයන්ට වීසා අවශ්‍ය නොමැති නම්‍යශීලී ක්‍රමයක් බවත් එය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටවූ වහාම ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසී ය.

එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ ඉරාන් වික්‍රමරත්න...

 ස.ජ.බ රජයක ක්‍රියාකාරි සැලැස්ම

‘‘පුරාණ සංස්කෘතික නගර, වනජීවී, උත්සව ආදී සෑම කාල වකවානුවකම පවතින ආකර්ෂණීය ස්ථාන ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී වෙළඳපළ ප්‍රදර්ශණ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රචාරණයක් සිදු කරනවා. අපට ඇති සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරය වන්නේ ශීත ඍතුවේ දී සංචාරකයින් පැමිණීම යි. අපගේ අරමුණ වෙනස් කිරීමයි.

මැතිවරණ ජය ගැනීමට එහා ගිය පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා රටේ පාලන තන්ත්‍රයට ඇතුළත්වන විවිධ කරුණු ක්ෂේත්‍ර විසි හතකට බෙලා එක් එක් ක්ෂේත්‍ර සඳහා වසර දෙකක් තිස්සේ විද්වතුන් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ස.ජ.බ රජයක පළමු දින සිට ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලස්ම ද මේ වෙද්දි සම්පාදනය කර අවසන්.

අපි අනුගමනය කරන්නේ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන සමගි ජන බලවේගය අපේ රජය යටතේ සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා අන්ත වාමාංශිකෙයකු හෝ අන්ත දක්ෂිණාංශිකයෙකු නොවෙයි. ඔහු මූලික වශයෙන් අනුගමනය කරන්නේ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති සම රාජ්‍ය පාලනයේ මැද මාවතක්.

අපි නිදහස් වෙළඳපොළ විශ්වාස කරනවා පමණක් නෙවෙයි... සියල්ල ඇතුළත් සංවර්ධනයක් සහිත සාධාරණ සමාජයක් ගැනද විශ්වාස කරනවා.

අපි සංචාරක ක්ෂේත්‍රය ලොවට ම විවෘත කරනවා

ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ පුරුදු වෙලා තියෙන්නේ මැතිවරණයක් කෙසේ හෝ ජය ගැනීම ඉලක්ක කර ගෙන අවස්ථාවට මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කිරීම. එහෙම නිකුත් කරාට පස්සෙ ඒක ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙළක් නැති නිසා රට අගාධයට ඇද වැටුණු අවස්ථා බොහෝමයි. හොඳම නායකයා සහ හොඳ ම කණ්ඩායමක් ඉන්න ස.ජ.බ ය බංකොලොත් වී තිබෙන රටට අවශ්‍ය ඩොලර් හා ප්‍රේෂණ ලබා ගැනීම උදෙසා ප්‍රථමයෙන් සංචාරක ක්ෂේත්‍රය ලොවටම විවෘත කරනවා.

අපේ රටේ පාලකයන් හා ජනතාව තම දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. අපි බලයට පත්වූ වහාම සියයකට වැඩි රටවල සංචාරකයන්ට වීසා නොමැතිව මෙහි පැමිණීමට අවසරය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සෘතුමය සංචාරක ගමනාන්තයක් වෙනුවට වසර පුරා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ කරමින් එයට අදාළ සංස්කෘතික, උත්සව ඓතිහාසික ස්ථාන පිළිබඳ පුළුල් උපාය මාර්ගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරනවා.

නැති බැරිකම නිසා මවුවරු දරුවන්ට කිරි දෙන්නෙ නෑ

අද රටේ පෙනෙන්නට තිබෙන්නේ බොහොම දුර්වල හා පසුගාමී සමාජ ත්ත්ත්වයක්. පෝලිම් නැති කර රට ස්ථාවර කර තිබෙනවා යැයි කියන්නට උත්සහ කරන පිරිසක් ඉන්නවා. අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡාව සාර්ථක කරගෙන පෝලිම් නැති කරගෙන තියෙන්නේ රටේ බොහෝ ජනතාවගේ ජීවිත අතිශයින් දුෂ්කරතාවයට පත් කරලා. දරුවන්ට කිරි දෙන අම්මලාගෙන් සියයට විසි පහක් නැති බැරිකම නිසා දරුවන්ට කිරි දීම නවතා දමා තිබෙනවා. මෙම රජය බලයට පත්වෙද්දි දරිද්‍රතා රේඛාවෙන් පහළ හිටපු මිලියන තුනක ජනතා සංඛ්‍යාව පසුගිය වසර තුන තුළ මිලියන හත දක්වා වැඩිවීමෙන් රටේ ජනතාවට අත්වූ ඉරණම පැහැදිලි වෙනවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)

ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි

ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනු ලබයි.

දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරව නාමයෝජනා පත්‍ර සමග ජනාධිපති අපේක්ෂකයිනගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙනු ලැබුවේ ය.

ඒ අනුව, එහි හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙකුත් තෙරතුරු සහිත පිටපත්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා  ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බව සදහන් වේ.

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(22) ලබා දී ඇත.

පසුගිය වසරේ මාර්තු මස 09 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියම කළ ද එය නියමිත නොපැවැත්වීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට අද නියම කළේය.

තලතා ගියාම පරනේට පරණේට පරණ පිනක් වැඩ කරයි !

සමගි ජනබලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරයේ පුරප්පාඩුව මීලඟට මනාප ඡන්ද ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතාන ට අවස්ථාව හිමිවී ඇත.

කරුණාරත්න පරණවිතාන මහතා මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුතු එම පක්ෂය මේ වන විට සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහායට එක්ව සිටියි.

රටවල් 35 කට නොමිලේ වීසා !

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.

එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය.

අදාළ රටවල් 35 පහත දැක්වෙයි.

free visa L

'2024 ජනාධිපතිවරණ වියදම්' - කුසල් පෙරේරා ගෙන් මැකෝ ට ලිපියක්

2024 ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු විසින් වියදම් කරනු ලැබිය යුතු මුදල කොපමණ ද යන්න නියාමනය කිරිම පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 18වන (2024/08/18) වන දින නිකුත් කෙරිණ.

ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇති බව ද ගන්නට ලැබිණ.

මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව මෙය වන අතර එහි දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා වි තිබිණ. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) ක් ය යන්න එම ගැසට් පත්‍ර යේ සඳහන් කර ඇත.

මෙම ගැසට් පත්‍රයේ අඩංගු ධනාත්මක සහ ඍණාත්මක භාවය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමේ ලිපියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ප්‍රවීන දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

මතු දැක්වෙන්නේ කුසල් පෙරේරා ඉදිරිපත් කළ එම ලිපිය යි.

විද්‍යුත් තැපෑල මගින්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 අගෝස්තු 21 වන දින

සභාපති,
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම් සභාව
මැතිවරණ මහ ලේකම් කාර්යාලය
අංක 02, සරණ මාවත
රාජගිරිය.

සභාපති තුමනි,

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ “2024 ජනාධිපතිවරණ වියදම්” සම්බන්ධයෙනි

අපගේ මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව, මෙවර ජනාධිපතිවරණය සමග ඔබගේ සභාපතිත්වයෙන් වන මැතිවරණ කොමිසම් සභාවට බාර වන්නාවූ කාර්යකි. වගකීමකි.

මැතිවරණ කොමිසම් සභාවට එළෙස “2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත” මගින් ලබා දී ඇති ප්‍රතිපාදන අතුරින් ප්‍රධාන කාර්යක් වන, මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් උපරිම වියදම තීන්දු කිරීම සඳහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා විය. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) කි.

මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇතැයිද දැන ගන්නට ලැබිණ. ඔවුන්ගේ මූලික අයිතීන් මෙම තීන්දුවෙන් උල්ලංඝණය වන්නේ කෙසේදැයි නොදනිමි. නමුත් මෙම උපරිම මුදල ගණනය කිරීමේ මූලික වරදක් සහ අරමුදල් භාවිතය නියාමනය කිරීමේ පිළිවෙත්හි දොස් ඇතැයි කිව යුතුය.

පළමු කාරණය නම්, කෝවිඩ්-19 වසංගතයට එන්නත් ගෙන්වීමේදී රටේ ජනගහනය අනුව ඇස්තමේන්තු හැදූ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු ඡන්දදායකයින් සංඛ්‍යාව අනුව ඇස්තමේන්තු කිරීම වැරදිය. චන්දදායකයින් කියෙව්වා නොකියෙව්වා, පුවත් පතක දැන්වීමකට එහි ප්‍රමාණය, වර්ණ හා පිටුව අනුව නියමිත වියදමක් ඇත. චන්දදායකයින් බැලුවා නොබැලුවා රූපවාහිනි දැන්වීමකට එහි කාලය හා වැඩසටහන අනුව නියමවූ මිලක් ඇත. ඇසුවා නෑසුවා, ගුවන් විදුලි ගාස්තුද එවැනිමය. සෙනග ආවා නාවා, මැතිවරණ රැළි සඳහාවන වියදම තීන්දු වන්නේ ඊට එකතු කරන ප්‍රචාරක කටයුතු හා සම්පත් අනුවය.

එබැවින් මැතිවරණ වියදම ගණන් හැදිය යුතු වූයේ පුද්ගල සංඛ්‍යා අනුව නොවේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතෙහි මුදල් වැය කිරීම් පිළිබඳව මැතිවරණ කොමිසම් සභාවට වාර්තා ලබා දියු යුතු යැයි පනතේ 05 වන වගන්තියේ (1)අ සිට (1)ඉ දක්වා වන උප වගන්තිවල සඳහන් වියදම් ශීර්ෂ සඳහා ය. නිදසුනක් ලෙස පනතෙහි 05(1)අ උප වගන්තියේ නියමය අනුව, “ඒ මැතිවරණයට අදාළ ප්‍රචාරක දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර හෝ පෝස්ටර්, මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ඇලවීම, ප්‍රදර්ශනය කිරීම හෝ නිරූපණය කිරීම සඳහා....” උපරිමයෙන් වැය කළ හැකි මුදල තීන්දු කළ යුතුව ඇත. මැතිවරණ අරමුදල් නියාමනය කළ යුත්තේ පනතේ උප වගන්ති යටතේ අපේක්ෂකයින් වාර්තා ලබා දිය යුතු එවැනි මුදල් වෙන් කිරීම් අනුව ය.

අනෙක් බරපතලම අවුල ඇත්තේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පිළිවෙත කුමක්ද යන්නෙහිය. පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ පෞද්ගලික ගිණුම් වලින් බැහැරව මැතිවරණ අරමුදල සඳහා වෙනම ගිණුමක් තිබිය යුතු යැයි නියමයක් පනතේ නැත. එබැවින් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලෙස භාරගත් නියමිත උපරිම මුදල කොපමණදැයි හා ඒ කාගෙන්දැයි පක්ෂය හා අපේක්ෂකයා ලබා දෙන වාර්තා මගින් මිස බැංකු වාර්තා මගින් මැතිවරණ කොමිසම් සභාවට ස්වාධීනව සනාථ කර ගත නොහැක.

දෙවැන්න, පක්ෂ විසින් හා ස්වාධීන අපේක්ෂකයින් විසින් මේ මැතිවරණ අරමුදල් එකතු කර ගැනීම සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා ගත යුතු යැයි සහ එහි අත්සන්කරුවන් විය යුත්තේ කවුරුන්දැයි නිර්දේශ හෝ කොන්දේසි පනතේ කොතැනකවත් සඳහන්ව නැත. එවගේම මේ මැතිවරණ අරමුදල ගණන් හදන්නේ කවදා සිට දැයි යන්නද සඳහන්ව නැත. එබැවින් ඒ තීන්දු කොමිසම් සභාවට බාර ගැනීමට සිදුවනු ඇත. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාව නිකුත්කර ඇති ගැසට් පත්‍ර දෙකෙහි සහ චක්‍ර ලේඛ 07 හි ද ඒ සම්බන්ධව කිසිත් සඳහන් වන්නේ නැත.

අරමුදල ගණනය කිරීමේ දිනය සම්බන්ධ ඒ තීන්දුව කුමක් විය හැකිද? නිදසුනක් වශයෙන් මැතිවරණ අරමුදල නියාමනය කෙරෙන්නේ මැතිවරණ කොම්සම් සභාව විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටද? නැතිනම් අපේක්ෂකයින් නාම යෝජනා ලබා දුන් දිනයේ සිටද? නාම යෝජනා බාර ගන්නා දිනය කල් ඇතිව ප්‍රකාශ කෙරෙන හෙයින්, මෙවර අගෝස්තු 15 නාම යෝජනා දිනය සැළකුවහොත් අගෝස්තු පළමු සතියේ දිනක ලබන සැප්තැම්බර මාසයේ පුවත් පත්, ගුවන් විදුලි, රූපවාහිනි දැන්වීම් සඳහා ගෙවූ රුපියල් මිලියන සිය ගණනක මුදල් නියාමනය නොවනු ඇත.

එවැනි අවිනිශ්චිත පසුබිමක, මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මෙවර ක්‍රියාත්මක කිරීමට නොහැකි ය. මෙය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා යැයි කියන්නේ ඡන්දදායකයා රැවටීමකි. එබැවින් ඔබට මා යෝජනා කරන්නේ, මෙම 2024 ජනාධිපතිවරණයෙන් පසු මේ වසරේ හෝ ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීම සඳහා පනතෙහි ඇති අඩු පාඩු, හිස් තැන් සියල්ල සම්පූර්ණ කිරීම විවෘත ක්‍රියාවලියක් තුල නොපමාව ආරම්භ කළ යුතු යැයි කියා ය.

මෙයට ඔබගේත් කොමිසම් සභාවෙහි සාමාජික සභිකයින්ගේත් පූර්ණ අවධානය ලැබෙණු ඇතැයි අපේක්ෂා කරමි.

ස්තුතියි.
මෙයට ලියාපදිංචි ඡන්දදායෙකු වන,
කුසල් පෙරේරා
150/62බී, යොවුන් මාවත
බෙල්ලන්විල

වඩිවෙල් සුරේෂ්ට හා සාහීර් මව්ලානාට කැබිනට් නොවන අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානා යන අය  අද (21) කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දී ඇත.

ඒ අනුව, වඩිවෙල් සුරේෂ්  දිවුරුම්දී ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

අලි සාහීර් මව්ලානා  කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ මෙම මන්ත්‍රිවරුන් දිවුරුම් දී ඇත්තේ අද පස්වරුවේදී ය.

වඩිවෙල් සුරේෂ්  බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

සුරේෂ් මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

මේ අතර මව්ලානා  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරන මවුලානා  අගෝස්තු 16 වනදා නිවේදනය කළේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බවයි.

මොවුන් දෙදෙනා කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස අද දිවුරුම් දෙනු ලැබුවේ,  මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් අගෝස්තු 09 වනදා සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම හේතුවෙනි.

ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා  අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහු  වයස අවරුදු 78 වියේ පසු විය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනක කාලයක් මහජන සේවාවේ යෙදුණු පුද්ගලයෙකි.

මිය යන විටඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය

තලතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි. දේශපාලනයේදී කොතෙක් ඉවසිය යුතුදැයි ජේ. ආර් .ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරිය එහිදි අදහස් දක්වමින් පවසා සිටියාය.

2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණි වූ තලතා අතුකෝරාළ, ගාමිණි අතුකෝරලගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසුණාය.

ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තාය.

එස්.එම්. ගෙන් දයාසිරිට ප්‍රසිද්ධ අභියෝගයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරන ආකාරයට තමන් මත්පැන් බලපත්‍ර තුනක් ලබාගෙන ඇති බව ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන අභියෝග කරයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගල් පැලෙන බොරු කියා, තම දේශපාලන ජීවිතය විනාශ කිරීමට හදන නමුත් , තමන් නිරතවන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අමු ගල් පැලෙන බොරුවක් කිව්වා. බාර් ලයිසන් තුනක් මම ගත්තා කියලා. බාර් ලයිසන් එකක් හරි මම අරගෙන තියෙනවා නම් මම මේ මන්ත්‍රීකමෙන් අස් වෙනවා. මේ සිදිහට අමූලික බොරු කියලා, මඩ ගහලා අපේ දේශපාලන ජීවිතය විනාශ කරන්න හදන මේ නීතීඥයෝ කියනවා, ලොකු මිනිස්සු කියනවා. ඊට පස්සේ මම බාර් ලයිසන් අරන් පර්මිට් අරන් ගියාලු අප්පච්චි ළඟ ඉදන් බාප්පා ළඟට. මම අප්පච්චි ළඟට ගියෙත් නෑ. බාප්පා ළඟට ගියෙත් නෑ. මගේ දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක බලලා තමයි මම කටයුතු කරන්නේ. මහින්ද..

අපි මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමාට ගරු කරන්නේ අවුරුදු 30ක් තිබ්බ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කරාට. ඒ වගේම රනිල් මහත්තයට ගරු කරන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එහා ගිය ත්‍රස්තවාදයක් පහු ගිය කාලේ ඇති උනා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය කාලයේවත් අපේ ගෙවල් ගිනි තිබ්බේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බල්ලෝ වගේ පාරේ ඇන්ඳගෙන ගිහින් මරලා තිබ්බේ නෑ. වෙඩි තියලා මැරුවත්…”

රනිල්ට සහාය දෙන පොහොට්ටු පාර්ශ්වයෙන් නව සන්ධානයක් : සභාපති දිනේෂ් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ලබාදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

එහිදී යෝජිත නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම සහ එහිදී වගකීම් බෙදාගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණ වලදී මෙම නව සන්ධානයෙන් තරඟ කිරීමට නියමිතය.

ජනපතිට සහාය පළ කිරීමට එන පොදු ජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන්ද මෙම නව සන්ධානය විවෘත කිරීමට එහිදී අවධාරණය කෙරී ඇත. ඒ අනුව බිම් මට්ටමේ පාක්ෂිකයින්ට සහ ජනතා නියෝජිතයන් හට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් ඒ සියලු දෙනා ආරක්ෂා වන ආකාරයට ඉදිරියටද කටයුතු කිරීමටත් මෙම හමුවේ දී එකඟව ඇත.

දළදා මාළිගාවේ ඇසළ පෙරහර අතිසාර්ථකව අවසන් : ඊළඟට වෙන්න යනදේ මෙන්න !

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගන්වනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඉන් අනතුරව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

“ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ඉතිහාසයේ ලබාදුන් වැඩිම මුදල වන රුපියල් මිලියන 10.5ක මුදලක් පෙරහර භාරය විසින් මෙවර ලබාදීම විශේෂත්වක් විය.

මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දීම මෙහිදී සිදුවිය.

ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගන්වනු ලැබීය

ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි.

පෙරහර සංවිධානය කිරීමට කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ආගමික මෙන්ම ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෝකය හමුවට ගෙන යන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් වූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාම සියලුදෙනාගේ වගකීම බවද අවධාරණය කළේය.

මහනුවර නගරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් බවට පත්කරමින් පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

ඉතා සාර්ථක සහ උසස් මට්ටමින් පැවති පෙරහරක් අප මෙවර නැරඹුවා. මෙවන් පෙරහරක් පැවැත්වීම පහසු කාර්යයක් නොවෙයි. ලෝකයේ විවිධ පෙරහර පැවැත්වෙනවා. එක් එක් ආගම්වලට අයත් විශේෂ සංස්කෘතික ලක්ෂණ සහිත පෙරහර පැවැත්වෙනවා. නමුත් ඒ පෙරහර අතරින් අද ඓතිහාසික දළදා පෙරහරට විශේෂ ස්ථානයක් හිමිවන බව කිවයුතුයි. ඒ අනුව මෙම පෙරහර මංගල්‍යය මෙරට උසස්ම සංස්කෘතික පෙරහර මංගල්‍යය ලෙස සැලකෙනවා.

ඒ වෙනුවෙන් මේ සම්බන්ධව කැපවී කටයුතු කරන ශ්‍රී දළදා මාළගාවට සහ ඊට සම්බන්ධව කටයුතු කරන සියලු දේවාලවලට ස්තූතිවන්ත වනවා. මේ පෙරහර දියුණු මට්ටමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු සහාය ආණ්ඩුවක් ලෙස දියවඩන නිළමේතුමා ඇතුළු ඒ සියලුදෙනාට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්වය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අප අපේක්ෂා කරනවා.

මධ්‍යම රජය, පළාත් සභාව සහ මහනුවර නගර සභාව එක්ව එම කටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. දියවඩන නිළමේතුමා ඇතුළු සියලු දේවාලවල නිලමේවරුන්ගේ දායකත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම කලාකරුවන් පුහුණු කරන සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහයෝගය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අප කටයුතු කරනවා. මීට දශක 04කට පෙර ආරම්භ කළ බෙල්වුඩ් ආයතනය තරුණ සේවා සභාවේ කලා ආයතනයක් ලෙස දියුණු කර මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම ලබාදීමට හා මෙම කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු කළයුතුයි. මේ පෙරහර මංගල්‍ය සමඟ මහනුවර කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. ඒ වගේම මේ නගරය දියුණු කිරීමට අප තවත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

බෝගම්බර ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් ඇති කිරීමට අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. පැරණි තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමඟ සම්බන්ධකර ගනිමින් නව හෝටලයක් ඇති කිරීමට ද සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් සංචාරක හෝටල් සඳහා යොදා ගැනීමටත්, මහුනවර දකුණ ලංගම ඩිපෝව ද ඒ සඳහා යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

දැනට තිබෙන මහනුවර පොදු වෙළෙඳපොළ නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිගන සහ කුණ්ඩසාලේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදරින් අවසන් නොකර කටුගස්තොට දක්වා ඉදිකිරීමට මම ජපාන රජයෙන් ඉල්ලීක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශය විශාල නාගරික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.

පේරාදෙණිය උද්‍යානය වගේම අපි උඩවත්ත කැලය ගැන ද අවධානය යොමු කළ යුතුයි. දළදා මාළිගාවට වගේම සතර මහ දේවාල වෙතත් සංචාරකයන් ගෙන්වා ගනිමින් ආගමික වැඩකටයුතු සමඟ සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබනෙවා.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට ද අප බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තැපැල් ඡන්දය දැමීමට සුදුසුකම් ලත් පිරිස

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  පැවසීය.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,321ක් සුදුසුකම් ලබා ඇත.

මේ අතර එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක  කියා සිටියේය.

සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවේ,

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා. මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා.” යනුවෙනි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියි.

තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් !

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම අද (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර්  සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අක්ෂේ කුමාර් සිං යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ වූ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට විදුලි බලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

පසුගිය දෙවසර තුළ විදුලි බිලට අදාළව රජයට අසීරු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට සිදු වුවද අද විදුලිබල මණ්ඩලය ණය බරින් නිදහස් ශක්තිමත් ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ නිසාම දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගන්වමින් මෙවැනි නව එකඟතාවන්ට එළැඹීමට අවස්ථාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LTL Holdings Limited සහ Petronet LNG Limited යන සමාගම් අතර සහයෝගීතා හවුල්කාරිත්වය මගින් සොබාධනවි විදුලි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස, ඉන්දියාවේ කොචි ප්‍රදේශයේ පිහිටා ඇති පෙට්‍රොනෙට් සමාගමේ පර්යන්තයෙන් අධිශීතකරණමය පහසුකම් සහිත බහාලුම් (cryogenic ISO Containers) හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමට හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කර තිබේ. කොළඹ වරායට පැමිණීමෙන් පසුව, සෝබාධනවි බලාගාරයට යාබදව ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය ගබඩා සහ ප්‍රතිවායුකරණ පර්යන්තය වෙත ISO බහාලුම්වල LNG ප්‍රවාහනය කෙරේ.

සෝබාධනවි බලාගාරයේ පළමු අදියර 2024 අගෝස්තු මාසයේදී සහ දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමත් සමඟ මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමෙහි බලශක්ති සංවර්ධන අංශය වන ලක්ධනවි සමාගම (Lakdhanavi Limited) විසින් සංවර්ධනය කරමින්, එහි හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන මෙම බලාගාරය මඟින් වඩාත් තිරසර සහ ආර්ථික විභවයක් සහිත බලශක්ති අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ දැක්ම අනුව කටයුතු කරමින් රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.

තවද, LNG හි පිරිවැය කාර්යක්ෂමතාව මගින් විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමටත්, පාරිභෝගිකයින්ට ආර්ථිකමට වශයෙන් සහනයක් ලබා දීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට සහාය වීමට මෙමඟින් හැකි වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර :

පසුගිය බලශක්ති අර්බුදය ඇති වූ අවස්ථාවේ මෙරට විදුලිබල අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විවිධ යෝජනා විමසා බැලු මොහොතේ ස්වභාවික ද්‍රව වායු මගින් බලශක්ති අර්බුදයට විසඳුමක් ලබාදිමටත්, පිරිවැය අඩු කර ගැනීමටත් අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දියානු රජයේ ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩාමයක් මෙරටට පැමිණි අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සඳහා මුලික යෝජනාව ලබා දුන්නා.

එම යෝජනාවෙන් අනතුරුව පසුගිය මාස කිහිපය තුළ සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස අද මෙම ගිවිසුමට අත්සන් තැබුණා. අද සිට මාස 18ක් තුළ දැනටමත් ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබෙන එල්ටීඑල් සමුහයේ පවතින බලාගාර පද්ධතියට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායුව සැපයීමේ කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සමඟ එම ප්‍රතිලාභය මෙරට ජනතාවට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

ද්‍රවිකෘත ස්වභාවික වායුව තුළින් විදුලිබල උත්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙරට විදුලි පිරිවැය අඩු කර ගැනිමට හැකියාව ලැබෙනවා.

විදුලි බලාගාර LNG වලින් ක්‍රියාත්මක වන විට, අවම වශයෙන් වියදම 40% සිට 50% දක්වා අඩු කර ගත හැකියි. එම වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති වියදම අඩු කර ගැනීමට අප මෙමඟින් අපේක්ෂා කරනවා. මෙය පහසු කාර්යයක් නොවන බවද සඳහන් කළයුතුයි.

විශේෂයෙන්ම යුගධනවි සහ සොබාධනවි බලාගාර දෙකෙහි 2026 වසර මුලදී මෙම විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නමුත් අගෝස්තු මස 28 වනදා සොබාධනවි බලාගාරය විවෘත කිරීමට අපේක්ෂා කරනවා. පළමු වසර ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් එම බලාගාර ධාවනය කර ඉන් පසුව ස්වභාවික ද්‍රව වායුවෙන් එම ජනන කටයුතු සිදු කිරීම අවශ්‍යවීම ඊට හේතුවයි. ඒ නිසා අද මෙම අත්සන් තබන ගිවිසුම් මගින් ඉදිරි කාලයේදී විශාල වාසියක් මෙරටට විදුලි පාරිභෝගිකයන්ට ලැබීමට නියමිතව තිබෙනවා. මුල්‍යම වාසි ලබා ගැනීමට වගේම පාරිසරික හානිය අවම කර ගැනීමටද මෙමඟින් අවස්ථාව ලැබෙනවා.

ඩීසල්, දැවිතෙල්, නැප්තා භාවිතයෙන් ඉවත්විමේ ප්‍රතිපත්තියක් අප සකස් කර තිබෙනවා. මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට සැලසුම් කර තිබෙනවා වගේම ඉතිරි 30% ස්වභාවික ද්‍රව වායුව භාවිතා කරමින් සපුරා ගැනීමටත්, එය පුනර්ජනනිය විදුලි බලශක්තිය සමඟ ඒකාබද්ධ කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරමින් ඉදිරියට යාමටත් අප බලාපොරොත්තු වෙනවා.

විදුලි බිල වැඩි කිරීම වැනි කරුණු සමඟ පසුගිය වසර දෙකේදි අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. එහිදී පැය 16 ක වැනි කාලයක් විදුලිය කප්පාදු කරමින් තිබු කාලයක අඩු පිරිවැයක් යටතේ, කප්පාදු කරමින් විදුලිය ලබා දෙනවාද, නැත්නම් පිරිවැය පාලනය කරමින් අඛණ්ඩව විදුලිය ලබා දෙනවාද යන්න තීරණය කිරීමට අපට සිදු වුණා.

පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවුවත් එයින් ආර්ථිකයට සිදු වන හානිය සහ ජන ජීවිතයට වන අඩාලවීම් අප සියලුදෙනා අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම 2022 වසර වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 300ක පාඩුවක් ලබා තිබුණා. මෙරට රාජ්‍ය බැංකු දෙකෙන් ලබා ගත් ණය සහ සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු මුදල් ඒ අතර තිබුණා. එම පිරිවැය නිරූපණය වන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම තුළින් අපි අද වන විට බැංකු ණය වලින් විශාල කොටසක් ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම බලාගාර ක්‍රියාත්මක කරන සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු සියලු මදුල් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට තිබු සියලු ණය ද ගෙවා අවසන් කිරිමට අපට හැකි වුණේ එම අපහසු නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා බව කිවයුතුයි.

ඒ නිසා මෙවැනි ආකාරයේ එකඟතාවලට එළැඹීමටත්, නව ආයෝජන සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමටත් අද හැකියාව ලැබී තිබෙනවා. ඒ තුළින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මේ රටේ ජනතාවට විදුලිය ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වු සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ :

විශ්වාසනීය, පිරිසිදු සහ තිරසර බලශක්ති සැපයුමක් පැවතීම සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වෙනවා. අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියා කරන බලශක්ති පිරිවැය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඉන්දියාව සමඟ නැඟී එන කලාපීය සහ ගෝලීය බලශක්ති ජාල වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම මගින් ප්‍රධාන බලශක්ති හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු දැවැන්ත හරිත බලශක්ති විභවය සැබෑ කර ගැනීමටත්, අතිරේක ආදායමක් උත්පාදනය කිරීමටත්, එමගින් ශ්‍රී ලංකාවට ප්‍රධාන බලශක්ති අපනයනකරුවෙකු බවට පත් කිරීමටත් අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උපකාරී වෙනවා.

අපගේ වර්තමාන වැඩසටහන්වලට බලශක්ති ජාල සම්බන්ධ කිරීම, යටිතල පහසුකම් සම්බන්ධතා සහ බහු-නිෂ්පාදන නල මාර්ගයක් ස්ථාපනය කිරීම ඇතුළත් වන අතර, ඒ සඳහා වන සාකච්ඡා අඛණ්ඩව සිදුකෙරෙමින් පවතිනවා. අප සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහාත් ආයෝජනය කරනවා. මෙම හවුල් අභිලාෂයන් ඉක්මනින් යථාර්ථයක් බවට පත් කිරීමට දෙරටේ රජයන් සමීපව කටයුතු කරමින් සිටිනවා. අපගේ බලශක්ති අවශ්‍යතා සහ අපගේ ජනතාවගේ අනාගත සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවයෙන් යුතුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන්හී ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම, අද අප අත්සන් තබන මෙම අවබෝධතා ගිවිසුම මගින් පෙන්නුම් කෙරෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති යූ.ඩී.ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලොව දීර්ඝතම මුද්දරය ලංකාවෙන්

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි.

එය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.

කරුමෙට හරි සජිත් ජනාධිපති වුණොත් අවුරුද්දෙන් පැනලා යනවා - ෆොනී

රටේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් වසරක් යාමට පෙර ඔහු තනතුර දාලා පැනලා යනවා යැයි, ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් ල්මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කෙළේය.

තමන් මීට පෙර දී ප්‍රකාශ කළ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද වසර දෙකකින් තනතුර දමා පැන ගිය බවද ඔහු පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති මංගල ජනහමුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේද පැවසීය.

‘එදා ගෝල්ෆේස් පිටියේ අරගලය කළේ නිර්පාක්ෂික නායකයෙක් ඕනෙ කියලයි. දැන් මම ඒ අයට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරනවා.

ඒ නිසා නිර්පාක්ෂික නායකයෙක් රටට පත් කර ගන්න ජනතාවට දැන් අවස්ථාව තිබෙනවා.මම 2019 දී කිව්වා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් පැනලා යනවා කියලා. මම එහෙම කිව්වේ එයාගේ පැටිකිරිය දන්න හින්දයි. ඒ කිව්වා වගේම ඔහු අවුරුදු දෙකකින් පැනලා ගියා.

ඒ වගේම තමයි රටේ කරුමෙට හරි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අවුරුද්දකින් ඔහු පැනලා යනවා. මං මේක කිව්වයි කියලා තමුන්නාන්සේලා රන් අකුරෙන් ලියලා තියාගන්න.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.

රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා.ඒක විසඳන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් රටේ හිටියත් ඔවුන් මෙහෙය වන්න හොඳ නායකත්වයක් නෑ. මේ රටේ ආදායම වැඩි කරලා ජනතාවෙගේ අතමිට සරු කරන එක රජයේ වගකීමක්. ඒවා කරන්න අපිට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරන්නේ මගෙත් එක්ක එකතු වෙන්න කියලයි’

Page 41 of 462