වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (31) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ X-Press Pearl නෞකා සමාගමෙන් සහ එහි දේශීය නියෝජිතයන්ගෙන් මෙරටට ලැබීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 999 කට ආසන්න වන්දි මුදල අහිමි වීමට ක්‍රියා කළ බවට චෝදනා කරමිනි.
X-Press Pearl වන්දි නඩුවට අදාළව මෙම විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඔහු එමගින් ඉල්ලා සිටී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අදාළ වන්දි මුදල අහිමි වීම යම් සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ද මෙම පැමිණිල්ලෙන් ප්‍රශ්න කර ඇති අතර, අදාළ ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධ කරුණු අභියෝගයට ලක් කරමින් ද වෛද්‍ය සංජීව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර ඇත.
එම පැමිණිල්ලට අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා ප්‍රමුඛ පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් SC/FR/168/2021, SC/FR/176/2021, SC/FR/184/2021 සහ SC/FR/277/2021 යන නඩුවලට අදාළව තීන්දු ලබා දෙමින්, 2025 සැප්තැම්බර් 24 වන දිනට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට සහ එහි නියෝජිතයන්ට නියෝග කර ඇත. කෙසේ වෙතත්, අදාළ නියෝගයට අනුව ගෙවිය යුතුව තිබූ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණක් ගෙවා ඇති බවත්, අධිකරණය නියෝග කළ මුදලින් ඩොලර් මිලියන 249 කට ආසන්න හිඟ මුදලක් තවමත් ගෙවා නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන් ය.
අධිකරණ නියෝගය ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිය ද, අදාළ විනිසුරුවරුන් තිදෙනා විසින් එකී සමාගමට එරෙහිව එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
