හෙට (02) සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඒ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් යැයි එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
හෙට දිවා විවේක කාලය තුළ දී දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මෙම විරෝධතාවට එක්වන බවත්, මෙම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන සතියේ සිට විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බවද ඔහු අනතුරු ඇඟවී ය.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවලදී ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් යෝජනාවලියක් ද රජයට භාරදී ඇති බවත්, එමෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු පිළිබඳව ඔවුන් වෙත ලිඛිතවද දැනුම්දී ඇතැයි ද චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.
කෙසේ වෙතත්, සාකච්ඡාවලින් ඇතිකරගත් එකඟතා මෙන්ම ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් දක්නට නොමැති බවත්, පසුගිය කාලය තුළ විශාල පිරිසක් විශ්වවිද්‍යාල ආචාර්ය සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් පැවසූ සම්මේලනයේ ලේකම්වරයා රජයට චෝදනා කළේය.
2015 වසර වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වසරකට සිසුන් 25,000ක පමණ පිරිසක් බඳවාගෙන තිබූ අතර, මේ වනවිට එම සංඛ්‍යාව වසරකට සිසුන් 45,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, එහෙත් 2015 වසරේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 5,800ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටිය ද, මේ වනවිට එම පිරිසෙන් ආසන්න වශයෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බවද ඔහු පැවසී ය.
ඉතිරිව ඇති පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් විවෘත කර තිබුණද, එම තනතුරු සඳහා සුදුසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අයදුම් කිරීමට පෙළඹෙන්නේ නැති තත්ත්වයක් මතුව ඇති බවත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල වීම රටේ අනාගතයටද බලපාන කරුණක් බව ද චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
“රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙනවා කියන්නේ මේ රටේ අනාගතය බිඳ වැටීමක්. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට අප සූදානම්,” යැයි පැවසූ චාරුදත්ත ඉලංගසිංහ වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබීම හේතුවෙන් හෙට දිනයේ විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කළ බව යි. එම විරෝධතා ව්‍යාපාරය රජය විසින් අදාළ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බව ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
