පුවත්

චෝදනා පුස් : අසාද් සාලි නිදහස් !
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම තීන්දුව ලබාදුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවය.
ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තීන්දු කළේය.
ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.
මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

පොහොට්ටු මන්ත්‍රී වැඩ පෙන්නා හැංගිලා : පොලිසිය හොයයි !
උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ මන්ත්‍රීවරයා බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
ඒ දැරියගේ දෙමවුපියන් සිදුකර ඇති පැමිණිල්ලක් අනුවය.
මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම දැරිය වාසය කර ඇත්තේ තම මවුපියන් සමඟ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක වන අතර කිසිවකු නිවසේ නැති ස්ථාන අවස්ථාවක මෙම පුද්ගලයා පැමිණ දැරියට ලිංගික අතවරයක් කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයට විදුලි පන්දම ලැබෙයි !
දමිළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ.
“විදුලි පන්දම” ලාංඡනය සමඟ එම නීත්‍යානුකූල පිළිගැනීම ලබා ඇති බව එහි නායක මනෝ ගනේෂන් පවසයි.
දමිළ ප්‍රගතිශීලී සන්ධානය 2015 පිහිටුවනු ලැබූවකි.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,372 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 26 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,372 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර ඉතිරි 11 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 15 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (01) වාර්තා කරන ලද මෙම මරණ 26 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

පුපුරන්නේ ලිප බව : මන්ත්‍රී තිස්ස කුට්ටි සොයාගනියි !
ගෑස් ආශ‍්‍රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
ගෑස් පුපරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදු වනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප බවත් මන්ත්‍රීවරයා පවසයි.
ඉතාමත්ම පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්දව බවක් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළ අතර තමන් මෙසේ පවසන්නේ පසුගිය සමයේ විවිධ පාර්ශ්ව සිදුකළ ප්‍රකාශ දෙස අවධානයෙන් සිට බවත් පැවසීය.
මෙම තත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්ය.

නවීනුත් එජාප අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ ඉල්ලයි !
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ සිට පහළට සම්පූර්ණ වෙනසක් සිදුවිය යිතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසයි.
ඔහු මේ බව පෙන්වා දෙමින් සඳහන් කර සිටියේ , අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා , පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කළ කරුණුවලට තමන් සම්පූර්ණයෙන්ම එකග බවය.
එමනිසා මේ මොහොතේ පැලැස්තර විසදුම්වලින් පලක් නොවන බවද ඔහු කියා සිටියේය.

රත්තරං සම්බන්ධීකරණ ලේකම් : පොලිස් ඇමති එළියට දායි !
එල්.ටි.ටී.ඊ. ය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු හී වලදමා ඇති රත්තරන් තොගයක් නීති විරෝධි ලෙස ගොඩ ගැනීමට කටයුතු කළ බව සඳහන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ සේවය අමාත්‍ය සරත් වීරසේකර විසින් වහාම ක්‍රියාත්මකවන ලෙස අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
නොවැම්බර් මාසයේ පළමු සති 1-2 තුළ වූ මෙකි සිදුවීම සම්බන්ධයෙන් දැඩි මාධ්‍ය හා සමාජ මාධ්‍ය බලපෑමක් එල්ල විය.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
“මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සම්බන්ධව විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්ථා පළවිය.
එම වාර්ථාවන් හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇත.
තවද,මේ සම්බන්ධයෙන් සඳහන් වන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය ගරු අමාත්‍යතුමා විසින් වහාම අත්හිටුවා ඇති බවද සඳහන් කරමි.“

පුදුකුඩිඉරිප්පු රත්‍රන් ගොඩ දැමූ ඇමති ගෝලයන් මෙන්න !
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට පෙර එම රත්‍රන් තොගය ගොඩ ගැනීමට තැත්කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ හි අරුණ පුවත්පත අනාවරණයක වැඩිදුරටත් තොරතුරු පහත දැක්වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරුන් දෙදෙනකු සම්බන්ධවය.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් වළදමා ඇතැයි කියන මෙම රත්‍රන් තොගය පිළිබඳ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව මෙමස 25 වැනිදා කැණීම් කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් මහවිරු සැමරුම් තැනින් තැන පැවතීම මත එහි කැණීම් දෙසැම්බර් 02 වැනිදාට කල් දමා තිබේ.
ඒ අතරේ ඉකුත් 23 වැනිදා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ධීවර ඇමැතිවරයාගේ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් නොවැම්බර් 25 වැනිදාට කලින් රහසිගතව එය කිරීමට සහාය වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර නැත. ඒ පිළිබඳව මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ යටතේ මේවනවිට විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට එම පත්වීම ලැබී ඇත්තේද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දගේ නිර්දේශයකට අනුව බවටද තොරතුරු අනාවරණය වේ.
අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු රත්‍රන් ගොඩගැනීමට යාම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (30 වැනිදා) වාර්තාවක් ද යවා තිබේ.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකු සමග ගොස් බලහත්කාරයෙන් ඉඩම් මැනීමකට හා එම ඉඩම් හිමි කතගේ නිවස පරීක්ෂා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ද පොලිස්පති නියමයෙන් ඊයේ (30 වැනිදා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
දිවුලපිටිය උල්වලහෙල, සියඹලාගහවත්තේ වූ තම ඉඩමට පැමිණ බලහත්කාරයෙන් ඉඩම මැනීමට උත්සාහ කළ බවට සමන්ති ජයකොඩි නමැති ඉඩම් හිමි කාන්තාව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා ඇත.
තමාගේ නිවසට දෙවැනි වරටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් හා යතුරුපැදියකින් ඉකුත් 27 වැනිදා පැමිණ සෝදිසි කර ගිය බවට මෙම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ය. ඇය පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් තම ඉඩමට ඇතුළු වූ දර්ශන ද දිවුලපිටිය පොලිසියට ලබාදී ඇත.
තමාගේ ඉඩමට අසල්වැසියකු හොර ඔප්පු සකස් කර වෙන්දේසිකරුවකුට විකිණීමට උත්සහා කළ බවත් ඒ සම්බන්ධව මීගමුව පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් ඇයගේ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
ඒ අතරේ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සුගත් ජයසිංහ නමැති අය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග නොවැම්බර් 11 වැනිදා පැමිණ තම ඉඩම බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ ගත් බවටද ඇය පැමිණිලි කර ඇත. එදිනම තම නිවෙසේ සී.සි.ටී.වී කැමරාවලටද ඔවුන් අලාභ හානි කළ බව වීඩියෝ සාක්ෂි සමග පෙන්වා දී ඇත.
පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම සිද්ධියට සම්බන්ධ වූ පිරිස ගැන සොයා විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. මීට අමතරව දිවුලපිටිය පොලිසිය ද පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
– aruna

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක පෙත්සමක් !
රන්ජන් වෙනුවෙන් " නිදහසේ අරගලය" තේමාව යටතේ රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයාට බලකරන අත්සන් " දස ලක්ෂයේ=" පෙත්සම ඊයේ (30) සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ ප්‍රදානත්වයෙන් නිට්ටඹුව බස් නැවතුම්පොළ අසල පැවැත්විනි.
මෙම අවස්තාවට අත්තනගල්ල ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් , සමගි තරුණ බලවේග කෘත්‍යාදිකාරී මණ්ඩල සභික හේශාන් සිල්වා, හසිත ගුණසේකර, ප්‍රාදේශීය සභා මංත්‍රී පුෂ්පකුමාර වීරකෝන්, නයනි ගජනායක,සුනිල් රන්දුනු ඇතුලු කොට්ඨාස සංවිධායකවරු සහභාගී විය.

බැසිලියානු දර්ශනයේ මුහුණත අගය !
රාජ්‍ය තාන්ත්‍රිකත්වය මතුනොව තම කඩවසම්ගත කැරිස්මාවෙන් ජනයා ආලෝලනය කල රොනල්ඩ් රේගන් වරෙක අපූරු ප්‍රකාශයක් කළේය. ඒ මෙපරිදිය. ''Government is not a solution to our problem government is the problem''. අපගේ ගැටළු සඳහා ආණ්ඩුව සතුව පිළිතුරු නැති බවත්, ආණ්ඩුව ම ගැටළුව බවත් ඔහු තෙපලුවේ තම රාෂ්ට්‍ර පාලනයෙන් බැහැරව කලක් ගිය පසුවය. සැබවින්ම බැසිල් රෝහණ රාජපක්‍ෂ දෙස බලා සිටි මට නිරායාසයෙන් සිහිපත් වූයේ ද මෙකී සාටෝපගත කියුමයි. අපගේ ගැටළු විසඳන්නට ආ බැසිල් අපිට ගැටළුවක් වීම කවරතරම් සාදෘෂ නිමැවිය හැකි ප්‍රපංචයක්ද?
මින් සැත්තෑ වසරකට පෙර බක්මහ අකුණු දිසි බක්මසක උපන් බැසිල් රෝහණ රාජපක්‍ෂ සිය ප්‍රබෝධජනක දේශපාලන චාරිකාවේ ලත් මහාර්ඝ පදවියේ සාඩම්බර උරුමය පසුගියදා උරගා බැලුවේය. ඒ මන්දාලෝකය පැතිරි මඳ අඳුරු පාර්ලිමේන්තු සභා ගැබ අරා හුන් තම ජේෂ්ඨ සොයුරාට අභිමුඛවය. කඩදාසි පිටු 80 ක් පුරා විහිදුණු දේශයේ හරුබස්ස සනිටුහන් කල මෙකී සුවිසල් පුරෝකථන පත්‍රිකාව කියැවූ බැසිල් රාජපක්‍ෂ තම පුරාවෘත්තගත ගුඪ නාමය ද එකී සංඛ්‍යා දත්ත අතරේ පාකර හැරියේ යැයි පැවසීමේ කිසි වරදක් නැත. බැසිලාගමනයෙන් සැලි, සසැලී, ප්‍රකම්පිත ව සිටි 6,853,690 ක් වූ දේශප්‍රේමී පොහොට්ටුවාදීන් දුර්මුඛ කොට වරෙක අසුන් ගනිමින්ද, තවත් වරෙක නැඟී සිටිමින්ද, මුදල් ඇමති පෑ දුක්ඛදායි ප්‍රාතිහාර්යය, කිසිවෙකු හෝ දැක්මට රිසි නේත්‍රාභිරංජන දසුනක් නම් විය නොහැක්කේමය.
එහෙව් බජට්ටුවේ අහුපෑවත අද ද වියත් නොවියත් දනෝ තම තම ණෑන පමණින් විදහාපාන්නෝය. එසේවතුදු පොදුවේ වසරක රටෙහි ආදායම් වියදම් ප්‍රක්ෂේපණය උදෙසා බැසිලුන් තතත තතතා දෙසූ දේ අතරේ ඇති සියක් කඩතොළු අතර සුබවාදී යෝජනා ද ඇති බව සනිටුහන් කොට තැබීම ශ්‍රී ලාංකේය දෙවන ජනරජයේ මුදල් අමාත්‍යවරයා වන ඔහු වෙත කරන ගෞරවයකි.
මහාචාර්ය රොහාන් සමරජීව නිවැරදිව දක්වන පරිදි දැන් අප සිටින්නේ ආර්ථික අවපාතය නම් වූ ප්‍රචණ්ඩ දිය සුළියේ ආරම්භක ලක්‍ෂයේ හෙවත් අද්දර වන අතර නිසි පිළියම් නොයෙදුවහොත් අප දිය සුළියේ මධ්‍ය ලක්‍ෂය වෙත ඇඹරී, වැහැරී අවතීර්ණ වනු ඇත්තේ සමස්ත සමාජයම ප්‍රකම්පිත කරමිනි. වත්මන් සමාජ අර්බුදය හමුවේ විසඳුම් දීම ගැසට්ටුවක් ගහනවා වැනි සරල වෑයමක් නොවේ. එය දෙමළ භාෂාගත පිරුළක් හා සමගාමී කොට දක්වන්නේ නම් ''කටු පඳුරක් මත්තේ සිනිඳු සාරියක් එලා එය නැවත ඇද ගන්නා විට සාරිය ඉරී විසිරී යන්නා සේය''.
පොහොට්ටුවාදීන් කෙතරම් භාවාතිශය වුවද බැසිල්ට වුව කල හැක්කේ අති සීමිත කාරියකි. ඒ ඔහු මැවුම්කාර දෙවියන් නොවන බැවිණි.අවාසනාවට නෙළුම් මාවතේ නොදරුවන් බැසිලාගමනය වර නැඟුවේ ඓශ්චර්යාද්භුත වූ ප්‍රවේශයකිනි. ස්වයංතන්ත්‍රයක් වෙත වේගයෙන් ඇදී යන ජනරජයක සාන්තුවරුන් පහළ වේයැයි සිතන පාක්ෂිකයා එක්කෝ සිතීම නතර කල මනවකයෙක්ය. නැත්නම් නිකමෙක්ය.
මෙකී උත්සහය ''බැසිල් බජට්ටුවේ'' කඩතොළු සෙවීම නොවේ. සෙව්වා කියා ඊට විසඳුම් දිය යුත්තේ ද ජයසුන්දර, ආටිගල, කබ්රාල් ත්‍රිත්වය බැවිනි. ඔවුන් සතුව ඇති ප්‍රාගුන්‍ය වැහැරී සේදී යන ලද්දේ මීට දශකයකට එහා වන අතර දැන් ඔවුන් ද සිටිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යායාචාර්යවරුන් වූ මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ හා පාස්කරලිංගම් වැන්නෝ හා එකට ගජේ ගැසිය හැකි විශ්‍රාමික නිවසකය. එබැවින් මෙම සටහන මෙතැන් සිට කැපකරනු ඇත්තේ මතු දැක්වෙන ප්‍රකාශය කෙරෙහිය.
''අපේ රට, ජීවන තත්ත්ව දර්ශකවලට අනුව සංවර්ධිත රටවල තත්ත්වයට කිසිසේත්ම දෙවැනි වන්නේ නැහැ. උපතේදී ආයු අපේක්‍ෂාව ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපේ රටේ වැඩිහිටි ජනගහණය ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස, පෙරට වඩා සක්‍රිය සේවයේ යෙදීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා. ඔවුන්ගේ පරිණතභාවය ඵලදායි ව ප්‍රයෝජනයට ගැනීම ඉතාම වැදගත්. එබැවින්, ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. (අයවැය දෙසුමේ සිංහල පිටපත , 22 වැනි පිටුව :5.4.11 කොටස)
මුදල් අමාත්‍යවරයා මේ කියන කතාව සහසුද්දෙන් ඇත්තය. සැබවින්ම අපගේ ප්‍රජා සෞඛ්‍යමය මෙන්ම සාමාජිය දත්ත මඟින් සනාථ වනුයේ උද්ධමනය අහස උසට නඟිමින් තිබුණද අප ඉතා ප්‍රමිතිසහගත ජීවනමට්ටමක් ලඟා කරගනිමින් සිටින බවයි. එපමනක් නොව මෙරටේ ආයු අපේක්‍ෂාව ද කලාපයේ වෙනත් රටවල් හා සසඳා බැලීමේදී ඉතා ප්‍රශස්තය. එය ශ්‍රී ලංකාවේ වසර 76 ක් සේ සනිටුහන් වන විට පකිස්ථානය -67 , ඉන්දියාව 69, නේපාලය - 70 හා බංගලාදේශය - 72 ලෙසිනි සටහන් වනුයේ.
තවද ලොව වෙනත් රටවල් හා සසඳන කල රාජ්‍ය සේවයේ විශ්‍රාමික වයස වසර 65 වීම අහඹු හෝ අසාමාන්‍ය එකක් ද නොවේ. ලොව අනෙකුත් රාජ්‍ය හා සැසඳීමේදී වයස 65 යනු සාමාන්‍ය විශ්‍රාමික වයස වන අතර ඉනිදු නොනැවතී සමහර රාජ්‍ය, තම විශ්‍රාමික කාල සීමාව තවත් දිග්ගස්සා ඇත්තේය. ඊශ්‍රායලය, ග්‍රීසිය, ඉතාලිය හා නොර්වේ වැනි රාජ්‍ය එකී කාල සීමාව වයස 67 ලෙස නිර්ණය කොට ඇත. එහිලා ලොව විවිධ රටවල් අනුදත් විධික්‍රම එකිනෙකට පරස්පරය. සමහර රටක ස්ත්‍රී - පුරුෂ විශ්‍රාමික වයස එකිනෙකට වෙනස් අතර තවත් රටක විශ්‍රාමික වයස පියවරෙන් පියවර සිදුවන ක්‍රියාවලියක් බවට පත්කොට ඇත. ඊට නිදසුන් සපයන රාජ්‍ය දෙකක් මෙහිලා දැක්වීම වටී. එකක් තායිවානයයි. එහි විශ්‍රාමික වයස ක්‍රමිකව ඉහළ නංවමින් සිටින අතර වසර 2028 දී පමණ එය වයස 68 ක් වනු ඇත. අනෙක් රාජ්‍යය සිංගප්පුරුවයි. වසර 2030 වනවිට ඔවුන්ගේ සැළසුම වන්නේ විශ්‍රාමික වයස අවුරුදු 70 බවට පත්කිරීමයි.
කරුණු එසේනම් බැසිල් රාජපක්‍ෂ නිවැරදි නොවේද? සැබවින්ම ඔහු නිවැරදිය. අවාසනාවට ඔහු නිවැරදි වුවත් අනුදත් ක්‍රියාපිළිවෙල සිහියට නංවන්නේ වසර දහයකින් කාබනික ගොවිතැන වෙත ක්‍රමිකව යෑමට සැකසූ පිඹුරුපත් පසෙකලා එකරැයින් කප් එක ගසන්නට ගත් මුග්ධ හා අඳබාල තීරණය හා 65 ප්‍රතිපත්තියද කඩි කුලප්පුමය එකක් බවයි. එහෙත් එහි සැඟවුණු අරමුණ විශ්‍රාම අරමුදල හා අනෙකුත් සමාජ ආරක්ෂණ ඉතිරුම් නොගෙවා යම් කලක් ආර්ථිකය අල්ලා ගෙන සිටීමද විය හැකිය. මළ ගෙවල්වල ඕඹි ගසන්නට අපේ නායකයන් හරි කැමති බව නොදන්නේ කවුද?
මුදල් අමාත්‍යවරයාගේ ආධ්‍යාශය මනරම් වුවද එය නුදුරු කාල පරාසයේ ශ්‍රී ලාංකේය බිමෙහි පැල කිරීමට අපහසු වෙන අන් යමක් නිසා නොව දැනටමත් මෙරටේ පරිපාලන ක්‍ෂේත්‍රය තුළ රජයන අපිළිවෙල හා අරාජිකත්වය යමෙකුට එකපැහැර නිවැරදි කැරගත හැකි සීමාවෙන් ඔබ්බට ද ගමන් කොට ඇති බැවිණි. එක් පසෙකින් පාලකයන් ජලභීතිකාවට හසුවූ සුනඛ රැලක් සේ රාජ්‍ය සේවය ප්‍රසාරණය කරන අතරේ ඊට ගෙවිය යුතු වන්දිය ද අති විශාලය. නිදසුනක් ලෙස වසර 2018 දී රජයේ අපේක්‍ෂිත ආදායම වූ රුපියල් බිලියන 2040 න් බිලියන 900 ක පංගුවක් වෙන්ව තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික දීමනා වෙනුවෙනි. එයද ඉවසා වැදෑරුව හැකියැයි අපි මොහොතකට සිතමු. එහෙත් ඉන් ඔබ්බේ මතුවන ගැටලුව නම් මෙරටේ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලකයන්ගේ දාම් පෙතක් බවට පත්ව තිබීමේ ඛේදයයි.
මෙහිලා රාජ්‍ය සේවය යැයි කියු සැණෙන් බොහෝ දෙනෙක් සිහියට නඟා ගැනීමට කැමති වන්නේ අත්‍යාලංකාර ටයි පොල්ලක් ගෙලෙහි ලාගත් පරිපාලන විධායකයන් පමණක්ය. එහෙත් මිට ඇතුළත් කුලකය අසීමිතය. රජයේ රෝහලක සාත්තු සේවයේ නිරත සාත්තු සේවකයා ද, කැලෑබද බංකරයක මදුරුවන් තලමින් කලදවස ගෙවන හමුදා සොල්දාදුවා ද මේ කුලකයේ සාමාජිකයෝය. එහෙත් අවාසනාවට පාලක කරුණාව ලද්දෝ පරිපාලන විධායකයෝය. ඉහත මුදල් අමාත්‍යවරයා දක්වන පරිදි සංවර්ධිත රටක දිස්වන ලක්‍ෂණ හා අප සමගාමී වන්නේ නම් අමතක නොකළ යුතුම කරුණක් ඇත. එනම් මෙරටේ යටත් පිරිසෙන් කවර හෝ විශ්‍රාමික පාරිතෝෂිකයක් ලද යුතු පුද්ගල සංඛ්‍යාව සමස්ත ජනගහණයෙන් මිලියන 9.5 ක් බවයි. එහෙත් අද ද මෙරටේ විශ්‍රාමය පුදන්නේ ඉන් 56% ක ප්‍රමාණයක් වෙතය.
මෙකී කවර විෂමතා මධ්‍යයේ වුවද 65 ප්‍රතිපත්තිය වෙත එළැඹිය නොහැකි තීරක සාධකය ලෙස ලියුම්කරු නිරීක්ෂණය කරනුයේ වෙනත් කරුණකි. එනම් හුදු ජේෂ්ඨත්වය හෝ අවස්ථාවාදී දේශපාලන අභිමතාර්ථ මත එහාමෙහා වන විධායකයක් හා මාණ්ඩලික නිළධාරී සංචිතයක් සහිත රටකට මෙමඟින් සිදවිය හැකි අභාග්‍යසම්පන්න ඉරණමයි. මෙරටේ පරිපාලන නිළධරයන් වෙත කවර චෝදනා එල්ල වුවද ක්‍රමයෙන් වැඩෙමින් පවත්නා තරුණ නිළධර සනුහරයේ දැනුම හා ආකල්ප අප්‍රමාණ වන අතර ඉන් බහුතරයක් අල්ලස හා දුෂණය බැහැර කරන්නෝය.
කලක් මෙරටේ අපමණ පිළිකුලට පත් ආයතනයක් ව පැවති ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙවත් 'පාස්පෝර්ට් කන්තෝරුවෙහි' අද දවසේ ප්‍රගතිය විමසන්න. එහි එක් අතිරේක ලේකම්වරියක් තම මුහුණු පොතෙහි මෑතදී පළකළ පෝස්ටුවක දක්වා තිබුණේ ව්‍යසන කාල සමයක අවම කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණයක් සමඟින් ඇය හා සහෝදර නිළධරයන් සිදුකල සේවා සම්පාදනයේ ප්‍රගතියයි. වත්මන් පරිපාලනය හොබවන තරුණ පිරිසේ ආකල්ප අතිශය සුබවාදී වන අතර ඉහත සඳහන් කල අතිරේක ලේකම්වරිය ගැන මාහට ඇත්තේ ඉමහත් වේදනාවකි. හේතුව නම් ඇය විෂයභාර අමාත්‍යවරයා පසුපස ගියහොත් හැර 65 ප්‍රතිපත්තිය හමුවේ ඇයට සිදුවිය හැක්කේ තම දීප්තිමත් හැකියාවන් සමුදාය සිරකොට තබාගෙන සුසුම්ලෑම මිස වෙන අන් කවරක්ද?
එබැවින් 65 ප්‍රතිපත්තිය ඵල දැරිමටනම් බැසිලුන් කල යුතු පළමු කාරිය වෙන අන් යමක් නොව හැකියාවන් පාදක නිළධර තන්ත්‍රයක් වහා හඳුන්වා දීමයි. එය අපි කුශලාතන්ත්‍රය ලෙස හැඳින්වීමට (Meritocracy) කැමැත්තෙමු. එසේ නොවුණහොත් 65 ප්‍රතිපත්තිය විසින් මෙරටේ තරුණ නිළධර තන්ත්‍රයේ සියුම් හැකියාවන් විනාශ කරනු ඇත්තේ ඵලබර රුකක හටගන්නා පිළිලයක් සේය.
එහි පවත්නා අනෙක් ජුගුප්සාජනක දේ නම් මෙවැනි තීරණ උදෙසා උඩගෙඩි දෙන නිළධරයන්ද එකම තැන ඇටුවම් බහින ලොක්කන් වීමයි. අද ද රාජ්‍ය සේවා අමාත්‍යංශය හොබවන ජේ. ජේ. රත්නසිරි විශ්‍රාමිකයෙක් වන අතර යටත් පිරිසෙන් ජෙෂ්ඨතා අනුපිළිවෙල බලන්නේ නම් එහි රැඳිය යුත්තේ දැනට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ධුරය හොබවන ජේ. එම්. සී. ජයන්ති විජේතුංගයි. එපමණක් නොවේ. එහිම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ව පළාත් සභා සහ පළාත් පාලනය ඉසිලූ එස්.ඩී. ඒ. බී. බොරලැස්ස ගැන සිතන්න. ඔහු මෙරටේ අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දවසේ වැඩි කලක් ගතකලේ රොෂාන් රණසිංහ සමඟ වන අතර ඊට අදාළ රාජ්‍ය අමත්‍යවරයා දුන් පඬුරු පාක්කුඩම මෙකී ලේකම් ධූරයයි. එහි වඩාත් හාස්‍යජනක සිද්ධිය නම් තනතුර දුන් රොෂාන් රණසිංහ ම ඔහු පළවා හැර අදාළ ධූරය උදෙසා සැබෑ හැකියාවන් සහිත යහපත් නිළධරයෙක් පත්කොට තිබීමයි. එබැවින් ඔබ නිවැරදිව වටහා ගත යුතු කරුණ නම් පරිපාලනයේ විශ්‍රාමිකයන් සුළුතරයක් මනා වූ සුහුරු හැකියාවෙන් අද ද අපගේ ගෞරවයට පත්ව වැජඹෙන්නේ වුවද, ඉන් බහුතරයක් සංවිධානාත්මකව පරිපාලන වල ඉහගෙන කන බවයි.
ඒ නිසාමදෝ වරක් ජනමාධ්‍යවේදියෙක් දැක්වූ කියුමක් මඳක් වෙනස් කොට දැක්වීමට මා රිසියෙමි. ඔහු පැවසුවේ මෙරටේ අසාමාන්‍ය තණ්හාධික ඇත්තෝ උඩරට පන්සල් රකින උන්නාන්සේලා බවයි. එහෙත් දැන් මා කියමි. මෙරටේ ලොකුම තණ්හාකාරයෝ පන්සල් රකින හිමිවරු හා විශ්‍රාමික පරිපාලන ලොක්කෝය.
තම ධූරයෙන් නික්ම ගොස් නැවත වටයක් කැරකී ඇමතිට කනිපින්දම් කියා නැවතත් ඇමති උපදේශකයා ව අදාළ අමාත්‍යංශයට ම එන මොවුන් හට ආධුනික අමාත්‍යංශ ලේකම්වරයා 'සර්' යැයි කියා පසුවට කල යුත්තේද අදාළ විශ්‍රාමිකයා හට කරන්නට බැරි වූ මජර කාර්යභාරයයි. මේ මොන රටක්ද? බැසිල් රාජපක්ෂ ම එවැනි අයවලුන් කීදෙනෙක් නම් පෝෂණය කරන්නේද? මෙවැනි පසුබිමක 65 යනු තරුණ පරිපාලකයන්ගේ සුසානය වන අතර සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම ගිලන්ව යනු ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අව වර්ධිතම රාජ්‍ය ය ලෙසිනි.
වරක් විලියම් සමර්සෙට් මෝගන් පැවසුවේ මුදල් සයවැනි ඉන්ද්‍රිය හා සම බවත් එහි ඵල නෙලා ගැනුමට ඔබට අනෙකුත් ඉන්ද්‍රියන් පහෙහි ම උපකාරය අවැසි බවත්ය. 65 සමඟ බැසිල් ගෙනා අයවැයද එවැනිය.ඔහු සල්ලි ගැන ලියා ඇත්තේ අනෙක් ඉන්ද්‍රියන් පහ ම අඩපන කර ගෙනය.
මංජුල ගජනායක
#Autocracy #stateservice #pensionscheme #governmentservices

කොරෝනා මරණ සංඛ්‍යාව 14,346 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 18 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,346 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.
මියගිය අනෙක් පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 11 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (30) වාර්තා කරන ලද මෙම මරණ 18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ - එස්.බී.
වත්මන් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා තමා බවත් කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව තුළ තමාට කිසිදු තැනක් ලබා දී නොමැති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.
පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමා දැඩි කළකිරීමෙන් හා දුකෙන් කාලය ගත කරන බවත් දිසානායක සඳහන් කරයි.
පරාක්‍රමභාහු රජුට පසුව රට සහලින් ස්වයංපෝෂිත කළේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස තමා බවත්, එවැනි සේවයක් සිදුකළ තමා පසුපෙළට දමා තිබෙන බවත් ඔහු පවසා සිටී.
එස්.බී. දිසානායක මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.
වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු වී නොමැති නිසා ජනතාව දැඩි කළකිරීමෙන් පසුවන බව පෙන්වා දෙන දිසානායක පවසන්නේ ජනතාව දිනා ගැනීම සඳහා කඩිනමින් පියවර ගතයුතු බවයි.
රටක් සංවර්ධනය කිරීමට නම් විදෙස් ආයෝජකයන් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත් රටේ ඉඩම් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම වැරැද්දක් නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.
අද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් දියුණු වී තිබෙන්නේ රටේ සම්පත් විදෙස් ආයෝජකයන්ට අලෙවි කිරීම හරහා බවත් ඔහු පෙන්වා දෙයි.
LNW

මියන්මාරෙන් ලංකාවට සහල්
වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර, රජයකින් රජයකට පදනම යටතේ දෙරට අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් ආනයනය කෙරේ.
මෙසේ ගෙන්වනු ලබන සහල් ස.තො.ස අලෙවිසැල් හරහා රුපියල් 98 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වූ බී. සිරිසේන කුරේ අද අභාවප්‍රාප්ත විය.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
එක්සත් ජාතික පක්ෂයෙන් 1989 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වන සිරිසේන කුරේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වෙයි.
බී . සිරිසේන කුරේ 1979 සිට 1989 දක්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

මෛත්‍රීට පොහොට්ටු පසුපෙළ ප්‍රහාර ඇරඹේ : ගෞරවය සිරිපාලට සහ අමරෙට පමණයි !
"අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගැහිලි ගැන දන්නවා. ඒවා දැනගෙනත් නාමයෝජනා දුන් නිසා දැන් කරන්න දෙයක් නෑ. හැබැයි අපිට අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්ක ප්‍රශ්නයක් නෑ. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර වගේ ඇමැතිවරුන්ට අපේ ගෞරවයක් තියෙනවා. අපේ කියන හැගීම තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයා එක්ක විතරමයි. එතුමත් ඒත තේරුම් ගත යුතුයි."යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ආණ්ඩුව වැඩියෙන්ම ආරක්ෂා විය යුතු වන්නේ විපක්ෂයෙන් නෙමෙයි, ආණ්ඩුවේම පළමු පුටුවේ වාඩි වෙලා ඉන්න සිරිසේන මහත්තයාගෙන්. එතුමා ගිය ජනාධිපතිවරණයේදී අපිට උදව් කළේ නෑ. එතුමා ස්වාධින වෙලයි හිටියේ. සජිත්ගෙ පැත්තත් අල්ලගෙනයි හිටියෙ. එතුමා ඒක සූක්ෂ්මව කළා.’ යනුවෙන් ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන නමුත් එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආදරයක් හෝ කැමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා ඒ මහතා කියා සිටියේ ශ්‍රීලනිපය සමග අපට ආත්මීය බැදීමක් ඇති නමුත් මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි එවැන්නක් නෑ .
පොහොට්ටුව විසින් ඉකුත් මහමැතිවරණයේදී කළ බරපතළම වැරැද්ද වන්නේ මෛත්‍රීපාලට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීමයි.
‘අපි ශ්‍රී ලංකා එකට ආදරෙයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේනට අපේ එහෙම ආදරයක් කැමැත්තක් නෑ. පොහොට්ටුවයි එතුමායි එකතු වීමම අසම්මතයක්. හරි නම් පොහොට්ටුව පහුගිය මහමැතිවරණයේදී මෛත්‍රීපාලට නාමයෝජනා නොදිය යුතුව තිබුණා. එතුමාටත් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ නැතිව ඉන්න තිබුණා. ඒකයි මුල්ම නොගැලපීම. ඒක කොයි පැත්තකින් බැලුවත් නොවිය යුතු දෙයක්. මම මේක කියන්නේ වෛරයකින් නෙමෙයි. ඒක ජනසම්මතයට පටහැනියි.

එන ජන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ - මෛත්‍රී පුත්‍ර දහම්
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට තමන් අපේක්ෂකයකු ලෙස තරග වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද ඔහු පවසයි .
ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.
දහම් සිරිසේන මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

ශ්‍රීලනිප තනි ගමන සූදානම් : තුනෙන් දෙක එපා යන්න කියලා !
යෝජිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වුවද එහි ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී තිබෙන දේශපාලන අර්බුද මේ වන විට ඉහළ මට්ටමට පැමිණ තිබීම මීට හේතුව බවත් දැනගන්නට ඇත.
ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් දිස්ත්‍රික් ආසන සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානයේදී පවත්වමින් සිටින බවත් වාර්තා වෙයි.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් දැඩි අවධානයක් යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
තුනෙන් දෙක එපා යන්න - පොහොට්ටු පක්ෂයේ මතය මෙන්න !
පුරසාරම් දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.
ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

අනුරට රට ගැන : ජවිපෙ හිටපු ප්‍රබලයකුගේ සටහනක් !
අනුරට රට
Political campaign
Commercial campaign
ගොඩකට මම
slogan හදල තියනවා.
ඒක මගෙ job එක වගේම විනෝදාංශය . හැබැයි මේ slogan එක යෝජනා කරන්නෙ Challenge එකකට අනුරට නෙමේ JVP එකට.
අනුර
අනුර කියන්නෙ ජවිපෙ සිටියදීත් මම එතරම් ප්‍රියකල කෙනෙක් නෙමේ. ටිල්වින් තරම් හොද සංවිධායකයෙක් (CEO) විදිහට දැනිල නෑ.
ඕපාත තරම් හෘදයාන්ගම කමක් දැනිල නෑ.
ලාල් තරම් නිදහස් කමක් දැනිල නෑ.
අඩු තරමින් විමල් තරම් නිර්මානශීලී කමක් දැනිලත් නෑ.
( විමල්ගෙ මතවාදයට න්‍යායාත්මකව මෙන්ම , සාකෑස්ටික් විදිහටත් පහර දුන් සර්යා වැනි බොහෝ ලිපිවල පසුපස සිටියේ මා බැවින් ඔහු අදටද මා සමග පුද්ගලිකවම උරනය. ඔහුගේ මතවාදය පිලිබද මගේ පිලිකුලද අදටත් එසේමය. එහෙත් ඔහු ජවිපෙට සිටි නිර්මානශීලීම ප්‍රචාරක ලේකම් වරයාය)
මා දැක ඇති අනුර සංවිධාන අරගල තුළ නිහඩය. අවස්ථාව එනතෙක් ඕනෑ තරම් කාලයක් ගැනීමට තරම් ඔහු ඉවසිලිවන්තය.
හොදින් නිරීක්ෂණය කර ප්‍රතිවිරෝධතා කලමනාකරනය කර තම ඉලක්ක ජය ගනී. එහිදී ඔහු හොද chess ක්‍රීඩකයෙකි.
මෙය තක්කඩිකමක් ලෙස අවංක වාමාංශිකයෙක් පැවසිය හැක. එහෙත් එජාපය තුල රනිල්ගේ නිහඩබව, ඉවසීම සහ පහරදීම පරිනත කමක් ලෙසත්, මංගලගේ ප්‍රතිවිරෝධතා කලමනාකරනය උපායමාර්ග ප්‍රවීනත්වයක් ලෙසත් දකින මට අනුරගේ එම ක්‍රියාකලාපය තක්කඩිකමක් ලෙස හැදින්විය නොහැක. දේශපාලනය යනු අහිංසකයනගේ සහ අවංකයන්ගේ ජය භූමියක් නොවේ.
අනුරට ජෙප්පන් ගෙන් එලියේ ලෝකය කලමනාකරනය කිරීමේ හැකියාව ඇත. ඔහු සිරස , රෙනෝ මෙන්ම දිලිත්ව වුව කලමනාකරනය කරයි. අවශ්‍ය නම් නිශ්ශංක සේනාධිපති වුවද ඔහුට මැජික් එකක් නොවේ. මේ වැඩේ කරන්නට ගොස් විමල් ඔවුන්ට කලමනාකරනය විය. එසේ කලමනාකරනය වීමට බියෙන් කිසිවක් නොකර සිටීමෙන් පතිවත ගැන උදම් ඇනිය හැකිමුත් දරුපල ලැබිය නොහැක. අනුරට විරුද්ධව මා ගැසූ පලමු ගල් පහර අනුර සිරසට කලමනාකරනය වන බවටය.
එහෙත් තවමත් අනුර සිරස කලමනාකරනය කරගනිමින් සිටී.
ගෙවීම් නැති ඉපයීම් නැත .
දැන් අනුරට ඇති අභියෝගය ඉදිරියේදී රට බාර ගැනීමට දත කට මැදගෙන සිටින අය අතර එක වීම ය.
පක්ශය තුල මැච් එක ගැසූසේ ම නිහඩව , ඉවසිලිවන්තව, නැමෙන තැන නැමී , අතහරින තැන අතහැර ඒ ගමන යාමට අනුර සූදානම් බව පෙනේ. එහෙත් ජවිපෙ එයට සූදානම් බව නොපෙනේ.
සිරි අය්යා සිටියදී අනුර නායකත්වය ගැන කතාකලේ නැත. කුමාර ව ඔහු හැදින්වූයේ අහස තරම් පුලුල් මිනිසෙකු ලෙසිනි, කිසිදින ඔහු දෙවෙනි කලේ නැත, ටිල්වින් අදටත් ඔහුට සුසිල් අය්යා ය , එහෙත් නොදැනීම. ඔහු නායකයාවී ඇත. මේ ගමන ම ඔහු රට තුලත් යායුතුය.
සජිත්, රනිල්, කරූ චම්පික, සිරිසේන පොලවෙන් මෙන්ම අහසෙන්ද මතුවිය හැකි මිනිසුන් ඔහු අභිබැවිය යුතුය.
එය කල හැක්කේ කෙසේදැයි ඔහු දනී. එහෙත් ජවිපෙ වෙනුවෙන් පෙනීසිටින බොහෝ කලබල කරුවන් නොදනී. චම්පිකට වඩා අනුර academic යැයි පෙන්වන්නටත්, අනුර දැන් එකයයි සමීක්ෂණ වාර්තා දාන්නටත් යන්නේ එබැවිනි.
ජවිපෙ සාමාජිකයන් අනුර විජේවීර කෙනෙක්, චේ කෙනෙක් කරන්නට හෝ දියසෙන් කුමාරයෙක් කරන්නට නොගොස් අනුරගේ පාරේ යාමට ඉවසිලිවන්ත විය යුතුය.
අනුර කරන දේ මදි යැයි සිතෙන විට, සැක සහිත යැයි සිතෙන විට විජේවීර ගේ ලෙනින්ගේ ලිපි වෙනුවට "48 laws of power" කියවන්න.
සතුරන්වන අපට කල හැකි උදව්ව,
- මේ පාර අනුර එනව අපිත් අනුරට යැයි කියනවා වෙනුවට තවත් අනුරට විරුද්ධවීමය . අවසන්වශයෙන් ඉතිහාසය විසින් නිර්මානයකල සියලු දේශපාලන අර්භුදයන් ජය ගෙන ඇත්තේ අවංක , අහිංසක , සත්‍යවාදී මිනිසුන් නොව ( එවැන්නන් ඇත්තේද ප්‍රබන්ධ කතා තුලය )
මේ නිමේශය රනිල් මෙන් ඉවසිලිවන්ත මංගලමෙන් උපක්‍රමික මහින්ද මෙන් ජන්ප්‍රිය විය හැකි අයෙකුගේ මිස ට්‍රොස්කි මෙන් න්‍යායික චේ මෙන් කැපවුන ප්‍රභාකරන් මෙන් අවංක අයෙකුගේ නොවේ .
වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිණුමෙනි
Page 397 of 463