V2025

පුවත්

ආණ්ඩුවේ පිපිරීම ස්ථිරයි : තීන්දුව ජනාධිපති සහ අගමැති අතේ !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම තවදුරටත් ඔඩුදුවන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ ආණ්ඩුව නිශ්චිත ලෙසම පුපුරා යන බවත් දැනට ඇත්තේ ඊට කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පමණක් බවයි.

මේ වන විට විමල් වාසු ගම්මන්පිල අමාත්‍යවරුන් ප්‍රමුඛ ශ්‍රීලනිප පාර්ශ්ව උපක්‍රමික ලෙස ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව දෙදරවීමට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කරන අතර ඊට පොදුජන පෙරමුණ දක්වන ප්‍රතිවිරෝධය ආණ්ඩුවේ ගමනක අවසානය තහවුරු කරනු ඇති බවත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

සාගර ගේම ඉල්ලයි !

මේ අදහස් තහවුරු කරමින්, පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යය වෙත අදහස් දක්වමින්, කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පැවසීමත් සමගය.

මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කිරීමට හේතුවූයේ එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් නිසා බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

“යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක්. මේ පිරිස මෙලෙස හැසිරෙනේ කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව බවට බොහෝ දෙනෙකුට සැක මතුවී තිබෙනවා” යනුවෙන් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව පැවසූ සාගර කාරියවසම් ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවද අවධාරණය කළේය.

කොවිඩ් මරණ ගණන 13,760 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,760කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (31) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

ජාලියට නෝ චාන්ස් !

තමාට හිමි තානාපති වරප්‍රසාද අහිමි කිරීමට අදාළව, අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර ඇත.

මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වන අතර අදාළ තීන්දුව අද (01) නිකුත්කර ඇත.

2018 මාර්තු මස 29 දා ජාලිය වික්‍රමසූරිය අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

ඒ අනුව අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය නිවැරැදි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, කුමුදිනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ අතර පෙත්සම රුපියල් 50,000 ක නඩු ගාස්තුවකට යටත්ව ප්‍රතික්ෂේප කර තිබේ.

සොබාදහමට එරෙහි නොවන කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයි - ගෝඨාභය

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බවත් සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා

ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එරට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව සඳහන් කළා.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව කියා සිටියා.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නා.

සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළා.

අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියා.

සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළා.

(Lanka lead )

රට ෂට්ඩවුන් කරනවා : වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි !

මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ෂට්ඩවුන් කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ඒකාබද්ධ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සඳහන් කරයි.

ආණ්ඩුවට කොන්දක් නැති වුවද වෘත්තීය සමිති වලට කොන්දක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මේ බව පැවසීය.

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයන් මොට කිරීමට බවත් පැවසූ ඔහු එම බාධක නොතකා තම වෘත්තිය ක්‍රියාමාර්ගය ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

තුන් වන දා ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගයට රජය ප්‍රතිචාර දක්වන්නේ නැති නම් රට ලොකු ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කරදමන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

දසතින් විරෝධතා මැද හොකී නිලවරණයක් :

රීඩා පණත, ව්‍යවස්ථාව සහ රෙගුලාසි නොතකමින් හදිසියේ හොකී ජාතික නිලවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හොකී ක්‍රීඩාවට ලැදි, ජේෂ්ඨයන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් , නිලධාරීන් ඇතුළු රැසකගේ බලවත් විරෝධය එල්ලවී තිබේ.

වාර්තා වන ආකාරයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ගේ ප්‍රධානත්වයෙන් හෙට (02) මෙකී නිලවරණය පැවැත්වීමට සූදානම් කර ඇත.

තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කාලාන්තරයක් තිස්සේ මෙරට හොකී ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පවා නොතකමින් මේ කටයුතු සිදුවෙමින් ඇති බවය.

එසේම ක්‍රීඩාව නැංවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගන්නා උත්සාහය හොකී තුළ අපකීර්තියට පත්වීමේ අවධානමක් මේ තුළ ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුට අත්වූයේද එවැන්නක් බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මාතලේ හොකී සංගමයේ සභාපති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකළ ලිපියක් පහත දැක්වෙයි.

45545 1 721x1024

කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාම

"ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150 ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80 ක් (55% ක්) ම වල් නාශක. හෙට කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා. මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා. මහා පරිමාන වගාකරුවෝ සියළු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය අතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුනේ නැත්තම් ඔවුන් සදා අනාථ වෙනවා " යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ මන්ත්‍රීවරිය මේ අදහස් දක්වා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ආණ්ඩුව කියන පට්ටපල් බොරු අහලා ගොවියෝ ටික දෙනෙක් වී වගාව කරලා තියෙනවා. හැබැයි දැන් ගොවියාට වල්ටික ගලවා ගන්න බෑ. කෘෂි රාසායන මිල දැන් හතර ගුණයකට වඩා ඉහළ ගිහින්. කළු කඩේ තියෙන්නේ ප්‍රමිතියක් නැති හොර බෙහෙත්. ආණ්ඩුව දැන් මාසයක් තිස්සේ ගොවියාට බෙහෙත් ටික දෙනවා කියනවා. තවම කිසිම ආනයන අවසරයක් දීලා නෑ.

සඳුදා කැබිනට්ටුවේ දී ඇස්වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒ්වායෙන් විතරක් වගාව කරන්න බෑ. මේ ලැයිස්තුවේ සියළුම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා. මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල්ටික දවස් 45 ක් මර්ධනය කළේ නැත්තම් වී කරල බොල් වෙනවා කියලා. වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහිදවස්වල එලියට බහින්න එපා.

වෙන්ඩ බලශක්ති ඇමතිට ගම්මන්පිල සුබ පතයි !

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ අනාගත බලශක්ති ඇමති ධුරයට තමන් එක සිතින් සුභ පැතුම් එක් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් මේ බව වාර්තා කර ඇති අතර ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් සිදුකරන ලද්දේ සත්‍යවාදී ප්‍රකාශයක් බව වගකීමෙන් පවසන බවද ගම්මන්පිල අමාත්‍යවරයා පවසා ඇති බවත් එහි සඳහන් ය.

වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුවක් බවට ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් කළ ප්‍රකාශය ගැන විමසීමකදී අමාත්‍ය ගම්මන්පිල මෙසේ කියා සිටි බවත් එම පුවත කරුණු සඳහන් කරයි.

රජය විවේචනය කරමින් අමාත්‍ය ධුර දරන්නේ නැතිව ආණ්ඩුවෙන් එළියට යා යුතු බවත් වත්මන් ආණ්ඩුව දූශිත ආණ්ඩුවක් නම් එහි සිටින්නේ මන්දැයි රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කහටගස්දිගිලිය නගරයේ දී සඳහන් කළේ ආන්ඩුවේ සෙසු පක්ෂ කොළඹදී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවෙන් පසුව බවත් එහි සඳහන් ය.

හානිකර බැක්ටීරියා සහිත චීන පොහොර රැගත් නෞකාව ලංකා මුහුදට !

හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර තොග රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කර තිබේ.

මේ වන විට අදාළ පොහොර තොගය නියමිත ප්‍රමිතියට නැති බව එනම් මෙරටට ඉතාම හානිකර බැක්ටීරියා ඇතුළත් බව අනාවරණය වී ඇත.

කෙසේ වුවත් චීන රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් මේ සම්බන්ධයෙන් එල්ලවී ඇති අතර පොහොර තොගයට අදාළ ගෙවීම් නොකිරීම හේතුවෙන් මහජන බැංකුව අසාදු ලේඛන ගතකළ බවත් දැනුම්දෙනු ලැබිණ.

මේ අතර මහජන බැංකුව ආශ්‍රිත ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට අධිකරණයක් නිකුත්කර ඇති වාරණයක් හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකිව ඇති බවයි.

මේ අතර මෙරට සිටින ප්‍රමුඛතම පාංශු විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ මෙකී බැක්ටීරියා ඇතුළත් බවට මෙරට දී දෙවරක් තහවුරු වූ පොහොර කිසිසේත් වගාබිමට නම් මුදානොහරින ලෙසය.

එහෙත් පසුගියදා චීන තානාපති කාර්‍යාලයේ කැඳවීමට ගිය ආණ්ඩුවේ ඇමතිවරුන් තෙවැනි පාර්ශ්වයක් හරහා මේ පොහොර සාම්පල පරීක්ෂා කිරීමට එකඟව ඇති බවත් වාර්තා වෙයි.

පොහොර නැව ගෙනාවේ ඥාතියකු තමයි : හැබැයි බිස්නස් එකේ මම නෑ - අගමැති ලේකම්

මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් සඳහන් කරයි.

එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද පවසයි.

තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද ඔහු ඉල්ලයි.

අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ නිවේදනයක් නිකුත්කර ඇත.එම නිවේදනය පහත දැක්වෙයි.

45545 1 721x1024

උකුසු ප්‍රහාර ඇරඹේ : මෛත්‍රී ගොවි උපවාස වෙත යයි !

තම ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ නොදෙන බවත් තමන් ගොවියා ගැන කොච්චර මේ ආණ්ඩුව සමග කතා කරත් මේ ආණ්ඩුව ඇහුම්කන් නොදෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ අදහස් දක්වා ඇත්තේ බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට ගිය අවස්ථාවේ ය.

මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව ගොවිතැනට පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබිණ.

කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවන බවත් මෙහිදී හිටපු ජනාධිපති පැවසූ බව වාර්තා වෙයි.

"මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ." යනුවෙන් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

එහිදී "නැවත බලයට පත්වුවහොත් වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද ?" යනුවෙන් ගොවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති පවසා ඇත්තේ , තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ‍ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවයි.

ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නේ නැති බවත් ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බවත් මෙහිදී හිටපු ජනාධිපති පවසා ඇත.

තවද තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනීපෙට්ටිවලට පවා කර ගැසූ බව කියමින් ඉතිහාසයත් ඔහු සිහිපත් කර ඇත.

අ‘පුර පාසල්වල ප්‍රාථමික සිසුන් 30කට කොරෝනා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය ප්‍රදේශවල ප්‍රාථතමික පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිදෙනකු සහ එක් විදුහල්පතිවරයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක  පවසයි.

"අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවන බව පසුගිය සතිය තුළ අපිට වාර්තා වුණා. දින 5කට අපිට රෝගීන් 650 ඉක්මවා වාර්තා වුණා. අනුරාධපුර දිස්ත්‍රිකකයේ ප්‍රාථමික විදුහල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙක් රෝගයට ගොදුරු වෙලා තියෙනවා."

ඔවුන් අතරින් සංකූලතා පෙන් වූ පිරිස් රෝහල් ගත කර ඇති අතර සෙසු පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100 පමණ නිරෝධායනයට යොමු කර ඇත.

ලංකාදීප

චීන පොහොරවලට ඩොලර් මිලියන 09 ක් ගෙවන්න වෙලා !

චීන පොහොරවලට අනිවාර්යෙන්ම ඩොලර් මිලියන 9ක් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු පවසයි.

ඔහු මේ කරුණු සඳහන් කරන්නේ චමුදිත සමරවික්‍රම සමග youtube සාකච්ජාවකට එක්වෙමින්ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පොහොරවල පරීක්ෂණ වාර්තා පැමිණීමට පෙර ණයවර ලිපි විවෘත කොට ඇති බවත්, රජයේ පොහොර සමාගමේ අඩුපාඩු ඊට බලපා ඇති බවත් දැන් කිසිවක් කිරීමට නොහැකි බවත් ය.

බැංකුව ණයවර ලිපි විවෘත කිරීමේදී විස්තරාත්මක තොරතුරු වාර්තා නොවන බවත්, ප්‍රමිති වාර්තාව පැමිණ ඇත්තේ ඊට පසුව බවත් ඔහු පෙපෙන්වාදී සිටියි.

එසේම වාරණ නියෝගයක් හේතුවෙන් අදාළ මුදල ගෙවීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන් මමහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට නොගියේ නම් දැනටමත් මුදල් ගෙවා ඇති බවද පවසා ඇත.

චීන තහනම හේතුවෙන් යම් අර්බුදයක් මතුවිය හැකි බවද පෙන්වා දෙන ඔහු කෙසේවෙතත් මහජන බැංකුව අත කිසිදු වැරද්දක් නොමැති බවද පවසයි.

ආණ්ඩුව සෙසු පක්ෂවලින් දික්කසාදය ඉල්ලයි !

"පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරි වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ නේ කොහෙවත්. ගැලපෙන්නැත් නම් දික්කසාද වෙන්න ඕනේ.” යැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ආණ්ඩුව දූෂිත බවට පසුගිය 29 කොළඹ පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල මහජන මන්ත්‍රණ සභාවේ චෝදනා එල්ල කරනු ලැබුණු අතර ඊට ඉහත ආකාරයට පොදුජන පෙරමුණේ මැතිඇමතිවරුන් ආවේගවත් ප්‍රතිචාර දක්වනු ලැබිණ.

එහිදී විශේෂ කරුණක් වන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අභියෝග කිරීමයි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , “ගම්මන්පිල ඇමතිතුමා කිව්වා දූෂිත ආණ්ඩුවක් කියලා. ඒ තරම් දූෂිත රජයක් නම් මේක ඇයි එතුමා ඒක තුළ ඉන්නේ.” යනුවෙන් ප්‍රශ්න කර ඇත.

තවද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මේ දිනවල වැඩි මාධ්‍ය අවධානයක් දිනාගැනීමට උත්සාහ කරමින් සිටියි. ඔහු කියන්නේ විමල්ලා පොහොට්ටු නායකයන්ගේ පසුපසට පහර දෙනවා නම් අප ඔවුන්ගේ පසුපසට පයින් ගැසීමට සූදානම් බවය.

මෙම ප්‍රකාශය පෙන්නුම් කරන්නේ පසුගියදා මහජන මන්ත්‍රණ සභාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා ව්‍යංගයෙන් පැවසූ දේ නිවැරැදිව ග්‍රහණය කරගන්නට තිස්ස කුට්ටි මන්ත්‍රී අසමත්ව ඇති බවයි.

නව කොවිඩ් රැල්ලක් ගැන අවදානමක් !

සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එම අවදානම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

තවත්‌ කෝවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළැක්වීම සඳහා සීමා කිරීම්‌ සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින්‌ පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේ දී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත්‌ වන බව ඔවුහු අවධාරණය කරයි.

නැවත කොවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කරනු ලැබූ පියවරයන් පහත දැක්වේ.

*ඉතා හොද අධීක්ෂණයක්‌ යටතේ වත්මන්‌ නීති හා සීමා කිරීම්‌ දැඩි ලෙස බලාත්මක කිරිම.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්‌ කොවිඩ්‌ පැතිරිම වැළැක්වීමේ අරමුණින්‌ පිළිගත හැකි හා සාධාරණ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිකුත්‌ කර ඇතත්‌, මෙම ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමේ දී අතිශයින්‌ ලිහිල්‌ බවත්‌, මහජනතාව විසින්‌ ඒවාට අවනත නොවන බවත්‌ පෙනී ගොස්‌ තිබේ. බොහෝ දෙනෙක්‌ මුඛ ආවරණ පැළඳීම නිසි පරිදි සිදු නොකරන බව පෙනී ගොස්‌ ඇනි අතර කඩ සාප්පු, මහජන පොළ, පූජනීය ස්ථාන සහ අවමංගල්‍ය උත්සව වැනි පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්‌ පියවර ගන්නා ලෙස අපි රජයෙන්‌ ඉල්ලා සිටිමු. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ චිසින්‌ නිකුත්‌ කරන ලද සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.

*ප්‍රමුඛතා කණ්ඩායම්‌ සඳහා ෆයිසර් එන්නතෙ හි තූන්වන මාත්‍රා බූස්ටරය.

ශ්‍රී ලංකාවේ සයිනොෆාම්‌ එන්නත ලබා ගත්‌ වැඩිහිටියන්ගෙන්‌ 7%ක්‌ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රමාණවත්‌ ප්‍රතිශක්තියක්‌ වර්ධනය කර ගෙන නොමැති බව තහවුරු වී ඇත. පාසල්‌ නැවත විවෘත කිරීම සහ සංචරණ සීමාවන්‌ ඉවත්‌ කිරීම නිසා සිය මුණුපුරු මිණිපිරියන්‌ වෙත වැළඳී ඒ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි කරුණු නිසා මෙම වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය චීමේ අවදානම වත්මන්‌ තත්ත්වය තූළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇත. මෙම වැඩිහිටි පිරිස අනෙකුත්‌ වයස්‌ කාණ්ඩවලට වඩා කොව්ඩ්‌ වෛරසය නිසා දරුණු ලෙසින්‌ රෝගී තත්ත්වයට හා මරණයට ගොදුරු වේ.

තවද, කොච්ෂීල්ඩ්‌ එන්නන ලබා ගත්‌ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දෙවන එන්නත ලබා දී මාස හයක්‌ ගත වෙමින්‌ ඇති බැවින්‌ මාස 6 ඉක්මවීමෙන්‌ පසු ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ක්‍රමයෙන්‌ අඬු වීමට පටන්‌ ගනී. මේ නිසා ඔවුන්‌ පහසුවෙන්‌ ම කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම බෙහෙවින් ඉහළ යනු ඇත. එබැවින්‌, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්‌, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60 ට අඩු රෝගීන්‌ සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්‌ හට ෆයිසර්‌ එන්නතෙහි තූන්වන මාත්‍රාව / බූස්ටර්‌ මාත්‍රාව ප්‍රමාදයකින්‌ තොරව ලබා දිය යුතුය. නුදුරු අනාගතයේදී තවත්‌ ආසාදන රැල්ලක්‌ ඇතිවීම වැලැක්වීම සඳහා මෙය ඉහළම ප්‍රමුඛතා කාර්යයක්‌ ලෙස සැලකිය යුතුය.

*අධි ව්‍යාප්ත වීම්‌ තත්වයන්‌ සහ සිදුවීම්‌ සීමා කරමින්‌ කටයුතු කිරිම.

පුද්ගලයන්‌ වැඩි වශයෙන්‌ ගැවසෙන සංවෘත පරිසරයන්‌ කොවිඩ්-19 ආසාදනය සඳහා අධි ව්‍යාප්ත වීමේ තත්වයන්‌ නිර්මාණය කරයි. එබැවින්‌ සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම්‌ ආදියේ සංඛ්‍යාව සීමා කරමින්‌ පොදු උත්සවවලට අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන්ම ලිහිල්‌ කිරීම තවත්‌ කාලයක්‌ ප්‍රමාද කරන ලෙස අපි රජයෙන්‌ ඉතා ඕනෑකමින්‌ ඉල්ලා සිටින්නෙමු.

*පරීක්ෂණ සිදු කරමින්‌ කොවිඩ්‌ වැළඳී ඇති පුද්ගලයන්‌ සම්බන්ධයෙන්‌ නිරන්තර අවධානයක්‌ පවත්වා ගැනීම.

මීළඟ ආසාදන රැල්ල වැලැක්වීමට නම්‌, ආසාදනවල වැඩිවීමක්‌ කලින්‌ හඳුනා ගැනීම අතිශයින්‌ වැදගත්‌ වනු ඇත. සුපරීක්ෂාකාරිව කොව්ඩ්‌ ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන්‌ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ඇත. එබැවින්‌ කොවිඩ්-19 සම්බන්ධ නිරන්තරයෙන්‌ සිදු කරනු ලබන පරීක්ෂා කිරීම්‌ ක්‍රියාවලිය ශක්තිමත්‌ කිරීම ඉතා වැදගත්‌ වේ. එබැවින්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රජාව තූළ කොවිඩ්-19 සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යෑම ශක්තිමත්‌ ආකාරයෙන්‌ සිදු කරනු ඇතැයි අප විශ්වාස කරන අතර සියලුම ප්‍රධාන රෝහල්වල බාහිර රොගී අංශයන්හි ‘උග්‍ර ශ්වසන කලාප ආසාදන’ (SARI) නිරීක්ෂණ පද්ධති ශක්තිමත්‌ කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

සමස්ත කොවිඩ් මරණ ගණන 13,725 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) සිදුව ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,725කි.

එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය.

සියලු පාසල්වල සා/පෙළ හා උ/පෙළ නොවැම්බර් 8 වැනිදා ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.

එම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති පවත්වාගෙන යා යුතු වෙයි.

අත්‍යවශ්‍ය සේවාවන්ට තවත් ආයතනය කිහිපයක්

වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර  විසින් ඊයේ (29) දින මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සදහන් කර ඇත.

11

12

Page 394 of 448