Language Switcher

V2025

කෘෂිකර්මයේ වැඩ නිසා වෙන්ඩ අගමැති  පඹයෙක් වෙලා - රෝහිණී කවිරත්න

2022 නොවැම්බර් 30 කෘෂි රසායන ලංකාවට ගෙන්වන්න මොළ හතක් තියෙන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ  ගැසට් එකක් ගැහුවා. අදට සති පහක් ගෙවිලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ‘වෙන්ඩ අගමැතිි බැසිල් රාජපක්ෂ‘ පඹයෙක් කරන්න කෘෂි රසායන ගෙන්වන එන වලක්වලා තියෙනවා. ‘වෙන්ඩ අගමැතිවරුන්ගේ ඇතුළේ කචල් නිසා රටට සාගතයක් එනවා‘ යැයි මාතලේ දිස්ත්‍රිික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න  පැවසුවාය.

මාධ්‍ය හමුවක් පවත්වමින්  ඇය මෙසේ පැවසුවාය. 

2021 අප්‍රේල් 01 දා, මෝඩයාගේ දවසේ පොහොර - කෘෂි රසායන ගෙන්වීම නවත්වන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණයක් ගත්තා. 2021 අප්‍රේල් 22 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතියක් බවට පත් කළා. ඒ මෝඩ තීරණය 2021 නොවැම්බර් 21 නිල වශයෙන් ඉවත් කරන බවට, නිවේදනය කළා. 2021 නොවැ. 30 ලංකාවට කෘෂි රසායන, පළිබෝධ නාශක ගෙන්වීමට ඒ ගැසට් එක රිවස් කරලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉඩ හදලා දුන්නා. හැබැයි අද වෙනකල් ගැසට් රිවස් කරලා දැන් සති 5 යි, කිසිම කෘෂි රසායනයක් ලංකාවට ගෙන්නලා නෑ. එකම ණයවර ලිපියක් විවෘත කරලා නෑ.

බැසිල් රාජපක්ෂ කියන්නේ ඊලඟ ‘වෙන්ඩ අගැමති‘ -- ලබන සතියේ අගමැති වෙනවා කියලත් මාධ්‍ය කියනවානේ. බැසිල් කියන්නේ මොළ හතක්, සර්ව බලධාරියෙක් කියනවා නේ. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කියන එකම දෙයක්වත් කරන්නේ නැති ලංකාවේ එකම අමාත්‍යාංශය තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය.

ආණ්ඩුව කෘෂි රාසයන තහනම ඉවත් කරන්න හදනකොටම ඊට පහුවදා, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් නීති විරෝධී ආකාරයට ධූරයෙන් ඉවත් කරලා රටට පළිබෝධ නාශක ගෙන්න බැරි පරිසරයක් හැදුවා.

අනුරාධපුර - පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ වී අස්වැන්න 50% කින් අඩු වෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. නැගෙනහිර පළාතේ වගා කරලා තියෙන්නේම 1/3 යි. අස්වැන්න ගිය අවුරුද්දෙන් ½ කියලා දැන් හැමෝම දන්නවා. මහවැලි කලාපවල ගොයම් ගහට වැඩිය වල් පැල උසයි.

අද ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ වගාව බේරගන්න වල් නාශක ටික. බඩඉරිඟු වගාවෙන් 80%ක් වල් නාශක නැතුව විනාශ වෙලා ඉවරයි. කුඹුරුවල අතින් වල් ගලවලා වගාව බේරගන්න බෑ. ගොවියෝ වල් නාශක ඉල්ලකොට කෘෂිකර්ම අමැති කියනවා ‘අපි කියන විදිහට පොහොර දැම්මේ නැත්තම් වගා වන්දි දෙන්නේ නෑ කියලා.‘ ඔය දියර පොහොර ගැව්වාම ගොයම් ගස් බල්ලෝ කනවා. කඹරයෝ කනවා. බල්ලෝ - කඹරයෝ ගොයම් ගස් කෑවේ කවද්ද? ගොවියෝ දියර පොහොර ගහලා කඹරයින්ට ගොයම් ටික කන්න දෙනවා ද?

මේ කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවට නොවැම්බර් 21-25 දවස ගානේ කිව්වේ අද ඉදන් කෘෂි රසායන දෙනවා. බය නැතුව වගා කරන්න කියලා. ඇමතිගේ ලනුව කලා වගා කරපු ගොවියෝ දැන් කෘෂි රසායන නැතුව විනාශයි. හරකුන්ට, කුකුළන්ට දෙන බඩ ඉරිඟු ටිකක කෘෂි රසායන දෙන්නේ නෑ.

අද ගොවියෝ රු. 15,000 - 30,000 ගානේ පොහොර අරගෙන වගා කළා. දැන් ඒවා පණුවෝ කනවා. පිපියෝ ගහනවා. කුඩුස්සෝ, වේයෝ ගහනවා. ඒ එකකට වත් ප්‍රතිකර්මයක් නෑ. අමාරුවෙන් හදාගත්ත වගාව විනාශ වෙනකල් කෘමිනාශක ගෙන්වන්නේ නැතුව රටේ සාගතයක් හදන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි.

ආණ්ඩුවේ ගබඩාවල තිබුණ පොහොර ටික ගොවියාට දුන්නේ පරක්කු වෙලා. එතකොට අශුචි පොහොර කෑන් පුපුරන්න පටන් අරගෙන තිබුණේ. අද වගාව විනාශ වෙන්නේ දිලීර නාශක නැති නිසා. මාතලේ, මධ්‍යම පළාතේ කිසිම තැනක නීත්‍යානුකුලව ප්‍රමිතියකින් යුතුව නිශ්පාදනය කරපු දිලීර නාශක දැන් නෑ.

රට සාගතයකට ගෙනියන්නේ මේ කාලකන්නි වැඩ නිසයි.

රටට කන්න දෙන්න ඕනි නම්, හදලා තියෙන වගාව බේරාගන්න කෘෂි රසායන, පළිබෝධ නාශක ආනයනය කරන්න ඕනි. ලංකාවේ වැඩිම එළවළු පළතුරු වගාව සිද්ධ වෙන්නේ ජනවාරි - අප්‍රේල් මාසවල. රටට කන්නේ ඒ එළවළු. පොහොරත් නැතිව, වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතුව ජනවාරි - මාර්තු අතිරේක භෝග වගාව කරන්න බෑ.

බහුජාතික සමාගම්වලට, වතු සමාගම්වලට පොහොර තියෙනවා. හැබැයි රටේ දුප්පත් ගොවියාට පොහොර නෑ. බහුජාතික සමාගම්වලට කෘෂි රසායන ගෙන්වන්න දීලා තියෙනවා. හැබැයි ගමේ කඩේ බෙහෙත් ටික නෑ. ගොවියාට කෘෂි රසායන නැතිව වගා කරන්න බෑ.

මේක ධනපතියන්ට ලාබ ලබන්න දුප්පත්තු නැති කරන ආණ්ඩුවක්. තීන්දු ගත්තාට තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක් යැයි ද කවිරත්න  පැවසුවාය.

=