V2025

විචාර

මංගල සූත්‍රය : අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා !

ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි. මංගල ඇත්ත මිනිසෙක්ය.

ඒ මංගල නික්ම ගියේය. මේ දක්වා කොවිඩ් වසංගතය බිලිගත් ලාංකේය සමාජයේ වඩාත් බලපෑම්සහගතම මිනිසා මංගලයි. කොවිඩ් ඒ තරම් දරුණු වී ඇත. දේශපාලනයේ පුරෝකතනයන්ට සමත් මංගලටද කොවිඩ් මේ තරම් දරුණු වනු ඇතැයි සිතිය නොහැකි විය. ජූලි 25 ඔහුගේ අළුත් කණ්ඩායම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව දින උදෑසන මෙරට මාධ්‍ය ව්‍යාපාරයේ දැවැන්තයකු වූ රාජා මහේන්ද්‍රන් මිය ගියේය. ඒ සදහා ශෝකය පළ කරමින් මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කල මංගලට ඊට මාසයක් ඉකුත් වීමට මත්තෙන් සමු ගැනීමට සිදු විය.

පෙරළි තුළ මංගල

මංගල සමරවීර දේශපාලනික මිනිසෙකි. ඔහු නොසිතන දේශපාලන පෙරළියන්ගේ මෙහෙයුම්කරුවකු විය. 1993 දී චන්ද්‍රිකා ලංකාවට රැගෙන එමින් 1994 දේශපාලන පෙරළියට සැලකිය යුතු දායකත්වයක් දුන් අයගෙන් එක් අයෙකි මංගල. චන්ද්‍රිකාගේ ආන්ඩුව පාර්ලිමේන්තුවේ පැවැතියේ එක් වැඩි ඡන්දයකිනි. එක් වැඩි ඡන්දයකින් පැවැති ආණ්ඩුව 2000 වසර දක්වා පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන ඒමට චන්ද්‍රිකාට උපරිම සහය ලබා දුන්නේ මංගලයි. 2001 වසරේ විපක්ෂයට ගිය පසු නැවත ආණ්ඩු බලය ලබා ගැනීමට නොසිතන ගේමක් ගැසුවේ මංගලයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් බිහි කිරීමේ මෙහෙයුම පිටුපස සිටියේ මංගලයි. මංගලගේ සන්ධානය ජයග්‍රහණය කල අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමටද මංගල සුවිශාල දායකත්වයක් ලබා දුනි. ජනතා විමුක්ති පෙරමුණේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට මැදිහත්වීම සිදු කලේ මංගලයි. යුද ජයග්‍රහණයෙන් පසු වැලේ වැල් නැතුව සිටි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයට දේශපාලනික ශක්තියක් සපයන සරත් ෆොන්සේකා ආගමනයද මංගලගේ දේශපාලනික ගේම් එකකි. 2015 පෙරළියට මුල් පියවර තැනෙන්නේ මෙම මැදිහත්වීම නිසාය. යුද ජයග්‍රහණයේ ආහ්ලාදය සමග මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය විපක්ෂය හාන්සි කරවන්නක් වුනේ නම් 2015 පෙරළියක් ගැන සිතිය නොහැකි වනවා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම පවත්වා ගැනීමත් අසීරු අඩියකට වැටීමට ඉඩ තිබුණි. 2015 පෙරළිය තුළ මංගලගේ භූමිකාව කාටත් නොරහසක්. මේ ආකාරයට 1994 සිට 2015 තෙක් ලංකාවේ සිදු වූ තීරණාත්මක දේශපාලන පෙරළියන්හි තීරණාත්මක චරිතය මංගල විය.

ඇමති මංගල

කැබිනට් ඇමතිවරයකු ලෙස මංගල සුවිශේෂි දක්ෂයෙකි. ඔහු මිනිසුන්ගෙන් වැඩ ගන්න සමතෙකි. නිලධාරීන්ට නිසි තැන හා ගෞරවය ලබා දෙමින් ඔවුන් නිසි ලෙස කළමනාකරණය කිරීමේ සැබෑ දක්ෂයෙකි මංගල.

ඔහු තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා ලෙස හිදිමින් ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉදිරිගාමී පරිවර්තනයකට නායකත්වය ලබා දුන්නේය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකට ටෙලිකොම් යොමු කරමින් නිලධාරිවාදය බිද දමමින් අභියෝග ජයගනිමින් වාණිජ ලෝකයකට ලංකාව යොමු කිරීමට ඔහු සමත් විය.

ඔහු අතිදක්ෂ විදේශ කටයුතු ඇමතිවරයෙකි. විදේශ කටයුතු ඇමතිවරයකු ලෙස සෑහෙන්න තරම් කීර්තියක් ඔහු ජාත්‍යන්තර ප්‍රජාව තුළ අත් කර ගත්තේය. ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පසු ලංකාව බිහි කළ දක්ෂතම මෙන්ම කීර්තිමත්ම විදේශ ඇමතිවරයා මංගල සමරවීරයි. විදේශ සේවයට දේශපාලන මැදිහත්වීම් සිදු නොකලේ මංගලගේ කාල පරිච්ඡේදයන්හිය. ලියුම්කරු සමග මංගලගේ වියෝව සම්බන්ධයෙන් කතා බස් කල විදේශ සේවයේ ඉහළ නිලධාරියකුගේ අදහස වූයේ යුද ජයග්‍රහණයෙන් පසු මංගල විදේශ ඇමතිධූරයේ සිටියේ නම් ලංකාවේ බොහෝ ගැටළුකාරී තත්වයන් ආපසු හැරවීමට ඔහු සමත් වන බවයි. ලංකාවේ වඩාත් බලපෑම් සහගතම රාජ්‍යයන් සමග ඔහු ගොඩනගාගත් මිත්‍රත්වය අතිවිශිෂ්ටය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය, හා ඉන්දියාව ඔහු ලංකාව වෙත දිනා දීමට සමත් විය. ඒවායේ ප්‍රධාන රාජතාන්ත්‍රික මිතුරන් ඔහුට සිටියේය. ඔහුගේ තිස් වසරක දේශපාලන දිවි සැමරුමට පැමිණි සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කලේ ඇයගේ ග්‍රන්ථ රචනාවක් හේතුවෙන් නිවසින් හෝ එළියට නොබැස කටයුතු කරන ඇය සැතපුම් 8000ක් පමණ දුර ගෙවා ගෙන ලංකාවට පැමිණීමට එකම හේතුව මංගල බවයි. මුදල් ඇමතිවරයකු ලෙසද මංගල දක්ෂතා දැක්වීය. 1950 දශකයෙන් පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් සහිත අයවැය ලේඛනයක් සැකසීමට හැකි වූයේ මංගල සමරවීර මුදල් ඇමතිවරයාටය.

අභියෝගයන්ට අභියෝග කල මංගල

1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූ දා පටන් මංගල අභියෝගාත්මකව දේශපාලනය කල චරිතයකි. වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වූ 1980 දශකයේ විපක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස මංගල දේශපාලනය කළේ විපක්ෂ ක්‍රියාකාරීන්ට සුව පහසු යුගයක නොවේ. එවකට සිදු වූ බලහත්කාරී තරුණ අතුරුදහන්කිරීම් වලට එරෙහිව මංගල සටන් කළේය. මනෝරානි සරවනමුත්තුගේ නායකත්වයෙන් පිහිටවූ මව් පෙරමුණ බිහි කලේ මංගලගේ නිවසේදීය. එයට දේශපාලන සහය සැපයූයේ මංගල හා හිටපු ජනපති මහින්දය. බලහත්කාරී අතුරුදහන්වීම් වලට එරෙහිව සිය ජීවිතය අවසාන වන තෙක් මංගල පෙනී සිටියේය.

සිංහල ජාතිවාදයට එරෙහිව මංගල දිගින් දිගටම පෙනී සිටි අතර සුදු නෙළුම් ව්‍යාපාරයට මංගල නායකත්වය ලබා දුන්නේ අවංකවය. ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් මංගල අනවරතව පෙනී සිටියේය. ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රසිද්ධියේ කීමට තරම් මංගල නිර්භීත විය.

සිය ලිංගික නැමියාවන් පිළිබඳවද විවෘත භාවයකින් කටයුතු කිරීමට මංගලට හැකි විය. ඔහුගේ දේශපාලනික ජීවිතය ද දේදුන්නක් මෙන් වර්ණ ගැන් වී තිබුණි. ඔහු විශ්වාස කලේ ලෞකික රාජ්‍යයි. සිය ලිංගික නැමියාවන්ට, ලෞකික ජීවිතයට දසතින් මඩ ප්‍රහාර එල්ල වෙද්දී මාතර දිස්ත්‍රික්කයෙන් මංගල සැමදා ජයග්‍රහණය කලේය. ඔහුගේ ලිංගික නැමියාවන් බොරුකාර කොළඹ අළුත් මැද පන්තියට ප්‍රශ්නයක් වුවද මාතර ඇත්ත පීඩිත ජනයාට ප්‍රශ්නයක් නොවුණි. කොළඹින් එකට යැවූ සරත් වීරසේකරලාට විමල්ලාට වඩා මාතර මංගල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙකි. දියුණු නාගරිකයෙකි.

සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට යට නොවුනු මංගල

මංගල කිසිදු දිනක සිය දේශපාලන අවස්ථාවාදය උදෙසා ජාතිවාදය තුට්ටු දෙකට වෙන්දේසි නොකලේය. ලංකාවේ අධිපති සිංහල බෞද්ධ සංස්කෘතිය දියුණු විශ්ව මනසක් සහිතව පාලනය කරන්නට උත්සහ දැරූ සියළු නායකයන්ට පහර පිට පහර දුන්නේය. ඒ ප්‍රහාරයෙන් මිදීමට මංගලට නොහැකි වුවත් මංගල ඒ ප්‍රහාරයන්ට බියේ පළා ගියේ නැත. ඒවාට මුහුණ දුන්නේය. ලංකාවේ ආර්ථික වර්ධනයට සේවයක් සිදු කල ලංකාව පිළිබද පැහැදිලි දැක්මකින් කටයුතු කල සර් ජෝන් කොතලාවල අගමැතිවයාට පන්න පන්න ගැසුවේ සිංහල බෞද්ධ අධිපතිවාදයයි. සිංහල බෞද්ධ අධිපතිවාදයෙන් බලයට පත් වුවද පසු කාලීනව ලංකාවේ ජාතක ප්‍රශ්නය හදුනා ගනිමින් දෙමළ ජනයාට සාධාරණ විසදුමක් යෝජනා කරමින් ජාතිය ගොඩනැගීමට උත්සහ කල එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිවරයාට පන්න පන්න ගැසුවේ සිංහල බෞද්ධ අධිපතිවාදයයි. බලය බෙදීම විශ්වාස කල චන්ද්‍රිකාටද රනිල්ටද සිංහල බෞද්ධ අධිපතිවාදය පහර දුන්නේය. සිංහල බෞද්ධ අධිපතිවාදයේ ප්‍රහාරයන්ට මංගල සමරවීරද ලක් විය. එම ප්‍රහාරයන් ඉදිරියේ නොසැලී සිටීමට මංගලට හැකි විය. එපමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල බෞද්ධ අධිපතිවාදය පිනුම් ගසමින් ඉදිරියට එද්දී මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව කීවේ මංගලයි. ජනවාර්ගික වෛරය අවුළුවන භික්ෂූන් දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට මංගල පසුබට නොවුනි. ඔහුගේ ට්‍රිපල් ජෙම් වෙනුවට ඩබල් ජෙම් කතාව ඉතාම නිර්මාණශීලී ලෙස අධිපති බෞද්ධ භික්ෂුව උපහාසයට ලක් කරන්නක් විය.

ලිබරල් ආර්ථිකය හා සංස්කෘතිය විශ්වාස කල මංගල

මංගල ලිබරල් ආර්ථිකය විශ්වාස කළේය. ඒ වෙනුවෙන් වැඩ කළේය. විදේශ ආයෝජනයන්ට බිය නොවීය. සියළු අභියෝග පරදා අවශ්‍ය ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මංගල පසු බට නොවුනි. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඔහු විසින් සිදු කරන ලද අසමසම ප්‍රතිසංස්කරණ එයට නිදසුනකි. දුරකතනයක් ගැනීමට දේශපාලඥයකුගෙන් ලියුමක් රැගෙන යා යුතු යුගය වෙනස් කරමින් දුරකතනය පොදු ජනයාගේ මෙවලමක් බවට පත් කලේ මංගලයි. අද දුරකතන භාවිතයෙන් ආසියාවේ ඉහළින්ම සිටින්නේ ලංකාවයි. ලිබරල් සංස්කෘතිය විශ්වාස කරමින් ඒ වෙනුවෙන් වැඩ කළේය. මංගල අසමසම ලිබරල්වාදියකු යැයි කිව නොහැකි වුවත් මංගල ලිබරල් ශ්‍රී ලංකාවක් විශ්වාස කල අයෙකි. රනිල් වික්‍රමසිංහ පැවසූ පරිදිම ඔහු ශ්‍රී ලංකාව පිළිබද ස්ථාවර අදහසක් දැරූ අයෙකි. ඒ වෙනුවෙන් වැඩ කළ අයෙකි.

දේශපාලන කදවුරු, ජාත්‍යන්තරය එක් කල හැකි විශ්වසනීය මංගල

මංගල ඕනෑම දේශපාලන කදවුරක් සමග විවෘතව සාකච්ඡාවක් ආරම්භ කල හැකි මට්ටමේ මානව සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන තිබුණි. මංගල අල්ලන අඩව් වලට දේශපාලනයට සංවේදී ප්‍රතිවිරුද්ධ කදවුර බිය වන්නේ ඒ නිසාය. ඔහුට නොසිතන මිනිසුන් එකතු කල හැක. නොසිතන දේශපාලන කදවුරු එක් කල හැක. සියල්ලට කලින් ඉදිරියට පැන දේශපාලන පෙරළින් අවශ්‍ය පරිදි කැරකැවීමේ හැකියාවක් ඔහුට තිබුණි. මංගල සුළු ජාතින්ගේ කලණ මිතුරෙකි. සුළු ජාතික පක්ෂ වලද මංගල ගැන පැහැදීමක් ගෞරවයක් තිබුණි. සුළු ජාතික පක්ෂ ජාතික දේශපාලන පෙරළීන්ට එකතු කිරීමේ හැකියාවක් මංගලට තිබුණි. එමෙන්ම බලපෑම් සහගත ජාත්‍යන්තර ප්‍රජාව සමග මංගලට තිබුණු සම්බන්ධය අතිවිශිෂ්ට මෙන්ම සිය දේශපාලන අභිලාෂ යථාර්තයක් කර ගැනීමට ප්‍රයෝජනවත් වූ එකකි. මෙම ජාත්‍යන්තර ප්‍රජාව මංගලව විශ්වාස කළේය. ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූ ලංකාවේ දේශපාලඥයන් අතළොස්සෙන් කෙනෙකි මංගල. මේ වන විටත් හරිහමන් නායකයකු ගොඩ නැගී නැති විපක්ෂයේ දැනට ඉදිරියෙන් සිටින කිසිම නායකයකුට මංගල සතු මේ සියළු හැකියාවන් නොමැත. ඔවුන්ට ඇත්ත වශයෙන් ඇත්තේ සිංහල සුළුතරයකගේ සහය පමණකි.

ඒ මංගල දැන් නික්ම ගොසින්ය. ඔහු නොමැතිව වුවද හෙටත් ඉර පායනු ඇත. මංගලගේ දේශපාලන හිඩැස ඒ ආකාරයෙන් පිරවීමට සමත් දේශපාලඥයකු නොමැත. නමුත් මංගලගේ අරමුණු යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙසිය හැකි ඒ වෙනුවෙන් කැප විය හැකි මිනිසුන් සිටින බව නම් කිව හැක. නමුත් එයට ඇත්තේ කෙටි මාවතක් නොව දිගු මාවතකි. මංගල විශ්වාස කල ලිබරල් දේශය ගොඩ නැගීමේ මාවත අභියෝගාත්මක එකක් බවට මෙන්ම දිගු එකක් බවට පත් වී ඇත. මංගලගේ මරණය මංගල දෙසත් මංගලගේ දියුණු ප්‍රතිපත්ති දෙසත් නැවත හැරී බැලීමකට රට වැසියා යොමු කර ඇත. මංගලගේ අවසානය ආරම්භයක් කර ගැනීමට පමා විය යුතු නැත. මේ වන විට ගොඩ නැගී ඇති විපාක්ෂික දේශපාලනයේ හිස් තැන මංගල විශ්වාස කල සාමය සංහිදියාව සහිත ලෞකික ලිබරල් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අවංක වුවමනාවක් සහිත කණ්ඩායමකට භාවිතා කිරීමට හැකි වනු ඇත. මංගලගේ අවමංගල්‍යය මංගල අපේක්ෂා කල දේශපාලනික මංගල්‍යය උදා කර ගැනීමට අවශ්‍ය කරුණු පෙළ ගැසෙමින් ඇත. අවශ්‍ය වන්නේ දිගු දුර දකින ක්‍රියාකාරීත්වයක්.

දුලාන් දසනායක

Comment (0) Hits: 186

සංගක්කාර කෝටු මස් කරන දඹුල්ලේ සුද්ධවන්තයෝ !

සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය  කරන කොටසක් සිහිපත් වේ.

උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන්  ග්‍රාම  නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත.  ඌරා මස් කිරිම සිදුවෙමින් පවතී.

කුමාර සංගක්කාර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වගකීම් දරමින් සම්භාවනාවට පාත්‍රවූ බොහෝ ක්‍රීඩකයන්ට අභිබවා තවමත් දිලිසෙන දෙපයින් ගමන් කරමින් සිටින්නෙකි. සංගක්කාර අපට වටින්නේ එහෙමය.දැන් සංගක්කාර යනු පට්ට දූෂිතයෙකි. වරද සංගක්කාර ඉඩම් පළහිලව්වකට මැදිවීම නොවේ. අප රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රිඩා කිරිමය. සමහරු එයා ඉවරයි කියන්නේ දැඩි තෘප්තියකිනි. විශේෂයෙන් අපේ මාධ්‍ය මෙහෙවර අති විශිෂ්ඨය. දැන් සංගක්කාර පිටස්තර ලෝකයටද හොරෙකි. හෝ වංචනිකයෙකි. ඔහු පසුපස රටේ නීතිය හඹා එමින් සිටියි. රඹකැන්ඔය ප්‍රදේශයේ විවාදිත වන විනාසය කළ පිරිසක් කාටත් නොකියා එකී භූමියෙන් ඉවත්ව ගොස් ඇත. ඒ ගියේ කවුද කියා මාධ්‍ය  රටට කියන්නේ නැත. මංගලඔය ඉවුරු විනාස කරමින් වැලි කනිමින් සිටිනු වාර්තා විය. එවැනි වන විනාසයන් වැලි පස් ගැනීම් දිනපතා දස අතින් වාර්තා වේ. එහෙත්  ඒවා මාධ්‍ය වාර්තාවලින් එපිටට ගමන් කරන්නේ නැත. සිරස ලක්‍ෂපති තරගයට සිංහරාජ අඩවියෙන් පැමිණි  භාග්‍යා අබේරත්න  පසුපසද රටේ නීතිය හඹා එමින් පවතී. ඒ ඇයි? සංගක්කාර විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමත්, භාග්‍යා ඇත්ත කතා කිරිමත්  නිසාය.

මාධ්‍ය රටට හානිකර මෙවැනි සිද්ධි තරාතිරම නොබලා, රටට හෙළි කළ කිරිමේදි ගවේශණාත්මකව ක්‍රියා කළ යුතුවේ.  සමහර මාධ්‍ය සංගක්කාර සිද්ධියේදී මතු කර ගත්තේ ඔහුට නීතිය පිළිබඳ දැනුමය.  සංගක්කාර සිද්ධිය  පසුපස සිටි ඉඩම් තැරැව්කරුවන් හෙළිදරව් වෙද්දී, සංගා කෙටි කලක් නීති විද්‍යාලයේ සිටි බව සොයා ගත්හ.  සංගා ක්‍රිකට් ලෝකයේ ඉහළට එසවුණ එක් අවස්ථාවක ඔහු නීති ශිෂ්‍යයෙකු බව  මාධ්‍ය වාර්තා කළේය. ඊට පසු දින සමහරුන් කතා කළේ ඔහු රටට ගෙනා ගෞරවය නොවේ. නීති විද්‍යාලයට ඇතුල්ව අතරමග දමා යාම නිසා  රටේ තවත් කෙනෙකුගේ අවස්ථාව අහිමිවිම ගැනය. අප මේවා දැකිය යුත්තේ උපේක්‍ෂාවෙනි. එහෙත් උනන්දුවේ ප්‍රමාණය උපේක්‍ෂාවෙන් යටපත් කළ නැත. අධිකරණයේදී කෙනෙකුගේ කැරැට්ටුව විමසා බලන්නේ වැරදිකරු වුණොත් පමණකි. නීති විද්‍යාලයට ඇතුල්වීමේ කතාව නිසා, සංගක්කාර රටේ නීතියට අවනත විය යුතුය. මේවා මරු කතාය.

දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාව ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පදවිය දැරූ කීර්තිමත් නීතිඥවරුන් අත්සන් කළ ලිපියට ජනාධිපති නීතිඥ ඩබ්ලිව්.දයාරත්න අත්සන් නොකළ බව ප්‍රකාශ විය. ඒ ඔහු කීර්තිමත් නීතිඥයෙකු නිසා විය හැකිය.  ඔහු අත්සන් නොකළේ ඇයි? හේතුව ලේක් හවුස් සභාපති ධුරය දැරිමද? කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. ඒ අතර, තවමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය දරමින් සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සද මේ ලිපියට අත්සන් තබා නැත.  සංගක්කාර සිද්ධිය  පසුපස සිටි ඉඩම් තැරැව්කරුවන් හෙළිදරව් වෙද්දී, නීතිය සහ  සංගක්කාර එක කොටුවක කොටු කිරිම, ඌරා මස් කිරිමක් නොවන්නේද? මේවා චූන්පාන් වෙළඳ සංගීත රිද්මයන්ය.

සංගක්කාර තරග පාවා දුන්නා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලය නොමග යවා යම් ධනයක් ලබා ගත්තා නම්, ඊට ඔහු වගකිව යුතුවේ. එය වෙනම තත්වයකි. උඩුවේ ධම්මාලෝකගේ අලි හොරකම දේශපාලන චෝදනාවකි. ඩේසි ආච්චිගේ මැණික් මල්ල, රාජපක්‍ෂලාගේ වීරකැටිය සොහොන, අමාත්‍යාංශ ලේකම්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු සතු කර්මාන්ත ශාලාවක් නිසා, රතුපස්වල ගමේ ළිං ජලයට විෂ මිශ්‍ර වීමේ සිද්ධිය.. මල්වානේ හිමිකාරයෙකු නැති නිවෙස, සිරිලිය ගිණුමේ ශිරන්ති රාජපක්‍ෂගේ හැඳුනුම් පත් අංකය, වීරවංශ ජෝඩුව රාජ්‍ය ලේඛන හරහා වයස අඩුකර ගැනීම මේ සියල්ල සමග ගත් කළ සංගක්කාරගේ බිරියගේ නම පටැලවුණ ඉඩම් සිද්ධිය හරහා මතුවන නෛතික වගකීම් ඉහළ යන්නේ ඔවුන් දේශපාලනඥයන් නිසාය. බෞද්ධ භික්‍ෂුවකගෙන් අපේක්‍ෂා නොකරන, රාජපක්‍ෂ වැනි දේශමාමක දේශපාලනඥයන්ගෙන් අපේක්‍ෂා නොකරන නීතිගරුක බවක් විනයක් පාරද්‍රෘශ්‍යභාවයක් තම දක්‍ෂකම් පෙන්වා රටට කීර්තියක් අත්කර දුන් කුමාර් සංගක්කාරගෙන් අපේක්‍ෂා  කිරීම සංගාට හොඳය.  

මේ කරන්නේ කුමා සංගක්කාර සුද්ධ කිරිම නොවේ. පවත්නා සමාජ විකෘතිය සාකච්ඡා කිරිමටය. දඹුලු පාපිස්ස යට පවත්නා, දූෂිත තත්වය තුළ සංගාගේ සිද්ධිය විය හැකි බව සාකච්ඡා කිරිමටය. දඹුල්ල හරහා බස් රියකින් ගමන් කරන්නෙකුට ඔහු නොදැන හොර බඩු ළඟ තමා ගත්තෙකු විය හැකිය. වර්තමානයේ දඹුල්ල ප්‍රසිද්ධ ලෙන් විහාරය නිසා නොවේ. විශේෂිත ආර්ථීක මධ්‍යස්තානය නිසාය. එකී ආර්ථික මධ්‍යස්ථාන ඉපයීම් වලින් දෛනිකව කප්පම් ගන්නා දේශපාලනඥයන් නිසාය. මේ රටේ ජනතාවගේ ගෞරවයට පත් දේශපාලනඥයෙකුගේ සමහර දරු මුණුපුරන්ට මේ කතා බොරු යයි කිව හැකිද? කණ්ඩලම ප්‍රසිද්ධ හෝටලය ආරම්භ කළ අවදියේ තමන් බලයට පත්වූ වහා එකී ගොඩනැගිල්ල මහ රෝහලක් කරන බවට දුන් පොරොන්දු වුණේ  රිචඩ් පතිරණය. ඒ හෝටලය රෝහලක් නොවී තවමත් හෝටලයක් ලෙස පවතින්නේ රිචඩ් පතිරණ සෞඛ්‍ය ඇමති නොවූ නිසා ය. මේවා විහිථතහථ නොවේ. බරපතල ලෙස රට රවටමින්  කරන තක්කඩිකම්ය.  සංගක්කාර රවටා ඇත්තේ රජය මිස,  

ඒ ඉඩමේ මුල් හිමිකාරිය නොවේ. ඇය එය විකුණා හෝ පවරා ඇත්තේ අසරණකමටය. යම් නීති විරෝධි සැක කටයුතු ක්‍රියාවක් නිසා, නිමල් ලංසා පදිංචිව සිටි නිවෙස  රජයේ ආරක්‍ෂක අංශ මහ රෑ වැටලූහ. ඒ අවස්ථාවේ ඔහු බේරුණේ රටේ ජනාධිපති එහි පැමිණි නිසාය. අද සංගාගෙන් සදාචාරය අපේක්‍ෂා කරන රටේ මිනිස්සු නිමල් ලංසා තබා ඇත්තේ කොතැනද? ඔහු බේරා ගත් මහින්ද රාජපක්‍ෂට දක්වන ගෞරවය කෙබඳුද? ස්ථීර විවාහ දීමනා ගෙවමින්, දික්කසාදවූ සංගාගේ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙති. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ එරෙහි දික්කසාද නඩුව නැවත අලුත් වෙමින් ප්‍රශ්න කරයි. ඊට හේතුව ඔහු වටා ආරෝපනයවී ඇති දේශපාලන හෝ සමාජ වගකීමද? හෝ ඔහු උඩරැටියෙකු  වීම නිසාද? ප්‍රශ්නයක් මේ ආකාරයෙන් ලඝු කළ යුතු හෝ අවුල් කළ යුතු නැත. එහෙත්  ප්‍රශ්නයක් හඳුනා ගැනීමට අහුමුථ අතගා බැලීමත් ක්‍රමයකි.  හරියට සංගාගේ ලෝ කොලේජ් කතාව වාගේය. අප නැවත දඹුල්ල නම් දූෂණයට තෝතැනිවූ සංගා ගස් බැන්ද දඹුල්ල වෙත යොමු විය යුතුවේ. රජය සතු ඉඩම් බහුල  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් සංගක්කාර ක්‍රමයට අවභාවිතාවීම ගැන වෙනම කොමිසමක් පත් කළ හැකි නම්  තැරැව්කරුවන් සමග එකට කනබොන මුදල් උපයන නිලධාරින් සිය ගණනින් සොයාගත හැකිවේ. මේ සියථ ඉඩම් දූෂණ සිදුවී ඇත්තේ සීගිරි ගල පෙනෙන ඉසව්වේ ඇති ඉඩම් සම්බන්ධව වීමත් වැදගත්ය.  

රජයේ සමහර ප්‍රාදේශීය බලධාරින් මේ ආකාරයට තමන්ම ඉඩම් හිමිකර ගෙන විවිධ ආයෝජන කරමින් ධනය උපයන අයුරු දඹුල්ලට රහසක් නොවේ. මෙතන සිදුවී ඇත්තේ තවත් විවිධ හේතු මත සංගක්කාර මස් කිරිමක් පමණකි. සිද්ධිය සැලවූ සැනින් ප්‍රකට මාධ්‍යවේදියෙකු තොරතුරු දැනගැනීමේ පනත යටතේ, සියථ ලෙඛන ලබාගෙන ප්‍රසිද්ධ කළේය. ඉඩම හිමි මුල් කාන්තාවගේ හඬ පටයද රටට ඇහෙන්නට සැලැස්විය.එය යහපත්ය. මෙවැනි දූෂණයන්  පිටස්තර සමාජයට තනිව සිදු කළ නොහැකිය. මේ දූෂණ වංචා පෙළ ගස්වන්නේ  තැරැව්කරුවන්ය. රජයේ බලධාරින්ය.ග්‍රාම නිලධාරි වහා වැඩ තහනමට ලක් කළේ ඒ වරද කළ එකම නිලධාරියා ඔහු නිසා නම් අප ආඩම්බර විය යුතුවේ. එහෙත් අමිහිරි ඇත්ත එය නොවේ.  සංගක්කාර ජෝඩුව සීගිරි ගල පෙනෙන ඉඩම් සොයා ගොස් මේ ඉඩම අත්පත් කර ගැනීමට මේ වංචාව සැලසුම් කළේද? සෙවිය යුත්තේ මෙයයි. මේ සියල්ල ඉහළ සිට පහළට සිටින බලධාරින් දැනුවත්ව සිදුවන ක්‍රියාවන්ය. මුදල් වාසියට මෙන්ම වෙනත් උවමනාවන් සඳහා දඹුල්ල ප්‍රදේශය කරවන බලධාරින් මෙවැනි දේ කරන්නේ අද ඊයේ නොවේ. මාධ්‍ය සගයන්ට මෙවැනි සිද්ධි හෙළි කරමින් දූෂණයට වැට බැඳීය හැකිය. කළ යුත්තේ අවදියෙන් සිටිම පමණකි. දැන් දොර විවෘතව ඇත.   එක් ඔත්තුවක් මෙසේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ මහත්මිය අංක 5/3/12/1-31  සහ 2015.12.30 දින  ලිපිය නිකුත් කර අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති බෞද්ධ සිද්ධස්ථානයක් අනවසර ඉදි කිරිමක් ලෙස කඩා ඉවත් කිරිමට උසාවි නියෝග ලබා ගත්තේය. හන්දි ගානේ බෝගස් වටකොට පන්සල් ගොඩනැගෙන රටේ දඹුල්ල වෑවලවැව ගම්මානයෙ කලක් භික්‍ෂුන් වාසය කොට යම් කලක් අක්‍රියව පැවති ආරාමයකට නැවත භික්‍ෂුන් වැඩම කිරිම අනවසර වන්නේ කෙසේද? ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරිනි එච්.පී.පී.ඒ. හේවාපතිරණ අදටත් ඊට උත්තර බැඳීය යුතුවේ. එය ඔප්පු වුණොත් ඇය  ඊට දඬුවම් ලැබිය යුතුවේ. සංගක්කාර මෙන් සමාජ අපවාදය ලැබිය යුතුවේ. සමාජය වෙනුවෙන් කාංචන ආරියදාස සගයා මේ තොරතුරු සොයා හෙළි කරනු ඇත.  

උක්ත වෑවලවැව ශ්‍රී සම්බෝධි විහාරය සහ වෑවලවැව මහසෙන් අවමංග්‍යාධාර සමිතිය එකී පන්සල් භූමියෙහි අදටත් ස්ථානගතව ඇත. භික්‍ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ නොසිටි එක් අවස්ථාවක එකී භූමියෙහි හිමිකම සමිතියට ලබා දීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  ජිනාදරී සිරිවර්ධන මහත්මිය අංක 77/4/4/4/44 සහ 2002.12.17. දින දරන ලිපියෙන්  මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් වෙත සිය අනුමැතිය දක්වා තිබිණ.  ඒ  වෑවලවැව මහසෙන් අවමංග්‍යාධාර සමිතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පැවති නිසාය.  මාධ්‍යවේදින්ට අවශ්‍ය නම් උක්ත දඹුල්ල. වෑවලවැව, මහසෙන් අවමංග්‍යාධාර සමිතිය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්/ සහකාර රෙජිස්ට්‍රාර් වරයා ලෙස  2001.01.05 දින අංක 23 යටතේ ලිය පදිංචි කර  ඇති බවද විමසා බැලිය හැකිය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ අංක 5/3/12/1-31  සහ 2015.12.30 දින  ලිපිය නිකුත් කළේ ඒ තොරතුරු තම කාර්යාලයේ පවත්නා බව නොදැන නොවේ. සත්‍ය හේතුව වෑවලවැව අසල පිහිටි තවත් පන්සලක භික්‍ෂුන් සතු ශක්තියයි. දූෂණයක් සිදුවි නැද්ද?  මේ සියල්ල දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් පළවන සහ දෙවන වගඋත්තරකරුවන් කරමින් මහනුවර මහාධීකරණයෙහි 2015-03- 12  දින පවරන ලද අංක උරසඑ    11   රැ2015  දරන නඩුවේ  2016-04-28-  දින ප්‍රකාශිත තීන්දුවෙහි දැක්වේ.

බලධාරින් සංගක්කාර සිද්ධියේදී ග්‍රාම නිලධාරිගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්ද? මාතලේ දිස්ත්‍රික් ලේකම්ද? මධ්‍යම පළාත් ආණ්ඩුකාරයාද? මේ කියන්නේ වෑවලවැව පන්සල අනවසර අල්ලා ගැනීමක් කළ සිද්ධිය පරිපාලන නිලධාරින් මුල්ව සිදු කළ නිසා, කිසිදු  පියවරක් නොගන්නා බවද? දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ බලය අයුතු ලෙස යොදමින්  නිල බලය යොදා රජය පිළිගත් මෙම ස්වේච්ඡා  සමිතියේ සාමාජිකත්වය දරන 600කට නො අඩු රටේ පුරවැසි ගම් වාසින්ගේ රැස්විමේ අයිතිය ආගම ඇදහිමේ අයිතියට බාධා පමුණුවමින් බලපෑම් නොකළේද? එහෙත් මේ සිද්ධියට අත තැබුවොත් ඒ මාධ්‍ය කාරයන්ට දඹුල්ල වදක භූමියක් විය හැකිය.   අද සංගක්කාරට එළව එළවා පහර දෙන කණ්ඩායම් කරන්නේ ඌරා මස් කිරිමකි. මේ සක්‍රිය වෙන්නේ රජයේ අසාර්ථකත්වය වසා ගැනිමට එක දිගට පෙළ ගස්වන මාධ්‍ය සංදර්ශනයේ කොටසකි. සමහර විට, වාස් ගුණවර්ධන ජෝඩුවට මෙන්,  වෑවලවැව අපරාධය කල් උකුත්වීම හේතුවෙන් එච්.පී.පී.ඒ. හේවාපතිරණ මුදා හැරෙනු ඇත. එහෙත් දඹුල්ල යනු සංගක්කාරලා පමණක් නොව, දඹුල්ලට පත්ව එන නිලධාරින්ද සාතන්ලා කරවන තරම් කුප්‍රකට දේශයක්ව ඇත. හේතු බොහෝය. සංචාරක ආකර්ශනය ඊට එක් හේතුවකි. ඉනාමලුව කෝරලේ ඉඩම් සංවර්ධනය කිරිමෙන් සිංහරාජය, රඹකැන්ඔය ආදි තහනම් කලාපවල මෙන් පරිසර හානි සිදුනොවේ. 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි !

Comment (0) Hits: 482

මංගල ගේ නික්මයාම !

රට වෙලාගෙන තිබෙන වසන්ගත තත්වයට අතිරේකව සමාජ- දේශපාලන ක්‍රමයේද රාජ්‍යයේ හා ආර්තිකයේ ද ඇතිවී තිබෙන මහා බිද වැටීම ගැන මංගලට අවබෝදයක් තිබුනි.අර්බුදය බොහෝ කල් නොගොස් ආණ්ඩුවට ද දරාගෙන සිටිය නොහැකි තත්වයකට පත් වනු ඇති බව හා සමහර විට එය ලන්කාව සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට යොමුකිරීමට ලැබෙන ඓතිහාසික අවස්තාවක් ලෙස සලකා ක්‍රියා කල යුතුව තිබෙන බවත් අප ඇතිකරගෙන තිබුනු එකගතාවේ ලක්ෂනයක් විය.මට මංගල අවසන් වරට හමුවූයේ ජූලි 30 වන දින ඔහුගේ රැඩිකල් කේන්ද්‍ර ‍යේදීය.ඉන් පසු අපි අගෝස්තු 10 වනදා ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනි.අලුත් සහ පරන ආණ්ඩු විරෝදි බලවේගයන්ද විපර්‍යාසයක් සදහා පෙනී සිටින මහජන බලවේගයන්ද එක පෙරමුනකට ගෙන ආණ්ඩු පක්ෂයද කැමති කරවා ගනිමින් හෝ කැමති නොවන්නේ නම් රන්ඩු කරමින් හෝ ලංකාව මහජනයා කේන්ද්‍ර කරගත් වියුහමය ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට තල්ලු කිරීම අපි ඇති කරගෙන තිබූ සිහිනය විය.අගෝස්තු 10 වනදා ප්‍රවනතා ගනනාවක නියෝජිත පිරිසක් ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනද මංගලගේ කාර්‍ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හා ඒ නිසා මංගලද කොරන්ටයින් වීමට තීරන ය කිරීම නිසා 10 වනදා හමුව දින නියමයක් නැතිව කල් තබන්නට සිදු විය.

මට මංගල සමග අලුත් මිත්‍රත්වයක් ඇති වුයේ පරන මිත්‍රත්වය බිද වැටී අවුරුදු 20 කට පමණැ පසුවය.ඒ සේ සිදුවූයේ චන්ද්‍රිකා පාලන කාලයේදී ඇය සමග ඇති කර ගත් ගැටුම් වල ප්‍රති පලයක් වශයෙනි.අලුත් මිත්‍රත්වයට පාර කැපුන ආකාරයද අපූරුය.මංගල ඔහු ගැන ලිය වුන චරිතාපදානය (ඛේමාගේ කොලුවා) සිංහල පිටපත එළි දැක්වීමේ උත්සවේ ප්‍රදාන දේශනය දෙන ලද්දේ මටය." තමන් ගැන හෝ තමන් ගේ පොත ගැන නොව මා කැමති මාතෘකාවක් " කතා කරන ලෙස ඔහු කීවේය.මා එම ආරාදනය බාර ගත්තේ මාගේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ " ලංකාවේ ඇතිවන්නට නියමීත මහා බිද වැටීම" ගැන කතා කරන්නට එය හොද වේදිකාවක් කර ගත හැකි බව මට පෙනුනු නිසාය.ඒ වන විට ආණ්ඩුවේ මුදල් ඇමති වූ නිසා මාගේ දේශනයට ඔහු ලොකු පසු බිම් වටිනාකමක් දෙනු ඇති බව මගේ මතය වී තිබුනි.එම උත්සවය පැවැති අවස්තාවෙදී මාතර තාගොර් අනුස්මරන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනි.ලංකාවේ ඇතිවන්නට නියමීත මහා කඩාවැටීම ගැන මා කල කතාවට අසන්නන්ගෙන් ලැබෙමින් තිබුන යහපත් ප්‍රතිචාර මගේ කතාවේ ප්‍රබලතාව වර්දනය කරන සාදකයක් ලෙස ක්‍රියා කලේය.ඊලග ජනාදිපති වරනයෙන් දිනන්නේ කව් රුන් වුවද ලංකාවේ මහා බිද වැටීමක් ඇතිවීම නො වැලැක් විය හැකි බවත් ඒ ඇතිවන්න්ට යන විනාශ්‍යට ලංකාව පාලනය කල සියලු පාලකියින් වග කිව යුතු බවත් මම කීවෙමි.මගේ කතාවට පසු කතාව තිබුනේ මංගලටය.ඔහු මගේ විග්‍රහයට පහර දෙන පිලි වෙතක් අනුගමනය කරනවා වෙනුවට මාගේ රුදුරු විවේචනය බාර ගනිමින් ලංකාව ඇද වැටී තිබෙන අවසනාවන්ත තත්වයට තමන්ද වග කිව යුතු බව කීවේය.ඉන් පසු දුර කතනයෙන් මා අමතා කතා කල අවස්තාවකදී මාගේ කතාව තමන්ගේ දෙකනේ තවමත් දෝංකාර ගෙන දෙන බවත් ආපසු හැරී බැලීමක් කිරීමට එම කතාව තමන්ට ලොකු බල පෑලමක් කරමින් තිබෙන බවත් කීවේය.

පාර්ලිමේන්තු මැතිවරනයට පෙර මට දුරකතනයෙන් කතා කල මංගල " පාර්ලිමේන්තු මැති වරනයට තරග නොකර පක්ෂ දේසපාලනයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට තිබෙන බව" කියා ඒ ගැන මගේ අදහස කුමක් දැයි මගෙන් ඇසුවේය.පරන සියල්ල අවලන්ගුවෙමින් තිබෙන නිසා අලුත් ප්‍රවේශයක් ගැන කල්පනා කිරීම ඉතා වැදගත් බව මම කීවෙමි.ඊලගට අපි කිසියම් දිනක හමුවී ඒ ගැන සාකච්චා කලෙමු.ඒ හමුවට ඔහුට සමීප දහ දෙනෙකු පමණද සහභාගි විය.ඔහු තරග නොකිරීමේ අදහසේ දැඩිව සිටියේය. ඉන් පසු අපි විටින් විට හමු වී සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට රට තල්ලු කරන්නේ කෙසේද කියන ප්‍රස්නය ගැන දිගින් දිගට සාකච්චා කලෙමු.ඒ සදහා පදනම් කරගතයුතු මූලදර්ම හදුනා ගැනීමට උත්සහා කලෙමු.පුනරුදය වියාපාරයේ මද්‍යම කාරක සභාව හා මංගලගේ කණ්ඩායම අතරද මාරවිලදී දීර්ග සාකච්චාවක් සිදු විය.මංගලට මෙම අර්බුදයේදී කරන්නට ලොකු වැඩ කොටසක් තිබුනේය. සමහර විට එය ඔහුටම විශේෂ වූ වැඩ කොටසක් ලෙසද සැලකිය හැකිය. මංගල අප අතහැර ගියේ ජීවතුන් අතර සිටිය යුතුම අවස්තාවකදීය.

වික්ටර් අයිවන්

Comment (0) Hits: 89

අධිකරණයේ පරිහානිය !

ලංකාවේ අධිකරණයට පැවරී තිබෙන සමාජ වගකීම ගැන හරි දැක්මක් ඇති අධිකරණයක් තිබුණේ නම් ව්‍යවස්ථාදායකය හා විධායකය නොදියුණු හා දූෂිත තත්ත්වයක තිබුණද ලංකාව මේ සා විශාල කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට ලංකාවට ලැබුණේ එවැනි අධිකරණයක් නොව ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ නොදියුණු බවේ තරමට ගැළපෙන පසුගාමී අධිකරණයකි.
 
මෙම සංවාදයේදී ලංකාව නිදහස දිනාගත් රටක් නොව. නිදහස තෑගි වශයෙන් දිනාගත් රටක් යන මුඛ්‍ය කාරණය අමතක නොකළ යුතුය. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අවශ්‍ය තරමේ දියුණු සවිඥානකත්වයක් සාමාන්‍ය සමාජයට පමණක් නොව රටේ ජාතික නායකයන්ටද නොතිබුණි.
 
ඒ වනවිට ඉන්දියාව ලංකාවට වඩා උගත්කමේ සාක්ෂරතාව අනුව නූගත් වුවද ලංකාවේ ජාතික නායකයන් සවිඥානක වශයෙන් සිටි නොදියුණු තත්ත්වයේ තරම සමග ගත් විට ඉතා දියුණු සවිඥානකත්වයක් සහිත ජාතික නායකත්වයක් ඉන්දියාවට තිබුණි.
 
අපේ රටේ නායකයන්ට වෙනස්ව ඉන්දියාවේ නායකයන් නිදහස දිනාගැනීමේ අරගලයට ඉන්දියානු සමාජය ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත්තේය. නිදහස් අරගල ක්‍රියාවලිය තුළ ඉන්දියානු සමාජය නවීන ලෙස සිතන මතන සමාජයක් බවට පත් කළේය. ඊට අතිරේකව වර්ග, කුල. ආගම් භේදවලට තිබෙන පිළිගැනීම දුර්වල කොට නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් අත්තිවාරමක් ඇති කරගත්තේය. ආගමික ගාන්ධිගේ සිට සියලුම නායකයන් දේශපාලනයේදී අනගාමිකත්වය වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටියේය. 
 
ලංකාවේ දුප්පත්කම !
 
නිදහස වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ නායකයන්ට තමන් වෙත බලය ලබාගැනීමේ ලොකු ආශාවක් තිබුණා මිස යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගැන තියුණු දැක්මක් නොතිබුණි. නිදහස දිනාගැනීමේ උත්සාහයට සමාජය ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නවාට විරුද්ධ වූවා පමණක් නොව සර්වජන ඡන්ද බලයට පවා තරයේ විරුද්ධ විය. බ්‍ර‍තාන්‍ය ඉන්දියාව අත්හරින්නට ගෙන තිබුණු තීරණය නිසා කිසිදු බලවත් සමාජ උත්සාහයකින් තොරව නිදහස හිමිකර ගැනීමට ලංකාවට හැකිවිය.
 
ඉන්දියාව ලංකාව මෙන් බ්‍ර‍තාන්‍යයන්ගෙන් ලැබුණු ආයතන ක්‍රමය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ගියේ නැත. ඔවුන් ලංකාවට වෙනස්ව ඔවුන්ට ලැබී තිබුණු ආයතන ක්‍රමය නිදහසේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගත්තේය.
 
ගාන්ධි 1922දී ඉන්දියාව අපේක්ෂා කරන ස්වරාජ්‍ය තත්ත්වය පැහැදිලි කළේ එය බ්‍ර‍තාන්‍ය පාර්ලිමේන්තුව අපට දෙන දෙයක් නොවිය යුතු බව හා නිදහස් ලෙස තෝරා ගන්නා ඉන්දියාවේ ජනතා නියෝජිතයන් එකට එකතු වී සාකච්ඡා කොට ප්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් ඇති කරගත යුතු දෙයක් බව කීවේය.
 
බ්‍ර‍තාන්‍ය ඉන්දියාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන්නට 1933දී දරන ලද උත්සාහයේදී ඒ සඳහා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දියානු කොංග්‍රසය දැඩි අවධාරණයකින් කියා සිටියේ ඉන්දියාවට පිළිගත හැක්කේ විදේශ බලඅධිකාරියක කිසිදු මැදිහත්වීමකින් තොරව ඉන්දියාවේ මහජන නියෝජිතයන් සකස් කරගන්නා ව්‍යවස්ථාවක් පමණක් බවය. 
 
ඉන්දියාවේ පොහොසත්කම !
 
ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදනය සඳහාම ඒ සඳහාම පවත්වන මැතිවරණයකින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නියෝජිතයන් තෝරාපත් කරගනිමින් ව්‍යවස්ථාව සම්පාදනය කරගනු ලැබූ ආකාරය ගැන මහාචාර්ය ග්‍රැන්විල් ඔස්ටින් ”The Indian Constitution” නමින් අගනා පොතක් ලියා තිබේ. ලංකාවේ මෙතෙක් සිදුවී තිබෙන සියලු ව්‍යවස්ථා සම්පාදනයන්ද සැලකිල්ලට ගනිමින් මේ මෙම පොත කියවන්නේ නම් ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාව ඉන්නේ කොතරම් නොදියුණු තත්ත්වයකද යන්න මනා ලෙස තේරුම් ගත හැකිය.
 
මේ පොතට ඉන්දියානු අධිකරණ ක්‍රමය ගොඩ නගා ගත් ආකාරය හා ඒ සඳහා කෙරුණු වාද විවාද ගැනද ඇතුළත්ය. ඉන්දියානු නායකයන් එහිදී අධිකරණය සලකා තිබෙන්නේ නිදහස් අරගලයෙන් ආරම්භ වූ සමාජ විප්ලවයේද, එම සමාජ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ඇතිකර ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාරකාරයා හා රැකවල් දූතයා වශයෙනි.
 
ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කරගනිමින් එය නීතිගත කරගැනීම සඳහා අවුරුදු තුනක් තරම් දීර්ඝ කාලයක් ගතවිය. ව්‍යවස්ථා සම්පාදනයට ගත කෙරුණු කාලයෙන් වැඩිම කාලයක් ගත කර තිබෙන්නේ සුදුසු අධිකරණ ක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා කෙරුණු සංවාදයටය.
 
එම විෂයට අදාළ කාරක සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ නේරු ඒ සඳහා කෙරෙන සාකච්ඡාව ආරම්භ කර තිබෙන්නේ පාලක පක්ෂවල හා වෙනත් බලවේගයන්ගේ ග්‍රහණයට නතු නොවී ඉන්දියානු සමාජ විප්ලවය ඉදිරියට ගෙනයෑම සඳහා ක්‍රියා කරන සාධාරණව හා නීතියට අනුකූලව ක්‍රියාකරන ස්වාධීන අධිකරණයක් ඇති කරගන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නය ගැන කෙරෙන විග්‍රහයකිනි. ඉන්දියානු නායකයන් එහිදී බි්‍රතාන්‍ය, ඇමරිකන් හා අයර්ලන්ත අධිකරණ ක්‍රම වෙන් වෙන්ව ගෙන සලකා බලමින් ඉන්දියාවට ගැළපෙන කදිම අධිකරණ ක්‍රමයක් නිර්මාණය කර ගත්තේය.
 
ඉන්දියානු අධිකරණයේ භූමිකාව !
 
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවුරුදු 70ක් තරම් කාලයක් උරගා බැලීමකට ලක්වූ අධිකරණ ආයතනයකිනි. එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කළ ආකාරයටම ඉන්දියානු සමාජ විප්ලවයේ ඉදිරි ගමන හා මහජන අයිතිවාසිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන හොඳ රැකවල් දූතයන්ගේ භූමිකාව එය රඟපා තිබෙන්නේ යැයි කිව හැකිය. අද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැලකෙන්නේ ලොව තිබෙන හොඳම ශ්‍රේෂ්ඨාධිකරණවලින් එකක් ලෙසය.
 
අතිවිශාල බහුතර බලයක් ඇතිව ඉන්දිරා ගාන්ධි රට පාලනය කළ කාලයේදී අධිකරණය අතකොලුවක් කරගැනීමට ඇය දරන ලද උත්සාහයට එරෙහිව අධිකරණය සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා බලවත් උත්සාහයක නිරත විය. ඉන්දිරා ගාන්ධි එම අරගලයෙන් තාවකාලිකව ජයගත්තද අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය සඳහා කෙරෙන සටන අතහැරියේ නැත. 1977දී ඇගේ පාලනය පරාජයවීමෙන් පසු ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ සියලු විකෘතීන් නිවැරදි කළා පමණක් නොව වැඩි බලයක් තිබෙන පාලක පක්ෂවලට ආත්මාර්ථකාමී වුවමනාවන් සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තිබෙන පුළුවන්කම නැති කිරීම සඳහා ව්‍යවස්ථාවේ ව්‍යුහය පිළිබඳව නීති සිද්ධාන්තයක් ඇති කොට එය ස්ථාපිත කළේය. ඒ නිසා දැන් පොදු යහපත වෙනුවෙන් මිස ආත්මාර්ථකාමී හේතු මත කිසිම පාලකයකුට ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය.
 
ඉන්දියාව ලංකාවට වඩා ආගමික රටක් ලෙස සැලකිය හැකි වුවද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආගම්වලට අධිකරණය සමග මුසු වෙන්නට ඉඩ දුන්නේ නැත. එම අධිකරණයේ අනාගාමික ස්වරූපය ආරක්ෂා කරගත්තේය. මීට වසර කිහිපයකට ඉහතදී මහාධිකරණයේ පැවති උත්සවයකට හින්දු ආගමික වත් පිළිවෙත් යොදා ගැනීම කටයුතු සූදානම් කෙරෙමින් තිබුණු අවස්ථාවකදී කවුරුන් විසින් හෝ එය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම ක්‍රියාව තහනම් කළා පමණක් නොව, අධිකරණය තුළ ආගමික සංකේත යොදා නොගත යුතු බවටද නියෝග කළේය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ මෑතකදී දෙන ලද තීන්දුවකින් අධිකරණයේ සිදුවන වැරදි ගැන විවේචනය කිරීමේ අයිතියක් මහජනයාට තිබෙන බව ප්‍රකාශ කළේය.
 
ඉන්දියාවේ දිළිඳු, අසරණ හා ආබාධිත පුද්ගලයකුට හෝ එවැනි පුද්ගලයන් සමූහයකට ඔවුන්ට සිදුවන අසාධාරණයකදී ලියුමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන ක්‍රමයක් භගවතී අගවිනිසුරුවරයා විසින් ඔහුගේ පාලන කාලයේදී ඇති කරන ලදි. එවැනි පැමිණිල්ලක් ලැබීමෙන් පසු කිසිදු අයකිරීමකින් තොරව විමර්ශනයක් කොට යුක්තිය ඉටු කරන ක්‍රමයක් එහි ක්‍රියාත්මක වේ.
 
අයාලේ යෑම !
 
ලංකාවේ අධිකරණයට තිබෙන්නේ ශක්තිමත් දර්ශනයකින් තොරව අයාලේ ගිය ඉතිහාසයකි. නීතිය ගැන දැනුමක් තිබෙනවා විය හැකි වුවත්, අධිකරණය වෙත පැවරී තිබෙන සමාජ කාර්යභාරය ගැන මනා දැනුමක් තිබෙන බව පෙන්නුම් කර නැත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ රටේ ජනතාව අතර සේ ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල පිළිගැනීමක් හා ගෞරවයක් හිමිකර ගැනීමට සමත් වී ඇතත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිටින්නේ ඒ පෝලිමේ හුඟාක් පසුපෙළ තත්ත්වයකය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම පිළිගැනීම හිමි කරගෙන තිබෙන්නේ ජනයා බියගැන්වීමෙන් නොව මහජනයාගේ ගෞරවයට හේතුවන පැවැත්මක් පවත්වාගෙන යාමට සමත්වීමෙනි. නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීමෙනි.
 
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහජන අයිතිවාසිකම්වලදී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේදී හොඳ රැකවල් දූතයෙකුගේ වගකීම ඉටු කිරීමට සමත් වී නැත. පාලකයන්ට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩදී තිබෙනවා සේ ම සමහර අවස්ථාවල පාලකයන් සමග කල්ලි ගැසී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ. මන්ත්‍රීකම් අහිමි නොවන ලෙස පක්ෂ මාරුවට ඉඩදීම ඒ සඳහා දැක්විය හැකි එක නිදසුනක් පමණය. එය රටේ ආණ්ඩුක්‍රමය මුළුමනින් විකෘති කිරීමට හේතුවිය. එය ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය නම් වහාම නිවැරදි කළ හැකිව තිබෙන බරපතළ වරදකි. එහෙත් සිදුකර තිබෙන එම බරපතළ වරද අද දක්වා නිවැරදි කිරීමක් කර නැත. ඒ නිසා එය අනාගතය කෙරෙහිද බලපානු ඇත.
 
ලංකාවට තිබෙන්නේ ලෞකික අධිකරණයක් නොව, ආගමට බර අධිකරණයකි. සමහර විනිසුරුවරුන් තමන්ගේ ආගමික බව ප්‍රදර්ශනය කිරීමටද මැලි නොවෙති. ඉන් පෙනෙන්නේ එය විනිසුරුවරයකුට තිබෙන නුසුදුසුකමක් බව ඔවුන් නොදන්නා බවය.
 
අධිකරණයේ ස්වාධීනත්වය හා සදාචාරාත්මකභාවය අළලා 1999 සැප්තැම්බර්වලදී ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයකුද සහභාගි වූ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී විනිසුරුවරුන් තුළ තිබිය යුතු සදාචාරාත්මකභාවය ගැන එච්.එල්. ද සිල්වා අපූරු කතාවක් කළේය. “ස්වාධීනත්වයේ  කප්පාදුවත් සදාචාරාත්මක අවංකභාවයේ හීනතාවක් හේතු කොටගෙන සමස්ත අධිකරණ කාර්ය පද්ධතිය හරසුන් නාට්‍යයකදී විකාරරූපී රංගනයක යෙදෙන විකටයකුගේ තත්ත්වයකට පත්වෙමින් තිබේ යැයි ඔහු කීවේය. එච්.එල්. සිල්වාගේ එම අනාවකිය සනාථ කරමින් ඉන් අවුරුදු 4කට පසුව රටේ අගවිනිසුරුවරයා නීතිඥවරියක් සමග දියවන්නා ඔය අසල තිබූ වාහනයක අඩ නිරුවතින් සිටින අවස්ථාවකදී පොලිසියට හසුවිය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩු මාස තුනක කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කළ යුතුය. එහෙත් පවතින සැබෑ තත්ත්වය වනුයේ අවුරුදු දෙක තුනක් තරම් කාලයක් ඉක්මවා ගිය පසුත් විභාගයට නොගත් මූලික අයිතිවාසිකම් නඩු තිබෙන බවය. මට මේ මෑතකදී සමෘද්ධි නිලධාරි සංගමයකින් අසන්නට ලැබුණු කතාවක් අනුව අවුරුදු 5කට වැඩි කාලයක් ඇසුණු ඔවුන්ගේ නඩුව තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් තොරව නිෂ්ප්‍රභ කර තිබෙන අතර නඩුව සඳහා නීතිඥයාට නීතිඥ ගාස්තු වශයෙන් ගෙවා තිබුණ මුදල පමණක් රුපියල් ලක්ෂ 56ක් විය. 
 
ලංකාවේ නීති වෘත්තිකයන්ගේ භූමිකාව පවතින්නේද සේවාදායකයන් පීඩාවට හා ගසාකෑමට පත් කරන නිසි පාලනයක් නැති අරාජික තත්ත්වයකය. විෂමාචාර වැරදිවලදී ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් පවා කරුණු සොයා බලා ඔවුන්ට දඬුවම් කරන කාර්යක්ෂම ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ.  නීති වෘත්තියේ සේ ම අධිකරණ සේවයේද පහළ අධිකරණවලද ගරු කටයුතු පුද්ගලයන් සිටියද පොදු විනය තිබෙන්නේ පිළිගත හැකි යහපත් තත්ත්වයක නොව, උපරිම මට්ටමකට පරිහානියට ගිය තත්ත්වයකය. අධිකරණය නීති වෘත්තිකයන් යහපත් තත්ත්වයකට තබා ගැනීමට වග බලාගත යුතු අතර අධිකරණය යහපත් තත්ත්වයක තබා ගැනීම නීති වෘත්තිකයන්ගේද වගකීමකි. එහෙත් ලංකාවේ මේ දෙපක්ෂය අතරම එවැනි පොහොසත් සම්ප්‍රදායක් තිබෙන බවක් පෙනෙන්නට නැත.
 
විනය පාලනය !
 
අධිකරණ සේවයට විනිසුරුවරුන් බඳවා ගැනීම, ඔවුන්ට ලබාදෙන පුහුණුව හා විනය පාලනය යහපත් තත්ත්වයක නොපවතී. 
 
ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් ඒ සඳහා දැක්විය හැකි මටද ලොකු අත්දැකීමක් තිබෙන නිදර්ශන දෙකකි. ලෙනින් රත්නායක අධිකරණ සේවයට එකතු වී සිටියේ මුදල් වංචා චෝදනාවකට රක්ෂණ සමාගම් සේවයෙන් පහකර සිටියදී එය වසන් කරමිනි. ඔහු අධිකරණ සේවයට නිර්දේශ කර තිබුණේ රටේ නාමධාරී නීතිඥයන් දෙදෙනෙකි. විධිමත් බඳවා ගැනීමේ ක්‍රමයක් අධිකරණයට නැති බව ඉන් පෙන්නුම් කරයි. ඔහු ගැන කතා කිරීමට තව බොහෝ ඇතත්, ඒ ගැන මා කතා නොකරන්නේ  විශ්‍රාම ගොස් දැන් දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කර තිබෙන ත්‍රිපුද්ගල කොමිසමේ ප්‍රධානියා ගැන කතා කිරීම වඩා වැදගත් නිසාය.
 
සරත් සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුවේ විනිසුරුවරයා වූයේ උපාලි අබේරත්නය. එම නඩුවට අදාළව මෙම විනිසුරුවරයාට එරෙහිව ජයසේකර අධිකරණ සේවා කොමිසමට කරන ලද පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිසම පරීක්ෂණයකට ලක් කළේය. එම පරීක්ෂණයේ පරීක්ෂකයන් ලෙස ක්‍රියා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙදෙනාය. දිසා විනිසුරු උපාලි අබේරත්නගෙන්ද ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබා ගත්තේය. මෙම එම පරීක්ෂණ වාර්තාව කියවීමෙන් පසු විනිසුරුවරයා පිළිබඳව මා තුළ ඇතිවූයේ පිළිකුළක් බව කිව යුතුය. ඔහු සරත් සිල්වාගේ ආරක්ෂාව සඳහා මෙම නඩුවේදී නීතිය උපරිම මට්ටමකින් උල්ලංඝනය කර තිබුණා පමණක් නොව, පැමිණිලිකරු පීඩාවට පත්කිරීම සඳහාද උපරිම මට්ටමකින් ක්‍රියා කර තිබුණි. ඔහු කවර මට්ටමකින්වත් විනිසුරුවරයෙකු වශයෙන් අධිකරණයක පැත්ත පළාතකවත් තබා නොගත යුතු කෙනෙක් ලෙස සැලකිය හැකිය.
 
උපාලි අබේරත්න විනිසුරුවරයා මෙම නඩුවේදී අනුගමනය කර තිබුණු නීතියට පටහැනි ක්‍රියාදාමය සලකා ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට නඩු පැවරීම සඳහා අධිකරණ සේවා කොමිසම එම පරීක්ෂණ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යැවීය. සරත් සිල්වා නීතිපති ධුරයට පත්වීමෙන් පසුව තමාගේ ආරක්ෂාව සඳහා තමාගේ උපදෙස් අනුව නඩුව විභාග කළ මෙම විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටියේය. නීතිපතිගේ එම ක්‍රියාවට එරෙහිව මට හඬ නගා කෑගසන්නට සිදුවිය. එසේ එම හඬ නැගීම නිසා හා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය කරන ලද ඉල්ලීමක් අනුව උපාලි අබේරත්න විනිසුරුවරයාට මා එල්ල කරන ලද චෝදනා ගැන සොයා බලන්නට අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සේවා කොමිසමට සිදුවිය. එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අමීර් ඉස්මයිල් හෙක්ටර් යාපා හා පී. එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙනි. එහිදී මෙම විනිසුරුවරයා තමන්ට එරෙහිව එල්ල වී තිබුණ චෝදනාවන්ට අභියෝග නොකර පිළිගැනීම නිසා මෙම විනිසුරුවරයාව අනිවාර්ය පදනම් මත සේවයෙන් විශ්‍රාම ගන්වන්නට නිර්දේශ කළ අතර ඒ අනුව අධිකරණ සේවා කොමිසම 1999.07. 31 සිට අනිවාර්ය පදනම මත විශ්‍රාම ගන්වන ලදි.
 
එහෙත් එම තීරණය අධිකරණ සේවා කොමිසම ඉක්මනින් වෙනස් කළේය. අනිවාර්ය විශ්‍රාමය වෙනුවට 1999.08.19 වැනි දින සිට මෙම විනිසුරුවරයාගේ උසස්වීම් අවුරුදු දෙකකට අත්හිටුවා 2001.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල දිසා අධිකරණයට දඬුවම් මාරුවක් ලබා දුන්නේය.
 
ඉතා වැදගත් දේ සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව දඬුවම් කාලය අවසන් වන්නට පෙර මෙම විනිසුරුවරයාට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන් අතර අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට පෙර ඔහු අභියාචනාධිකරණයට පත් කළේය. සරත් සිල්වා තමන්ට උපකාර කළවුන්ට නිර්ලෝභීව ප්‍රතිඋපකාර කළේය. එය හොඳ ගුණාංගයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔහුගේ ප්‍රති උපකාර පිළිවෙත අධිකරණයට ඇති කළ විනාශය අතිවිශාලය.
 
මේ කතාව ඉන් නවතින්නේ නැත. තවත් කලකට පසුව මෙම අපකීර්තිමත් විනිසුරුවරයා අගවිනිසුරුවරියකගෙන් එල්ල වූ විරෝධය නොසලකා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේය. ඒ මගින් පහළ අධිකරණයේ දිසා විනිසුරු ධුරයේවත් තබා ගැනීමට සුදුසු නැති යැයි අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනකු තීරණය කළ මේ පුද්ගලයා අවසානයේ නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම යාමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම පුද්ගලයාව යහපාලන ආණ්ඩුවේ වැරදි සොයන කොමිසමක ප්‍රධානියා කළේය. ඉන්පසු වර්තමාන ආණ්ඩුව පළිගැනීම් ගැන සොයා බැලීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසමක ප්‍රධානියා කළේය.
 
දැන් එම විශ්‍රාම ගිය විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොමිසම නඩුවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෙන ලද නියෝගයක් පිළිපැදීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා අලුත් ආකාරයක අර්බුදයක් ඇතිවී තිබේ. දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය කිසිසේත්ම සාමාන්‍ය නැත.
 
ජ්‍යේෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් 
Comment (0) Hits: 441

ජනතාවට ඕන පුකක් - පාලකයින්ට ප්‍රීති වෙසක්!

දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ "දැන් අපි වැඩට යමු...ඒ අතර තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමු" කියාය. බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ කීවේ "බ්‍රසීලියානුවන් වසංගතයට මුහුණ දෙන්නේ කුඩා දරුවන් ලෙසින් නොව වැඩිහිටියන් ලෙසින්" කියාය. මෙහි සරල තේරුම මෙයයි; රාජ්‍යය තවදුරටත් ජනතාවගේ ආරක්ෂාව ගැන වග කියන්නේ නැත. ආරක්ෂාව යන්නට ආර්ථික ආරක්ෂාවද ඇතුළත්ය. ජනතාව කෙසේ හෝ කා බී වසංගතයෙන්ද බේරී තම ජීවිකාව සලසාගත යුතුය. වසංගතය පැතිරී යන්නේ නම් එහි වගකීමද භාරගත යුත්තේ ජනතාවයි.

වසංගත සමුච්චනය

ජනතාව වැඩට යා යුතු යැයි ට්‍රම්ප් පැවසුවේ කුමක් නිසාද? ආර්ථිකය පවත්වාගෙන යා යුතු නිසාය. සැබවින්ම වසංගතය සමග ලෝකයේ ආර්ථිකය පවත්වාගෙන ගියේය. ඒ කෙසේදැයි අපි මදක් විමසා බලමු. Bloomberg ආයතනයේ ගණන් බැලීම් අනුව, 2020 වසරේදී ටෙස්ලා සමාගමේ එලන් මස්ක් ඩොලර් බිලියන 140 ක ධනයක් උපයා තිබේ. ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 72ක් උපයා තිබේ. නොන්ෆු ස්ප්‍රින්ග් සමාගමේ ෂොන් ෂන්ශාන් බිලියන 62ක් උපයා තිබේ. පසුගිය වසර තුළදී ලොව ඉහළම බිලියනපතියන් දස දෙනාගේ ආදායම සමස්තයක් ලෙස ඩොලර් බිලියන 319 කින් වර්ධනය වී තිබේ. ඒ මුදල ලෝකයේ ජනගහණයෙන් අති බහුතරයකට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් වේ.

ඒ අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණන් බැලීම් අනුව, වසංගතයෙන් වඩාත්ම බැට කන රැකියාවල නිරත වන පිරිස මිලියන 600ක් පමණ වේ. එයින් බහුතරයක් ස්ත්‍රීන්, ජනවාර්ගික සුළුතර කොටස්, සංක්‍රමණිකයන්, නුපුහුණු ශ්‍රමිකයන් සහ තරුණ තරුණියන් ය. ලොව පුරා අවිධිමත් අංශවල නිසි සමාජ ආරක්ෂණ ඉඩ ප්‍රස්තා නොමැතිව සේවය කරන ජනතාව බිලියන දෙකක් පමණ වේ. ලෝක බැංකු පුරෝකථනය අනුව, 2022 වර්ෂය වන විට ලෝකයේ තවත් මිලියන 150 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවට පත් වනු ඇත. කොරෝනා වසංගතය හමුවේ ආදායම් විසමතාවේ වර්ධනය අන් කිසිදු ආර්ථික අර්බුධයකදී සිදු වූවාට වඩා තියුණු යැයි පවසන්නේ අන් කිසිවෙකුත් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒ සමගම ධනවත් රටවල් හා දුගී රටවල් අතර විසමතාවද අන් කවර කලෙකවත් නොවූ තරමින් වර්ධනය වනු ඇතැයි කියන්නේ අන් කිසිවෙකුත් නොව ජෝසෆ් ස්ටිග්ලිට්ස් ය.

අප රටේ තත්ත්වයද මේ රටාවෙන් වෙනස් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක් මෑත කාලයේ ඉහළම ආදායම් වාර්තා කොට ඇත්තේ කොරෝනා වසංගත සමය තුළදීය. දිහාන් උඩුගම්පොල විසින් කරන ලද පර්යේෂණයකට අනුව, 2020 වසරේ අවසන් මාස නමය තුළදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ධනවත් සමාගම් නමයක සමස්ත ආදායම රුපියල් බිලියන 861 කින් ඉහළ ගොස් තිබේ. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග් හි ආදායමේ වර්ධනය 2019 වසරට සාපේක්ෂව 80% ඉක්මවයි. 2020 නොවැම්බර් 15 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි, එම වසරේ මුල් මාස හය ඇතුළතදී හේලීස් සමාගම රුපියල් බිලියන 5.5 ක ආදායමක් වර්ධනය කරගෙන තිබේ. එය එම සමාගමේ ඉතිහාසය තුළ වාර්තාගත ඉහළම වර්ධනය ලෙස සැලකේ. ඇතැම් සමාගම් වසංගතයෙන් පහර කෑමට ලක්ව ඇති බව සැබෑය. නමුත්, එක් අතකින් රාජ්‍යය විසින් බදු සහන ඇතුළු කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති මගින් රැකවරණ හිමිවන්නේ එවන් සමාගම්වලටය. අනෙක් අතින්, මහජන සෞඛ්‍යය දෙවැනි කොට ආර්ථික යන්ත්‍රය පවත්වාගත යුතුය යන අධිපති දෘෂ්ටිය වැඩ කරන්නේත් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙනි.

පන්ති දේශපාලනය සහ සෝදිසි ධනවාදය

මෙයින් පෙනී යන්නේ කුමක්ද? "වසංගතය වසන්තයක් වූ පන්තිය" සහ "වසංගතය ව්‍යසනයක් වූ පන්තිය" අතර පරතරය එන්ට එන්ටම වර්ධනය වෙමින් පවතින බවයි. මේ නිමේෂය තුළ ජනතාව යනු වසංගතය ව්‍යසනයක් වූ පන්තියයි. 2011 වර්ෂයේදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පැන නැගුණු වීදි අත්පත් කරගැනීමේ ව්‍යාපාරයේදී 99% යනු ජනතාව වූ පරිදිමය.

එමෙන්ම, වසංගතය ව්‍යසනයක් වූ පන්තිය පාලනය කිරීම සඳහා දැන් නව තාක්ෂණික ක්‍රමවේදද භාවිතා කෙරෙමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි වත්මන් වසංගත ධනවාදය තුළ සමස්ත ලෝකයම අධි-තාක්ෂණ ආධිපත්‍යයකට යටත් කෙරෙමින් පවතී. "සාමාන්‍ය කාල"වලදී ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයේ ධනවාදී පරිවර්තන මේ ආපදා සමය තුළදී හඳුන්වාදෙනු ලැබේ. පුද්ගලයින්ගේ දෛනික චර්යාවන් සෝදිසි කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යෙදවීම සාමාන්‍ය තත්ත්වයක් වන තරමට දැන් එය වර්ධනය වී තිබේ. ෂොෂානා සුබොෆ් සෝදිසි ධනවාදය ලෙස හඳුන්වන්නේ මෙයයි.

මරණ-දේශපාලනය

අනෙක් අතින්, මෙම සෝදිසි ධනවාදය සමග අතිනත ගත් මරණ-දේශපාලනයක්ද (necropolitics) පවතී. ඇචීල් ම්බෙම්බේ පවසන පරිදි දැන් මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ඇතැම් පිරිස් මරණයේ අවධානමට නිරාවරණය වන්නට හැරීම මගිනි. පැරණි යටත් විජිත යුගයේදී මෙන් දැන් මිනිසුන්ව සෘජුව ඝාතනය කරනු ලබනවාට වඩා ඔවුන්ව මරණයට අභිමුඛ කිරීම එහි ප්‍රධාන ආකෘතිය බවට පත්ව තිබේ. එසේම, යටත් විජිත යුගයේදී සාමාන්‍ය නීතිය අත්හිටුවන ලද ප්‍රධාන කලාපය වූයේ යටත් විජිතයයි; නමුත්, දැන් ලොව පුරාම ධනවාදය තුළ ඉවතලිය හැකි ජීවිත "මරණයේ කලාප" තුළට ගාල් කරනු ලබමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි, වත්මන් ඊනියා ඩිජිටල් ධනවාදය පවත්වාගෙන යනු ලබන්නේ "ගබඩා කාමර තුළ, දත්ත මධ්‍යස්ථාන තුළ, (පරිගණක) අඩංගු සකසන කම්හල් තුළ, ඉලෙක්ට්‍රොනික වැඩපළවල් තුළ, ලිතියම් පතල් තුළ, කාර්මික කම්හල් තුළ, මාංස සැකසුම් මධ්‍යස්ථාන තුළ සහ බන්ධනාගාර තුළ සඟවා දමනු ලැබූ මිලියන ගණනක නිර්නාමික කම්කරුවන්ගේ ශ්‍රමය මගින්ය." ඔවුන් රෝගවලට සහ අධි-සූරාකෑමට අනාරක්ෂිතව නිරාවරණය කොට තිබේ. මරණ-දේශපාලනය සහ වසංගත ධනවාදය අතර පවත්නා සම්බන්ධය එයයි.

ශ්‍රී ලංකාවේද සංචරණ සීමා පණවා තිබියදී පවා වසංගතයේ අනතුරට වඩාත් නිරාවරණය කරන ලද්දේ ඇඟලුම් කම්හල් සේවිකාවන් වැනි අය බව අමතක නොකළ යුතුය. එදා වේල සොයාගත නොහැකිව කුසගින්නේ පෙළෙන දහස් ගණන් ජනයා අයත් වන්නේද මරණ-දේශපාලනයට අභිමුඛ කරන ලද ඊනියා ඉවතලන ජීවිත අතරටය.

ධනවාදයේ මහා-ප්‍රත්‍යාරම්භය සහ තාක්ෂණවාදය

දැන් ධනවාදය නැවත සැකසෙමින් පවතින්නේ මේ ආකාරයෙනි. ලෝක ආර්ථික සමුළුව "ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය" (great reset) ලෙස නම් කළ ආකෘතිය දැන් ආරම්භ වෙමින් පවතී. එතුළ රාජ්‍ය පාලනය අධි-තාක්ෂණය සහ පරිගණක සන්නිවේදනය ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන තාක්ෂණ පාලනයක මුහුණුවර ගනිමින් තිබේ. ශන්තාල් මූෆ් පවසන පරිදි දේශපාලන ගැටළු ඇතුළු සියලුම සමාජ ගැටළුවලට තාක්ෂණික විසඳුම් තිබේය යන තාක්ෂණවාදී ප්‍රවේශය දැන් කේන්ද්‍රයට එමින් තිබේ.

මේ පසුබිම තුළ මෙරට ජනාධිපතිවරයා මෑතක ජාතිය අමතා කළ කතාවේ තාක්ෂණික රාමුව විවේචනය කරන්නන් හට එම කතාවේ මූලික පණිවිඩයම මග හැරී ගොස් තිබේය යන්න මගේ අදහසයි. මන්ද යත්, එම කතාවේ අන්තර්ගතය වන්නේම එහි ඩිජිටල් තාක්ෂණික රාමුව බැවිනි. එම කතාවේ ආකෘතිය සහ අන්තර්ගතය අතර සැබවින්ම වෙනසක් හෝ පරස්පරතාවක් පවතින්නේ නැත. වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව දැන් පාලනය කෙරෙනු ලබන්නේ සංඛ්‍යා ලේඛණ, දත්ත, හැඟීම් විරහිත නිවේදන, තාක්ෂණ රාමු සහ ජනයාගේ සම්බන්ධයක් අපේක්ෂා නොකරන ඉහළ සිට මෙහෙයවෙන යාන්ත්‍රණ යනාදිය මගිනි. දැන් රාජ්‍යය ඔබ වෙතට එන්නේ නමක් නැති ආගන්තුක ඩ්‍රෝන යාත්‍රාවක ස්වරූපයෙනි.

වමේ උපායමාර්ග

මෙම නව වාතාවරණය තුළ වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නය මග හැර යන කිසිදු දාර්ශනික සංවාදයකින් දැන් පලක් නැත. ග්‍රාම්ස්චි පැවසූ ලෙස දර්ශනය පවතින්නේ පොදු ජන අවබෝධය තුළය. "වසංගතය: කොවිඩ්-19 ලොව සසල කරයි" (2020) කෘතිය තුළ ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේද දැන් අප වසංගතයට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය අරභයා පැන නැගී ඇති විවාදයේ දාර්ශනික අන්තර්ගතයක් පවතින බවයි.

අපගේ අදහස වන්නේ වසංගත ධනවාදය තුළ ක්‍රම ක්‍රමයෙන් හැකිලී යන සමාජය සක්‍රීය කරන්නා වූත්, සමාජ සාමූහිකත්වය සහ සහයෝගීතාව පදනම් කර ගත්තා වූත් ජන-සහභාගී ව්‍යාපාරයක් පහත සිට ගොඩ නැගීම හැර වෙනත් සාධනීය විකල්පයක් දැන් අපට ඉතිරිව නොමැති බවයි. කාල් පොලන්යී පැවසූ පරිදි, මෙවන් අර්බුධයකින් පසුව දේශපාලනය නැවත ගොඩ නගනු ඇත්තේ ජන සමාජය ආරක්ෂා කළ හැක්කේ තමන්ට යැයි ජන සමාජයට වඩාත් හොඳින් ඒත්තු ගැන්විය හැකි බලවේගයටය. මූෆ් පසුගිය සැප්තැම්බර් මසදී අනතුරු හැඟවූ පරිදි, සමාජය ආරක්ෂා කිරීමේ සමාජයීය ඉල්ලීම ඉතාම අනතුරුදායක අන්තවාදී සහ පීඩාකාරී විකල්පයකටද මග විවර කළ හැකිය. එබැවින්, වමේ නායකත්වයන් මේ මොහොතේ ඉක්මන් විය යුතුය. මන්ද යත්, කොවිඩ් මර්දන ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවස්ථාව දැන් වේගයෙන් අපෙන් ගිලිහී යමින් පවතී.

  • ජේෂ්ඨ කතිකාචාර්ය

සුමිත් චාමින්ද ගේ ෆේස්බුක් ගිනුමෙනි

Comment (0) Hits: 334

නැගෙනහිර ජැටියට ගොඩවන තනි පුද්ගල ප්‍රාග්ධනය !

 නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතුකළ අදහස් මුල් කරගෙන ලියවෙන මේ ලිපිය නැගෙනහිර ජැටියෙන් එහාට  යන සමාජ-දේශපාලන කතිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුනනවා ද? බදු දෙනවා ද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායක ය. එය මාධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් ශ්‍රී ලංකාවට අවාසිදායක ය. ඊටත් වඩා එය ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යයට හානිකර ය. තනි පුද්ගල ප්‍රාග්ධනය මේ වනවිට හුදු ආර්ථික ක්‍රියාවලියක් නොව ගෝලීය සහ කලාපීය දේශපාලන ජාලයක් වීම ඊට හේතුව ය. එවැනි විකිණීම් සහ බදු දීම මේ දක්වා මේ රටට, රාජ්‍යයට අත් කර දී ඇත්තේ අපේක්ෂා භංගත්වය සහ අභ්‍යන්තර මෙන් ම භාහිර පීඩන පමණි යන්නද අප සිහියේ තබා ගත යුතු ය.

avatars 000132851171 dgnviz t500x500

ආණ්ඩුව පත්වන දේශපාලන අනතුර එක් පැත්තකින් දෘෂ්ටිවාදී එකකි. එනම් ජාතික රාජ්‍යවාදය, ඊට අනුබද්ධ ජාතික ආරක්ෂාව, ජාතික අභිමානය, සහ ජාතික සංවර්ධනය පිළිබඳව ආණ්ඩුවේ තීරක බලවේග විසින් ජනසමාජය මත කාලයක් තිස්සේ ස්ථාපිත කොට ඇති සහ නඩත්තු කරන දෘෂ්ටිවාදය අර්බුදයට යෑම එම දෘෂ්ටිවාදී අනතුර ය. අනිත් අනතුර දේශපාලන එකකි. එනම් ආණ්ඩුව කෙරෙහි, ජාතික රාජ්‍යවාදී ස්ථාවරයක සිටින බහුතර ජනතාවගේ ඇති පක්ෂපාතීබව  අඩුවිය හැකි වීම, ආණ්ඩුවට අදාළ ඒ දේශපාලන අනතුර ය. එහි තවත් අතුරු දේශපාලන අනතුරක් වන්නේ ආණ්ඩුව ඇතුලේ ම සිටින, බලය ආශ්වාදය කිරීම විනෝදාංශයක් හෝ ධනෝපායන මාර්ගයක් කර නො ගත්, ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් වැනි මහජන නියෝජිතයින්ගේ හිත් බිදී යාම ට ත් ජන සමාජයට වගඋත්තර දී ගත නොහී අසරණ වීමටත් එය හේතුවක් වීම ය.

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට විරුද්ධව සංවිධානය කර තිබු පුවත් සාකච්ඡාවක දී ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කොට තිබුනේ “ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටිනවා” ය යන්න ය. මේ ප්‍රකාශය 1977 න් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩුවලට අදාළ ය. එපමණක් නොව ලෝකයේ පහළ මට්ටමේ ආර්ථිකයන් ඇති අපවැනි බොහෝ රටවල් වලටත් ආදාල ය. එනම් අප වැනි බොහෝ රටවල්වල ඉරණම එය ය. එය මේ ආණ්ඩුවට පමණක් චෝදනා කොට අත් පිහදා ගත හැක්කක් නොවේ ය. රාජ්‍යය ගොඩනැගීම පිලිබඳ තිරසාර වැඩපිළිවෙලක් සහ මෙහෙයුමක් නැති, නිෂ්පාදන ආර්ථිකයක් නැති, නවෝත්පාදන නැති, විදේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ පහසුකම් සපයා දී යමක් උපයා ගන්නා ඒජන්සි පමණක් ඇති, සංවර්ධන අරමුණු මත නොව දේශපාලන පැවැත්ම සඳහා වැඩ නැති රැකියා ලබා දී ඒ සඳහා විශාල වැයක් දරන, දේශීය සහ විදේශීය ණය උගුල්වල පැටලී ඇති, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ තරඟවල අතකොලු බවට පත් වී ඇති, සහ ස්වදේශික න්‍යාය පත්‍ර අනුව නොව ජාත්‍යන්තර බලවතුන්ගේ සහ වෙළෙන්දන්ගේ අරමුණු මත සැකසු න්‍යාය පත්‍රවලට අනුව, කැමැත්තෙන් මෙන් ම අකමැත්තෙන් වැඩ කිරීමට සිදුව ඇති සියලු රටවල්වලට අද සිදු වී ඇත්තේ ඇල්ලේ හාමුදුරුවෝ කියන ආකාරයේ වෙන්දේසි පොලවල් ලෙස ක්‍රියා කිරීමට ය. අප මේ ලෝක තත්ත්වය තේරුම් ගත යුතු ය. රටක් වෙන්දේසි පොලක් නොවී සිටීමට, රාජ්‍යයක් එවැනි වෙන්දේසි පොලක පහසුකාරකයින් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසා ගත හැක්කේ එවිට ය.

z p08 Take

හිටපු ඇමති මංගල සමරවීර මෑතක දී කළ ප්‍රකාශයක ට අනුව “ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේ ද, තරුණයින් ට රැකී රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේ ද, විදේශ ආයෝජකයින් අප රට ට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීම හෝ පාවා දීමක් බව සිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවේ සුබ සිද්ධියට වැට බඳින අතලොස්සක් පමණයි”. මේ ප්‍රකාශය අපගේ අවධානයට ලක්විය යුතු අපූරු එකකි. එහි ඇති කාරණා එකින් එක පරීක්ෂා කිරීම වැදගත් ය. ලංකාව දියුණු රටක් කිරීමේ වුවමනාව සමරවීරගේ මුඛ්‍ය අදහසකි. ඒ ගැන විරුද්ධත්වයක් අප කාටත් නැත. තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමේ වුවමනාව සහ අරමුණ ද එවැන්නකි. නමුත් ඒ දෙකම ඉටු කර ගැනීමේ එකම මාධ්‍යය ලෙස ඔහු දකින්නේ විදේශ ආයෝජන මේ රට ට ගෙන්වා ගැනීම ය. එය සමාන වන්නේ වෙළඳපොළ විසින් ජන සමාජය සුඛිත මුදිත කරනු ඇත පන්නයේ විශ්වාසයකට ය.

සමරවීර ගේ යෝජනාව තුළ අන්තර්ගත වී ඇති මූලික ගැටළුවක් වන්නේ, එවිට දේශීය දේශපාලකයින්ට සහ තීරකයින්ට පැවරී ඇති කාර්යභාරය කුමක් ද යන්න ය. ඒ කාර්යභාරය වනාහි විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට පහසුකම් සැපයීම සහ පසුබිම සැපයීම පමණක් ය යන්න නම් රටකට රාජ්‍යයකින් ඇති වැඩක් නැත. දේශපාලනයෙන් පරිපාලනයෙන් වැඩකුත් නැත. සමරවීර ගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ දේශීය පාලකයින්ගේ සහ තීරකයින්ගේ වගකීම් විරහිතකම ය. එසේම ජාත්‍යන්තර පද්ධතිය තුළ විශේෂ අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමට දේශීය පාලකයින්ට සහ තීරකයින් ට අවැසි විශේෂඥභාවය නැතිකම සහ නොහැකියාව ය. ඇල්ලේ ගුණවංශ හිමියන් එරෙහි වෙමින් කියා සිටින “වෙන්දේසි පොල” සංකල්පය සමරවීරගේ අරමුණු සමඟ ද සමපාත වීමෙන් පෙනී යන්නේ අවුරුදු අනූවක් තිස්සේ මේ රට පාලනය කළ තීරකයින් ණය ගැනීම සහ විකිණීම හැර සිදුකොට ඇති එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට අතරමැදියන් ලෙස සේවය කිරීමය. නැතහොත් තැරැව්කරුවන් ලෙස සේවය කිරීමට ය. එසේම විදේශීය භාණ්ඩ සහ වෙළෙඳ සේවාවල ට ‘පොල පහසුකම්’ සැපයීම ය. අප දේශපාලනය, පරිපාලනය, සහ වෙළෙඳාම කියා කියන්නේ ඒ අතරමැදි කාර්යභාරයට ය; තැරව්කාර ක්‍රියාවලියට ය.

සමරවීර ට සහ ඒ හා සමාන අදහස් ඇති අයට අමතක වී ඇති හෝ ඔවුන් නොදන්නා හෝ දෙයක් ඇත. එනම් ජාතික රාජ්‍යයක් යනු හුදු තාක්ෂණික ව්‍යුහයක් පමණක් නොවේ ය. ජාතික රාජ්‍යයක් යනු ජනතා පරමාධිපත්‍යය ජනයා සමඟ ගිවිසුම්ගතව ක්‍රියාවට නගන ජාතික දේශපාලන සංවිධානයකි, ජාතික ආර්ථික සංවිධානයකි, ජාතික සංස්කෘතික සංවිධානයකි, ජාතික සමාජ සංවිධානයකි, සමාජ සම්මුතියකි. ජාතික රාජ්‍යය ගොඩනැගිය යුත්තේ යුත්තේ ජාතික දේශපාලනය, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, සහ ජාතික සමාජ පදනම් මත ය. එකී පදනම් ශක්තිමත් කරගත හැක්කේ ජාතික උත්සාහයකින් මිස  සමරවීර යෝජනා කරන ආකාරයෙන් විදේශීය ආයෝජනවලට පහසුකම් පමණක් සැපයීමෙන් නොවේ ය.

විදේශීය ආයෝජන පිලිබඳ පටු හෝ කටගැසුම් විරෝධයක් මා මතු කරන්නේ නැත. එහෙත් විදේශ ආයෝජන නියාමනය කිරීමට තරම් වූ ශක්තිමත් රාජ්‍යයක් නොවන අප අතිශයින්ම පරිස්සම් විය යුතු ය. විදේශ ආයෝජන පිටුපස නොව ඉදිරියෙන් ම ඇති දේශපාලන අරමුණු, සහ ගෝලීය-කලාපීය බල තරඟය ට අදාල අරමුණු අප වටහා ගත යුතු ය. ගෝලීය-කලාපීය බලවතුන්ගේ බල තරඟයට මැදිවන අප වැනි රටකට කිසිදු සංවර්ධන ඉලක්කයක් සාධනය කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දේශපාලන, ආර්ථික, මුල්‍ය, සහ සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකිවන්නේ ද නැත. ගැති සහ යැපුම් මානසිකත්වයක් මිස ස්වාධීන ජාතික අභිමානයක් වර්ධනය වන්නේ ද නැත.

විදේශ ආයෝජන රටකට ගෙන්වා ගත යුත්තේ ඒ රටේ ජාතික න්‍යාය පත්‍රයකට, වැඩපිළිවෙලකට අනුව මූලොපායික ස්ථාවරයක හිදිමින් මිස විදේශ ආයෝජකයින්ගේ හෝ ඔවුන්ගේ රටේ න්‍යාය පත්‍රයකට හෝ අභිලාශයකට පාවිච්චි වෙමින් නොවේ ය. අපට සිදු වී ඇත්තේ අනිත් අයගේ අරමුණු සාධනයට පාඩු ලබමින් පාවිච්චි වන්නට ය. ගැටලුව ඇත්තේ එතැන ය. පළමු කාරණය වන්නේ ලෝක පද්ධතිය තුළ අප දුබල රාජ්‍යයක් ය යන්න පිළිගැනීමය. ඒ නිසාම ලෝකයේ ශක්තිමත් රාජ්‍යයන් වෙළෙන්දන් සමඟ කරන ගණුදෙණු සහ නියාමනය අපට කළ නොහැකි ය. අප කළ යුත්තේ පරිස්සම් වීම ය. අනිත් කරුණ වන්නේ වසර දශක ගණනාවක් තිස්සේ විදේශ ආයෝජන යැයි කියා සිදුකලේ දේශීය සම්පත් විකිණීමය. එහි අරමුණ වුයේ රට සංවර්ධනය කිරීමය. නමුත්, 1977 සිට බැලුවත් මේ වන විට ඒ ක්‍රියාවලියේ වයස අවුරුදු 44 කි. කාලය දීර්ඝ ය. විකුණා ඇති දේශීය සම්පත් ප්‍රමාණය ඉතාම තීරණාත්මක සහ වැඩි ගණනක් ය. එසේ වුවත් රට ගොස් ඇත්තේ ආපස්සට මිස සංවර්ධනයකට නොවේ ය. එය එසේ නම් ඒ විකිණීමේ ක්‍රියාවලිය රට මුහුණ දී ඇති ගැටළුවලට පිළිතුරක් නොවන බව තේරුම් ගෙන අප යා යුත්තේ විකල්ප උපායමාර්ගවලට ය.

නැගෙණහිර ජැටිය ඉන්දියානු රාජ්‍යයට නොදී, බහු ජාතික බහුව්‍යාපාරික සමාගමක් වන Adani Group හි හිමිකරු වන ගෞතම් අදානි ට දීම තුළ අපට ඔහුව නියාමනය කළ හැකි යැයි සිතන අය සිහියට නගා ගත යුත්තේ, සමකාලීන ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත තනි පුද්ගල ප්‍රාග්ධනය රාජ්‍යයන්ටත් වඩා ප්‍රබල බව ය. ඊට උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘කට වැසූ සහ අත කැඩූ’ මාර්ක් සකබර් ගේ ශක්තිය සහ බලය මෙනෙහි කරන්න. එවිට සමරවීර ලා ද අප ද ලිලිපුට්ටන් බව වැටහෙනු ඇත. අප ආ මඟ වැරදී ඇති බව ට තව උදාහරණ බොහෝ ය. ගෝලීය පර්යාය තුළ අප තනිවිය යුතු නැත. එහෙත් අප එහි ගැත්තන් හෝ පාවිච්චි වන්නන් නො විය යුතු ය.ලෝක පිළිවෙළ තුළ අප ක්‍රියා කළ යුත්තේ අපේ ආකාරයකට සහ පරිස්සම් සහගතව ය.

ධම්ම දිසානායක          maxresdefault

         

Comment (0) Hits: 458

ජමීල්  අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න !

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි.

ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ.

වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින් කියවා බලා නැති දෝෂ සහිත සිංහල වාර්තාවකි.

අපරාධ සහායකයා නිලන්ත ජයවර්ධනද?

කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය සමඟ මෙම පිටු 541ක් වන ජනාධිපති කොමිසමේ පළමු පරිච්ඡේදය විමසිල්ලෙන් කියවන විට රාජ්‍ය නිලධාරීන් අතුරින් ප්‍රධානතම සැකය ඇති වන්නේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන කෙරෙහි ය.

ඔහු, තමා ඒ දිනවල පාවිච්චි කළ ජංගම දුර කථනයේ තොරතුරු මකා දැමුවේ ය. අතිශය භයානක මිනිස් ඝාතනයක් සිදු වූ අවස්ථාවෙහි තමා විසින් ඒ පිළිබදව කරන ලද කතා බහ කරා ආපසු යා හැකි තොරතුරු මූලාශ්‍ර මකා දමන්නේ කුමන බුද්ධි අංශ ප්‍රධානියකුද?  ඔහු එම තොරතුරු ආපසු සොයා ගත නොහැකි වන ලෙස මකා දැමුවේ සිය ජංගම දුරකථනය පැක්ටරි රී සෙට් යන තත්වයට ගෙන යාම මගිනි.

ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ලැබී ඇති මෙම පිටු 541ක පළමු පරිච්ඡේදය  සැකිල්ලෙන් කියවන ඕනෑම අයකුට සිහියට නැගෙන විමතිය ඇති කරන කාරණා ගණනාවක් තිබේ.

නිලන්ත ජයවර්ධනට අප්‍රේල් හතරවනදා ඉන්දීය ඔත්තු සේවාවන්ගෙන් නිල වශයෙන් සහරාන් අතුලු කන්ඩායමේ සැළැස්ම ගැන ප්‍රථම ඔත්තුව ලැබුණි. වාර්තාවට අනුව එදිනම ශ්‍රී ලංකාව තුළ සිටි ඉන්දීය බුද්ධි සගයකුගෙන්ද එම තොරතුර ලැබුණි. වාර්තාවේ සිංහල පරිවර්ථනයට අනුව අප්‍ර්ල් 04 දා මුලාශ්‍ර දෙකකින් තොරතුරු ලැබුනේද යන්න පැහැදිලි නැත.

ඉන්දීය බුද්ධි අංශ නිල වශයෙන් කරන ලද දැනුම් දීමෙහි දී ප්‍රහාරයකට සම්බන්ධ වියහැකි පුද්ගල නාම ලැයිස්තුවක්ද ලබා දන්නේ ය. ඒ අතර හිටපු බුද්ධි අංශ සාමාජිකයින්ද විය ප්‍රහාරයට සූදානම් වන අය වශයෙන් සහරාම් හෂිම්, රිල්වාන්, මිල්හාන් ඇතුලු තවත් නම් ගණනාවක් ද අතුළත් විය.

කෙසේ නමුත් නිලන්ත ජයවර්ධන ආරක්ෂක තත්වය ගැන කරන ලද ඉදිරිපත් කිරීම්වල දී මෙම තොරතුර සඟවා ගෙන සිටියේ ය. අප්‍රේල් 09දා පොලිස්පති වෙත මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමක දී ඔහු සහරාන්ගේ නම සඳහන් නො කිරීමට ප්‍රවේසම් වී තිබේ.

මෙම තොරතුරු ලබා ගත්තේ පණිවිඩවලට සවන් දීමෙන් දැයි විමසනු ලදුව ඉන්දීය බුද්ධි ඒජන්තවරයා කියා සිටියේ ඒම තොරතුරු ජන මූලාශ්‍රයකින් ලබා ගත් බවයි. එපමණක් නොව තමන් විසින් දෙන ලද තොරතුරු එලෙසම බෙදා හැර ඇති බැවින් තමන්ට තවදුරටත් තොරතුරු ලබා ගත නොහැකි වීමට ඉඩ ඇතයි ද ඔහු කනස්සල්ලට පත්ව සිටියේ ය. එලෙස බෙදා හරින ලද තොරතුරු ලිපියක් ඔහුට ලැබී තිබුණි.

20වනදා තෙක් නිදා සිටි ජයවර්ධන

අප්‍රේල් 20දා වන තුරු නිලන්ත ජයවර්ධන ප්‍රහාරය වැළැක්වීමට ගත හැකිව තිබූ කිසිම පියවරක් ගත්තේ නැත.

ඔහු ජනාධිපති සිරිසේනට මේ ගැන දැනුම් නොදුන්නේ යැයි කීම පිළිගැනීමද දුෂ්කරය. රන්මසු වටිනා ප්‍රශ්නය වන්නේ ඔහු සිය ජංගම දුරකථනයේ සියලු තොරතුරු මකා  දැම්මේ ඇයිද යන්නයි. බුද්ධි නිලධාරියකු වශයෙන් ජංගම දුරකථනයක දත්තයන්හි වැදගත්කම ඔහු නොදැන සිටියේ යැයි පිළිගත හැක්කේ අඳබාලයකුට පමණි.

ඇත්ත වශයෙන්ම නම් මේ වන විට සිරගත ව සිටිය යුත්තේ හේමසිරි සහ පූජිත නොව නිලන්ත ජයවර්ධනය.

වාර්තාව සඳහන් කරන්නේ නිලන්ත ජයවර්ධන ජනාධිපති සිරිසේන ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් අයකු ලෙස පෙනී ගිය බවයි. තමා මේ ගැන සිරිසේනට දැනුම් නො දුන් බවට නිලන්ත ජයවර්ධන දුන් සාක්ෂිය කොමිසම පිළිගෙන නැත.

ඕනෑම රටක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට රාජ්‍ය නායකයා දුරකථනයෙන් දවසේ ඕනෑම වේලාවක සම්බන්ධ කර ගත හැකි දුරකථන සම්බන්ධතාවයක් තිබේ. එපමණක් නොව මෙරට සෑම දිනකම උදෑසන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයාට එදින තත්වය සහ වැදගත් බුද්ධි තොරතුරු අඩංඟු ලිපි ගොනුවක් යවයි. එයට කලු පෙට්ටිය යැයි පවබැඳි නාමයක්ද තිබේ.

නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ කියා සිටියේ තමා 2දවන දින තෙවරක්ම ජනාධිපති සිරිසේන දුර කථනයට සම්බන්ධ කර ගැනීමට දරන ලද උක්සාහ අසාර්ථක වූ බවයි. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයකු හෝ පත් නොකර විදේශගතව සිටි ආරක්ෂක ඇමැතිවරයාද වූ රාජ්‍ය නායකයා සිය බුද්ධි අංශ ප්‍රධනියාගෙන් ලද ඇමතුම් තඅනකටම පිලිතුරු නොදුන්නේ නම් නිලන්ත ජයවර්ධන සමඟ කූඩුවේ සිටිය යුත්තේ සිරිසේනය.

සහරන් හා එක් වූ මෙම හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම මරා ගෙන මැරෙන ප්‍රහාරයන්ට ඉදිරිපත්  වී ද නැත.

බුද්ධි අංශ ඔත්තුකරු මිල්හාන්

තවත් වැදගත් කාරණයක් නම් මිලිහාන්ය.

සහරාන් විසින් සංවිධානය කරන ලද පුහුණු කඳවුරු 13ක හෝ 14ක අවි ආයුධ පුහුණුව ලබා දී ඇත්තේ මිල්හාන් විසිනි.

ඔහුගේ සම්පූර්ණ නම හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්ය. ඔහුට ආයුධ පුහුණුව ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වීමයි. ඒ එල්ටීටීයට එරෙහි යුද්ධ හමුදා ඔත්තුකරුවකු ලෙස සේවය කිරීමට 2006 වසරෙහි දීය. ඔහුට මෙම පුහුණුව ලබා දෙන ලද්දේ පොලිස් ෆයිස් නමින් හැඳින් වූ තවත් මුස්ලිම් ජාතික මිලිටරි බුද්ධි අංශ සාමාජිකයකු විසිනි. පසුව පොලිස් ෆයිස් ද සහරාන්ට සම්බන්ධ විය.

මෙහි පුදුමයට කරුණ නම් තමන් විසින් ආයුධ පුහුණුව ලබා දෙන ලද මුස්ලිම් ජාතික ඔත්තුකරු පිළිබඳ ව ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ කවර හෝ නිරීක්ෂණයක් පවත්වා නො ගැනීමයි. පෙනෙන විදිහට 2010 වර්ෂයෙන් පසු බුද්ධි අංශ විසින් එක්කෝ ඔහු අතහැර දමන ලදහ. නැත්නම් රහසිගතව වැඩ කරන බුද්ධි අංශ ඔත්තුකරුවකු ලෙස තබා ගන්නා ලදී.

2016 වර්ශයේ සිට මෙම මිලිටරි ඔත්තුකරු අයිසිස් නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ අදහස් සිය මුහුණූ පොත හරහා ප්‍රචාරය කරන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ඔහු ඔත්තුකරුවකුව සිටියේ ද නැද්ද යන්න පැහැදිලි නැත. පාස්කු ප්‍රහාරයන්ගෙන් පසු කටාර්හිදී අත්අඩංගුවට ගැනුණු මිලිහාන් දැන් සිර භාරයේ පසු වෙයි.

තවත් බුද්ධි අංශ සාමාජිකයෙක්: මෙහොමඩ් නියාස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් අයකු යුද හමුදා බුද්ධි අංශයේ සේවය කර ඇති බව වාර්තාව සඳහන් කරයි. ඒ අහමඩ් ලෙබ්බේ මෙහොමඩ් නියාස්ය.

2004 වර්ශයේ සිට බුද්ධි අංශ සාමාජිකයකු ලෙස කටයුතු කළ නමුත් ඔහු පෙනී සිටියේ මාධ්‍යවේදියකු ලෙසයි. ඒ සඳහා වෙබ් අඩවි දෙකක් පවත්වා ගෙන ගිය ඔහුට භාෂා පහක් චතුර ලෙස කතා කිරීමට හැකි විය.

(අද පවා බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන දෙස් විදෙස් ශ්‍රී ලංකා වෙබ් අඩවි තිබෙන බව කියනු ලැබේ. එදා තිබුණි නම් අද නොතිබීමට හේතුවක් නැත.)

පෙනෙන විදිහට ඔහු බුද්ධි අංශ සමඟ සබඳතා පවත්වා ගනිමින්ම කටාර්හි රැකියාවකට ගොස් තිබේ. 2017 දී ආපසු පැමිණි ඔහු අසිසිස් මතවාදය ප්‍රචාරය කරන්නට පටන් ගත්තේය. මේ වන විට බුද්ධි අංශ ඔහු සහමුලින්ම අතහැර දමා තිබුනේද යන්න පැහැදිලි නැත. සිය බුද්ධි අංශ ඔත්තුකරුවකට නිදැල්ලේ යාමට ඉඩ දෙන යුද්ධ හමුදාවක් තිබිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ.

ඔහු ප්‍රහාරයන්ට සම්බන්ධ නොවූ නමුත් අප්‍රේල් 26 දින සයින්දුමර්දු හි ඇතිවූ වෙඩි හුමමාරුකින් සහ බෝම්බ පිපිරීම් හමුවේ මරණයට පත් විය.

මෙම හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම මරා ගෙන මැරෙන ප්‍රහාරයන්ට ඉදිරිපත්  වී ද නැත.

රජයේ හමුදාවන්ට සම්බන්ධ වී සිටි බව පෙනෙන ආමි මොහිදීන් නම් පුද්ගලයකුද සහරාන් කණ්ඩායමට සම්බන්ධ වී සිට තිබේ. යුද සමයේ මෙන්ම ඉන්පසුවද හමුදා බුද්ධි අංශයන්ට සම්බන්ධ වු මුස්ලිම් ජාතිකයින් 40 දෙනෙකුට පමණ යුද හමුදාවේ රහසිගත අරමුදලෙන් වැටුප් ගෙවන ලදැයි චොදනා ඒල්ල විය. එනමුත් ඒම පුද්ගලයින් සියලු දෙනා හෙළිදරව් වී නැත. එය ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් විය හැකිය.

ඒලෙස වැටුප් ගෙවන ලද රහසිගත අරමුදල පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. එය බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවැත එයි. එය කිසිදු අයුරකින් විගණනය වන්නේ නැත. අනුමත නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම අරමුදල අධිකරණ අමාත්‍යාංශයට ලැබෙන වැය ශීර්ෂය ඉක්මවන බවයි. ශ්‍රී ලංකාවේ මෙම අරමුදල තවමත් රහසිගතව පවත්වා ගැනෙන මුත් බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව වැනි රටවල් එය දැන් විගණනයන්ට යටත් කර තිබේ.

අභිරහස: ජමීල් මොහොමඩ්

පාස්කු වාර්තාවෙහි එන තවත් වැදගත් පුද්ගලයකු නම් ජමීල්ය. පසුගියදා කාර්දිනල් මැල්කම් රංජිත් පවසා තිබුණේ  මෙම ජමීල්ට සොනික් සොනික් නම් රාජ්‍ය බුද්ධි අංශ පුද්ලගයකුගෙන් ඇමතුමක් ලැබුණේය යන චෝදනාව සොයා බැලිය යුතු බවයි.

ඒ මාරක  අප්‍රේල් 21 දින අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරැවා ගැනීමට ගියේ ටාජ් සමුද්‍ර හෝටලයටය. නමුත් ඔහු ආපන ශාලාවේ වාඩි වී සිය බෑගය ඇරීමට සූදානම් වන විටම ලද දුරකථන ඇමතුමක් නිසා ඔහු බෝම්බය පිපිරවීම පසෙක තබා තමන්ගේ අනෙක් ගමන් මල්ලද අමතක කොට හෝටලයෙන් යන්නට ගියේය.

අනතුරුව දෙහිවල  ට්‍රොපිකල් ඉන් නවාතැනෙහි සිය බෝම්බ ඇසුරුම තබා දෙහිවල මුස්ලිම් දේවස්ථානයට කිහිප වරක්ම ආ ගිය ජමීල්, හිටපු පොලිස් නිලධාරියකු වන අමීර් නම් දේවස්ථානයේ ආරක්ෂක නිලධාරියා විසින් සැක කොට ප්‍රශ්න කරන ලදී. හැදුනුම්පත හෝටලයේ තබා ආ බැවින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ජමීල් සිය බිරිදට කතා කරන ලෙස අමිර්ට දන්වයි. ජමීල්ගේ බිරිඳ වන ඕමර්තා කියන්නේ නිවසේ ආරවුලක් නිසා සිය පුරුෂයා වන ජමිල් බැහැර ගිය බවයි.

නමුත් ජමීල් නිවසින් පිට යන්නේ තමන් දින කිහිපය ගමනක් යන බව කියමින් දරුවන්ගේ සහ බිරිදගේ හිස සිඹිමිනි. එපමණක් නොව තමා කීවේ බොරුවක් බවත් ඇත්ත වශයෙන්ම තමා අල්ලා හමුවීමට යන බවත් කියා ජමීල්ගේ නමින් වට්ස් ඇප් පණිවඩයක් ඒ මාර්තු 21 දින උදෑසන ඕමර්තාට  ලැබේ. පවුලේ ආරවුලක් පිළිබඳ කතාව අලුත් එකකි.

අමීර් එම දුරකථන ඇමැතුම ගත්තේ 13.23ටය. ඉන් විනාඩි තුනකට පසු ඕමර්තාගේ දුර කථනයෙන්ම අමීර්ට කතා කරන පිරිමියකු කියන්නේ පවුලේ ආරවුලක් නිසා පිටවී ගිය ජමීල් ඔවුන් එන තුරු එතැනම රඳවා ගන්නා ලෙසය. නමුත් ඒ වන විට ජමීල් එතැන සිටියේ නැත.

ඉන් මද වේලාවකට පසු පුද්ගලයින් කිහිප දෙනෙකු දෙහිවලට පැමිණ අමීර් හමු විය. ඒ අතර ඕමර්තාගේ දුරකථනයෙන් තමා කතා කළ පුද්ගලයාගේ හඩ අමීර් හඳුනා ගත්තේය. ඔවුන් පැමිණ සිටියේ හමුදා බුද්ධි අංශයෙනි.

කවද ජමීල් ඉස්ලාමීය අන්තවාදී අදහස් ප්‍රචාරය කරමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශ දැන සිටියේය. ඔහු සිරියවට ගොස් අයිසිස් සංවිධානයට බැදීම පිනිස තුරුකියට යාමට වීසා ඉල්ලුම් කළ මුත් ලැබුණේ නැන. මේ සියලු තොරතුරු තිබියදී බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්ණ කර ඔහු දුන් තොත් බබා පිලිතුරු පිළිගත්තේය. මේ 2018 වර්ශයේදී ය.

මෙම සිදුවීම පිළිතුරු නැති ප්‍රශ්ණ ගණනාවක් ඉදිරිපත් කරයි. පිපිරීමෙන් පැය ගණනාවක් ඇතුළත ජමීල්ගේ නිවසට පමණක් බුද්ධි අංශ ගියේ කෙසේදජමීල් මිය නොගිය බව ඔවුන් දැන සිටියේදඕමර්තා සහ බුද්ධි අංශ නිලධාරීන් පවුලේ ආරවුලක් යන එකම කතාව කීවේ කෙසේදමෙලෙස අනෙක් මරාගෙන මැරුණ ලැයිස්තුවේ සිටි අන් කවර හෝ නිවසකට හමුදා බුද්ධි අංශ ගියේදජමීල්ට හෝටලයේ දී දුරකථන ඇමැතුම දුන්නේ කව්ද?

මද වේලාවකට පසු ජමීල් ට්‍රොපිකල් ඉන්හිදී බොම්බය පිපිරී හෝ පුපුරුවා ගෙන මරණයට පත් විය.

කොමිසමේ විග්‍රහය එකයි එකයි දෙකයි වැන්න

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙහි බොහෝ අඩුපාඩු තිබේ. එහි එන සමහර නිගමන සහ නිර්දේශ යථාර්තවාදී නැත. වාර්තාව ගැඹුරු ගවේශනාත්මක සහ විශ්ලේෂනාත්මක එකක් නොවේ. එය කර ඇත්තේ එකයි එකයි දෙකයි වර්ගයේ සරළ විග්‍රහයකි.

හිටපු නීතිපති නොකියා කියා සිටි පරිදි කොමිසමේ වාර්තාව උඩ සහ එහි නිර්දේශ මත පමණක් කවර පුද්ගලයකුට හෝ නඩු පැවරීම දුෂ්කරය.

කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන තුරු වාර්තාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සම්පූර්ණ අදහසක් ඇති කර ගත නොහැක.

(ඉහත සදහන් සටහන ලිවීමට භාවිත කරන ලද්දේ කොමිසමේ විශ්ලේෂන නොව එන සඳහන් කරුණු පමණක් බව සලකන්න.)

වාර්ථාව සම්පූර්නයෙන් කියවන්න:Easter Attack PCoI Report - Copy
 
සුනන්ද දේශප්‍රිය

 

 
Comment (0) Hits: 262

මුල්ලිවෛකාල් ස්මාරක,ජැටිය, එන්නත හා දිව කබර දේශපාලනය!

වර්ථමාන භූ දේශපාලනය හා පරිදියේ දේශපානික විචල්‍යතාවයන් සූක්ෂමව නිරීක්ෂණය කරනවිට පසුගිය මහින්ද  දශකයේ හානි පූර්ණය කල නොහැකි මහාපරිමානයේ අවභාවිතික හෙජමොනික  සන්දර්භයයන්ගේ ප්‍රතිඵල ජීවමානව විඳවීමට හා වැමෑරීමට කාළය එළැඹ ඇත….          

බලයම පැවැත්මත් එකී පැවැත්මේ උම්මත්තක මනෝරාජික ෆැන්ටසිය වෙනුවෙන් රටත් රාජ්‍යත් එහි වැසියනුත් පතුලක් නැති අගාදයකට ඇද දැමූ පාලකයන් මානව දේශපාලනේ ජන මනස සෝදාපාළු අජීවී ඇවිදින අමු සොහොනක් බවට පත්කොට ඇත…

බලය වෙනුවෙන් රාජ්‍යත්වය හා ස්වයිරීත්වයේ දියකර හැරීම.            

පංචේන්ද්‍රියන් යම්තාක් දුරකට ක්‍රියාකරන ඕනෑම පුද්ගලයකුට පහත වීඩියෝ පට නැරඹීමේදී ගම්‍ය වියයුතු එකම කරුණ නම් බලය වෙනුවෙන්  රටත් රාජ්‍යයත් එහි වැසියන් තුලත් අතිශය සාපරාධී ලෙස වර්ගවාදය ජාතිවාදය අමු අමුවේ ලේ රහට ඉව අල්ලන සුනඛ සේනාවක් සේ වෛරීය ප්‍රකාශනය සමාජගත කොට ජන මනස විකෘති කරන ආකාරයයි…..            

කිසිදා තමන් බලයේ සිටියේ නම් උතුරේ මහාවිරු සැමරුම් තියා පොල්තෙල් පහනක් ඉටිපහනක් දැල්වෙන්නට ඉඩ නොදෙනවා කියා පාරම් බෑ රාජ්‍යයේ ආරක්ෂාවේ නියමුවෝ දේශපාලණික වරදාන වරප්‍රසාද ගැතිව වගකීම් විරහිත ප්‍රකාශ කොට බලය ලැබුන පසු ගලේ පහරපු අයිරින් දිව කබර න්‍යායේ පිහිටෙන් ගැලවී යන්නේ භූමිතෙල් වැදුන ගැරඬින් සේය..

එදා බලය වෙනුවෙන් සංහිඳියාව අමු අමුවේ ඝාතණය කොට තිස් වසරක අඳුරු කලු මතක ඇති දෙපාර්ශවයකට සෙනෙහසේ දෑත් දිගු කරනවා වෙනුවට ඔවුන් තුල තව තවත් බෙදීම් හා වෛරය වපුරා බලය ගත්තේ ඔවුන් විසින් වැපිරූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හා විදේශීය අතපෙවීම් ඔවුන්ගේම බලය අරඹයා සැලසුම් ලෙසත් එකී වන්දිය ලෙස රාජ්‍ය දේපල කුණු කොල්ලයට වර්ථමානයේ කොමිස් මත විකුණන කූට් නාටකයන්ගේ පිටපත් අනුව බව වර්ථමානයේ විරාජමානව නිරුවත් වෙමින් පවතී…

මුල්ලිවෛකාල් සැමරුම කඩා දකුණට වීරයා වී ඉන්දීය ගෙරවුමට උතුරේ නගුට සඟවා ගැනීම…..          

ඉකුත් දිනයක කිසිදු නෛතික හා මානුෂීය ක්‍රමවේදයකින් තොරව හිටි අඩියේ තම මියගිය සමීපතමයන් වෙනුවෙන් ඉදිවුන ස්මරකය සිංහ සේයාවෙන් ඝර්ජනාත්මකව බිමට සමතලා කරදැමූ අතර…                        

කුරිරු ත්‍රස්තවාදීන් උවද මියගිය පසු ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නෝ ඔවුන් සිහිකිරීම අනුස්මරණය ඉච්ඡානුගද අනිච්ඡානුගද යන්න නොව එය මානුෂීය අයිතියක් බව අප පිළිගත යුතුය…. කෙසේ නමුත් සිංහ ඝර්ජනාත්මකව සමරුව බිමට සමතලා කොට දකුණට ගැයූ  ප්‍රසස්‍ති සුළං කෝඩ මතින් උතුරේ සිට දකුණට සේන්දු වීමටත් ප්‍රථමයෙන් ඉන්දියානු ගෙරවුමෙන් අතර මග ලොප් විය….

පසු දිනම නැවත වඩාත් නෛතික හා මානූෂීය ක්‍රියාවාලියක් ලෙස එය ස්තාපිත විය.. පරිදියේ දේශපාලණික බලවතුන්ගේ පිහිටෙන් බලය ඩැහැගැනීමේ එක් ප්‍රථිපලයක් ලෙස මුල්ලිවෛකාල් සැමරුම් ප්‍රතිස්ථාපනය එසේ ඉතිහාසයට එක් විය…

සිංහ නාද බලු කෙඳිරිලි වී ජැටිය ඉන්දියාවට ..!            

භූ දේශපාලණිකව හා වාණිජමය ලෙස අතිශය වටිනාකමක් හිමි වරාය නැගෙනහිර ජැටියේ ඉරණම ලියවූයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමට ප්‍රථමවය. 

එදා වේදිකා මත ඉලෙක්ට්‍රෝනික තහඩු දෙස බලා හෝ සිංහ ඝර්ජනා කරමින් බදු දුන් සියල්ල පවරා ගන්නවා...අපි මාතෲ භූමිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් ආරක්ශා කරන බවට දිව කබර කෙප්ප වරුසා වැස්සුවේ සැබෑ ඉන්දියානු පිටපතට අනුවද ?. නොඑසේනම් හැටනව ලක්ෂයක් ජනතාව මුලාවේ හෙළමින් බොරු බිල්ලන් මවමින් සංවේදී එහෙත් දේශපාලනික සාක්ෂරතාවේ ඍණ අගයක සිටින මිනිසුන් මෙසේ නොරවටනු ඇත….

මේ මොහොත වනවිටත් රට රකින විරුවාට සෞභාග්‍යයයේ දැක්ම ප්‍රකාරව දේශීයත්වයට මුල් තැන දෙමින් එකී පොරොන්දු ප්‍රකාරව කටයුතු කිරීමට හෝ හැටනවලක්ෂයේ කෘතිම වින්දනයට පවා තවත් බොරු කීමට නොහැක…

මක්නිසාදයත් ඉන්දියාවේ අදානි සමාගමට හෝ ඔවුන් විසින් නිර්මාණය කරම කුමන හෝ සමාගමකට නැගෙනහිර ජැටිය ලභාදීමට සිදුවනු ඇත…"එය හොරි කහපිය ගිණි පිඹපිය" වැනිය,  නොඑසේනම් වැසුනු කොමිසම් පවා නැවත දිග හැරෙනු ඇත….

1990 සුවසැරියෙන් ආ ඉන්දියන් ' රෝ'  ,GMOA වලිප්පුව හා වෛරය නැසූ මෛත්‍රී එන්නත..              

යහපාලන රජය සමයේ ඉතා විශිෂ්ඨ සෞඛ්‍ය සේවයක් ලෙස ස්ථාපිත වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව එදා නොව එහි අනපේක්ෂිත සක්‍රීය දායකත්වය ලභා ගත්තේambulance එය අතිශයින්ම විවේචනය කල ගෝඨාභය රාජපක්ෂ ආණුඩුව විසිනි…              

ආණ්ඩුවේ ප්‍රදාන හවුල්කාර සංවිධානයක් වන GMOA සංවිදානය එදා මංත්‍රී ධූර කීපයකට ඔවුන්ගේ නියෝජිතයන් එකතුකරගැනීම වැනි ප්‍රාතමික කටයුත්තක් වෙනුවෙන් සම්ස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝගිමත් සෞඛ්‍ය අයිතියට කසළ  එක්කරමින් සමාජය ගඳ ගැස්සවූයේ උගත් කමත් දොස්තර නළාවත් අතර කිසිඳු ගැලපීමක් නොමැති බවට නිරුවත් වෙමිනි…                

කෝවිඩ් වසංගතයෙන් ආසාදිත වූවන් සියල්ලෝම පාහේ සුරක්ෂිතව නිරෝධායනට හා රෝහල් වෙත රැගෙන යාමේ අති අවධානම් මානුෂීය මෙහෙයුමේ පුරෝගාමියෝ අදටත් සුවසැරියේ සුව විරුවන්‍ ය.                  

එහෙත් එදා ඉන්දියානු ටාටා ලඩි රෝ ඔත්තුකරුවන් ලෙස ජනතාව ඉදිරියේ උගත් වියත් දිව කබර න්‍යායෙන් තම පටු පවිටු වරදාන වෙත පුරවැසි මලකඳන් මතින් හෝ එගොඩ වෙන්න බැලූ ජොස්තරලා අද ඉන්දියානු මෛත්‍රී එන්නත් පිලිබඳව කිසිදු හා හූවක් නැත්තේ ජැටියට කෙළ හලන ඉන්දියානු දොලපිදේණියක් නිසා බව ඉඳුරාම පැහැදිලිය….

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය.

Comment (0) Hits: 552

කෝවිඞ් 19 වසංගතය තුළ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං කරන online ඉගැන්වීම්

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ 2020 මාර්තු මස ලංකාවේ පාසල් පද්ධතිය වසා දමා මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇත. වසංගත ව්‍යාප්තිය පාලනය වූ අවස්ථාවන් වලදී වරින් වර පාසල් විවෘත වූවද එම විවෘත කිරීම් සති කිහිපයක සීමා වූ අතර දරුවන් කොටස් වශයෙන් පාසල්වලට කැඳවීම තුළ එම කාලයේ ද පාසල් අධ්‍යාපනය මුළුමනින් ම විධිමත් නොවීය. වසංගතය තුළ පාසල් විවෘත කිරීම කළ නොහැකි වුවද කනගාටුදායක තත්වය වන්නේ වසරකට වැඩි කාලයක් බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනය විධිමත්ව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීමයි. වසංගතය ආරම්භ වූ මුල් මාස තුන ඇතුළත පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විකල්ප විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබුණ ද, ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළ අධ්‍යාපන අමාත්‍යාංශයේ එකම විකල්පය වී ඇත්තේ මාර්ගගත (online) ක‍්‍රමයට අධ්‍යාපනය ලබා දීමයි. වසරකට වැඩි කාලයක් තිස්සේ මාර්ගගත අධ්‍යාපනයට ද අවශ්‍ය උපාංග, අන්තර්ජාල පහසුකම් හා අවශ්‍ය පුහුණුව ලබාදීමට අදාළ කිසිදු ක‍්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක නොකර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ‘‘මේ වන විට දරුවන් සඳහා කි‍්‍රයාත්මක කෙරෙන මාර්ගගත අධ්‍යාපනය පන්තිකාමර අධ්‍යාපනයට විකල්පයක් නොවන බවත්, සමස්ත ලෝකයම මුහුණ දී ඇති කෝවිඞ් 19 අර්බුදය හමුවේ මෙය ඉතා ප‍්‍රායෝගික වැඩපිළිවෙක් ය.’’ යනුවෙන් 2021 මැයි 10 සදුදා දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කළ බවයි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම හාස්‍ය ජනක ප‍්‍රකාශයෙන් ම බිඳවැටී ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යාවරයෙකු වූ ආචාර්ය ප‍්‍රදීප් එන්. වීරසිංහ මහතා විසින් රචිත ලිපියකින් පෙන්වා දී තිබුණේ මේ වන විට මෙරට සිසුන්ගෙන් 60% ක් අධ්‍යාපනයෙන් බැහැර කර ඇති බවයි. මෙම අභාග්‍ය සම්පන්න තත්වය උදා වී ඇත්තේ කෝවිඞ් 19 තත්වය තුළ බිඳ වැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ ඉතා ප‍්‍රායෝගික වැඩපිළිවෙලේ මහිමයෙනි.

ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම දරණ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වූ ජාතික අධ්‍යාපන ආයතනය ද ඉහත තත්වයට ඍජුවම වගකිය යුතුය. විශේෂයෙන් ම විෂය මලා සකස් කිරීම හා සංවර්ධනය කිරීමේ කටයුත්ත සිදු කරන ජාතික අධ්‍යාපන ආයතනය මෙම වසංගත තත්වය හමුවේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට සුදුසු ආකාරයෙන් විෂය මාලා සංශෝධනයක් කළ යුතුව තිබුණි. එමෙන්ම රූපවාහිනිය වැනි ප‍්‍රාසාංගික මාධ්‍ය භාවිතයෙන් නිවෙස්වලට කොටු වී සිටින සිසුන් ආකර්ශනය වන ආකාරයෙන් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබුණි. ජාතික අධ්‍යාපන ආයතනය එවැන්නක් වසරකට වැඩි කාලයක් ගතව ගොස් තිබියදීත් මේ වන තෙක් සිදු නොකිරීම තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ තම වගකීම එම ආයතනය එමුළුමනින් ම පැහැර හැර ඇති බවයි.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අඩපණ වන පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම ප‍්‍රමුඛ කාර්යයක් කරමින් ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු 31 දින 2169/2 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. එහෙත් මෙම කාර්ය සාධක බලකායෙන් ද අඩපණ වූ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙක් සකස් කර කි‍්‍රයාත්මක නොවීය.

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගෙන් 60% ක් හෝ ඊටත් වැඩි අති බහුතරයකට අහිමිවීම සම්බන්ධයෙන් වගවීමකින් තොරව සිටින ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට ඇද දමා ඇත. අධ්‍යාපනයෙන් පිටමං වන මෙම දරුවන් ළමා ශ‍්‍රමිකයන් මෙන්ම ලාභ ශ‍්‍රමිකයන් බවට පත්වීම මෙන්ම සමාජ අපචාරයන්ගේ ගොදුරු බවට පත්වීමේ ඛේදනීය තත්වය වැලැක්විය නොහැකි වනු ඇත.

මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමේ අවම පහසුකම් හිමි දරුවන්ට ද මේ වන විට අධ්‍යාපනය එපා වී තිබීම දැඩි අවධානය යොමු කළ යුතු තත්වයකි. මාර්ගගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වන පරිගණකයක් හා වේගවත් අඛණ්ඩ අන්තර්ජාල සබඳතාවයකින් තොරව කුඩා ස්මාට් දුරකතන තිරයකින්, බාධා සහිත අන්තර්ජාල සම්බන්ධතා මගින් පන්ති කාමර අධ්‍යාපනයට සකස් කරන ලද විෂය මාලාවක් ඔස්සේ අධ්‍යාපනය ලැබීම දරුවන්ට කරුමයක් වී ඇත. පැය ගණනාවක් කුඩා ස්මාට් දුරකතන තිරයක් දෙස බලා සිටීම දැඩි වෙහසකාරී මෙන්ම අනතුරුදායී තත්වයකි. මේ තුළ වඩාම ඛේදනීය තත්වයකට ගොදුරුව ඇත්තේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වූ ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ය.

මාර්ගගත අධ්‍යාපනයේ අනතුරුදායක තත්වය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ‘‘වසංගතය තුළ චර්යාත්මක හා චිත්තවේගීය ගැටළු සහිත දරුවන් වැඩි වැඩියෙන් උදව් සඳහා රැුගෙන එමින් පවතී. ඔන්ලයින් ඉගැන්වීම් සහ අධ්‍යාපනයේ පීඩනය ඔවුන්ට දරාගත නොහැකි බරකි. දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් වගකීමෙන් ඉල්ලා සිටිනුයේ මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි. සමහර කුඩාවුන් මත පටවන බර අපගේ වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් අප දෙන්නේ නැත.’’ යනුවෙන් ඇය ප‍්‍රකාශ කර තිබූ අතර, මාර්ගගත අධ්‍යාපනයේ නොපෙනෙන බියජනක තත්වය එයින් පිළිබිඹුව තිබුණි. එසේම මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛiවරයෙකු වූ රූමි රූබන් මහතා, අක්ෂි වෛiවරු ඇතුළු වෛiවරු ගණනාවක් විසින් විවිධ අවස්ථාවලදී මෙම අනතුරුදායක තත්වයන් පිළිබඳව පෙන්වා දී තිබුණ ද අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මාර්ගගත අධ්‍යාපන පවත්වාගෙන යාමට ගුරුවරුන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටී.

මෙම තත්වය මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට ද දැඩි ලෙස පීඩාකාරී වන අතර, ඔවුන් තම සොච්චම් වැටුපෙන් තමන් විසින් ම සපයා ගන්නා ලද පෞද්ගලික උපාංග භාවිත කරමින් තම වියදමින් අන්තර්ජාල සම්බන්ධතා සපයා ගනිමින් දරුවන්ට ඉගැන්වීම සිදු කරයි. එසේ ගුරුවරු ස්වේච්ඡුාවෙන් සිදු කරන කාර්ය අධීක්ෂණය කිරීමට මේ වන විට අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරීම ගුරුවරුන්ට කරන අනිසි මෙන්ම අනීතික බලපෑමකි. එම බලපෑම් පළාත් අධ්‍යාපන බලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා විදුහල්පතිවරුන් වෙතින් ලිඛිතවම ගුරුවන් වෙත යොමු කෙරන අතර, සමහර අධ්‍යාපන බලධාරීන් සඳහන් කර ඇත්තේ ගුරුවරුන්ගේ කාර්ය සාධනය හා වැටුප් වර්ධක නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ද මෙම මාර්ගගත අධ්‍යාපන කටයුතු ඉවහල් කර ගන්නා බවයි. එසේම මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන ගුරුවරියන්ට සමහර පාසල්වල සාරි ඇදීමට බල කිරීම, ගුරුවරුන්ට ටයිපටි පැළදීමට බලකිරීම, දරුවන්ට නිවසේදීත් නිළඇඳුම් ඇදීමට බල කිරීම, ගුරුවරු අනිවාර්යයෙන් ම පරිගණකයක් භාවිත කළ යුතුය වැනි බලපෑම් ද සිදුවෙමින් තිබේ. මෙම අනීතික හා අනිසි බලපෑම් සම්බන්ධයෙන් ගුරුවරු දැඩි විරෝධය දැක්විය යුතුව ඇත.

මේ ආකාරයෙන් මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපෑම් එල්ල කරන අධ්‍යාපන බලධාරීන් ගුරුවරු බහුතරයකට පරිගණක සාක්ෂරතාවය ලබාදී නොමැති බව, මාර්ගගත ඉගැන්වීම් සඳහා ගුරුවරු පුහුණු කර නොමැති බව හා පන්තිකාමර අධ්‍යාපනයට අදාළ විෂය මාලාවක් මාර්ගගත අධ්‍යාපනයට නොගැළපෙන බව නොසලකා හැර ඇත. පවතින තත්වය තුළ දරුවන්ට පීඩාකාරී නොවන ලෙස විධිමත්ව අධ්‍යාපනය ලබාදීම පිළිබඳව නොසලකා හැර ඇති මෙම අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ගුරුවරු තමන් සතු ස්මාට් දුරකතන භාවිතයෙන් online විජ්ජාවන් පෙන්වීම පිළිබඳව පමණක් වීම බරපතල ඛේදනීය තත්වයකි.

අධ්‍යාපනයේ සැබෑ අරමුණු පසෙක දමා විභාග ප‍්‍රතිඵල ඉහළ නැංවීමේ තරගයක නිරත වීම වසර ගණනාවක සිට ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ දිශානතිය වී තිබුණි. ඒ නිසාම වර්තමාන තත්වය තුළ විභාග සමත්වීම කේන්ද්‍ර කරගනිමින් ඉහත ආකාරයේ බලපෑම් සිදුවීම බරපතල කනගාටුදායක තත්වයකි. තවදුරටත් ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ ද කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කඩා වැටුණු අධ්‍යාපනය සම්බන්ධයෙන් පියවර ගැනීම පසෙක තබා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කිරීමයි. එහි ව්‍යංගාර්ථ අදහස වන්නේ ‘පුළුවන් එවුන් පුළුවන් විදියකට ඉගෙන ගෙන විභාග සමත් වෙයල්ලා’ යන්න මිස අන් යමක් නොවන බව ඉහත තත්වයන් විසින් මනාව පෙන්නුම් කර ඇත.

සම අධ්‍යාපන අවස්ථා අහිමි කරන, අසාර්ථක මාර්ගගත අධ්‍යාපනය වෙනුවට කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කඩාවැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළයුතු බව ලංකා ගුරු සංගමය නිරන්තරයෙන් අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර සිටියද ඔවුන් නෑසූ කන්ව සිටීම බරපතල ගැටලූවකි. අධ්‍යාපනය සඳහා නූතන තාක්ෂණය භාවිත කිරීම අප කිසි විටෙකත් ප‍්‍රතික්ෂේප නොකරන අතර, අප විසින් හැමවිටම අවධාරණය කරනුයේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරකිමින් සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අවශ්‍යතාවයයි. නූතන තාක්ෂණය, නව මෙවලම් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යොදා ගත යුතු අතර, ඒවා වරප‍්‍රසාදිත පිරිසකට සීමා නොවී සියලූ පාසල් දරුවන්ට එකසේ භාවිත කළ හැකි ක‍්‍රමවේද අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත කළ යුතුය. එසේ නොමැතිව මාර්ගගත අධ්‍යාපනය එකම විකල්පය කර ගැනීමෙන් ඉහත තත්වය නිර්මාණය වී ඇත.

ලංකා ගුරු සංගමය

Comment (0) Hits: 435

මංගලට එරෙහි චම්පිකගේ අදේශපාලනික කළබලය !

මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට ඒ සඳහා වර්ෂ 2000 තෙක් බලා සිටීමට සිදු විය. එනමුත් පාර්ලිමේන්තුවෙන් පිට චම්පිකගේ දේශපාලනය පැවතුණි.

පසුගිය දිනක චම්පික ඔහුගේ දේශපාලනයේ ඊළග පිම්ම පැනීමේ පළමු වෙඩිමුරය තැබුවේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමෙනි. 43 සේනාංකයද බිහි විය. කුසලතාවාදයට මුල් තැන දෙන කන්නන්ගර දරුවන්ට යුක්තිය ඉටු කරන මැද පන්තිය ආකර්ශනය කරන සටන් පාඨ බිහි විය. චම්පික වෙනුවෙන් පෙනී සිටින්නන්ද චම්පිකගෙ දේශපාලන සගයන්ද චම්පිකගේ ෆේස්බුක් පිටුද, වෙබ් අඩවිද චම්පිකගේ දේශපාලන පිම්ම ජනප්‍රිය කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ලදී.

චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීම මගින් වඩාත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගා ගැනීමේ අවකාශයක් නිර්මාණය කර ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇති බව ලියුම්කරුගේද විශ්වාසය විය.

රාජපක්ෂලාට එ‍රෙහි හොඳ සටන්කරුවකු වන චම්පික ඉදිරියේදී සුළු ජනවර්ගයන්ගේද රාජපක්ෂ විරෝධී දේශපාලන නායකයන්ගේද සහය ලබා ගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂවෙන් සිටිද්දී සිදු වූයේ මාතර සමාජය අමතමින් මංගල සමරවීර විසින් සිදු කරන ලද ප්‍රකාශය සහ කලකට පසු මංගල දේශපාලන වේදිකාවකට ගොඩ වීම හේතුකෙට ගෙන ඉන් පැහැදිලිවම කලබලයට පත්ව මංගලට එරෙහිව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍ය ඔස්සේ චම්පිකවාදීන් විසින් දියත් කරනු ලැබීමයි.

චම්පික මෙහිදී ලැබූ පළමු පරාජයනම් මංගල තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට තර්ජනයක් බව පිළිගැනීමයි. චම්පිකවාදීන්ගේ මංගලට එරෙහි යටකී කලබලකාරී ප්‍රහාරයන් දෙස බලද්දී ඕනෑම අයකුට එය වටහා ගත හැක.

චම්පිකවාදීන්ගේ මංගලට එරෙහි ඇතැම් දේශපාලන ප්‍රහාරයන් චම්පිකවම ප්‍රශ්න කරයි. මාධ්‍ය නිදහසට එරෙහිව මංගල චන්ද්‍රිකා සමයේ වැඩ කිරීම ප්‍රශ්න කරද්දී අපට ඇසීමට සිදු වන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියේද යන්නයි. දෙමළ මාධ්‍යවේදීන් හා ඇතැම් සිංහල මාධ්‍යවේදීන් චම්පික අමාත්‍යධූරය දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේ ඝාතනය කරද්දී ඒ මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් බව මාධ්‍ය ඉදිරියේ කීවේ චම්පිකය.

මංගල දේශපාලන ගේම් ගසන්නකු බවත් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ආවේ එවන් ගේම් එකකින් බවත් කියද්දී අපට අසන්නට සිදු වන්නේ සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු චම්පික පාර්ලිමේන්තු ආවේ කෙසේද කියාය. මංගලට එරෙහි චම්පිකගේ ප්‍රහාරයන් ‍එකින් එක ගෙන ඒවායින් චම්පිකවම ප්‍රශ්න කල හැකි වුවත් එය අනවශ්‍ය සංවාදයකි. මේ කරුණු දෙක හෝ සටහන් කලේ මංගලට එරෙහි කලබලකාරී ප්‍රහාරයන් අදේශපාලනික බව පෙන්වීමටය.

බලගතු රාජපක්ෂ ‍රෙජිමයට එරෙහි සටනට අවශ්‍ය වන්‍නේ තමන් මුදුනා වෙමින් අනෙක් අය මතු වන විටම පහර දී බිම හෙළන අදේශපාලනික ක්‍රමය නොවේ. විශ්ව විද්‍යාලයෙන් දේශපාලනය ඇරඹු චම්පික තාම ක්‍රියාත්මක කරන්නේ විශ්ව විද්‍යාලයන්හි දේශපාලනයේදී පවතින ඉහත කී පටු ක්‍රමයම බව මංගලට එරෙහි ප්‍රහාරයන්ගෙන් පෙනේ. රාජපක්ෂ රෙජිමයට එරෙහි සටනට අවශ්‍ය වන්නේ පුළුල් සන්ධානයකි. එය බහුත්වවාදී නැඹුරුවකින් යුතු මැද පන්තියට ආමන්ත්‍රණය කල හැකි සන්ධානයක් විය යුතුය. එවන් සන්ධානයක් ගොඩ නගා ගැනීම චම්පිකට තනිවම කළ හැකිද?

මංගල සමරවීර ආණ්ඩු හැදීමට දක්ෂයෙකි. ඒ වගේම විවිධ මතවාදයන්හි සිටින සියළුම දෙනා එක් කිරීමේත් දක්ෂයෙකි. ජවිපෙ සමග සන්ධානගතවීම, 2001-2003 එ.ජා.ප ආණ්ඩුව පෙරළා සන්ධාන ආණ්ඩුව සැකසීම, 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම, 2015 බල පෙරළිය පිටුපස සිටි දැවැන්ත චරිතයකි මංගල. චම්පික එසේ සියළු පාර්ශවයන් එක් කිරීමේ දක්ෂයකු බව මේ දක්වා පෙන්වා නැත.

එමෙන්ම චම්පික මෙන්ම මංගලත් සිය ඇමතිධූරයන්හි වැඩ පෙන්වූ අයයි. ඔවුන් දෙ‍ෙනාටම නිලධාරීන්ද කැමැතිය. හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිරන්තරයෙන් මංගලව අගය කරන්නේ ඔවුන්ට සහය ලබා දුන් බවත් ඔවුන්ට සවන් දෙමින් කටයුතු කල බවත් පවසමින්. මෙම ලියුම්කරු සමග සාකච්ඡා කර ඇති විදේශ සේවයේ නිලධාරීන් පවසා ඇත්තේ ලක්ෂ්මන් කදිරගාමර් ගෙන් පසු මෑත යුගයේ බිහිවූ හොඳම විදේශ ඇමතිවරයා මංගල බවයි.

එමෙන්ම මංගල ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තෙකි. විශේෂයෙන් ඉදිරියේදී බිහිවන එක්සත් ජනපද නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනයේ ඉහළ පෙලේ තීරක නායකයන් මංගලගේ හිතවතුන්ය. මංගලගේ තිස් වසරක දේශපාලන සැමරීමට පැමිණි හිටපු රාජ්‍ය ලේකම් සමන්තා පවර් වද ඉහළ තනතුරකට පත් කරනු ඇත. ඇය පමණක් නොව ඔබාමා පරිපාලනයේ බොහෝ බලවතුන්ද මංගලගේ හිතවතුන්ය. එපමණක් නොව මංගල ඉන්දියාවේද මිතුරෙකි. මංගලට මෙන්ම රාජතාන්ත්‍රික වශයෙන් ඉහළ සම්බන්ධතා සහිත චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියද මංගලගේ සමීප ‍දේශපාලන සගයෙකි.

චම්පිකට රාජතාන්ත්‍රික වශයෙන් මේ සම්බන්ධතා නැත. මෛත්‍රීපාල සිරිසේනටද එවන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නැති වුවත් ඔහුට මංගලගේ හා චන්ද්‍රිකාගේ සහය ලැබුණි. නමුත් ලංකාවේ අලුත් මැද පන්තියට ආමන්ත්‍රණය කිරීමේ දී චම්පික ඉන්නේ මංගලට වඩා බොහෝ ඉදිරියෙනි.

මංගල මාතර සමාජය අමතා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කලේ ස නෙමේ ෆේල් ස නියෝජනය කල මතවාදයයි ෆේල් යනුවෙනි. ස ෆේල් ස ෆේල් කියමින් අදේශපාලනික සටන් පාඨයක් කර පින්නාගෙන යන විපක්ෂයක් පවතිද්දී මංගලගෙ ඉහත ප්‍රකාශය අතිශයින් දේශපාලනිකය. ඒ වගේම විපක්ෂයේ ඇතැමුන් ජනාධිපති ගෝඨාභයටත් වඩා සිංහල බෞද්ධ වීමට දැගලීම හාස්‍යයට ලක් කරමින් මංගල ප්‍රකාශ කලේ ස නියෝජනය කල සිංහල බෞද්ධ මතවාදය ෆේල් බැවින් ඊට එරෙහිව මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් විපක්ෂය සංවිධානගත කල යුතු බවයි.

චම්පික කල යුතුව තිබුණේ මෙම දේශපාලනික ප්‍රකාශයන් පිළිබඳ දේශපාලනික සංවාදයක් ගොඩ නැගීමයි. එය එසේ වී නම් ඇතැම් විට චම්පිකට මේ වනතෙක් ප්‍රවේශ වීමට නොහැකි ජනකොටස් වලට ප්‍රවේශ වීමටද චම්පිකට හැකියාව ලැබීමට ඉඩ තිබුණි.නමුත් සිදු වූයේ අනවශ්‍ය ලෙස කලබලයට පත් වී අදෙශපාලනික ප්‍රහාරයන් ගණනාවක් මංගලට එරෙහිව එල්ල කිරීමයි.

චම්පිකට සිය දේශපාලනයේ ඉදිරි පිම්මක් පැනීමට අවශ්‍ය නම් සිදු කල යුත්තේ මංගල සමග යහපත් දේශපාලන සංවාදයකට යාම මිස මංගල සිය දේශපාලන අභිලාෂයන්ට තර්ජනයක් බව පිළිගනිමින් අතීත දේශපාලනයද ඈදා ගනිමින් ප්‍රහාරයන් එල්ල කිරීම නොවේ. චම්පිකගේ අතීතය හා පෞද්ගලිකත්වය ඈදා ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නොයාම ගැන මංගලට ස්තූතිවන්ත විය යුතු අතර එය මංගලගේ දේශපාලනික බව පෙන්වයි.

රාජපක්ෂ රෙජිමයට එරෙහිව ඉදිරියේදී ගොඩ නැගීම නියතයක් වී ඇති පුළුල් දේශපාලන බලවේගයකට එක් ප්‍රධාන බාධකයකි සජිත්. ඒ ඔහු කිසිවිටකත් අවස්ථාවක් කැප කිරීමට සූදානම් නෙවන අධිතක්සේරුවකින් යුත් පුද්ගලයෙක් බවට පෙනී යන නිසාය. මංගලට එරෙහි ප්‍රහාරයන් තුළින් පෙන්නුම් කරන්නේ චම්පිකත් සජිත් පන්නයේ අයකු වීමට ඉඩ ඇති බවද? රාජපක්ෂ රෙජිමය පරාජය කල හැක්කේ සජිත්, චම්පික, මංගල, ජවිපෙ, හා සුලු ජාතික දේශපාලන නායකයන්ගේ නම්‍යශීලි දේශපාලන මැදිහත්වීම් හා විශේෂයෙන් කැප කිරීම් මතය.

රාජපක්ෂලා විපක්ෂය තුළ නඩත්තු කරන්නේ කල්ලි වාදී අවස්ථාවාදයයි. චම්පිකත් මංගලත් යන වැඩකරුවන් දෙදෙනාම වහා සිදු කල යුත්තේ යහපත් නව දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම මිස අදේශපාලනික කලබලයක් ඇති කර ගැනීම නොවේ. චම්පික විශේෂයෙන් දැන ගත යුත්තේ ඉදිරි දේශපාලන අවකාශය නිර්මාණය වන්නේ චම්පිකලා නඩත්තු කල විධායක ඒකාධිපතිත්වයක් වෙනුවෙන් වූ මතවාදයකට නොව වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට බවය.

චම්පික සූදානම් විය යුත්තේ රාජපකෂලාගෙ සිංහල බෞද්ධ අධිපතිවාදී ඒකාධිපති මතාවාදයේ නායකයා වීමට නොව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක නායකයා වීමටය.

– දුලාන් දසනායක  (අයිතිය වෙබ් අඩවිය )

Comment (0) Hits: 557

නව ලිබරල්වාදය සහ නව ජාතිකවාදය අතර ඇති පොදු දෙය !

අද යුගයේ ජාතිකවාදීන් නිදහස් වෙළඳපල ක්‍රමයට විරුද්ධ නැත. ජාතිකවාදීන් "නිදහස් වෙළඳපල මූලධර්මවාදය" (මෙය කලක් ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට උප සභාපතිවරයෙකුද වූ ජෝසෆ් ස්ටිග්ලිට්ස් ගේ යෙදුමකි) වැළඳගෙන තිබේ. මෙය සැබවින්ම අලුත් යමක් නොවේ. 1980 දශකයේ නව ලිබරල් හැරවුම ආරම්භ වූයේම මාගරට් තැචර්ගේ සහ රොනල්ඩ් රේගන්ගේ නව-ගතානුගතිකවාදී ජාතිකවාදය සමග අතිනත ගෙනය. 
 
තම බටහිර ස්වාමීන් දෙදෙනාට පෙරම බලයට පත් ශ්‍රී ලංකාවේ ජේ.ආර් ජයවර්ධන ජනවාර්ගික ජාතිකවාදයේ අග්‍රගන්‍ය ප්‍රකාශකයෙකු විය. ඔහුගේ විවෘත ආර්ථික ව්‍යාපෘතිය ජාතිකවාදය, මිලිටරිවාදය සහ විධායක අධිකාරීත්වය සමග කදිමට ගැලපුණි. ජේ.ආර්ගේ පුරෝගාමියා වූ චිලියේ පිනෝචේද ඔහුගේ මග ගමන් කළ ආර්ජන්ටිනාවේ කාලෝස් මෙනම්ද, වෙනිසුවෙලාවේ කාලෝස් පෙරෙස්ද, බ්‍රසීලයේ ෆර්නැන්ඩෝ මෙලෝද, පේරුහි ඇල්බර්ටෝ ෆුජිමෝරිද ඔහු වැනිම අධිකාරීවාදීන් වූහ. ජේ.ආර්ගේ බලය සෙලවීමට පටන් ගත්තේ ඔහු අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් ලෙස ඉන්දීය ආධිපත්‍යයට හිස නමන්නට සිදු වීමෙන් සිංහල රණකාමී ජාතිකවාදයේ ධජය ඔහුගෙන් ගිලිහී යාම සමගය. එසේ නොමැතිව ජනවාර්ගික ජාතිකවාදයට නව ලිබරල්වාදය සමග එක්ව ගමන් කළ නොහැකි නිසා නොවේ. එය අසූව දශකය තුළ පවා පැවතිය හැකි වූ කසාදයකි.
 
සැබවින්ම නව ලිබරල්වාදය නව ජාතිකවාදයන් සමග සංකලනය වීමේ ජාත්‍යන්තර නිදසුන් ඕනෑ තරම් තිබේ. එසේනම්, ඒ දෙක අතරැති පොදු දෙය කුමක්ද? නව ලිබරල්වාදය සේම නව ජාතිකවාදයද පදනම් වන්නේ තනි පුද්ගලයා මතය. නව ජාතිකවාදීන් සාම්ප්‍රදායික සමූහයන් ගැන කොතරම් කතා කළද, එහි මූලික ආමන්ත්‍රණය යොමු වන්නේ පුද්ගලයා වෙතය. ඒ බොහෝ විට පුද්ගලික වාණිජ මාධ්‍ය භාවිත කරමින්ය. (එබැවින්, සිංහල ජාතික චින්තනවාදයේ දාර්ශනික ප්‍රකාශනය "මගේ ලෝකය" වීම පුදුමයට කාරණයක් නොවේ). නව ලිබරල්වාදීන් සේම නව ජාතිකවාදීන්ද රාජ්‍යය සහ පුද්ගලයා අතර සෘජු සම්බන්ධයක් පරිකල්පනය කරයි. පුද්ගලයා රාජ්‍යය සමග සම්බන්ධ කරන ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම සිවිල් සමාජ සාමූහිකත්වයන්ද වැදගත් කොට නොසලකයි. ඒවා ජන සම්මත පාලකයාගෙන් සිංහල බෞද්ධයා දුරස් කොට තබන යාන්ත්‍රණයන්ය. එපමණක් නොවේ. පාලක ආයතන පවා සාමූහික විය යුතු නැත. පාලකයා හොඳ සිංහල බෞද්ධයෙකු වීම ප්‍රමාණවත්ය. ඔහුව සෘජුව ආමන්ත්‍රණය කිරීමට සිංහල බෞද්ධ පුද්ගලයාට හැකි විය යුතුය. 
 
නව-ලිබරල්වාදීන් සේම නව-ජාතිකවාදීන්ද තම උන්නතිය සඳහා යම් යම් සමූහයන් නිර්මාණය කර ගන්නා බව සැබෑය. නමුත්, ප්‍රායෝගික දේශපාලනයේදී මේ දෙපිරිසම වැඩියෙන් විශ්වාසය තබන්නේ තනි පුද්ගලයන්, පුද්ගල ප්‍රතිරූප, පුද්ගල සබඳතා යනාදිය කෙරෙහිය. ඔවුන් පොදුවේ දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති සහ විශේෂයෙන් සංවිධාන ගත ශ්‍රමය යනාදියට එරෙහි වෙති. නමුත්, පක්ෂ හෝ සංවිධාන තුළ සිටින යම් යම් සුවිශේෂී පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබති. ඔවුන්ගේ බලය බොහෝ විට පදනම් වන්නේ සංවිධානගත නොවූ පුද්ගලයන් සහ සමාජ කාණ්ඩ මතය. හැනා අරෙන්ඩ් පැවසූ ලෙස අධිකාරීවාදයේ සරු බිම තැනෙන්නේ වෙළඳපලකරණය විසින් එතෙක් පැවති සාමූහික ජීවිතය විසුරුවා හැරීම මගිනි; අධිකාරීවාදී පාලකයින්ගේ ආමන්ත්‍රණයට ආකර්ෂණය වන්නේ හුදෙකලා වූ, අසරණ වූ, මුල් ඉදිරී ගියා වූ, යන එන මං නොදන්නා වූ, ආතක් පාතක් නැති වූ පැවැත්මවල්ය. නව ලිබරල්වාදය එවන් පැවැත්මවල් වඩ වඩාත් නිර්මාණය කරන අතර නව-ජාතිකවාදය එකී පැවැත්මවල් මත වැඩේ. 
 
මේ අනුව නව ජාතිකවාදීන් (නිදසුනක් ලෙස ජාතික චින්තනවාදීන්) නව ලිබරල් තර්කණය වැළඳගෙන සිටින්නේ මන්දැයි යන්න නිරර්ථක ප්‍රශ්නයකි. ගැටළුව ඇත්තේ ඒ දෙක අතර මූලධාර්මික වෙනසක් ඇතැයි පරිකල්පනය කළ විවේචකයින්ගේය. එසේම, පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සංවිධානගත දේශපාලනයේ වැදගත්කම ප්‍රතික්ෂේප කොට පුද්ගල මැදිහත්වීම් ප්‍රමුඛ කොට සැලකීම වනාහී නව-ලිබරල් තර්කණයට අනුගත වීමක් ලෙස වටහා ගැනීම යුක්ති යුක්තය. ඊනියා සමාජ මාධ්‍ය දේශපාලනය මෙකී නව ලිබරල් තර්කණය හා කදිමට අනුගත වේ. 
 
අවසන් වශයෙන්, නව-ලිබරල්වාදය පරිශීලනය කොට දේශපාලනය තේරුම් කිරීම යනු දේශපාලනය ආර්ථිකයට ඌණනය කිරීමක් නොවන බවද කිව යුතුය. ශිෂෙක් කදිමට පෙන්වා දෙන පරිදි 1980 දශකයේදී ඌනිතවාදී වූයේ සංස්කෘතික සාධකය නොතකා හැරීම නම්, දැන් ඌනිතවාදී වනුයේ ආර්ථික සාධකය නොතකා හැරීමය. ආර්ථික ඌනිතවාදය පිළිබඳ ප්‍රචලිත තර්කයට පිළිතුරක් මාක්ස්වාදියෙකු නොවූ මිෂෙල් ෆූකෝගෙන් අපට උකහා ගත හැකිය. ෆූකෝට අනුව නව-ලිබරල්වාදය යනු හුදෙක් ආර්ථික උපාය මාර්ගයක් පමණක් නොව ආණ්ඩුකරණය, සංස්කෘතිය සහ පොදු ජන ජීවිතය පුරා පැතිරුණු  දේශපාලන තර්කණයකි. එය අපට සිතන්නේ සහ ක්‍රියා කරන්නේ කෙසේදැයි කියා දෙයි. නව-ලිබරල්වාදයේ දේශපාලන ගම්‍යයන් විමසා බැලිය යුත්තේ එම පුළුල් අරුතිනි. 
 
FB IMG 1622109164750- සුමිත් චාමින්ද 
(ෆේස්බුක් ගිනුමෙනි )
Comment (0) Hits: 339

ගෝඨා නෙවෙයි මතවාදයයි ෆේල් කිව්වාම, චම්පිකවාදීන් ඇයි මෙහෙම???

චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. “ෆේල් ගෝඨා නෙවෙයි, ඔහු නියෝජනය කරන මතවාදයයි ෆේල්. ඔහු වෙනුවට ඒ මතවාදයම නියෝජනය කරන ඔහු වැනිම වෙනත් කෙනෙකු ආදේශ කිරීම විකල්පයක් නොවේ” යන්න  එම කතාවේ සාරය ලෙස සැලකිය හැකිය.

විවේචනය ගෙන ආ පුද්ගලයා කවුරුන් වුවත්, එම විවේචනය ඉතා ප්‍රබල දේශපාලන විවේචනයක් බව මගේ අදහසයි. සිදු විය යුත්තේ ඒ ගැන තියුණු දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වුවත් චම්පික හිතවාදීන් හා අනුගාමිකයන් ‘භූමිතෙල් ප්‍රහාරලත් ආශීර්විෂයක්හු මෙන්’ කිපී, මංගලගේ කුලය, ලිංගික රුචිය යනාදී සාධක හුවා දක්වමින් ප්‍රතිචාර දක්වනු පෙනේ. එය ඉතාම කනගාටුදායක තත්වයකි.

එය කෙතරම් කනගාටුදායකද යත්, චම්පික රණවකගේ දේශපාලනය සමඟ කලක පටන් සමීපව කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය පවා මංගලගේ කුලමල හුවා දැක්වීමට තරම් පහළට බැස තිබිණි. ‘මංගල වැනි කුලවාදියකුට චම්පිකගේ වර්ගවාදය ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත’ යන්න ඔහුගේ ස්ථාවරයයි.

ඔවුන් මෙසේ කලබල වී ඇත්තේ ඇයි? මංගලගේ මතයට විරුද්ධ නම්,  “නැහැ, ගෝඨා තමයි ෆේල්. අනගාරික ධර්මපාලගේ සිට ක්‍රමිකව ගොඩනැඟුණු සිංහල බෞද්ධ අධිපති මතවාදය ෆේල් නැහැ. එය වර්තමානයේ රාජපක්ෂ ලා අත පැවතුණත් තනි සිංහල බෞද්ධ නායකත්වයක් පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට න්‍යාය හා ජවය සැපයූ සැබෑ වීරයා චම්පික රණවකයි, එම බලවේගයේ නායකත්වය, දුර්වල ගෝඨාභය ගෙන් ගලවා, සැබෑ උරුමකරු වන චම්පික රණවක රාජාභිෂේක කිරීම මේ මොහොතේ කාර්යභාරයයි. අප කැප වී සිටින්නේ ඒ වෙනුවෙන්” යැයි කොන්ද පණ ඇතිව කෙළින් කියන්න බැරි ඇයි!??

මා දකින හැටියට චම්පික නියෝජනය කරන මතවාදය එයයි. එහෙත් ඔහු සහ අනුගාමිකයන් එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ මේ මොහොතේ ඒ සංවාදය කරළියට එනවාට කැමති නැත. ඒ වෙනුවට ඔවුන් කැමති චම්පිකගේ අධ්‍යාපන සුදුසුකම්, ඇමතිවරයකු ලෙස ඔහුගේ සාර්ථකත්වය, කථිකත්වය, දේශපාලනයේ උපායශීලීබව ආදී කුසලතා ඉස්මතු කරමින් ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනැංවීමටය! මංගල ඒ කඩතුරාව ඉරා දමා, සැබෑ ප්‍රශ්නය කරළියට ගෙන තිබේ. ඔහු එක පොලු පහරින් කණාමුට්ටිය බිඳ දැම්මේය.

චම්පිකවාදීන්ට දැන්, මේ සැබෑ ප්‍රශ්නයට මුහුණ දීම හා ඒ පිළිබඳ ශිෂ්ඨසම්පන්න ලෙස සංවාදගතවීම හැර අන් විකල්පයක් නැත. සමහරවිට එය චම්පික රණවකට මෙතෙක් පැමිණි ගමන ගැන ස්වයං මෝහනයෙන් තොර සාධාරණ තක්සේරුවකට එළැඹීමටත් නව දේශපාලන ගමන් මඟක් විවර කර ගැනීමටත් ලැබෙන අනගි අවස්ථාවක් වීමටද ඉඩ තිබේ.

ඒ කොයි හැටි වෙතත්, චම්පිකගේ ජනපති සිහිනය ගැන මගේ අදහස මෙයයි: චම්පික කිසිදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ නැත. ඔහුගේ අභිලාෂය වූයේ කෙසේ හෝ එම ධුරයට පත් වීමය. ඔහුගේ සමස්ත දේශපාලන ගමන්මඟම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගැන විශ්වාසය තැබූවක් නොව, බලහත්කාරය, ප්‍රචණ්ඩ කඩාවැදීම්, වහසිබස් හා තර්ජන, ජාතිවාදය හා ආගම්වාදය පදනම්කරගත් උද්වේගකර කථා සහ කුඩා කල්ලි කණ්ඩායම් විවිධ ප්‍රචණ්ඩ මැදිහත්වීම් සඳහා මෙහෙයවීම, යුද සමයේ අප්‍රකට මෙහෙයුම්, උපායශීලී පිල්මාරු හා සටකපට දේශපාලන ගේම් මත පදනම් වූවකි.

විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ නම්, දැන් තිබෙන්නේ ඔහු සිහින දුටු විධායක ජනාධිපති ධුරය නොව, 20 වන සංශෝධනය හරහා තවත් ශක්තිමත් වුණු සර්වබලධාරී විධායකයකි. එයට සමාන ධුරයක් ලොව කොතැනවත් නැත. අඩුතරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පවා එම ධුරය බැඳී නැත.

චම්පික වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉතිහාසයක් ඇති පුද්ගලයකු අතට එවැනි බලයක් ලබා දීමට සිහි බුද්ධිය ඇති කිසිවකු සිහිනයෙන්වත් නොසිතිය යුතුය! පුද්ගල ප්‍රතිරූප පසුපස යන දේශපාලනයේ කූටප්‍රාප්තිය යනු ගෝඨාභය යි. ඒ මුළාව ඔහුගෙන් තීරණාත්මක ලෙසම අවසන් කළ යුතුය! එය කළ හැක්කේ කෙසේද යන්න මේ මොහොතේ කළ යුතු දේශපාලන සංවාදයයි.

ජීවන්ත ලියනගේ – මුහුණු පොතෙන්.

Comment (0) Hits: 568

කොරෝනා කාලේ ඉගෙනුම එපා කරවන ඔන්ලයින් ඉගෙනුම !

දුරස්ථ ඉගෙනුම (Distance Learning) ඔන්ලයින් ඉගෙනුම (e- Learning) හයිබ්‍රිඩ් ඉගෙනුම (Hybrid learning/Blended learning) වැනි යෙදුම් වර්තමානයෙහි රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ යෙදුම් බවට පත්ව තිබේ. මෙම වචන සවනත වැටෙන විට සමහර ගුරුවරු, බොහෝ දරුවෝ මෙන්ම දෙමව්පියන්ද මුහුණ අඳුරු කරගන්නා ආකාරය අද සුලබ දසුනකි.  
 
කොරෝනා විසින් අපට අහිමි කල දෑ බොහෝය. ඒ අතරින් ද ප්‍රමුඛතම සංසිද්ධිය වන්නේ දරුවන්ට පාසල අහිමි කිරීමය. මානව ඉතිහාසයේ අධ්‍යාපනය බරපතල ලෙසම  කඩාකප්පල්  වූ යුගය වශයෙන් කොරෝනා සමය හැඳින්විය හැකිය. අප වැනි රට වල ළමා පරපුරෙන් සියයට අනූ නමයක් පමණ පාසලෙන් ඈත් කිරීමට කොරෝනා සමත්ව තිබේ.
 
අද අප ජීවත් වන්නේ දැනුම පදනම් කරගත් සමාජයකය. දැනුම, ඥානය සහ තොරතුරු සමස්ත සමාජයේ ප්‍රාග්ධනය බවට පත් වෙමින් එහි උච්චස්ථානයට පැමිණෙමින් තිබෙන මොහොතක කොරෝනා වෛරසය විසින් එම දැනුම් සමාජය අක්‍රිය කර ඇත. වෛරසය අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආන්තික, ග්‍රාමීය සහ අර්ධ නාගරික ජනයාට විශේෂිතව ද, පොදුවේ මීළඟ පරම්පරාවටද දැනුම් සමාජය ජය ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනයට යතුර වූ පාසල අහිමි කර ඇත.
 
එමගින් පවුල තුළ නිර්මාණය වී ඇති ආතතිය සහ අවිනිශ්චිතභාවය සමස්ත සමාජයේම බලවත් තිගැස්මක් ඇති කිරීම වැඩි ඈතක නොවේ. මෙම වියමන මගින් උත්සාහ කරනු ලබන්නේ කොරෝනා විසින් අක්‍රිය කරනු ලැබූ ඉගෙනුම් ක්‍රියාවලිය සක්‍රීය කිරීමට ආදේශ වූ ඔන්ලයින් ඉගෙනුම(e-learning) ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ ශක්‍යතා, සීමා සහ යථාර්තයන් මෙරට අත්දැකීම් ඇසුරින් විමසා බැලීමයි.
 
ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශය !
 
කොවිඩ්- 19 විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන අවස්ථා ද උදා කරදී තිබේ. මේ වන විට ලෝකයේ විවිධ රටවල අධ්‍යාපනයට නව අර්ථකථන සහ ප්‍රවේශ ලබා දෙමින් ඉගෙනුම්- ඉගැන්වීම් පිළිබඳ නව මොඩලයන් අත්හදා බලනු ලැබේ. ඒවා බොහෝ දුරට  දුරස්ථ අධ්‍යාපන සංකල්පය මත පදනම් වී ඇත. අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය පහසුකම් කාරක(facilitator) බවට පත්කරගනු ලබන මෙම අධ්‍යාපන ප්‍රවේශයෙහි පදනම වන්නේ සහයෝගී ඉගෙනුම (collaborative learning) මගින් දැනුම ගොඩනැඟීමයි(construction of knowledge).
 
මෙහිදී අන්තර්ජාලය, තොරතුරු තාක්ෂණ මෘදුකාංග, නව තොරතුරු තාක්ෂණ මෙවලම් විසින් ගුරුවරයා සහ ශිෂ්‍යා මෙන්ම ශිෂ්‍යා සහ ශිෂ්‍යයා අතර ද සාකච්ඡා, අන්තර් ක්‍රියාකාරීත්වය, පවතින දැනුම පරික්ෂා කිරීම සහ අභියෝගයට ලක් කිරීම මෙන්ම සාක්ෂි සෙවීමට, නිරීක්ෂණයට සහ අලුතින් සිතීමට පහසුකම් සලසයි. 
මෙම ප්‍රවේශය මගින් වෙනස් වෙමින් පවතින සමාජයට අවශ්‍ය පුරවැසියන් ගොඩනගනු ලබයි. ඒ අනුව සිසුන් තුළ නිර්මාණශීලී විචාර චින්තනය(creative critical thinking), දැනුම ගොඩනැගීම(construction of knowledge), විශ්ලේෂණය, විකල්ප විසඳුම් සෙවීම, අවදානම් ගැනීම ආදී කුසලතා ප්‍රගුණ කිරීමට අපේක්ෂිතය.  
 
e- ඉගැන්වීම් -ඉගෙනුම් ක්‍රියාවලිය, සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපන ක්‍රියාවලියෙන් බොහෝ දුරට වෙනස් මුහුණුවරක් ගනී.  මෙහිදී සාම්ප්‍රදායික භෞතික පන්ති කාමරයේ ස්ථානය, “වර්චූවල්” (virtual) පන්ති කාමරයක් විසින් ගනු ලබයි. මෙම පරිවර්තනය සඳහා යොදා ගත හැකි විවිධ සමාජ, සංස්කෘතික, අධ්‍යාපන සහ මානසික මට්ටම් වලට ගැලපෙන තොරතුරු තාක්ෂණ මෙවලම් විශාල ප්‍රමාණයක් තිබේ.
 
එම මෙවලම් නිර්මාණශීලීව, සුමටව සහ ඵලදායිව අධ්‍යාපන අරමුණු සඳහා ගුරුවරුන් විසින් යොදාගැනේ. “වර්චූවල්” (virtual) පන්ති කාමරයක් සාම්ප්‍රදායික පන්ති කාමරයට වඩා ළමයාට ආකර්ෂණීය ස්ථානයක් වනවා පමණක් නොව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි, කාර්යක්ශම, ලාභදායී සහ මනා කාල කළමනාකරණය කරන්නක් බවටද පත්කර ගත හැකිය.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය සක්‍රිය ඉගෙනුම් ක්‍රියාවලියකට, විවිධත්වයෙන් යුතුව ඉගැන්වීමට, සිසුන්ගේ අවධානය වඩාත් හොඳින් රඳවා ගැනීමට, කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට සහ කරුණු වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඉඩ සලසයි.
වර්තමානයේ ඔන්ලයින් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා බහුලව භාවිතා කරන තොරතුරු තාක්ෂණ මෙවලම් වන්නේ “Zoom” සමග ඒකාබද්ධ කරනු ලැබූ “Moodle”, Google Class Room, “Black Board”, “Web Board”, සහ WebCT ය.
 
මෙම මෘදුකාංග සහ යෙදවුම්  බොහෝමයක් නොමිලේ බාගත හැකි ඒවාය. ඉහතින් සඳහන් ඉගැන්වීම් -ඉගනුම් භාවිතයට මෙන්ම විෂය අමුද්‍රව්‍ය තැන්පත් කිරීම සහ බෙදා හැරීම ඉගෙනුම් - ඉගැන්වීම් අන්තර්ගත නිර්මාණය කිරීම, සාකච්ඡා, අන්තර් ක්‍රියාකාරීත්වය, පැවරුම් බාරදීම සහ ඇගයුම, බහුමාධ්‍ය භාවිතය, සිසුන් පන්ති කාමරයෙන් පිටත ක්‍රියාකාරකම් වලට පෙළඹවීම, පාඨමාලා සහ කාලසටහන් කළමනාකරණය, ගුරුවරයා හා සිසුන් අතර ක්ෂණිකව පණිවිඩ හුවමාරුව, විභාග පැවැත්වීම සහ ඇගයුම, සිසුන්ගේ ප්‍රතිපෝෂණය ලබාගැනීම, ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය ආදී විවිධ අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග සහ යෙදුම් පහසුකම් සලසයි.
මෙම මෙවලම්වල විශේෂත්වය වන්නේ භාවිතා කරන්නාට ඉතා සුලු දැනුමක් සහ මූලික කුසලතා තිබෙන්නේ නම් භාවිතයට ගැනීමට තිබෙන හැකියාවයි. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ඔන්ලයින් අධ්‍යාපනය සඳහා මෙම මෙවලම් භාවිතයට අවශ්‍ය කුසලතා, දැනුම, යටිතල පහසුකම් සපයමින් පාසල් නොමැති වටපිටාවක් තුළ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කර දී තිබේ. 
 
ආණ්ඩුවේ   ඔන්ලයින් අධ්‍යාපන සූදානම !
 
2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මෙරට පාසල් තුළ කරනු ලබන අධ්‍යාපනය මුළුමනින්ම ඇනහිට තිබේ. කොරෝනා වෛරසය පැමිණීමට පෙර සිටම මෙරට පාසල් අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචනයක් සමාජය තුළ පැවතිණි.  පාසල් තුළ ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය සිසුන් බහුතරයකට මෙන්ම ගුරුවරුන්ට ද තරමක අප්‍රසන්න අත්දැකීමක් විය. ඒ සඳහා බලපානු ලබන සාධක සංකීර්ණය.
 
එහෙත් කොරෝනා වෛරසය මෙරට අධ්‍යාපන ක්‍රමය තීරණාත්මක වෙනස්කමකට භාජනය කිරීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙරට පාසල් අධ්‍යාපනය ඉහළ පෙළේ අධ්‍යාපනඥයින්, අධ්‍යාපන පරිපාලකයින්, කුසලතාපූර්ණ ගුරුවරුන්ගෙන් සන්නද්ධය. ඔවුන්ගේ මැදිහත්වීම මේ සඳහා ලබා ගත හැකිය. 
 
      කොරොනා වෛරසය හේතුවෙන් පාසල් වසා දමන විට ආණ්ඩුව පළමුව කළ යුතුව තිබුණේ පළමු මාස තුනක කාලය මෙරට පාසල් අධ්‍යාපනය ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, යාන්ත්‍රණ, යටිතල පහසුකම්, මගපෙන්වීම්, කුසලතා, සහ ආකල්ප සංවර්ධනය කිරීමේ  ක්‍රියාවලියකට යෑමයි.
 
මෙහිදී අන්තර්ජාල ඉගනුම්- ඉගැන්වීම් මෙවලම් පිළිබඳව සහ ඒවා භාවිතා කිරීමට පොලඹවන ආකල්පමය වෙනස් කිරීම් සඳහා වන පුහුණුව සහ කුසලතා ගුරුවරුන් තුළ සංවර්ධනය කිරීම පළමුව කළ යුතුව තිබිණි. මෙහිදී Moodle, සහ Google Class Room මෘදුකාංග පුහුණුව අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට කළේ භෞතික පන්ති කාමරයේදී ඉගැන්වූ විෂය නිර්දේශය, ඉගැන්වීම්- ඉගැන්වූ, ඇගයුම් ක්‍රම ඒ ආකාරයටම Zoom තාක්ෂණය මගින් කිරීමට පාසල් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දීමයි.
 
භෞතික පන්ති කාමරයේ උගන්වන විෂය නිර්දේශය, ඉගෙනුම්- ඉගැන්වීම් අන්තර්ගත, ක්‍රමවේද සහ මෙවලම්, “වර්චූවල්” (virtual) පන්ති කාමරයට නොගැලපෙන බව හෝ එසේ සිදු කිරීමෙන් ඉගනුමට සිසුන්ගේ තිබෙන ළැදියාවෙන් ඔවුන් බැහැර කරන බවට වැටහීමක් මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයින්ට තිබූ බවක් දක්නට නොමැත.
 
විභාග ඉලක්ක කරගත් කටපාඩම් ප්‍රවේශයක් සහිත පාසල් විෂය නිර්දේශය ඔන්ලයින් අධ්‍යාපනයට නොගැලපේ. අවම වශයෙන් දැනට පවතින විෂය නිර්දේශය 60% දක්වා අඩු කිරිමට මෙන්ම ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශයට ගැලපෙන පරිදි ඒවායේ අන්තර්ගතය නැවත සලකා බැලීමටත් අවධානය යොමු කළ යුතුව තිබිණි. 
 
මීට අමතරව පහත සඳහන් කරුණු කෙරෙහි ද අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයින් ගේ අවධානය යොමු විය යුතුව තිබිණි.
 
1. පන්තිකාමර වල ඉගැන්වීමට පුරුදු වී, පන්ති කාමර මානසිකත්වයක, ආකල්ප, ඉගෙනුම් ක්‍රමවේද සඳහා පුහුණු වූ ඒ සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගෙන සිටි ගුරුවරුන් ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් සඳහා පුහුණු කිරීම. ඔවුන් තුළ “වර්චූවල් (virtual) පන්තිකාමරයක වැඩ කිරීම සඳහා ආකල්පය වෙනස් කිරීම්, Moodle ආදී තොරතුරු තාක්ෂණ මෙවලම් නිර්මාණශීලීව සහ කාර්යක්ෂමව සහ ඵලදායිව භාවිතා කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම ද මුල් මාස තුන තුළ කළ යුතුව තිබිණි.
 
2. ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද අන්තර්ජාල පහසුකම්, පරිගණක සහ මෘදුකාංග නොමිලේ ලබා දීම, විෂය අමුද්‍රව්‍ය, අන්තර්ජාල මාධ්‍යයට ගැලපෙන පරිදි සම්පාදනය කිරීම අත්‍යවශ්‍යම කරුණක් විය. මෙරට අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්- දුරකථන සමාගම් කොරෝනා සමයේ අකාර්යක්ෂම සහ පාරිභෝගිකයා ගසා කන වංචා සහගත ව්‍යාපාර උපාය මාර්ග භාවිතා කිරීම නිසා ඔන්ලයින් අධ්‍යාපනයට මෙරට අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය අහිතකර ලෙස බලපෑ බව පෙනෙන්නට තිබේ. එම සමාගම් ලාභ උපාය මාර්ගවලින් බැහැර කර ඔවුන්ට තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට දිරි දීම සඳහා මැදිහත්වීම රජය විසින් සිදුකල යුතුව තිබිණි. 
 
3. පවුල සහ නිවස තුළ ඔන්ලයින් ඉගෙනුමට ගැලපෙන ඊට සහයෝගය ලැබෙන වටපිටාවක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසීම, ළමුන් තුළ සහ දෙමව්පියන් තුළ ඒ සඳහා වන ආකල්පමය වෙනසක් ඇති කිරීම, ඔන්ලයින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ විභාග, ඇගයුම් ක්‍රම පිළිබඳ නිශ්චිත, විවෘත පැහැදිලි කිරීම්, මගපෙන්වීම්, නිර්ණායක රෙගුලාසි, ආදර්ශ ආකෘති, අධ්‍යාපන බලධාරීන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම.
 
ඔන්ලයින් අධ්‍යාපනයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ආණ්ඩුව සහ අධ්‍යාපන බලධාරීන් ඔන්ලයින් උගන්වල ගුරුවරුන්ගේ ඇඳුම ගැන නියෝග නිකුත් කිරීමට පටන් ගැනීම හාස්‍යයට කරුණකි.
 
පාසල් වසා දමා ඔන්ලයින් පාසලට මාරු වීමේ ප්‍රතිඵල
ඉහතින් සඳහන් කළ පියවර නිර්මාණශීලීව භාවිතයට නොගෙන භෞතික පන්තිකාමර ආකෘතිය, විෂය නිර්දේශය, විභාග ක්‍රම සහ ගුරුවරයා ඒ ආකාරයටම “වර්චූවල්” (virtual) පන්තිකාමරයට මාරු කිරීම පමණක් සිදු කිරීම නිසා මෙරට ළමා පරපුරට මෙන්ම ගුරුවරුන්ටද, දෙමව්පියන්ට ද අධ්‍යාපනය යන්න අමිහිරි අත්දැකීමක් බවට පත්ව තිබේ. 
 
පන්ති කාමරයේ දී භාවිත කළ විෂය නිර්දේශය, ඉගැන්වීම් රටාව භාවිතා කරමින් අන්තර්ජාල මාධ්‍යයේ ගති ලක්ෂණ පිළිබඳ සංවේදී නොවී, ඒකාකාරී කෑකෝ ගැසීම්, අන්තර් ක්‍රියාකාරිත්වයක් නොමැති, ක්‍රියාකාරකම් නොමැති, ඉහළ සිට පහළට කරනු ලබන වමාරන  ආකෘතියේ දේශන “වර්චූවල්” (virtual) පන්ති කාමරයෙන් සිසුවා බැහැර කිරීමට සමත්ව තිබේ. “Moodle” වැනි දියුණු, පහසුවෙන්, කාර්යක්ෂමව සහ ඵලදායිව භාවිතයට ගත හැකි අන්තර්ජාල අධ්‍යාපන මෙවලම් ඔවුන් භාවිතයට නොගනී. ඒ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය කුසලතා සහ පහසුකම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇත. 
 
  සිසුවා පන්ති කාමරයේ ඉන්න බව පරිගණක තිරය මත ගුරුවරයාට පෙනුනද බොහෝවිට භෞතිකව ඔහු එහි නැත. ඒ වෙනුවට ඔහු මානසිකව අක්‍රීයව හෝ පරිගණක ක්‍රීඩාවක් කරමින් හෝ කුතුහලය සහිත වෙබ් අඩවියක සැරිසරමින් සිටී. Youtube හරහා හුවමාරුවන “zoom” අකරතැබ්බ මීට කදිම උදාහරණයකි. තවදුරටත් ඉගෙනුම යනු ළමා පරපුර ආකර්ෂණය කරගන්නා ප්‍රපංචයක් නොවේ. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල අතිශය භයානකය.
 
ඩිජිටල් අසමානතාව (Digital Divide)
 
ඔන්ලයින් අධ්‍යාපනය ඵලදායී සහ කාර්යක්ෂම වීමට නම් සෑම ගුරුවරයකුට මෙන්ම සිසුවෙකුට ද පරිගණකයක් මෙන්ම වේගවත් අඛණ්ඩ සීමා රහිත අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය. එමෙන්ම ඔවුන්ට පරිගණක සාක්ෂරතාවය මෙන්ම යම්තාක් දුරට ඉංග්‍රීසි භාෂා හැකියාව ද තිබිය යුතුය. එහෙත් මෙරට ග්‍රාමීය, අර්ධ නාගරික බහුතර ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ඉහත පහසුකම් මෙන්ම කුසලතා ද දුරස්ථ ය. ගැහැණු ළමයින්ගේ නිවසේ රාජකාරි සහ ශාරීරික සහ මානසික දුබලතා සහිත ළමයින් ආදී ආන්තික ප්‍රජා කණ්ඩායම්වල අධ්‍යාපන අවස්ථා පිළිබඳ තත්ත්වය මීටත් වඩා ඛේදනීය වී ඇත.
 
රටේ ජනගහනයෙන් අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ සියයට හතලිහකට පමණි. එයද කාර්යක්ශම සේවාවක් නොවේ. බොහෝ සිසුන්ට ගස් හෝ කඳු මුදුන්වලට වී මැදියම් රැයේ දී පවා ඔන්ලයින් පන්තිකාමරයට ප්‍රවේශවීමට අරගල කරන්නට සිදුව ඇත්තේ ඒ නිසාය.
ජනගහනයෙන් සියයට 125ක් පමණ ජංගම දුරකථන භාවිතා කරන බව ප්‍රකාශ වුවද ජංගම දුරකථනය ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් සඳහා කාර්යක්ෂම සහ ඵලදායි පහසුකම් කාරකයෙකු නොවේ. ඒ අනුව මේ වන විට මෙරට සිසුන්ගෙන් සියයට හැටක් අධ්‍යාපනයෙන් බැහැර කර තිබේ. 
 
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට බහුතර ළමා පරපුරට මූලික මිනිස් අයිතිවාසිකමක් වන අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි වී දැන් වසරකට ආසන්නය. දැනුම පදනම් කරගත් සමාජයක ඔවුන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිතය. එය සාමකාමී සමාජ පැවැත්මට ද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.
 
වර්චූවල්” (virtual) පන්ති කාමරය සහ පවුල !
 
“වර්චූවල් (virtual) පන්ති කාමරයේ එක් කොටසක් වන්නේ නිවසයි. පාසල සහ පන්ති කාමරය බවට නිවස පත් කිරීමේ වගකීම දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් සතුය. ගෙදර දොරේ වැඩ සහ රූපවාහිනි යන්ත්‍ර හඬ, පවුලේ සාමාජිකයින්ගේ සහ සුරතලුන්ගේ ශබ්ද සහිත නිවසේ වටපිටාව හා  සම්බන්ධ ආකල්ප, සහ චර්යාවන් ළමයාට “වර්චූවල් (virtual) පන්ති කාමරයක් තුළ නිදහසේ අවධානයෙන් රැඳෙන්නට ප්‍රබල බාධාවක් බවට පත්ව තිබේ.
 
“වර්චූවල් (virtual) පන්ති කාමරයේ ඉගනුමට සුදුසු වටපිටාවක් සකසා දීම දෙමවුපියන්ගේ මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන්ගේ ද විශාල වගකීමක් වනවා පමණක් නොව ඒ සඳහා ඔවුන්ගේ කැපවීම ද අවශ්‍ය වේ. පොතපත කියවීමේ, පරිසරය සමඟ ගනුදෙනු කිරීමේ, ක්‍රීඩා කිරීමේ, සම වයසේ මිතුරන් සමග සාමූහික ක්‍රියාකාරකම් යෙදීමේ සහ විනෝද වීමේ අවස්ථාද දරුවන්ට උදා කිරීම සඳහා දෙමව්පියන් නිර්මාණශීලී ප්‍රවේශයක් කෙරෙහි යොමු වීම මෙන්ම ඒ වෙනුවෙන් කැප වීම ද අවශ්‍යය.
 
ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය
 
Comment (0) Hits: 488

මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ !

ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් දේහයක් දර සෑයක් මත දහනය කරනවා. 

උපත මෙන්ම මරණයත් ජීවිත චක්‍රයේ ස්වභාවික දෙයක් කියල බෞද්ධයින් වන අපි විශ්වාස කරනවා. බුද්ධාගමට සමානව හින්දු ආගමේත් ශරීරයේ තාවකාලික ස්වරූපය පිලිගන්නවා. දේහය කියන්නේ බඳුනක්  පමණක් බවත්, මරණයෙන් පසුව, පණ නැති දේහය අත්හැරලා අපේ ආත්මය වෙනත් ස්වරූපයකින් යලි උපත ලබන බව, පුනරුප්පත්තිය විශ්වාස කරන අපි විශ්වාස කරනවා. 

කොච්චර මෙහෙම විශ්වාස කරත්, අපේ ජීවිත වලින් සමීප කෙනෙක් සමුගත් විට අපිට දැනෙන්නේ කම්පනයක්, කණගාටුවක්, ඉදිරිපත් වන්නේ දුක්බර හැගීම් පිරුණු අවස්තාවක්. අපේ ඥාතියාට, හිතවතාට, මිතුරාට පිං පමුණුවන්න, ඔවුන්ව මතක් කරන්න අපි නොයෙකුත් දේ කරනවා.

ගිය අවුරුද්දේ මෙගේ ලොකු බාප්පා අප අතරින් හදිසියේම සමුගත් මොහොත මට සිහිපත් වෙනවා. කවුරුත් නොහිතපු මොහොතක, ඔහුගේ දියණිය සාමාන්‍ය පෙළ ලියන්න සති ගණනකට පෙර ඔහු මෙලොවෙන් සමු ගත්තා. කොඩි ඔසවලා, මළ බත උයලා, මතක බණ, හත් දවසේ දානය, තුන් මාසේ දානය, අවුරුද්දේ දානය වැනි විවිද චාරිත්‍ර යුතුකම් හැටියට ඉටු කරා. මේ දුක්බර අවස්ථාවේ,  අලුත් ආත්මයක් කෙරෙහි  තිබෙන අපේ අගමික විශ්වාසය, ඒ සිත් තුල තිබුණු වේදනාවට යම්කිසි සිසිලසක් වුනා කියල මම හිතනවා.

මම කියවලා තියෙනවා හින්දු ධර්මයට අනුව දේහයක් අධාහනය කිරීම තුලින්, මියගිය පුද්ගලයාගේ ආත්මය ඉක්මනින් ඒ ශරීරයෙන් නිදහස් වෙනවා කියලා, එතුලින් පුනරුප්පත්තියේ ගමන කඩිනම් කිරීමට අදාහනය සුදුසුයි කියලා කියනවා. 

කොරෝනා අසාදිත වූ දින 20ක දරුවෙකුගේ දේහය, PCR පරීක්ෂණයකින් තොරව හා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින්කටයුතු කල බවට මාධ්‍යයෙන් වාර්තා කර තිබුනා. මේ ඛේදනීය සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය වල විවිද අදහස් පළවුනා.

ඒ අතරින් එක් කාන්තාවකගේ facebook සටහනක් මගේ හිතට වැදුනා. ඇය මෙසේ කයා තිබුණා “දින 20ක දරුවෙකු පුළුස්සා දැමීම කොතරම් අමානුෂිකද”. මගේ නූගත් හිතට එක්වරම සිතුනේ, මැරිච්ච් කෙනෙක්ගේ දේහය පුච්චන එක දරුවෙකු පණ පිටින් පුච්චනවාට සමාන කරන්නේ කොහොමද ? නමුත් මේ කාන්තාව මෙවැනි අදහසක් ප්‍රකාශ කරන්නේ ඇයි කියලා තේරුම් ගැනීමට මට අවශ්‍ය වුනා.

හින්දු හා බෞද්ධ විශ්වාසයට අනුව පන නැති ධේහයක් යන්න, හිස් බඳුනක්  මෙන්, පණ නැති දේහය පලකට නැති දෙයක්. කෙසේ වෙතත් ආත්මය ගැනත්, මෘත දේහයක් ගැනත් එලෙස නොසිතන විශාල පිරිසක් ලංකාවේ සිටින බව මට පැහැදිලි වුනා. ඇයි මේ මුස්ලිම්වරු භූමදානය ගැන මෙතරම් සංවේදී ? මට මේක ප්‍රහේලිකාවක් වුනා.

අන්තර්ජාලය ඔස්සේ මේ ගැන සොයා බලන විට වැඩි හරියක් තොරතුරු තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සන එක පිලිබදවයි. මේ මාතෘකාව ගැන වැඩි විස්තර සොයා ගැනීම තරමක් අපහසු කරුණක් බව මට වැටහුනා. 

මිතුරන් කිහිප දෙනෙකුගෙන් ලැබුණු තොරතුරුත්, අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු වලත් අනුව, ඉස්ලාමීය මෙන්ම කතෝලික හා ක්‍රිස්තියානි, යුදෙවූ යන ආබ්‍රහමික ආගම් තුල අදාහනයට ඇති විරුද්ධත්වය හා භූමදානයට ලැබෙන ප්‍රමුඛත්වය ඒ ආගම් තුල මුල්තැන් ගන්නා කාරණයක් බව එලි වුනා. 

බෞද්ධයින් හා හින්දු භක්තිකයින් මෙන්ම මරණයෙන් පසු ජීවිතයක් ගැන මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයින්ද  විශ්වාස කරනවා. පුනුරුප්පත්තිය වෙනුවට, ආබ්‍රහමික ආගම් විශ්වාසය කරන්නේ ‘නැවත ඉපදීම’ යන සංකල්පයයි. ඔවුන් විශවාස කරන පරිදි එක්තරා දිනයක දෙවියන් වහන්සේ විසින් මරණයට පත්වුණු සියලු ජීවිතවලට නැවතත් පණ ලබාදෙනවා. ඉන්පසු ඔවුන්ගේ ජීවිත කාලය පුරා කල හොද හා නරක දෙස බලා දෙවියන් වහන්සේ විසින් ඔවුන් ගැන විනිශ්චයක් ගන්නවා. නැවත කැදවන ජීවිතය දිවිය ලෝකයටද නැතිනම් අපායට යවන්නේද යන්න ‘විනිශ්චය දිනයේදී’ දෙවියන් වහන්සේ තීරණය කරනු ලබනවා. 

මාගේ වැටහීමට අනුව, මේ ආගම් තුල අදාහනයට විරුද්ද වීමට ප්‍රධාන හේතුව රඳා පවතින්නේ ‘විනිශ්චය දිනය’ කෙරෙහි ඇති විශ්වාසය පදනම්වයි. ඔවුන් විශ්වාස කරන පරිදි, නැවත පණ දීමටනම්, පණ ලැබීමට නම් මියගිය පුද්ගලයාගේ දේහයේ යම්කිසි කොටසක්  භාවිතා කිරීමට සිදුවෙනවා. ආදාහනය තුලින් මියගිය කෙනෙකුගේ සමීපයන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරියා මෙන් සැලකෙනවා.

කෙසේ වෙතත්, මෑත කාලීනව කතෝලික, ක්‍රිස්තියානි හා ආගම් තුල එම විශ්වාසය පිලිබඳ යම් වෙනස්වීමක් සිදුවී ඇති බව මට දැනගැනීමට ලැබුනා. යුදෙවුවන් වුවද විශේෂ හේතු මත ආදාහනය අනුමත කර තිබෙන බව මට මිතුරෙකු පැවසූවා. නමුත් ඉස්ලාම් ආගමේ එවැනි වෙනස් වීමක් සිදුවී නෑ.

එමෙන්ම ඉස්ලාමික භක්තිකයින්ට ඔවුන්ගේ ධර්මයෙන් පවසා ඇත්තේ මිය ගිය පුද්ගලයාට පවා  සැලකිය යුතු බවත් ගෞරව කල යුතු බවත්ය, ඒ ගෞරවය ජීවත්ව සිටින කෙනෙකුට හා සමාන විය යුතු බවත්ය. ආදාහනය යනු දේහය විකෘති කිරීමක් හෝ එයට අගෞරව කිරීමක් බැවින් සලකන නිසා ඉල්සාමිය පුද්ගලයින්ට අධාහනයකට සහභාගී වීම හෝ අනුබල දීම පවා තහනම්. 

මේ කරුණු  වටහාගනීමෙන් පසුව, ඉස්ලාමීය පසුබිමක හැඩුණු වැඩුණු පුද්ගලයෙකුට, ළදරුවෙකුගේ දේහය ආදාහනය කිරීම, පන ඇති දරුවෙකුව පුළුස්සනවා මෙන් හැගීමට ඉඩක් ඇති බව මට තේරුනා.

නැවත නැගිටීම, දිව්‍ය ලෝකය, අපාය යන විශ්වාසයන් ගැන පෞද්ගලික විශ්වාසය කුමක් වූවත්, තමන්ගේ ඥාතියෙකු, හිතමිතුරෙකු, දරුවකු, මවක් හෝ පියෙක්, සහෝදරයෙක් හෝ සහෝදරියක් මියගිය කෙනෙකු කෙරෙහි මනුෂ්‍ය කමක් තියෙන ඕනෑම කෙනෙකුට දැනිය යුත්තේ අනුකම්පාවක් යයි මට හැඟුනා. 

එමෙන්ම මුළු ජීවිත් කාලය පුරාම දිනකට පස්වතාවක් යාඤා කරමින්, දිනපතා හෝ සති පතා පල්ලි යමින්, ආදායමෙන් අවම වශයෙන් 2.5 % දුප්පතුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් ජීවත් වුන මුස්ලිම් භක්තියෙකුට ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව අවසන් ගෞරවය දීම වැලක්වීමට කවරෙකු හෝ දැනුවත්ව කටයුතු කරන්නේ නම්, මියගිය තැනැත්තාගේ පවුල් වල උදවියට, හිත මිතුරන්ට, ඔවුන්ගේ හිත් වලට දෙන දුක හෝ වේදනාව, බෞද්ධයෙකු ලෙස මා දකින්නේ ඔවුන් කරන පවක් ලෙසයි.

COVID-19 නිසා සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති පියවර හේතුවෙන් මිය යන මුස්ලිම් භක්තියින්ට තම ආගමික විශ්වාසයන්ට අනුව තම ඥාතීන් වෙනුවෙන් අවසන් කටයුතු කිරීමට හා අවසන් ගෞරව දැක්වීමට නොහැකි වී තිබෙනවා. පුරවැසියන් ලෙස බලධාරීන්ගෙන් අපි  බලාපොරොත්තු වන්නේ අපගේ නිදහසට යම් බාධාවක් කරන්නේ නම්, එයට පැහැදිලි හේතුවක් හා විශ්වාසීය තොරතුරු, සාධක හා සාක්ෂි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීම පමණයි. 

මේ ගැටලුවට විසදුමක් මා සතුව නැත. කෙසේ වෙතත්, ඕනෑම ගැටළුවක් ඉදිරියේ තාර්කිකව මෙන්ම සංවේදීව හා මානුෂිකව බැලීමට අපගේ යුතුකමයි. එතුලින්, රටට මෙන්ම සිත් වලට සිදුවෙන හෝ සිදුවියහැකි හානිය අවම කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. 

සමාජ මාධ්‍ය තුල දකින සමහර සටහන් කියවන විට, මට සිතෙන්නේ, ඒවායේ රචකයින් මා ලෙසම මෙම ගැටලුව ගැන නිසි අවබෝදයක් නොමැති නිසා කල ප්‍රකාශයන විය යුතු බවයි.

කෙසේ වෙතත් තවත් සමහර අදහස් කියවනවිට මට සිහිපත් වුනේ, කොළඹ ආනන්ද විදුහලේ හය වසර බුද්ධාගම පන්තියේ මට උගන්වපු ගරු ස්වාමීන් වහන්සේ එක් වතාවක් මුළු පන්තියටම බැණවැදුණු ආකාරයයි 

“තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?”

නීතිඥ වරුණ පද්මසිරි 

Comment (0) Hits: 549

නලාකරුවෙකුගේ ප්‍රතිවිරෝධය හමුවේ පසුබසින ජනරජයක සිට ලියමි !

අද්‍යතන පාලකයන්ගේ හද මඬල සොරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සොඳුරු සම්ප්‍රාප්තියට බාධා කලැයි 31 හැවිරිදි ශ්‍රී ලාංකේය පුරවැසියෙකු අත් අඩංගුවට ගත් කටුක පුවත සවන් වැකුණි. එකෙණෙහිම මෙනෙහි වූ කරුණ නම් ප්‍රකට දමිළ භාෂිත පිරුළක් අපට පවසන දේය. එනම් 'තිප්පට්ට චිට්ටලේ කරික්කටෛ පංචමා'' යනුයි. එමඟින් ප්‍රකාශිත අදහස වන්නේ 'ගිනිබත් ගෙයක අඟුරු හිඟයක් තිබේද'' යන්නයි.

සැබවින්ම පුරවැසි අපට සව්දිය පිරිය හැකි හබකක් දැන් දැන් ඉතිරි වී නැත්තේය. රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% ක ප්‍රමාණයක් දෙස් හා විදෙස් ණය ගෙවා දැමීමට සිදුව ඇති ජනරජයක පුරවැසියන් හට ලද හැක්කේ කවරනම් සතුටක්ද? රටෙහි ප්‍රතිෂ්ඨාපිත අධිකරණ සම්ප්‍රදායෙහි හැව හැරි දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමක් අභිමුව කුඨ අර්ථපතියන් හා දේශපාලකයන් නිදොස් කොට නිදහස් කෙරුමට නිර්දේශිත වාර්තා ජනගත වන සමාජයක ශේෂ විය හැක්කේ වනචාරිත්වය හා ගිනිගෙන දැවුණු අඟුරු පමණක් විය නොහැකිද?

එකල අප ජනරජයක නොවිසුවද, වසර 1934 ජූලි 17 වැනිදින ලක්මිණි පහන් පුවත්පත් කතුවැකිය ලියූ කුමරතුඟු මුනිදසුන් තම කතුවැකිය අවසන් කරන්නේ මෙලෙසය. ''සියලු දෙවියෙනි, සිනා සෙන්නට වෙන කරුණෙක් නැත්නම් අප රට දෙස බැලුව මැනැවි''! ඔහු කෙතරම් නිරවද්‍යදැයි කැට තැබුමක් කුමට? ඔබ හාත්පස රාවප්‍රතිරාව නඟනු ඇත්තේ ජනරජ පාලකයන් හා එකී පාලක පෙලැන්තියේ තේජස අරා සිටින කාකි කෝට් කරුවන්ගේ විප්‍රකාර මුසා බස්ය.

ප්‍රභූ රථ අරා පැමිණි රථ පෙළහරක් බොරැල්ල මංසන්ධිය දෙසින් දිස්වූ කල මෙකී තරුණයා හට සිහිවන්නට ඇත්තේ කිමෙක්ද? සයිරන් නලා හඬවමින් ඉගිලුණු ජනරජ භක්ෂකයන් සනුහරය පෙර පැවති ජාතික මැතිවරණ දෙකෙහිදී දුන් පොරොන්දු විය නොහැකිද? ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කල රටක, ජනාකීර්ණ මහාමාර්ග අගුළු දැමීම උත්ප්‍රාසය දනවන්නේ නොවේද? එකී උත්ප්‍රාසයම බැඳුම්කර හොරු නොඅල්ලන, සොරෙකුට වුව කා නිමකළ නොහෙන සීනි ගුදමක් කෑ එකා නොඅල්ලන, ලීටර් පෙන්වා කිලෝග්‍රෑම් සඟවන ගෑස් කෝලම් මවන ජනරජයේ භාරකරුවන් වෙත ආවේගාත්මක ප්‍රතිචාරයක් ලෙස එල්ල විය නොහැක්කේද?

එදාමෙදා තුර පැවති මැතිවරණ ප්‍රමාණය මෙරටේ ගණනින් 74 කි. එකී ඉතිහාසගත මැතිවරණ පෙළහරෙහි සැබෑ ඉන්ද්‍රජාලිකයා වෙන අන් කිසිවෙක් නොව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂය. ළබැඳියාවන් අතර ගැටුමේ අග්‍රප්‍රාප්ත පාලක තෙමේ ඔහු වුව ඔහුගේ ප්‍රයෝගික දේශපාලන දහංගැට නිසි පදමට දිරවා ගත් දේශපාලන කාඩර්වරුන් අප අතර හිඟය. ඔහුගේ දහසක් දේශපාලන ජිමික් අතරේ ඔහු වර්ණවත් කල සදාකාලික දේශපාලන සන්නාමය නිමැවුණේ කතරගම තෙක් පානැගු පාද යාත්‍රාවත්, මිනිත්තු පහළොවක් තිස්සේ රට ම ශබ්ද නැගූ ජනඝෝෂාවත්ය. දැන් අප විමසිය යුත්තේ මැදමුලන මහේන්ද්‍ර රාජපක්‍ෂයන් හට රිසි එහෙත් බත්තරමුල්ලේ තරුණයා හට නොරිසි දේශපාලන ව්‍යාභිචාරය කවරක්ද යන්නයි.

බතරමුල්ලේ තරුණයා මෙන් හුදෙකලාව නොවුණද වසර 1992 ජූලි මස 01 වැනි දින මුළුදුන් ජන ඝෝෂා ව්‍යාපාරය යනු එවකට එක්සත් ජාතික පක්‍ෂ රෙජීමය හමුවේ ලත් පීඩාවට එරෙහි ප්‍රකට මහජන විරෝධයක් වූ අතර කෙදිනත් වීදියේ සටන්කරුවා වූ වත්මන් අගමැතිවරයා ඊට ලබාදුන්නේ අසමසම නායකත්වයකි. පොලීසිය නම් අද මෙන්ම එදා ද පාලකයා රැකි විලාසය සමානය. මධ්‍යහ්න 12 ට බෙරයක් හඬ නගමින් ජනඝෝෂාවට එක්වූ හොරණ ප‍්‍රාදේශිය සභාවේ සභික දයාසේන අමරතුංග හැඬ වූ බෙරයට මෝල් ගසකින් අනින්නට කාරුණික වූ පොලීසිය හමුවේ දුර්මුඛ නොවූ මේ දේශපාලන නියෝජිතයා අවසන දෙකඩ වූ බෙර පලු දෙකට තඩිබා ඊටද පොලීසිය බාධා කල සැණින් අත්පොඩි තලන්නට විය. එකෙණෙහිම මෘග පොලිස් ප්‍රහාරයකට ලක්වීමට ඔහුට සිදුවිය. අවසන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ තහවුරු කොට ඇති කථනය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යටතේ අධිකරණයේ පිහිට පැතූ මෙකී අමරතුංග නම් වින්දිතයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇල්ම හා බැල්ම ලැබීම මෙරටේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉතිහාසය බැබලවූ දීප්තිමත් සංසිද්ධියක් විය.

අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය (ජන ඝෝෂා සිද්ධිය) ලෙසින් නඩු අංක 468/92 යටතේ ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනුවී වසර 1993 දී පමණ තීන්දුවී ඇති මෙම නඩුකරය වෙත ආශක්තව පුරවැසි බලය පිලිබඳ නොනැසෙන මමායනයක් ලත් ආධුනික නීති සිසුන් ප්‍රමාණය මෙරටේ සංඛ්‍යාත්මකව අප්‍රමාණ විය හැකිය. එමතු නොව කලක් මෙරටේ ජනිජනයාගේ මූලික අයිතිවාසිකම් සුරැකි ෆන්ඩර්මෙන්ටල් රයිට්ස් ගෝඩ් ෆාදර් වන් මහින්ද රාජපක්‍ෂයන් එමගින් දිනාගත් දෙස්විදෙස් කීර්තියද අසමසමය. එපමණක් නොවේ. ඉහත නඩුකරයේ එක් වෙසෙස් ලක්‍ෂණයක් වූයේ අනාගතයේදී වුව ඊට සමගාමී යම් උල්ලංඝනයක් වේද, එහිලා මූලික අයිතීන් කඩ නොවන සේ හැසිරීමට හැකිවන සේ මෙකී තීන්දුව සියළු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙසයි. එනයින් බලන කල අපි දශක ත්‍රිත්වයක් ගෙවා දැමුවද කිසිදු පාඩමක් ඉගෙන නොගත් ජනරජයක අවිහිංසක පුරවැසියෝ නොවේද?.

එහිලා වඩාත් සංවේදී හා කුකුස දැනවූ පුවත නම් අප කතානායක තරුණයා තම ජනරජයෙන් හා එහි ආරක්‍ෂක පොලීසියෙන් ඉල්ලා සිටි කොන්දේසි විරහිත සමාවයි. සැබවින්ම තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් අභිමුව මහින්ද රාජපක්‍ෂ වන් විපක්‍ෂ දේශපලකයෙක්ද නොමැති රටක ඔහුගේ සිඳී ගිය එඩිය පිලිබඳ අප තවදුරටත් නොතැවිය යුත්තේය. ඔබට සංවේදී විය යුත්තේනම් මෙකී සිදුවීම මෙදින දිවයින පුවත්පතේ වාර්තාගතව ඇති ස්වරූපය විමසන්න. අදාළ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද ලැබුණු බව එහි සඳහන්ය.

එකී තීන්දු ප්‍රකාර අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශ පිලිබඳ කිසිවක් නොලියා ලියුම්කරු වෙනත් වැදගත් යමක් උපුටා දක්වන්නට රිසිය. එනම් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා එ. ෆිෂර් (1979) (minister of Home Affairs V. Fisher 1979 all England Reports P.21) අතර නඩුවේදී විල්බර්ෆෝර්ස් සාමිවරයා සඳහන් කල ප්‍රකාශයක්ය. දෑතේ රැඳුණු මාංචු යුගල තිබියදීම අවි පෙන්වන්නට යාමේදී අත් බෝම්බ ගසන්නට මාන බැලූ නිසාවෙන් පෙරළා වෙඩි තබන්නට සිදුවූයේ යැයි පවසන ශ්‍රී ලංකා පොලීසියේ සුරංගනා බස් වුව නොසෙල්වී අසන අධිකරණ අසුන් නොඅඩු මෙරටේ සියලු සාධුජනයන් මෙකී ප්‍රකාශය වෙත තම විචාරක්ෂිය යොමුකළ යුත්තේය.

''''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරතිබෙන මිනිස් මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධානයන් අර්ථකථනය කිරීමේදී, ලැයිස්තුගත නීති ගැතියාවේ දැඩිබවින් මිදි පුද්ගලයන් වෙත ඔවුනට හිමි මූලික අයිතිවාසිකම් යන නිදහස පූර්ණ වශයෙන් සැපයෙන ආකාරයට වඩාත් ත්‍යාගශීලි ලෙස අර්ථකථනය කිරීම අවශ්‍ය කෙරේ''.

මා මැතිවරණ නිරික්ෂකයෙක්මි. අප රටෙහි විකසිත දේශපාලන සංස්කෘතිය දෙස අපමණ සුභවාදිව බලන්නෙක්මි. එමතුනොව අප ශ්‍රී ලංකා ජනරජය පුරවැසි අභිලාශ සමනය කිරීමේ නිත්‍ය භාරකරුවා ලෙස තම යුතුකම් ඉටුකරනු දකිනු රිසියෙමි. ඒ සියල්ලට ඉහළින් ජිනීවා ගිය මහින්ද රාජපක්‍ෂ දෙස බලා සිටි කුඩා දරුවෙකුද වූයෙමි. දැන් මා අසමි. ගරු අගමැතිතුමනි, මෙවන් අසංස්කෘතික ප්‍රවේශයක් දරන රෙජිමයක් නිර්මාණය කරන්නට තරම් මෙරටේ පුරවැසියන් ඔබට හා ඔබ ආණ්ඩුවට සිදුකල වරද කිම?

ධම්ම පදය මෙසේ කියන්නේය. ''නත්ථි දොසසමෝ කලි'' එනම් 'ද්වේශය හා සම අපරාධයක් නැත' යනුයි. අභිමානවත් ජනරජයක් ද්වේශයේ ගිළුණු කොදෙවුවක් නොව සතුට හා සමාදානය රජයන පුරවැසි හිතෛශී ජනරජයක් කරනු!!

මංජුල ගජනායක

Comment (0) Hits: 376

කොළඹටත් බැරි “ඔන්ලයින් අධ්‍යාපනය” රටටම දීම

කොරෝනා සමග “ඔන්ලයින් අධ්‍යාපනය” දැන් පොදුවේ කවුරුත් පිළිගත් විකල්පය ලෙස රටටම බෙදා අවසන්ය. පළමු කොරෝනා රැල්ලෙන් පසු සියල්ල යථා තත්ත්වයට පත් වන්නේ යැයි ජුනි මාසයෙන් පසු පාසල් සුපුරුදු ලෙස නැවත විවෘත කිරීමට තිබූ උත්සාහය සැප්තැම්බරය අවසන් වනවිට දෙවන රැල්ලෙන් අවසන් විය. එතැන් සිට කොවිඞ්-19 හමුවේ “ඔන්ලයින් අධ්‍යාපනය” සමග සියල්ලන් නතරව ඇත.

ආණ්ඩුවේ ඒ “ඔන්ලයින් අධ්‍යාපන” තීන්දුවට එරෙහිව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පෙරටුව පැවැත්වූ විරෝධතාවක කෙටි වීඩියෝ පටයක් ෆේස්බුක්හි ඉකුත් දෙසැ.13 වන දින දහවල දුටිමි. පාසල් අධ්‍යාපනය මේ වනවිට බිඳ වැටී ඇති ආකාරය සමග දරුවන්ගේ අනගාතය ගැන බිමල් රත්නායක එහිදී කියූ කතාවෙන් මට මතක් වූයේ ඔවුන් 1988-90 කාලයේ මුදා හැරි ත්‍රස්තවාදය සමග “කොළඹට කිරි – ගමට කැකිරි” උද්ඝෝෂණ විසින් පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමන්නට සිදුවූ හැටි ය. මෙය එවැනි අසික්කිත දේශපාලනයක් වෙනුවෙන් ළමුන්ගේ අනාගතය විනාශ කිරීමක් නොවේ. මෙය මුලු ලෝකයම මුහුණ දෙන තවමත් හරියාකාර විසඳුමක් නැති කොවිඞ්-19 ගෝලීය වසංගතයෙහි අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයකි.

කොවිඞ්-19 පැතිරීම සමග අධ්‍යාපනය හැකි උපරිමයෙන් පවත්වා ගැනීමට අලුතින් සැළසුම් කළ යුතු ය. ඒ සඳහා මාස ගණනාවක ගන්ධබ්බ කාලයක් තිබිණ. එවැනි සැළසුම් කිසිත් නොමැතිව ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ කොළඹ මැද පංතිකයින්ගේ “කෝකටත් තෛලය” වන ඔන්ලයින් ප්‍රවේශය ය. ආණ්ඩුව එහි වගකීම ගුරුවරුන්ට හා දෙමාපියන්ට ඉතිරිකර ඇත. මෙය ඇත්තටම කොවිඞ්-19 හේතුවෙන් සොයා ගත් උත්තරයක් නොවේ. යහපාලන ආණ්ඩු කාලයේ සිට කොළඹ මැදපංතිකයින් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එය යෝජනා කෙරුවකි. එය කර තියා ගත් අධ්‍යාපන ලොක්කන් මේ කරන්නේ අනෙක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය “ටැබ්” කඳේ ගැසීමකි. හන්දියේ බුලත් කඩ කළමනාකාරිත්වයෙන් නගරයේ යෝධ වෙළඳසල් සඳහා යෝජනා ඉදිරිපත් කරන ආකාරයට ජ.වි.පෙ මේ “ඔන්ලයින් අධ්‍යාපනය” සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් කිසිවක “ඔන්ලයින් අධ්‍යාපන” අවුලට විසඳුම් නැත. එහෙත් “ඔන්ලයින් අධ්‍යාපනය” සමාජ අවධානයට යොමු කරන්නට මේ මොහොතේ ඔවුන්ගේ “විරෝධය” යොදා ගත හැකිය.

ජ.වි.පෙ ප්‍රධානියෙකු වන බිමල් රත්නායකට අනුව පාසලේ පංති කාමරයේදී ඉගැන්වීම් කෙරෙනවාද නැතිනම් වෙනත් ආකාරයකින් කෙරෙනවාද යන්න නිදහස් අධ්‍යාපනයට අදාළ නැත. ඒ කවරක් වූවත් නිදහස් අධ්‍යාපනය අහෝසි කළ නොහැක. සියලු පාසල් දරුවන්ට එබැවින් අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දිය යුතුය. දෙවැන්න වූයේ වඩා පහසු අවකාශයක් වන රූපවාහිනි මගින් සියලු ළමුන්ට පාසලේ කෙරෙන පාඩම් ඉගැන්වීමය. ඒ ගැන බිමල් කළ විස්තරය අසා සිටින විට සිතෙන්නේ ඒවා හෙට ආරම්භ කළ හැකියැයි කියා ය.

ඒ ගැන කතා කළහොත් විශේෂයෙන් ජාතික රූපවාහිනියේ අධ්‍යාපනික වැඩ සටහන් ආරම්භකර මේ වනවිට වසර 30 ක් හෝ ඊට වැඩිය. එහෙත් එදා පළමු වැඩසටහන සහ වර්තමානයේ වැඩසටහන් බැලුවහොත් ඒවායේ තාක්ෂණික හෝ ඉදිරිපත් කිරීමේ පිළිවෙතෙහි කිසිදු දියුණුවක් නැත. තවමත් කෙරෙන්නේ පංතියේ කලු ලෑල්ල වෙනුවට සුදු මැගී බෝඞ් එකක ගණන් හදමින් විස්තර ලියමින් පංතියේදී වාගේම දේශන පැවැත්වීම, කැමරාගත කර විකාශනය කිරීමය. රූපවාහිනි යනු දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනියෙහි ඉගැන්වීමට පංතියේ කලු ලෑල්ල අමතක කර ඊට වෙනස් විෂයමාලා අලුතින් දෘශ්‍යකරණය කොට සකස් කළ යුතුය. එහි ගුරුවරයාගේ පැහැදිලි කිරීම් අවශ්‍යම විට අවම මට්ටමින් පමණක් තිබිය යුත්තකි. එවැනි රූපගත පාඩම් සකස් කිරීම ජාතික අධ්‍යාපනයෙහි පාඨමාලා හා විෂයමාලා අනුව සැමට පොදු අධ්‍යාපනික වැඩසටහන් විය යුතුය. එය ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීම ඇතිව රූපවාහිනි මාධ්‍ය භාවිතයෙහි විශේෂඥයෙකු (විශ්ව විද්‍යාලවල සන්නිවේදන පාඨමාලා සඳහා දේශන පවත්වන අය නොවේ) සහ පාසල්වල විෂය භාර ගුරුවර ගුරුවරියන් හවුල් කරගන්නා අධ්‍යාපන වැඩසටන් නිෂ්පාදන කණ්ඩායමක් මගින් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුත්තේ එම වැඩසටහන් හැකි උපරිම නාලිකා ප්‍රමාණයකින් කාල සටහනකට අනුව විකාශනය කිරීම සඳහා මැදිහත්වීමට ය.

“ඔන්ලයින් ඉගැන්වීම” ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. එය ජ.වි.පෙ කියන පරිදි සියළුම පාසල් ළමුන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ළමුන්ට උගන්වන ගුරුවර ගුරුවරියන් 2,40,000 ටද අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා නොදී ඔන්ලයින් ඉගැන්වීම් කළ නොහැක. ප්‍රශ්නය පටන් ගන්නේ එතැනින්ම නොවේ. ප්‍රශ්නය පටන් ගන්නේ මේ රටේ අන්තර්ජාල සංස්කෘතියක් (ෂඔ ක්‍මකඑමරු) කොළඹ නගරයේද නොමැතිවීමත් සමගින්ය. ටැබ් හෝ “සුපිරි දුරකතන” (ීප්රඑ චයදබැි) අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව “සෙල්ෆි” ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆේස්බුක්හි හැමකටම “ලයික්” කරන්නට හා “ෂෙයා” කරන්නටත් පමණි. මේ බොහෝ දෙනාට විද්‍යුත් තැපෑලක් යවා කතාකර කිව යුතුය. ඉන් පසුවද එය බැලෙන්නේ සුපිරි දුරකතනයෙන් නොවේ. කොයි වෙලාවක හෝ පරිගණකයක් ළඟට ගිය විටෙකය. ජනමාධ්‍යවේදීන් අතරත් තමන් අත ඇති “සුපිරි දුරකතනයෙන්”ගූගල් කර සොයා ගත හැකි තොරතුරු සඳහා මට ඒ දුරකතනයෙන්ම කතා කරන අය සිටිති.

එවැනි පසුගාමී නාගරික සමාජයක හා නගරයෙන් පිට සියයට 70 ට වැඩි ග්‍රාමීය සමාජයේ අන්තර්ජාලය, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාල සහ සමූහ සන්නිවේදන වේදිකා වන වයිබ, වට්ස්ඇප්, ටෙලිග්‍රම්, සූම් වැනි මෙවලම් අතර ඇති සහසම්බන්ධය හා ඒවායේ උපයෝගිතා ගැන කිසිදු අදහසක් නැත. එබැවින් ඔවුන් අතර එවැනි මෙවලම් භාවිත කිරීමට උනන්දුවක් ඇත්තේද නැත. කොලඹ සැළකිය යුතු පිරිසක්ද ඒවා හරියාකාරව භාවිතා කිරීමට දන්නේ නැත. එවැනි පසුගාමිත්වයක ඔන්ලයින් අධ්‍යාපනය හඳුන්වාදීමේ හා එය දුරස්ථ අධ්‍යාපන විධික්‍රමයක් ලෙස යොදා ගැනීමේ අතිශය අසාධාරණ සමාජ පරතරයක් හා විෂමතාවක් ඇත. තවමත් බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන් හා ගුරුවරුන් සිතා සිටින්නේ ඔවුන් දේශනාගාරයේ හෝ පංතියේ හෝ කළ කතා පරිගණයක හෝ ටැබ් එකක කැමරාව ඉදිරියේ එලෙසින්ම කිරීම “ඔන්ලයින් ඉගැන්වීම්” කියා ය. ඔන්ලයින් ඉගැන්වීම් යනු එක ගොන්නකට පංති කාරමයකදී ඉගැන්වූ පාඩම, නිවෙස්වල විසිර ඉන්නා ළමුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම ය. කුඩා තිරයකට සීමා වී ඉගැන්වීමට පාඩම වෙනම සැළසුම්කර සංවිධානය කරගත යුතුය. ඒ සඳහා යොදා ගත හැකි වෙබ් වේදිකා මෙවලම් ගණනාවක්ම ඇත. එවැන්නක් තමන්ගේ පරිගණකයට, ටැබ් එකට හෝ සුපිරි දුරකතනයට බා ගත යුතුය. එසේ බා ගැනීමේදී තම භාවිතයට වඩාත් පහසු මෙවලම වන්නේ කුමක්දැයි සහ එය නිවෙස්වල විසිර සිටින ළමුන් හවුල්කර ගැනීමට කෙතරම් පහසු අවකාශයක් සහිත දැයි යන්න දැන සිටිය යුතුය. ඒ පිළිබඳව අති බහුතරයක් ගුරුවර ගුරුවරියන්ට, විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන නිලධාරීන්ට දැනුමක් නැත. එය ඔවුන්ගේ වරදක් නොවේ. මෙතෙක් එවැනි කාරණා පිළිබඳව කිසිම විශ්වවිද්‍යාලයකින් හෝ විද්‍යා පීඨයකින් ප්‍රමාණවත් දැනුවත් කිරීමක් හුරුවක්, පුහුණුවක් කිසිවකුට ලබාදී නැත.

ඔන්ලයින් ඉගැන්වීම ඒ වගේම ඉතා සියුම් දෘශ්‍ය මාධ්‍ය යොදා ගෙන කළ යුත්තකි. එබැවින් රූපවාහිනියට වඩා ප්‍රවේසමෙන් නිසල රූප, සජීවී රූප, පෝසටර ආදිය සමීප රූප ලෙස යොදාගෙන පාඩම් සංවිධානය කළ යුතුව ඇත. නිවසේ සිටින ළමුන් පාඩම සඳහා හසුරුවා ගැනීමටද ගුරුවරයා හෝ ගුරුවරිය සතු විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. පාඩම සංවිධානය කර ගැනීමේදී ළමුන් පාඩමෙහි හවුල්කරුවන් කර ගැනීමද ඔන්ලයින් ඉගැන්වීමේ අවශ්‍යතාවයකි. ඒ වගේම ළමුන්ට හා ගුරුවරුන්ට ඔන්ලයින් පාඩම් පාසලේදී මෙන් එක දිගට පැය 05 ක් තබා පැයක්වත් කළ නොහැක. එයද සැළකිල්ලට ගත යුත්තකි. තාක්ෂණික දැනුම සමග එවැනි සියලු කාරණා පිළිබඳව අවම දෙසතියක අලුත් පුහුණුවක් ගුරුවරුනට හා අධ්‍යාපන නිලධාරීන්ට ලබා නොදී ඔන්ලයින් අධ්‍යාපනයක් හරියාකාරව ආරම්භ කිරීමටවත් නොහැක.

ජ.වි.පෙ ඉල්ලා සිටින නොමිලේ අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ කතාව අදාල වන්නේ එවැනි අනෙක් සියළු සාධක සම්පූර්ණ වන විටය. සියල්ලන්ට “සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති නිදහස් අධ්‍යාපනයක් ගැන කතාව හමුවන්නේ එවිටය. දැනටත් “සියල්ලන්ට සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති පාසල් අධ්‍යාපනයක් නැත. ඒ ගැන කිසිවකුගේ අවධානයක්ද නොමැත. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජ.වි.පෙ ඉදිරිපත් කරන ඉල්ලීම් වලින් විසඳිය නොහැකි අතුරු විපාක ගණනාවක් දැනටත් නිර්මාණය වෙමින් ඇත.

දැනට පාසල් විවෘතකර ඇති පළාත් දෙකක ප්‍රධාන නගර දෙකක ලොකුම පාසල් කිහිපයේ ඔන්ලයින් ඉගැන්වීම් ගැන ඉකුත් සතියේ මා කළ විමසීම් හා විපරම් කිරීම් වලට අනුව, පාසලක දහය වසර සිසු සිසුවියන් 170 ක් 200 ක් අතුරින් පාසල් පැමිණ සිටි ළමුන්ද ඇතුළුව ඔන්ලයින් ඉගැන්වීම් වලට එකතුවී තිබුණේ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවකි. දළ වශයෙන් සියයට 25 ක් පමණය. එහි සරළ තේරුම එතරම් ජනප්‍රිය නොවන හා ග්‍රාමීය පාසල්වල සහභාගිත්වය ඊටත් වඩා අඩු බවය. ඔන්ලයින් පංතිවලට හවුල්වන මේ ළමුන් අතරින් අඩක් පමණ එසේ හවුල් වන්නේ එම පහසුකම් අඩුවක් නැතිව තිබෙන හෙයින් නොවේ. තම දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ පවත්වාගෙන යා යුතු යැයි කැප කිරීම් කරන දෙමාපියන් ප්‍රතිශතයක්ද ඉන්නා හෙයිනි.

ඒ අතර නාගරික දුප්පත් හා ග්‍රාමීය සමාජවල ඔන්ලයින් අධ්‍යාපනය ගැන කිසිදු අවබෝධයක් නැතුවාට අමතරව, ඒ වෙනුවෙන් අවශ්‍ය ටැබ් හා සුපිරි දුරකතන සඳහා වැය කරන්නට මුදල් නොමැති දෙමාපියන් විශාල ප්‍රතිශතයක් ඇත. එමෙන්ම එකම පවුලේ දරුවන් දෙදෙනකු වේ නම්, එක සුපිරි දුරකතනයකින් දෙදෙනාටම ඔන්ලයින් පංති වලට එකවර හවුල් විය නොහැකිය. එය අද අති බහුතරයක් දුප්පත් පවුල් මුහුණ දෙන හා ඔවුන්ට විසඳාගත නොහැකි ආරවුලකි.

ඒ වගේම, පහළ මැද පංතික පවුල් මුහුණ දෙන අනෙක් අර්බූදය වන්නේ ඔවුන් ඉතා අමාරුවෙන් ලබා දෙන අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ ඔවුන්ගේ නව යෞවන වයසේ දරුවන් අවභාවිතා කිරීමය. අන්තර්ජාලය යනු දැනුම වර්ධනයට මෙන්ම පාසල් වයසේ දරුවන්ට දඩාවතේ යාමටද නොයෙකුක් පෙළඹවීම් ඇති අවකාශයකි. නිල වශයෙන් කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් සඳහා අමාරුවෙන් ඬේටා මිලට ගන්නා තාක්ෂණික දැනුමක් නොමැති දුප්පත් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් එම ඬේටා භාවිත කරන්නේ කුමටදැයි සොයා බලන්නට තරම් හැකියාවක් නැත. එබැවින් ඔන්ලයින් අධ්‍යාපනය සියල්ලන්ට අර්ථයක් ඇති ආකාරයෙන් සංවිධානය කිරීමට,

  1. රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් අලුතින් සැලසුම්කර නිෂ්පාදනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට මාසයක උපරිම කාලයක් ලබාදී එය නියාමනය කිරීමටත්
  1. දුරස්ථ අධ්‍යාපනයෙහි රූපවාහිනි වැඩසටහන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමත් එම අධ්‍යාපනික වැඩසටහන් ඇගයීමේ පළාත්බද අධ්‍යාපන කමිටු පිහිටුවා මාසික ඇගයුම් වාර්තා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා ගෙන රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් වැඩි දියුණු කිරීමත්
  1. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පරිපාලකයින්ටත් විදුහල්පතිවරුන්ටත් ගුරුවර ගුරුවරියන්ටත් ඔන්ලයින් අධ්‍යාපනය ගැන අවම දෙසතියක කඩිනම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් වැදගත් ලෙස සංවිධානය කර පැවැත්වීමටත්
  1. දැනට අධ්‍යාපන පීඨවල ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව අවම මාසයක විශේෂ පුහුණු වැඩසටහනක් ඔවුන්ගේ පුහුණුවට ඇතුළත් කිරීමටත්
  1. ඔන්ලයින් ඉගැන්වීම් සඳහා සුවිශේෂි ආරක්ෂණ සමගින් වන අන්තර්ජාල ප්‍රවේශයක් පාසල් සඳහා හඳුන්වා දීමටත්
  1. පවුලේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩු පවුල්වල පාසල් දරුවන්ට හා සියලු ගුරුවර ගුරුවරියන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණයක් නොමිලේ ලබා දීමටත්

නොපමාව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමගින් පියවර ගැනීමට ආණ්ඩුවට බලකර කිව යුතුය. එවැනි පියවර නොගන්නේ නම්, මේ වනවිට පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව ඉන්නා සියයට 50 ට වැඩි ළමුන් 2021 වසර ආරම්භයේදීම පාසල් අත හැර ගිය ළමුන් ලෙස සටහන්කර ගැනීමට සිදුවනු ඇත. එවගේම විශේෂයෙන් ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් සංඛ්‍යාව සියයට 40 ටද වඩා අඩු විය හැකිය. එනිසා කොවිඞ්-19 වසංගතයෙන් ආරක්ෂිතව මේ ළමුන්ගේ අධ්‍යාපනය සැළසුම්කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ලබන ජනවාරියට පෙර ආණ්ඩුව ජනතාවට පැහැදිලිකර කිව යුතුය. ළමුන්ගේ අධ්‍යාපනය හා අනාගතය ලබන 2021 වසරේදී ද මේ වසර මෙන් අපතේ හැරීමට නොහැකි හෙයිනි.

kusal p 1000pxකුසල් පෙරේරා

Comment (0) Hits: 905

සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක් !

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ බොරුව, වංචාව සහ මිථ්‍යාව මත මිස, ඉන්දියන් සාගරයෙහි නොවේ. හේතුව   විසි තිස් ලක්‍ෂයක් පමණ පවුල් දිළින්දන් ලෙස සලකා, සමෘධිලාභින් ලෙස නම් කර රුපියල් d, එක් දහස් පන් සීයක් දෙදහස් පන්සියක් ආදි ලෙස මාසිකව මුදල් බෙදාදීමය. මේ බෙදිල්ල මෙන්ම නැති බැරි තේරීමත් මිථ්‍යාවකි. බොරුවකි. වංචාවකි.  ග්‍රාමීය ජනතාවගේ ආර්ථික විග්‍රහය අනුව, ලංකා රුපියල් පනහක් යනු බුලත් විටක මිලට සමානය. සමෘධිය යනු රටේ මිනිසුන් හිඟනකම සංස්ථාපනය  කිරිමකි. එය හරිටමට, නගරයේදී දකින, කිසි දවසක සුව නොවන හිඟන තුවාල වැනිය.

දශක දෙකක් පුරා ලංකාවේ ආර්ථිකය යම් තරමකට දියුණුව ඇත. 2013දී ලංකාවේ උපරිම දරිද්‍රතාවය 15.4%වූ අතර, 2016දී එය 2.7% තෙක් පහත වැටී ඇත. එසේ වීමට හේතු විමසා බැලීමට උනන්දු නොවන පාලකයන්  සමෘධිය වැඩි කිරීමට පමණක් දක්වන උනන්දුව පුදුම සහගතය. මොකක්දෝ වුණත් නිකම්මනේ කියා කටේ දමා ගැනීමට  අනුගතව ජීවත්වන ජනතාව  එහි පවත්නා බරපතල අවදානම විමසා බලන්නේ නැත. එහෙත් රට මුහුණ දී ඇති තත්වය අනුව අපි යථාර්තය දැකිය යුතුවේ. තේරුම් ගත යුතුවේ.

පසුගිය සතියේ ලිපියේ සඳහන් අඛිල උත්තර යව්වනයාගේ ප්‍රකාශය, එනම් තමන් රටට වගකිව යුතු ප්‍රමාණය ගැන අප එකිනෙකාගෙන් විමසා, දැනගත යුතුව තිබේ. ඔහු ගණනය කළ ලක්‍ෂ පනහක මුදල සමහර විට නිවැරදි නොවිය හැකිය. එහෙත් අදහසක් අරමුණක් අවබෝධයක් හැටියට එය විශිෂ්ඨ දැක්මකි.  උපයන හෝ අතට ලැබෙන හෝ කිසිවෙකු තමා වෙනුවෙන් වැය වන මුදල පිළිබඳ දැනුමකින් සහ සතියෙන් රටේ ජනතාව තාර්කිකව හැසිරිය යුතුවේ.  ඒ තාර්කික දැක්ම, ගමේ බේබද්දන්ට සහ රටේ දේශපාලනඥයන්ට ඇත්තේම නැත. හේතුව නැතිබැරි කමට දෙන සමෘධිය, බේබදු සැමියා සිය දෛනික වඩිය පිණිස වැය කිරීමය. රට කරවන දේශපාලනඥයා බදු මුදලින් ඉදි කරන මහජන වැසිකිලියටත් තම දායකත්වය දැක්වූ නාම පලකයටද රටේ  මුදල් නාස්ති  කරන නිසාය.

වසර විස්සක් පමණ කාලයක් තමන් සතු වාහනයෙන් හයර් දුවන, හැට පිරි වැඩිහිටියෙකුට, රුපියල් පන්දාහේ කොවිඩ් දීමනාව ලැබිණ. තමන් කිසි විටෙකත් අයදුම් නොකළ මේ මුදල  සාක්කුවේ දමාගත් හෙතෙම, තමා සුදුස්සෙකුවූ  ආකාරය ගැන විමසූ කළ ග්‍රාම නිලධාරිගේ ලැබුණ පිළිතුර මෙසේය.

“ලැයිස්තුව හැදුවේ  ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා... මිනිසුන්ගේ නැතිබැරිකම තීන්දු වන්නේ එහෙමය.  සමෘධි බෙදිල්ල මිථ්‍යාවක් බොරුවක් වංචාවක් කියන්නේ ඒ නිසාය. සජිත් ප්‍රේමදාස, කොවිඩ් දීමනාව  විසි පන් දාහක් විය යුතුය යයි කියන්නේත් බලය ලබා ගැනීමට හෙයින් ඔහු  රටේ නායකත්වයට නුසුදුසුය නේද  ඇසීමෙන්  ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ කෙසේද?  සුළඟටත් බදු ගැසීමේ දැක්ම යනු වැඩ පිළිවෙලක් මිස, තවත් පුද්ගලයෙකු ඔසවා තැබීමක් නොවේ. කවුද නොව කුමක්ද හරි යයි කල්පනා කිරිම විශිෂ්ඨ මෙන්ම ශක්තිමත් අභ්‍යාසයකි. සංස්කෘතික  ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘති අරමුදල හිස් කළ ආකාරය ගැන රාජපක්‍ෂ පාලනය ආරම්භ කළ විගණන විමසුම  20 වෙනි සංශෝධනය සම්මතවීම සමග නතර විය. සිදුවුණේ කුමක්ද? පොදු අරමුදලක් අවභාවිතා කළ සජිත්ගේ ක්‍රියාවට සමගාමිව, රාජපක්‍ෂලාට තුනෙන් දෙකට අවශ්‍ය ඔලු ගෙඩි සමගි ජන බලවේගයෙන් ලබාදීමය. දැන් ඩයනා ගමගේ ලවා සමගි ජන බල වේගයම දඬුකඳේ ගසා ඇත. ඩයනාගේ සැමියා පොන්සේකා වෙනුවෙන් හිරේ ගිය සේනක සිල්වාය. 2010 පොදු අපේක්‍ෂකයාගේ පුද්ගලික ලේකම්ය. අපට බොහෝ ප්‍රාතිහාර්ය ඉදිරියේදී දැකගත හැකිය. සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනයේදී පොන්සේකා කීිවේ ගෝඨාභයගේ අසමත්භාවය  ගැන තමන්ට දුක හිතෙන බවය. පොන්සේකාට අනුව, ගෝඨා අසාර්ථක නැත. නරක වටේ සිටින එවුන්ය. ඒ කියන්නේ ගෝඨා පාස්ය. රටම පේල් කියන ගෝඨාභය පොන්සේකා සුද්ධ කරන හේතුව කුමක්ද? දේශපාලනයේ නියුක්ත නායකයන් වෙන්න සිහින දකින සිඤ්ඤෝලා ඔක්කොම එහෙමය. පොන්සේකා යනු මතයක් නොව මතකයක් පමණක් යයි පසුගිය ලිපියෙහි සටහන් කළේ ඒ නිසාය. ටෙස්ට් කරන්න කිසිවෙකු ඉතිරිව නැත. අවශ්‍ය පලදායි වැඩ පිළිවෙලක් දැක්මක් හඳුනා ගැනීමය.

ලී ක්වාන් යූගේ  සුළඟට බදු ගහන අපේක්‍ෂාව බරසාර දැක්මකි. අඛිල උත්තරගේ කල්පනාව වගකිව යුතු ප්‍රකාශයකි. සමෘධි දීමනාව ගැන කතා කිරීම වැඩ සටහනක් විමසා බැලීමකි. මේ උත්සාහය රටේ සිදුවන නාස්තිය දූෂණය හඳුනා ගැනීමය. පරිකල්පනය කියන්නේ ඒකටය. ගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට, අර පාසල් 83ක දරුවන්ගේ භාරකාරයන්ගේ  ආර්ථික ශක්තිය, අඛිල උත්තරගේ දැක්මෙන් තක්සේරු කළ යුතුවේ. අඛිල කියන්නේ පිටරටක සිටියා නම් ඒ රුපියල් පනස් ලක්‍ෂය සිය දෙමාපියන්ට පුද්ගලිකව දරන්නට සිදුවන බවය. මේ උත්සාහය අඛිල උත්තරට ශ්‍රී ලංකාවේ  පාලනය භාරදීම නොවේ. අඛිලගේ  අත්දැකීම දර්ශනය ඔස්සේ, සුභසාධන දැක්මට යටපත්ව රටේ සිදුව විනාසය ගැන  ජනතාව දැනුවත් කිරිමය. ආර්ථික ශක්තියත් ඇති දෙමාපියන්ට පැවරෙන වගකීම තේරුම් කිරිමය.  රටේ නාස්තිය දූෂණය  වලකා සම්පත් කළමනාකරණය කරවීමය. වසර විස්සක්  ලෑලි දිරා ගොස් කම්බි සැුකිල්ලේ එල්ලෙන  තිහක් පැරණි  සංගිලි පාලමෙන් එගොඩ මෙගොඩ යන මිනිසුන්ට කතා කිරිමය. තුට්ටු දෙකක් බෙදා දෙමින් කරන රැවටිල්ල තේරුම් කර දීමය. පස් අවුරුද්දටක සමෘධි මුදල් නතර කර පාලම හදා දීමට පාලකයන්ට බල කරවීමය. ඒ හරහා පිලිසකර වන සංගිලි පාලම දේශපාලනඥයා දෙන කරුණා සහගත දීමනාවක් නොව, තමන්ට හිමි සමෘධිය පරිත්‍යාග කිරිමේ ප්‍රතිපලයක් බව තේරුම් ගැනිමය.ගම්පහ දිස්ත්‍රික්කයේ නුවර පාරට ආසන්නයේ  වසර  තිස් ගණනක් එක දිගට පවත්නා වෙළඳ සැලකි. වසර හැට ඉක්මවූ මුදලාලි සමෘධි වැඩිහිටි දීමනා දෙකම  ලබන්නෙකි. ඒ නාස්තිය අපරාධය ප්‍රශ්න කිරිමය. තොරතුරු පනත හරහා සමෘධිිලාභින්ගේ ඇතිනැති බව විමසීමය. සමහර විට එදාට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ උගත්කම ප්‍රසිද්ධ කරනවාට අපොස සමත් නැති රණවීරලා විරුද්ධවුණා මෙන් ආණ්ඩුවට හිතැති සීනි තෙල් මුදලාලිලාගේ පැලැන්තිය විරුද්ධ වෙනවාය. ඇත්ත සහ බොරුව දෙපිල බෙදී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරේ නොව මහා බොරුවක් මැද බව තේරුම් යනවාය.

2021 අප්‍රේල් මස 3 වෙනි සෙනසුරාදා  ලංකාදිප පත්‍රයේ 15 වෙනි පිටුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘධිලාභීන්ට වැඩි ප්‍රතිලාභ  නම් වාර්තාව ගම්පහ සමෘධි අධ්‍යක්‍ෂ අයේෂ් පෙරේරාගේ  ප්‍රකාශයකි.  ගම්පහ සමෘධිලාභි පවුල්වල පළමු දෙවන තෙවන දරු උපත් සඳහා රුපියල් 10,000 බැගින්ද නිවුන් දරු උපත් සඳහා රුපියල් 10,000ට අමතරව වසරක් පුරා රුපියල් 5000 බැගින් ලබාදෙන බවය. තුන් නිවුන් දරු උපතකදී රුපියල් 10,000ට අමතරව වසරක් පුරා රුපියල් 10,000 බැගින් ලබාදෙයි. නිත්‍යානුකුල විවාහ දෙකකදී රුපියල් 10,000 බැගින්ද, ප්‍රතිකාර සඳහා දිනකට රුපියල් 350 බැගින්ද, වර්ෂයකට දින 30ක් ගෙවීම් ලබාදෙයි. මරණයකදී රුපියල් 20,000ක මුදලක්ද හිමිවේ. සිප්දොර ශිෂ්‍යත්වය නමින්, රුපියල් 1500 බැගින් වසර දෙකක කාලයකට ගෙවීමට නියමිතය. ඉකුත් වසරේ ගම්පහ සමෘධි දීමනා සඳහා මිලියන 140ක් වැය කර ඇත. 2009-10 දරිද්‍රතා සමීක්‍ෂණයේ දර්ශකය 3.0ක්වූ  ගම්පහට ලැබෙන මේ ප්‍රතිලාභ 2009-10 දරිද්‍රතා සමීක්‍ෂණයේ දර්ශකයේ පිළිවෙලින්  17.0ක්වූ   මඩකලපුවට සහ 13.9%ක්වූ මොනරාගලටත් ලැබෙනවාද?.

අඛිල උත්තර ගණන් හදන්නේ ආණ්ඩුව තමන් උදෙසා වැය කළ මුදලටය. පාලකයන් කැප විය යුත්තේ ලැබෙන ඡන්ද අනුව නොව, රටේ ධනය නාස්ති නොකර රටට පලදායි ලෙස වැය කිරීමටය. සුළඟටත් බදු ගහන යෝජනාව 1973දී ලංකාවේත් ක්‍රියාත්මකවී ඇත. එකල ප්‍රතිකාර සඳහා  රජයේ රෝහලකට පැමිණේ නම්, ශත 15ක මුද්දරයක් අලවා අවලංගු කළ යුතුවිය.  ශත 15ක්  යනු  අද නම් ටොපියක් මිලදී ගත හැකි සල්ලියක් නොවේ. 1970 ගණන්වල ඩොලරයක වටිනාකම  ලංකා රුපියල් නවයකුත් ගණනකි. අද ප්‍රසූතිය සඳහා  සඳහා පුද්ගලික රෝහලකට ඇතුල් වන ගර්භණියක සමහර විට, ප්‍රසූතියට ආසන්න මොහොතක රජයේ රෝහලකට පිටත් කර යවන අවස්ථා ඇත. බොහෝවිට ඒ තීරණය ගන්නේ රජයේ රෝහලක සේවය කරන අතර, මුදලට සේවය විකුණමින් සිටින, රජයේ වෛද්‍යවරයෙකි. පුද්ගලික රෝහලකට ගියවිට ආණ්ඩුවේ රෝහලක ඇඳක් ලබා ගැනීම පහසුය. රජය සෞඛ්‍ය පහසුකම් මෙසේ අතයට විකුණා මුදල් ගරන්නේ රජයේ දොස්තරලාමය. එය දූෂණයකි. අදටත් පාදෙණිය රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ නායකයා වන්නේ අර බිස්නස් නිසාය. සජිත්ට ගහන්න එපා කියන කිසිවෙකු අනුරුද්ධ පාදෙණිය වෙනුවෙන් පෙනී නොසිටිති. පුද්ගලික රෝහල් පවා විශ්වාසය තබන තරමට රජයේ සෞඛ්‍ය සේවා ශක්තිමත් නම් රෝගියෙකුගෙන්  රුපියල් 50.00ක මුදලක් අය කිරිම පාපයක් නොවේ. එක් දිනකට රජයේ රෝහල් කරා ප්‍රතිකාර සඳහා ලක්‍ෂයක් දෙනා පැමිණේ නම්  දිනෙක රජයේ ආදායම රුපියල් මිලියන පහකි. වසරකට රාජ්‍ය භාණ්ඩාගාරයට  රුපියල් (1,825,000,000) මිලියන 1825ක් උපයාගත හැකිය. මේ යෝජනාව කොයි ආණ්ඩුව ගෙනාවත් විපක්‍ෂය විරුද්ධ වෙනවාය. හරියට පාදෙණියලා හරහා රාජපක්‍ෂලා ඉන්දියන් ගිලන් රථ සේවය සවුත්තු කළා වාගේය.

ජනතාවාදි පලදායි වැඩ සටහනක් හමුවේ පුද්ගලයන් ප්‍රතික්‍ෂේප විය හැකිය.  මංගල සමරවීර වැඩ්ඩෙකි. රනිල් වික්‍රමසිංහ යනු තාර්කික දේශපාලන දැක්මක් ඇත්තෙකි. එහෙත් රනිල් නිසා එජාපය ඇද වැටිණ. රනිල් නිකමෙකු ලෙස හංවඩු ගැසූවේ  මංගලය.  2005දි මහින්ද වෙනුවෙන් මිනීමරු  ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ඡන්ද නතර කළේත් මංගලය.  ඒ අර්ථයෙන් පාදෙණියත් මංගලත් දෙදෙනාම කසඩයන් වෙති. හෙට දවසේ මංගල රටේ ගැලවුම් කාරයාවේ නම් ඒ පිළිගැනීම පාදෙණියටත් ලැබිය යුතුවේ. ප්‍රතික්‍ෂේප කළ යුත්තේ මංගල හෝ පාදෙණිය නොවේ. ඔවුන් කරන කියන දේය. අප රටක් ලෙස මේ විඳින්නේ  එක එකා තම වාසියට කළ කී දේ අනුමත කළ කරුමය නොවේද?ඒ කරුමයෙන් ගැලවීමට නම් යථාර්ථය දැකිය යුතුවේ. නිවැරදි මග අප විසින් සොයා ගත යුතුවේ.

ලී ක්වාන් යූ  හුස්ම ගන්නා සුළඟටත් බදු අය කිරිමට කල්පනා කළේ පවිත්‍ර වාතාශ්‍රය සහිත  පරිසරයකින් ලැබෙන සුරක්‍ෂණයට මිලක් පැවතිය යුතු  නිසාය. එහි විලෝමය ආයෝජනය කරන මුදල් ප්‍රතිපූරණය කිරීමේ හැකියාව  විමසිය යුතු බවය. සිංගප්පූරුව දියුණු වීමේත්. ලංකාව  පිරිහීමෙත් හේතුව මේකය. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අයගෙන් රුපියල් 50.00ක මුදලක් අය කිරීම යනු හුස්ම ගන්නා සුළඟටත් බද්දක් නියම කිරීමට සමාන වේ. සුළඟට බදු ගහනවාට ජනතාව එක්වන යුගයක් උදා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය එක් දෙයකි. ඒ රාජපක්‍ෂලා වෙනුවට තවත් හාල් පාරුවෙකු ගැන විශ්වාස නොකර සිටිමෙන් පමණකි. 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.
Comment (0) Hits: 369

ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර 

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්‍යතාව නැතහොත් නිව් නෝමල්සි (new normalcy) යනු එවැන්නකි. මා එය නව නෝමල්සියානු තත්ත්වය ලෙස නම් කිරීමට කැමතිය. මෙම ලිපිය තුළ මා උත්සහ කරන්නේ මේ නව නෝමලියානු තත්ත්වය එනම් නව සාමාන්‍යතාව පිළිබඳව අපගේ පාඨකයින් සමඟ වෙනත් කතාබහක් සිදු කිරීමට ය. 

බොහෝ අය සිතන්නේ නව නෝමල්සියානු තත්ත්වය වනාහි කෝවිඩ් නිමවුමක් බව ය. එසේම පළමු නව නෝමල්සියානු අවස්ථාව මෙය බවය. නමුත් මා සිතන දකින ආකාරයට අනුව නම් මිනිස් වර්ගයාගේ සකලවිධ ඉතිහාසයම නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට ආ එකක් ය. මාක්ස් සහ එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශණය තුළ සඳහන්වන “මේ දක්වා වූ ඉතිහාසය පන්ති  සටන්වල ඉතිහාසයයි” යන්න ආකෘතිකමය වශයෙන් අනුකරණය කරමින් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම ට මට සිතේ. එනම් ‘මේ දක්වා වූ මානව ඉතිහාසය නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දීමේ ඉතිහාසයි’ යනුවෙනි. 

මානව සමස්ථ ඉතිහාසය ම කල් ඇදුනු හෝ කෙටි කලකින් නිමා වී නැවත එළඹුන නව නෝමලියානු තත්ත්ව දාමයකින් යුක්ත වුවත් කාර්මික සහ කෘෂිකාර්මික විප්ලව වලින් පසුව, නව නෝමල්සියානු තත්ත්ව නිර්මාණය වන්නේ විශාල කාල පරතරයකින් තොරව ය. එනම් මේ විප්ලව වලින් පසුව ලෝකයේ ආර්ථික වෙළඳපොළ සමාජ සහ දේශපාලන වශයෙන් සිදුවීම් පෙළගැසෙන්නේ අධික වේගයකින් තරඟයට මෙන් ය. එසේම පශ්චාත් කාර්මික සමාජ ආර්ථික වෙළඳපොළ සන්දර්භයක් තුළ තොරතුරු තාක්ෂණයේ අරුම පුදුම වර්ධනය විසින් ලෝකය දිනපතා වෙනස් කරමින් නව නෝමල්සියානු තත්ත්ව දාමයක මානව සමාජය පටලවමින් සිටී. ඒ පසුබිමේ සත්‍ය කැලෑවැදී ඇත. ඒ වෙනුවට පශ්චාත් සත්‍ය සමාජය තොරතුරුවලින් සරුසාර වී ඇත. ඇත්ත සහ බොරුව අතර සියලු මායිම් අතුරුදහන් වී ඇත. එක්කෝ බොඳ වී ඇත.

සාර්ව ආකාරයෙන් බලනවිට ඇතැම් නව නෝමල්සියානු තත්ත්ව බලවතුන් විසින් උපායිකව නිෂ්පාදනය කරන ඒවා ය. එසේ නිෂ්පාදනය කිරීමට මැදිහත්වන බලවතුන් එහි වගකීම සමස්ත මානව සමාජයම මත පටවන්නේ ‘මානව නිෂ්පාදනයක්’ (a human product) ‘මානවයින් විසින් නිෂ්පාදිත ආපදා’ (human made disasters) යන ලේබල අලවමින් ය. අප ඒ ලේබල් තීරනාත්මකව ප්‍රතික්ෂේප කළ යුතු ය. එහෙත් ඒ ලේබලවලට විරුද්ධවන මානව වාදීන් බුද්ධිමතුන් ඉතාම හිග ය. ඒ නිසා අප වඩාත් නිවැරදිව, ඒවා ‘බලවතුන්ගේ නිෂ්පාදන’ ‘බලවතුන් විසින් නිෂ්පාදිත ආපදා’ ලෙස නම් කරමු. මේ බලවතුන් තම බල-ධන-මානසික අරමුණු වෙනුවෙන් ලෝකය හෝ රටවල් ගෝලීයව හෝ ජාතිකව අවභාවිත කිරීමට වෙර දරන අය ය. මේ අය මහා ව්‍යසන හෝ ආපදා නිර්මාණය කොට ඉන් අසරණ වන ජනයාට,  මානව සමාජයට නියෝග කර සිටින්නේ, ඒ ව්‍යසන සමඟ ජීවත් වන ලෙස ට ය.

කාර්මික විප්ලවය මානව සමාජය මත පතිතකළ පීඩනය, තැති ගැන්ම සහ අසරණකම බලවතුන් නම් කළේ මානව සමාජය පනින ලද යෝධ පිම්මක් ලෙස ය. එහෙත් එය කර්මාන්ත හිමියන් හාම්පුතුන් වෙළෙඳ බලවතුන් ලැබූ සමෘද්ධියක් මිස, කාර්මික විප්ලවය සමස්ත මානව සමාජයට සහ පෘථිවියට අත්පත් කර දුන්නේ ව්‍යසන පිට ව්‍යසන පැමිණෙන ඉතිහාස කතාවක් ය. කාර්මීකරණය, යන්ත්‍රකරණය, ස්වයංක්‍රීයකරණය, තොරතුරු තාක්ෂනය මගින් අසරණ වුණු, වීසි වී රැකියා අහිමිව හිඟමනට වැටුන, වැටුප් වහලුන් බවට පත් වුන, දිනකට පැය කීපයක්  තැන තැන වැඩකරමින් දෛනික වියදම් හොයකන, හැම අතකින්ම පරාරෝපණය වී මානසික ආතතීන් සහ ව්‍යාධීන් සහිත මිහිතලයේ අසරණයින් බවට පත් වුන, තිබෙනවා යැයි කියන සියලු පහසුකම් මැද පැය විසිහතරම මානසික පීඩනයකින් සිටින බිලියන ගණනකින් යුත් මානව සමාජයක් මිස, සුළුතරයකට හැර, අති බහුතරයකට එය ලබා දුන් සමෘද්ධියක් සහනයක් නැත. 

ඒවාට විරුද්ධ ව්‍යාපාර මතු වුනත් කාර්මික ධනවාදය, පශ්චාත් කාර්මික ධනවාදය, සහ එහි බලවතුන් පරාජය වුයේ නැත. එනම් නැවත කාර්මික විප්ලවයෙන් පෙර කාලයට යාමක් සිදු වුණේ නැත. සමහරු අලුත් තත්ත්වය මානවීයකරණය කර ගැනීමට තවමත් උත්සහ කරති. නමුත් සත්‍ය වශයෙන්ම කාට කාටත් කරන්නට සිදු වුණේ, කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවුණු දශලක්ෂ සංඛ්‍යාත හදිසි අනතුරු, මරණ, වසංගත, බො නොවන රෝග, මානසික ආතති, වෙළඳපොළ බලහත්කාරකම්, බහුජන සංහාරක ආයුධ සහ උපක්‍රමික තාක්ෂනය සහිත මිහිතලය කම්පාකරවන අති බිහිසුණු දැවැන්ත යුද්ධ සාමාන්‍ය දේවල් යැයි සලකමින් කාර්මික විප්ලවය විසින් ඇතිකළ මානව සහ පෘතුවි විරෝධී නව නෝමල්සියානු තත්ත්වයට අනුගත වී, තනි වී, තනි තනිව කෙසේ හෝ දිවි රැක ගැනීමේ ක්‍රියාවලියක නිරත වීමට ය. අප මේ මොහොතේත් කරමින් සිටින්නේ එය ය.

එසේම එම නව නෝමල්සියානු තත්ත්වය අති දැවැන්ත වෙළඳපොළ ක්‍රියා දාමයකි. කෝවිඩ් නව නොමල්සියානු තත්ත්වය තුළ බලවත් වී ඇති වෛද්‍ය පරීක්ෂණ, නිරෝධායන, අත් සේදීමේ දියර, වෛරස් නාශක, මුව ආවරණ, ශරීර ආවරණ, ඖෂධ, ප්‍රතිශක්තිකරණ ක්‍රම, ඔන්ලයින් අධ්‍යාපනය, වැනි   කර්මාන්ත, වෙළඳපොළ, සහ මිලගණන් දෙස අවධානය යොමුකළහොත් මා පෙන්වන දෙය වටහා ගැනීම ඔබට පහසු වනු ඇත. මේ වෙළඳපොලේ දී බිලියන ගණනින් වූ ජනයා අසරණය, පීඩිත ය. විද්‍යාවේ දියුණුව කාර්මික විප්ලවය ‘මානව සංහතියේ නිර්මාණයක්’ නම් එහි වාසි සමස්ත මානව සංහතියටම නොලැබී සුළුතරයකගේ වාසියට පමණක් හේතු වී ඇත්තේ අර කිසිවක් අපේ නොවන නිසා ය. අපි ඒ හැම දෙයකටම පාවිච්චි වනවා පමණි.      

ක්‍ෂුද්‍ර වශයෙන් බලන විට කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ පීඩාවට පත්වන අසරණයින් අපගේ අවධානයට ලක්විය යුතුය. කාර්මික විප්ලව නෝමල්සියානු තත්ත්වය හෝ නෝමල්සියාව තුළ මහා පරිමාණ කර්මාන්ත සහ වෙළඳපොළ විසින් අසරණ කළ සුළු පරිමාණ සහ තනි පුද්ගල කර්මාන්තකරුවන් සහ වෙළෙන්දන් තම ජීවනෝපාය සලසා ගත්තේ එක්කෝ දෛනික කුලීකරුවන් ලෙස ය. එක්කෝ සංචාරක තනි පුද්ගල භාණ්ඩ සහ සේවා සපයන්නන් ලෙස ය. මෙය තේරුම් ගැනීමට, පෝපි පෝපි හඬින් නලාව ශබ්ද කරමින් තැනින් තැනට ගිය  අයිස්ක්‍රීම් වෙළෙන්දන් මහා පරිමාණ අයිස්ක්‍රීම් කර්මාන්තය සහ වෙළඳාම විසින් අතුරුදහන් කළ ආකාරය මතකයට නගා ගන්න. මහන මැෂිමක් තියාගෙන ඇදුම් මැසූ ටේලර් උන්නැහේ, මහා පරිමාණ රෙඩිමේට් ඇගලුම් කර්මාන්තය සහ වෙළඳපොළ විසින් අතුරුදහන් කළ ආකාරය ද සිහියට නගා ගන්න. අපට ඒ අය ගැන මතයක් වත් ඉතුරු කොට නැත. ඔවුන් ගැන සෙවීම අමතක කර දැමුවේ ද මේ කියන කාර්මික සහ පශ්චාත් කාර්මික ධනේශ්වර නෝමල්සියානු තත්ත්ව විසින් ය.

(ඒ වටහා ගැනීම මත පදනම්ව අද දවසේ අපේ රටේ ත්‍රීවීල් කරුවන් සහ මගී ප්‍රවාහණ සේවා සපයන්නන්, සංචාරක මාළු වෙළෙඳුන්, අනෙකුත් සංචාරක භාණ්ඩ-සේවා සපයන්නන්, දවසේ කුලියට වැඩ කරන ගෘහ සේවක සේවිකාවන්, වීදි වෙළඳුන්, සංචාරක සහ දෛනික කම්කරුවන්, ශ්‍රම සහ ශරීර විකුණන අය, ශාරීරිකව සමීප සේවා සපයන අය,  කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ අසරණ වී සිටින ආකාරය ද අප තේරුම් ගත යුතුය.) 

මේ ආකාරයට කාර්මික විප්ලවයෙන් පසු ඇතිවූ ලෝක යුද්ධ, රටවල්වල අභ්‍යන්තරික යුද්ධ, රටවල් අතර යුද්ධ, ජෛව අවි පරිහරණ, වෙළඳපොළවල් බෙදාගැනීම සඳහා වූ ජාවාරම්කාර සැඟවුණු යුද්ධ, වසංගත, බෝනොවන රෝග වලින් මිනිසුන් දශලක්ෂ ගණනින් මිය යෑම්, බිහිසුණු බහුජන සංහාර, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය, වායු ගෝලය උණුසුම් කිරීම, සොබාදහම දුෂණය කිරීම එනම් පාංශු දුෂණය, ජාල දුෂණය, වායු දුෂණය, ශබ්ද දුෂණය, අවකාශ දුෂණය, වන විනාශය යනාදී එකිනෙකට පෙළගැසුණු ව්‍යසන වල දී අපට ධනේශ්වර ක්‍රමය දෙන උපදේශය වන්නේ ඊට අවනතව අනුගත වී එළඹෙන නව නෝමල්සියානු තත්වයන්ට අනුව අසරණව පීඩිතව ජීවත්වන්න හෝ මිය යන්න කියා ය. අප වටහා ගත යුත්තේ බලවතුන් සුරැකෙන දුබලයින් මිය යන ඉරණමක් මිස, වෙන ක්‍රමයක් යෝජනා කිරීමේ වුවමනාවක් ධනේශ්වරයට සහ බලවතුන් ට නොමැති බවය. මේ වනාහි ධනවාදයේ නෝමල්සියාව  ය.

ධම්ම දිසානායක 

Comment (0) Hits: 437