V2025

පුවත්

කොරෝණා මරණ සංඛ්‍යාව 14,072 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 15 ක් අද (18) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,072 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 05 දෙනෙකු කාන්තා ආසාදිතයින් ය.

මිගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන එක් ආසාදිතයෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (18) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ee8d7fb9 258375862 438616514491556 5843305643588209769 n

අයවැය නීති විරෝධීයි : ඉරාන්ගෙන් අනාවරණයක් !

මවාගත් සිහින මත ඉදිරිපත් කර ඇති 2022 අය වැය මගින් එහි පරතරය දළ දේශී නිශ්පාදිතයෙන් 8.8% ක් වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා තක්සේරු කර තිබේ. එහෙත් අය වැය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් පනවා තිබෙන 2003 වසරේ මූල්‍ය වගකීම් පනත අනුව අය වැය පරතරය ද.දේ.නි යෙන් 5 % නොඉක්ම වියයුතුයි. ඊට වැඩි පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බැවින් එවන් නීති විරෝධී පනතකට රජය අනුමැතිය ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

මේක නීති විරෝධීයි,. මේ නීති උල්ලංඝනය කිරීමට, අවසර දෙන්න කියලද , මේ නීති හදන, උත්තරීතර සභාවෙන්, ඉල්ලන්නේ?. රටට සහ ජනතාවට ද්‍රෝහී වෙලා, මේ බොරුවට අත උස්සන්න කියලද කියන්නේ ? යැයිද මන්ත්‍රීවරයා විමසු අතර , ඒ ඊයේ (17) අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

අය වැය ලේඛණය දිහා බලන විට රජය මවාගත් සිහින මත අධි තක්සේරුවෙන් යුතුව හුදු සංඛ්‍යාලේඛන ඉදිර්පත් කර ඇත. මේ ආණ්ඩුව යන්නේ, රිවර්ස් එකට. 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම තක්සේරු කර තිබුණේ රුපියල් බිලියන 2029 කට. නමුත් ලැබුණේ රුපියල් බිලියන 1561 යි. බිලියන 500ක අඩුවක් තියෙනවා. අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2284ක් යැයි පුරෝකථනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800 ක ආදායම් එක පාරටම වැඩි කරගන්නවා කියලද කියන්නේ.

ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා වසරකින් ආදායමක් 45 % කින් වැඩි කරන්න බැරි බව. එය උපරිමය 10 % හෝ 12 % කින් වැඩි කිරීම යතාර්තයක් වනු ඇත. කාවද මේ රවට්ටන්න යන්නේ.? මෙයාලා හැමදාම බොරු කියලා, මේ සභාවයි , ජනතාවයි රවට්ටනවා. එහෙනම් මේ, දවල් හීන නේද, ආදායම් පුරෝකථන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ? ඇත්තටම මේ ජනතාව රැවට්ටීමක් නෙවෙයිද ?

අපි 2014 බලය ගන්න කොට, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට, 10%ක් තිබුනේ. අපි ඒක ක්‍රමානුකුලව 13%ක් කළා. ඒක බොහොම සැලසුම් සහගතව කරපු දෙයක්. මෙහිදී මම දිවංගත මංගල සමරවීර මහතාව සිහිපත් කළ යුතුයි. එතුමා ක්‍රමිකව හා සැලසුම් සහිතව රාජ්‍ය ආදායම් වැඩි කරන සැලසුම් හදා ක්‍රියාත්මක කළා. පිළිවෙලකට කරපු දෙයක්. දැක්මක් වැඩපිළිවෙලක් අපිට තිබුණා.

මේ ආණ්ඩුව බලය ගන්න පෙර, නිතර මතුරපු බොරුවක් තිබුණා. ඒ තමයි, අපේ ආණ්ඩුව හැම දේටම බදු ගහලා, බදු වලින් දුවන, ආණ්ඩුවක් බව. මේ ඊනියා සටන් පාඨ වල නිර්මාතෘ, 2019 ගෝඨාභය රාජපක්ෂගේ, මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානියා තමයි, බැසිල් රාජපක්ෂ. මගේ මීළඟ අවධානය, රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම ගැන යොමු කරන්න කැමතියි. 2022 ට අදාළව අයවැය ලේඛනය තුළ බදු හරහා ආදායම් ඉහළ නංවා ගැනීමේ උත්සාහයක් තියෙනවා.

“ පසුගිය වසර තුළ රු.මි. 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායම් ලත් සමාගම් හෝ පුද්ගලයන්ගෙන් එක වරක් පමණක් අය කරන 25 % ක අධි හ්භාර බද්දක් අය කරන්න යෝජනා කර තිබෙන අතර ඊළඟට, වැට් බද්ද වැඩි කරලා. 2.5 % සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කර ගැනීමටත් යෝජනා කර තිබෙනවා.”

අතීතයේ ලැබූ ආදායමකට බදු අය කළ හැකි දැයි යන්න නීතිමය ප්‍රශ්නයක් ද මතුවෙනවා.” දැයි හෙතෙම ප්‍රශ්ණ කළේය පිරිවැටුම් එක මත බදු පැනවීම. මොකක්ද මේ අය කරන්න යන්නේ, රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවෙන් නේද, මේ හූරලා ගන්න හදන්නේ ? මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔලුව උස්සන්න එපාද ? මේකටද නිෂ්පාදන අයවැයක් කියන්නේ ? ඇත්තටම මේක මහා ඛේදවාචකයක්.

ඇත්තටම බදු ගන්න එකේ නෙවෙයි ප්‍රශ්නය. සමාජ සාධාරණත්වය රැකගන්න, බදු නිසි ලෙස අයකරන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. නමුත් නිසි නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මෙලෝ හසරක් නොදන්න අය, වැඩ කරන්න ගියාම, බදු ගෙවනවා තියා, කිසිම ආයෝජකයෙක් මේ පැත්ත හැරිලාවත් බලන එකක් නෑ.

අද හම්බ කරන්න අවස්ථාව තියෙන්නේ, රාජපක්ෂ පවුල සහ පවුලේ ගජමිතුරන්ට විතරද ,?

අපි නම් මේවට පුදුම වෙන්නේ නෑ. මතකයි නේද , සීට් එකක් වෙන් කරගන්න බැරි වෙලා, රාජපක්ෂ උදහස නිසා , බිලියන ගණන් ලාභ ලබපු, ගුවන් සේවය, 2008 දී, එමිරේට්ස් ආයෝජකයන්ගෙන් මහින්ද රාජපක්ෂ පාලනය නැවත පවර ගත්තා. හැබැයි රටට කිව්වේ, විකුණපු ජාතික සම්පත් යළිත්, පවර ගන්නවා කියලා. නමුත් 2021 වෙනකොට මොකද, ගුවන් සේවයට වෙලා තියෙන්නේ, දැන් රුපියල් බිලියන 250ක් හෝ ඊට ආසන්න මුදලක් පාඩු ලබලා. බලන්න, දැන් මේ පාඩුව ගෙවන්නේ, මැදමුලනේ වලව්වේ කාබනික ගොවිතැනින්ද ? නැත්නම් රාජපක්ෂ පවුලේ මොකක් හරි ව්‍යාපාරයකින්ද ? නෑ. කවදාවත් මේ ගුවන් යානයකට පය තබලාවත් නැති, අහිංසක ජනතාව, තමයි මේවට වන්දි ගෙවන්නේ. නීතියේ ආධිපත්‍යයක් රටකට අව්ශ්‍යයි

එමිරේට්ස්ලට වුණ දේ දැක්ක, එක ආයෝජකයෙක්වත් මේ රටට එයිද ? ඉතින් කොහොමද රටේ ආදායම් වැඩි වෙන්නේ ? දැන් ලොකුවට හිතාගෙන පම්පෝරි කතා කිව්වට , බදු ප්‍රතිපත්තිය, මේ වගේ පැටලලි සහගත නම්, අවුල් නම්, පොර්ට් සිටිය ගැනත් සිහින දකින්නේ බලාගෙනයි. ආයෝජකයන්, ආයෝජනයක් කරන්න කලින්, සලකා බලන කාරනා තියෙනවා.

2019 ජනාධිපතිවරණයට සතියකට පෙර වෝහාරික වාර්තා නිකුත් කළ හෙයින්, නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට බලයෙන් ඉවත් වන රජයට අවස්ථාවක් නොලැබුණි. කබ්රාල් වැරදි කිරීමකට වරදකරු ලෙස ඔප්පු කර නොමැතැයි යන පදනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ පත්වීම සිදු කර ඇත්නම්, මෙම තර්කය කලින් අධිපති වරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් වෙත ද ඉදිරිපත් කළ හැකිය. මහ බැංකු අධිපති ලෙස මහේන්ද්‍රන්ව ජනාධිපති විසින් පත් කරයිද ?.

වැදගත් පත්වීම් ලබා දීමේ පරමාධිකාරය ජනාධිපතිවරයා සතු වුවද, පුද්ගලයාගේ යෝග්‍යතාවය තීරණය කිරීම ජනාධිපති කාර්යාලයට පමණක් සීමා නොවිය යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්‍ෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ අතර, උසස් තනතුරුවලට පත්වීම සඳහා "සුදුසු සහ උචිත" පුද්ගලයෙක් වීම සඳහා ජනාධිපතිවරයාගේ නම් කළ තැනැත්තා ගේ නම අනුමත කළ යුතුව තිබුණි. කබ්රාල් මහතා පත් කිරීමේ සිද්ධියේදී යම් කාල පරිච්ඡේදයක් තුළ බහු ජන කනස්සල්ල මතු වී තිබිණි. මේ කිසිදූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට කබ්රාල් මහතාට හෝ ජනාධිපතිවරයාට විනීතභාවයක් තිබෙන බවක් නොපෙනේ.

වැඩ භාරගත් දිනයේ දීම මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය සිය රාජකාරිවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ. අනාගත විමර්ශනයකදී මතු කළ හැකි සාක්ෂි නව අධිපති වරයා යටපත් කිරීමට උත්සාහ දරන්නේ ද? මුදල් මණ්ඩලය යටතේ ඇති සාක්ෂි සහ සාක්ෂිකරුවන් ආරක්ෂිත බව සහතික කරන්නේ කවුරුන්ද?

අද, වඩාත් නිශ්චිතවම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින්, නියමිත අධිකරණමය ක්‍රියාවලියට ගරු කරමින්, සමාජයේ වැරදි නිවැරදි කරනු ඇතැයි ලාංකේය මහජනතාව අපේක්ෂා කරති..එක් දේශපාලනඥයෙක් වරක් පැවසූ පරිදි "පද්ධතිය අප වෙනුවෙන් වැඩ කරන බව ඔබට තේරෙන්නේ නැද්ද - එසේ නම් අපි එය වෙනස් කළ යුත්තේ ඇයි?"

අපි එම ක්‍රමය නිවැරදි කිරීමට නම් නීතියේ ආධිපත්‍යය තහවුරු කර වඩාත් යුක්ති සහගත හා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න, එවිට සිවිල් සමාජය සහ මාධ්‍ය ඇතුළු රජයේ සියලු ආංශික කුළුණු විසින් වගකීම භාර ගත යුතුය. සෞභාග්‍යයේ දූෂණය හා නොසැලකිලිමත්කමට කිසි සේත් අපට එකඟතාවයක් පළ කළ නොහැකිය.

හැමෝම කොමිස් දීලා එන්නේ නෑ. සාමාන්‍යයෙන් ආයෝජකයන්, අදාළ රට ගැන විශ්වාසයක් හදාගන්න ඕන. මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක ඉන්න ඕන, නීතියේ ආධිපත්‍ය ගැන තහවුරුවක් තියෙන්න ඕන, මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන වගේම, ඒ රට දේශීය ව්‍යාපාරිකයාට සලකන ආකාරය ගැනත්, ආයෝජකයන් සැලකිලිමත් වෙනවා. හැබැයි මේ අයවැයේ, මේ කිසිම දෙයක් ගැන අවධානයක් නෑ. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තුළත් මේ වටිනාකම් (values) වලට ඉඩක් නෑ. ආයෝජකයන් ගැන කියන නිසා මතක් වුනා. ඔබට මතක ඇති පසුගිය ආණ්ඩු සමයේ මේ අය ආයෝජකයන්ට තර්ජනය කළා, ආයෝජනය කරන්න එපා, එයාලා බලයට ආවහම සියල්ල යලි පවරා ගන්නවා කියලා. ඔන්න විපක්ෂය කාලේ හැසිරීම.

ඒ වගේම තමයි, EAP මාධ්‍ය ජාලයේ, ආයෝජනය කරපු, සුභාෂ්කරන් අලිරාජා මහතා සම්බන්ධයෙන් දක්වපු විරෝධය. එදා ඒකාබද්ධ විපක්ෂය කිව්වේ, අපි කොටියෙකුට රටේ සංඛ්‍යාත දුන්නා කියලා,.. හැබැයි එදා විපක්ෂයේ මහත්වරු එහෙම කිව්වට, අද අපි ඒක කියන්නේ නෑ , සුභාෂ්කරන් අලිරාජා මහතා, මේ ළඟදී VIP පර්යන්තයෙන් , රටට ගෙන්වාගෙන ඉහල පෙලේ සාකච්ඡා පැවැත්තුවා. ගුවන් හමුදාවේ, හෙලිකොප්ටර් හරහා ගමන් පහසුකම් දුන්නා.

අපි කියන්නේ ඔහු ආයෝජකයෙක්. ඒ වගේ ආයෝජන දහස් ගණනින්, රට හදන්න ඕන කියලයි අපි කියන්නේ. ඩයස්පෝරා කියලා, ජාතිවාදය අවුස්සන ප්‍රතිපත්තියක් අපට නෑ. මතක තියාගන්න , ඩයස්පෝරාව කියන්නේ වත්කමක්. අපි ඒක වගකීමෙන් කියනවා. ජන්ද ගන්න, ජාතිවාදය අවුස්සන, පහත් දේශපාලනය තමයි හැමදාම මේ රට අගාධයට පත්කළේ. ජාතිවාදී ආගම්වාදී ඊනියා ප්‍රචාර නවත්වන්න

හැම වරදකටම අවසානයක් තියෙන්න ඕන. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා , තව දුරටත් පටු ජාතිවාදී, ආගම්වාදී, ඊනියා ප්‍රචාර හරහා, ජනතාව නොමග යවන්න එපා කියලා. අපේ විදෙස් ප්‍රතිපත්තිය අන්තයටම දුර්වල වෙලා. මානව හිමිකම් සම්බන්ධව කතා කරන්නම දෙයක් නෑ. අපනයන වෙළඳපොල අවස්ථා ඇහිරීමේ අවදානම යලිත් මතුවෙලා තිබෙනවා. යුරෝපා GSP plus සහනය, ඇමරිකානු GSP සහනය අපිට අතිශය වැදගත්. විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග තමයි අපේ අපනයන වෙළඳපොලේ විශාලම පංගුව. මේ හරහා තමයි රටට ඩොලර් අදායම ලැබෙන්නේ. එය අවදානමේ දමා ගන්න එපා කියන ඉල්ලීම, මේ අවස්ථාවේ කරන්න ඕන. මොකද ඔය GSP plus සහනය 2014 ට පෙර රාජපක්ෂ පාලනය නැතිකර ගත්තා. අපි බොහොම අමාරුවෙන් එය නැවත ලබාගත්තේ.

මොකද අපනයන ක්ෂේත්‍රයේ මේ තියන ප්‍රමාණයත් නැති වුණොත්, මේ රටට අත්වන ආර්ථික ව්‍යසනය සුළුපටු නෑ. ඒ වගේම කියන්න ඕන පුනර්ජනනීය බලශක්තිය 70%ක් කරන්න යෝජනා දාලා තියනවා. නමුත් ප්‍රතිපාදන නෑ.. ඒකත් අර කාබනික වගා වන්දිය වගේ. අස්වනු අඩු වුණොත් වන්දි දෙනවා කිව්වට, ප්‍රතිපාදන නෑ. ජනගහනයෙන් 52%ක් වන කාන්තාව ගැන මේ අයවැයේ මොනවද තියෙන්නේ ? කාන්තාවන් සඳහා කැබිනට් අමාත්‍යාංශයක්වත් මේ රජය යටතේ නැහැ.ආරක්ෂක අමාත්‍යංශයට නම් ප්‍රතිපාදන වැඩි කරගෙන. සුපුරුදු විදියටම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර අයවැය ලස්සනට බෙදාගෙන.

එක රටක් එක නීතියක් කියලා බලය ගත්ත ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන හැටි ඊයේ, ඒ කියන්නේ නොවැම්බර් 16 වෙනිදා රටම දැක්කා. A guilty conscience needs no accuser -- වැරදි හෘද සාක්ෂියකට චෝදකයකු අවශ්‍ය නෑ. එක රටක් එක නීතියක් කිව්වට, මේ රටේ නැත්තෙම ඒක. නොමිලේ පොහොර දෙනවා කියලා, දැන් බෙහෙතකටවත් පොහොර නැති කරලා. ගෑස් නෑ. සිමෙන්ති නෑ. සපුගස්කන්ද ඉතිහාසයේ පළමු වතාවට වහලා. බොරතෙල් ගේන්න විදිහක් නැතුව. ඔමානයෙන් ණයක් ලැබෙනවා කිව්වා. කෝ, ණය ලැබුණද ? බඩු මිල අහස උසට. මිනිසුන්ගේ ආදායම් ගල් ගැහිලා. නැත්නම් රිවර්ස්වෙලා. හැබැයි වියදම් ඉහළ ගිහින්.

නමුත් මතක තියාගන්න, 69 ලක්ෂයක ජනතා ප්‍රසාදය , ගතවෙන මොහොතක් ගානේ, ක්ෂය වෙමින් පවතිනවා. ආණ්ඩුව ඇතුලෙ පවා අසහනය දෝරේ ගලනවා. 2022 අයවැය සම්බන්ධව අපේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ. මේ අයවැය ආණ්ඩුවේ අසමත් බව තහවුරු කරන නිල ලේඛණයක් පමණයි. මෙයින් රටට, ජනතාවට ලැබෙන සෙතක් නෑ. මේ වසරට වඩා ලබන වසරේ බරපතළ ආර්ථික පීඩාවන්ට මුහුණදෙන්න, ජනතාවට සිද්ධ වෙනවා. හැබැයි අපි ජනතාවට ස්ථිර පොරොන්දුවක් දෙනවා. මේක වාසනාවන්ත රටක්. මේ අවුරුදු 5ට, රාජපක්ෂ පවුල් පාලනය මොනවා කළත්, ලැබෙන පලවෙනි අවස්ථාවේ, අපි නිවැරදි දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිතව, මතු පරම්පරාව වෙනුවෙන්, මේ රට ගොඩනැගීමේ අභියෝගය සහ වගකීම ගන්න සූදානම්. ඒ විශ්වාසය සහ හැකියාව අපිට තියෙනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය

පියල් සමඟ ඇරගෙන : පියල් යයි - උදයකුමාර එයි !

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මුදිත විදානපතිරණගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීම කර ඇත.

මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ, ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සමග ඇතිවුණු මත ගැටුමක් හේතුවෙන් මහාචාර්ය මුදිත විදානපතිරණ ඉල්ලා අස්වූ බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වූයේ, තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතනවල සිටිය යුතු බව අමාත්‍යවරයා පවසා ඇති බවයි.

තේ කබලෙන් ලිපට වැටේ !

ආගමික අන්තවාදයට උදව්කරණ ජාවාරම්කාරයින්ට ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකා තේවලට මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීම නිසා අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙන බව කුඩා තේ වතු හිමියෝ පවසති.

ඔවුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ වසන්ත අල්විස් මහතා පවසා සිටියේ මේ ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 120ට තිබූ අමු තේ දළු කිලෝවක මිළ රුපියල් 88 දක්වා පහත වැටී ඇති බැවින් කුඩා තේවතු හිමියන් බරපතල ආර්ථික අර්බූදයකට පත් වී ඇති බවයි.

පසුගිය දිනවල රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පිට රටින් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකාවේ තේ 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දෙන බවයි. ඒ මගින් ජාවාරම්කරුවන්ගෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබෙන නමුත් ශ්‍රී ලංකා තේ නාමය විනාශ වන බවට රජයට බරපතල චෝදනා එල්ලවේ.

lanka lead

එංගලන්තයේ තෙල් පෝළිමක් : ඇමති නාමල්ගේ සොයාගැනීමක් !

අද වන විට ලෝකයේ තෙල් අර්බුදයක් ඇති බවත් එංගලන්තයේ පවා තෙල් පෝලිම් තියෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , ලෝකයේ බොහෝ රටවල කර්මාන්තශාලා වසා ගෙන යන නමුත් අප යම්තාක් දුරට ඒ තත්ත්වයෙන් මිදී කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවයි.

බාධක මැද්දේ වුවද රට සංවර්ධනය කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසා ඇත.

විපක්ෂයේ වුවමනාව වී ඇත්තේ උද්ඝෝෂණ කරමින් නැවතත් රට වසා දැමීම බවත් එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

මොන අභියෝග පැමිණිය ද සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන බවත් නාමල් අමාත්‍යවරයා පැවසූ බවත් වාර්තා වෙයි.

මංගල සමරවීර තෙමස්පූර්ණය සහ නොනිමුණු මංගල සිහිනය

දිවංගත මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් එතුමාගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් විසින් සංවිධානය කරනු ලබන පෞද්ගලික සහ පොදු කාර්යයන් රාශියකින් සැදුම්ලත් "මතක මංගල" වැඩසටහන 2021 නොවැම්බර් මස 23 වැනිදා සිට 26 දක්වා සිව්දිනක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

රටම අගුලු දමා දැඩි වසංගත තහංචි ක්‍රියාත්මක වූ මොහොතක පසුගිය අගෝස්තු 24 වෙනිදා හදිසියේ සිදුවූ ඛේදජනක අවසන් සමුගැනීම හේතුවෙන් මංගල සමරවීර මහතාගේ ජීවන ගමනේ විවිධ කාලවලදී ඔහු සමඟ එක්ව කටයුතු කල සැමට ඒ මහතාගේ මෘත දේහය දැකබලා ගැනීමට හෝ තම අවසන් ගෞරව පුද කිරීමට පවා නොහැකි විය.

ඔහුගේ අකල් වියෝව පිළිබඳව තවමත් බොහෝ දෙනා ශෝකයෙන් සිටින බව අපි දනිමු. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පමණක් නොව ලෝකයේ විවිධ රටවලින් පණිවුඩ, ලිපි, සමාජ මාධ්‍ය ලිපි, චිත්‍ර සහ කවි ගී තවමත් අප වෙත ගලා ඒම හරහා ඒ වේදනාබර කම්පාව තවදුරටත් කියාපායි.

ඒ අනුව “මතක මංගල” වැඩසටහන මගින් මංගල හඳුනන සෑම අයෙකුටම, ඔහුව සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ගෞරවය දැක්වීම පිණිස අවස්ථාවක් ලබා දීමට උත්සාහ කරයි.

පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ ධර්ම දේශනය සමාජ මාධ්‍ය ඔස්සේ

"මතක මංගල" වැඩසටහන් මාලාව සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රයෙන් අනුව නොවැම්බර් 20 වැනි සෙනසුරාදා මාතර බෝධියේ දී රාත්‍රී 07.00 සිට 08.00 දක්වා පැවැත්වෙන මතක බණ ධර්ම දේශනාවකින් ආරම්භ වන අතර ඒ සදහා සහභාගී වීමට කැමති අයවළුන්ගේ සහභාගීත්වය අපි සාදරයෙන් පිළිගනිමු.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා රාත්‍රී කොළඹදී වල්පොල රාහුල ආයතනාධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වන ධර්ම දේශනාව Facebook සහ Youtube ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

නොවැම්බර් 24 වැනි බදාදා මංගල සමරවීර මහතාගේ පවුලේ අය ඔහු සිහි කිරීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමය පින්කමක් පවත්වන අතර මෙය ඔහු සිහි කිරීම පිණිස පවුලේ අයට හා සමීපතයින්ට වෙන්වූ අවස්ථාවක් වනු ඇත.

නොවැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා මංගල සමරවීර මහතාගේ භස්මාවශේෂ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරේ. ඔහුට ගෞරව දැක්වීමට කැමති සියලු දෙනාට එදින අවස්ථාව හිමි වනු ඇත.

නොවැම්බර් 26 වැනි සිකුරාදා උදෑසන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ සීමිත වාහන පෙරහැරකින් ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් විසින් මාතරට රැගෙන යනු ඇත.

පසුව මංගල සමරවීර මහතාගේ මග පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රජා මධ්‍යස්ථානයක් වන නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ දී ජනතා ගෞරවය සදහා ඔහුගේ භෂ්මාවශේෂ පස්වරු 2 - 4 දක්වා තැන්පත් කිරීමට නියමිතය.

පස්වරු 4 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් නියෝජනය කරන පූජකවරුන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලබන අතර, පසුව සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කිරීම සඳහා භෂ්මාවශේෂ පෙරහැරකින් මාතර සුසාන භූමියට රැගෙන යනු ඇත.

මංගල සමරවීර මහතාට ගෞරව දැක්වීමට පෞද්ගලිකව පැමිණ සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාගෙන් COVID-19 සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කාරුණික වන ලෙස හෘදයාංගමව ඉල්ලා සිටියි.

සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සලකන, ප්‍රජාතන්ත්‍රවාදයෙන්, සංහිඳියාවෙන් පිරි සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් කැපවුණු මංගල, ඒ වෙනුවෙන් ඉටු කල කාර්යයන් සහ ඔහුගේ නොනිමුණු සිහින පිළිබඳ විස්තර ඇතුළත් මංගල අනුස්මරණ වෙබ් අඩවියක් ඉදිරි කාලයේ දී දියත් කිරීමට අදහස් කර සිටින බව 'සමරවීර පදනම' පවසයි.

ඒ මගින් ශ්‍රී ලංකාව සඳහා මංගලගේ ප්‍රගතිශීලී දැක්ම ඉටු කිරීම සඳහා සියලු වයස් කාණ්ඩවල සමාන අදහස් ඇති පුද්ගලයින්ට එකට වැඩ කිරීමට අනාගත වැඩසටහන් සහ අවස්ථා පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට බලාපොරොත්තු වන බව 'සමරවීර පදනම' වෙනුවෙන් ජයන්ති සමරවීර ගුණවර්ධන සහ පවුලේ සැම දන්වා සිටියි.=

MML03

card sin

MMB

ජනපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ 05 ආයතනික හා නෛතික රාමුව සංශෝධන ගැසට්ටුවක්

ජනාධිපති කාර්යාලයේ සභ අමාත්‍යාංශ පහක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ඊයේ (17) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

ඒ මගින් ජනාධිපති කාර්යාලය - ජාතික ප්‍රමුඛතා වැඩසටහන, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි අදාළ සංශෝධන සිදුකර තිබේ. 

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහත සඳහන් වෙයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 14,057 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,057කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (16) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය.

 

භාණ්ඩ හිඟයකුත් ශුවර් : ආණ්ඩුවේ බැරි බැරියාව ගම්මන්පිල ප්‍රසිද්ධියේ කියයි !

විදේශ විනිමය අර්බුදය විසෙඳන තුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

වඩාත් උත්ප්‍රාසජනක සිදුවීම වන්නේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීමයි.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස්වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.

එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන ජවිපෙන් ජනාධිපතිට පාඩමක් !

ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන සාධකයක් වන රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා වහාම ක්‍රියා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

අද (17) එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අවධාරණය කර තිබිණි. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික කරුණු ගණනාවක්ම වර්තමාන ආණ්ඩුව විසින් අනතුරට හෙළා ඇති බව එම හමුවේදී වැඩි දුරටත් අවධාරණය කර තිබිණි. එහිදී පළකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

මේ වනවිට රට තුළ නිර්මාණය වී තිබෙන ඩොලර් අර්බුදය සහ ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර සුරක්‍ෂිතතාවය අහිමි වීම ඇතුළු දැවැන්ත ව්‍යසනයන් පිළිබඳව ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමින් ඉන්නවා. චීන ක්විංඩාවෝ සමාගම ඩොලර් මිලියන 08ක වන්දි ලබාගැනීමට එන්තරවාසියක් එවා තිබෙනවා. නැනෝ යූරියා නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වෙන අතර ගොවියාටත් පාරිභෝගිකයාටත් පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුවෙන් මේ මොහොතේ ඉදිරිපත් කර නැහැ.

ජාතික ආරක්ෂාවට අංශ ගණනාවක් තිබෙනවා

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට පැමිණෙන්නේම ජාතික ආරක්‍ෂාව කියන සටන් පාඨය මුල්කරගෙනයි. එක කාලයකදී ජාතික ආරක්‍ෂාව කියන්නේ සන්නද්ධ ප්‍රහාරයකින් රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීම පමණයි. මේ වෙනකොට ඒ අර්ථකථනය පුළුල් වී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීම, අපරාධ අවම කිරීම, ආර්ථික සුරක්‍ෂිතතාවය, බලශක්ති සුරක්‍ෂිතතාවය, පරිසර සුරක්‍ෂිතතාවය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සයිබර් ආරක්‍ෂාව වගේ අංශ ගණනාවක් ඇතුළත් වී තිබෙනවා. දැන් ජාතික ආරක්‍ෂාව කියන්නේ රටේ බෝම්බ නොපිපිරවීම විතරක් නෙවෙයි. විශේෂයෙන් බලශක්ති සුරක්‍ෂතතාවය ආරක්‍ෂා කර ගන්න නම් ඒ සම්බන්ධ ප්‍රභවයන් තිබෙන්න ඕනෑ. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තියෙන්න ඕනෑ අදාළ ආනයනයන් කරන්න. නමුත් වෙනත් රටක් මත බලශක්ති ඒකාධිකාරයක් තිබෙනවා නම් එතැනදී බලශක්ති සුරක්‍ෂිතතාවය අර්බුදයකට යනවා. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් දැන් ඇතිවීී තිබෙන්නේත් ඒ අනතුරයි. ආහාර සුරක්‍ෂිතතාවයත් ඒ වගෙයි. රටේ ජනතාවට අවශ්‍ය තරම් නිෂ්පාදනයන් රට තුළ තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් ආනයනය කිරීමට ඩොලර් තියෙන්න ඕනෑ. රට තුළ ප්‍රමාණවත් ආහාර නැත්නම් බලවත් අර්බුදයකට යනවා. උදාහරණයක් හැටියට අපේ රටේ තෙල් අර්බුදයක් ඇවිත් තිබෙන්නේ ලෝක වෙළඳපොළේ හිඟයක් නිසා නෙවෙයි, අපේ රටට ඩොලර් නැති නිසා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව දවස් 50කට වහන්න පවා සිදුවී තිබෙන්නේ ඩොලර් නැති නිසා.

මේ තත්වයක් තුළ රටේ පැවති ආහාර සුරක්‍ෂිතතාවයත් අහිමි වෙන ක්‍රියාමාර්ග ගැනීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර ගැන ජනතාවට තේරුම් ගන්න පුළුවන්. ආහාර සුරක්‍ෂිතතාව මේ තරම් අර්බුදයකට ගිහින් තියෙන්නේ ආණ්ඩුවේ අමනෝඥ තීරණ නිසා. අප්‍රේල් 27වැනිදා හිටි හැටියේම රසායනික යෙදවුම් තහනම් කරලා කාබනික යෙදවුම්වලට එක්වරම මාරු වීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා. පියවරෙන් පියවර වුණත් 100%ක්ම කාබනික වගාවට ගිය රටවල් ලෝකයේ නැහැ. අනිත් පැත්තෙන් කාබනික වගාවේ අස්වැන්න ගුණාත්මකව ඉහළ වුණත් අනිවාර්යයෙන්ම අස්වැන්න 20% සිට 25% දක්වා අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අපට පෙන්නුම් කරමින් තිබෙන්නේ එක රැයින් කාබනික වගාවට මාරු වීම කෙතරම් අවිද්‍යාත්මක අමනෝඥ ක්‍රියාවක්ද කියලයි. රසායනික යෙදවුම් එක වරම තහනම් කිරීමට විසඳුම් හැටියට ගෙනා ක්‍රියාමාර්ග සියල්ල යළි යළිත් අර්බුදයට ගිහින් තිබෙනවා. ඉඳුරුවේ ආචාරියා නම් කඩතොළුෙ දෙකයි හැදුවේ. ආණ්ඩුව කඩතොළු රාශියක් නිර්මාණය කරගෙන තිබෙනවා.

ඉන්දියානු සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා

කාබනික පොහොර ගෙන්වීම යටතේ චීන පොහොර ප්‍රශ්නය ඇවිත් තිබෙනවා. රසායනික පොහොර සම්බන්ධයෙන් කාලාන්තරයක් භාවිතා කර ඒ සම්බන්ධ ක්‍රමවේදයන් ලෝකයේ සකස් වී තිබෙනවා. කාබනික පොහොර සම්බන්ධයෙන් එහෙම නිශ්චිත පිළිවෙළක් නැහැ. කාබනික පොහොර මගින් යම් රටකට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුළත් වුණොත් බරපතළ ප්‍රශ්නයක් වෙනවා. මේ නිසා හැම රටක්ම ඉතාම සුපරීක්‍ෂාකාරී වෙනවා. ටෙන්ඩර් කැඳවීම, සාම්පල් ලබාගැනීම, සාම්පල් පරීක්‍ෂා කිරීම සහ සාම්පල් සමත් වීමෙන් පසු එල්.සී. විවෘත කර ආනයනය කිරීමට කටයුතු සලසනවා. නමුත් චීන ක්විංඩාවෝ සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ ළඟම ඥාතියෙක් චීන සමාගමේ දේශීය නියෝජිතයා හැටියට ක්‍රියා කරනවා. සාම්පල් පරීක්‍ෂා කිරීමට පෙර එල්.සී. විවෘත කර පොහොර මෙරටට ගෙන එන්න සූදානම් කළා. නැව් 05ක් එන්න තියෙනවා. එක නැවක් ආවා. මේ නැව දැන් අපේ මුහුදු සීමාවේ කැරකෙමින් ඉන්නවා. ඒ අතරේ අපේ ශාඛ නිරෝධායන සේවයට එන්තර වාසි එවා තිබෙනවා. ප්‍රමාද ගාස්තු ඇතුළු ගාස්තු අයකර ගන්න සූදානම් වන අතර ඇනවුම් කළ මුළු තොගයේ වටිනාකමෙන් 75%ක් අයකර ගන්නත් ඔවුන් උත්සාහ කරනවා.

ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා ශාඛ නිරෝධායන සේවය ලබාදී තිබෙන වාර්තාව ප්‍රතික්‍ෂේප කළහොත් අනාගතයේ බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ සහතික සම්බන්ධයෙන් ලෝක පිළිගැනීම අහිමි වෙනවා. මේ නිසා කලින් ලබාදුන් සහතිකවලටත් අනාගතයේ ලබාදෙන සහතිකවලටත් බරපතළ අනතුරක් සිදුවෙනවා. චීනයේ පෞද්ගලික සමාගමක් වන චින්ඩාවෝ සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙනී සිටිනවා. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාඛ නිරෝධායන සේවය වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී සිටින්නේ නැහැ. අදාළ නිලධාරීන් හැරුණුකොට ඇමතිවරයෙක් හෝ ආණ්ඩුවේ වගකිවයුත්තෙක් නිල ප්‍රකාශක් කළේ නැහැ. මෙවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයා මැදිහත් වී නිල ප්‍රකාශයක් කරන්න ඕනෑ. එවැනි ප්‍රකාශයක් කළා නම් මේ ප්‍රශ්නය මේ තරම් දිගදුර නොයන්නත් තිබුණා. චීන පොහොර ප්‍රශ්නයේදීත් ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඉන්නවා. ආණ්ඩුව එක පාරම චීනයෙන් ඉන්දියාව දිහාට හැරුණා. නැනෝ යූරියා වශයෙන් අදාළ සමාගම පවා නම්කර තිබියදී ආණ්ඩුව කියන්නේ නැනෝ නයිට්‍රජන් ආනයනය කරනවා කියලා. සූර පප්පාගේ මැජික් අරිෂ්ඨය වගේ අස්වැන්න වැඩිවන බව මැති ඇමතිවරු කියනවා. හැබැයි මේ නැනෝ යූරියා ලෝකයට අලුත්. මේ වසරේ ජූනි මාසයේදී ඉන්දීය වෙළඳපොළටත් නැනෝ යූරියා ඉදිරිපත් කර තිබෙන්නේ. ඉන්දියාවටවත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අත්දැකීම් නැහැ. මේ සම්බන්ධයෙන් අපේ රටට හඳුන්වා දීමට පෙර කෘෂිකාර්මික පර්යේෂණ ආයතන මගින් පරීක්‍ෂා කළ යුතුව තිබෙනවා. මේ කිසිවක් අද දක්වා සිදුකරලා නැහැ.

නැනෝ යූරියා වෙනුවෙන් හතර ගුණයක වැඩි මිලක්

කෘෂි රසායනික යෙදවුම්වලට විරුද්ධව කාබනික යෙදවුම් මගින් නිෂ්පාදනය කළ දේවල් රටට ගෙන්වන බව පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඉන්දීය සමාගම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පවා ඔවුන් කියන්නේ නැනෝ යූරියා ලබාදී ඇති බවයි. ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා මේ බව සඳහන් කර තිබෙනවා. එහෙම තියෙද්දිත් කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියන්නේ නැනෝ නයිට්‍රජන් ගෙන්වනවා කියලා. අනික් පැත්තෙන් මේ සමාගම තමන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ ශාඛවලට යොදන අතිරේක යෙදවුමක් විදිහටයි. මිනිස් ශරීරයක් ගත්තොත් සාමාන්‍යයෙන් තිබිය යුතු වර්ධනය නොතිබෙන තැන්වල වෛ්‍යවරුන් මල්ටි විටමින් වර්ග නිර්දේශ කරනවා. ඒ කියන්නේ අනික් සියලු ආහාර අත්හැරලා ගන්න දෙයක් නෙවෙයි. මේ නැනෝ යූරියාත් ඒ වාගේ අමතර යෙදවුමක්. මෙයින් ලීටර් ලක්‍ෂ 31ක් ගෙන්වන්න ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. මේ ගනුදෙනුවත් සැක කටයුතුයි. මේ සමාගම ඊයේ(16) මාධ්‍ය හමුවක් පවත්වා හෙළිකළ ආකාරයට මිලිලීටර් 500 බෝතලයක් ඉන්දීය රු. 240යි. අද මිලට ගත්තොත් ඩොලර් 3.22යි. ඔක්තෝබර් 18වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් ආණ්ඩුව කියන්නේ මිලි ලීටර් 500ක් ඩොලර් 12.45ක් වියදම් කර ගෙන්වන බවයි. එනම් ඉන්දීය මිලට වඩා හතර ගුණයක් මිල වැඩිවී තිබෙනවා. මෙය සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 53ක ගනුදෙනුවක්.

CID වාර්තාව කෝ..?

මිල වැඩිවීමට අමතරව මේ ගනුදෙනුව සිදුවුණු ආකාරය ඉතාම සැක කටයුතුයි. ටවුන් හෝල් මහජන බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර රජයේ මුදල් තැන්පත් කළා. අපි ඒ බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. එය වාර්තා කරපු මාධ්‍ය ආයතනයක් සී.අයි.ඩී.යට කැඳෙව්වා. දැන් ඒ ගිණුම වහලා. මහජන බැංකුවේ නිලධාරිනිය සී.අයි.ඩී.යට කැඳවා තිබුණා. සී.අයි.ඩී. පරීක්‍ෂණ වාර්තාව දැන් කෝ? මහජන බැංකු නිලධාරිනිය හෙළිකළ දේවල් රටට කියන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. මේ ගනුදෙනුව මුල සිටම සැකකටයුතු ආකාරයට සිදුකර තිබෙනවා. රසායනික පොහොර එක රැයින් තහනම් කිරීම නිසා දැන් එක පැත්තකින් චීන පොහොරත් අනික් පැත්තෙන් ඉන්දියාවේ නැනෝ යූරියාත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ අතර දෙසැම්බර් මාසයේදී ඇමෝනියම් සල්ෆේට් මෙ.ටො. 90,000ක් දෙසැම්බර් මාසයේදී ගේන්න සූදානම් වන බව අපට ආරංචි වෙනවා. ආණ්ඩුව මේවාත් කාබනික නාමයක් ගහලා ගේන්න උත්සාහ කරනවාද? එහෙම නැත්නම් කාබනික වගාවට යන්න ගත් තීන්දුව ආණ්ඩුවෙන් හකුළලාද කියලා රටට කියන්න ඕනෑ. සමස්තයක් විදිහට රටේ ආහාර සුරක්‍ෂිතතාවය ඇතුළුව අංශ ගණනාවකින් රට බරපතළ අර්බුදයකට ලක්කරලා තියෙන්නේ.

ධාතුසේන, මහසෙන් වගේ රජවරුන් ආහාර සුරක්ෂිතතාව ඇතිකළා දැන් මූලිකවම ආහාර සුරක්ෂිතතාව

බිඳවට්ටා ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළන්න ආණ්ඩුව ක්‍රියා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තනි තනි ඇමතිවරයා නොව සමස්ත ආණ්ඩුවම වගකීම බාර ගන්න ඕනෑ. ශාඛ නිරෝධායන සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාවය පරදුවට තියන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. අඩු තරමේ අවුරුදු 5,000කට වැඩි කෘෂිකාර්මික ඉතිහාසයක් අපිට තිබෙනවා. කලාපයේ තත්වයන් සලකා බලලා අපේ රජවරුන් වාරිමාර්ග දියුණු කළා. ක්‍රි.ව. පළමුවැනි සියවසේදී දකුණු ඉන්දියාවේ ආහාර අහේනියක් ඇතිවුණාම වසභ රජතුමා කුඩා හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතියක් ඇතිකළා. ඒ වගේම ධාතුසේන, මහසෙන් වගේ රජවරුන් මහා පරිමාණ වැව් හැදුවා. කෘෂිකර්මාන්තය කියන්නේ අපේ රටේ ශිෂ්ටාචාරයේ පදනමයි. මේ පදනමයි දැන් විනාශ කරන්න යන්නේ. කෘෂිකර්මාන්තය පරදුවට නොතියා කෘෂි විශේෂඥයන්ගේ උපදෙස් අනුව වැඩකරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ආණ්ඩුව දැන් ඔවුන්ගේ තීන්දුව හකුළා ගත්තත් සිදුවන හානිය සම්පූර්ණයෙන්ම වළක්වන්න බැහැ. අඩු ගානේ හානිය අවම කරගන්න දැන්වත් කටයුතු කළ යුතුයි.

ඒ ඒ විෂයන්ගෙන් පරිබාහිර අය විවිධ මනස්ගාත ඔළුවේ තියාගෙන වැඩකරලා රටකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට තවදුරටත් විකාරරූපී දේවල් ක්‍රියාත්මක නොකර ආහාර සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගවලට වහාම මැදිහත් විය යුතු යැයි අවධාරණය කරනවා.

තුරුම්පු බාල්දුවෙයි : ආණ්ඩුවට මංගල සිහිවෙයි !

ආණ්ඩුව නැවතත් ඉන්ධන මිල සූත්‍රය යා යුතු බව ආණ්ඩුවට සහ මුදල් අමාත්‍යවරයාටත් යෝජනා කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිනිසාට සාපේක්ෂව ක්‍රමානුකූලව විචලනය වන ක්‍රමය මෙරට ඉන්ධන මිල ගෙන ආ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු අයවැය විවාදය අමතමිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ කාරණය පවසා ඇති හෙයින් ඒ පිළිබඳව සලකා බැලිය යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.

ආණ්ඩුවට මංගල සිහිවෙලා !

fuel pricing formula mangala samaraweera

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ ආණ්ඩුවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිහිවීමක් හැටියටය.

පැහැදිලි දර්ශනයක් සහිත දේශපාලනඥයකු වූ මංගල සමරවීර අමාත්‍යවරයා ගෝලීය අත්දැකීම් උකහා ගනිමින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම සිදුකළ බවත් ඒ අවස්ථාවේ ඊට බරපතළ විරෝධයක් පෑ වත්මන් පාලකයන් අද දේශපාලන සරදමකට ලක්ව ඇති බවත් විචාරක මතය වී තිබේ.

" ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බව අසත්‍යක් නෙවෙයි. කොහොම සහන දුන්නත් අවසානයේදී සිදුවන පාඩුව පියවන්න වෙන්නේ ජනතා බදු මුදල් වලින්. අනිත් කාරණය තමයි ලෝක වෙළෙඳ පොළ ඉන්ධන මිල උච්චාවචනය අපිට පාලනය කරන්න බෑ. ඒ තත්ත්වය අපිට විතරක් නෙවෙයි , ලංකාවට විශාල ආර්ථිකයක් ඇති රටවලට පවා පොදු අත්දැකීමක්.

අන්න ඒ නිසා තමයි ඔවුන් පවා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ . නමුත් මේ පාලකයන් අවස්ථාවාදී ලෙස ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල කියලා විකාරයක් ගෙනාවා. ලොකු ඝෝෂාවක් දාලා ගෙනාවට මොකද ප්‍රායෝගික වුණේ නෑ.

දැන්වත් මේ පාලකයන්ට මොළේ පෑදුනොත් ඇති."

රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුවෙන් තවත් ප්‍රහාරයක් !

මේ රට විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු අයවැය විවාදය සඳහා එක්වෙමිනි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට රටේ විනාශයෙන් දේශපාලනඥයින් වගකිවයුතු වන්නේ 20% කට පමණයි.

හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම අමාත්‍යවරුන් සඳහා උපදෙස් දුන්නේ නිලධාරීන් බවත් ඔහු පැවසීය.

එමෙන්ම අද වනවිට හොරු අමාත්‍යංශවල සිටින යුගයක් නිර්මාණය වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මීට ප්‍රථම පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ රාජ්‍ය සේවකයන් රටට බරක් බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මන්ත්‍රීවරයාට ප්‍රතිශත මාරුවී ඇති බවයි.

එසේම මීට පෙර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ද රාජ්‍ය සේවකයන් බරක් බව පැවසූ බවත්, පසුව මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද රාජ්‍ය සේවකයන් වෙත චෝදනා කරන ආකාරය අවධානයට ගතයුතු බවත් ඔවුන් පවසයි.

මේ උත්සාහ කරන්නේ අසාර්ථක පාලනයේ වගකීම කොහේවත් යන රාජ්‍ය සේවකයින් ගේ කරපිටින් යැවීමට වියහැකි බවත් ඔවුන් පවසයි.

ඉස්සරහට පරිප්පුත් නැති වෙයි : විමලේ වේලාසනින් කියයි !

ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ, කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති ‘දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව ව්‍යවසායකයන් බිහිකිරීම වෙනුවෙන් දියත්කළ ව්‍යාපෘතිය’ යටතේ පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික් පළමු ව්‍යවසායක කණ්ඩායමට සහතික පත්‍ර, උපකරණ හා අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දැන් අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබුණු ආදායම අහිමි වීම, වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයේ බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ යෑම යන අර්බුද මැද. මම දන්නා ආකාරයට ලබන වසරේ ජනවාරි වන විට අපි ගෙවිය යුතු විදේශ ණය වාරිකය ඩොලර් බිලියන හතක්. තවම අපි එක විදේශ ණය වාරිකයක් හෝ ගෙවීම පැහැර හැරලා නැහැ. ණය වාරිකය නොගෙවා පැහැර හැරියොත් ඒ රට ලෝකයේ අනෙකුත් රටවල් විසින් හඳුන්වන්නේ ‘බංකොලොත් රටක්’ හැටියට. අපි ඉන්ධන ඇතුළු බොහෝ දේවල් ඩොලර්වලින් ගෙවා රැගෙන විත් පරිභෝජනය කරනවා වැඩියි. නමුත් ලංකාවේ දේවල් නිපදවා පිටරට යවා ඩොලර් හොයනවා අඩුයි. එතකොට කොහොමද මේ ‘ඩොලර් බජට් එක’ හරි යන්නේ.

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා.

පනාමුරේ පොලිසිය ගම්මු වටලයි

ඇඹිලිපිටිය පනාමුර වැලිපොතයාය ග්‍රාමයේ පදිංචිව සිටි නිමල් ජයරත්න නම් පුද්ගලයා පොලිස් අත්තඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය තුළම මියයාම පිළිබඳව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම පොලිසිය වටලා උද්ඝෝෂණයක යෙදී සිටි බව වාර්තා වේ.

අද පෙරවරුවේ මෙම විරෝධතාවය පවත්වා ඇත. පවුල් ආරවුලක් විසඳීම සඳහා නිමල් ජයරත්න නැමැති 36 හැවිරිදි පුද්ගලයා අත්තඩංගුවට ගෙන ඇත. රිමාඩ් බාරයේ සිටියදී ඔහු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

මෙය පිළිගත නොහැකි බව දක්වමින් පොලිසිය තමන් වෙතද මේ ආකාරයේ මර්දනයක් දියත් කළ හැකි බව පොලිසියට එරෙහිව විරෝධය දැක්වූ පිරිස එක හඬින් ප්‍රකාශ කර තිබිණි.

පොලිසිය සඳහන් කළේ , මියගිය පුද්ගලයා මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.

දැනට කර ඇති පරීක්ෂණවලට අනුව සැකකරුට පහරදීමක් කර ඇති බවට අනාවරණ වී නොමැති අතර ඔහු සිර මැදිරිය තුළ සිටියදී පොලිස්ථානයේ රාත්‍රි රාජකාරීවල යෙදී සිටි නිලධාරින්ගෙන් යම් රාජකාරී පැහැර හැරීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Video – News 1st

අපේ යෝජනා භාර ගන්නෙත් නෑ, ඇමතිකමත් නෑ - මහාචාර්ය තිස්ස විතාරණ

කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩිලෙස අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා අදාල වන යෝජනා මාලාවක් සමසමාජ පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම යෝජනා කිසිවක් 2022 අයවැය යෝජනාවලට ඇතුළත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ  පවසයි.

ඒ නිසාම අයවැය වෙනුවෙන් පෙනී සිටීමට සමසමාජ පක්ෂයට නොහැකි බවද ඔහු සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් ලබාදුන් පොරොන්දුව මත තමා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවට පැමිණි බවත්, කෙසේ නමුත් පොරොන්දු වූ පරිදි ඇමති ධුරයක් ලබා නොදුන් බවත් පෙන්වා දෙන තිස්ස විතාරණ  පවසන්නේ මේ නිසා තමා දේශපාලන වශයෙන් කළකිරීමට පත්ව සිටින බවයි.

දිගින් දිගටම තම පක්ෂය නොසලකා හැරීම හේතුවෙන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද මහාචාර්යවරයා පවසයි.

මීට පෙර වසූරිය රෝගය ව්‍යාප්ත වූ අවස්ථාවේදී, වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු වූ තමා සැළකිය යුතු කාර්යභාරයක් සිදුකළ නමුත්, කොරෝනා වසංගතයේදී ආණ්ඩුව තමාට කිසිදු කාර්යභාරයක් පැවරීමට කටයුතු නොකරන බවද තිස්ස විතාරණ වැඩි දුරටත් පවසා සිටී.

විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමේ පනත අද සිට බලාත්මකයි

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17) සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත් දෙකේ අත්සන අද සහතික කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව පසුගියදා 11 වැනිදා සම්මත විය.

සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර ඇත.

විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා මෙතෙක් පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසී යැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.

mT0X7J8prfwgnhRc0GCJGcIF9A5f6kA5 l

කොරෝනා මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 18 ක් අද (16) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,034 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තාවී ඇත්තේ, අසාදිතයින් 09 දෙනා බැගිනි.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (16) වාර්තා කරන ලද මෙම මරණ 18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මෙවර අයවැයේ සමබරතාවයක් නැහැ - රනිල් වික්‍රමසිංහ

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ අඩු කළද ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂ වැඩි කර තිබීම නිසා මෙවර අයවැයේ සමබරතාවයක් නොපවතින බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

ලබන වසරේ සිට කොවිඩ් පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

අද පැවති පාර්ලිමේන්තු අය වැය විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

2020 දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 255 ක් වෙන්කර තිබුනද 2022 වසරේ රුපියල් බිලියන 234 ක් වෙන්කර තිබීමෙන් කොවිඩ් අර්බුදය ජයගත නොහැකි බවයි ඔහු පැවසුවේය.=

''අයවැය සමබර නැහැ''

මෙවර අය වැයෙන් 89% ක් වියදම් කරන්නේ අමාත්‍යංශ 10 කට පමණක් බවත් ඉතිරි 11 ක ප්‍රමාණය අනෙක් සියලු දෙනාට වියදම් කරන බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන අතර,  ඒ 89% ප්‍රමාණයෙනුත් 74% ක්ම වියදම් කරන්නේ මුදල් අමාත්‍යංශය,පළාත් පාලන අමාත්‍යංශය,ආරක්ෂක අමාත්‍යංශය, යන අමාත්‍යංශය 3 බවයි ඔහු පැහැදිලි කළේය.

ප්‍රාග්ධන වියදම් සෑම අංශයකටම සමානව බෙදී යා යුතු වුවත් මහාමාර්ග අංශයට 35% වෙන්කර අනෙකුත් ක්ෂේත්‍ර වලට මුදල් වෙන් නොකිරීම ගැටළු සහගත බවත්,මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකම බවත් ඔහු පැවසීය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දක්වා ඇති අන්දමට ලබන වසරේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 1200 ක් බවත්, රේගුව බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියන 633 ක් වුවද රේගුවට ලැබුණු ආදායම 431 ක් බව රනිල් වික්‍රමසිංහ පෙන්වා  දුන් අතර,  එමෙන්ම බිලියන 202 ක වියදමක් රේගුවෙන් ලැබුණු බවයි ඔහු පැවසුවේය . මෙම කාරණා හේතුවෙන් අනාගතයට මුහුණදීමේ විශාල අභියෝගයක් පවතින බව ඔහු අවධාරණය කළේය.

රට තුළ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2ක් ද ඉන් මිලියන 300 ක් රත්‍රන් බවද,ඉතිරි වී ඇති මුදල බිලියන 1.7 ක්ද වන නිසා රට තුළ විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පවතින බව හිටපු අගමැති පැහැදිලි කළා.මේ මුදලින් රටක් ගෙන යා නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදේශ විනිමය අර්බුදයත් සමගම මිළගට පැමිණෙන්නේ ණය ගෙවීම් පිළිබද ගැටලුවයි.මීට අවශ්‍ය ධනය ශ්‍රි ලංකාවට නොමැති නිසා ණය අර්බුදයට මුහුණ දීමට හැකියාවක් නැති බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට GSP+ බදු සහන ලැබීම අනිවාර්ය වන අතර මානව හිමිකම් ප්‍රශ්න ඇතිකරගතහොත් රටට ලැබෙන ඇණවුම් වෙන රටවලට ලැබීම ශ්‍රී ලංකාවට අවාසියක් බවයි ඔහු පෙන්වා දුන්නේ. එවිට රට තව දුරටත් කඩා වැටෙන බවයි ඔහු පැවසුවේය.

තවද පොහොර ගැටලුව නිසා දැවැන්ත ආහාර හිගයක් මැයි මාසය වන විට ඇතිවීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුව බලයට පැමිණෙන විට ඩොලරය 185 ට තිබුනද දැන් වන විට ඩොලරය 202 ක් බවට පත්වී තිබෙන බවත්,  එය නිළ වශයෙන් 240 ක් ලෙස සටහන් වන අතර එය ස්ථාවර මිල ලෙස පවත්වාගෙන යා යුතු බවයි ඔහු පැවසුවේය.

ලංකාව තුළ අපනයනය හා සංචාරක ව්‍යාපාරයෙන් ආදායමක් නොලැබීමත් නිසා ඩොලරය 240 දී ස්ථාවර කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.

නැතිනම් රටේ මධ්‍යම පන්තිය විනාශය කර ළගා වීම නැවැත්විය නොහැකි ඛේදවාචකයක් වන බව වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය .තවද ඒ ඔහු  කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඇමරිකාව ,චීනය ,ජපානය ඇතුළු රටවල් සමග සාකච්ඡා කොට මේ ගැටලුව විසදා ගන්නා ලෙසයි.නැතිනම් ශ්‍රී ලංකාව විශාල අර්බුදයකට ඇද වැටෙන බව ඔහු පැවසීය.

Page 401 of 462