ගෝඨාභය අද සිට ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ වෙයි !

ගෝඨාභය අද සිට ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ වෙයි !

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් ය.

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූහ.

පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියෝ සිදු කළහ.

රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.

ජයග්‍රහණයක් ලැබූ විට එය බෙදාගැනීමට බොහෝ අය සිටිති. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙත ම පැවරෙනු ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.

මූලාසනයේ අනුශාසනාව සිදුකළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැයි පැවසූහ.

මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , කථානායක මහින්ද යාපා අබේවර්ධන , කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න