පුවත්

දුන් පොරොන්දු යථාර්ථයක් කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ – ජනපති
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ය.
ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය, ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ.
කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යන් සිදු කෙරෙන අතර, වසර දෙකකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථික ක්‍රමය ගොඩනැගෙමින් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට කැපවන බව මීට එක් වූ වෘත්තීයවේදීන් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණකාලීනව නියැලී සිටින පර්යේෂකයින්ගේ සහ ව්‍යවසායකයින් ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව ද මෙම සාකච්ඡාවට එක් වූ විද්වතුන් පවසා තිබේ.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඔවුන් ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කර ගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

වනිඳුට ලංසුවක්
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක ලංසුවක් හිමි වී ඇත.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔහුව මිළදී ගෙන ඇත.
ඒ අනුව, වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය.

පරීක්ෂණ අවසන් කිරීමට පෙර : චෝදනා ලැබූ විදුහල්පතිව සේවයේ පිහිටුවලා !
විභාග වංචාවකට හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පතිවරයා පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව විරෝධය පලකරමින් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත්කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ 2020 වසරේ පැවති උසස් පෙළ විභාගයේ දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය අවභාවිත කරමින් සිදු කරන ලද විභාග වංචාවක් හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කර පාසල් භූමියට ඇතුළු වීමද තහනම් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරමින් පවතී.
එසේම මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් තිබේ. පාසලක ගිණුම් 3 ක් පමණක් පවත්වා ගත යුතුව තිබියදී අනීතික ලෙස තොරතුරු තාක්ෂණ ඒකක ගිණුම (ගි.අං. 0944004), Sport Association ගිණුම (ගි.අං. 77020040), Cricket Association ගිණුම් (ගි.අං. 75989166), Charity ගිණුම (ගි.අං. 80615897), M.S. St. Mary's Charity Association ගිණුම (ගි.අං. 81131346) යනුවෙන් පාසලේ ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති අතර දූෂිත ආකාරයෙන් ගණුදෙනු සිදුකර ඇත. මෙම ගිණුම්වල අත්සන් කිරීමේ බලය යොදා ඇත්තේ විදුහල්පතිවරයා හා වෙනත් බාහිර පුද්ගලයන්ය. St. Mary's Charity Association නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු ගිණුමේ රුපියල් කෝටියක මුදලක් ඇති අතර, එම ගිණුමේ පොලිය මාසිකව මෙම විදුහල්පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැරවන ආකාරයෙන් කටයුතු කර ඇත. පාසලේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට පාසලේ එක් ළමයෙකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇති අතර, එම මුදල් භාවිත කළ ආකාරයක් නැත. පෞද්ගලික දානපතියකු විසින් ඉඩමක් විකුණා පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් කෝටියක මුදලක් ලබා දී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ද සිදු වූ දෙයක් නැත. ඒ පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේ පරිත්‍යාගය කළ පුද්ගලයා විසින් පසුගිය කාලයේ වැඩබැලූ විදුහල්පතිවරියගෙන් ඒ පිළිබඳව කළ විමසීමේ දී ය. එසේම දිනපතා පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ගෙන් රු.150-250 දක්වා මුදලක් මෙම විදුහල්පතිවරයා විසින් දඩමුදල් ලෙස එකතු කර ඇති අතර, එම මුදල්වලට සිදු වූ දෙයක් නැත.
මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කර සිටි කාලයේ ළමුන් ඇතුළත් කිරීමේදී පරිත්‍යාග ලෙස සිය කැමැත්තෙන් දෙමාපියන් විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර, වැඩබනල විදුහල්පතිවරිය විසින් එම මුදල් නිසි ලෙස ගිණුම්ගත කර ඇත. එහෙත් ඊට පෙර චෝදනාලාභී විදුහල්පතිවරයා විදුහල්පති ධූරයේ කටයුතු කරද්දී එලෙස පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් ගිණුම් ගත කර නොමැති අතර, එම මුදල් වංචා කර ඇති බව පෙනී යයි.
එසේ තිබියදී 2022.02.09 දින රාත්‍රී 8.30 ට පමණ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා විසින් පාසලේ වැඩබලන විදුහල්පතිවරිය වන මනිලා පෙරේරා මහත්මියගේ නිවසට ගොස් බලහත්කාරයෙන් යතුරු ලබාගෙන පාසලේ ලොග් සටහන් පොතේ සටහනක් ද තබා මෙම විදුහල්පතිවරයා නැවත පාසලේ විදුහල්පති ලෙස පත් කර ඇත. මෙය බරපතල අනීතික ක්‍රියාවකි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මහතා මෙවර අපොස උසස් පෙළ විභාගයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර, විභාග වංචනිකයෙකු සමග විභාග නීතිරීති උල්ලංඝණය කරමින් මෙම විදුහල්පතිවරයා සේවයේ පිහිටුවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.
මේ තත්වය තුළ මෙම සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
මෙයට,
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

ගහපු ගේම්වල හඬ පට මාට්ටු : සතොස සභාපති දොට්ට !
වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනයේ සභාපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
විෂය භාර අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දී ඇති උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම සිදුව ඇත.
වාර්තා වන ආකාරයට සතොස ආයතනයේ සිදු වූ කෝටි තුනහමාරක පමණ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන හඬ පටයකින් හෙළි වූ කාරණා මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරියට ඇමැතිවරයා විසින් උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.
වාර්තාවලට අනුව දැනට හෙළිදරව් වී ඇති හඬපටයේ දැක්වෙන්නෙ සතොස සීනි සැපයුම් කොන්ත‍්‍රාත්තුව වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබා දීමක් සම්බන්ධවයි.
එමෙන්ම ඊට අමතරව මෙම හිටපු සභාපති වරයා තවත් අයථා ගනුදෙනු ගණනාවකට සම්බන්ධ වී ඇති හඬ පටද හෙලිදරවු වී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මට සතුටුයි : ජනාධිපති මාව දේශපාලන අභියෝගයක් කරගෙන !

බැසිල් ගැන නම් කතා කරන්නවත් කැමති නෑ - මුරුත්තෙට්ටුවේ හිමි
රාජපක්ෂ පවුලේ සිටින කළ ගුණ දන්නා එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා කළ ගුණ නොදන්නා පුද්ගලයෙක් බැවින් ඔහු පිළිබඳව තමන් වහන්සේ කතා කිරීමටවත් කැමති නැති බවත් නාරාහෙන්පිට අභයාරාම අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.
Youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
එසේම වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට මූලිකත්වය ගත් විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ආණ්ඩුව තුළින් කෙනෙහිලිකම් සිදු කිරීම කළගුණ නොදන්නා ක්‍රියාවක් බව පෙන්වා දෙන ආනන්ද හිමියන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කළොත් එදාට ආණ්ඩුවේ ගමන අවසන් වන බවය.

ජුලී වන් ලංකාවට !
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාව සඳහා නව ඇමරිකානු තානාපති වරියක් පත් කර ඇති බව වාර්තා වෙයි.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් වෙනුවට එසේ පත් කර ඇත්තේ ‘ජුලී වන්’ මහත්මිය බවත් වාර්තා වෙයි.
ඇය මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම් වරියක ලෙස කටයුතු කරයි.
කලක් එම දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරියක ලෙස ද ඇය කටයුතු කර ඇත.
භාෂා රැසක් කතා කිරීමේ හැකියාව ඇති ඇය තායිලන්තය, ඉරාකය, වියට්නාමය, චීනය, කාම්බෝජය ආදී රටවල් කිහිපයක රාජතාන්ත්‍රික සේවා වල නිරත වී සිටි අයෙක්ද වේ.

රතුඉර විවාදය කුමන්ත්‍රණයක් : නිදහස් උත්සවයට යන්න එපා කියලා සජිත්‍ට හරීන් බලපෑම් කරලා !
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පසුගිය සඳුදා (07) රාත්‍රී ස්වර්ණවාහිනියේ සජීවී ලෙස විකාශය වූ 'රතු ඉර' විශේෂ විවාදය පෙර සුදානමක් සහිතව සිදුකල කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වියහැකි බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර බරපතල සැකයක් මතුව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය විසින් දිගින් දිගටම මතුකරමින් ආ විරෝධය මෙම විවාදයෙන් හැල්ලුවට ලක්වූ බවටද චෝදනා එල්ලවෙමින් තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකළ ඇතැම් ප්‍රකාශ මෙම විවාදය තුලදී සිදු කළහොත් නඩු වැටීමේ අවධානමක් පවතින බවත්, පාර්ලිමේන්තුවේදී අනාවරණය කල කාරණා මෙම විවාදයේදී ප්‍රකාශ නොකළහොත්, ආණ්ඩුවට එරෙහි විරෝධය හෑල්ලු වීමට ඉඩ ඇතිබවත් පවසමින් මෙම විවාදයට නොයන්නැයි එම පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්‍රධානින් මෙන්ම කතෝලික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවසා ඇතත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් එම ඉල්ලීම් වලට සවන්දීම පවා ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු විසින් මෙහෙයවන ස්වර්ණවාහිනී අපක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සජබ මාධ්‍ය ඒකකයේ ඇතැමුන් ප්‍රශ්න මතුකර ඇතත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට නොගත්බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
කෙසේවුවද පසුගිය සඳුදා (07) 'රතු ඉර' විශේෂ දේශපාලන වැඩසටහන තුලින් තමන් මෙතෙක් ගෙනගිය විරෝධය හෑල්ලු කිරීමකට ලක්වුබවට කතෝලික ප්‍රජාවෙන්ද විපක්ෂ නායකයා වෙත දැඩි චෝදනාවක් එල්ල වී ඇතැයි පැවසේ.
කාදිනල්තුමන්, විපක්ෂනායක හමුවීම ප්‍රතික්ෂේප කරයි !
මෙම තත්වය යටතේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ හා විපක්ෂ නායකවරයා අතර හමුවක් සංවිධානය කිරීම සජබ මන්ත්‍රීවරයෙක් දැරූ උත්සාහයද අසාර්ථක වී ඇත.
පසුගිය අඟහරුවාදා දිනයේ කාදිනල් හිමිපාණන් හා විපක්ෂ නායකවරයා අතර හමුවක් සුදානම් කර තිබුනද කාදිනල් තුමන්ගේ පාර්ශවයෙන් එම හමුව අවලංගුකර තිබේ.
ඒ දේශපාලනඥයින් ගේ බල ව්‍යපෘති සම්බන්ධයෙන් සැක මතු කරමිනි. පසුගිය සඳුදා 'රතු ඉර' වැඩසටහන සම්බන්ධයෙන් මතුව ඇති සැකය ඊට ආසන්නම සිද්ධිය ලෙස සැලකේ.
සජිත් නිදහස් දින උළෙලට නොගිය හේතුව ?
විපක්ෂ නායකවරයා මෙවර නිදහස් දින උළෙලට සහභාගිවීමට සුදානම්ව සිටියද එය වැලක්වුයේ ද හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් බවට එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරති.
ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සජබ මාධ්‍ය අංශයේ සාමාජිකයකු පැවසුයේ, පෙබරවාරි 01 දා රාත්‍රී හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිෂොප් හවුස් වෙත ගොස්, පාස්කු සිද්ධියට විරෝධය පළකරමින් මෙවර නිදහස් උත්සවය වර්ජනය කිරීමට තම පක්ෂය තීරණය කර ඇතයි දැනුම්දී ඇති බවත්, ඒ මොහොත වනවිට පක්ෂය එවැනි තීන්දුවක් ගෙන නොතිබූ බවත් කියා සිටියේය.
'' විපක්ෂනායකතුමා නිදහස් උත්සවයට යන්න හිටියේ. ඒත් මෙයාල දෙන්න ඩෙනින්ටන් සුබසිංහ පියතුමාත් එක්ක බිෂොප් හවුස් එකට ගිහින්, විපක්ෂනායකතුමා නිදහස් උත්සවේ වර්ජනය කරනවා කියලා බොරුවක් කියල.. ඒත් නායකතුමා එකට එකඟ වුනේ නැ . පස්සේ පෙබරවාරි 03 වෙනිදා රැ චමිත් විජේසුන්දරගේ උපන්දින පාටියේදී මේ දෙන්න නායකතුමාට කියලා කාදිනල්තුමා නිදහස් උත්සවේ වර්ජනය කරනවා කියල. . ඒ නිසා මෙදා පාර නිදහස් උත්සවේට නොගිහින් විරෝධය පළකරමු කියල. අන්තිමට නායකතුමා ඇහුවේ මේ දෙන්න කියපු දේ.. ඇත්තටම හරින්ලා දැන් නායකතුමා කියනදෙයක් අහන්නේ නෑ . එයාලට ඕන විදියට වැඩකරන්නේ. '' යයි ද සජබ මාධ්‍ය අංශ ක්‍රියාකාරිකයා සඳහන් කළේය.
චමිත් විජේසුන්දර ගේ උපන්දා සාදය අවස්ථාව !
'' හරින්ලා දැන් වැඩකරන්නේ චම්පිකලත් එක්ක. මේ කට්ටිය දැන් රනිල් එක්ක රහස් කතා කරනවා කියලත් ආරංචියි.. අපි ඕව නායකතුමාට කිව්ව ම හරි හරි මම බලාගන්නම් කියනවා.. '' යයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මංගල නම් ප්‍රතිවාදියා ගැන අගමැති කියපු ටික !
අභියෝග හමුවේ ද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක්ව ගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් අද (11) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහතින්,
"ගරු කථානායකතුමනි,
ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ දේශපාලනඥයෙකු ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් උසස් අධ්‍යාපන ආයතනයෙන් පළමු උපාධිය ලබාගෙන 1983 දී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබුවා.
1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක ධූරය ට පත් වූ මංගල සමරවීර මහතා 1989 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එදා ඉඳන් වසර 31 ක් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා.
ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ටම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක් වගේම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්.
ගරු කථානායකතුමනි,
1989 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කළ ඔහුගේ පළමු කථාවේ ඉඳන් 2020 පෙබරවාරි මාසයේදී කළ අවසන් කථාව දක්වා කළ කථාවලින් එම දේශපාලන දර්ශනය මනාව පැහැදිලි වෙනවා. 1988/ 89 භීෂණ සමයේදී පැවති අවනීතිය සහ අසාධාරණයන්ට එරෙහිව මංගල සමරවීර මහතා මව් පෙරමුණ නිර්මාණය කළා. මා එහි සම කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා.
1977 සිට 1994 දක්වා පැවති 17 වසරක මහජන පීඩාකාරී පාලනයට එරෙහිව, විශේෂයෙන් 88/ 89 භීෂණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මා මෙහෙයවූ අරගලවලට සහ පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මංගල සමරවීර මහතා එදා කළ මෙහෙවර මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
ගරු කථානායකතුමනි,
1994 වර්ෂයේදී පළමු කැබිනට් අමාත්‍ය ධූරයට පත් වු දා සිටම විවිධ රජයන් වල වගකිව යුතු අමාත්‍ය ධූර රැසක් හොබවනු ලැබුවා. තැපැල් හා විදුලි සංදේශ, නාගරික සංවර්ධන, වරාය හා ගුවන් සේවා, ජන මාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධූර දරමින් තමන්ට පැවරුණ විෂය පථයන් නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා සෑම අවස්ථාවකම උත්සාහ කළා.
සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ ඔහු දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙකි. අභියෝග හමුවේද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර මහතා එම මතවාද වෙනුවෙන් නිරතුරු ව පෙනී සිටියා.පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද මිය යන තුරුම මංගල මාගේ පෞද්ගලික මිතුරෙක් වුණා.
ගරු කථානායකතුමනි,
මා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේ දී, මා වෙත විවිධ අභියෝග රැසක් පැමිණුනා. ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැප කිරීම මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
ඔහු දේශපාලන ජීවිතය පුද්ගලික ජීවිතයට ගාව ගත්තෙ නෑ. පාර්ලිමේන්තුවේ දරණ දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් වුනෙත් නෑ.
මංගල දැඩි විවේචකයෙක්. ඉතාම තියුණු විධියට තමන්ගෙ ප්‍රතිවාදියාව අපහසුතාවයට පත් කරන්න සමත් ප්‍රචාරකයෙක් හැටියට කා අතරත් ප්‍රකටයි.
මංගල ලිබරල් මතවාදය දැරුවත් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළේ ඒ පළාතේ තිබුණ සංස්කෘතික පසුබිම පදනම් කර ගෙන බව අපි දන්නවා.
ඇමති ධූර දැරූ සෑම අවස්ථාවකම තමන්ගෙ පාක්ෂිකයා වෙනුවෙන් විශේෂ කැප කිරීම් කරන්න ඔහු අමතක කළේ නෑ. ඒ නිසාම එතුමාගේ ආසනයේ සහ දිස්ත්‍රික්කයේ කීර්තිය හා ජනප්‍රියත්වය නොඅඩුව ඔහුට හිමි වුනා.
මංගල දේශපාලනයෙන් ඉවත්වෙන කොට එතුමාගේ මරණයෙදි වගේම මම ගොඩක් කණගාටු වුණා. ඒකට හේතුව වුනේ
මංගල කියන්නේ දේශපාලනයේ සිටිය යුතුම දේශපාලනඥයෙක්. තරඟ කළ යුතු, සටන් වැදිය හැකි ප්‍රතිවාදියෙක්.
දේශපාලනයෙන් සමුගන්නවා කිවුවහම මම කතා කරලා මංගලට කිවුවා “මංගල තව දුරටත් ඔබ දේශපාලනයේ ඉන්න ඕනෙ” කියලා. ඒකට හේතුව මංගල වගේ ප්‍රතිවාදියෙක් මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා. ඔහු කොයිම වෙලාවකවත් දේශපාලනය පුද්ගලික ජීවිතයට ගාවගෙන පලිගැනීම් කරන්න වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්.
ගරු කථානායකතුමනි,
පාර්ලිමේන්තුවේ හෝ මහජන සභාවල අපි අතරෙ තියෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් පැහැදිලිව විවේචනය කර ගන්න ඕනෙ. ඒවා තියුණු වෙන්නත් පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය පිළිබඳ කාරණාවලදී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක් නොවන බව මතක තියාගන්න.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපූර්ව චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ අභාවයෙන් සංවේගයට පත් එතුමාගේ වැඩිමහල් සොහොයුරිය වන ජයන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට මාගේ සහ රජයේ ශෝකය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.
ස්තුතියි.

අධිභාර පනතින් අර්ථ සාධක අරමුදල නිදහස් කරන්න : සාධාරණ සමාජය ඉල්ලයි !
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ඔහු එහිදී පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“රජයේ සේවයේ නොමැති අතිවිශාල ජන කොට්ඨාසයක් අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වී තිපෙනවා. විශ්‍රාම යන විට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ එම මුදලින් නිවාසයක් සාදා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම, දරුවන්ගේ විවාහ කටයුතු සඳහා උපයෝගී කර ගැනීම වැනි පවුලේ කටයුතුයි.
අසරණ සේවකයන්ගේ එකම සම්පත වන අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපගේ අදහසයි. ඇතැම් බලවත් පුද්ගලයින් කොටස් වෙළෙඳපොළ හරහා මෙම අරමුදල පාවිච්චි කළ බොහෝ අවස්ථා අපි දැක්කා.
මෙම අසරණ ජනතාවගේ මුදලින් කෝටිපතියන් බිහි වූ අවස්ථා බොහෝ යි. එම පනතින් “අර්ථසාධක අරමුදල” ඉවත් කරන ලෙස අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

විදුලි කප්පාදුවක් අත ළඟ !
කැලණි තිස්ස බලාගාරය හෙවත් නැප්තා බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් වන්නේ අදට (11) පමණක් බව විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි සඳහන් කරනුයේ , අද රාත්‍රියෙන් පවතින ඉන්ධන අවසන් වීමට නියමිත බවයි.
බලාගාරයේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් ඊයේ, ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාදුන් බව ඔහු සඳහන් කර ඇත.
එහෙත්, එය ප්‍රමාණවත් වන්නේ අද දිනය සඳහා පමණයි.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව, මෙගාවොට් 165 කි.
අද දිනය තුළ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් බලාගාරය අක්‍රීය වන බව ඇන්ඩෘ නවමුනි සඳහන් කළේ ය.
පසුගිය 2 වැනිදා සිට කැලණිතිස්ස ඩීසල් බලාගාරය ද අක්‍රීය කෙරුණේ ඉන්ධන නොලැබීම හේතුවෙනි.
සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් හෙට සිට යළි විදුලිය සැපයුමට බාධා එල්ල විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
මිල දීගත් ඉන්ධන සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවා ඇති මුදල රුපියල් බිලියන 20 කි.

නිමල්ගෙන් හයිය අරගෙන: ආණ්ඩුවේ රැසක් ආණ්ඩු විරෝධයේ !
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මත 25%ක අධිභාරයක් පැනවීමට විරුද්ධව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ බරපතළ විවේචනය සමග ආණ්ඩුවේ වැඩ සම්බන්ධයෙන් විරුද්ධව අදහස් දක්වන මැති ඇමතිවරුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
දේශපාලන නිරීක්ෂකයන් මේ බව පෙන්වා දෙයි.
ඒ අනුව මෙයට පෙර උදය ගම්මන්පිල, විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදය කොරෝනා වසංගතය නිසා සිදුවූවක් නොවන බව ප‍්‍රකාශ කර තිබිණි. ඉන්පසුව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව හෘදය සාක්ෂියත් සහිත පුද්ගලයෙකු හැටියට එකඟ නොවිය හැකි බව ප‍්‍රකාශ කර තිබිණි.
මේ අතර ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මෙයට දින කිහිපයකට පෙර ප‍්‍රසිද්ධ ජන හමුවකදි කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනය කර තිබිණි. ඔහු ප‍්‍රකාශ කර තිබුණේ ”අපි මුලින් පැණි බිව්වා. පැණි පෝලිම් පස්සේ ගියා. මුට්ටි පා කරා. මිථ්‍යාව පස්සේ ගියා. ඒකෙන් අපට වැරදුණා.” යනුවෙන්ය.
ඊට අමතරව ඊයේ (10) සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ ලාභ මත 25%ක අධිභාරයක් පැනවීමට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී තම අදහස් පළ කරන බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ප‍්‍රකාශ කළේය. ඔහු මෙම ප‍්‍රකාශය කළේ අන්තර් සමාගම් සේවක සංගමය විසින් කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව කරුණු විමසීමෙන් පසුවය.

ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත සයිනයිඩ් කරලක් - පුබුදු
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත බුරියානි එකක් අස්සෙ දාලා සයිනයිඩ්කරල දෙනවා වගේ වැඩක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත හරහා ඉතාම බරපතළ දෙයක් ආණ්ඩුව කරන්න හදනවා. බුරියානි එකක් අස්සෙ දාලා සයිනයිඩ් කරල දෙනවා වගේ වැඩක් මේ කරල තියෙන්නෙ.
ඉඩම් වලට අදාල යම් හොඳ කරුණු ගණනාවක් දාලා ඇතුලට ඔබල තියෙනවා ලංකාවේ ගොවියගෙ ඉඩම් අහිමි කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්ම. මේ පනත් කෙටුම්පතේ 4 වෙනි වගන්තියට අනුව ඉඩම් සංවර්ධන ආඥා පනතේ දහ නමය හය උප වගන්තියෙ එක දෙක කියන කොටස් ටික වෙනස් කරනවා.
ලංකාවේ ගොවියන්ගෙන් තමන්ටම කියලා ඉඩමක් තියෙන ගොවීන් ප්‍රමාණය ඉතාම අවමයි ලංකාවේ. ගොඩක් ගොවීන් රජයේ ඉඩම්වල වගා කරන්නේ. ඔවුන්ගෙන් 80% ක විතර ප්‍රමාණයක් ඉන්නවා කිසිම වලංගු ලියැවිල්ලක් නැතිව පරම්පරා ගනනක් තිස්සේ රජයේ ඉඩම් වල වවන අය. තවත් පිරිසක් ඉන්නවා ඒ අය රජයේ ඉඩම්වල වවනවා ඒ අයට ස්වර්ණභූමි ජයභූමි වගේ ඔප්පු ලබා දීලා තියෙනවා. එහෙම නැතිනම් වගා බලපත්‍ර ලබා දීලා තියෙනවා. ස්වර්ණ භූමි ජය භූමි ඔප්පු වල හා වගා බලපත්‍ර වල තියෙන ප්‍රධාන කාරණය තමයි ඒ ඉඩම් වල වගා කළ හැකි නමුත් ඒවා විකුණන්න බෑ. ඒක තමයි ඉඩම් ආඥා පනතේ 19 වගන්තිය නිශ්චිතව කියලා තියෙන්නෙ.
දැන් මේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ 4 වෙනි වගන්තියෙ කියනවා හත හය උප වගන්තියෙ ආ ඡේදය විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණ ද ඒ ඉඩම් කොටස බලපත්‍රලාභී වාණිජ බැංකු, රාජ්‍ය උගස් සහ ආයෝජන බැංකුව, ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ලියා පදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ වෙනත් නියමිත ආයතනයක් වෙත උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැති අවශ්‍ය නොවන්නේය කියල. දැන් ඉඩම් අන්සතු කළ නොහැකිය කියන වගන්තිය වෙනස් කරල අවශ්‍ය නම් උගස් කරන්න පුළුවන් කියලා වගන්තිය දාලා. ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට. එහෙමත් නැතිනම් මේ නම් කරල තියෙන රාජ්‍ය බැංකු ටික. එහෙමත් නැතිනම් ලියා පදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ ආයතනයක්. ඒ කියන්නේ මහ බැංකුවේ මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි කරනු ලැබූ ඕන කෙනෙකුට තමන්ගේ ඉඩම උගස් කරන්න පුළුවන්. අපි අහනව උගස් කිරීම සඳහා ප්‍රතිපාදන දෙන්නේ මොකක් යටතේ ද? උගස බේරගන්න බැරුව අදාල මූල්‍ය ආයතනයට ඉඩම සින්න වුණොත් මොකද වෙන්නේ. ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා ඒවා වෙළෙඳ පොළට මුදාහැරලා ඒවා විකුණන්න සලස්වලා ගොවියාට ඉඩම අහිමි කරල දැවැන්ත ඒකාධිකාරී සමාගම් ඒ ඉඩම් සතු කරගන්න සැලසුම් ප්‍රමාණයක් පහුගිය කාලය පුරා ආවා. ආසන්න උදාහරණ ගත්තොත් , එම් සී සී ගිවිසුම ආවා. එම් සී සී ගිවිසුමෙන් උත්සාහ කළේ ගොවීන්ට විකිණිය හැකි ඔප්පු ලබා දීලා ඒක හරි ලොකුවට කිව්වේ ගොවියා වගාකරන ඉඩමට ගොවියට අයිතිය ලබා දෙනවා කියලා.
යහපාලන ආණ්ඩුව ඉඩම් බැංකු පනත කියලා පනතක් ගෙනාවා. 2017 ඒ අය උත්සාහ කරා රජයේ ඉඩම් සියල්ල වෙළඳ භාණ්ඩ කරන්න.
එම්සීසී එකත් ලංකාවේ ජනතාව පරාජය කරා. ඉඩම් බැංකු පනතත් ලංකාවේ ජනතාව පරාජය කළා. 2017 යහපාලන ආණ්ඩුව ගෙනාවා ඉඩම් විශේෂ විධිවිධාන පනත කියලා එකක්. ඒ පනත හරහා උත්සාහ කළේ ගොවියන්ගේ ඉඩම්වලට ඔප්පු දීලා ඒ ඔප්පු හරහා ගොවියන්ගේ ඉඩම් විකිණිය හැකි ඒවා බවට පත්කරන්න.
ඒකත් අකුල ගන්න සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුවක් දුන්නා ඒ පනත නීතිවිරෝධී, ගොවියන්ගේ ඉඩම් වෙළඳපොළට මුදා හරින්න බෑ, ඉඩම් විෂය අදාළ පළාත් සභා වලට නිසා එවැනි නීතියක් සම්මත කරනවා නම් සියලු පළාත් සභා ඒකට අනුමැතිය දිය යුතුයි කියලා අධිකරණයේ තීන්දුවක් තිබුණා. ගම්මන්පිල ම්හත්තය කිය කිය හිටියේ එම්සීසී උපක්‍රමිකව පැරැද්දුවා. අපි එහෙම තමයි වැඩ කරන්නේ කිය කිය හිටියෙ. දැන් අන්තිමට වෙලා තියෙන්නෙ එම්සීසී එකේ තියෙන ප්‍රධානම පියවරක් පනත් කෙටුම්පතට ඇතුළු කරල තියනවා. හොර නාඩගම එක්ක වෙච්ච තත්ත්වය නිසා සුළු ගොවිය ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ. සුළු ගොවියා ඉඩම උගස් කරාට පස්සේ ඉඩම බේරගන්න බැරිවෙනවා. බේරගන්න බැරි උනාට පස්සේ මූල්‍ය ආයතනය තමන්ට සින්න වෙච්ච ඉඩම විකුණනවා.
ඉඩම විකුනනකොට දැවැන්ත කෘෂි සමාගම් ඒකාධිකාර සමාගම මේක මිලට ගන්නවා.
මැඩගස්කරයේ ගොවීන් චිරාත් කාලයක් තිස්සේ වගා කළා රජයේ ඉඩම් වල.ලංකාවේ මහවැලි අධිකාරියෙන් ඉඩම් දුන්න වගේ රජයේ ඉඩම්දී ලා තිබුණා ගොවීන්ට. මැඩගස්කරයේ ප්‍රධාන ආදායමක් තමයි එලවලු අපනයනය, එළවළු වගා කරා ගොවීන්.
නීති වෙනස් කරල ගොවියට ඉඩම විකිණීමේ අයිතිය දුන්නා. එක කන්නයක ප්‍රශ්නයක් වෙලා වවන්න ඕන වෙද්දී වවන්න සල්ලි නැතුව ගොවියෝ ඉඩම් උගස් කළා. උගස් කළේ දකුණු කොරියානු ඩේව් සමාගමට සහ ඉන්දියාවේ වරුන් ඉන්දියා කියන සමාගමට හෙක්ටයාර ලක්ෂ ගණන් මිලියන ගණන් උගස් කළා මේ සමාගම් වලට. කන්න දෙකයි පාඩු වුණේ ඒ ඉඩම් ටික ඔක්කොම සින්න උනා මේ සමාගම් වලට. අද මැඩගස්කර ගොවියා තමන් වගා කරපු ඉඩම් වල සමාගමක කුලී කරුවෙක් ලෙස වගා කරමින් ඉන්නවා.
මෙන්න මේ තත්වයද දැන් මේ වෙන්න යන්නේ කියල අපි අහනව. අපි අහනවා ආණ්ඩුව ඇතුළේ පක්ෂ 11 කියලා කට්ටිය කෑ ගගහ හිටිය නේ, ඒගොල්ලො කෝ?. කැබිනට් මණ්ඩලයේ මේවා අනුමත වෙද්දි ඒගොල්ලො කොහෙද හිටියේ?.”

කිරි පිටි ආනයන සමාගම් දූෂිතයි : බුද්ධික පතිරණ කියයි !
අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් දූෂිත ක්‍රියාවල නිරතවන බව හිටපු පාරිභෝගික කටයුතු අමාත්‍යය බුද්ධික පතිරණ පවසයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන පාම් තෙල් මිශ්‍ර බාල කිරි පිටි දිය කර ව්‍යාජ ලෙස සකස් කළ යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට ඔහු චෝදනා කරයි.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ක්‍රියාව මගින් පාරිභොගිකයන් විශේෂයෙන්ම කුඩා දරුවන් රැවටීමට ලක් කරන බවයි.
ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බවයි.

ආණ්ඩුවේ අත්තනෝමතික වැඩ නිසා : ජපානයෙන් දඬුවමක් !
ජපානයෙන් ලංකාවට ලැබෙන ආධාර 2019 ට සාපේක්ෂව, 2020 වසරේදී 94%කින් අඩු වී ඇති බව දැනගන්නට ඇත.
ඊට අනුව 2019 වසරේදී යෙන් බිලියන 42.7 ක මුදලක් ලංකාවට ලැබී ඇති අතර, 2020 දී ලැබී ඇත්තේ යෙන් බිලියන 1.4 කි.
ජයිකා ආයතනයේ දත්ත මත පදනම් වී මාධ්‍ය මෙම කරුණු හෙළි කර තිබේ.
මෙරටට ලැබෙන ජපන් ආධාර මෙසේ දැවැන්ත ලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව,ජපන් ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබුණු සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමීම බවද දැනගන්නට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඕන නෑ : මහ බැංකු නිවේදනයක් !
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ණය ගෙවීම දුෂ්කර වී ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා ප්‍රතිකේෂ්ප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.
එය පහත දැක්වෙයි.
ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම
ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කනගාටුවට කරුණකි. එබැවින්, සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.
2022 වසරේ ජනවාරි මාසයේදී කල් පිරුණු එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථක ලෙස පියවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එවැනි පියවීමක් කළ නොහැකි වනු ඇති බවට සමහර පාර්ශ්වයන් අතර ඍණාත්මක අනුමාන කිරීම් තිබියදීය. 2020 වසරේ ජනවාරි මස පටන් එ.ජ. ඩොලර් බිලියන 2.5ක මුළු වටිනාකමක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම් සමඟ දැනට නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී ඇති අතර, එය 2022 වසරේ ජුලි මාසයේදී එ.ජ. ඩොලර් බිලියන 11.55ක් දක්වා තවදුරටත් අඩු වනු ඇත. එය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් දක්වා පමණ ක්‍රමානුකුලව අඩු කර ගැනීමේ රජයේ අරමුණ සමඟ පුළුල්ව අනුකූල වේ. මෙම අරමුණු වෙනුවෙන්, 2022 වසරේ ජුලි මාසයේදී කල් පිරෙන එ.ජ. ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයද ඇතුළු, ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සැලසුම් ගණනාවක් හරහා විකල්ප විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කර ගැනීමට රජය සහ මහ බැංකුව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.
මෙම පසුබිම තුළ, අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කරගැනීම් සහ එමඟින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් (මෙම මාධ්‍ය වාර්තාවල දක්වා ඇති ආකාරයට) මේ මොහොතේදී මතු නොවේ.
ඒ අනුව, අනාගත ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන් දුර්මත පතුරුවා හරින ඇතැම් පාර්ශ්වකරුවන්ගේ සාවද්‍ය කරුණු, නොමඟ යවන සුලු මත සහ වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස මහජනතාව සහ ආයෝජක ප්‍රජාව වෙත මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.

කෝටි 3ක හඬපටයක් ලීක් වෙලා : කවුද ඒ ලොක්කා ?
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවටද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.
රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.
මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
-lankadeepa

මරික්කාර් අගමැතිගෙන් ගේම ඉල්ලයි : සල්ගාදු පිටියේ රැළියක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (9) පැවැති ජනරැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝගය බාර ගනිමින් තම පක්ෂයද ලබන මාසයේදී එම ක්‍රීඩාංගණයේදීම ජනරැලියක් පවත්වන බව සමඟි ජනබල වේගය පක්ෂය පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව සදහන් කර සිටියි.
ඔහු පවසන්නේ රජය විසින් කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තම පක්ෂය රජයට අභියෝග කරන බවය.
එවිට සැබෑ ජනරැල්ල ඇත්තේ කාටද යන්න සෑබෑවටම දැකගත හැකිවනු ඇතැයිද මන්ත්‍රීවරයා පවසයි.
සමඟි ජනබලවේගයට කුඹුර, මහපාර, වැල්ල මෙන්ම ඕනෑම ජන්දයක්ද ඔට්ටු යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.
Page 369 of 463