Language Switcher

V2025

21 බකල් කර - GL අගමැති කර : යළි බලය අල්ලන්න බැසිල්ගේ ගේමක් !

අමාත්‍ය ජී.එල්. පීරිස් අගමැති ලෙස පත්කර යළිත් ආණ්ඩුව පොදුජන පෙරමුණ යටතට ගැනීමට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දේශපාලන මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (27) බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පවත්වා ඇත .

ඊට පක්ෂයේ ප්‍රබලයන් 22 ක් කැඳවා තිබූ බව වාර්තා වන අතර , නාමල් රාජපක්ෂ , ගාමිණී ලොකුගේ , ප්‍රසන්න රණවීර , ඉන්දික අනුරාධ, දිලුම් අමුණුගම, සංජීව එදිරිමාන්න , සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගීවී සිටි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බැසිල් රාජපක්ෂ විසින් දැඩිව විවේචනය කර ඇති බවත් , මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ජනමතයක් සැකසීම මිස ඔහුගේ ගුණ වැයීම නොවන බවත් පවසා ඇතැයිද සඳහන් ය.

ඒ සඳහා සුදුසුම ක්‍රියාවලිය වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය දියත්කර ඇති රනිල් විරෝධය සඳහා සහය දීම බව පවසා ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව පක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අලුත් අදහස් නැත්නම් සජිත්ගේ සජබ දියත්කර ඇති රනිල් විරෝධය ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදුන් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර යි.

පක්ෂ නායකයන්ගේ එකඟතාව !

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 21 වන සංශෝධනය ආකාරයෙන් නැවත බලාත්මක කිරීම පළමු පියවර ලෙස ත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දෙවන පියවර ලෙස ත් සිදු කිරීමට පක්‍ෂ නායකයෝ එකඟවූ බව වාර්තා වෙයි .

ජනාධිපතිවරයාට ආරක්‍ෂක අමාත්‍ය ධූරය තබාගත හැකි ද නැද්ද යන්න පිළිබඳ පක්‍ෂ නායකයන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

පක්ෂ නායකයන් මේ පොදු එකඟතාවයට පැමිණ ඇත්තේ , 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති හමුවේදී ය.