V2025

පුවත්

තෙත් බිම් හරහා ඉදිවෙන අධිවේගී මඟ උසාවියෙන් අත්හිටුවයි

තෙත් බිම් ලෙස සැලකෙන තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.

මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු අදාල අතුරු නියෝගය බලාත්මක වන බවද අභියාචනාධිකරණය නියම කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළේ තලංගම ප්‍රදේශයේ පදිංචි කරුවකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ අද (21) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. සුහදරත්න  ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු එකොලොස් දෙනකු නම් කර ඇත.

ජාතික පරිසර පනතේ 24 (04) වගන්තිය සහ ජාතික තෙත්බිම් ප්‍රතිපත්තිය පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරමින් මෙම නියෝගය ලබාදුන් බව මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර ඇගැයීම් වාර්තාව ද ලබාගෙන නොමැති බැවින් තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන බවද එම නියෝගයේ දැක්වේ .

මෙම රිට් පෙත්සම විභාග කර අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන බව ද අභියාචනාධිකරණය අදාල නියෝගයේ සඳහන් කර ඇත.

තලංගම තෙත්බිමේ පරිසර පද්ධතියට හානිවන අන්දමින් මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරංග විමලසේන  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොවිඩ් මරණ 16,024ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 30ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16024ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇති බවය.

ඉන්ධනත් නෑ - ජලාශත් හිඳෙයි - විදුලි කප්පාදුවට අවසර !

මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද(21) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.

මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍යය වෙත් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

විදුලි කප්පාදුවට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ ප්‍රමාණවත් ලෙස ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිය නිෂ්පාදනයක් සිදු නොවීමය.

ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

වික්ටෝරියා පතුලට හිඳිලා !

මේ අතර මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් ඇති බවත් වාර්තා වෙයි.=

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද වාර්තා වෙයි.

තෙලුත් නෑ !

එසේම මේ වන විට බලාගාර වෙත තෙල් සැපයීම ඇණහිට ඇති නිසා ඒවා ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් මතුව ඇත.

තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාව වෙත ණය නොදෙන ලෙස බැංකු වෙත මහ බැංකුව විසින් නියෝග කර ඇති අතර , ඛනිජ තෙල් සංස්ථාව ද පවසන්නේ මුදල් නොමැති නම් ඉදිරියට විදුලි බල මණ්ඩලය වෙත ඉන්ධන නිකුත් නොකරන බවයි.

 

 

මධ්‍යම අධිවේගයේ කෝටි 16,000ක දූෂණයක් : දූෂණ විරෝධීන් අධිකරණයට !

මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමත කරනලද කැබිනට් සංදේශයක් අනුව රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය මංකොල්ලයක් සිදුකිරීම වලක්වන ලෙස ඉල්ලා අධිකරණය වෙත යන බව 'දූෂණ විරෝධී හඬ' සංවිධානය පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන අතර කොටස ඉදිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩරය හරහා මෙම මූල්‍ය අපරාධය සිදු කිරීමට යන බව පැවසු වසන්ත සමරසිංහ, ඒ සම්බන්ධයෙන් කරුණු කාරනා රැසක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

මෙය වලක්වා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවට යාමේ කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව ඔහු එහිදී අවධාරණය කරනු ලැබීය.

දූෂණ විරෝධී හඬ සංවිධානය පවසන්නේ, ටෙන්ඩර් කැදවීමේදී සිදුවූ වංචාව වසන් කිරීමට ආණ්ඩුව බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.

ගම්මන්පිල හිරවෙයි : ඛනිජ තෙල් සංස්ථාවට ණය නොදෙන්න නියෝගයක් !

මේ වන විට ආණ්ඩුවේ සිටින මුදල් ඇමති බැසිල් විරෝධී පාර්ශ්වය නියෝජනය කරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බරපතළ අපහසුතාවට පත්වෙන ආකාරයේ නිවේදනයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් නිකුත්කර ඇත.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයිද පැවසේ.

මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද මහ බැංකු අධිපති රජයට වැඩිදුරටත් දැනුම්දී ඇති බවත් මාධ්‍ය වාර්තා පළවෙයි.

තවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසන බවත් එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.

" ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් උපුටා දක්වමින් ලංකාදීප පුවතක සඳහන් වෙයි.

 

සමාජ මාධ්‍යට මොකද වෙන්න යන්නේ ?

සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

 එය අතවශ්‍ය කාර්යක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා එබව පවසා සිටියේ, ඊයේ (19) අරාධපුරයේ පැවති වැඩසටහනකදී ය.

පසුගිය සමයේ වාර්තාවූ ඇතැම් සිදුවීම් සැළකිල්ලට ගෙන සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

කෙසේවුවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් පළකර නොමැත.

පාස්කු ප්‍රහාරය : යුක්තිය පතා කාදිනල් ජිනීවා යන්න සූදානම් වෙයි !

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යාමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට තව දින කිහිපයකින් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් අතිඋතුම් පාප් වහන්සේ හමුවීමටද නියමිතය.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට වූ අනුමැතිය පාප් වහන්සේගෙන් ලබා ගැනීමට කාදිනල් හිමියන් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් කාදිනල් හිමි පවසා සිටියේ ,
වත්මන් රජය සහ නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවය.

එහිදී කාදිනල් හිමි මෙසේද පවසා ඇත.

“දැන් අවුරුදු තුනක් ඉවර වෙන්නත් යන කාලේ වෙනකොට කොයිතාක් දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවලා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා.

දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම. මේ රටේ අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නැහැ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන ඒක වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබා දීලා මේක විහිළුවක් කරලා.

කවද හරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයෝ නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒකෙ එදාට සිදු වෙනකන් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”

බඩු ශුවර් : තෙල් හිඟය අත ළඟ - ගම්මන්පිල

නුදුරු අනාගතයේදී තෙල් හිඟයක් මෙරට තුළ ඇතිවන බවට පෙරේදා දිනයේදීත් අනතුරු ඇඟවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි.

ඔහු ඊයේ(19) පිවිතුරු හෙළ උරුමය සංවිධාන කරනු ලැබූ උත්සවයකට එක්වෙමින් කියාසිටියේ තමන් මීට පෙර ද දෙවතාවක් පමණ මෙම අනතුරු ඇඟවීම කළ බවයි.

ඉන්ධන සදහා මහ බැංකුව අය කරගනු ලබන බදු මුදල් ඉවත් කරන්නේ නම් ඉන්ධන මිල වැඩි නොකර ජනතාවට සහන සැලසීමේ අවස්ථාව හිමිවන බව අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී කීය.

ඩොලර් අර්බුදය හමුවේ මුල්ම ගැටලුව ආ යුත්තේ ඉන්ධන සඳහා මත වුවත් ගෑස්, සිමෙන්ති, කිරිපිටි ආදී භාණ්ඩ එකින් එක හිඟයන් මෑතකාලයේදී ඇතිවුවද තෙල් හිඟයක් ඇති නොවිමට පසුගිය මාස 8 කාලය පුරාම වගබලා ගත් නමුත් ‘මට තවත් නම් ඒ සහතිකය දෙන්න බෑ කියලා මම ඊයේ කිව්වා’ යැයි අමාත්‍යවරයා කියාසිටියේ ය.

‘අවුරුද්ද පුරාම අපිට ඇහුණේ ඩොලර් නෑ කියන එක. ඒක මදිවට දැන් සංස්ථාව රුපියල් නැති ප්‍රශ්නෙකටත් මුහුණදීලා තියෙනවා. සංස්ථාව මේ වෙද්දී ඩොලර් බිලියන 3700ක් ණයයි. ඒක රුපියල් වලින් කිව්වොත් රුපියල් කෝටි 74000ක් ණයයි. රාජ්‍ය බැංකු දෙකටම ණයයි. බැංකුවලට මහ බැංකුව කියලා තියෙනවා මීට වඩා නම් ණයදෙන්න යන්න එපා. එක ආයතනයකට ඕනවට වඩා ණය දෙන එක අවදානම්. මීට වඩා තෙල් සංස්ථාවට ණයදෙන්න එපා කියලා.

කෙනෙක් අහන්න පුළුවන් මගේ වාහනේට මම කවදාවත් ණයට තෙල් ගැහුවේ නෑ. එහෙනම් එහෙනම් මොන ඇන්නෑවටද තෙල් සංස්ථාව ණය අරන් තියෙන්‍නේ කියලා. මිත්‍රවරුනි. තෙල් සංස්ථාව දීර්ඝ කාලයක තිස්සේ තෙල් විකුණලා තියෙන්නෙ පාඩුවට. ගන්න ගානට වඩා අඩුවට. මෙන්න මෙහෙම අවුරුදු 15ක් 20ක් තිස්සේ පාඩුවට තෙල් විකුණලා විකුණලා තමයි කෝටි 74000ක ණයක් තියෙයන්නේ. ඒ මදිවට ලංකා විදුලිබල මණ්ඩලයට රටට විදුලිය දෙනවනේ කියලා බාගෙට බාගයක් අඩුවට තමයි දැවිතෙල් දීලා තියෙන්නේ. 140ට අරන් 70ට විදුලි බල මණ්ඩලේට දීලා. ඒ 70වවත් මේගොල්ලෝ ගෙවන්නේ නෑ. මෑතක ඉඳන් විදුලිබල මණ්ඩලයේ ණය රුපියල් බිලියන 100ක්. දැන් ඔන්න මිලියන 80000ට බැහැලා තියෙන්වා. ඒ කියන්නේ කෝටි 8000ක්. ඔන්න ඔයවගේ දේ නිසා තමයි තෙල් සංස්ථාවට තෙල් ගන්න ණය වෙලා තියෙන්නේ. මම නතර කළා ණයට තෙල් විකුණන එක. නමුත් පරණ ණය අයකරගන්න ඉතාම දුෂ්කර තත්ත්වයකයි තියෙන්නේ.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

පොහොට්ටු බලකොටුවක බලය සජබට !

පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස සැලකෙන ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ කොට්ඨාසයේ සමුපකාරයේ බලය සමගි ජන බලවේගය විසින් හිමිකර ගනු ලැබීය.

මෙම සමුපකාරය කාරක සභිකයින් 88කගෙන් සමන්විතය. පැවැති ඡන්දයේදී සමගි ජන බලවේගයට එහි කාරකසභිකයින් 48 දෙනෙකු ගේ බලය හිමිවිය.

පොදුජන පෙරමුණට දිනාගත හැකි වූයේ කාරක සභිකයින් 40ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ නියෝජනය කරන්නේ බද්දේගම ආසනය වන අතර එහි සමගි ජන බලවේගය සංවිධායකවරයා වන්නේ බන්දුලාල් බණ්ඩාරිගොඩ ය.

මීට පෙර නිවිතිගල සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමට ද සමගි ජන බලවේගය සමත් විය.

දිවයින පුරා ග්‍රාමසේවක පුරප්පාඩු 9000ක් !

මෙරට ග්‍රාම නිලධාරීන් 9000ක පුරප්පාඩු ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කරන්නේ මේ හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වැඩ ආවරණය කිරීමට එක් නිලධාරියෙකුට සිදුව ඇති බවය.

පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට මේ වනවිට අයැදුම්පත් කැඳවා අවසන් නමුත් එය මෙතෙක් පවත්වා නැත.

අමාත්‍යංශ ලේකම් පවසා සිටින්නේ , විභාග දෙපාර්තමේන්තුව පසුගිය මාස කිහිපයේ කාර්ය බහුල වීම හේතුවෙන් ඒ සඳහා දිනයක් යොදා ගැනීමට නොහැකි වූ බවයි.

ඒ අනුව ලබන ජූලි මාසයේදි ඒ සඳහා වන තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය අමාත්‍ය පියල් : ආණ්ඩුවම ගවගාලක් කරලා ?

දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුවම ගව ගාලකට සමාන කිරීමක් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වෙතින් සිදුව ඇත.

ඒ "ගව ගාලක ගවයන් දෙන්නෙක් කලබල කරලා වැට කඩාගෙන ගියාට ඉන් ගවගාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ" යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීම නිසාය.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ 19 වනදා මහනුවර වැව රවුමේ උඩරට කලා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

මාධ්‍යවේදීන් එහිදී විමසා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අතර හඩ පට සිද්ධිය සම්බන්ධයෙන් ය.

රාජ්‍ය ඇමතිලා කලකිරිලා : වැඩත් වර්ජනයක !

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් එම අමාත්‍යංශවල රාජ්‍ය ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරි කටයුතු සම්බන්ධයෙන් හටගෙන ඇති බල අරගල හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව අමාත්‍යංශවල නිල කටයුතු වර්ජනය කිරීමට පවා පෙළැඹී සිටින බව වාර්තා වෙයි.

මේ ගැන වාර්තා වූ ආසන්නතම සිද්ධිය වන්නේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට දැරෑ උත්සාහයයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් එම ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්ව ක්‍රියාකළ බව දැනගන්නට තිබේ. සිය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍යංශයේ සංවර්ධන කටයුතුවලට වෙන්කළ මුදල් තමන්ට ලබානොදීම ඇතුළු චෝදනා රැසක් නගා ඇති ලන්සා මහතා පසුගියදා පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවයද වර්ජනය කළේය.

එසේම කර්මාන්ත අමාත්‍යංශය මගින් පසුගියදා සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් වර්ජනය කර තිබිණි. මෙකී සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අවස්ථාවට ලොහාන් රත්වත්තේ, දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණවීර යන කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් පැමිණ සිටියේ නැත. මෙයින් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ සමඟ බලතල සම්බන්ධ අවුලකට මැදිහත්ව සිටින බව වාර්තා වෙයි.

වරාය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරද තමන්ට හිමිව ඇත්තේ නාමමාත්‍ර රාජ්‍ය අමාත්‍ය තනතුරක් බව කියමින් පසුගියදා ප්‍රසිද්ධියේම දොස් නැගීය. මෙයට අමතරව බස්නාහිර පළාතේ තවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරියක්ද නැගෙනහිර පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකුද වයඹ පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් සිය අමාත්‍යංශවල වගකීම් පැවරීමේදී කැබිනට් ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරැන් අතින් සිදුව ඇති වැරදි සහ දෝෂ ගැන චෝදනා නගමින් සිටිති.

දැනට මෙරට රාජ්‍ය අමාත්‍යංශ 40ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් 10¼ක පමණ මෙවැනි රාජ්‍ය ඇමැති අර්බුද හටගෙන ඇති බව දේශය ඒ ගැන කළ විමර්ශනයදී හෙළිදරව් විය.

-deshaya

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නෑ - කාදිනල් හිමි

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (19) ”තිත” නමින් පාස්කු ප්‍රහාරයට අදාළ සියලු කොමිෂන් සභා වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම මඟින් සම්පාදනය කරන ලද කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

කිසියම් හෝ දිනෙක වත්මන් රජය නොමැතිව වෙනත් රජයකින් හෝ මෙයට යුක්තිය ඉටුවන්නේ නම් එය සිදුවෙන තුරු බලහිඳින බවයි උන්වහන්සේ කියා =සිටියහ.

”මේ රජය දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මේ කාරණාව සම්බන්ධව පැහැදිලිව දැනගෙන හිටපු එය වළක්වන්න මොනවත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම් ලබාදීලා. කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ නායකයොත් නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපට ඉෂ්ට වෙනවා නම් එය එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපට තියෙන්නේ. දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපට තබන්නට බැරි බව දැන් පැහැදිලිව පෙනෙනවා.”

නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි කාදිනල් හිමිපාණන් වහන්සේ තවදුරටත් සඳහන් කළහ.

”ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා තියෙනවා. ඒ වෙළුම් කිහිපය ඉල්ලා ලිපි යවල තියෙනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න කියල තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වීමයි. ඒ ගැන අපි ඇත්ත වශයෙන්ම බලවත් සේ කණගාටු වෙනවා. මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිලුවක තත්ත්වයට පත්කරලා තියෙනවා දැන් ඉන්න රජය. ඒක මම කෙළින්ම ඒ අයට චෝදනා කරනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

LNW

‘‘අපේ කැපකිරීමට පොහොට්ටුව සැලකිල්ලක් දැක්වුයේ නැහැ‘‘

අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පැවසීය.

සමහර අය එදා කිවුවා සජිත් තමයි දිනන්නේ අපි එතෙන්ට යමු කියලා. ඒ වෙලාවේ පක්ෂයේ බහුතර මතය වුණේ ඒක. නමුත් මම අපේ මධ්‍යම කාරක සභාව තළ පමණක් නෙමෙයි පක්ෂ සම්මේලනය තුළත් පැහැදිලිව ප්‍රකාශ කළා දේශපාලන වශයෙන් අපේ හදවතට සමීප පක්ෂය පොදු ජන පෙරමුණ කියලා.

ඒ නිසා අපි මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රාහණයට සම්මාදන් වෙන්න ඕනි එකතු වෙන්න ඕනි කියලා. ඒ පැත්තට ඔක්කොම නම්මවාගෙන වැඩ කටයුතු කලේ. ඉතිං ඒ අවස්ථාවේදී අපි පොහොට්ටුවත් එක්ක යම් යම් ගිවිසුම් ගහ ගත්තා . අත්සන් කළා කතා කළා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු කැපකිරීමට අපි ඒ කරපු සැලකිල්ලට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ. අපි ඇත්ත කියන්න එපැයි.

ඩලස්ගෙන් ලන්සාට සහතිකයක් !

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යනු දේශපාලන සොල්දාදුවෙක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ පසුගිය දිනෙක සීනෝර් ආයතනයේ පැවැති උත්සවයකදීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් " ලන්සා මම උඹට වැටෙන්න දෙනවා " කියූ තර්ජනාත්මක හඬ පටයක් පවා මේ වන විට සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් සරණය වෙමින් ඇති අතර ඒ පසුබිමේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත.

‘ලන්සා වගේ කෙනෙක්ට එහෙම වෙන්න මොනව හරි ලොකු ප්‍රශ්නයක් ඇති. හැබැයි මම එකක් දන්නවා. ලන්සා කියන්නේ හොඳ දේශපාලන සොල්දාදුවෙක්. පොලිටිකල් සෝල්ජර් කෙනෙක්. මම එහෙම කියන්නේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණාට පස්සේ අපි ඔක්කොම හිටියෙ විපක්ෂයෙ. ඒ වෙද්දි බැසිල් හිටියෙ රට. හැබැයි බැසිල් ලංකාවට එද්දී ඒ තිබ්බ වාතාවරණයත් එක්ක බැසිල්ව පිළිගන්න ලන්සා ගම්පහෙන් 1500ක 2000ක කණ්ඩායමක් අරන් එයාර්පෝට් එකට ගියා. ඒ වෙලාවෙ කාටවත් එහෙම කරන්න හයියක් තිබ්බෙ නෑ. ඒකයි මම කියන්නේ ලන්සා කියන්නේ හොඳ පොලිටිකල් සෝල්ජර් කෙනෙක් කියලා. දේශපාලනය කරද්දී ඒ වගේ සෝල්ජර්ස්ලා අවශ්‍යයි. ඒ වගේ අය නැතිකරගන්න එක පාඩුයි.’

( මූලාශ්‍රය මව්රට )

ගම්මන්පිලගෙන් අහස දෙදරවන තීන්දුවක් !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එළඹ ඇති බව වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය.

කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයටද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බවද අමාත්‍යවරයා පැවසීය.

 

විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි !

සැලසුම් කළ විදුලි කප්පාදුවක් අද (19) දිනය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත පවසා ඇත.

සැපයුම පවත්වාගෙන යාමේදී මෙගාවොට් 150 ක පමණ ඌනතාවයක් වරින්වර ඇතිවන බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කාලය බැගින් විදුලිය විසන්දි විය හැකි බවත් එහිදී ඔහු පවසා තිබේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමුකරමින් පස්වරු 6.00 න් පසුව විදුලි කප්පාදුවක් කෙසේවත් සිදු නොවන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ.

මහජන උපයෝගීතා කොමිසම ද මැදිහත්ව ඊයේ ලබාගත් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අද ලැබීමට නියමිතව බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණයෙන් විදුලි සැපයුම අද සහ හෙට කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළේය.

ලංකාවේ බාල තෙල් නෑලු !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවට ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කරන්නේ 2014 වසරේ තාක්‍ෂණ කමිටුවක් ලබාදුන් නිර්දේශයක් අනුව බව පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ සෑම ඉන්ධන පිරවුම්හලක තියෙන පෙට්‍රල් ඔප්ටේන් 92 බව සහතික කරන බව ද සඳහන් කළේය.

ඉන්ධන ආනයනය කිරීමට පෙර නැව්ගත කරන වරායේදී ස්වාධීන පරීක්‍ෂකයෙක් පරීක්‍ෂා කරන බවත් ආනයන කර පසු වරායේදී ලබාගන්නා සාම්පළ ස්ථාන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රමිතිය සහතික කිරීමෙන් පසුව රට තුළට ගැනීමට අවසර දෙන බවත් හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවට 2014 වසරේ ඔප්ටේන් 92 පෙට්‍රල් ආනයනය කිරීමට තීරණය කළ බව කී සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඔප්ටේන් 92 කට වැඩි ප්‍රමිතියෙන් යුක්ත බවයි.

Page 366 of 463