Language Switcher

V2025

21 ට  එරෙහිව  බැසිල් - සජිත් සන්ධානයක් : ජනාධිපති අද තීන්දුවක් ගනියි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරු 5.00 ට ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මේ බව සනාථ කර ඇත .

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතයි .

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් මේවනවිට කැබිනට් මණ්ඩලය වෙත මෙන්ම පක්ෂ නායකයන් වෙතත් ඉදිරිපත් කර තිබේ .

එහෙත් ඊට ඉදිරිපත්කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ දැනටමත් විරෝධය පළකර තිබේ .

අදාල ව්‍යවස්ථා කෙටුම්පතේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ අහුරා තිබීම ඊට හේතුවය.

පොදුජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පසුගිය දින කිහිපයේ වරින්වර ආණ්ඩු පක්ෂයේ සිය අනුගාමික මැති ඇමතිවරුන් කැඳවමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවිය යුතුබව අවධාරණය කර ඇත .

ඒ මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා බලතල රහිත නාමමාත්‍රීක තැනැත්තකු බවට පත්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව ශක්තිමත් වන බවත් පෙන්වා දෙමිනි .

එසේම, වහාම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කර පක්ෂයේ අයකු අගමැති කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් එහිදී අවධාරණය කර ඇති බවත් සඳහන් ය.

පසුගිය 09 වෙනිදා දේපල අලාභහානි වලට පත් මැති ඇමතිවරුන්ට සහන සලසාදීම සඳහා යයි කියමින් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයට කැඳවා තිබු මෙම සාකච්ජාවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සහභාගී ඇති බවත් වාර්තා වෙයි .

සජිත්ගේ පෞද්ගලික මතය !

මේ අතර 21 වන සංශෝධනයට සහය නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පවසා ඇත . එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ සමගි ජනබලවේගය තුළ මේ සම්බන්ධයෙන් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවය.

එසේම දැනට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පෞද්ගලික අදහස බවත් ඔවුන් සඳහන් කරයි.

එහිදී සජබ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ තම පක්ෂයේ සහය ඇතිව බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමට කොහෙත්ම ඉඩදිය නොහැකි බවයි .

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහට බලතල හිමිවන කිසිඳු යෝජනාවකට තම පක්ෂය එකඟ නොවනබවයි.

21ට ශ්‍රීලනිප සහය !

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපියක් හරහා දැනුම්දී ඇත්තේ , අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට තමන් සහ තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බවයි .

21ට සහය දෙන්න ඕන ඇයි ? ඩලස්ගේ ට්වීටර් සටහන !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ , යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශව සහයෝගය ලබාදිය යුතු බව යි.

der3පසුගිය ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පසුබැස ගිය බවත්, තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරිව සම්මත වු එම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මඟහරවා ගැනීමට යහපත් ආරම්භයක් බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත .

ඒ අනුව දේශපාලන විචාරකයන් පවසන්නේ අද සවස සාකච්ඡාව අවස්ථාවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ස්ථාවරය තීරණාත්මක වනු ඇති බවයි.