පුවත්

ඩොලර් මිලියන 134 ක ; සහල් ආනයනය කිරීමට තීන්දුවක් !
රටේ සමස්ත සහල් අවශ්‍යතාවයෙන් සති 6කට ප්‍රමාණවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 133.7ක් වැය කිරීමට පසුගිය සඳුදා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මෙලෙස සහල් ආනයනය කිරීමට සිදුවී තිබෙන්නේ 2020 වර්ෂයේදී මෙරට සහල් නිෂ්පාදනය මාස 17කට ප්‍රමාණවත් වන සේ තිබියදී ජනාධිපතිවරයා විසින් හිටි හැටියේම රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස ය.
රසායනික පොහොර ආනයනය සඳහා 2020 දී ඩොලර් මිලියන 259ක මුදලක් වැය කර තිබූ අතර කෘෂිකාර්මික අපනයනවලින් පමණක් ඩොලර් මිලියන 2400කට ආසන්න විදේශ විනිමය ආදායමක් එම වසරේදී උපයා ගැනීමට සමත් විය. නමුත් හිටි හැටියේ රසායනික පොහොර තහනම් කිරීමෙන් එක් වරකදී සහල් ආනයනයට පමණක් ඩොලර් මිලියන 134කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.

ආණ්ඩුවට ගහපු සුදාට : CIDයෙන් කැඳවීමක් !
සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදන්ත තිලකසිරි මහතා හට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) වෙතින් කැඳවීමක් කර ඇත.
ඒ එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට අදාළවය.
අද (13) දින පෙ. ව. 9.30ට ඒ සඳහා සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.
සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතය.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝව නිර්මාණය කළ අය වන අතර පසුව දැඩිව ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙකි.
-mawrata

බැසිල්ට එරෙහිව විජේදාස අභියාචනාධිකරණයේ !
ඇමරිකානු නීතිය හා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම් ලබාදී පුරවැසි භාවය ලබාගත් ඕනෑම අයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ආයුධ අතට ගෙන රට වෙනුවෙන් ඕනෑම රටක් සමග කටයුතු කිරීමට බැඳී සිටින බැවින් එලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ කටයුතු කරනුයේ කෙසේ දැයි විමසා බැලිය යුතු බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.
පුරවැසි පනත අනුව මෙරට කිසිදු සම්පත් දැරීමට සුදුසුකම් නොමැති අයකු වන බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හා මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම දිවුරුම්දීම හා කටයුතු කිරිම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස අධිකරණයට පෙන්වා දුන්නේය.
එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. ඇමරිකානු පුරවැසියකු ලෙස දිවුරුම් ලබාදී ඇති බැසිල් රාජපක්ෂ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස හා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම එය රටට ඉතා අගතිදායක වන්නේ යැයි ද විජයදාස රාජපක්ෂ අධිකරණයට පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුවන් අධිකරණය නොමඟ යවමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයා විසින් පත්කළ පත්වීමකට එරෙහිව නියෝග දීමේ බලයක් අධිකරණයට නොමැති බවත් අධිකරණයට කියා සිටි නීතිපතිවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ මහතා මුල් අවස්ථාවේම එම පෙත්සම ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.
එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 07 වැනිදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරු ලෙස පෙනී සිටි බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම නිසා ඔහුට නොතිසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළහ.
ඒ.ජේ.ඒ. අබේනායක – දිවයින

රට පුරා සටන් කර දිනාගත් ගුරු වැටුප උතුරට නොලැබීමේ අනතුරක්
දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.
වැටුප් අරගලයේ ප්‍රමුඛතම නියමුවකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එම වැඩිවු මුදල ජනවාරි මස වැටුප සමග 20 වැනිදා ලබා දීමට දිවයිනේ සියළුම කලාප කාර්යාල වල කටයුතු සිදු කරමින් පැවැතියද උතුරු පළාතේ මේ වන තෙක් එයට අදාල කටයුතු ආරම්භ කර නොමැති බවයි.
''අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි ආණ්ඩුව අපේ චක්‍රලේඛය ප්‍රමාද කරන කොට ඔබ ජනවාරි මාසේ 5 වැනිදා චක්‍රලේඛය නිකුත් නොකළොත් 20 වැටුප ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් දින 15 ට කලින් වැටුප් සකස් කිරීම් සිදු වෙනවා. ''
උතුරු පළාතේ ගුරුවරුන්ට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නායකයා පළාත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 11 වැනි සදුදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.
එම තත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට ලිඛිතවම දන්වා ඇති බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී සදහන් කළේය.
රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය පසු ගිය සතියේ නිකුත් කර තිබුනි.
එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වැනි දින සහ මේ වසරේ ජනවාරි තුන් වැනි දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.
"දිගින් දිගටම අපේ සාමාජිකයින්ගේ ප්‍රශ්න විසඳිලා නෑ. ඒ වගේම දුම්රිය කාලසටහන යතාවත් කරනවා කියලා, දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කරන්න යෝජනා කරලා, ආසන වෙන්කිරීමේ කටයුතු සිද්ධකරලා ඉවර වුණාට පස්සේ, දුම්රිය ධාවනය වෙන්න පැය කිහිපයකට කලින් දුම්රිය අවලංගු කරනවා. මේක හිතාමතා කරන දෙයක් පාලනාධිකාරිය. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙනවා කියන සැකය අපිට තියෙනවා. තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට කේවල් කිරීම මත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මගීන්ගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගේ පහසුකම් සියල්ල පසෙකලා කටයුතු කිරීමට විරෝධතාවය පළ කිරීමක් වෙනුවට අකමැත්තෙන් වුවත් පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක අපි නිරතවෙනවා."

කොවිඩ් මරණ 15,163ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු ඊට ඇතුළත් ය.
මියගිය පිරිස අතරින් 11 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,163 කි.

තැන තැන කියවන්නේ නැතුව : ශ්‍රීලනිපය එළියට බැහැලා යන්න - නාමල්
තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසයි.
අමාත්‍යවරයා මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”

පරදින බව දන්න නිසා ජන්දය කල්දාලා - රෝහණ ලක්ෂ්මන්
මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම බවත් ඔහු පවසයි.

වැලිකඩ ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම !
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
ඒ 2012 වැලිකඩ බන්ධනාගාරයේ කෝලාහල නඩුවට අදාළව අද ලබාදුන් නඩු තීන්දුව මගිනි.
එහිදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

රට බංකොලොත් වෙන තැනක නෑ : ආර්ථික වර්ධනය ඉහළට - කබ්‍රාල්ගෙන් සහතිකයක් !
ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයට පත්වී නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.
මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක් ඇති නොවන ලෙස කටයුතු කරන බවද පැවසූ ඒ මහතා සංචාරක කර්මාන්තය තවත් මාස දෙකකින් පමණක් හොඳ තැනකට එනු ඇති බවද පැවසීය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
මහ බැංකු අධිපති මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 5.5%ක තෙක් ඉහල නගිනු ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.
“මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ, මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයටත් ඔය ඉන්ටර්නෙට් එකේ පෙනෙන එක්ස්රේ එක පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. බිලියන 6.9 ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම අපි නිදා ගෙන ඉන්නේ නැහැ. ඒ ගොල්ලෝ එකපාරටම කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. ඒක අපිත් දන්නවා. දන්න නිසා ඒකට අවශ්‍ය වන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙවන්න තියෙනවා කිව්ව මිලියන 500 ගෙවන්න බැහැ කියලා ඉන්ටර්නෙට් කට්ටිය කිව්වා. දැන් අපි ගෙවනවා නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒගොල්ලොන්ගේ මතයෙයි ඇත්ත වශයෙන්ම කෙරෙන්න යන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා.
විවිධ පැතිවලින් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන බිලියන 6.9 කර ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් බිලියන 1.5 ක් පමණයි. ඒ තමයි ස්වෛරී බැඳුම්කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වන මුදල. ඊට අමතරව දේශීය වශයෙන් බිලියන 2.5 ක් පමණ මුදලක්, එය අපට rollover කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර rollover කරනවා වගේම ඕනම රටක ඒ විදියට rollover කරගන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම හුඟාක් අඩුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමඟ අපිට තිබෙන ගනුදෙනු හරහා ඒ ගෙවීම් කරන මුදල්වලට සාපේක්ෂව ඒ වගේම මුදලක් අපිට එන්නත් තියෙනවා. ඒ තුළත් අපිට තියෙන පීඩනය අඩුයි.
මේ රට බංකොලොත් වෙනවා කියන කතාව 2020 දීත් කිව්වා. 1970 දීත් කියලා තියෙනවා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රට අමාරු තත්ත්වයකට වැටෙනවා කියලා නිතර නිතර කියන. මෙතනදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, පසුගිය මාස 06 තුළ දී එක කණ්ඩායමක් කෑගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මදි, ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා, 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවාගන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවාද කිව්වේ. අපි කිව්වා අපි මේක ගෙවනවා, අපි බිලියන 3 ක් බවට අපේ සංචිත පත්කරගන්නවා කියලා පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේදී. මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබා ගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙළන්න එපා.“

සමාගම්වලින් වැඩි මිලට පොහොර : දැන් වකුගඩු ආරක්ෂිතද ? තිසාහාමි
මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඊයේ (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.
වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන්නිලා ඇත්තන්, කාබනික පොහොර වගා සංකල්පය රටේ ආම්භ කරන්න ඉක්මන් උනා වැඩියි කියලයි මම හිතන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පය අත්‍යවශ්‍ය එකක්.හැබැයි මේ වගේ හදිසියෙන් ක්‍රියාත්මක කළ යුතු එකක් නෙවෙයි කියලයි මම හිතන්නේ. අවරුදු 30-40ක් කෘමිනාශක දාලා පසේ සාරවත් භාවය, ජීවි බව විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා වගාවට ඉතාමත් සුදුසු තත්වයට කාබනික පොහොර යොදලා ඉක්මනින් පත්කර ගත හැකි තත්වයක දැන් මේ රටේ මහපොළව නෑ. ක්‍රම ක්‍රමයෙන් කෘමිනාශක නතර කරන්නයි තිබුනේ. ක්‍රමානුකූලවයි රට ඒ තැනට ගෙනියන්න තිබුනේ. දැන් වෙනකොට ගොවියා කබලෙන් ලිපට ඇද දාලා,පරිසරය ආරක්ෂා කර ගන්න ඕන අනිවාර්යෙන්ම. හැබයි ඒ සදහා ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන්න ඕන.රටේ දේශපාලකයන්ගේ බොරු බේගල් කථාවලට හැමදාම ඡන්ද දායකයෝ රැවටෙනවා.රටේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා පිරිස් මාව හම්බවෙන්න එනවා. ඒ අයත් කියන්නේ මේපාර ගොවිතැන් අසාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි මගේ මේ ප්‍රදේශයෙත් ගොඩක් ගොවිතැන් අසාර්ථක වෙලා මට පේන්න තියෙනවා යැයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා සිටියේය.
mawrata

ශ්‍රී ලංකා නීතිඥ සංගමය : සභාපති සහ ලේකම් නිතරගයෙන් පත්වෙති !
2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි නිතරගයෙන් පත්ව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රජිව් අමරසූරියගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ලේකම් තනතුර සඳහා ඉසුරු බාලපටබැඳි පමණක් ඉල්ලුම් කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට ඔහු නිතරඟයෙන් පත්ව ඇත.

සහල් මිලේ අනාගතය ගැන : මිල පාලක ඩඩ්ලිගෙන් ප්‍රකාශයක් !
කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් දක්නට ඇතැයි අරලිය සහල් හිමිකරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.
දැනට පවතින සහල් මිල තවදුරටත් ඉහළ නොයනු ඇති බවත් මෙය උපරිම මිල වනු ඇති බවත්පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.
සහග් මිල පාලනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වී වගා කිරීම කළ යුතු බව ද පවසන ඔහු නමුත් රටේ වී නිෂ්පාදනය අඩු වීමේ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් ඔහු පැවසීය .

ගොවීන් කරන චෝදනා අසාධාරණයි : මහින්දානන්ද කියයි !
මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණ තැන් තියෙනවා.ඒ වැරදුණ තැන් හදාගෙන යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕන. රජය හාල් ආනයනය කරන්න තීරණය කර තිබෙනවා. මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනීමෙන් ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වලක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා කිවේය.
මෙම සාකච්ඡාවට දිවයින පුරා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී සිටියහ. මෙහිදී මහ කන්නයේ වී අස්වැන්න පිළිබඳව අදහස් විමසීමේදී සමස්තයක් ලෙස 40% – 50% අතර ප්‍රමාණයෙන් වී අස්වැන්න අඩු විය හැකි බව ගොවි සංවිධාන නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව වුවද මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අභාවප්‍රාප්ත වෙයි !
අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අද (12) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඔහු මියැදෙන විට 49 වියෙහි පසුවිය.
ඔහුගේ දේහය හෙට (13) දහවල් 12 දක්වා තලංගම නිවසේ තැම්පත් කර තිබෙන අතර අනතුරුව අවමංගල්‍ය කටයුතු ඔහු උපන් ගම්ප්‍රදේශය වන අවිස්සාවේලේ දී සිදුකිරීමට නියමිතය.

අවශ්‍යතාවය මත දින10ක් විදුලිය විසන්ධි කෙරේ
රටේ පවතින තත්ත්වය මත අද (12 වැනිදා) සිට ඉදිරි දින 10ක කාලයේ දී රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය ප්‍රකාශ කරයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් අවශ්‍ය වුවහොත් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ද ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11 වැනිදා) ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
ඉරිදා දිනය නොමැතිව සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල මෙම විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

''කෘෂිකර්මය මරණ මංචකයේ''
මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවත් සමස්ත කෘෂිකර්මාන්තයේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතකට එළඹ සිටින මේ මොහොතේ මුළු මහත් ලාංකීය ගොවි ජනතාව නියෝජනය කරමින් මුළුදෙන මෙම ගොවි ජාතික සමුළුව ලාංකීය ගොවි ජනතාව පක්‍ෂ,පාට,ජාති,ආගම්,කුල,භේද කිසිවක් නොසලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩනැඟෙන්නක් බව පසුගියදා (10) පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.
දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුලු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න පැවැසීය.
අද දින මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ ආණ්ඩුව විසින් නිර්මාණය කල පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම, ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම, වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම, කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම බව ඔහු එහිදී පැවසීය.
ලංකාදීප

කොවිඩ් මරණ 15,149ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,149කි.
Page 370 of 452