V2025

පුවත්

ග්‍රෙගරි වැව හිස් වුණේ ඇයි?

ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා නුවරඑළිය ග්‍රෙගරි වැව  මේ දිනවල හිස් කර තිබෙන බව වාර්තා වෙයි.

මේ නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ග්‍රෙගරි වැව සංචාරක බෝට්ටුකරුවන්ගේ සංගමය පවසයි.=

උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයෙහි නිරත වන අතර එවැනි කාල සමයක මෙවැනි පියවරක් ගැනීම බලවත් අසාධාරණයක් බව බෝට්ටුකරුවන් පෙන්වා දෙයි.

නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන ග්‍රෙගරි වැව හිස්කර තිබෙන්නේ ඊයේ දිනයේදීයි.

කොවිඩ් අවදානම හේතුවෙන් ග්‍රෙගරි වැව ආශ්‍රිතව රැකියාවල නිරතව සිටි පුද්ගලයන්ට වසරකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ අතර වසංගත තත්වය ක්‍රමයෙන් පහව යාමත් සමග මේ වනවිට යළිත් නුවරඑළිය සංචාරකයන් බහුල ප්‍රදේශයක් වී තිබේ.  එසේ තිබියදී හදිසියේ මහ නගර සභාව ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නිසා රැකියාවල නිරත වූ පුද්ගලයන්ට තවදුරටත් කිසිදු ආදායමක් නොමැතිව සිටීමට සිදුව තිබේ.

ආහාර හිඟයක් ගැන කියූ කෘෂිකර්ම ලේකම් : ක්ෂණිකව ගෙදර !

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර ඇත.

ජනපති ගෝටාභය රාජපක්‍ෂ විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

මහාචාර්ය උදිත් ජයසිංහ මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු ඊයේ (21) දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.

මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා පත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කිව්වදේ !

ගෙදර යන්න සිදුවූ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පවසා තිබුණේ "අද වන විට රට තුළ ඇති අර්බුද හේතුවෙන් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

කිසියම් ලෙසකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවත් එනම් අප සතුව බඩඉරිඟු අතිරික්තකයක් ඇති නම් වෙනත් රටකින් ඊට සරිලන වෙනත් ආහාර ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පවසා තිබිණ.

ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඔහු සදහන් කර ඇත.

අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යව පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බවත් හෙතෙම පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතක හෝ උවමනාවක් නැති බවත ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ලෝක තෙල් මිල පහලට යනවිට : ලංකාව වැඩිකරේ ඇයි ? පාඨලී

"ආණ්ඩුව තෙල් මිල වැඩිකර ඇත. ඒ මේ දිනවල ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවෙමින් පවතිද්දී ය. තෙල් මිල අඩු වීමට බටහිර ලෝකයේ කොවිඩ් වසංගතයත්, එක්සත් ජනපදය, චීනය හා ඉන්දියාව තම තෙල් සංචිත වලින් කොටසක් වෙළෙඳ පොලට දැමීමත් හේතු විය." යයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ය.

එහි මෙසේද සඳහන් කර ඇත.

2021 දෙසැම්බර් මස පෙට්‍රල් 92 හා 95 සාමාන්‍යයෙන් ගෙනවිත් ඇත්තේ තෙල් බැරලය ඩොලර් 85 කටය. (දෙසැම්බර් 15 දා 92 පෙට්‍රල් ඩොලර් 84.81 කටත් 95 පෙට්‍රල් ඩොලර් 87.260 කටත් ලෙසය). එනම් බැරලය සාමාන්‍යයෙන් රුපියල් 17,255/= කටය. (නිල ඩොලරයක අගය රු. 203 ලෙස ගෙන). ඒ අනුව සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයක් මිල රු. 108/= කි. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් ලැබෙන ලාභය රුපියල් 69/= ක් හා 95 පෙට්‍රල් ලීටයකින් ලැබෙන ලාභය රුපියල් 99/= කි.

ප්‍රවාහන වියදම්, සංස්ථාවේ වියදම්, අලෙවිකරුවන්ගේ වියදම් සියල්ල ලීටරයකට රු. 10/= ලෙස ගතහොත් පෙට්‍රල් ලීටරයකින් (92) රුපියල් 59/= ක් හා පෙට්‍රල් (95) ලීටරයකින් රුපියල් 89/= ක් ලාභ ඇත. මේ මුදල් කාර් රේස් පැදීමට බේබිලාට යන වියදම් ආදිය සඳහා ජනතාව ගෙවනු ඇත.

ඩීසල් වර්ග දෙක ද දෙසැම්බර් මස ගෙන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඩොලර් 85 කට ය.

එනම් ඩීසල් වර්ග දෙකෙන් ද පිළිවෙලින් රු. 26/= ක් හා රු. 41/= ක් බැගින් ශුද්ධ ලාභයක් ඇත. එයින් ද රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ සුපිරි ජීවිත සදහා ගෙවීමට ජනතාවට සිදුවනු ඇත.

ඉන්ධන මිල වැඩිකළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාට මුදල් ඇමතිගේ අනුමැතිය ඇතිව ය.මිල වැඩිකිරීම ඉල්ලුවේ මහා බැංකුවේ අධිපති ය.මිල වැඩි කිරීම සංස්ථාව විසින් සිදු කර ඇත.

බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තෙල් සංස්ථාව ඇතුළු ආයතන වල චෝදනා, ප්‍රතිචෝදනා ‍සහිත මාධ්‍ය සංග්‍රාමයක් මගින් මිල වැඩි වීම යටපත් කරන මාධ්‍ය සංග්‍රාමයක් ද ඉදිරියේ දියත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස (බිලියන 600 ක) නව තෙල් පිරිපහදුවක් ගැන ද මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශණයෙන් රුපියල් බිලියන 47 ක් (ඩොලර්) ණය‍ ගෙවීම් ගැන ද වූ සුරංගනා කතා කීව ද තෙල් ඉතුරුකර ගැනීමට ජනතාවට දඩුවමක් ලෙස තෙල් මිල ඉහල දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට ය.

– Media unit

මහ කන්නයට රසායනික පොහොර නෑ - මහින්දානන්දගෙන් සහතිකයක් !

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා යැයි ද පොහොර සහනාධාර දෙනු ලබන්නේ කාබනික කෘෂිකර්මාන්තය සදහා බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය අමතමින්ය.

හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ඊට අවශ්‍ය පහසුකම් දෙනවා.

රසායනික පොහොර මිලදී ගෙන අනෙක් ගෙවීන්ට වගා කටයුතු කළ හැකියි.

සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න මාස 02 ක් වත් කල් යනවා. ඒ නිසා මෙවර මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නෑ. ඊළඟ යල කන්නයට තමයි පොහොර ගෙවන්න වෙන්නේ එළවළුවලට අවශ්‍ය පළිබෝධනාශක තිබෙනවා.

අපි කරන වැඩ සටහනේ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ .

මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.

රසායනික පොහොර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් සොයා බලා නැහැ.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට හැකි වුණා . එම කාර්ය සාධක බලකාය මගින් රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධව සොයා බැලීමට නියමිතයි .

කොළඹ සරසවි සිසු විරෝධය : චන්ද්‍රිකා අගයයි !

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හැසිරුණ ආකාරය ඉතාමත් ශිෂ්ඨ සම්පන්න බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.

කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් එහි සිසු කණ්ඩායමක් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.

උපාධි ප්‍රධානෝත්සවයේ දී අදාළ සිසු දරුවන් විරෝධය පළ කරන ලද ආකාරය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවද ඇය කියා සිටියි.

විදුලි කප්පාදුවකුත් ඇවිත් !

ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලිය බල අමාත්‍යංශය කියා සිටියි.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන හැකියාව සම්පූර්ණ නොවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව අවශ්‍යතාව පරිදි ඇතැම් ප්‍රදේශවල පැය භාගයක් විනාඩි 40ක කාලයක් විදුලි සැපයුමට විසන්ධි වනු ඇතැයිද ඔහු පැවසීය.

බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වීමෙන් ඇති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පැවසූ ඒ මහතා සඳහන් රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම සීමා කිරීම් කිරීමට සිදුවන බවත් කියා සිටියේය.

ජනන යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසුව තත්වය පහව යනු ඇති බවට ඔහු තවදුරටත් විශ්වාසය පළ කළේය.

ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි - පාඩුව ජනතාවටයි (Video)

=සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  පවසයි.

රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බව ඇමතිවරයා පවසයි.

පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, 'ගහලා බැන්දත් එකයි - බැඳලා ගැහුවත් එකයි' යනුවෙන් පවසයි.

කුමන තත්වයක් මත වුවද ජනතාව බඩගින්නේ තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, යහපාලන රජය මෙන් ජනතාවට ක්‍රෝටන් කොළ කැවීමට උත්සාහ නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

=

කොරෝනා මරණ 14,795 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,795ක් දක්වා ඉහළගොස් ඇත.

ගෑස් අනතුරු : මරණ 07 යි - සිදුවීම් 847 යි - කමිටු වාර්තාව ජනාධිපති අතට !

ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් පසුව මේ දක්වා ගෑස් පිපිරීම් හේතුවෙන් පුද්ගල මරණ හතක් වාර්තා වී ඇති බව lanka truth වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේම ගෑස් මේ වසර තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 847 ක් සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි. ගෑස් පුපුරා යාමේ සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් හා සම්බන්ධ සිදුවීම් බවත් අදාළ පුවත පවසයි.

එහි වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ලාෆ්ස් ගෑස් හා සම්බන්ධ පුපුරායාමේ සිදුවීම් සංඛ්‍යාව 50 කි.

සමස්ත සිදුවීම්වලින් 477 ක් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් ය. සිද්ධීන් 299 ක් ගෑස් කාන්දුවීම් නිසා ඇති වූ පුපුරායාම් ය. සිද්ධීන් 52 ක් ගෑස් නළයේ කාන්දුවීම් හේතුවෙන් සිදුව ඇතැයි පැවසේ.

මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනෙකුත් තත්ත්වය ගැන සොයා බැලීමට ජනාධිපති පත්කල කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (20) ලබාදීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

නොකියාම තෙල් මිල ඉහළට : මෙන්න ප්‍රතිඵල !

පූර්ව දැනුම්දීමකින් තොරව ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කිරීම සමග ත‍්‍රී රෝද රථ ගාස්තු ඉහල දැමීමට ත‍්‍රී රෝද රථ සංගම් තීරණය කර තිබේ.

නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.

එය 60%ක මිල වැඩි කිරීමකි.

FB IMG 1640071853654

ඒ සමග බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් වූ පාලන මිල තීරණය කිරීම වෙළඳ ප්‍රජාව අත්පත් කරගන්නට කටයුතු කරන බවටත් පුවත් පළවෙයි.

ඒ අනුව බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමත් අනිවාර්යයෙන් සිදුවනු ඇත.

බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල ඉල්ලුම සැපයුම අනුව තීරණය වනු ඇතැයි ද එම සංගමය කියා සිටී.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය තව දුරටත් පවසයි.

තවද බස් සංගම් පොදු ප්‍රවාහනයට අදාළ මිල ගණන් ඉහළ දැමීමට තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.

ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව බස් සංගම් සඳහන් කරයි.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටී.

පැවති ඉන්ධන මිල මෙන්ම අමතර කොටස් මිල ඉහල යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ තිබියදී නැවත ඉන්ධන මිල ඉහල දැමීම මත වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතුව ඇතැයිද සංගමය කියා සිටී.

පොදු ප්‍රවාහන සේවාව කඩාවැටීම හේතුවෙන් ජනතාව පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් යාමට පෙළඹී ඇති නිසා දැඩි වාහන තදබදයක් නිර්මාණය ඇති ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

.එපමණක් නොව ඉදිරියේදී මෙම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද ඉහළ යනු ඇති බවත් වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසයි.

දීප ව්‍යාප්තව වෙදදුරෝ හෙට වැඩ වර්ජනයක

හෙට (21) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළු විසඳීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසා සිටී.

කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද, එම සංගමය ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ ද දිස්ත්‍රික්ක 05ක් තුළ වැඩ වර්ජනයක් පැවැත්විණි.

ලංකාව බංකොලොත් වෙන්න ඔන්න මෙන්න - චන්දිම

අද වන විට ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ආසන්න තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

එවන් තත්ත්වයකට රට පත්වෙද්දී රජය හෝ මුදල් අමාත්‍යංශයේ ඒ පිළිබඳව පියවරක් ගැනීමට කටයුතු කරන්නේ දැයි සැක මතුව ඇතැයි ද ඔහු පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තවද මේ තත්ත්වයට පත්ව ඇත්තේ මූල්‍ය විනයක් නැතිව කටයුතු කිරීමෙන් බවද කී ඔහු මින් ඉදිරියටවත් මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

අපි වරදක් කළා නම් අස්කරන්න - ගම්මන්පිල

අපි වරදක් කළා කියලා ජනාධිපති තීරණය කරනවා නම් ජනාධිපතිට පුළුවන් අපිව අස්කරන්න’ අපිව ඉවත් කිරීමේ අවදානම ගනිමින් තමයි අපි රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තේ ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අමාත්‍යවරුන් අධිකරණයට ගිහිල්ල තිියෙන්නේ’ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව රටට දෙයක් කියනවා වෙනුවට දෙකට බෙදිලා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ලෝක ඉතිහාසයේ වෙලා නැහැ’ ඒක සාමුහික වගකීම කඩකිරීමක් බව ඇත්ත’ අපි බැලූවේ සාමුහික වගකීමද ලොකු හෘද සාක්ෂියද කියන එකයි’’’ යැයි බල ශක්ති ඇමැති උදය ගම්මන්පිල පැවැසීය’

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ රජයේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන ‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන හංවැල්ල නගරයේ ආරම්භක උත්සවය සඳහා පැවති සමීක්ෂණ චාරිකාවේදී යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

අනෙක් පැත්තෙන් නීතිපතිතුමා ආණ්ඩුවේ නිලධාරියෙක්’ දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරල කියනවා මෙවැනි අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා සම්මත කරල විධිමත් තීන්දුවක් ගත්ත කියලා’ විමල් ඇමැතිතුමා” වාසුදේව ඇමැතිතුමා සහ මම ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශයේ කියන දේ ඇත්ත නම් නීතිපතිතුමා ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශයේ තියෙන්නේ බොරු’ රටේ නීතිය අනුව දිවුරුම් ප‍්‍රකාශය බොරුවක් කිව්වොත් වසර තුනක සිර ද`ඩුවමක් නියමිතයි’ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕනෑ හිරේ දාන්නෙ අපිවද අනෙක් පාර්ශ්වයද කියලා’

කොරෝනා මරණ 14,771 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,771ක් දක්වා ඉහළ ගොස් තිබේ.

image 78d44029c4

ත්‍රීපෝෂත් හබක් !

දැනට රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය අත්හිටුවීමේ ලකුණු පහළ වී ඇති බව වාර්තා වේ.

ත්‍රි​පෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2021 වර්ෂයේදී සැපයිය හැකි බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 570ක් බව දිස්ත්‍රික් ලේකම්වරු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දැනුම් දී ඇත.

ඒ අම්පාර, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් ලබාදුන් වාර්තාවලිනි. එම ප්‍රමාණය සතියකට පමණක් ප්‍රමාණවත් අතර දෛනිකව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 70කි. එම බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කිරීමට ආණ්ඩුව අගෝස්තු මස 24 වැනි දින තීරණය කරන ලදී. ඒ අනුව මේ වන විට ආනයනය කර ඇත්තේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2500කි. මේ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික්ටොන් 720ක් සපයා ගැනීමටද මෙතෙක් නොහැකි වී ඇත. ඊට හේතු වී ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් ඉහළ නැංවීම මත කිරිපිටි සැපයිය හැක්කේ රුපියල් 1145කට බව මිල්කෝ සමාගම දැනුම් දීම නිසාය.

මව්රට

රට අර්බුදවලින් ගොඩගන්න තනි තනිව විසදුම් සෙවිය නොහැක - අනුර

රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩඒමට තනි තනිව විසඳුම් සෙවිය නොහැකි බවත්, සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළයුතු බවත් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  පවසයි.

අද (20) කොළඹ පැවති සමුළුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව, "බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම" මැයෙන් ජාතික ජන බලවේගයට අනුබද්ධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක,

"අද අපේ රටත් එහි වෙසෙන ජනතාවත් අතිශය විනාශකාරී අත්දැකීම්වලට මුහණ දෙමින් සිටිනවා. අතිශය විනාශකාරී අන්තයට අපේ ආර්ථිකය ගමන් කරමින් තිබෙනවා. විශාල භාණ්ඩ හිඟයක් මතුවෙලා තිබෙනවා. භාණ්ඩවල මිල ඉහළගොස් තිබෙනවා. කන්ටේනර් 1,500කට වඩා වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වරායේ හිරවෙලා තිබෙනවා. එලඹෙන ණය වාරිකයන් ගෙවාගැනීමට හැකිද නොහැකිද කියලා අඩමානයකට ඇවිල්ලා තියෙනවා. ජන ජීවිතය අර්බුදකාරී ගැටලු ගණනාවකට යොමුකර තිබෙනවා. අප ඉදිරියේ අද මේ පන්නුම් කරමින් තිබෙන්නේ. දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරලා ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියේ භයානක-කම සහ විනාශකාරීත්වය. ඔබ දන්නවා මෙතෙක් මේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ අපේ රට වෙනස් කළ හැකිද ? ඒ සාම්ප්‍රදායික දේශපාලන ගමන්මඟ අවසානයි. එහෙනම් මේකෙන් ගොඩඒමේ මාවතක් කොහේද තිබෙන්නේ, ළිඳට වැටුණේ ළිං කටෙන්නම් ගොඩ එන්න ඕනේ ළිං කටෙන්. මේ විනාශකාරීත්වයට අපේ රට හෙලුවේ වැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් නම් මේකෙන් ගොඩඑන්න තිබෙන්නේත් නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් අපේ මාතෘ භූමිය තුළ ස්ථාපිත කිරීමෙන් පමණයි. ඇතැමුන් කල්පනා කරනවා අපට දේශපාලනය එපා කියලා. කවුරු ආවත් එකයි කියලා. අපි හම්බ කළොත් අපි කයි කියලා. තනි තනිව මොනතරම් පිළිතුරු සෙව්වත් මේ අර්බුදයෙන් අද ගොඩඑන්න බැහැ. වැද්දාගේ වීසි දැලට හසුවූ තනි තනි වටුවා ඉගිලෙන්නට කොපමණ උත්හාස කළත් එම දැලෙන් ගැලවී යාමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අවසානයේදී එතන හිටපු බෝදි සත්ත්ව වටුවානම් කියනවා. දඩයක්කරුවාගේ දැලෙන් නිදහස් වෙන්නට නම් අපි සාමුහිකව පොර බදන්න ඕනේ. එහෙම තමයි අද අපිට වෙලා තියෙන්නේ. අපි එකක් කියන්න ලෑස්ති අපි සූදානම් මේ රට භාර ගන්න. ඒ වගේම අපි සූදානම් මේ රට හදන්න."

පුද්ගලයෙකු කෙතරම් දක්ෂ වුණත් අන් අයගේ සහය නැතිව සාර්ථක වෙන්න බැහැ - ජනපති

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ  පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමිනි.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බවයි එහිදී ජනාධිපතිවරයා කියාසිටියේ.

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයක් වන අතර සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ද හෙතෙම සඳහන් කරන ලදී.

කොරෝනා මරණ 14,752 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14752ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය අය අතරින් 60 වැඩි පුද්ගලයන් 16 දෙනෙකු වන අතර ඒ අතරින් පිරිමි පුද්ගලයින් 10 හා සෙසු 06 දෙනා කාන්තාවන් ය.

image 659d3c949f

Page 372 of 445