එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පහුගිය මාසය පුරා ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරමින් යන බවත්, ඒ අනුව අද ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස රැස්වීම් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාස රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන...
බොරු කියන දේශපාලනය අවසන් කළ යුතුයි
''අපි එක දෙයක් මතක තබාගත යුතුව තිබෙනවා. ඒ තමයි අපේ රටේ සුවහසක් මහජනතාවගේ ප්‍රාර්ථනය තමයි මේ රටේ මින් ඉදිරියට බොරු කියන දේශපාලනය අවසන් කිරීම. එහෙම නැතිනම් සම්පූර්ණයෙන් ම දේශපාලනය වංචනික ලෙස සිදුකරන ක්‍රියාවලිය අවසන් වනවා දැකීම. ඒ නිසා ඒ මහජනතාවගේ අදහස වෙන්නේ සියලුදෙනා එකතුවෙලා රටේ සුභසිද්ධිය සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම. මේ ගැන අවබෝධයක් තිබුණු නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 ජූලි මාසයේ 20වැනි දා ජනාධිපතිධුරය බාරගත්තායින් පසු පාර්ලිමේන්තුව අමතලා කිව්වේ කරුණාකරලා ජාතික ප්‍රතිපත්ති රාමුවකට සියලුදෙනාට එකතු වෙන්න කියලා.
මේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් පිට පැනලා තමන්ට ඡන්ද සහ බලය ලබාගැනීමේ අරමුණින් තවදුරටත් මහජනතාවට බොරු කියන එක නැවැත්තුවේ නැතිනම්, මේ බොරු කියන දේශපාලනඥයින්ට අනාගතයේ දී ජනතාවට මුහුණදෙන්න බැරි වේවී. ඒ නිසා මේ දේවල් ඉතාමත් කල්පනාවෙන් හැසිරවිය යුතුයි. තමන්ට තණ්හාව තිබුණා කියලා ජනාධිපති වෙන්න, අගමැති වෙන්න, එහෙමත් නැතිනම් ඇමති කෙනෙක් වෙන්න, ඒ සඳහා මහජනතාව බිල්ලට තියන එක අපි අනුමත කරන්නේ නැහැ. එය ඉතාමත් වැරදි ක්‍රියාවක්. කළ නොහැකි දේවල් කියන්න හොඳ නැහැ. එහෙම නම් කළ හැකි දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීති 92 ක් ගෙනල්ලා සම්මත කර තිබෙනවා. එතැනින් පිට රටේ මුකුත් කරන්න බැහැ.
එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන ගෙන් ඇසු ප්‍රශ්න සහ ඒ සදහා ලබාදුන් පිළිතුරු
ප්‍රශ්නය - සමගි ජන බලවේගයේ නායකතුමා පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට නිවේදනයක් කරා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන්නේ කුමන අදහසක්?
පිළිතුර - ''ඒ ගැන මම පසුගිය සිකුරාදා සවස මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය අනුව අපි බලනවා මේ සතියේ පැවැත්වෙන අපේ කළමණාකරණ කමිටුවේදීත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න. අපි ඒ තීරණය ඉතාමත් සුභවාදීව දකිනවා.''
ප්‍රශ්නය - ඒ වගේම මේ දිනවල සමාජ මාධ්‍යවල සහ දේශපාලන වැඩසටහන්වලත් පළවෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත පාර්ලිමේන්තු එනවා කියලා. මේ කාරණා සත්‍යයද?
පිළිතුර - ''මම නම් හිතන්නේ ඒක රනිල් භීතිකාව කියලා. දැන්ම ඒවාට කලබල වෙන්න අවශ්‍ය නැහැ.''
ප්‍රශ්නය - ඔබතුමාට මතකද 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවෙන්න අවුරුද්දකට පමණ පෙර ප්‍රකාශයක් කළා එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙනවා කියලා. ඒ වගේ දෙයක් ඔබ මේ පාර ප්‍රකාශ කරන්නේ නැද්ද?
පිළිතුර -
''මම හිතන්නේ මෙතැන තිබෙන්නේ එක දෙයයි; ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළාට වැඩිය මොනවම හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් උනාද? මම දන්න විදිහට නම් බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය දරන සමයේ එතුමා නව නීතී අණපනත් ගෙනැත් තිබෙනවා මහජනාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන්. වර්තමාන ආණ්ඩුව ඒ නීතී රීතී උල්ලංඝනය කරමින් තිබෙනවා. එසේ නීතීරීතී උල්ලංඝනය කළහොත් ඒ ආණ්ඩුව විනාශ වන බවයි අපේ දැනීම නම්. එසේනම් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා කියලා කියන්න කැමතියි.''