V2025

පුවත්

ලංකාවට එක්සත් අරාබියෙන් තහනමක්

නව කොවිඩ් ප්‍රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙනතුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය තීරණය කර ඇත.

එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නවතම චක්‍රලේඛයකට අනුව මෙම තහනම බලපැවැත්වෙන බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය , ඉන්දියාව බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය , කොංගෝ ජනරජය ,ඉන්දුනීසියාව , ලයිබීරායව , නැමීබියා ,නයිජීරියා ,උගන්ඩා ,සියරා ලියෝන් ,දකුණු අප්‍රකිාව , වියට්නාමය සහ සැම්බියාව යන රටවල සංචරකිය්න සදහා මෙම තහනම බලපැවැත්වෙන බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයන් ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියලු සංචාරකයින්ට එමීරය වෙත පැමිණීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර , මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමීර් සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයේ සදහන් වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කීය.

නමුත් ඒමීර් රාජ්‍යයේ මෙම තීරණය හේතුවෙන් එරට සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපෙක්ෂාවෙන් හා මේ දිනවල ලංකාවේ නිවාඩු දින ගබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින් බහුතරයක් අසීරුතාවයට පත් ව සිටින බවද වාර්තා වේ.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය මගින් ලාංකිකයින්ට නැවත එරටට පැමිනීම සදහා පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් එරට විදේශ සබදතා හා ජාත්‍යන්තර සහයෝගතා අමාත්‍යාංශය සමග නිරතුරුවම සකාච්ඡා කරන බවද අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

චම්පිකගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට !

නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ නව පනත් කෙටුම්පත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2021.07.12 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත ලබා දුන් අධිකරණ තීන්දුව පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වද්දී ඒ පිළිබඳව නීතිය විෂයයෙහි ප්‍රාමාණික වියතුන්ගෙන් සැදුම්ලත් නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරයේ මතය වූයේ අප රටේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව විධිමත් ව්‍යවස්ථාපිත නීතියක් නොවීම බරපතල අඩුපාඩුවක් වන බවයි. එකී අඩුව පිරවීම සඳහා නිසි අධ්‍යයන ක්‍රියාවලියකින් පසු සකස් කරන ලද කෙටුම්පත 43 සේනාංක මූලස්ථානයේ දී පසුගිය පෙබරවාරි මස හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික වෙත භාරදෙන ලදී. ඒ අනුව එතුමන් විසින් අදාළ කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

අප රටේ යල් පැන ගිය නීති ප්‍රතිසංස්කරණය තුළින් වඩා ජනතාවාදී නීති පද්ධතියක් ස්ථාපනය කල යුතුබව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා 43 සේනාංකය ස්ථාපනය කිරීමේදීද පැහැදිලිව ප්‍රකාශ කරන ලද කරුණකි.

ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා 43 සේනාංකය යටතේ ජනරජ කමිටුව විශේෂ අවධානයකින් යුතුව නීතිඥ ශිරාල් ලක්තිලකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී දූෂණ විරෝධී නීතිය ශක්තිමත් කිරීම සඳහා ද ඔවුන් විසින් මේ ආකරයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

පොලීසිය ගැන විශ්වාසය කඩා වැටීම භයානක තත්වයක් - හිංසනයට එරෙහි කාන්තා එකමුතුව

පොලීසිය ගැන විශ්වාසය කඩා වැටීම භයානක තත්වයක් බව හිංසනයට එරෙහි කාන්තා එකමුතුව සඳහන් කරයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (19) පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි, අලුත් පියාපත් සංවිධානයේ ව්‍රායි බල්තසාර්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, මුස්ලිම් කාන්තා පර්යේෂණ කේන්ද්‍රය රස්මිනා හුසේන් ඇතුළු පිරිස ඒ සඳහා එක් වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

Dr. Harini Amarasuriya 2021.07.19

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය

“පහුගිය කාලය තුළ සිදුවුණු සිද්ධි එක්ක හිංසනයට එරෙහි කාන්තා එකමුතුව හැටියට අපි මෙම මාධ්‍ය හමුව පවත්වනවා. පසුගිය කාලය තුළ විවිධ පැමිණිලි රාශියක් පොලීසියට විරුද්ධව ලැබී තිබෙනවා. කාන්තාවන් අරගල කරන අවස්ථාවලදී පොලීසියේ හැසිරීම ගැන විශේෂයෙන් අවධානය යොමුවුණා. මේ මාසයේ 08වැනිදා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සහ කොතලාවල පනත විරුද්ධව පැවති විරෝධතාවයේදී පොලීසිය ඉතාමත්ම කැත විදිහට ස්ත්‍රීන්ට සලකපු විදිහ අපි දැක්කා. ඇඳුම් ඉරමින්. ඇදගෙන යමින් පහර දෙමින් ක්‍රියාකළ ආකාරය රටම දැක්කා. නමුත් ඒක විතරක්ම නෙවෙයි, පොලීසිය ඇතුළෙදි වුණත් ස්ත්‍රීන්ට සලකපු විදිහ මාධ්‍ය තුළින් වාර්තා වුණා. පැමිණිල්ලක් කරන්න ගිය කාන්තාවන්ට පාදුක්ක පොලීසියේදී මුහුණපාන්න වුණු සිද්ධිය ඇතුළු රාශියක් මේ කාලය තුළ මතුවුණා. මේ තත්වය ඉතාමත්ම බැරෑරුම් ලෙස ගත යුතු තත්වයක්. පවතින තත්වය ගැන මෙයට මාසයකට පෙරත් මම මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැන්වූවා. පොලීසියට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස එයින් ඉල්ලීමක් කළා.

පොලීසිය ඉන්නේ අපිව ආරක්‍ෂා කරන්න. අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය. ළමා හා කාන්තා ඒකකය කියලා පොලීසිය තුළ වෙනම අංශයකුත් තියෙනවා. එතැනට ස්ත්‍රීන් හෝ ළමයින් යන්නේ ආරක්‍ෂාවක් බලාපොරොත්තුවෙන්. ඒ තුළ ඉන්න අය මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානකයි. පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කරන්න නෙවෙයි, මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට. පොලීසිය ගැන ඒ විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක්. පොලීසියේ තියෙන මේ සංස්කෘතිය අතිශයින්ම බරපතළ ප්‍රශ්නයක්. ස්ත්‍රී විරෝධී සහ ස්ත්‍රී හිංසනවාදී අදහස් පොලීසිය තුළදී මතුවීම මේ කාලය තුළ අපි හැමෝටම පෙනුණා. මේවා හමුදා පුහුණුව දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. පොලීසිය කොfාහමද ප්‍රජාව එක්ක ගනුදෙනු කරන්නේ කියන එක පැහැදිලි කර දීමේ ලොකු වගකීමක් සරත් වීරසේකර ඇමතිතුමාට තියෙනවා. ඔහුගේ අවධානය ඒ ගැන යොමු කරන්න කියලා අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

Chamila Thushari 2021.07.19

පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ… ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි

“ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉන්න පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන අඩන්තේට්ටම් නිදහස් වෙළඳ කලාපය සම්බන්ධයෙන් ඉතාමත්ම හිංසනකාරීයි. නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කාන්තාවන් තමන්ට තිබෙන ගැහැට පිළිබඳව පොලීසිය ගැන විශ්වාසයක් නැති නිසාම පැමිණිලි කරන්නේ නැහැ. මේ කලාපයේ පැය 24ම වැඩ කරන කාන්තාවන්ට කිසිම සුරක්‍ෂිතතාවයක් නැහැ. යම් දේකට පොලීසියට යනවා නම් ගේට්ටුව ළඟ ඉඳන්ම තමන්ට සිදුවූ දේ ගැන කියන්න සිදුවෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම රහස්‍යභාවයක් නැහැ. මේ නිසා කාන්තාවෝ බොහෝ අසාධාරණකම්වලට ලක්වෙනවා. නිදහස් වෙළඳ කලාප ක්‍රියාත්මක වන ස්ථානවලට පැය 24 ක්‍රියාත්මක වන පොලීසියක් අවශ්‍යයි. පොලීසිය තුළ පවතින ළමා හා කාන්තා ඒකකය උදේ 8 ඉඳලා හවස 5 වනතුරු විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අනික් පැත්තෙන් පැමිණිල්ලක් කරන්න ගියාම තරුණ කාන්තාවන්ට පොලීසියෙන් අනියම් සම්බන්ධතා පටන් ගන්න උත්සාහ කරනවා. නිදහස් වෙළඳ කලාපය තුළ සිදුවන හිංසනයන් ගැන පැමිණිලි කරන්න බැරි තරමට කාන්තාවන් හෑල්ලුවට ලක්වෙනවා.

ළමා හා කාන්තා කාර්යාංශය එක් වෙලාවකදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කළා. ඒ වැඩවල ප්‍රායෝගික තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. කොවිඩ් නිසාම පීඩාවට පත්වෙලා ඉන්න හැම ක්‍ෂේත්‍රයේම කාන්තාවන් බැරෑරුම් තත්වයක ඉන්නේ. මහ බැංකු වාර්තා අනුව මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කාන්තාවෝ කියලා හඳුන්වන්නේ. නමුත් යම් පැමිණිල්ලකට හෝ වෙනත් කටයුත්තකට පොලීසියට ගියාම සලකන්නේ ඒ වටිනාකමකින් නෙවෙයි. පොලීසිය කාන්තාවන්ට අන්තිම එපා කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ. මේ තත්වය වහාම වෙනස් කරන්න මැදිහත් වෙන්න කියලා වගකිවයුත්තන්ට බල කරනවා.”

Vraie Balthazawr 2021.07.19

ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරන ආණ්ඩුවක් යටතේ කාන්තාවගේ ආරක්‍ෂාව තියෙන්නේ කොතැනද?…අලුත් පියාපත් සංවිධානයේ ව්‍රායි බල්තසාර්

“කොවිඩ් එක්කම ලංකාවේ තවත් ඉතා භයානක වසංගතයක් පැතිරෙමින් තිබෙනවා. අපි ඒකට කියන්නේ සැඟවුණු වසංගතයක් කියලා. මේ වසංගතය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. කොවිඩ් වසංගත කාලය පුරාම මේ තත්වය දකින්න පුළුවන්. මේ තත්වය සංඛ්‍යාත්මකවත් එළිදැක්වී තිබෙනවා. 2020දී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 5561ක් ලැබිල තියෙනවා. 1938 දුරකතනය ඔස්සේ ලැබෙන පැමිණිලි පමණයි. මේ 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිට මේ පැමිණිලි ප්‍රමාණය 1227ක් වී තිබෙනවා. මම මේ කියන්නේ පොලීසිවලට ලිඛිතව ලබාදුන් පැමිණිලි නෙවෙයි. දුරකතනය ඔස්සේ කර තිබෙන පැමිණිලි. මේ සංඛ්‍යාවෙන්ම හිතාගන්න පුළුවන් කොතරම් නම් ප්‍රචණ්ඩත්වයක් තිබෙනවාද කියලා. අපිට අනෙක් පැත්තෙන් හිතාගන්න පුළුවන් පොලීසියට නොලැබෙන පැමිණිලි අප්‍රමාණයි කියලා. පොලීසිය සහ නීතිය ගැන තිබෙන අදහස් නිසා පිළිසරණක් නොලැබෙන බව හිතන නිසාම නොකරන පැමිණිලි තිබෙනවා.

තව පැත්තකින් කොවිඩ් වසංගතයත් එක්ක මාතෘ සායනවලට එන අවුරුදු 18ට අඩු දැරිවියන් ප්‍රමාණය 5%-7%ත් අතර වගේ ඉන්නවා. අවුරුදු 18ට අඩු නම් අපි කියන්නේ දරුවන් කියලා. එයින් අදහස් කරන්නේ දරුවන්, දරුවන් ලබනවා කියලා. ඔවුන් ඉන්න ගෙවල්වල සමීපතමයන්ගෙන් ඇතිවන ලිංගික අපයෝජන නිසා මේ තත්වය අතිවී තිබෙනවා. මේ වගේ ප්‍රශ්නවලදී ගෙදර ඉන්න ස්ත්‍රිය පොලීසියට ගියාම ඇතිවන තත්වය ඉතාම බරපතළයි. සමහර දේවල් පැමිණිල්ලේදී කියාගන්නත් බැරි වෙනවා. ඒ වගේම සයිබර් අපරාධවලටත් කාන්තාවන් සහ ළමුන් ලක්වෙනවා. ලංකාවේ බහුතරයක් කාන්තාවන් වූ අයට නීතිඥයෙක් හොයාගෙන පොලීසියට යන්න වත්කමකුත් නැහැ. පොලීසියට යන්නේ බයකින්. නමුත් පොලීසියේදී කියන්නේ පීඩනයන් දරාගෙන ඉන්න කියලයි. ස්ත්‍රීන් ගෙදරත් අසරණ වෙනවා. පිළිසරණක් හොයාගෙන යන පොලීසියේදීත් අසරණ වෙනවා. ස්ත්‍රියට තියෙන ආරක්‍ෂාව හරිම අඩුයි. අපයෝජන ගැන නඩු අවුරුදු ගාණක් ඇදීගෙන යනවා. ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරන ආණ්ඩුවක් යටතේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව තියෙන්නේ කොතැනද? පොලීසියට ගියාම ඇතිවන තත්වයන් ගැනත් ගෘහස්ථව ඇතිවන තත්වයන් ගැනත් දැඩි අවධානය යොමුවිය යුතුයි. ආණ්ඩුවක වගකීම තමයි පොලීසියට අදාලව ව්‍යූහාත්මක පහසුකම් සපයන එක. එහෙම නැතිව ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරලා බලයට ඇවිත් 52%ක් ඉන්න කාන්තාවන් සම්බන්ධයෙන් ආරක්‍ෂාව කොහෙද තියෙන්නේ කියන එක කල්පනා කරන්න ඕනෑ.”

Lavina Hasanthi 2021.07.19

සංචරණ කාලයේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ගිහිල්ලා පොලී ඉල්ලලා බලකරන්නේ කොහොමද?…ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංකල්පය තුළද අද ලංකාව ක්‍රියාත්මක වෙන්නේ? රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන්නේ ඒ ආයතනවලට අදාළ කටයුතුද එහෙම නැත්නම් පවතින ආණ්ඩුවේ දේශපාලනයට අදාල කටයුතුද කියන බරපතළ ප්‍රශ්නය තියෙනවා. විශේෂයෙන්ම පොලීසිය වැනි ආයතනවලට ක්‍රියාකාරිත්වය බරපතළයි. පරමාධිපත්‍යයක් තිබෙන කාන්තාවන්ට කෙසේද සලකන්නේ? මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සුළු පන්න ධීවර කර්මාන්තය සහ ධීවර ජනතාවගේ ජීවිත ආශ්‍රිතව ඉදිරිපත් කරනවා.

කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ලත් ඇතිවී සුළුපන්න ධීවර ජනතාව සහ ධීවර කාන්තාව පීඩනයකට පත්වී ඉන්නවා. ඒ වගේම උතුරු නැගෙනහිර තවත් කඳවුරු 10ක පමණ කාන්තාවන් සහ ගෘහ මූලික කාන්තාවන් ඉන්නවා. මේ සියලුම දෙනාගේ ජීවන මාර්ග බිඳවැටිලා තියෙන්නේ. ජීවිත ගොඩනගාගන්න ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ගෙවාගන්න බැරි තත්වයක ඉන්නේ. තන්ගේ කරවල ටික වේලගන්න බැරිව කුඩා ව්‍යාපාර කරගෙන යන කාන්තාවන්ට බරපතළ තත්වයක් තියෙන්නේ. මේ නිසා හැම පැත්තෙන්ම තාඩනයට පීඩනයට ලක්වෙන්නේ අම්මා කියන කාන්තාව. මේ වසංගතය තුළ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි කරගෙන යන්න ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ වෙනත් පහසුකම් නැහැ. එදා වේල හම්බකරගෙන කන්න බැරිවෙලා ඉන්නේ. සුළුපන්න ධීවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් තවත් විශාල පහරක් වැදුණා. ඔවුන් වෙනුවෙන් අදාල සාධාරණත්වය ලබාදෙන්න තවම ක්‍රියාකර නැහැ. ඔවුන්ගේ ධීවර ආම්පන්නවලට සිදුවූ හානිවලට වන්දි දෙන්න යන්නේ ධීවර පවුල් 2500කට. මේ නිසා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වලින් ණය ගන්න සිදුවෙලා තියෙනවා. සතිපතා පොලිය ගෙවන්න ඕනෑ. ගෙවාගන්න බැරිවෙනකොට ලිංගික අල්ලස් ඉල්ලනවා. සංචරණ කාලසීමාව තුළ මූල්‍ය ආයතන ගිහින් පොලී ඉල්ලන්නේ කොහොමද? මේ ගැන ක්‍රියා කරන්න ඉඩකඩ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට දී තිබෙනවා. ලක්‍ෂ 28ටක වැඩිය ඒ මූල්‍ය සමාගම්වලට ණයකරුවන් කාන්තාවන්.

මෙවැනි පීඩනයන් සිද්ධ වෙද්දී මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මොනවාද කරන්නේ? ප්‍රශ්න දරාගන්න බැරිව පාරට බැස්සාම කොවිඩ් නිරෝධායන නීති පාවිච්චි කරලා කාන්තාවන් දැඩි මර්දනයකට ලක් කරනවා. ගරු ජනාධිපතිතුමාගෙන් අපි අහන්න කැමතියි, ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මේකද කියලා. කාන්තාවන්ට අත තියලා කරන්න යන්නේ මොකක්ද කියලා අපි අහන්න කැමතියි. අවතැන් කඳවුරුවල ඉන්න කාන්තාවන්ට තවමත් මූලික පහසුකම් නැහැ. මේවාට කවුද උත්තර දෙන්නේ? මෙවැනි වාතාවරණයක් තුළ තමයි කාන්තාවන්ගේ ආරක්‍ෂාව අපි ඉල්ලන්නේ.”

Saroja Polraj 2021.07.19

ආණ්ඩුවට පක්‍ෂපාතී බව පෙන්වන්න පොලීසිය යුක්තියට පයින් ගහනවා…ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

“අපේ රටේ විවිධ ස්ථනවලදී කාන්තාවන්ව පාවිච්චි කිරීම සිදුකරනවා. අධ්‍යාපන ආයතනවලදී දරුවන්ව, සෞඛ්‍ය පහසුකම් ලබන අවස්ථාවලදී රෝගීන්ව පොදු ප්‍රවාහන මාධ්‍යයේදී මගීන්ව දේශපාලනයේදී සෘජුවම කාන්තාවන් හැටියට සහ ආර්ථිකයේදී වෘත්තිකයෙක් හැටියට ආදී වශයෙන් හිංසනයට ලක්වෙනවා. මේ නිසා විවිධ ක්‍ෂේත්‍රවල පවතින හිංසනයන් පොදුවේ ගත්තාම එකම තැනකදී විරෝධය පළ කරන්න අවශ්‍ය තත්වයක් තිබෙනවා. පසුගිය දිනවල කොතලාවල විශ්වවිද්‍යාල පනත, බඩුමිල ඉහළ දැමීම, ඉන්ධන ගැටලුව, පොහොර ප්‍රශ්නය මේ හැම තැනකදීම අරගලවලට යොමුවූ කාන්තාවන්ට විරුද්ධව පොලීසිය ක්‍රියාකළ නින්දිත ආකාරය පිළිබඳව සංවිධානයක් හැටියට අපි තරයේ විරෝධය පළ කරනවා. ලංකාවේ 1938 අංකය ලබාදී තිබෙනවා, හදිසි ඇමතුම් සඳහා. ඒවගේම ළමා හිංසනය සම්බන්ධයෙන් දැනුම් දෙන්න දුරකතන අංකත් ලබාදී තිබෙනවා.

මේ හැම අවස්ථාවකදීම ක්‍රියා කරන්නේ පොලීසිය. හැබැයි ඒ පොලීසිය මහමගදී කාන්තාවන්ට සැලකූ ආකාරය අපි දැක්කා. පොලීසිය නීතිය අනීතිකව ක්‍රියාත්මක වෙන්නේ බලවත් ආණ්ඩු පිරිහෙන්න පටන් ගත්තාම. අනීතිකභාවයට එවැනි ආණ්ඩු වරප්‍රසාද ලබාදෙන, නීත්‍යානුකූලභාවය ලබාදෙන සහ සාධාරණීකරණය කරන තත්වයට පත්වෙනවා. ආණ්ඩුවට පක්‍ෂපාතී නිලධාරීන්ට උසස් වරප්‍රසාද ලබාදෙනවා. මේ නිසා ආණ්ඩුවට පක්‍ෂපාතී බව පෙන්වන්න පොලීසියේ ඉහළ නිලධාරීන් යුක්තියට පයින් ගහනවා. තමන්ගේ සේවය ලැබිය යුතු සේවාලාභීන්ගේ යුක්තියට පයින් ගහලා නිලය උසස් කරගන්න උත්සාහ කරනවා. අපි පහුගිය කාලය තුළම දැක්කේ මේ තත්වය. හාමුදුරුවරුන්ට, අම්මාවරුන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට මර්දනය එල්ල කිරීමෙන් අපි දකින්නේ යුක්තියට පයින් ගහපු අවස්ථාවකි.

#lkමේ තත්වය තුළ මානව සංවර්ධන දර්ශකයේ අපි කොතනද ඉන්නෙ? සමාජ ආරක්‍ෂණය සහතික කළ යුතුම පොලීසිය අමාත්‍යවරයාගේ පූර්වාදර්ශ අනුව ක්‍රියා කරමින් ඉන්නවා. මහමගදී අනීතිකව හැසිරුණු නිලධාරීනට අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක කර නැහැ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ඉල්ලලා නැහැ. ආණ්ඩුවක් හැටියට ඒ ස්වාමින් වහන්සේලාගෙන්, අම්මාවරුන්ගෙන් සහ ඒ දැරිවියන්ගෙන් සමාව ගත යුතුව තිබෙනවා. හිංසනයට එරෙහි කාන්තා එකමුතුව හැටියට අපි මේ වෙලාවේ ආණ්ඩුවට බල කරන්නේ අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගත යුතු බව. එක රටක් එක නීතියක් කියල බලය අරගෙන සැමට සාධාරණය ඉටු නොකරනවා නම් අනීතිකභාවය රජකරන තත්වයක් ඇති වෙනවා. නීතිය තිබුණාට විතරක් මදි, නීතියට යුක්තියක් ඕනෑ. සංවිධානයක් හැටියට අපි අවධාරණය කරන්නේ නීතිය යුක්තිගරුකව ඉටුකරන ලෙසයි. නීතිය ජනතාවට යුක්තිගරුක වෙන්න ඕනෑ. ජනතාව යුක්තිගරුක වීම විතරක් මදි. ආර්ථීක, සාමජ දේශපාලනික කාරණාවලදී රටක් හැටියට යුක්තිගරුක වෙන්න ඕනෑ. උතුරේ විද්‍යා දැරියගේ පටන් වයස අවුරුදු 5ක සේයා දැරිය දක්වාත් දැන් කතා කරන අවුරුදු 15ක දැරිය දක්වාත් ඇතුළු සියලුම දැරියන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. ඔවුන් සියලු දෙනාම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ආරක්‍ෂාව තහවුරු කරන ලෙස අපි බලකර සිටිනවා.”

lankatruth

ඇසළ පෙරහැරේ නැටුම් කණ්ඩායම්වල 15කට කොවිඩ්

කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොවිඩ් – 19 ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11 දෙනෙකුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04 දෙනෙකුටද මෙසේ කොවිඩ් වෛරසය ආසාදනයවි ඇති බව වාර්තා වේ.

මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින් ආසාදිතයින් බවට තහවුරුවි ඇත්තේ පසුගිය 18 වනදා සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදිය.

ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව කස, ගිනිබෝල සමඟ නැටුම් කණ්ඩායම් 04ක් පෙරහැරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම ආසාදිත නැටුම් ශිල්පීන් පිරිස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩිුදරටත් පවසයි.

ගෝඨාභය 2024ටත් එන බව දන්වයි !

ජනාධිපතිවරණයට නැවතත්  ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (19) පවසා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති  සාකච්ඡාවේ දීය.

තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සහ රඳවා ගැනීමට රනිල්ගේ විරෝධය !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්වීමට හා රඳවා තබා ගැනීමට දරන උත්සාහය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ කරුණු ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බාදුදින් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමට හේතුව සභාවට දැනුම් දිය යුතු බවයි.

අත්අඩංගුවට ගැනීමට හේතුවක් පාර්ලිමේන්තු වට ලබා නොදී බාදුදින් මන්ත්‍රීවරයා රඳවා තබා ගැනීම සිදු කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

මෙය සභාවේ අයිතිවාසිකම්වලට පටහැනි බවත්, සාමාජිකයෙකු රඳවා තබා ගැනීමට හේතුව සභාවට ඉදිරිපත් කළ යුතු බවත් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු අත්ඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් විසඳා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදී හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඇත්තේ එකම නිගමනයකි, ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔහුව බිය ගැන්වීමටයි.” යනුවෙනි.

එසේම පාර්ලිමේන්තුවට එහි සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තුවට අවසානයේ වගකිව යුතු කැබිනට් මණ්ඩලයේ බලතල ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ලෙස හිටපු අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම කරුණු සම්බන්ධයෙන් කථානායකවරයා විසින් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

කොළඹ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 30කටම ඩෙල්ටා

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා ආසාදිතයින්ගෙන් ලබාගත් වයිරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වු බවත්,  ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කොළඹ, මාතර, ගාල්ල, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් මේ වනවිට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන් වාර්තා වී ඇතැයි ඔහු ප්‍රකාශ ක‌ළේ ය.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 284,931 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතරින් වැඩි දෙනෙකු  වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ සාම්පල 10 ක ඩෙල්ටා ආසාදනය වූ දෙන්නෙකු තුන් දෙනකු සිටිනවා නම් සියයට 30 ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවත් කොළඹ ප්‍රදේශයේ සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

PCR අඩු කළා - ඒත් අවධානම අඩු නෑ - සුදර්ශනී

මේ අතර කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කර ඇතැයි ‍රාජ්‍ය ඇමතින විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

අද වන විට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන නිසා මෙලෙස පරීක්ෂණ අඩු කළ බව ඇය කියා සිටි බවත් එහි සඳහන් ය.

අදාළ වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ කොරෝනා මරණ සංඛ්‍යාවද ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් ගියද කොරෝනා ව්‍යාප්තියේ අවදානම පහව ගොස් නැති බවද ඇය පෙන්වා දෙන බවයි.

එනිසා ජනතාව නිරන්තරයෙන් ම සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කිරීම අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇති බවත් වාර්තා කර ඇත.

ශිෂ්‍යත්ව හා A/L විභාග පැවැත්වෙන දින ප්‍රකාශ කෙරේ

ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දින නියම කර තිබේ.

ඒ අනුව, 2021 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස්  පැවසී ය.

එමෙන්ම පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 07 දක්වා දීර්ඝ කළ බව ද ඔහු සඳහන් කළේ ය.

කෙරවලපිටිය යුද පිටියක් වෙයි : විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි !

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝට්‍රස් සමාගමට භාරදීමේ සංදේශය හෙට (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේවුවත් විපක්ෂයේ පාර්ශව චෝදනා කර සිටියේ පසුගිය සඳුදා අදාළ කැබිනට් පත්‍රය අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත්කර තිබු බවය.

මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරන්නේ විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත්ය.

ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ඔහු පැවසූ අතර ඒ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපතිවරුන් වන අර්ජුන රණජීව, සුරෙස් අත්තනායක, උප ලේකම් එම්. උගාස්, භාණ්ඩාගාරික එ.එම් පත්මසිරි, සංවිධායක ලේකම් මනෝජ් ප්‍රියංකර යන අයද සහභාගී වී සිටියහ.

විදුලි බල මණ්ඩලය රාජපක්ෂ පවුලේ භූදලයක් නොවන බව සඳහන් කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලබන 20වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. එමෙන්ම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවන බවත් ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් සඳහන් කළේය.

සයිනොවැක් එන්නත ගැන අවුලක් : උපදේශන කමිටුවේ 3ක් අස්වෙති !

චීනයේ නිෂ්පාදිතයක් වන සයිනොවැක් එන්නත ලංකාවේ භාවිතය සඳහා පසුගිය සිකුරාදා (16) අවසර ලබා දීමත් සමග තවත් වෛද්‍යවරුන් තිදෙනෙක් කොරෝනා මර්දන එන්නත් උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් අනාවරණය කර ඇත.

ප්‍රතිශක්තිකරණ විශේෂඥ. වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස් විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ශ්වසන වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ මෙසේ ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් ඉල්ලා අස්වීමට හේතුව එන්නත් උපදේශක මණ්ඩලයේ උපදෙස් නොසලකා හැරීම සහ බලධාරීන් විසින් ඒවා අභිබවා යාම බව වාර්තා වෙයි.

මව්රට පුවත්පත වාර්තා කර ඇත්තේ, ජුනි 9 වන දින හදිසි රැස්වීමකදී උපදේශක මණ්ඩලය අඩකට බෙදී තිබුණේ අවම වශයෙන් සයිනොවැක් මාත්‍රාවන් මිලියන 2 ක් වත් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමත කළ යුතුද යන්න ගැන කියාය.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සයිනොවැක් ඩෙල්ටාවට එරෙහි “අවම ප්‍රතිපලදායී එන්නත” බව එම රැස්වීමේදී සියලු දෙනාම “එකඟ වූ” බවද වාර්තා වේ.

එක් කණ්ඩායමක් පවසා ඇත්තේ, සීමිත සයිනොවැක් තොගයක් ආනයනය කිරීම සඳහා කොන්දේසි සහිත “සීමිත” අනුමැතියක් ලබා දිය යුතු අතර අනෙක් කණ්ඩායම ඊට එකඟ නොවූ බවද දැනගන්නට ඇත.

මීට පෙරද මෙම කමිටුවෙන් වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.

ගැබිනි මව්වරුන් 2,250කට කොරෝනා - සෞඛ්‍ය අමාත්‍යාංශය

ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනෙකු කොවිඩ් වැළඳීමෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බවත්, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, චිත්‍රමාලි ද සිල්වා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ගර්භණි මව්රුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීමට ඇති හැකියාව සොයා බලන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා  සඳහන් කළා ය.

ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණක්ය බවත් ඇය පැවසුවාය.

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 04දෙනෙකුට කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි PCR පරීක්ෂණයකින් තහවුරුවූ වී ඇත.=

මේ වනවිට එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා කර ඇතැයිද රාජ්‍ය ඇමති විමලවීර දිසානායක පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනා සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් – 19 ආසාදනය විය.

කෙසේ වෙතත් එම සතුන් දෙදෙනා මේ වනවිට සුවය ලබා සිටින බව එහි නිලධාරීහු පවසති. කෙසේ වෙතත් පසුගිය දිනවල වාර්තා වූ පරිදි එම සිංහයාට දැඩි නිව්මෝනියා තත්වයක් හටගෙන තිබිණි.

සත්වෝද්‍යාන විවෘත කිරීමට සෞඛ්‍ය අංශවලින් අවසරය ලැබී ඇතත් කොවිඩ් අවදානම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් විවෘත නොකිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

විපක්ෂයේ පොදු වේදිකාවක් : සජිත් - කරූ එක්වෙයි !

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මැදිහත්ව සංවිධානය කරන ලද විපක්ෂයයේ එකමුතුවක් සඳහා වන සාකච්ඡා මාලවේ ආරම්භක සාකච්ඡාව ඊයේ (17) හිටපු කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 ජානකී හෝටලයේදී ඉතාම සාර්ථකව අවසන්වූ බව එහි සංවිධායකයන් පවසයි.

එහිදී සාකච්ඡාව සඳහා පදනම්වූ ලියවිල්ල හිටපු කතානායක කරු ජයසූරිය විසින් සභාගත කර ඇති බවත් අදාළ හමුවේ පළමු වටය මාධ්‍යට නිරාවරණය කර ඇත.

එහෙත් දෙවැනි වටය පවත්වා ඇත්තේ මාධ්‍යයට නිරාවරණය නොවූ අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙසය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනා අතර මෙවැනි දේශපාලනික හමුවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව ඊට එක්වූ විපක්ෂයේ පක්ෂ නායකයන් එහිදී අදහස් දක්වා තිබේ.

විපක්ෂ නායක සජිත් : අදහස් දක්වා පිටව ගිහින් !

"තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට ජනතාව වෙත මර්ධනය දියත් කිරීමට මේ අසමත් ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව සමස්ත විපක්ෂය එකමුතු කිරීමට කරු ජයසූරියගේ නායකත්වයෙන් හා මගපෙන්වීමෙන් 'සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ගෙනයන මෙම උත්සහය මේ මොහොතේ අතිශය වැදගත් බව පැවසු විපක්ෂ නායකවරයා, එය සාර්ථක කරගැනීමට අප සියලුදෙනා කැපවෙමු"

කෙසේ වුවත් මෙම අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයෙන් ඉවත්වගොස් තිබෙන බව වාර්තා වෙයි.

මාධ්‍යයට නිරාවරණය නොවූ මෙම හමුවේ දෙවන භාගය ඒ අනුව සජිත් ප්‍රේමදාස හැර අනිකුත් නායකයින් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර කරු ජයසූරියගේ නායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට එහිදී ඒකමතිකව තීන්දු කොට ඇති බවත් වාර්තා වෙයි.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඇතුළු, රටේ පවතින ආර්ථික දේශපාලන හා සමාජයීය අර්බුද සඳහා විසදුම් ලබා දිය හැකි ප්‍රමුඛ ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීන්දු කොට ඇති අතර ඒ සඳහා සියලු පක්ෂ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමටද තීරණය කොට ඇත.

මෙම වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන තිබුණද ඒ සඳහා කිසිවෙකු සහභාගි වී නොසිටි නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙල තුළ සිටීමේ වැදගත්කම කරු ජයසූරිය විසින් පැහැදිලි කොට ඇත.

තවද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සෑම මසකම නියමිත දිනයක දී පැවැත්වීමට එකඟතාවයකට පැමිණ තිබේ.

පාඨලී චම්පික රණවක

''මූල්‍යම වශයෙන් රට පත්ව ඇති අසාර්ථකත්වය කෙරෙහි මේ මොහොතේ අප සියලු දෙනාම අවධානය යොමු කල යුතුයි. රට ඉතා විශාල මූල්‍යම බංකොලොත්භාවයක් අභියස තිබෙන්නෙ. මේ සඳහා විපක්ෂය විදිහට අප ජනතාවට විශ්වාස කල හැකි ප්‍රායෝගික විසඳුම් සහිත ජාතික ප්‍රතිපත්ති මාලවක් අවශ්‍ය වෙනවා. අප එය නිර්මාණය කරගත යුතුයි.

ජනතාව දිනෙන් දින පෙළන මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය එකමුතුව පෙළගැසිය යුතුයි. ඒ සඳහා නයකත්වය දෙන්න සුදුසුම් කෙනා කරු ජයසූරිය මහතායි. අපිට මතකයි දින 52 වෙලාවෙ එතුමන් අපට දක්වපු නායකත්වය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා එකතුව අපි ඉදිරියට යමු කියලා මම යෝජනා කරනවා.''

රාජිත සේනාරත්න

''අපි මේ රටේ ඊළඟ මැතිවරණයෙන් බලය ගත්තට වැඩක් නැහැ අපි අවුරුද්දක් ඇතුළත ද්‍රෝහීන් වෙනවා අපි හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකලොත්. ඒක නිසා අපි හරි දැක්මකින් හරි කාලරාමුවකට වැඩ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. නැත්තම් ජනතාව තවදුරටත් මේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් විශ්වාස කරන එකක් නැහැ.

ලී ක්වාන් යූ බලයට ආවට පස්සෙ මුලින්ම කරේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම. මම හිතනවා අපිත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන සංවේදීව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි කියලා.

''මේ විපක්ෂය එකතු කරන්න සුදුසුම කෙනා කරු ජයසූරිය මැතිතුමා බව අවිවාදිතයි. අපි එකමුතුව එතුමන් සමඟ ආරම්භ කරන ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරමු කියලා මම යෝජනා කරනවා.''

මනෝ ගනේෂන්

''අපිට මතකයි කරු ජයසූරිය මහතා දින 52 වෙලාවෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අප රටට දීපු නායකත්වය. අපි සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනා ගත්තෙ එතුමන් නිසා.

ඒක නිසා අපි මේ දුර්දාන්ත පාලනය පරාජය කරන්න, ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න නැවත සාධාරණ සමාජයක් සංවිධානය වටා එකමුතුවෙමු කියලා මම යෝජනා කරනවා.

සාධාරණ සමාජයක් කියන නම දෙමළට පරිවර්තනය කරෙත් මම. අපි දෙමල ජනතාව විදිහට ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් සාධාරණ සමාජයක් සංවිධානය පෙරමුණ ගත යුතු යයි මම යෝජනා කරනවා.''

රුවන් විජයවර්ධන

කරු ජයසූරිය හිටපු කතානායකවරයා විසින් දරන උත්සහය වටා සියල්ලන්ම ඒකරාශි වී මේ රට ගොඩනගන්න දායකවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්න ඕන. ඉතිං ඒ සඳහා අපි සුදුසු ජාතික ප්‍රතිපත්ති මාලවක් නිර්මාණය කරගන්න මේ එකමුතුව මූලිකව යෙදවිය යුතුයි කියලා මම යෝජනා කරනවා.'

එම්.ඒ සුමන්තිරන්

''මේ රටේ ප්‍රමුඛම ප්‍රශ්නයක් මේ රජය අමතක කරනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීම. සාධාරණ සමාජයක් සංවිධානය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කලයුතුයයි මම යෝජනා කරනවා.

මේ රටට මෙහෙම ඉදිරියට යන්න බැහැ. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිසුන් ලක්ෂ ගණනාවක් මියගිය. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ දශක දෙකක් මේ රට යුද්ධයක සිර කල. ඒක නිසා අපේ ජනතාවගෙ ප්‍රශ්න ගැන මේ රට සංවේදී විය යුතුයි. අපි පෙබරවාරි මාසයේ මේ ගැන දින පහක පාගමනකුත් සංවිධානය කරා. මේ ගැන ඔබේ සංවිධානය අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.''

කටුනායක ගුවන් තොටුපලේ PCR කිරීම ජර්මන් සමාගමකට !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා ඉන් පිටත්වන මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම ජර්මන් සමාගමකට ලබාදීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.

දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ - අරුණ වාර්තා කර ඇති ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණවලට අමතරව සෙම පටල සාම්පල එකතු කිරීම ද එම සමාගමට පැවරෙන අතර ඉදිරි වසර දෙකක කාලයක් සඳහා අදාළ සමාගමට අවස්ථාව හිමිවෙයි.

අදාළ පුවතේ වැඩිදුරත් මෙසේද සඳහන් වෙයි.

ගුවන් තොටුපොළේ පර්චස් 282ක භූමි භාගයක් මෙම සමාගමට ලබාදීමට ද සැලසුම් කර ඇත. ඒ රසායනාගාරය හා සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහාය. ඒ සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් දස දහසක මුදලක් මාසිකව අය කිරීමට ද නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සමාගම ජර්මන් සමාගමකි.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 6900ක් සිදු කිරීමට නියමිත අතර, පැයකට පරීක්ෂණ 500ක් සිදු කිරීමට සැලසුම් කර ඇත. පී.සී.ආර්. පරීක්ෂණයක මිල ඇමරිකානු ඩොලර් 40කට මිල නියම කර ඇත. 2021 වසරේ ඉදිරි මාස පහ තුළ කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන හා පිටත්ව යන මගීන්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වන බවද ඇස්තමේන්තු කර ඇත.

ඇමති විමල්ගේ ඇමරිකානු විරෝධය සංශෝධනය වෙයි !

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අනාවරණය කරයි.

එසේ දෙනු ලබන්නේද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇති අතර ඒ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘ යනුවෙන් එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇත.

සංශෝධිත ඇමරිකානු විරෝධය !

අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ ඇමරිකානු විරෝධය සංශෝධනය කරගෙන ඇති බවයි. කලක් විමල් වීරවංශ ඇතුළු මෙරට ජාතිවාදී පාර්ශව ඇමරිකානු ආණ්ඩුව සහ ඇමරිකානු සමාගම් කියා බෙදීමක් කර විරෝධය දැක්වූයේ නැත. ඔවුන් සිදුකළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය කියා ඇමරිකාවට පමණක් නොව සමස්ත බටහිර රාජ්‍ය සම්බන්ධව විරෝධය දැක්වීමය.

ජාත්‍යන්තරය සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වූ දේශීය දේශපාලනඥයන්ට ගැහුවේ ඇමරිකාවේ දේශීය ඒජන්තයන් කියාය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී නියෝජිතයා ලෙස හැඳින්වූයේද , වඩාත් මෑත වකවානුවේ MCC ගිවිසුමක් ගැන කියමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරටත් ඇමරිකානු චෝදනාව එල්ල කලේද ඒ පදනමින්ය. ඒ විරෝධය රටට හානි කළේ MCC වැනි ඩොලර් මිලියන ගණනක ප්‍රදාන ප්‍රතික්ෂේප කරමිනි.

ඒ පසුබිමේ ඇමති විමල්ගේ මේ ඇමරිකානු විරෝධයේ සංශෝධිත ආකාරය හොඳය. දැන් ඇමරිකාව අකැප වුනාට ඇමරිකානු සමාගම් කැපය. පේන ආකාරයට නම් තවත් ගොඩක් සංශෝධන සඳහා විමල් ඇමති හිත හදාගෙනය.

රිෂාඩ් රෝහලට !

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (17) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙසේ රෝහල්ගත කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මන්ත‍්‍රීවරයා රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පැවසේ.

කෙසේ වුවත් ඔහුට අදාළ නඩුව විනිසුරුවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් අඛණ්ඩව කල් යමින් පවතී.

කොතලාවල පනත - ජනාධිපති සම්මත කරනවා කියයි : ජවිපෙ අදත් පාරේ !

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ පනත ඉදිරියේදී ගෙන එන බවත් රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් හමුව අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගන්නැයි මෙහිදී බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පනත ගෙනඑනු ලැබුවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එක්ව පිහිටුවා තිබූ ආණ්ඩුව සමයේ වන අතර එම පනතට විරුද්ධව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංස, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම අවස්ථාවේ විපක්ෂයේ සිටි පිරිස දැඩිව කටයුතු කළහ.

කෙසේ වෙතත් මේ වනවිට එම පනත කිසිදු වගන්තියක වෙනසකින් තොරව යළිත් මේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එහි ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමටද නියමිතය.

එවැනි පසුබිමක මේ වනවිට රටේ ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ කොතලාවල පනට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙයට විරෝධය දැක්වීමක් ලෙස ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින්ද ඉවත් වී සිටිති.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විරෝධතාවල !

මේ අතර නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.

එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියොජනය කරන පිරිසක් සහභාගී වූහ.

කළකිරුනු SB පරාක්‍රමබාහුට අඳියි !

තමන් අද පාර්ලිමේන්තුවේ පසුපසට තල්ලු වී සිටිය ද මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ළඟට ජේෂ්ඨත්ත්වයට සිටින්නේ තමා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක පවසයි.

ඔහු එසේ සඳහන් කර සිටියේ තම නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී අද සිටින තත්වය දැන තමන් කලකිරීමකින් සිටින බවද පැවසූ ඔහු එය මහා වේදනාවක් මහ පරාජයක් සේ නොපෙන්වා සිනහවෙන් සිටින බවද පැවසීය.

තමන් විසින් දරන ලද අමාත්‍යාංශයන් සියල්ලම වාර්තා තැබූ බවද පැවසූ ඔහු තමන් කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන කාලයේ අස්වැන්න දෙවැනි වූයේ මහා පරාක්‍රමබාහු රජුට පමණක් යයිද පැවසීය.

වත්මන් රජය යටතේ තමන්ට සිදු වුයේ අසාධාරණයක් යැයි ද පවසන ඔහු නමුත් ඒ ගැන සැලීමක් නැති බවද කියා සිටියේය.

තමනට අමාත්‍ය ධුරයක් ලබා නොදීම වැරදි බව පෙන්වාදෙන ඔහු තමන් ඒ ගැන විමසා නැති නමුත් ඇමති ධුරයක් ලබා දුන්නොත් භාර ගන්නා බව ද පැවසීය.

SB අනින්නෙත් බැසිල්ට ?

ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම මෙරට දේශපාලන ක්ශේත්‍රය තුළ ප්‍රසිද්ධ රහසක් වන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය ධූර බෙදනු ලැබුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවය.

ඒ අනුව SB මන්ත්‍රීවරයා කළකිරීම එළිපිට දක්වන්නේ බැසිල් රාජපක්ෂ වෙත විය යුතු බව විචාරක මතය වී තිබේ.

කෙසේ වුවත් පසුගිය සමයේ උග්‍ර බැසිල් විරෝධී ස්ථාවරයේ සිටි විමල් වීරවංශ ඇතුළු පාර්ෂවය නිහැඩියාවක සිටින අතර දැන් SB ඒ අඩුව පුරවන්න පැමිණ ඇත්දැයි ද විචාරකයන් සැක සංකා මතුකරයි.

Page 373 of 386