Image

අනෝජන් සිවරාජාට කරුණා සහගත සමාවක් දෙන්න: බානගල උපතිස්ස හිමිගෙන් සවුදි රජුට විශේෂ ඉල්ලීමක්

අනෝජන් සිවරාජාට කරුණා සහගත සමාවක් දෙන්න: බානගල  උපතිස්ස හිමිගෙන් සවුදි රජුට විශේෂ ඉල්ලීමක්

සෞදි අරාබි රාජධානි ඉතිහාසයේ ප්‍රථම වරට එරටට වැඩම  කළ  ප්‍රථම  බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වශයෙන්  තමන් වහන්සේ, සෞදි අරාබි ගරු අධිකරණය විසින් මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට සමාව ලබා දෙන ලෙස,  සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල  උපතිස්ස නාහිමියෝ  ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (28) පෙරවරුවේ කොළඹ මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ බානගල නාහිමියෝ තමන් වහන්සේ විසින්ම ඉදිරිපත් කරන යෝජනාව මෙරට සිටින එරට තානාපති  කාර්යාලට බාර දීමට නියමිත බව ද කීහ.

ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani මැතිතුමා මගින්,

සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජතුමා, අල් යමාමා රාජකීය මාලිගය, මක්කා වීදිය, අල්-හඩා දිස්ත්‍රික්කය, රියාද්, සෞදි අරාබි රාජධානිය

හෝ

සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජතුමා ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකෙහි භාරකරු අතිගරු රජතුමාගේ කාර්යාලය, රාජකීය මාලිගා පරිශ්‍රය රියාද්, සෞදි අරාබි රාජධානිය වෙත ඉන් අනතුරුව එම යෝජනා යැවෙනු ඇතැයි  ද බානගල  නාහිමියෝ  සදහන් කළහ.

එම ඉල්ලීමෙහි මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලාංකික පුරවැසි Sivarasa Anojan (or ,Sivaraja Anojan) තරුණයාට කරුණා සහගත සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීම.

මම මේ ලිපිය මගින්  සෞදි අරාබි රාජධානියේ මහරජතුමාණන් වන king Salman bin Abdulaziz Al Saud වන ඔබතුමානන් අමතන්නේ,

ඔබතුමාගේ පාලනය යටතේ පවතින සවුදි අරාබිය රාජධානියට වැඩම කළ ප්‍රථම බෞද්ධ භික්ෂුව (2022 මැයි 11-12   සවුදි අරාබියේ රියාද් නගරයේ පැවති The Muslim World League (MWL) හි මහ ලේකම් හා මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය ෂෙයික් බින් අබ්දුල් කරීම් අල්-ඉසා මැතිතුමන්ගේ ආරාධනයෙන් Forum on Common values among Religious Followers  සමුළුවේ බෞද්ධ නියෝජිත ලෙසයි.

එසේම

වසර 125 ට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පැරණිතම බෞද්ධ සංවිධානය වන ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  වත්මන් සභාපති ලෙසත්,

ජපානය ඉදිකළ ප්‍රථම ථේරවාදී සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානය වන සවරා හි ලංකා ජී විහාරයේ නිර්මාතෘ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක ලෙසත්, මෙය ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ඉන්දියාවේ මුදල් නෝට්ටුවක මුද්‍රණය කර ඇති එකම ආගමික ස්ථානය වන (රු.200) හා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සාංචි පුදබිමේ චේතියගිරි විහාරයේ අධිපති ලෙසත්,

ශ්‍රී ලංකාවේ සියලු ආගමික නායකයන්ගේ එකමුතුවෙන් ස්ථාපිත කර ඇති ආගමික සමුළුවේ සම කැඳවුම්කරු ලෙසත්ය.

සවුදි අරාබි රාජධානිය යනු සියවස් භාගයකට වඩා අප රටේ පුරවැසියන් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා ලබාදෙමින්

අපේ රටේ පරම්පරා ගණනක ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට අභිවෘද්ධිය උදාකර දෙමින්,

අපේ රටේ ජාතික ආර්ථිකයට අති විශාල ශක්තියක් ලබා දුන්,

අපේ ඉතාම සමීප මිත්‍ර රාජ්‍යයක් ලෙස ඒ පිළිබඳව ඔබතුමාට අපගේ ගෞරවය කෘතවේදිත්වය පිරිනමන අතරය.

ඉතාම ගෞරවයෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටින්නේ,

එවැනි රැකියා අවස්ථාවක් ලැබ ඔබතුමාගේ රාජධානියට පැමිණ රැකියාවක් කරමින් සිටි,අවුරුදු විසි හතරක් තරම් වන මුහුකුරා ගිය ආගමික හෝ සමාජ අවබෝධයකින් තොර කල්මුණේ පදිංචි

සිවරාසා අනෝජන් (Sivarasa Anojan or ,Sivaraja Anojan) තරුණයා  දුරදිග නොබලා කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස අද ඔහුට ඔබ රාජධානියේ ගරු අධිකරණයෙන්ම හිමි වී ඇති මරණ දණ්ඩනය  අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

සිදු වූ එම වරදට ඔබතුමාගේ ගෞරවනීය කාරුණික අනුකම්පා සහගත අවධානය යොමු කර,

සමාව ලබා දී, නියෝග කර ඇති දඬුවමින් ඔහු  නිදහස් කරදෙන ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය සමඟ එක්ව මම ද ඉතා ගෞරවයෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.

ජපානයේ සවරා ලංකා ජී විහාර වාසි කොස්වත්තේ පාලිත හිමි සහ දඹදිව සාංචි චේතියගිරි විහාර විහාරවාසි,බානගල විමලතිස්ස හිමි ද මෙම මාධ්‍යයට හමුවට සහභාගී වි සිටියහ .

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න