V2025

පුවත්

අල්ලස් කොමිසමේ ඉල්ලීමෙන් : ජොනී නඩු 3න් නිදහස් !

අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග කළේය.

මහේස්ත්‍රාත් අද (28) එම නියෝගය නිකුත්කළ අතර, ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 126 වගන්තිය ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩු වලින් අදාල චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

කුමාර වෙල්ගමටත් කොරෝනා !

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගමටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ.

අද (28) දින සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී මේ බව තහවුරුවී ඇත.

මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 ක් දක්වා වූ ඉහළ ගොස් ඇත.

අනුර බලය ගත්ත ගමන් කරන වැඩෙත් කියයි !

හුදු ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් පමණක් රට මුහුණදී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කෑගල්ලේ පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

"තවදුරටත් හුදු ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේ ප්‍රශ්නය විසඳන්න නම් අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. සමාජයේ සාමුහිකත්වය, රටේ නිෂ්පාදනයට ජනතාව හවුල්වීම සහ නිෂ්පාදනයේ සාධාරණ පංගුව ජනතාවට ගලායෑමේ නව ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැතුව මේ රට හදන්න බෑ."

"ඇමතිවරුන්ගේ ලයිට්බිල 119,000යි, 120,000යි. මාසේ ලයිට් බිල. ආණ්ඩුවෙන් ගෙවන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න."

"අපේ රටේ දේශපාලකයා මහජනයාට උඩින් වරප්‍රසාද ගන්නවා. ජනතාවගේ ධනය නාස්ති කරන ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ."

"මේ රට හදන්න නම් පුරවැසියට දැනෙන්න ඕන දේශපාලකයා මේ වැඩේට ලෑස්තියි කියලා. එහෙම දැනෙන්න නම් දේශපාලකයා තමන්ගේ වරදාන වරප්‍රසාද අයින් කරන දේශපාලනයක් ඕනේ. ඒක අපි කරනවා."

"මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, මන්ත්‍රි වාහන බලපත්‍ර, ඇමතිවරුට දෙන නිවාස, ජනාධිපතිවරුන්ගේ හතරවටේ තියෙන නිවාස, හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ඔක්කොම නතර කරන තීන්දුවක් ගන්නවා."

සුදුළුණු වංචාව : ඇමති - සභාපති පවා සම්බන්ධයිලු !

ආන්දෝලනාත්ම සුදුළුණු වංචාවට අදාල සුදු ලුණු තොග තම සමාගම්වල බව මෙරටට සුදුළුණු ගෙන්වන සමාගම්වල අයිතිකරුවන් කියා සිටිති.

අදාල ගනුදෙනුව හේතුවෙන් තම සමාගම්වලට කෝටි හතරකට අධික මුදලක් පාඩු වූ බවද ඔවුන් පවසති.

මෙම සුදුළුණු සතොස ගබඩාවලට නොගොස් කෙළින්ම ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ගබඩාවලට ගිය බවද ඔවුන් චෝදනා කරති.

අමාත්‍යවරයා සිට සභාපති දක්වාම මෙම වංචාවට සම්බන්ධ බවද ඔවුන් පෙන්වා දෙති.

මේ රට තුළ නැවතත් තමන් ව්‍යාපාර නොකරන බවද ඔවුන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී කියා සිටියහ.

වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් පරිසරයට !

මෙරට තුළ වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600 කට අධික ප්‍රමාණයක් පරිසරයට බැහැර කරන බව වාර්තා වෙයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන ආකාරයට මේ වන විට පරිසර අමාත්‍යාංශය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතකර බැහැරකරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත.

ෂැෂේ පැකට්, දිරාපත් නොවන ලන්ච්ෂීට්, ඉදිආප්ප වට්ටි, ප්ලාස්ටික් හැදි, ආහාර කළතන ප්ලාස්ටික් කූරු සහ කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතින්වලින් නිෂ්පාදිත මල්මාලා , සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, බීම බටද මීට ඇතුළත් ය.

ලෞකික දේශපාලනයට සමුදුන් රතන වෙනුවෙන් : සන්නස්ගල ප්‍රාර්ථනාවක !

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසා ඇත.

ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන පවසා තිබේ.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අතර ඒ රටම හිනැස්සූ බල කුලල්කා ගැනීමකින් පසුවය.

එහිදී අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් හිමිනමව පැහැරගැනීමක් පවා සිදුවූ බව ප්‍රසිද්ධ කරුණකි.

සන්නස්ගල තැබූ ෆේස්බුක් සටහන !

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ සිංහල ආචාර්‍යවරයෙකු සහ විචාරකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සිය ෆේස්බුක් ගිනුමේ මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණි.

upul s

විමල් ඇතුළු 10 අලුත් වැලකින් ආණ්ඩුවේ එල්ලෙයි !

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් නොහොත් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්වය තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය (25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි ව තිබේ.

විමල් - ජනාධිපති දවල් හම්බෙලා !

මේ අතර ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් පසු අමාත්‍ය විමල් වීරවංශ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ පළමුවරට පසුගිය 25 එක වේදිකාවක මුණගැසීම ගැනත් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල සදහාය.

ඊට පැමිණි ජනාධිපති සහ අමාත්‍ය විමල් අතර සිදුවූ කතා බහ ගැන වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධියට පත්ව නැත.

කෙසේ වුවත් මේ අයුරින් වීරවංශ අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායම අධිකරණය ඉදිරියට යාම සම්බන්ධයෙන් ‌ඉකුත් දා පැවැති කර්තෘවරුන්ගේ රැස්වීමකදී පවා, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා තිබුණේ වීරවංශ අමාත්‍යවරයා කළෙ වැරදි වැඩක් බවත්, හෙතෙම සාමූහික වගකිම කඩකොට ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්වය මේ අලුතින්ම නටන්න යන පදය ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය පුපුරා යාම කල්දමා ගැනීමේ උත්සාහයක් වියහැක බවයි.

 

 

විදුලි කප්පාදුවේ අලුත් තීන්දුව මෙන්න !

ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත.

දෛනික ආසාදිතයින් 2000 ආසන්නයේ : තත්ත්වය බරපතළයි - PHI සංගමය

නිවැරදි දත්ත ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණද මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද හෙතෙම සදහන් කරයි.

වර්ථමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේද පවසයි.

“දැනට ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. දෛනිකව 2000කට ආසන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බවක් පේනවා නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නොවුණට. මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලධාරීන් මෙන්ම ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතුයි අපි ඉන්න බැරෑරුම් තත්ත්වය ගැන. එසේ නොමැති වුනොත් ඉදිරියේදී දැනට අඩුවී තිබෙන කොවිඩ් ආසාදිත මරණ ගණන ඉහළ යන්න පුලුවන් සෞඛ්‍ය පද්ධතියේ දරා ගැනීමේ ශක්තිය ඉක්මවා ගියොත්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ලඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරන්න කියලත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

වැඩවර්ජනය කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම අහිමි කරන්න : අලිසබ්‍රිගෙන් යෝජනාවක් ?

ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසා ඇති බව වාර්තා වෙයි.

මව්රට වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ඊයේ (26) ගුවන් විදුලි නාළිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.

එසේම ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාවට මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බව අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

කෙසේ වුවත් වැඩවර්ජනය කිරීම ශිෂ්ට සම්පන්න ලෝකය පිළිගත් වෘත්තීය අයිතිවාසිකමකි.

ජලයේ ප්‍රමුඛතාව කෘෂිකර්මයට මිස විදුලියට නෙවෙයි - චමල්

ජලය නොමැති වුණොත් විදුලිය කප්පාදුවක් කරන්න සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි .

එනිසා සියලු දෙනාම වගකීමෙන් විදුලිය පරිහරණය කළ යුතු බවත් අනවශ්‍ය ලෙස විදුලි පරිභෝජනය සිදු නොකළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විදුලිය නිපදවීම සඳහා ජලය මුදාහරිනු ලබන්නේ කෘෂිකාර්මාන්තයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බවත් ඒ අනුව පවතින නියං තත්ත්වය දිගටම තිබුණොත් ගොවිතැන් කටයුතුවලට හැර වෙනත් දේ සඳහා ජලය නිදහස් කිරීමට නොහැකි බව ද ඔහු සදහන් කර තිබේ.

යල කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

 

බඩඉරිඟු හිඟයි : ත්‍රීපෝෂ නිෂ්පාදනයත් කොට උඩ !

මිනිස් පරිභෝජනයට සුදුසු බඩඉරිගු නොමැතිවී⁣මෙන් ත්‍රීපෝෂ නිෂ්පාදනයට බාධා එල්ලවී ඇතැයි ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

නිසි ප්‍රමිතීන්ට නොමැතිවීම හේතුවෙන් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් බඩඉරිඟු කන්ටේනර් 05 ක් ද ඉකුත් දින කිහිපයේ ආපසු හරවා යැවූ බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1,500 ක් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද ඔහු සදහන් කර තිබේ.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා දිනකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50 ක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසන අතර මෙරට බඩඉරිඟු ප්‍රමාණවත් නොවන බැවින් අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් බඩඉරිඟු ආනයනය කරනු ලබයි.

නමුත් මේ වන විට මෙරට ආනයන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණව පවතී. ඒ රට උග්‍ර ඩොලර් හිඟයකට මුහුණදී සිටින නිසාය.

චීන සමාගම ලංකාවට එරෙහිව : එක්සත් ජාතීන් හමුවට !

කාබනික පොහොර නැවක් ගෙනවිත් මෙරට සමග අර්බුදයක් ඇතිකර ගත් ක්වින්ඩාවෝ සීවින් බයෝලොජිකල් ගෲප් (Qingdao Seawin Biological Group) නම් චීන සමාගම ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට විධිමත් පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වෙයි.

Qingdao Seawin Biological Group සමාගම, ශ්‍රී ලංකාව විසින් මතභේදයට තුඩු දී ඇති පොහොර සඳහා ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට මොහොතකට පෙර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි.

“2022 ජනවාරි 5 වන දින සීවින් සහ ගැනුම්කරුවන් අතර L/C වාරණ නියෝග නඩු විසඳීමේ නියමයන් වෙත ළඟා වීමට පෙර, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විමර්ශනයට මැදිහත් වීමට ජාත්‍යන්තර ආයතන සඳහා ඉල්ලුම් කර ඇත. ඉහත ජාත්‍යන්තර ආයතන ද සීවින් වෙත විද්‍යුත් තැපෑලෙන් පිළිතුරු දුන් අතර, අවශ්‍ය නම් ඔවුන්ට විමර්ශනයට මැදිහත් විය හැකි බව එමගින් දන්වා ඇත. ”යනුවෙන් සීවින් සමාගම සදහන් කොට ඇත.

ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට (IPPC) අනුව පළිබෝධ පැතිරීම පාලනය කිරීමට එක් එක් සාමාජික රාජ්‍යයට ඇති අයිතියට ඔවුන් ගරු කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සමාගම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, සමාගම සඳහන් කළේ, එක් එක් සාමාජික රාජ්‍යයේ ශාක සනීපාරක්ෂාව තාක්‍ෂණිකව සාධාරණ සහ විනිවිද පෙනෙන විය යුතු අතර ජාත්‍යන්තර වෙළඳාම සඳහා සැගවුණු සීමාවන් නොපැවතිය යුතු බවයි.

(මූලාශ්‍රය - මව්රට )

මහින්දගේ ගිණුමේ සල්ලි ඇදපු කතාව නාමල් දන්නෙත් නෑලු!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිතයෙකු විසින් වංචාකර ඇති බව තමන් නොදන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුවත් මෙරට ජාතික පුවත්පත් පවා අද (26) මේ බව වාර්තාකර තිබු නමුත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැහැදිලිව මාධ්‍ය වෙත පැවසුවේ, මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් ඔහුගේ ළගම සිටි නිලධාරියෙකු වසර 6ක කාලයක සිට වරින්වර වංචනික ලෙස ලබාගෙන ඇති බව ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු වාර්තා කර ඇත්තේ එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ATM කාඩ්පත උපයෝගී කරගෙන මෙම මුදල ලබාගෙන ඇති බවය.

අදාළ ගිණුමේ තිබූ මුදල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ සිට වැටුප් ලෙස ලැබූ මුදල් බවත්, එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිවී ඇති බවත් මාධ්‍ය වාර්තා වල පළවිය.

මෙම මූල්‍ය වංචාව හෙළිවීමෙන් පසු එම නිලධාරියාව අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති නමුත්, මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා නොකරන බව වාර්තා පළව තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ ,

"තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. "

1950-2019 තුළ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා !

වත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇතැයි ද එය මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් යැයිද හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රු. කෝටි 15,704 ක් අච්චු ගසා ඇත. 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රු. කෝටි 67,833 ක් (බිලියන 678.33) මුද්‍රණය කළේය. එයට දෙසැම්බර් 31 දින අච්චු ගැසූ ලක්ෂ 66,500 ද ඇතුලත් ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ලෙස පත්වීමෙන් පසුව පමණක් රු. කෝටි 28,942 ක් මුද්‍රණය කර ඇත. කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණත අගය රු. බිලියන 1284.37 ක් විය. අද වන විට එය රු. බිලියන 1574.79 කි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට (2020 ජනවාරි* අද දක්වා රු. කෝටි 149,905 ක් (රු.බිලියන 1,499.05) අච්චු ගසා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සුරැුකුම්පත්වල (2022 ජනවාරි 25 දිනට) මුහුණත අගය රු. බිලියන 1,573.79 දක්වා ඉහළ ගොස් ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවශ්‍යතාව මත, මහ බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගැසීම සිදු කරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් අච්චු ගසා තිබූණේ රු. කෝටි 7474 ක් පමණී. සරළව පවසන්නේ නම්, මහ බැංකුව ඇරඹි දා සිට 2020 දක්වා අච්චු ගසා ඇති මුළු මුදලට මෙන් 20 ගුණයක මුදල් ප‍්‍රමාණයක් පසුගිය මාස 25 තුල අච්චු ගසා ඇත.

‘‘සල්ලි අච්චු ගැසීම පාලනයකින් තොරව සිදු වන බව සක් සුදක් සේ පැහැදිලියි. 1950 සිට මේ දක්වා මහ බැංකු අධිපතිවරු 14 දෙනෙකු යටතේ අච්චු ගැසූ මුදල මෙන් 20 ගුණයක් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඞ් කබ්රාල් යටතේ අච්චු ගසා තිබේනවා. සර් ජෝන් කොතලාවල, බණ්ඩාරනායක, ඩඞ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.පේ‍්‍රමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන පාලනයන් යටතේ අච්චු ගැසූ මුලූ‍ මුදල මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව යටතේ අච්චු ගසා තිබෙනවා.” යැයි හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පවසයි.

‘‘මුදල් අච්චු ගැසීම නිසා ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රාජ්‍යයන් අතරට එකතු වී තිබෙනවා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස්වලට පිටින් භාණ්ඩාකාර ලේකම් හා මහ බැංකු අධිපති ඒකාධිපතියෙකු සේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීම සිදු කරනවා” යැයි ද තෙන්නකෝන් පවසයි.

මොනවා නැති වුණත්: ලංකාව අන්ත දූෂිත රටවල් අතරට !

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් නිකුත් කරන නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන 08ක් පසුපසට එනම් දූෂිත රටල් අතරට එක්ව ඇත.

අදාළ වාර්තාව ඊයේ (25) නිකුත් කර ඇති අතර එකී දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේදී දූෂිත රටවල් අතර 102 වැනි ස්ථානයට පත්ව ඇත. නමුත් 2020 වසරේදී ශ්‍රී ලංකාව පසුවූයේ 94 වැනි ස්ථානයේය.

මෙවර එම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 180ක දත්ත යොදාගෙන තිබුණි.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යවා 37කි. මෙහි අගය 0ක් නම් බෙහෙවින් දූෂිත රටක් ලෙස නම් කෙරෙන අතර එහි අගය 100ට ආසන්න වනවිට ඉතා පිරිසිදු රටවල් ලෙස නම් වෙයි.

එහි අගය 88ක් ලබාගනිමින් ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන බවට පත්ව ඇති අතර සෝමාලියාව සහ සිරියාව අගය 13ක් සහ දකුණු සුඩානය අගය 11ක් ලබාගනිමින් බෙහෙවින් දූෂිත රටවල් අතර පසුවෙයි.

ගිණුමේ සල්ලි නැතිවුණ බව නොදැනුන හේතුව විජිත කියයි !

"අපේ රටේ හොරකම්, දූෂණ, වංචා කොච්චර සිද්ධ වෙනවාද කියලා අගමැතිගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමෙන් පැහැදිලි වෙනවා. ජනාධිපති ධුරය දරන කාලයේ භාවිතා කළ ගිණුමේ සල්ලි ළඟම හිටපු කෙනෙක් හොරකම් කරලා. කෝටි ගණනක් ඒ ගිණුම්වල තිබිලා. මෙච්චර කල් ඒවා හොයලා බලලත් නැහැ. එච්චර මුදලක් ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ සල්ලිවල ලොකු වටිනාකමක් ඒ ගිණුම් අයිතිකාරයන්ට තිබිලත් නැහැ කියලත් ඒකෙන්ම පේනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

"හොරුන්ගෙත් හොරු කම්බා හොරු කතාවක් තිබෙනවා නේ. අගමැතිගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමෙන් ඔප්පු වෙලා තිබෙන්නේ ඒ බව. ප්‍රශ්නය තිබෙන්නේ එවැනි ගිණුමක් ගැන හොයලා බැලීමට තරම් වත් ගණන් නොගැනීමට තරම් ඔවුන් සතුව සල්ලි තිබීමයි.”

"මුදල් ඇමතිවරයා සල්ලි අච්චු ගහලා 5000/ක් බෙදන එකෙන් අර්බුදය වැඩිවීමක් විතරයි වෙන්නේ. මේවා මුදල් ඇමතිගේ මෝඩ තීන්දු. මේවගෙන් වෙන්නේ අර්බුදය වැඩිවෙන එකයි. මෙයින් ඔප්පු වෙන්නේ මුදල් ඇමතිවරයාගේ මොළ හතේ තත්වයයි. ලංකාවේ මුදල් ඇමතිවරයා විතරයි ලෝකයේම මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා තිබෙන මුදල් ඇමතිවරයා. ඇත්තටම ගිනස් වාර්තාවක්. එවැනි කෙනෙක් රටේ මුදල් ඇමති වුණාම රට වැටෙන එක අහන්න දෙයක් නැහැ.

හොරකම්, දූෂණය, වංචා නතර කරන ක්‍රියාමාර්ග තිබිය යුතුයි. ඒවගේම නිෂ්පාදනය මත රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. රට හැදීමේ ප්‍රධානම ක්‍රියාමාර්ග දෙක මේවායි. වත්මන් ආණ්ඩුවලට එවැනි උවමනාවක් නැහැ."

කොරෝනා මරණ 15,346ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,346කි.

Page 248 of 336